Thursday, May 16, 2013

නාම ගොත්ථං න ජීරතී !

සිරිසේන වෙද මහත්තයා කරගෙන යන්නේ කථාවක්ද නැත්නම් පම්පෝරියක්ද කියලා මම බලා උන්නා, උන්නැහැට අනුව මේ දහම් පාසැල මීට අවුරුදු හතලිහකට කලින් පටන් අරන් තියෙන්නේ උන්දැගේ තාත්තා. හැබැයි වැඩේ මම කරපු ගානට තමයි කථාව. මම අහල තියෙන හැටියටත් අපි පුංචිකාලේ දහම් පාසැල් ආපු මේ ගොඩනැගිල්ල හදල දීලා තියෙන්නේ ලොකු වෙදමහත්තයා තමයි. අපි කුඩා උන් කාලේ මේ ගොඩනැගිල්ල තිබුනේ නැහැ. එතකොට දහම් පාසැල තිබුනේ ඉස්කෝලෙ වත්තෙමයි.

ඒ කියන්නේ මේ හතලිස් වසරක් කියන්නේ ඒ කාලෙත් එක්කම වෙන්න ඇති.

කථාව හරියට කිය උනේ ලොකු හාමුදුරුවන්ගේ කතාවෙදි තමයි.

අපේ ගමට දහම් පාසැලක් නොතිබුනු නිසා කනගාටු වුනු ඒකාලේ අපේ ගමේ ඉස්කෝලෙ උගන්නන්න ඇවිත් හිටපු අනුරාධපුරේ හේරත් මහත්තයා තමයි මුලින්ම මේ වැඩේ පටන් අරන් තියෙන්නේ. ඒ මහත්තයා හිටපු ලොකු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන ඉස්කෝලෙම දහම් පාසැල පටන අරන් තියෙනවා. එතකොට නම නිකම්ම "දහම් පාසැල" විතරයි.

ඔහොම අවුරුදු තුන හතරක් යනකොට හේරත් මහත්තයාව ගමට මාරු කරලා, ඒ වෙලාවේ තමයි එතකොට හිටපු අපෙ වයසක ලොකු හාමුදුරුවෝ වෙදමහත්තයාටයි තව ගමේ කට්ටියට කියලා පාසැල් වත්තේ ගොඩ නැගිල්ලක් හදලා දහම් පාසැල පටන් අරන් තියෙන්නේ. එතකොට මේකට නම් කරලා තියෙන්නේ "රාහුල දහම් පාසැල" කියලා. අපි යන කාලේ ඒක තිබුනේ එහෙම තමයි.

ඊටත් කලකට පස්සේ පොත් ගුලක් එහෙම හදලා පන්ති කාමර වැඩි කරලා ගුරු මණ්ඩලේ එහෙම වැඩි උනාට පස්සෙ තමයි මේක "ධර්මගවේශි ධර්ම විද්‍යාලය" කියලා අපේ දැන් ඉන්න ලොකු හාමුදුරුවෝ වැඩි දියුනු කරල අරන් තියෙන්නේ. ඒ මීට අවුරුදු දහයකට විතර උඩදී. ඔන්න ඔහොමයි දහම් පාසැල අද තියෙන තැනට ඇවිත් තියෙන්නේ.

එතකොට මේක පටන් අරන් තියෙන්නේ හේරත් මහත්තයා ඒ මහත්තයා මේක පටන් ගත්තේ ඇයි කියලා අද ඉන්න කවුරුවත්ම හරියට දන්නවා ඇතිද ? මට නිකමට හිතුනා.

