Friday, January 11, 2013

නීතිය ඉදිරියේ සියල්ලෝම සමානයෝය

පෙරවදන: සකල දඹදිව දිග් විජය කළ අශෝක අධිරාජ්‍යයා බෞද්ධයෙකු බවට පත් වූ ආකාරය දහම් පාසැල් යන කුඩා දරුවෙකු පවා දනී. එහෙත් ඔබ දැන් කියවීමට සැරසෙන කතාව වෙනස් ය. මතකයේ මුල්ලක බොහෝ කාලයක් තිබුණු මේ කතාව දැන් සිහි වීමට හේතුව කාලීන වාතාවරණයයි.

මෙය චීන ජාතික ෆාහියන් භික්ෂුවගේ කතාවක් බව යන්තම් මතක තිබුනත් නිවැරදි මූලාශ්‍රය නොදක්වා ලිවීම නොමැනවැයි සිතා පොත් ගුල ඇවිස්සීමි. සොයන්නාට සම්භ වේ කියන කතාවේ ඇත්තක් තිබේ! පහත කතා ප්‍රවෘත්තිය උපුටා ගැනෙන්ණේ ඩේවිඩ් කරුණාරත්න ශූරින්ගේ රචනාවකිනි. මේ කතාව අඩංගු ග්‍රන්ථය ප්‍රකාශයට පත් වී ඇත්තේ මීට සැට වසරකට පමණ පෙරාතුවය. කරුණාරත්න ශූරින්ට කරන ගෞරවයක් ලෙස කතාවේ කිසි වෙනසක් නොකර ඒ අයුරින්ම ඉදිරිපත් කෙරේ.


කාලිංග කලි කලහයෙන් කැලැල් ලත් චණ්ඩාශෝක රජු පාටලීපුත්‍ර නගරයෙහි නරකයක් ඉදි කරවීය. තියුණු වධ බන්ධන සහිත මේ නරකාවාටය ඉදි කොට ඊට නරකාධිපති කෙනෙකු සොයන අසෝකයන් හට මඩ කඩිත්තක් ළඟදී දිනක් මිනිසෙකු හමු විය. ඔහුගේ සිරුර කළුය. දළ දඬුය. හිසකේ රතුය. නෙත් පිඟුවන්ය. ඔහු දිය කඩිත්තට පය දමා දෙපයේ නියපොතු වලින් දැවැන්ත මත්‍යසයන් මර මරා, එම මසුන් මිරි මිරියේ මැරී මැරී මිරිකෙන තාලයට සිවුරු හඬ ලමින්, ඒ හඬ අසා ලඟට එන පක්ෂීන් ගලින් ගසා මරා ලේ උරා බී හපය අසලින් යන එන අය දෙසට දමා ගසමින්-විනෝද වෙමින් සිටියේ ය. නරකාධිපතියෙකු සොය සොයා සිටි අශෝක අධිරාජයාට නියම මිනිසා මුණ ගැසුණු බව වැටහිණ. එහෙයින් අශෝක රජු දුෂ්ටයන් ශිෂ්ට කිරීමේ වධකාගාරය නොහොත් යම පුරය මේ මිනිසා ගේ භාරයේ තැබූ බව හියූ එං සියං ගේ භ්‍රමණ වෘත්තාන්තය කියන්නේ ය.

පළමු කොට ම මේ නරකයට යවනු ලැබුයේ (අද දින රජාපරාධකාරයන් හෝ චෝදනා ලද වැරදි කරුවන් බන්ධනාගාරයට යවන්නාක් මෙන්) වරද කළ මිනිසුන් පමණක් වුව ද, මනුෂ්‍ය වධය සෙල්ලමක් කොට සැළකූ අසෝක රජු නරකාධිකාරිනට රහසින් ඉඟි කොට, එ මාර්ගයෙන් යන කවර නරයෙකුට වුව ද මාර බන්ධනය පුද කරන්නට නියම කළ බව පාහියන් ගේ ගමන් විස්තරය කියන්නේ ය.

මේ කාලයේ අශෝක රජු චණ්ඩාශෝක නමින් ප්‍රකට විය. අටානූවක් සොහොයුරන් ගේ ගෙළ ලෝහිතයෙන් සන්තර්පිත වූ හෙතෙම රුධිර පිපාසායෙන් තව තවත් පිඩිත වූ සේ පෙනිණි.

"නරකය ඇතුලත දර්ශනීය මල් පල ඇති ගස් මවා-වවා-මහජනයාට එය ඇතුළට එන්නට පෙළඹවිය යුතුයි. එසේ ආ විට ඒ එන හැම කෙනෙකුම මැරිය යුතුයි" යනුවෙන් චණ්ඩාශෝක රජු එක් දවසක් නරකාධිපතියාට නියෝග කළේය.

