Friday, September 24, 2021

මනුෂ්‍ය මරණ සහ ජඩමාධ්‍ය

පිළිගත් ජනමාධ්‍ය විසින් මනුෂ්‍ය මරණයක් වාර්ථා කරන ආකාරය සම්බන්ධයෙන් සම්මතයක් තිබේ. ජනමාධ්‍ය වල සම්මතය තිබියේවා සාමාන්‍ය සමාජයේ වුවත් මරණයක් ගැන කතා කරන ක්‍රමයක් තිබේ. ප්‍රේමදාස මරණය ප්‍රභාකරන් මරණය වැනි සුවිශේෂ අවස්ථා හැරුණු විට මේ සම්මතය රැකී තිබිණි. තමන් කැමති නැති කෙනෙකු, නැතිනම් තමන්ට කරදරයක් වී සිටින කෙනෙකු මළ අවස්ථාවක තව කෙනෙක් සතුටට පත් වේ නම් එයට වරදක් කීම යුතු නැත. එහෙත් ඒ සතුට රතිඤ්ඤා දල්වා රබන් ගසා සමරයි නම් ඒ මිනිස් කම නොවේ.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මිය යන විට කොවිඩ් සැදී තිබිණි. අභාවප්‍රාප්ත "අහිකුන්ඨික" සුනිල් මහතා මිය යන විට එම රෝගයෙන් "පූර්ණ" සුවය ලබා වැඩි දිනක් ගත වී තිබුණේ නැත. ඌරුවරිගේ වන්නියාආර්‍යාව වකුගඩු රෝගයකින් කළුරිය කරන විට ඈටත් මෙකී රෝගය වැළඳී තිබුණු බව කියත්. මේ සියළු දෙනාටම පෙර ලංකාවේ ජඩ මාධ්‍ය ව්‍යාපාරයේ උස්තාද් පකීර් කෙනෙක් වන මහාරාජා මුදලාලි දිවංගත විය. ඒ ද මේ රෝගයෙනි.

ඊයේ පෙරේදා "ස්වයංජාත" වෛද්‍යාචාර්ය එලියන්ත වයිට් මහතා කොළොඹ පෞද්ගලික රෝහලකදී මිය ගියේය. ඔහුටත් මේ රෝගය වැළඳී තිබුණු බව අසන්නට ලැබිණි. නමුත් අපේ අවධානයට ලක් වන්නේ ඔහුගේ මරණය ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණු ආකාරයයි.

ඉහත ප්‍රවෘත්තිය පල වන්නේ දිවයින පුවත්පතේ අන්තර්ජාල සංස්කරණයේ ය. එහි ප්‍රථම වාක්‍යය ප්‍රවෘත්තිය යි. එමෙන් දෙගුණයක් පමණ දිග දෙවන වාක්‍යය ප්‍රභාත් විතාන නමැත්තාගේ ගොබ්බ කමේ ප්‍රකාශනයයි. මේ දිවයින පුවත්පතේ නිල මතය ද?



මේ හා සමාන තවත් අදහස් lankacnews වැනි කටකතා (gossip) අඩවි වලත් fb සහ Whatsapp වැනි සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රචාරය විය. ඒ ගැන වරදක් කිව නොහැක. ඒවා අප වැනි සාමාන්‍ය මිනිසුන් විසින් අදහස් පල කිරීමේ අයිතිය යටතේ හිතෙන දේ අවංකවම කියන අවස්ථා ය. සමහර විට ඒවායේ අරමුණ අහිංසක වින්දනයක් ගැනීම පමණි. බ්ලොග් අඩවි මින් එක පියවරක් එහා ගොස් කිසියම් මතවාදයක් (හෝ කිහිපයක්) වෙනුවෙන් පෙනී සිටියත් ඒවාත් මූලික වශයෙන් ඒ ඒ කතුවරයාගේ පෞද්ගලික අවකාශ වේ. ජනමාධ්‍ය එසේ නොවේ.