ඒ අවුරුදු හතලිහකට කලින්. ඒ මහත්තයා දැන් ජීවතුන් අතරද කියලවත් දන්නේ නැහැ. එතකොට ඒ දහම් පාසැල පටන් ගත් බිමත් මේක නෙවෙයි ඉස්කෝලෙ වත්තේ. එදා පාවිච්චි කල ගොඩ නැගිලි කොහොමත් දහම් පාසැලට අයිති නැහැ. එදා හිටිය අනිත් එකම ගුරු වරයා වෙලා තිබුනේ අපේ හිටපු ලොකු හාමුදුරුවන්ගේ තනිකඩව හිටපු මල්ලි, ඒ මහත්තයාත් වලපල්ලට ගිහින් දැන් හුඟ කල්. එදා දහම් පාසැලේ නමත් ධර්ම ගවේශි ධර්ම විද්යාලය නෙවෙයි. එතකොට මොකකටද අවුරුදු හතලිහක ඉතිහාසයක් තියෙන්නේ. පටන් ගත්තු නමත් නැහැ, මිනිස්සුත් නැහැ, තැනත් නැහැ, ඒත් ඉතිහාසයක් තියෙනවා.

එක පාරක් මල ගෙදරකදි තිලක් අයියා කියපු කථාවක් මට මතක් උනා, ගොවි මහත්තයෙක් හිටියලු උන්දෑ කියනවාලු උන්දැගේ උදැල්ලට වයස විසි පහක් කියලා හැබැයි බැලූ බැල්මට අළුත් උදැල්ලක්ලු. ඉතින් අහලා බැලුවහම අවුරුදු විසි පහකට කලින් උදැල්ලක් ගත්තලු ඊලඟ අවුරුද්දේ අළුත් මිටක් දැම්මලු. ඊඅලඟ අවුරුද්දේ තලේ ගෙවිලා හින්දා අළුත් තලයක් දැම්මලු. ඔය විදියට අවුරුද්දක් හැර අවුරුද්දක් තලයකුයි මිටකුයි මාරු කරනවාලු. හැබැයි එකම උදැල්ල තමයි උන්දෑ පාවිච්චි කරලා තියෙන්නේ. එදා ඒ කථාවට අපි හැමෝම බඩ අලාගෙන හිනා උනා. ඒ උනාට දැන් මට හිතෙනවා මේ දහම් පාසැලේ ඉතිහාසෙයි අර උදැල්ලේ කථාවයි මොකක්දෝ හේතුවක් නිසා එක වගේ කියලා.

මට නොතේරෙන මොකක් හරි අවුරුදු හතලිහක් තිස්සේ තියෙන්න ඇති අන්තිමට මම හිතාගත්තා.

19 comments:

  1. දැන් කාලේ අපේ මහ රජතුමා රොබට් ඕ බලෙක් මහත්තයට කොල්ලුපිටියේ නවාතැන් සපයල දුන්නට ඒ කාලේ අපේ මහා රජතුමා රොබට් අයියෝ නොක්ස් මහත්තයට නවාතැන් දීල තිබුණේ බණ්ඩාරකොස්වත්තේ. බණ්ඩාරකොස්වත්ත පිහිටලා තියෙන්නේ වාරියපොලයි - හෙට්ටිපොලයි අතර. දැන් නම් මේක මුස්ලිම් ජනපදයක්, ඒත් මීට අවුරුදු විස්සකට විතර ඉස්සර නම් අමු සිංහල ගමක්. මේ ඒ කාලේ කතාවක්.

    ඔන්න ලංකාදීප පත්තරේ කොබෙයිගනේ වාර්තා කරු ගෙනාවලු ප්‍රවෘතියක්. මොකද්ද ඒ, රොබට් නොක්ස් ගේ උදැල්ල හම්බ වෙලා. හම්බ වෙලා කිව්වට හම්බ වෙලා නෙමේ. උදැල්ලකට ජාතියක් ජන්මයක් කොයින්ද. මේ කියන්නේ රොබට් නොක්ස් ඒ කාලේ පාවිච්චි කරපු උදැල්ල බණ්ඩාරකොස්වත්තේ ගැමි ගෙදරක තියෙනවා කියන එකයි.

    ඉතින් ඔන්න වාර්තාකාරතුමා කොලොඹටත් දැනුම් දීලා චායාරූප ගන්න කණ්ඩායමකුත් අරන්, පොලිසියටත් දන්වලා, පුරා විද්‍යා එකටත් කියලා පිටත් උනාලු, බණ්ඩාරකොස්වත්තට. කොහොමින් හරි, වැව් ඉවුරු වලින් ගිහිල්ලා, වෙල් එලි දිගේ ඇවිදලා, බඩවැටි වලින් රිංගලා, ඕවිටි අස්සෙන් කොහොමින් කොහොමින් හරි හොයා ගත්තලු ගම ගේත්.

    ගමයත් ඉන්නවලු විටක් හෙම කාල දත් විලිස්සන්. මිනිස්සුත් මේ ආරංචියට ඇවිත් වට උනාලු. ඉතින් ඉස්සර වෙලාම ගමයා උදැල්ල අරන් පෙන්නුවලු කට්ටියට. පත්තර කට්ටියත් හරව හරවා පොටෝ ගත්තලු. දැන් ප්‍රශ්න අහන වෙලාව.

    ගමය ඉතින් ඇහින් දැක්කා වගේ එංගලන්තේ විස්තරත් එක්ක කිව්වලු, උදැල්ල ගැනත් පුරාජේරුව කිව්වලු. මේවා මෙහෙම යන අතරේ... කොළඹින් ආපු එක මහත්තැන් කෙනෙක් ඇහුවලු...
    "ගම මහත්තයෝ... මේ උදැල්ල එච්චර පරණ පාටක් නෑනේ. ඒ කාලේ ඉස්තරම් බාන්ඩ නේද ?"

    "නැහ්" ගමයා උත්තර දුන්නා... "මං ගිය කන්නේ අලුත් මිටක් හයි කළා.. ආයිබෝං !"

    "නෑ මං කිව්වේ මේ උදළු තලෙත් වැඩිය ගෙවිලා නෑ..." අර මහත්තැන් නැවතත් කීවා.

    "තලෙත් දැන් කීප වංගියක්ම මාරු කරලයි ඇත්තේ !" ඒ ගමයා.

    ReplyDelete
    Replies
    1. සිතුවිළි,
      ඔබේ දායකත්වයට ස්තුතියි. මා ඉහත දැක්වූයේ උදැල්ල ගැන අප අසා ඇති කතාවයි.

      Delete
    2. රොබට් නොක්ස්ගේ කතාවත් සිතුවිලිගේ කතාවටම ගැලපුවනම් 'විනෝද සමයං' වලටත් දාන්න තිබුනා.

      Delete
  2. ඔහෙප්පලයං !
    හීන් සෑර් එහේ කවියෙක් වෙලා...
    සිතුවිළි මෙහේ ලේඛකයෙක් වෙලා...
    ආතර මාමා අතුරුදහන් වෙලා...
    මං බයිලා කියවනවා.
    අයියෝ සල්ලි ! ! !

    ReplyDelete
  3. සිතුවිළි,
    ආනන්දය අවුරුදු 137 පමණ පැරණි බැව් මා අසා ඇත. රෝයල් කොලීජිය කොපමණ පැරණිදැයි දන්නේ නැත. දෙවනුව කී පාසල පටන්ගත් දින සිට එතැනම තිබෙන්නට ඇතැයි උපකල්පනය කළොත් ආනන්දය ගැන කිව හැක්කේ කුමක්ද?
    ඒ කතාවක් ඉහත ප්‍රබන්ධයේ දහම් පාසැලේ කතාවත් එකක් නම්, පාසැලේ ලොග් පොත එපමණ කාලයක් (අලුත් වෙමින් හෝ) තිබෙන්නට ඇති !

    ReplyDelete
    Replies
    1. සිතුවිළිMay 22, 2013 at 7:50 PM

      මිතුර
      ආනන්දය, ආනන්දය හා බැඳි සම්ප්‍රදායයන්, ආනන්දයේ ඉතිහාසය යන කරුනු මා කිසි විට විවේචනය නොකරමි. ඇතැම් විට මා සතුව වෙනස් කියැවීම් තිබිය හැක. එහෙත් මාගේ මව් විවේචනය නොකිරීම සේම එය නොකිරීමට මා කැමැත්තෙමි.
      මේ කථාව මාගේ හිත තුළ පැනනැගුනු හිතුවිල්ලක් පාදක කොට මා විසින් ගෙතූවක් පමණි. එම හිතුවිල්ලට හේතු භූත වූ කරුනු කථාව රස විඳීමට හෝ එහි කියන අදහසක් වටහා ගැනීමට අවැසි නැතැයි සිතමි.

      Delete
    2. "මට නොතේරෙන මොකක් හරි අවුරුදු හතලිහක් තිස්සේ තියෙන්න ඇති අන්තිමට මම හිතාගත්තා." යන්නට ඌන පූර්ණයක් මිස පෞද්ගලික විවේචනයක් නොවේ.
      ආනන්දය මේ සඳහා ගලපා ගැනීමට ඔබ කැමති නැතිනම්, ධර්මරාජය හෝ මලියදෙවය හෝ ගන්න. පළමු විදුහල 1887 දීත් දෙවැන්න 1888 දීත් ආරම්භ කෙරුණු බව මගේ මතකය වේ.

      මේ පාසැල් සියවසක් පැරණි ඉතිහාස ගැන අභිමානයෙන් කතා කළත් එදා සිට අද දක්වා නොවෙනස්ව පැමිණි කිසි දෙයක් නැත. සමහර විට නම පමණක් පවතින්නට ඇත.
      කොළඹ විශ්ව විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය අතර ලංකාවේ පළමු විශ්ව විද්‍යාලය ලෙස තමන් හඳුන්වා ගැනීමට ඇතැයි කියන තරඟයද මෙවැන්නකි. මේවායේ නමක්වත් අඛණ්ඩව පැවතී නැත.

      අපේ අවුරුදු 2600 ක අභිමානවත් ඉතිහාසය ගැන කුමක්ද කිව හැක්කේ? නොවෙනස්ව ඇති එකම දේ වෙනස් වීම පමණි. එහෙත් මිනිස්සු තමන් හරියට නොදන්නා කිසියම් දෙයක් මේ මුළු කාලය පුරාම පැවතුණු බව සිතති. මෙය වරදක්ද? නැත යැයි සිතමි.

      එසේ වුවත්, ඔබේ ප්‍රබන්ධයේ අගය මේ කිසිවකින් ලඝු නොවේ. එය මනා ප්‍රබන්ධයකි. ඔබ ඉහත සියළු කරුණු ස්පර්ශ කරමින් ලියැවී ඇත.

      Delete
    3. සිතුවිළිMay 23, 2013 at 8:34 PM

      ඔව් "කේ " ඔබ හරි, අපි පැවත්මක් හැට්යට දකින සියළු දේ තුලම ඇත්තේ මෙවන් වූ තත්වයක්, ඔබ කියනා වැනි ආයතන ගෙන බැලුවහොත් අවසානයේ දක්නට ඇත්තේ කුමක්ද, මිනිසුන් පිරිසක් එක්ව පවත්වාගෙන යන නාමයක් පමණි. ඇතැම් විට ඇති ඉතිහාසය නාමයට, භූමියට , ගොඩනැගිලි වලට වඩා බොහෝ පැරණියි. ඒ ඉතිහාසය යනු හුදු චිත්ත සංකල්පයක් හා ඒ තුලින් ගොඩනගා ගන්නා වටිනාකම් පද්දතියක් පමණයි.
      මා කියන්නට තැත් දරන්නේ දහම ගැඹුරින් දකින අපි, හිස් බව දකිනා නාම ධර්මයන්, සියළු දෙනාම ඇති සේ දැකීමයි. අපට පිස්සු!
      උදාහරනයක් හැටියට අප රාජකාරි කරන ආයතනයක් සිහියට ගන්න. ආයතනයට ඉතා ලැදිව කටයුතු කරන කෙනා නිසා ආයතනයට කොතරම් ලාභදායක් වුවත් ඔහු හැමදාම අමාරුවේ නේද? එහෙත් ආයතන භාශාවෙන් පන්දම් අල්ලන්නා කිසිදු පලදායිතාවයක් නැතත් ගොඩ නේද? හේතුව කුමක්ද?
      ආයතනය යනු හුදු සංකල්පයක් පමණි. එය සැදී ඇත්තේ මිනිසුන්ගේ ඒතුවකිනි. ඉතින් ආයතනයට ලැදි මිනිසා ගැන හඳුනාගැනීමක් කිරීමට ආයතනය සතුව මනසක් නැත. එහෙත් ආයතනයෙහි සංගටක් වූ මිනිසුන් හට මනස් ඇත. ඔවුනට උපකාර කරන්නවුන්ට ප්‍රති උපකාර කිරීමට ඔවුනට හැකිය.
      පන්දම් කාරයා යනු සැබෑ බුද්ධිමතා යැයි මා කීවොත්.......?

      Delete
    4. ඕල්කොට් තුමා විසින් සෑදු පාසල් ලංකාවේ ක්‍රිස්තියානි පාසැල් සමග සසඳන කල බච්චේ/බච්චියාං වේ. යාපනයේ හා මඩකලපුවේ ඇති සමහර විද්‍යාල වසර 200 කට වඩා පැරණිය. සමහර ඒවා ඇරඹි ඇත්තේ ලන්දේසි යුගයේදීය. මේවායින් සමහර ඒවායේ පරිපාලනය වෙනස් වී ඇති මුත් සමහර විද්‍යාල පාලනය කෙරෙන්නේ ඒවා ආරම්භ කල ආයතන (කිතුනු සභා) මගින්ම වේ. මේ ආයතන වල හර පද්ධති බොහෝ දුරට වෙනස් වී නැත. ඒ ඇසුරෙන් සිතුවිළි ගොඩ නගන ප්‍රශ්නයට ලුහු පිළිතුරක් දෙතොත්, පරමාදර්ශ හා හර පද්ධති බොහෝ කල් නොවෙනස්ව පවතින බව කිව හැක. දහම් පාසැල් හා පාසැල් සම්බන්ධයෙන් ඉහත කරුණ සත්‍ය වේ. එහෙත්, ජාතියක් වැනි අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් ඇති දෙයක් සම්බන්ධයෙන් නම් කතාව වෙනස් වනු ඇත.

      Delete
    5. පන්දම්කාරයා යනු සැබෑ බුද්ධිමතා යැයි මා කීවොත්.......?

      නැත. පන්දම් ඇල්ලීම රැකියාවේ කොටසක් නම් එය නොකර සිටීම පුහු ආඩම්බර කම හා මෝඩ කමයි. පන්දම් ඇල්ලීම යන වචනයම වචන අව-භාවිතයේ යෙදීමක් බව මා කීවොත් ඔබලාගේ ප්‍රතිචාර කෙසේද? බොහෝ විට මේ වචනය යොදා ගන්නේ තමන්ගේ නොහැකියාව වසා ගැනීමටයි.

      වර්තමාන සමාජයේ (1977 න් පසු) සමාජ අගයන් අපේ පැරණි සමාජයේ (1956-1977 දක්වා) සමාජ අගයන් හා පටලවා ගැනීමයි ඔබ කරන ප්‍රකාශයට හේතුව. එය ඔබ පමණක් කරන ප්‍රකාශයක් නොවේ. තවම සමාජයේ බොහෝ දෙනාගේ පරමාදර්ශ වන්නේ 77 ට පෙර චරිත බව ඔබලා එකඟ වන්නේ යැයි සිතමි. වැඩි දුර යා යුතු නැත. මගේ ප්‍රියතම ගායක ගායිකාවන් ලැයිස්තුගත කළොත් 77 න් පසු බිහි වූ (මේ කියන්නේ මුන්ගේ ජාතකේ ගැන නම් නොවේ) එකෙක්වත් ඒ ලැයිස්තු වලට එන්නේ නැත. ඔබලාගේ ලැයිස්තු කෙසේ වේද?

      Delete
    6. සිතුවිළිMay 31, 2013 at 2:40 PM

      පන්දම් කාරයා ගැන කතාවේදී ඔබ මාගේ අදහස වටහාගෙන නැති සැටියකි.
      පන්දම් කාරයා යන වචනයම තම නොහැකියාව වසා ගැනීමට අනෙකුන් යොදන භාවිතයක් යන ඔබගේ අදහස හා එකඟවෙමි.
      මෙහිදී මා එම වචනය යොදා ගත්තේ ආයතනය යන මන්ංකල්පිත ව්යුහයට පක්ශපාතී වනවාට වඩා ආයතනය සැදි ඒකක වන පුද්ගලයින්ට පක්ශපාතී වීමට බුද්ධිය ඇති මිනිසුන් පොදුවේ එසේ හෙලා දැකෙනා බැවිනි.
      එසේ නිවැරදි තැනට පක්ෂපාතී වන පුද්ගලයා ඇතැම් විට ඔහුගේ ඵලදායීතාවය ඉක්මවා ප්‍රථිපල ලබාගන්නා බවකි මා කීවේ.
      ඔබ එයට එකඟ වනු අතැයි සිතමි.

      Delete
    7. "ඵලදායීතාවය ඉක්මවා ප්‍රථිපල" circular reference වලින් කිව්වොත් එයම නොවේද අපට අවශ්‍ය --- ඵලදායීතාවය ඉක්මවා ප්‍රථිපල ??
      ඔව් ඔබ සමග එකඟ වීම හැර වෙන කළ හැකි දෙයක් නැත. මෝඩයෙක් සේ නැත කියා ඇරඹුවත් මා කලිනුත් කර ඇත්තේ ඔබේ අදහස හා එකඟ වීම බව පෙනේ.

      Delete
    8. සිතුවිළිJune 3, 2013 at 10:25 AM

      මා අදහස් කලේ
      ඵලදායිතාවය - සේවකයාගේන් ආයතනයට
      ප්‍රථිපල - ආයතනයෙන් සේවකයාට

      මාගේ අදහස් ප්‍රක්කශ කිරීම ගැටළු සහිත වීම ගැන කනගාටු වෙමි.

      Delete
  4. සිතුවිළිMay 24, 2013 at 8:24 PM

    මිතුරනි,
    අද වෙසක්පුන් පෝදා, ලෝකයේ විශාලතම බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස නම්දැරූ තායිලන්තයේ රැන්ග්සිත් ප්‍රදේසයෙහි පිහිටි ධම්මක්කාය විහාරස්ථානය වැඳ ගැනීමට මා හට වාසනාව ලැබින. එහි සිල් සමාදන්ව සිටි ලක්ෂ ගනනක් (විය යුතුයැයි අනුමාන කරමි ) අතරට වැද සුළු වේලාවක් ධර්ම දෙශනාවට හා භාවනා වැඩසටහනට සහභාගී වීමි. තායි බසින් වූ දේශනාව නොවැටහුනු මුත් ක්‍රමානුකූලව භාවනාවට යොමු කිරීමත් පිළිම සේ එක් පිළිවෙලකට වැඩ සිටි සිය ගනනක් වූ භික්ෂූන්ද පිළිමසේ භාවනානුයෝගීව සිටි ගිනිය නොහැකි උවැසි උවැසුවන්ද සිතට ගෙන ආවේ මහත් වූ සතුටකි. මා එහිදී ඔබ සියළු දෙනාවම සිහිපත් කළ බවද කිව මනාය.
    කේ ගේ පොහොය ලිපිය සුපුරුදු පරිදි ඉකමනින් පලවනු ඇතැයි සිතමි. ඉඩක් ලද වහා කියැවීමට බලා සිටිමි.
    ඔබ සැමට මේ වෙසඟෙහි සත්‍යය මාවත තවත් විවර වේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. සිතුවිළි,
      ඔබේ ඒ අත්දැකීම ජිවිතයේ අමතක නොකළ හැකි එකක් බව අපට විශ්වාසයි. ඔබේ මේ දැනුම් දීම කියැවූ අපත් ගූගල් දෙවියන්ට යාඥා කර උන් වහන්සේගේ ප්‍රාතිහාර්යයෙන් ඒ විහාරස්ථානයේ රූ මවාගෙන ඇස් පුරා දැක ගත්තා.
      සැබවින් ම ඒ ආශ්චර්යජනක දැක්මක්.

      Delete
    2. සිතුවිළිMay 27, 2013 at 8:54 AM

      මිතුර කේ,
      මේ වෙසක් දිනයේ එහි ගූගල් පින්තූර වල දැක්වෙන චෛත්‍යය වටා සිටිනා මහා ජන ගඟත් භික්ෂු සංඝයාත් එලෙස වැඩ නොසිටියෝය.
      එම පරිශ්‍රයේ අති සුවිශාල (මැජෙස්ටික් සාප්පු සංකීර්නය මෙන් විසි තිස් ගුනයකැයි අනුමාන කළ හැකි ) තුන් මහල් ශාලා පරිශ්‍රයේහි මධ්‍යයේ ගූගල් හි දැක්වෙන් චෛත්‍යය ආකාරයේම කුඩා චෛත්‍යයක් වටා භික්ෂූන් වැඩ සිටි සේක. ඒ සමස්ත ගොඩනැගිලි සංකීර්ණය පුරාම අතුරු සිදුරු නැතිව සුදු වතින් සැරසී උතුරු සලු පැළඳි උපාසක උපාසිකාවන් භාවනානුයෝගීව දහමට සවන් දෙමින් සිටියෝය.
      කුඩා චෛත්‍යය අසල තවත් මණ්ඩපයක් භික්ෂූන් (දෙතුන් සියයක් විය හැක ) වැඩ සිටියෝය.
      එහි ඡායා රූපයක් ලබා ගැනීමට ඇතිවූ ආශාව කියා නිමකළ නොහැක එහෙත් මාගේ ඡායා රූපයට වඩා ඔවුන්ගේ භාවනාව උතුම් බැවින් ඒ ගැන උත්සහයක් නොදැරීමි.
      ගූගල් හී දැක්වෙන මහා චෛත්‍යයන් (එක වන් චෛත්‍යයන් දෙකක් එම පරිශ්‍රයෙහි ඇත ) වල නම් ඡායාරූප කිහිපයක් මා ගතිමි. ඒවා වටේට කිසිවෙකුත් එදින නොවීය.
      පහතම මාලයෙහි විශාල පිරිසක් විසින් බුෆේ ආකාරයට උවසුවන් සඳහා දානය සකසමින් සිටියෝය. අපගේ පන්සල් වල මෙන්ම සිල් වතින් සැරසුනු කුඩා දරුවෝ රංචු පිටින් තැන තැන දුවපනිමින්ද සිටියෝය.
      එය කැමරාවෙහි සටහන් නොවූවද සිතින් මැකිය නොහැකි ඡායා රූපයන්ය.
      ධම්මක්කාය විහාරයෙහි හා තායිලන්තයෙහි ප්‍රධානතම ඓතිහාසික පූජා භූමිය වූ අයෝධ්‍යාවෙහි මා විසින් ගත් ඡායාරූප කිහිපයක් මා ඔබවෙත එවන්නම්. ඔබට හෝ ඔබගේ බ්ලොග් මිතුරන්හට ඉන් ලද හැකි ප්‍රයෝජනයක් වේනම් යොදාගන්න

      Delete
    3. සිතුවිළි,

      ඔබට අප සියලු දෙනා සිහි වීම ගැන සතුටුයි. ඔබ මේ කතාව ලියූ අයුරින්ම ඔබේ ගමන් විස්තරය ඔබේ අකුරින්ම ලියන්නේ නම් සුදුසු නොවේද?

      Delete
    4. සිතුවිලි

      ස්තුතියි ඔබ විසින් එවන ලද බුදුපිළිම මා වෙත ලැබුණි. ඉදිරියේදී මගේ බුදුපිලීම අතරට ඔබේ පිළිම වහන්සේලාද එකතු වනු ඇත.
      තෙරුවන් සරණයි!

      Delete
    5. සිතුවිළිJune 18, 2013 at 9:19 PM

      ඒ ගැන සතුටුයි,
      ඔබේ බුදුපිලිම එකතුවට ජය පතමි

      Delete