"මා ආවත් පසු බට නොව ව ! මටත් මරණ වධය දෙව යි!" චණ්ඩාශෝකයෝ එදා විහිළුවට මෙන් වැඩි දුරටත් පැවසුවේ ය. එසේ කීවේ, උස් මිටි කම් නොබලා කා හට වුව ද සම ලෙස දඬුවම් දිය යුතු බව සැලැකැවීම සඳහා ය. එහෙත්-

"හොඳයි හොඳයි!" යන්නෙන් නරක පාලකයා හිස බැමවූයේ හොඳ හිතකින් නො වේ. මාරක චේතනාවෙනි.

එක් දිනක් පිඬු සිඟා වඩිනා භික්ෂූන් වහන්සේ නමක් නරකය ලඟින් ගමන් කරන කල්හි යමපල්ලා උන් වහන්සේ අල්ලා නරකය ඇතුළට ගෙන ගොස් මරණ වධයට සැරසුණේය. එහෙත් එහි සෙසු නරයන් හට දෙනු ලැබූ මරණ වධය ගැන සැලකූ හික්ෂූන් වහන්සේ මරනානුස්මෘතිය වඩා රහත් වී අහසේ පලක් බැඳ වැඩ සිටියහ. වෙනෙකෙකු නොව යමයා ම මෙයින් මවිතයට පත් වූයේ "මේ ආශ්චර්යය බලනු පිණිස එනු මැනවැ!" යි අශෝක රජුට ද දන්වා යැවූයේ ය.අශෝක රාජයා පැමිණියේ ය.

"සමාවන්න දේවයිනි!" යි කියමින් යමරජු කෙටේරිය අතට ගත්තේ ය.

"මග යන එන මහජනයා මුළාවෙන් පොළඹවා නරකය ඇතුළට ගෙන මරණ වධය දෙන්නට ඔබ මට අණ කෙළෙහි ය. ඔබ වහන්සේ පැමිණිය ද මරණ වධය ඔබ වහන්සේට ද දිය යුතුය යි එදා ඔබ වහන්සේ කළ නියෝගය එපරිද්දෙන් ම ඉටු කරන්නෙමි. දැන් ඉතින් ඊට සැරසෙනු මැනවැ" යි යම රජු තෙමේ දත විලිස්සා බැලුවේ ය.

ස්වකිය මරණ වරෙන්තුව කිය වූ යමයා දෙස අශෝකයන් බැලුවේ නො මඳ විස්මයෙනි. එහෙත් දෙතිස් දළයම විලිස්සූ යම තෙමේ කෙටේරිය එසෙව්වේ ය. දැන් දස දහසක් නරයන්ගේ හිස් කඳින් සුනු කොට සැනැහුණු යමයාගේ කෙටේරියේ තලය, ඔසවා ගත් අතෙහි ලෙල දෙන්නේ ය. බැබලෙන්නේ ය.

අශෝක රජු මොහොතක් කල්පනා කළේ ය. "වන්නාටය! නීතිය මා සම්බන්ධයෙන් වෙනස් නොවිය යුතුවාක්‌ මෙන් ම තා සම්බන්ධයෙන් ද වෙනස් නොවිය යුතුය!" කියමින් අශෝක රජු යමයා ගේ කෙටේරිය නිමේෂයකින් සිය අතට ගත්තේ ය.

"මා පැමිණීමට පෙර පටන් තා මේ නරකයෙහි සිටියෙහි ය. තා පළමුකොට මැරිය යුතුය" යි කියමින් එක පහරින් අශෝක රජු යමයා මරා දමා එම මාරක යම පුරයත් එතැනින් ම වසා දැම්මේ ය. එදා ඒ දාමරික ක්‍රියාවෙන් පසු, එතකලුත්, අහසේ පලක් බැඳ වැඩ හුන් මහරහතන් වහන්සේ ගෙන් බණ අසා පැහැදුණු චණ්ඩාශෝකයන් එදා බුඬ භක්තිකයෙකු වී එවක්‌ පටන් ධර්මාශෝක වන්නට පටන් ගත් බවත්, දාමරිකයන් මරණ වධයෙන් නැතිකරනුවට වඩා අහිංසා ධර්මයෙන් ලෝක විජය කිරීම උත්තරීතර බව වටහා ගත් බවත්, මේ විස්මය ජනක පුරාවෘත්තය කියන්නේ ය.