දැන් ප්‍රභාත් විතානගේ ගොබ්බ ප්‍රකාශය සළකා බලමු.
කිසිම එන්නත් මාත‍්‍රාවක් නොගෙන
ස්වකීය විශ්ව ශක්තිය හා කුණ්ඩලිනී ශක්තිය පිළිබඳව පමණක් විශ්වාසය තැබූ
ඔහු කොවිඞ් 19 වෛරසය ආසාදිතව රෝහල්ගත කිරීමෙන් අනතුරුව
අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකය වෙත
සතියකට පමණ පෙර යොමු කර තිබිණි.
මොහු කියන ආකාරයට වයිට් මහතා `දැඩි සත්කාර ඒකකය වෙත` යොමු කර තිබෙන්නේ `සතියකට පමණ පෙර` ය. දැඩි සත්කාර ඒකක වෙත යොමු කරන්නේ දැඩි සත්කාර අවශ්‍ය රෝගීන් ය. ඔවුන්ට තමන්ගේ කාර්‍ය කර්තව්‍යයන් තමන්ට කර ගැනීමේ හැකියාවක් නැත. ඒ අයගේ ජීවිතාරක්ෂාව රැඳී පවත්නේ සේවයේ නිරත වෛද්‍යවරුන් අතය. ඔතැන එලියන්ත වයිට් වෙනුවට කාලෝ ෆොන්සේකා හිටියත් මෙහි වෙනසක් නැත.

ඉහත, සේවයේ නිරත වෛද්‍යවරුන් යනු එලියන්ත වයිට් වැනි ස්වයංජාත වෛද්‍යාචාර්යවරුන් නොව රජයේ රෝහල් බදාගෙන සිටින ඇලොපතියන් බව මේ ගොබ්බ ලේඛකයාට මතක් කර දීමට දිවයිනේ ප්‍රවෘත්ති කතෘ කෙනෙක් නැද්ද?
එසේම වයිට් මහතා `දැඩි සත්කාර ඒකකය වෙත` යොමු කර තිබෙන්නේ `අසාධ්‍ය තත්ත්වයෙන්` බවත් එහිම සඳහන් ය. ඒ යොමු කිරීමත් කරන්නට ඇත්තේ අර කී වෛද්‍යවරුන්ම විසින් වන්නට ඇත.

එසේ වුවත්, වයිට් මහතා රෝහල්ගත කෙරුනේ අසාධ්‍ය තත්වයෙන් බව පුවත කියන්නේ නැත. ඒ අනුව පැහැදිළි වන්නේ වයිට් මහතා "කොවිඞ් 19 වෛරසය ආසාදිතව" නමුත් සාධ්‍ය තත්වයෙන් රෝහල්ගත වූ බවත්, වාට්ටුවේ දී (වාට්ටු බාර ඇලොපතියන්ගේ බැරි කම හෝ නොසැළකිල්ල හෝ හේතුවෙන්) අසාධ්‍ය තත්වයට පත් වූ බවත්, එයින් දැඩි සත්කාර ඒකකයට මාරු කරණු ලදුව (දැඩි සත්කාර ඒකකය බාර ඇලොපතියන්ගේ බැරි කම හෝ නොසැළකිල්ල හෝ හේතුවෙන්) එහිදී මරණයට පත් වූ බවත් ය. දැන් මෙහි වරද මළගිය ප්‍රාණ කාරයාගේද?



මංගල සමරවීරගේ මරණය ගැන ලියන ජඩමාධ්‍ය ඔහුගේ පොන්න ජීවන රටාව සහ ඔහුගේ විශ්වාස ගැන ලිවේ නැත. සුනිල් පෙරේරා ගේ මරණය ගැන ලියන ජඩමාධ්‍ය ඔහුගේ කුපාඩි ජීවන රටාව සහ ඔහුගේ විශ්වාස ගැන ලීවේ නැත. මහාරාජාගේ මරණය ගැන ලියන ජඩමාධ්‍ය ඔහුගේ සිංහල විරෝධී ක්‍රියා සහ විශ්වාස ගැන ලීවේ නැත. ඒ ඒ අය මරණයට පත් වූ පසු ඔවුන් ජීවත්ව සිටියදී කළ දෑ සහ ඔවුන්ගේ විශ්වාස අදාළ නැත. අදාළ වුණත් ඒවා ගැන කතා කිරීම සදාචාර සම්පන්න නැත.

එවැනි විටෙක එලියන්ත වයිට් දැරූ විශ්වාස ගැන මොහු සඳහන් කරන්නේ ඇයි? මා විශ්වාස කරන්නට කැමති එය ප්‍රභාත් විතාන නමැත්තාගේ අමන මරි මෝඩ තකතීරු කම බවයි.

එලියන්ත වයිට් රෝහල්ගත වීමට පෙර මොන විශ්වාස දැරුවත් රෝහල්ගත වීමෙන් පසු ඔහුගේ ජීවිතය රඳා පවත්නේ සේවයේ නිරත වෛද්‍යවරුන් අත මිස විශ්වාස අත නොවේ. සාධ්‍ය තත්වයෙන් රෝහල්ගත වූවෙක් රෝහලේදී අසාධ්‍ය වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලදුව එහිදී මිය ගියේනම් එය "ස්වකීය විශ්ව ශක්තිය හා කුණ්ඩලිනී ශක්තිය පිළිබඳව පමණක් විශ්වාසය" තැබීමේ ප්‍රතිඵලයක් නොව මෙරට වෛද්‍යකර්මයේ ආධිපත්‍යය උසුලන ඇලොපතියන්ගේ බැරි කමේ ප්‍රතිඵලයකි.

ලේඛකයා ආරම්භ කරන්නේම "කිසිම එන්නත් මාත‍්‍රාවක් නොගෙන..." යනුවෙනි. මේ ඉල්ලාගෙන කෑමකි. මොහු ව්‍යංගයෙන් කියන්නට යන්නේ කිසිම එන්නත් මාත්‍රාවක් නොගත් නිසා වයිට් මහතා මරණයට පත් වූ බවනම් එය විශ්වාස කරන කියවන්නන් වෙනම හුදෙකලා කෙරුණු ලෝකයක ජීවත් වන අමු මැට්ටන් පිරිසක් විය යුතුයි.

ඊනියා කොවිඩ් රෝගය හඳුනා ගත් දා සිට මළේ "කිසිම එන්නත් මාත‍්‍රාවක් නොගෙන..." සිටි අය බව කවුරුත් දනිති. මළ ඈයින් ගෙන් සමහරෙක් කොරෝනා වෛරසය ආසාදනය වූ අයවළුන් ය. එසේ වුවත් මළවුන්ගෙන් වැඩිමනක් කොරෝනා ආසාදිත නොවූවන් බවත්, කොරෝනා ආසාදිත වූවන්ගෙන් වැඩිමනක් නොමළ බවත් මේ මුග්ධ ලියන්නන් විසින් අමතක කෙරෙති.

ප්‍රවෘත්තියක් විය යුත්තේ "කිසිම එන්නත් මාත‍්‍රාවක් නොගෙන" සිට මිය ගිය අය නොවේ. ප්‍රවෘත්තියක් විය යුත්තේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙනත් කොරෝනාවෙන්ම මිය ගිය අයවළුන් ය. එන්නත් ගැනීමේ අභිප්‍රායම කොරෝනාවෙන් නොමැරී සිටීම වන බැවිණි. එන්නත් නොගෙන සිටියේනම් කොරෝනාවෙන් මළත් වෙනයම් හේතුවකින් මළත් වෙනස කිම ?



මේ ලියන්නනුත් රජයේ සෞඛ්‍ය අරක්ගෙන සිටින ඇලොපතියනුත් ආණ්ඩුවත් මොන බයිලා ගැසුවත් දැනට තිබෙන එන්නත විසින් රෝග නිවාරණයේ ලා සැළකිය යුතු දායකත්වයක් දරන්නේ යැයි මා නම් සිතන්නේ නැත. එසේ නොසිතන්නට කාරණා ජඩමාධ්‍ය උපයෝගී කරගෙන මෙකී හාදයින් විසින්ම අප වෙත මුදා හරින අතර්කානුකූල, අවිද්‍යාත්මක තොරතුරු ය.

අද දෙරණ වාර්තා කළ පරිදි වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී එක හාදයෙක් ප්‍රකාශ කර තිබෙන්නේ
මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණය සඳහා නොපැකිළිව යොමුකරවන ලෙස දෙමව්පියන් සහ වැඩිහිටියන්ගෙන් විශේෂඥ වෛද්‍යවරු ඉල්ලා සිටිති.

ලෝකයේ සහ මෙරට විශේෂඥ කමිටුවල නිර්දේශ සහිතව දරුවන්ට එන්නත්කරණය සිදුකෙරෙන බවද ඔවුන් පෙන්වා දෙයි.

විශේෂඥ වෛද්‍යවරුන් දෙමව්පියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ අනියත බියකින් තොරව නිවැරදි අවබෝධය සහ උනන්දුව තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නා ලෙසය.
යනාදී වශයෙනි.

ඉහත දෙරණ වාර්තාව සහ එහි උපුටා දැක්වෙන නිවේදනයේ කිසි "විද්‍යාත්මක" තොරතුරක් අඩංගු වන්නේ නැත, අඩංගු වන්නේ මිත්‍යා මත ගැන ගම්මැද්දේ ආඩපාලි පමණි. අඩු තරමින් ඊනියා මිත්‍යා මත යනු කුමක්ද යන්නවත් එහිදී විග්‍රහ කරන්නේ නැත.

එන්නත් දීම වැරදි නැත. වැරැද්ද තිබෙන්නේ ජඩමාධ්‍ය යොදාගෙන මිනිසුන් බය කිරීමේත්, අපහාසයට උපහාසයට ලක් කිරීමේත්, නිළතල අවභාවිතා කර නීති විරෝධී ආකාරයේ බලහත්කාරකම් පැනවීමේත් ය.

මනුෂ්‍යයෝ ස්වභාවයෙන් ජීවිතය කෙරේ බිය ඇත්තෝ ය. කොරෝනා බිය අතුරුපල බිය ඉක්මවා යා නම් ඔවුහු අමතර බලහත්කාරයක් නොමැතිවම එන්නත ගන්නෝ ය. දැන් වන්නේ එය නොවේ. ජඩමාධ්‍ය යොදාගෙන දිනපතා අර්ථ ශූන්‍ය ඉලක්කම් කියවමින් මනුෂ්‍යයා භය කරවීමත්, නිල බල පෙන්වමින් අනියම් තර්ජන කිරීමත්, එන්නත අවශ්‍ය යැයි නොසිතන මනුෂ්‍යයින්ට පවා බලහත්කාරකම් කිරීමත් ය. මෙයින් වන්නේ තමන්ට අවශ්‍ය යැයි සිතන පිරිසකට ඒ නොලැබී යාමත් අනවශ්‍ය යැයි සිතන පිරිසකට ඒවා බලෙන්ම දීමත් ඒ සමගම දැනට නොදන්නා අතුරු ආබාධ රාශියකට ඔවුන් නිරාවරණය කිරීමත් ය. මෙහි වාසියක් තිබෙන්නේ එන්නත් ගෙන්වීම ආදායම් මාර්‍ගයක් වූ සුළු පිරිසකට පමණි. එහි අනිසි ලාභ ලබන්නේ ඖෂධ නිෂ්පාදකයින් ය. මේ කොරෝනා අස්සේ ඔවුන්ට කැමති ඕනෑම මලජරාවක් දුප්පත් රටවල බයපත් වූ මිනිසුන්ට එන්නත් කරවා පරීක්‍ෂා කර ගැනීමේ පොටක් පෑදී තිබේ.

එලියන්ත වයිට්ගේ මරණය සම්බන්ධයෙන් මට ප්‍රශ්න කිහිපයක් තිබේ.
  • ඔහු මළේ කොවිඩ් රෝගයෙන්මද ?
  • ඔහුට කොරෝනා ආසාදනය වූයේ රෝහලෙන් ද ?
  • රෝහලට ඇතුළත් කළ වයිට් එහිදී අසාධ්‍ය වී මරණයට පත් වන තුරු රෝහලේ සිටි වෛද්‍යවරු මුට්ටි ගඟට දමමින් සිටියෝද ?
මා මේ ප්‍රශ්න අසන්නේ මේ දුෂ්කර අවස්ථාවේ අනුපමේය සේවයක් කරන වෛද්‍යවරුන්ගෙන් නොවේ. මේ ප්‍රශ්න අසන්නේ තමන් සියල්ල දන්නේ යැයි ද, තමන් අදහන දේ විද්‍යාව ය, අනිකුන් අදහන දේ මිත්‍යාව ය ආදී වශයෙන් අධිමානයක සිටින ඉහත නම සඳහන් ලියන්නා ඇතුළු ජඩ මාධ්‍යවේදීන් ගෙන්ය.

මක් නිසාද යත්, විද්‍යාව සැබැවින්ම දන්නා තැනැත්තා හෙවත් සැබෑ විද්‍යාඥයා යනු එම දැණුමේ සීමාව දන්නා තැනැත්තා ය. දැනුමේ සීමාව නොදැන එය දේව භාෂිතයක් සේ සළකාගෙන අධිපති මතවාදය පුනරුච්චාරණය කරන්නා යනු සැබැවින්ම මිත්‍යා දෘෂ්ඨිකයාය. ඔහුට දැනුමේ සීමාව අදාළ නැත. කවුරු හෝ ගුලියක් අඹරා දුන් කළ එය ගිල වමාර වමාරා ලෝකේ වටේ දිවීම අපේ රටේ වර්තමාන ජඩමාධ්‍යවේදීන් විසින් කරන එකම කාර්‍යය නොවන්නේද ?



6 comments:

  1. ඔබ විරුදධයි කියන දේම ඔබත්කරල තියේ. ඒම බැලුවොත් දිවයිනෙයි ඔබෙයිත් වෙනසක් ඇත්තෙම නෑ.

    ReplyDelete
    Replies
    1. මා විරුද්ධයි කියා ඔබ සිතන්නේ කුමකටද?

      Delete
  2. මේ දොස්තරට ලෙඩේ හැදුනේ එන්නත් නොකරගෙන තමන්ගේ මිත්‍යා මතයක හිටපු නිසානම් දිවයින පත්තරේ ලිපියට මම එකගයි ...

    ReplyDelete
    Replies
    1. මෙතැන තේරුම් ගත යුතු කරුණක් තිබේ.
      මෙකී රෝගය හඳුනා ගැනෙන්නේ 2019 අවසන් භාගයේදී ය. ඊට එන්නතක් ඉදිරිපත් වන්නේ ඊට වසරකට වඩා අඩු කාලයකදීය. වසර එකහමාරක් යාමට පළමු ලංකාවටත් එන්නත් මාත්‍රා ලක්‍ෂ ගණනක් ලැබිණි. ඉහත කරුණු සියළු දෙනාම දන්නා දේ ය.

      රෝගය හඳුනා ගැනීමත් එන්නත් නිපදවීමත් අතර මරණ මිලියන ගණනක් ජනමාධ්‍ය විසින් වාර්තා කෙරිණි. ඒවා එන්නත් නොකරගෙන සිටීම නිසා සිදු වූ මරණ ලෙසද ඔබ සිතන්නේ?

      එන්නත ඉදිරිපත් වූ පසුත් එන්නත් නොලැබුණු ජනයා අතර තවත් ලක්‍ෂ ගණනක් මරණ වාර්තා විය. ඒවාත් එන්නත් නොකරගෙන සිටීම නිසා සිදු වූ මරණ ලෙසද ඔබ සිතන්නේ?

      එන්නත් මාත්‍රා දෙකම ගත් අයත් මෙකී රෝගයෙන්ම (නාන කාමරයේ ඇද වැටී හෝ රිය අනතුරු වලට ලක් වී හෝ නොවේ) මිය ගියෝය. මුලින් කී අය මිය ගියේ එන්නත් නොගෙන සිටීම හේතුවෙන් නම් මේ අය මිය ගියේ එන්නත් ගැනීම හේතුවෙන් ද ?

      Delete
    2. එන්නත් නොකරගෙන සිටීම හෝ මිත්‍යා මතයක සිටීම හෝ රෝගය වැළඳීමට (ලෙඩේ සැදීමට) හේතුවක් නොවේ. රෝගය වැළඳීමට හේතුව රෝගකාරකය සම්මුඛ වීම සහ ශරීර ප්‍රතිශක්තිකරණය රෝගකාරකය අබිමුව පරාජය වැළඳ ගැනීමයි. ඉහත ලේඛකයා ඒ බව නොදන්නේ නම් මා සඳහන් කළ සියළු විශේෂණ පද වලට ඔහු උරුමක්කාරයෙක් වෙයි. එසේම ඒ බව දැනගෙන මිනිසුන් බයභීත කිරීම අරමුණු කරගෙන ඒ දේ ලියුවානම් ඔහුට විරුද්ධව අගතියට පත් පාර්ශව (එනම් වයිට් මහතාගේ පවුලේ අය සහ හිතවතුන්) ඔහුට විරුද්ධව සහ දිවයිනට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගත යුතුයි. මොහු මෙවැනි ලිපි ලිවීමට කිසි සේත් සුදුස්සෙක් නොවේ.

      ඔබ කියන අයුරින් "මේ දොස්තරට" (එනම් එලියන්ත වයිට් මහතාට) "ලෙඩේ (එනම් CoViD - 19) හැදුනේ" "එන්නත් නොකරගෙන" "තමන්ගේ මිත්‍යා මතයක හිටපු නිසා" නම් "දිවයින පත්තරේ ලිපියට" මමත් එකගයි. ප්‍රශ්නය එය එසේ නොවීමයි.

      Delete
  3. ප්‍රිය මිතුර,
    යම් හේතුවකින් ඔබේ පැරණි ලිපි කිහිපයක් ආයේත් කියෙව්වා.
    ඇත්තෙන්ම ඒවා දැනුම් සාගර. ඉතින් මේ හරසුන් දේශපාලන කථා අත හැර අපි ආයෙත් ඒ වගේ හරවත් දේට යොමු වෙමුද?
    ඔබෙන් එවන් අගනා ලිපි හරවත් ධර්ම කරුනු නොලැබීම ඇත්තෙන්ම අපේත් අවාසනාව.

    හැකිනම් නැවත සලකා බලන්න.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !