Friday, July 24, 2020

අනතුරු දෙකක්, මරණ දෙකක් !

මේ මස 20 වැනිදා උදෑසන නුගේගොඩ ගුවන් පාලම මතදී මාර්ග අනතුරක් සිදු විය. ගුවන් පාලම මතදී එක බස් රථයක් තවෙකක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් එහි රියදුරා මිය ගියේය. තවත් කිහිප දෙනෙකුට බරපතල තුවාල සිදු විය. එසේම සිය ගණනකගේ කාල වෙලාව අපතේ ගියේය. ලංකාවේ හිඟන ආණ්ඩුවට මිලියන ගණනක් නිකරුණේ වියදම් විය.

එසේම ඊට දෙසතියකට පමණ පෙර මොරටුවේදී බේබදු සල්ලාලයෙක් විසින් මාර්ගයේ වැරදි පැත්තෙන් පැදවූ සැප රියට යට වී පාපැදි කරුවෙක් මිය ගියේය. CCTV දර්ශණ අනුව බල්ලන් දෙදෙනෙක් පමණක් ඒ ගැන වද වනු පෙනිණි.

මාර්ග අනතුරු ලංකාවේ සාමාන්‍ය සිදු වීම්ය. මීට පස් වසරකට පමණ පෙර සම්මන්ත්‍රණයකදී කියැවුණේ ලංකාවේ දිනකට මාර්ග අනතුරු වලින් අට දෙනෙකුන් මිය පරළොව යන බවයි. අද මේ ගණන මීට වඩා වැඩි මිස අඩු වී ඇත්නම් ඒ කොරෝනා වෛරස රෝග බිය හේතුකොටගෙන මහා මාර්ග පාළුවට යාම හේතුවෙනි. එවැනි තත්වයක මේ මරණ දෙක ගැන පමණක් අප මෙහි සටහන් තබන්නේ ඇයි ?


රහස ඇත්තේ අනතුරු දෙක තුල, එසේ නැතිනම් මරණකරුවන් දෙදෙනා තුල (නුගේගොඩ දී හමුදා සෙබළෙකි / මොරටුවේදී බස්රථ කොන්දොස්තර කෙනෙකි) හෝ නොවේ. මේ ගැන කතා කිරීම යුතු වන්නේ අනතුරෙන් පසු ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියාත්මක වූ ආකාරයේ ය.



මොරටුවේ අනතුර කළ බේබද්දා (ඒ ජාමයේ එවැනි ආකාරයෙන් රිය පැදවීමට ඔහු බීමත් වී සිටියේ නැතිනම් වෙන මතකින් මත් වී සිටිය යුතුය. අර මනුෂ්‍යයා මහමග දමා පළා යන්නේත් මත හිඳුනු පසු පොලීසියට ඉදිරිපත් වන්නේත් "බීමත්ව රිය පැදවීමේ චෝදනාව" මග හැරීමට නොවේනම් කුමකටද?) හැප්පුන මිනිහා උන්නාද මළාද වත් නොබලා තමාගේ ගමන ගියේය. දරු පවුලක් නඩත්තු කළ අසරණයා බල්ලන් දෙදෙනෙකුට මැදිව අවසන් හිමිදිරියේම අවසන් හුස්ම හෙළීය. වෙරි හිඳුන පසු ඉහල තැන් වලට කතා කර අදාළ කටයුතු කර ගැනීමෙන් අනතුරුව නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට ඉදිරිපත් වූ බේබද්දා හැන්දෑවේ ගෙදර ගියේය. දැන් පෙනෙන අයුරු අනුව මේ නඩුව එක්කෝ යට යනු ඇත, නැතිනම් සරළව සමථයකට යනු ඇත. මරණ කරුගේ දරු පවුලට රුපියල් ලක්‍ෂ කිහිපයක් සහ නීතිඥයින්ට ලක්‍ෂ කිහිපයක් එහා මෙහා වනු ඇත. ඒ මේ රටේ කටයුතු සාමාන්‍යයෙන් සිදු වන විදියයි.

නුගේගොඩ අනතුර කළ පිස්සා (එවැනි ආකාරයේ ඉස්සර කිරීමක් හොඳ සිහිය ඇති කෙනෙකුන් විසින් කළ නොහැක) ට අර බේබද්දාට ලැබුණු ආකාරයේ සංග්‍රහ ලැබුණේ නැත. පොලිසිය විසින් කුදලාගෙන ගිය ඒ මනුෂ්‍යයා රක්‍ෂිත බන්ධනාගාර කෙරුණු අතර ඔහුට විරුද්දව මිණී මැරීම යන වරද යටතේ අපරාධ චෝදනා ගොණු කරන බව පොලීසිය ප්‍රකාශ කළේය. පොලිසියේ කෙරුවාව අපට බලා ගැනීමට ලැබේදැයි හරියටම කිව නොහැක්කේ ජනමාධ්‍ය වලටත් මේවා අමතක වී යන නිසාය. කෙසේ වුවත් මීට පෙර පොලීසිය විසින් මිණී මැරුම් චෝදනා ගොණු කළ රිය අනතුරක් අපගේ මතකයේ ඇත. ඒ යංගල්මෝදර බස්-දුම්රිය අනතුරයි. මේ අනතුරට මුල් වූ රියදුරා සහ සහායකයා යන දෙදෙනාටම මරණ දඬුවම ලැබුණු බව අපගේ මතකයේ පවතියි.

මෙවැනි වළක්වා ගත හැකි අනතුරු හේතුවෙන් විනාශ වන්නේ රටේ සංවර්ධනයට උර දෙන ජීවිත ය. සංවර්ධනය පැත්තකින් තැබුවත් මේ මිය යන්නේ කාගේ හෝ පියෙකි-දරුවෙකි.

ඇදුරිඳුනේ මේ සැතපෙන දරුවා ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ
වනන්තරේ වැදි සෙනඟට අහුවුණ මරු වැල පෑගුණ කෙනෙකුන්දෝ

මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද ලෙඩකින් දුකකින් නැත පෙළුණේ
දාඩිය විකුණන හොර මැර නැති අප අකල් මරණ ගැන නැත දන්නේ

යි ගුණදාස කපුගේ ගයන්නේ මෙවැනි මරණ ගැන මිස රටේ ආණ්ඩු පෙරළීමට අවි අතට ගත් කණ්ඩායමකට සම්බන්ධ වී සිටීම හේතුවෙන් "ප්‍රා", කොළ බළල්ලු, කළු කොටි වැනි කණ්ඩායමක් විසින් දඩයම් කෙරුණු තරුණයින් ගැන නොවේ.

උක්ත කරුණ සළකා බැලීමේදී පොලිසිය මෙහිදී "මිණී මැරීමේ චෝදනාව" ඉදිරිපත් කිරීම ඉතාම සාධාරණ ය. එකම වරද නීතිය එක එක සිද්ධියට එක එක ආකාරයෙන් ක්‍රියාත්මක වීම ය. මොරටු බේබද්දාටත් නුගේගොඩ පිස්සාට කළ චෝදනාව ම එල්ල කිරීමට ශ්‍රී ලංකා පොලීසියට නුවණ පෑදේවා !





ප.ලි.: අනුන් ගැන මනුෂ්‍යත්වයෙන් නොසිතා කටයුතු කර මහමගදී රිය අනතුරු කිරීමෙන් ජීවිත හානි වූ විට පොලිසිය මිණී මැරීමේ චෝදනාව එල්ල කළ යුතු බවත්, මරණකරුගේ වරදක් නැතිව එකී චූදිතයාගේ ම වරදින් අනතුර සිදු වී ඇති විට අධිකරණය විසින් රියැදුරු බලපත්‍රය දීර්ඝ කාලයකට අහෝසි කර මරණ දඬුවම පැනවිය යුතු බවත් අපගේ අදහස වේ.

එහෙත් කුමන්ත්‍රණකාරීව නිශ්චිත පුද්ගලයෙකුගේ මරණය සිදු කිරීමේ අදහසින් ම රිය ධාවනය කර නැතිනම් වසරක් හෝ දෙකක් (වැඩිම වුවහොත් තුනක්) ඇවෑමෙන් එකී රියැදුරන් සානුකම්පිතව සළකා බලා නිදහස් කළ යුතුය. එසේ නිදහස් කළත් පෞද්ගලිකව වාහනයක් පැදවීමට මිස පොදු (මගී සහ භාණ්ඩ) ප්‍රවාහණයේ යෙදෙන වාහන පැදවීමට මෙවැනි අයට නැවත බලපත්‍ර නොදිය යුතුය.

6 comments:

  1. ඔහේ ඩ්‍රයිවින් නොදන්න හැඩයි. ඒකයි අර අහිංසකයට බේබද්දා කියකිය අපහාස කරන්නෙ. ඩ්‍රයිවින් දන්න හැමෝම මේ වෙලාවෙ ඒ මහත්තයත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි වෙන්න පුළුවන්, ඇත්තටම ඒ හාදයා නොබී හිටිය වෙන්න පුළුවන්.

      මම පෙන්වන්න උත්සාහ කරන්නේ බේබදු කමට වඩා අන්‍යයන්ගේ ජීවිත ගැන දක්වන අඩු සැළකිල්ල හුවා දැක්වීමට ය. මීට දස වසරකට පෙර අපගේ මිතුරියකගේ පියෙකු විසින් කළ ප්‍රකාශයක් මෙහිදී සිහියට නැගෙයි.

      ඔහු පැදවූයේ මොන්ටෙරෝ වර්ගයේ රථයක් බවයි මතක, දරුවන්ගේ ගමන් බිමන් වලට රියැදුරෙක් යෙදවූ වෑන් රථයක් පැවති අතර පරණ කාර් රථයත් ඔහු සතුව විය. ඔහු එය වසර ගණනකින් පදවා නොතිබිණි. සේවා කිරීමකට මොන්ටෙරෝ රථය රියැදුරා සමග යැවූ දවසක පරණ කාර් රථයෙන් හදිසි ගමනක් යන ගමන් හමු වූ අපට ඔහු කීවේ "හැම *** ඇඟට එනවා" යන්නයි. මෙයයි ඇත්ත. පරණ පරම්පරාවේ රියැදුරෙක් වන ඔහු නිසි ගෞරවයක් සහිතව රිය පදවයි. එසේ මුත් "විකර්ෂක ගුණය" වැඩි මොන්ටෙරෝ රථය මෙන් නොව පරණ කාර් රථයෙන් ගමනක් යන විට වැඩි අවධානයකින් යා යුතුය.

      එසේම ඒ මහතා ලොරි රියැදුරන් ගැන මහත් අප්‍රසාදයෙන් කථා කළේය. ඔහු සමග එකඟ වනු මිස විරුද්ධ වීමට අපට හැකියාවක් නැත; පෞද්ගලිකව අපටත් මරණාසන්න අත්දැකීම් ලබා දී තිබෙන්නේ ලොරි රථ රියැදුරන් දෙදෙනෙකි.

      දැන් අර ගොබිලා නොබී සිටියා යැයි උපකල්පනය කරමු. එසේනම් දඬුවමින් අඩු විය යුත්තේ ඊට අදාළ දඩය වන රුපියල් 25,000 ය. අසාධාරණ ද?

      Delete
    2. ඔය ගොබ්බ බේබද්දා ක්‍රිකට් ගැන දීපු ලොරි ටෝක් එකක් මේ කතාවට ආදේශ කළා විතරයි..හැපිච්ච මිනිහව ඉස්පිරිතාලෙට ගිහින් දාන්න තරම්වත් මනුස්සකමක් නැති අපතයෙක්.. දැන් අර මිනිස්සුන්ට මොනවා දුන්නත් ඇති වැඩේ මොකක්ද?

      Delete
    3. අඃ !
      අර බෙනේ රිලව වගේ එකක්...

      Delete
  2. මේ කාලකන්නි ජූලි මාසයේ,
    අහිංසක දෙමළ තාත්තා කෙනෙක් අමු අමුවේ මහමග මරා දැමූ
    එම මොන්ටෙරෝ මිනීමරුවා දසවධදී මරාදමනු.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !