Thursday, February 21, 2019

ලක්ෂෙට කොඩිය

දෙතිස් කතාවේ පිටු බැලීම් ලක්‍ෂය ඉක්මවා ගියේය. අප මිතුරු ජොසෙෆ් විසින් ඒ බව සඳහන් කරන්නට යෙදිණ. ලක්‍ෂය මහාර්ඝ ඉලක්කමක් නොවේ. අපට පසුව ආරම්භ කරන්නට යෙදුණු ඉකොනොමැට්ටා ගේ බොජුන්හල ලක්‍ෂය ඉක්මවා ගියේ මීට බොහෝ කලකට පෙරය. වර්ෂ 2012 දී ආරම්භ කළ බ්ලොග් අඩවියක් 2019 දී පිටු බැලීම් ලක්‍ෂයක් වාර්තා කිරීම විශේෂයෙන් උදම් වන්නට කරුණක් නොවේ.

මිතුරු ජොසේෆ් මෙසේද කියයි.
"ඕකෙන් පනස් දාහක්වත් මමම වෙන්නැති. තව හතළිස්දාහක්වත් සිතුවිළි වෙන්නැති."
ඒ සත්‍ය නොවේ. මේ ලක්‍ෂයෙන් අඩු තරමින් දස දහසක් පසළොස් දහසක්වත් එක් කෙනෙකුට අයිති කර ගැනීමේ හැකියාවක් නැත. මේ කාලය පුරාවට රටවල් 126 කින් පුද්ගලයින් මේ වෙබ් අඩවියට පැමිණ තිබේ. එසේ වුවත් මේ අඩවියේ කරක් ගැසූ අය අතරින් 90% පැමිණ ඇත්තේ රටවල් 10 කිනි. ඒ,
  1. ලංකාව
  2. එක්සත් ජනපද රාජ්‍යය
  3. සිංගප්පූරුව
  4. ඔස්ට්‍රේලියාව
  5. කැනඩාව
  6. එක්සත් රාජ්‍යය
  7. එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය
  8. මාලදිවයින
  9. ඉතාලිය හා
  10. කටාර් රාජ්‍යයෙනි.
බහුතරය ලංකාවෙන් ආ බව පැහැදිළි මුත් ඒ 60% පමණි. අනෙක් රටවල් 40% කට ආසන්න දායකත්වයක් දරා තිබේ. මුල් කාලීනව රුසියානු ජනරජයෙන් බොහෝ සෙනගක් පැමිණුනත් දැන් ඒ අඩු වී තිබේ. මීට හේතුව එහි සිට දෙතිස් කතාව කියැවූ පාඨකයා හෝ කිහිප දෙනා නැවත සියරට පැමිණීම යැයි සිතමි.



කෙසේ වුව, වසර හතකට ආසන්න කාලයක් දෙතිස් කතාව පැවතිණි. අර කියන්නා සේම, පිටු කියැවීම් ද ලක්‍ෂය ඉක්මවා ගියේය. පාඨක පැමිණීම ගණනද ක්‍රමයෙන් වැඩි වන සෙයක් පෙනේ. මුල් කාලයේ දෙතිස් කතාව කියැවූ සමහර පාඨකයන් මේ වන විට අපගෙන් ඈත් වී සිටිනු ද විය හැක. ඒ සියළු දෙනාට ස්තූතිය පල කිරීමට දෙතිස් කතාව මෙය අවස්ථාවක් කර ගනී.

මේ පල වන්නේ දෙතිස් කතාවේ 187 වැනි ලිපියයි. මේ සියල්ල අප විසින් පමණක් ලියැවුනා ද නොවේ. මිතුරු ජොසෙෆ්, සිතුවිළි හෙවත් නයනේ, අවිද්‍යාව සහ බිංදුත් මෙහි ලිපි සම්පාදනයෙන් දායක වී තිබේ. ඊට අමතරව ආචාර්‍ය නලින් ද සිල්වාගේ ලිපි කිහිපයකුත්, එක් මානි ගේ තීරුවකුත් තවත් ලේඛකයන්ගේ පුවත් පත් වල පල වූ ලිපියක් හෝ දෙකකුත් උපුටා ගෙන අපගේ අදහස් ද සහිතව පල කර තිබේ. ඒ අයටද ස්තූතිය පල නොකළොත් අසාධාරණයකි.

පාඨකයින්ට තමන්ගේ ලිපියක් මෙහි පල කර ගැනීම අවශ්‍ය නම් ඊටද ඉඩ තිබේ. කළ යුත්තේ එය පැහැදිළි සිංහල යුනිකෝඩ් අකුරින් ලියා පහත පෝරමය උපයෝගී කරගෙන එවීමයි, එසේ නැතිනම් ප්‍රතිචාරයක් වශයෙන් පල කර එය වෙනම ලිපියක් ලෙස ඉදිරිපත් කරන්නැයි සටහන් කිරීමයි. ලිපිය දිග වැඩිනම් ඉල්ලීමක් කළොත් email ලිපිනය ලබා දිය හැක.

කිසියම් වෙබ් අඩවියක්, email සංසදයක් මෙහි පලවන ලිපියක් හෝ කිහිපයක් උපුටාගෙන වෙනස් කිරීමකින් තොරව ප්‍රචාරය කෙරේනම් ඊට ද අපගේ අනුග්‍රහය හිමි වේ. ඒ ගැන අපට දැනුම් දීමක් කෙරේනම් සුදුසුය. එසේ නොකිරීම ද ගැටළුවක් නොවේ. ලිපිය උපුටා ගත්තේ මෙතැනින් බව එහි දක්වන්නේ නම් මැනවි. එහෙත් එසේ නොකළේයැයි අප බුද්ධිමය දේපළ පනත කරට ගෙන නඩු යන්නේ ද නැත.

ඉතිං,

අදට ඇති !



තව එක දෙයක් ...



අගමැති වික්‍රමසිංහ විසින් සාදා නැති, උතුරු සංවර්ධන නිල නොවන ඇමති සුමන්තිරන් විසින් සාදා ඇති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ "ඒකීය" රාජ්‍යය සම්බන්ධ ව්‍යවස්ථාව ගැන අපගේ පාඨකයන්ගේ අදහස් කෙසේදැයි දැන ගනු රිසියෙමි.

වෙනත් වචන වලින් කිවහොත්,
අනාගතයේ ගෙන ඒමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ලංකා රාජ්‍යයේ ස්වභාවය කිනම් විය යුතුදැයි ඔබ සිතන්නේද? එසේ විය යුත්තේ ඇයි දැයි ඔබ පැහැදිළි කරන්නේ කෙසේද?

මීට ලැබෙන ප්‍රතිචාර වලින් වඩා සුදුසු යැයි අප සිතන එකක් හෝ කිහිපයක්, එය අපගේ අදහස හා සමපාත වීම හෝ නොවීම හෝ නොසළකා, දෙතිස් කතාවේ වෙනම ලිපියක් හෝ කිහිපයක් හෝ ලෙසින් පළ කෙරෙනු ඇත.

ඔබ සැමට තෙරුවන් සරණයි !

9 comments:

  1. ලක්ෂයට සුබ පැතුම්!

    සිංහල බ්ලොග් කියවන අයගෙන් ආසන්න වශයෙන් 60%ක් පමණ ලංකාවේ සිට කියවන අයයි. ඉතිරි 40% ලංකාවෙන් පිට සිට කියවන අයයි. මෙය ආසන්න වශයෙන් සිංහල බ්ලොග් බොහොමයකට පොදු තත්ත්වයක්.

    මගේ බ්ලොග් එකට වැඩිම කියවන්නන් එන රටවල් 10 වෙනස් වන්නේ සුළු වශයෙන් පමණයි. ඉතාලිය හා මාල දිවයින වෙනුවට ජපානය හා ඉන්දියාව සිටීමයි වෙනස. ඉතාලිය හා මාල දිවයින මුල් 10 අතර නැතත් ඊට ආසන්නව ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත.

      මා ඔබගේ බොජුන්හල දිනපතා (ඔව්, දිනපතා !) බලන අයෙක්. නව ලිපියක් පල වී තිබීම හෝ නොතිබීම එහිදී නිර්නායකයක් වන්නේ නෑ. ලිපියක් පල වී තිබුණොත් සිදු වන්නේ එහි රැඳී සිටින කාලය දීර්ඝ වීමයි. එසේ නැතිනම් ප්‍රතිචාර පමණක් බැලෙයි. අප විසින් ප්‍රතිචාරයක් දැමෙන්නේ එය අපටත් ඔබටත් ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් පමණයි. හේතුව, අවකාශය සහ කාලය.

      සුබ පැතීම ගැන ස්තූතියි.

      Delete
  2. *ලංකා රාජ්‍යය විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු යටතේ තිබිය යුතුය.
    *එය එක් පාර්ලිමේන්තුවකින් පමණක් පාලනය විය යුතුය.
    *පලාත් සභා අහෝසි විය යුතුය. (සුදුම සුදු අලියෙකි. නැතුවට අවුලක් නැති බව රනිල් උතුමෝ ක්‍රියාවෙනම ඔප්පු කොට අවසන්ය)
    *ගම් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා තවත් ශක්තිමත් විය යුතුය. මධ්‍යම රජයේ ප්‍රතිපත්ති හා තීන්දු ක්‍රියාවට නැගීමේ ඔවුන් සතු හැකියාව හා ශක්තිය වැඩි කළ යුතුය.
    *පාර්ලිමේන්තු ආසන ගණන 25 ට සීම කළ යුතුය. එක් දිස්ත්‍රික්කයකින් එක මන්තිරීවරයෙකු හොඳටම ප්‍රමාණවත්ය. දැන් 225 ක් සිටියා කියා කරණා මල ඉලව්වක් නැත.
    *මන්ත්‍රීවරයකු වීම සඳහා අවම අධ්‍යාපන සුදුසුකම් හා උපරිම වයස් සීමාවක් නිර්ණය කළ යුතුය.
    *ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරනය හා පලාත් සභා චන්ද එකම දිනක පැවැත්වීමේ ක්‍රමයක් සැකසිය යුතුය. (සල්ලි ඉතුරු වෙයි මයෙ හිතේ).
    * මන්ත්‍රීවරුන් සඳහා දැන් ආරෝපණය කොට ඇති අසීමිත බලතල ඉවත් කොට ඔවුන් ජනතාසේවක (ග්‍රාමසේවක වගේ) මට්ටමට දැමිය යුතුය.
    * පක්ෂ දේෂපාලනය අවසන් කළ යුතුය. සුදුසුකම් ඇත්‍තෝ ස්වාඅධීනව චන්දය ඉල්ලා පාර්ලිමෙන්තු හෝ පලාත් පාලන ආයතනවලට යෑමේ ක්‍රමයක් සැකසිය යුතුය. සියලු පක්ෂ තහනම් කොට අහෝසි කර දැමිය යුතුය.

    එතකොට අපි හැමෝටම ලක්ෂෙට කොඩි දැමිය හැකිය.

    ReplyDelete
    Replies
    1. ඔබ හුවා දක්වන කරුණු ගැන වෙනම කතා කරන්නම්.

      ඉල්ලීමක් කිරීමට කැමතියි.
      වචනයක දෙකක ප්‍රතිචාරයක් නොවී දිගු ප්‍රතිචාර දමන විට අනන්‍යතාවය හැඟවෙන නමක් යොදා ගැනීම වඩා සුදුසුයි. එවිට සංවාදය පැහැදිළිව ඉදිරියට ගෙන යා හැකියි.

      ඔබට ස්තූතියි.

      Delete
  3. නයනෙ - සිතුවිළිFebruary 23, 2019 at 8:34 PM

    සියල්ලට පළමුව ලක්ෂය ලඟා වීම සරළ බසින් කීවොත් ආතල් දෙන ෆන් ලිපි කිසිදා පල නොවූ හරවත් දෑ සඳහාම ඉඩ වෙන්කල, සිය ප්‍රචාරය උදෙසා කිසිදු උත්සාහයක් නොදැක්වූ දෙතිස් කථා වැනි බ්ලොගයක් ලක්ෂය ඉක්මවීම ඇත්තෙන්ම සතුටට කාරනයකි.

    එසේම අප මිත්‍ර ජෝසප් කී පරිදි ඒ ලක්ෂයෙන් බහුතරය අප අපම නොවී විවිධ පුද්ගලයන් වීම එයිටත් වඩා සතුට දනවන කාරනයකි.
    ඒ අප මෙහි කථා කරන දෑ ට ලැබුනු වටිනාකමකි.
    තවත් රචකයන්හට කථා කතුතුමා කරන ඇරයුම තවත් හොඳ ඉදිරි පියවරක් ලෙස මා දකිමි.

    ඉහත ඇනෝ තුමා තම යෝජනාවලියට අංක යොදා තිබුනේ නම් අපට ඉතා පහසුවෙන් අපට ඉන් වෙනස් වන තැන් පමණක් ලියන්නට තිබුනි.

    කෙසේ වෙතත් මා එයට වෙනස්ව දරන මත පමණක් මෙසේ දක්වමි

    ගම් නගර සභා ශක්තිමත් කිරීම මා මේ ක්‍රමය තුල අනුමත නොකරමි.
    මේ සිටින්නේ ගමේ කසිප්පු කාරයන්ට නිල බලයක් ලබා දෙන සභා ක්‍රමයකි. එයත් පක්ෂ වලින් තොරව ගමේ පිළිගැනීමක් ඇති ප්‍රභූන්ගේ සභාවක් හරහා වැටුප් වරප්‍රසාද වලින් තොරව කලයුතුයි.
    මගේ මතය නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගනන 75ක් පමණ විය යුතුය.
    225 හොඳටම වැඩිය
    ඇමති ධූර 15කට සීමා කලයුතුය
    විශ්‍රාම වැටුප් පැරණි අයටද බලපාන පරිදි අහෝසි කල යුතුය.
    සියළු අපේක්ශකයින්ගේ ජීවදත්ත සටහන් ජනතාවට ප්‍රසිද්ධ කල යුතුය.
    ඒකීය රට තුල එක් ජාතියක් එක් නීතියක් දැඩිව ස්තාපිත කල යුතුය.
    සිංහල බෞද්ධ යාගේ සංස්කෘතික උරුමයන් රැකීමට රජය සතු මූලික වගකීමක් විය යුතුය.
    රට පුරා ඇති පුරාවස්තු මධ්‍යම රජයේ වගකීමක් විය යුතු අතර එයට වගකීමෙන් බැඳීසිටීමට නීති සැකසී තිබිය යුතුය
    තව කරුනු දැක්වීමට බලාපොරොත්තු වෙමි

    ReplyDelete
    Replies
    1. ඔබ අපට හැමදාම ශක්තියක් විය. එය අගයමි. ඔබ දක්වන කරුණු වෙනම සාකච්චාවට ගත යුතුයි. ඉහත ඇනෝ ලෙස පැමිණි සහෘදයාට පැවසූ කරුණ මෙතැනට ද අදාළයි. ඉතිං ඔබට කීමට ඇති දේ ඔබ විසින් ලියැවෙන වෙනම ලිපියක තර්කානුකූලව සහ හේතු සහිතව ඉදිරිපත් නොකරන්නේ ඇයි?

      Delete
  4. මම මේ දවස්වල ජාතික ආගමික වශයෙන් වැදගත් වැඩක් කරනවා. එට ඒකට ඔයාලාගේ උදව් අවශ්‍යයි. මේකට සල්ලි යන්නේ නෑ. ඒ වගේම තනිතනිව වැඩ කරන්න තියෙන්නේ. මොලේ හොල්ලන්න විතරයි තියෙන්නේ. මට
    ජෝසප්, කතා තතු, නයනේ තුන් දෙනාගේ ෆේස්බුක් නම් හෝ ඊමේල් අංක එවන්න.
    padmasiri.pathirana@gmail.com

    වැඩි විස්තර පෞද්ගලිකව දන්වන්නම්.

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික විද්‍යුත් ලිපින ප්‍රසිද්ධ ස්ථාන වල පල කිරීම සුදුසු නැත. එසේම අන් අයගේ ලිපින බෙදා හදා ගැනීමද සුදුසු නැත. අප සම්බන්ධ කර ගත හැකි ලිපිනය ඔබට ලැබෙන්න සළස්වන්නම්.

      Delete
  5. අළුතින් බජට්ටුවක් එලි දැකලා. එදා රවී ගේ පලමු බජට්ග්ටුව ගැන මම කිව්වේ පොඩි ඒකාගේ "ළියුම" කියලා "ලියුම" නෙවෙයි.

    අද වෙනකොට ලෝකේ හොඳම මුදල් ඇමතිව ඉවත් කර පත් කර ගත් මෝස්තර නිරූපන ඩිප්ලොමාධාරී විද්වත් ඛේමාගේ කොලුවා විසින් අළුතින් දිරිපත් කොට ඇති බජට්ටුවේ වත ගොත අපේ කතා කතු තුමාගේ දැක්මෙන් විග්‍රහ කෙරෙනවානම් අපූරු යැයි සිතේ.
    බලාපොරොත්තුවෙන් සිටිමි.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !