2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික අදියරේ වට අටක් අද අවසාන විය. අද වන විට කණ්ඩායම් ශ්‍රේණිගත වී සිටින්නේ පහත අයුරිණි.තරඟ වට 8 ක් අවසන කණ්ඩායම් පෙළ ගැස්මතව එක වටයක් පමණක් ඉතිරි වී තිබෙන මේ මොහොතේදී නිරීක්ෂණය කළ හැකි නිරීක්ෂණය වන්නේ කණ්ඩායම් තුනක් ස්ථිර වශයෙන්ම මීළඟ වටයට තේරී තිබෙන අයුරත්, තවත් කණ්ඩායම් සතරක් මීළඟ වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු අහිමි කරගෙන සිටින බවත් ය. අවාසනාවට අප ශ්‍රී ලංකා කණ්ඩායම අයත් වන්නේ පසුව කී කණ්ඩායම් සතර අතරටය. නවසීලන්තය, පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම් තුනෙන් එකක් පමණක් ඉදිරි දින කීපය තුල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
මෙවර ICC ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය අප අසල්වැසි භාරතයේ නගර දහයක දී පැවැත්වේ. ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ ලංකාව මේ තරඟාවලියේ මූලික වටයේදී එකිනෙකා හමු වනු ඇති අතර එක තරඟයකට දෙක බැගින් වෙන් කෙරෙන ප්‍රසාද ලකුණු වැඩිම ප්‍රමාණයක් එක්රැස් කර ගන්නා වූ, ප්‍රසාද ලකුණු සම වූ අවස්ථාවක වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගත්තා වූ, එයත් සම වූ අවස්ථාවක දළ ලකුණු වේගය මත පදනම් වූ ශ්‍රේණිගත කිරීම අනුව ඉහලින්ම වැජඹෙන කණ්ඩායම් සතර අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත. අවසන් පුර්ව තරඟ දෙක ජයග්‍රහණය කරන පිල් දෙක අතර අවසන් මහා තරඟය පැවැත්වෙයි. ලකුණු සම වන අවස්ථාවක සුපිරි පන්දු වාර ක්‍රමය යොදා ගැනේ.෴