සාමාන්‍යයෙන් ශ්‍රී ලංකික අප අසා ඇති කතාවේ අශෝක අධිරාජ්‍යයා බුදු දහම වැළඳ ගන්නේ සත් හැවිරිදි සාමණේර නමකගේ ඉන්ද්‍රිය ප්‍රසන්න භාවය ගැනත්, උන් වන්සේගේ ධර්ම විශාරද භාවය ගැනත් පැහැදීමෙනි. ඒ සාමණේරයෝ අශෝකයන් විසින් ඝාතනය කරන ලද තමන්ගේම සොහොයුරෙකුගේ පුත්‍රයෙකි. චීන කතාවේ සාමණේරයන් වහන්සේ නමක් නැත.

මේ කතාවේ වැදගත්ම අංගය යම රජු හෙවත් නරකාදි පාලකයාගේ ක්ෂණික නැගීම හා කඩා වැටීමයි. අද ලංකාවේ සිදු වන්නේත් මේ දේ නොවේ යැයි කාට නම් කිව හැකිද?

24 comments:

  1. සිතුවිළිJanuary 12, 2013 at 4:34 PM

    "අද ලංකාවේ සිදු වන්නේත් මේ දේ නොවේ යැයි කාට නම් කිව හැකිද?"


    අහෝ එය එසේම වෙයි නම් ලක් වැසියන් කොතරම් වාසනා වන්තද?

    ReplyDelete
  2. අශෝක රජු නරකාදියක් සැදීම ගැන කතාවක්නම් උපන්තේකට අසා තිබුනේ නෑ. දැන් එහෙම කතාවකුත් දන්නවා. මමනම් ඇත්තටම කනගාටු වෙන්නේ 'යම රජු' ගැනයි. ඒ මිනිහට පිටිසරට වෙලා පුරුදු විදියට පවක් කරගෙන ඉන්න තිබුණු අවස්තාව නැති උනා.

    "මේ කතාවේ වැදගත්ම අංගය යම රජු හෙවත් නරකාදි පාලකයාගේ ක්ෂණික නැගීම හා කඩා වැටීමයි. අද ලංකාවේ සිදු වන්නේත් මේ දේ නොවේ යැයි කාට නම් කිව හැකිද?"
    --- මේ ව්‍යංගයෙන් කියන්නේ අලුත්කඩේ නාඩගම ගැන විය යුතුයි. මා මෙසේ කියා කතාවේ උත්ප්‍රාසය සිඳ දැම්මාද?

    ReplyDelete
    Replies
    1. kade yanawa kiyala mehemath kade yaamak... anthimata umbalatath maharajaa kelapu dawasata e gana kathaa karanna kawuruth naa... eka mathaka thiya ganilla thopi siyalloma..

      Delete
    2. සිතුවිළිJanuary 13, 2013 at 1:00 PM

      ජෝසප් ඔබට මතක් උනේ අළුත්කඩේ නාඩගමද? මට මතක් උනේ කැළනියේ නාඩගම, මම හිතන විදියට මේ කථාවට ඔය කොයි නාඩගමත් ගැලපෙනවා.

      Delete
    3. කැලණියේ නාඩගම මට පොඩ්ඩක්වත් මතක් උනේ නෑ, මට හිතුනේ අලුත්කඩේ එක විතරයි. හික්... ඇත්තටම සිතුවිළි කිව්වට පස්සේ ඒකටත් ගැලපෙන බව සිතුනා.

      මේ ඇනයා කවුද? මචං මොකක් හරි නමක් දාගෙන වරෙන්, මේක සී නිවුස් වගේ බුරාගෙන පනින තැනක් නොවේ.

      Delete
    4. සිතුවිළිJanuary 13, 2013 at 9:13 PM

      ජෝසප්,
      ඔය ඇනයා ගැන කියපු කථාවට හරි,
      අපි ආණ්ඩුව විවේචනය කරන කොට එක පිරිසක් අපිව විපක්ශයට කඩේ යන්නෝ කරනවා, විපක්ෂේට සම්බන්ධ උන් අමන මෝඩ වැඩ කරන කොට ඒක විවේචනය කලහම ආණ්ඩුවට කඩේ යනව කියනවා.
      මේ වගේ අමන ඇණයෝ මටත් පෙන්නන්න බැහැ.

      Delete
  3. මේ කතාවට ප්‍රස්තුත වන්නේ ජොසෙෆ් හඳුන්වා දුන් 'අලුත්කඩේ නාඩගම' තමයි. සිතුවිළි අමනාප නොවේ යැයි සිතමි. කැලණියේ නරි නාටක මේ කතාවේ සන්ධර්භය හා ගැළපෙන්නේ නැත.

    මේ අඩවියේ ප්‍රතිචාර දක්වන්නේ ප්‍රධාන වශයෙන් ඔබ දෙදෙනා නිසා මා ලිපියේ නොලියා සිටි විවරණය දැන් ලියමි.
    ---

    ලෝකයේ පවතින අප දන්නා සියළු පාලන ක්‍රම වල පොදු ලක්ෂණය නම්, පාලකයා මුලින් බිහි වීමත්, පාලකයා පාලිතයන් තමා වෙත අවනත කර ගැනීම පිණිස 'නීතිය' නම් උපකරණය නිර්මාණය කිරීමත්, එය ක්‍රියාවේ යෙදවීම පිණිස අධිකරණ හා වෙනත් ආයතන පිහිටුවීමත්ය. ශුද්ධ සිංහල පාලන ක්‍රමය හෙවත් ජන සම්මතවාදය මින් වෙනස් බව සිතමි. මේ ඒ ගැන සාකච්ඡා කිරීමට කාලය නොවේ - නූතන ලංකාවේ පවතින්නේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ප්‍රජතන්ත්‍රවාද වල මිශ්‍රණයක් මිස පැරණි ජනසම්මතවාදයේ විකාශනයක් තුලින් බිහි වූ පාලන ක්‍රමයක් නොවන හෙයින් ඒ ගැන මෙහි කතා කළ යුතු නැත.

    පවතින ක්‍රමයේදී පාලකයා එම තත්වයට පත් වීමට ගත් ක්‍රියා මාර්ග හෝ එම ලබා ගත් තත්වය හෝ අභියෝගයට ලක් නොකෙරේ. මේ ක්‍රමය යටතේ කිසිම රටක අධිකරණයට පාලකයා 'නිෂ්ක්‍රීය' හෙවත් බල රහිත කළ නොහැක. පැරණි රසාංගයක, "රජ්ජුරුවෝ, රාජ උයනේ ඇති පිනි ජම්බු ගසින් ගෙඩි කැඩීම් තහනම් කර ආඥාවක් පැනෙව්වොත් ඒක රජ්ජුරුවන්ටත් බලපානවදැයි" පුරෝහිත රාජ පුරුෂයෙකුගෙන් අසන දර්ශනයක් මට මැවී පෙනෙයි. මොන මොන ලස්සන වචන වලින් විස්තර කළද, නීතිය කිසි විටෙක පාලකයා මත අධිපත්‍යය නොදරයි. පාලකයා නීතිය මත අධිපත්‍යය දරයි. නීතිය සාදන්නේ පාලකයාය. නීතිය බල පවත්වන්නේ පාලිතයා මතය.

    එහෙත්, මේ සනාතන ධර්මය නීති විද්‍යාලයේ ඉගැන්වෙන්නේ නැති නිසාදෝ, නොහොත් ස්වකීය අසීමාන්තික උද්ධච්ඡ කම හෝ නිසාවෙන් හෝ නැතිනම් බාහිර බලපෑම් හේතු කරගෙන හෝ සමහරු මීට එරෙහිව යාමට තමන්ට හැකි යැයි සිතති. එය බොළඳ සිතිවිල්ලක් බව මේ අය වහ-වහා අවබෝධ කර ගනිති. නීතිය ක්‍රියාත්මක කරවන අය නීතියට යටත් හුදියන් වෙත දක්වන සැළකිල්ලම නීතියට යටත් නැති පාලකයාට දැක්වීමට ගිය කළ වැඩ වැරදෙන බව අශෝක රජු හා නරකපාලයා ගේ කතාවේ හරයයි.

    අශෝක රජු නරකය සෑදවීය; පාලකයෙක් සොයා ගත්තේය; ඇතුළු වන්නන්ට මරණ වධය දීමට නීති පැනවීය. නරකපාලට තිබුනේ ඒ නීතිය ක්‍රියාත්මක කිරීම පමණි. "මා ඇතුළු වුනා කියා මා මරයි නම් මට පෙර ඇතුළු වූ තා ද මැරී සිටිය යුතු නොවේදැයි" නරකපාලගෙන් ඇසීමට හුදියන්ට අයිතියක් නැත. ඒ රජ්ජුරුවන්ගේ නීතිය වන බැවිණි; ඒ නීතිය නරකපාල විසින් ක්‍රියාත්මක කරන බැවිණි. එහෙත් රජු කෙරෙහි එම නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය පළමු ක්ෂණයේම එම නීතියම නරකපාලයා කෙරේ ද බලාත්මක වීම සිදු විය.
    ... මතු සම්බන්ධයි ...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අද ප්‍රතිනිර්මාණය වන්නේ එම සිද්ධියමයි. අගවිනිසුරුවරිය දැන් හෙළි කෙරෙන විෂමාචාර කරමින්ම එම ධුරයේ රැඳී සිටියාය.මේ අගවිනිසුරුවරිය පමණක් නොව ඊට පෙර සිටි අගවිනිසුරුවරයෙක් ද එසේම විෂමාචාර වලින් යුක්තව සිටි බව විශ්‍රාම ගත් පසු ඔහුට එරෙහිව පැවරුණු නඩු තොගයෙන් පෙනේ. ඔහු තනතුරේ සිටින විට හුදියන්ට ඊට එරෙහිව කළ හැකි කජ්ජක් නැත. නඩුත් හාමුදුරුවන්නේ බඩුත් හාමුදුරුවන්නේ යැයි කියා උහු හිත හදා ගත්හ. එහෙත් එහෙත් දිවි නැගුම ගැන දුන් තීන්දු වලින් වර්තමාන අගවිනිසුරුවරිය නරකපාලයා කර ගත් වැරැද්ද කළාය.

      ලංකාවේ පාලකයා කවුද, ලංකාවේ පාලකයා තනි පුද්ගලයෙකු නොවේ. ලංකාවේ පාලකයා යනු ජනාධිපති හා පාර්ලිමේන්තුවයි. මේ කොටස් දෙකම එකට ගත් විට පමණි පාලකයා නිර්මාණය වන්නේ. විධායක බලතල ජනපති සතුවත් ව්‍යවස්ථාදායක බලතල පාර්ලිමේන්තුව සතුවත් පවතී. නීති සාදන්නේ පාර්ලිමේන්තුවයි. එම පාර්ලිමේන්තුවම නීති ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ පිහිටුවා එකී අධිකරණ වලට බලතල පවරා ඇත. උසස් අධිකරණ වලට විනිසුරන් පත් කරන්නේ ජනාධිපති වේ. මෙකී සන්ධර්භය තුල ලංකාවේ පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිට හෝ නියෝග දීමට ඒවායේ කටයුතු ගැන තීරණ දීමට අධිකරණයට බලයක් නැත.

      අධිකරණය හිටපු කොටින් විසින් ඉදිරිපත් කළ පෙත්සම් පිළිගනිමින් ලංකාවේ පාර්ලිමේන්තුවට ලංකාවට බලපාන නීති පැනවිය නොහැකි යැයි තීන්දු කළාය. මෙය අධිකරණය කර ගත් වැරැද්දකි. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා වැනි විචක්ෂණ පුද්ගලයෙක් මේ ධුරයේ සිටියානම් මේ තීන්දුවම වුවත් මීට වඩා තීක්ෂණ බුද්ධියකින් යුක්තව තෝරා ගත් වචන වලින් ලියා දීමට හැකියාව තිබිණි. පාර්ලිමේන්තුව ඇත්තේම නීති සැදීම පිණිසයි, නීති සැදිය නොහැකි පාර්ලිමේන්තුවක් කුමකටද? පාර්ලිමේන්තුව විසුරුවා ඒ බලය පළාත් සභා වලටම දුන්නොත් අඩුවක් වේද? තවත් පැත්තකින් බැලුවොත් ලංකාවේ පාර්ලිමේන්තුවට ලංකාවට නීති පැනවීය නොහැකිනම් ලංකාවට නීති පනවන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන්ද?

      මේවා අධිකරණය විසින් දුන් තීන්දුවෙන් හුදියන්ට ඇති වන ප්‍රශ්න වේ. නමුත් ඒවා ඇසීමට අපට හැකියාවක් නැත. පාලකයාට එවැනි බාදා නැත. නීති සාදන්නේ පාලකයාය. ලංකාවේනම් පාර්ලිමේන්තුවයි. ඊට ඉහලින් කිසිවක් තිබිය යුතු නැත. නැතිනම් පාලනය ගිලිහී ගොස් රට අරාජික වන බැවිණි. ප්‍රශ්නයේ මූලය හඳුනා ගත් පාලකයා විසින් අධිකරණයට එරෙහිව එතෙක් කුම්භකරණ නින්දේ සිටි නීතිය අවදි කෙරිණි. අද අපට දිස් වන්නේ එහි ප්‍රතිපලයි.
      ---

      හෙට ලංකාවේ සිදු වීය යුත්තේ ඉහත කතාවේ සිදු වූ පරිදි පාලකයාගේ පූර්ණ ප්‍රතිසංස්කරණයකි. මීට විෂමාචාර චෝදනා නැති අයෙක් නව අගවිනිසුරු ලෙස පත් කිරීමත් මෙවැනි ගැටළු නැවත මතු නොවන ලෙස කටයුතු සැලසීමත් ඇතුලත්ය. පාලකයා (පාර්ලිමේන්තුව සහ ජනපති) ද විෂමාචාර රහිත වීම සිදු වීය යුතුය. එහෙත් සිදු වෙමින් පවතින්නේ කුමක්දැයි පැහැදිලි නැත. පැහැදිලි නැතුවා පමණක් නොව, අප වැනි හුදියන්ට මෙහි භූමිකාවක්‌ ද නැත.

      අශෝක රජු නරකය වසා දමා තමන් ද පූර්ණ වශයෙන් ම වෙනස් පුද්ගලයෙක් බවට පත් විය. ජෛන දහම හැර බුදු දහම් වැළඳ ගත්තේය. දිග්විජය හැර දමා දහම් විජය මග තෝරා ගත්තේය. රට වැසියෝ මාගේ දරුවෝය, යන ප්‍රතිපත්තිය රාජ්‍ය පාලනය තුලට ඇතුල් කර ගත්තේය. දශරාජ ධර්මය අනුව රාජ්‍ය ප්‍රතිපත්තිය සකස් කර ගත්තේය. ලංකාවේද සිදු විය යුතු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය එවැනි එකකි.

      තවත් එක් කරුණක් ඇත. මෙහි සඳහන් නොකළත් අශෝක රජු කර ගත් වැරදිද ඇත. ඒවා ගැන දැනගෙන පාඩම් ඉගෙන ගෙන ඒවා නොකර සිටීමට ද වර්තමාන පාලකයන් ඥානවන්ත විය යුතුය.

      Delete
    2. ඔය වගේ කතාවක් Sith විසින් cnews එකේ කියල තිබුණා. මම ඔය අංශෙ ගැන වැඩිය නොහිතා හිටියේ පහුගිය ටිකේ. මට මම ලියපුවවත් මතක නෑ. ඇත්තටම ඔබත් කියන පරිදි "අප වැනි හුදියන්ට මෙහි භූමිකාවක්‌ ද නැත" කියන එක තමා මගෙත් අදහස. ඉතිං ඒ ගැන හිත හිතා නාස්ති කර ගන්න කාලයක් අපිට නෑ.

      සිතුවිළි ඔබ සමග අමනාප නොවන බවත් ස්ථිරවම කියන්න පුළුවන්. මොනවා උනත් හොඳ විග්‍රහයක්. cnews එකේ බලු පොර කාරයෝ මෙතනට කඩන් වැටුනොත් (ඇනයා වගේ උන්) මෙතන ගිනි විජ්ජුම්බරයක් බලා ගන්නත් පුළුවන්.

      Delete
    3. සිතුවිළිJanuary 15, 2013 at 8:45 AM

      ජෝසප් ඔබ අනුමාන කල පරිදි මම අමනාප ගොඩ ගහන්නේ නැහැ. අනෙක මේ දේශපාලන කථා ගැන මම වැඩිය මේ දිනවල වද උනෙත් නැහැ. ඉතින් මේ වගේ බරපතල දේශපාලන විග්‍රහයක් ආවහම එක වරටම ඔළුවට ආවේ ඊයේ පෙරේදා අහපු අපේ රජතුමාගේ යමයා ඇනගත්තු හැටි, හැබැයි ඒ යමයා රජ්ජුරුවන්ට කඩුව ඉස්සුවේ නැහැ කියන තර්කය මගේ ඔළුවට ආවේ නැහැ. ඌ කඩුව ඉස්සුවේ රජ්ජුරුවන්ගේ තවත් එක බත් බැලයෙකුට විතරයි.
      මේ කථාවේ මාතෘකාව නීතිය ගැන කියන එකත් මට මොහොතකට අමතක වුනා මගෙ හිතේ!

      Delete
    4. අපේ කැළණියේ යමයට අධිකරණ බලතල තිබුනේ නෑ, ඒත් අශෝකගේ යමයට තිබුණා. ඒ වගේම සියළු දෙනාටම සැළකිලි පොදුයි කියන කතාව කැළණියේ එකාට අදාළ නෑ, අශෝක තමයි විහිළුවට වගේ කියන්නේ "මා ආවත් පසු බට නොව ව ! මටත් මරණ වධය දෙව යි!" කියලා. ඒ ලක්ෂණය අදාළ වෙන්නේ ලංකාවේ අධිකරණයටයි. අන්තිම කාරණේ තමයි "වන්නාටය! නීතිය මා සම්බන්ධයෙන් වෙනස් නොවිය යුතුවාක්‌ මෙන් ම තා සම්බන්ධයෙන් ද වෙනස් නොවිය යුතුය!" කියන එක.

      අධිකරණය මොකද කළේ දිවි නැගුමේදී? දිවි නැගුම කියන්නේ මහ ලොකු දෙයක් නෙමේ. ඒත් අධිකරණය දුන්න තීන්දුව පක්ෂපාත වෙන්නේ රටින් කෑල්ලක් කඩල ගන්න හදපු ත්‍රස්තවාදීන්ට මිස රටට නොවෙයි. මේ රජයට බෑ ඒවට ඉඩ දෙන්න, මොකද මේ රජයේ ස්ලෝගන් එක තමයි නැති වෙන්නේ... අන්න ඒ නිසයි අධිකරණය රජයට එරෙහිව පාවිච්චි කළ ව්‍යවස්ථාවම පාවිච්චි කරලා අර මෝඩ තීන්දුව දුන් අගවිනිසුරුවරිය ගෙදර යවන්නේ.

      පරණ යමයට ජීවිතය නැති උනා... අළුත් යම නෝනට පැන්ෂන් එක නැති වෙයි නේද?

      Delete
    5. සිතුවිළිJanuary 15, 2013 at 12:48 PM

      පැන්ශන් එකත් නැහැ, දූශන චෝදනාවකට තනතුරින් පහ කල නිසා අළුතින් කිසිම පත්වීමක් ගන්නත් බැහැ.
      මම හිතන්නේ කිසිදු ජාත්‍යන්තර ආයතනයකටත් තනතුරක් දෙන්න බැහැ.
      තුට්ටු දෙකෙ කුනු එන් ජී ඕවක නම් තනතුරක් දෙයි හොඳ ඩොලර් කුට්ටියකුත් එක්ක රටට විරුද්ධ වෙලා මත පතුරුවන්න

      Delete
  4. මේ කිඹුල් කඳුළු නොවේ... ඈ අද කළ පුවත් ප්‍රකාශය නම් සිත අනුකම්පා උපදවයි. එහෙත්, තම තරම නොදැන සිටීමත් කාගේ හෝ රැවටුම් බහකට රැවටීමත් නිදහසට කරුණු නොවන බව ඈ සිය තනතුරේ කටයුතු කරන විට අප ඇසුවානම් කියා දෙනු ඇත.

    එසේම අප බලාපොරොත්තු වූ පරිදි අශෝකයන් කළ ලෙස පූර්ණ ප්‍රතිසංවිධානයක් වෙත යාමටද මහ වාසලේ අභිප්‍රායක් නොමැති විවිධ චෝදනා ලත් තැනැත්තෙක්ම ඒ තනතුරට පත් කිරීමෙන් පෙනෙයි. සමහර විට හුදී අප නොදන්නවා වූවාට තුන් කල් දක්නා මහරජාණන් වහන්සේ ඊළඟ දෝෂාබියෝගයට දැනටත් අත්සන් එකතු කරනවා වන්නට පුළුවන.

    වන්නාටය, ගැත්තාට අනුකම්පා කරන සේක්වා ! මින් මනතට මේ ගැන කතාවක් අපේ නැත.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා... ඒත්, මට මෙහෙම දෙයක් හිතෙනවා.

      දැන් අර මැතිණිය කොහොමින් හරි අයින් කර ගත්තනේ, එයා ජරා කරපුවා සුද්ද කරන්න ඕනේ. ඒ කියන්නේ 'කොටි සහායකයෝ' ගහපු පෙස්සන්... 'කොටි' දාපු මානව හිමිකම්... විතරක් නොවෙයි, තව බොහෝ දේ...

      මෙන්න මේවා සුද්ද කර ගන්න දාන්න ඕනේ ඒවාට ඔබින මිනිහෙක්. කිළුටු ගොඩක් තියෙන තැනකට යවන්නේ හේනයෙක්, ජරා ගොඩක් තියෙන තැනකට යවන්නේ සක්කිලියෙක්. දැන් දාල ඉන්න මැතිතුමා වෘත්තීය අපුල්ලන්නෙක් ලෙස නමක් දිනා ගත් පුද්ගලයෙක්. එයා ඔතන සුද්ද කළාට පස්සේ පුළුවන් ඉතුරු වැඩ කරන්න කෙනෙක් දාන්න. එහෙම නැතිව එක පාරටම අවංක, නීතියට වැඩ කරන, ඒත් කාගේවත් උදව්වක් නැති (එහෙම තමයි විනිසුරු වරු ඉන්න ඕනේ - අන්න ඒකයි අපක්ෂපාති කියන්නේ - නැතුව ජනාධිපති රැස්වීමට එන්න කිව්වාම බෑ කියන එක නොවේ. මෙයා ජනාධිපතිට 'බෑ', හැබැයි ඩිස්කවුන්ට් 'හා' !) කෙනෙක් දැම්මනම් ඕක ඇතුලේ තියෙන ජංජාල එක්ක මිනිහට වැඩ කරන්න වෙන්නේ නෑ වැඩි කාලයක්.

      Delete
    2. සිතුවිළිJanuary 16, 2013 at 7:35 AM

      කේගේ අදහස හොඳයි, හේතු සහිතයි
      මින් මතු මේ ගැන අපගේ කථාවක් නැත.

      Delete
    3. "කිළුටු ගොඩක් තියෙන තැනකට යවන්නේ හේනයෙක්, ජරා ගොඩක් තියෙන තැනකට යවන්නේ සක්කිලියෙක්."

      ඔව් ජොසෙෆ් කියන දේ නිවැරදි නොවෙන්න බෑ.

      ඒ වගේම අපක්ෂපාති කම ගැන කතාවනම් රටක් වටිනවා. විනිසුරෙක් අපක්ෂපාති වෙලා විතරක් හරි යන්නේ නෑ, එයා අපක්ෂපාති කියලා වටේ ඉන්න මිනිස්සුන්ට දැනෙන්නත් ඕනේ. විනිසුරෙක් අපක්ෂපාති කියල කවුරු හරි චරිත සහතික දෙන්න එනවනම් ඒකම ශාක්ෂියක් එයා අපක්ෂපාති නෑ කියල කියන්න. ඒක ස්ටීව් බක්නර්ටත් එකයි, ඩරල් හෙයාටත් එකයි, මොහාන් පීරිස්ටත් එකයි.

      Delete
  5. ඔය තියනේ, අහුමුලු වලට වෙලා ඉන්නේ නැතුව බැරිද කට්ටියටම එලියට බහින්න, රට හදන්න!

    ReplyDelete
    Replies
    1. රට හදන්න ගිහිං පන රැකුනොත් ලොකු දෙයක්...
      දැන් මේ අබුද්දස්ස කාලේ රට හදන්න කියාගෙන එන අයියල කරන්නේ තමන් හැදෙන එක කියලා මිනිස්සු දන්නවා... ඒ නිසා ඊට නරකද තමන් දැනට කරන කටයුත්ත හරියට කරන එක. රාජකාරිය හරියට කරනවානම් ඒකත් රට හැදීමක් තමා.

      Delete
    2. ඒක ඇත්ත, එළියට බැහැල රටවල් හදන්න හැකිනම් ජෙප්පෝ සහ අන්තරේ පාරවල් වහගෙන ඩෙඟා නටන විදියට මේක සුරපුරයක් වෙලා තිබිය යුතුයි. මාස තුනේ සීයට හයේ අධ්‍යාපන වසන්තෙන් රට කොපමණ ප්‍රමාණයක් හැදුනද කියා ඔබම කල්පනා කර බලන්න.

      තව දෙයක්:- ඔබේ බුදුපිළිම වෙබ් අඩවිය සහ Beautiful Sri Lanka චායාරූප එකතුව මනරම්. තව දියුණු වේවා කියා පතමි.

      Delete
    3. දිරි ගැන්වීමට ගොඩක් ස්තූතියි෴

      Delete
  6. සිතුවිළිJanuary 17, 2013 at 1:44 PM

    ජෝසප්
    බුදු පිළිම අඩවියට යන පාර අපිටත් කියන්න, බුදු පිලිම ඡායා රූප කියන්නේ මමත් බොහොම කැමති විශයයක්.

    ReplyDelete
    Replies
    1. බිංදුවගේ නම උඩ කොටන්න (Click). My blogs යටතේ මම කියූ blog දෙක ඇත.
      හොයන්න කම්මැලි නම් මගේ නම උඩ කොටන්න. කෙලින්ම බුදු පිළිම වෙත...

      Delete
    2. සිතුවිළිJanuary 17, 2013 at 5:38 PM

      ජෝසප්,
      බොහෝම පින්, ගිහින් බැලුවා නිදහසේ ආයෙත් වෙලාවක යන්න ඕනේ.
      මම කොම්පුටරේ කොටන්න ඒ තරම් දක්ශයෙක් නෙවෙයි, ඒක හින්දා ඕවා හොයන්න ක්‍රම මතක් වෙන්නේ නැහැ. බිංදු කැමතිනම් ක්‍රමයක් තියෙනවානම් අපිටත් යම් පින්තූර ලබා දෙන්න පුළුවන් වේවි. ඒ මගින් ඔහුගේ එකතුව පුළුල් කළ හැකි වේවි.

      Delete
  7. සිතුවිලි, අපි බලමු ඉදිරියේදී සහයෝගයෙන් වැඩකරලා බුදුන් වැඩිය මේ පිං බිමේ වටිනාකම ලොවට කියන්නට!

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !