Monday, February 25, 2013

නවම් පුර පසළොස්වක

ක්‍රිස්තියානි කැලැන්ඩරයට අනුව නවම් පොහොය වසරේ දෙවන පුන් පෝ දිනය වේ. වස් කාලයෙන් පසුව එළඹෙන හේමන්තයයේ අවසන් භාගය නවම් මස සමග සමපාත වේ. දහවල අව් රශ්මිය ක්‍රමයෙන් දැඩි වන අතර රාත්‍රිය සිහිල් ගතිය තවදුරටත් පවතී. මාස් කන්නය සාර්ථක කර ගත් ගොවියෝ සිය අස්වනු නෙලා ගැනීම මේ කාලයේදී අරඹති. මේ කටයුත්ත මැදින් මස අවසානය දක්වාම සහ සමහර විට බක් මස මුල දක්වාත් කෙරේ.

නවම් පෝ දිනයේ සිදු වූ වැදගත්ම සිදු වීම ප්‍රථම මහා සංඝ සන්නිපාතයයි. එහෙත් අද නවම් මස සමගම කියවෙන උත්සවය කොළඹ හුණුපිටිය ගංගාරාමයේ නවම් මහ පෙරහැරයි. මේ වසරේත් නවම් පෙරහැර පෙබරවාරි 24, 25 දින වල හෙවත් නවම් මස පුර තුදුස්වක හා පසළොස්වක දින වල වීථි සංචාරය කෙරේ. මේ හැරුණු කොට බොහෝ වැදගත් කටයුතු මේ මාසය තුල සිදු වී ඇත.

තුන් බෑ ජටිලයන් දමනය කළ ඒ තථාගත සම්මා සම්බුදුරජාණන්වහන්සේ දහසක් පිරිවර සහිතව බුද්ධ රාජ ලීලාවෙන් රජගහ නුවරට ඇතුල් වූහ. තමන් වහන්සේ පැවිදි වූ මුල් දිනයේ මගධයේ අධිපති බිම්බිසාර රජු වෙත දුන් පොරොන්දුවක් වෙයි. බුද්ධත්වය ලැබ පළමුවෙන්ම රජගහ නුවරට වඩින ලෙස බිම්බිසාර නරපතියෝ ඉල්ලූහ. එම පොරොන්දුවෙන් මිදීම පිණිසයි බුදු රජු බිම්බිසාර රජුගේ මාලිගයට වැඩම කළේ. බුදුරදුන් සමග යන උරුවෙල් කාශ්‍යප තෙරුන් දුටු රජගහ නුවර ජනයා බුදුන් උරුවෙල් කසුප් ජටිලයාගේ සව්වෙකුද නොහොත් උරුවෙල් කසුප් තෙරුන් ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රවකයෙකුද යනුවෙන් කුකුස්‌ ඉපදවුහ. මේ බව පරසිත් දන්නා නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ ජනයාගේ සැක සංසිඳවන ලෙස උරුවෙල් කසුප් මහ තෙරුන්ට අනුදැන වදාළහ. තෙරණුවෝ පිරිස් ඉදිරියේ බුදුරදුන් වැඳ 'මම් සම්මා සම්බුදු රජුන්ගේ සව්වෙකු වෙමි' යි මහත් ප්‍රාතිහාර්යය දක්වමින් ප්‍රකාශ කළහ. මේ දුටු බොහෝ ජනයා බුදුන් සරණ ගියහ.

මේ පෙළහර ගැන ඇසු ජනයා මහ මග පුරා පිරී පැමිණෙමින්, ඉස්සි ඉස්සී බලමින්, දුර්වලයන් පෙරළා දමමින් බුදුරදුන් සහ පිරිවර දකින්නට පෙළ ගැසුනහ. මේ හේතුවෙන් බිම්බිසාර රජ මාළිගයට යන මග ඇහිරී ගියේය. මෙය දුටු සක්දෙව් රජ උතුම් තරුණයෙකුගේ වෙසක් මවාගෙන සෙනග ඈත් මෑත් කරමින් බුදුරදුන්ට වඩිනට මග හෙළි-පෙහෙළි කළහ. සක්දෙව් රජුගේ උදව්වෙන් රජගෙට වැඩම කළ බුදුරජු සහ සඟ පිරිස බිම්බිසාර රජු විසින් සැපයුණු රාජ භෝජනය සහිත දානය පිළිගත්හ.

දානය අවසන් කළ බුදුරජාණන් වහන්සේ වෙත එළඹි බිම්බිසාර මහ රජාණෝ බුදුරදුන්ට වාසය පිණිස සුදුසු තැනක් ගැන සිතන්නේ වේළුවනය නම් නගරයට ඉතා දුරත් නොවෙයි, ඉතා ලඟත් නොවෙයි. මිනිස් සමුහයාගේ ගැවසිම් සහ ඝෝෂාවෙන් තොරයි, සංඝයාට හිත පිණිස පවතී යැයි සිතා බුදුරදුන් වෙත පැමිණ රන් කෙණ්ඩියෙන් පැන් වත් කර වේළුවනය පිළිගැන්වුහ. මේ ප්‍රථම ආරාම පූජාවයි. මහ පොළොව කම්පා කරමින් පිළිගත් මේ ආරාම පූජාවට දැන් දෙදහස් හයසිය වසරක් ඉකුත් විය. වේළුවනය පිළිගත් බුදුරජාණන්වහන්සේ "අනුජානාමි භික්ඛවේ ..." ආදී වශයෙන් දේශනා කරමින් ආරාම පිළිගැනීම අනුදැන වදාළහ.

මෙකළ මහත් පිරිවර සහ සත්කාර සහිතව සංජය නම් පරිබ්‍රජාකයෙක් රජගහ නුවර වීසි. මුන්ගේ උපතිස්ස, කෝලිත නම් මහත් නුවණැති සව්වන් දෙදෙනෙක් ඇත්තාහ. සංජය පිරිවැජියාගේ දහම පරතෙරට උගත් ඔවුහු එහි හරයක් නැති බැව් දැනගෙන "අප දෙදෙනාගෙන් කෙනෙක් විමුක්ති මාර්ගයට පිළිපන් දහමක් ගැන දැන ගතහොත් අනිකාටද දැන්විය යුතු" යැයි කතිකා කරගෙන වෙසෙයි. උන්ගෙන් උපතිස්ස නම් පිරිවැජියා දිනක් පස්වග මහණුන්ගෙන් එක නමක් වන අස්සජි තෙරුන් වහන්සේ දැක උන් වහන්සේගෙන් සතරපද ගාථාවක් අසා සෝවාන් වූහ. තම මිතුරු කෝලිත පිරිවැජියාටද ඒ ගාථාව දෙසා ඔහුද සෝවාන් කරගෙන සංජය පිරිවැජියාගේ අතවැසි දෙසිය පනසක් පිරිවර සමග බුදුරදුන් වහන්සේ සොයා වේළුවනය වෙත පැමිණියහ. ඔවුන් දෙදෙනා එනු දුරදීම දුටු බුදුරජාණන්වහන්සේ මහණෙනි මාගේ අගසව් දෙනම පැමිණෙන්නේ යැයි තමන් වහන්සේ සමග සිටි ස්වාමින් වහන්සේලා අමතා වදාළහ.

එසේ පැමිණි ඒ දෙදෙනා බුදුරජාණන් වහන්සේ වෙතින් ඒහිභික්‍ෂු භාවයෙන් පැවිද්ද ලබා ගත්හ. පැවිද්ද ලබා ගත් කෝලිත තෙරුන් වහන්සේ සතියක් ඇවෑමෙන් බවුන් වඩා සිව්පිලිසිඹියා පත් මහරහත් භාවයට පත් වූහ. උපතිස්ස තෙරුන් අඩමසක් ඇවෑමෙන් එසේම මහරහත් බැව් ලබා ගත්හ. සම්බුද්ධත්වයෙන් නවමසක් සපිරෙන නවම් පුර පසළොස්වක පෝ දින ප්‍රථම සංඝ සන්නිපාතය අභිමුවේදී බුදුරජාණන් වහන්සේ විසින් උපතිස්ස කෝලිත දෙදෙනා වහන්සේ ස්වකිය අග්‍රශ්‍රාවක ස්ථානයේ තබා වදාළහ. මේ ප්‍රථම සංඝ සන්නිපාතයට දෙදහස් හයසිය වසක් සපිරෙන්නේ මේ උතුම් නවම් පුර පසළොස්වක දිනටයි.

මීට අමතරව බුදුරජාණන් වහන්සේ විසින් සංඝයා අමතා ඕවාද ප්‍රතිමොක්ෂය දෙසීම හා චාපාල චෙතියස්ථානයේ සිට සියළු ලෝවැසියා වෙත සංස්කාරයන්ගේ අනිත්‍ය බව පසක් කරමින් මහ පොලෝ ගුගුරවමින් ආයුසංස්කාරය හැරීමද සිදු වුයේ නවම් පෝ දින වලයි.

එබැවින් සියළු ලෝ වැසියනි, කුසලයේ නොපමා වව් !

3 comments:

  1. නැවත කියවිය යුතුව තිබේ.

    ReplyDelete
    Replies
    1. ඔව්, සිතුවිළි සමග එකඟ වෙමි. මේ ලිපියේ සියළු දෙනාට එකඟ විය හැකි බුද්ධ චරිතයේ නම වන මාසයේ විස්තරයක් හැර විචාරයට බඳුන් කළ යුතු විශේෂ කරුණක් නැත. ඔබේ පොහොය ලිපි උනන්දුවෙන් පරිශීලනය කරන මට බුද්ධත්වයෙන් පළමු වසර ගත වූ ආකාරය නම් කෙමෙන් පැහැදිළි වෙමින් පවතී. ඒ ගැන පින් දෙමි.

      පසුගිය වසරේ වෙසක් පෝය 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය කියා මහත් උත්සවශ්‍රීයෙන් සැමරූ ලංකාවට, ප්‍රථම සංඝ සන්නිපාතයේ 2600 වන සැමරුම අමතක වී යාම කනගාටුවකි. එය සිහි වූයේ ඔබට පමණයි.

      අද දවසේ සසුනට ඉතා වැදගත් වන්නේ භික්ෂු සංඝයා කෙරෙහි බල පවත්නා කතිකාවතකි. සියම්-අමරපුර-රාමන්ඥ සහ ඒවායේ මල්වතු / අස්ගිරි/ රෝහණ/ කල්යාණි/ ස්වෙදජින් ආදී පාර්ශව වලට බෙදී ඊටත් අමතරව විවිධ අසපු, මධ්‍යස්ථාන, ආරාම, සමාගම්, සේනා සාදාගෙන සර්වගම් බලු පූට්ටුවෙන් පරාජිකා වී විවිධ අන්‍යාගමික දේශපාලන නොරාජ්‍ය අතකොළු බවට පත් වී රට්ටුන්ට විහිළු සපයන තත්වයට පත් වී ඇති සසුන මේ තත්වයෙන් ගලවා ගැනීම නොවේද අද දවසේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ...

      සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු ලබා දී සංඝ සමාජය සංවිධානගත කිරීමට මුල් පියවර තැබූ නවම් පෝ දිනය නොවේද මෙවැනි කටයුත්තකට සුදුසුම දිනය වන්නේ?

      නිදිවැදී සිටින මහනායක තෙරවරු-බුද්ධ ශාසන අමාත්‍යාංශය-සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය-තරුණ බෞද්ධ සංගමය-බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ඇතුළු වගකිවයුත්තන් මේ මගහැර ගත්තේ ඊට තිබුණු ස්වර්ණමය අවස්ථාවක් බව මගේ හැඟීමයි.

      Delete
  2. සිතුවිළිFebruary 26, 2013 at 8:16 AM

    සාදු සාදු සාදු,
    මේ කියවන්නේ කුමන ස්ථානයක ලියැවී ඇති කාවිසින් ලියනලද ලිපියක්දැයි කිසිදු හැඟීමකින් තොරව. අනායාසයෙන් සාවධානව එක දිගට කියවාගෙන ගියෙමි.
    සුන්දර බස් වහරකින් ලියැවී ඇති ලිපිය එක් අයුරකින් බුද්ධානුස්මෘතිය වඩවන්නකි. සිත නිසසල කරවන්නකි.
    මෙවන් තව බොහෝ හරවත් ලිපි ලිවීමට ඔබට ශක්තිය හා ධෛර්‍යය පතමි.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !