විෂ්ණු දෙයියන්ටත් නරක කාලේ බටකොළ කන්නට සිදු වූ බව මේ කියවන ඇත්තන් හොඳින් දන්නා කාරණයකි. කාලයක් මේ සක්වළ මහා ධනවතා ලෙසින් වැජඹුණු ඔරුමිත්තනාඩුවේ විලියොන් ගේට්ටු මැතිඳා ඔය හැටි පෝසතෙක් උනේ රේන්ද විකුණලා ය. උන්නැහේ තමන් මූලික වී තැනූ කුදුමුදු (Microsoft) සමාගමේ කවුළු (Windows) සහ කන්තෝරු (Office) වල රේන්දයෙන් (License) ගජ පෝසතෙක් උනත් එයින් යා හැකි දුර ආ පසු සියල්ල අතහැර තෙල් බෙහෙත් කාරයෙක් වී ලෝකෙට තෙල (Vaccine) බෙදමින් යන්නේ නැද්ද? දිනෙන් දින දියුණු වන මනුෂ්‍යයන් ක්‍රියා කරන්නේ ඒ අයුරිණි. සාමාන්‍ය මිනිසුන්ට ඇති අවශ්‍යතාවයක් හඳුනාගෙන එය සැපයීම එකකි; සාමාන්‍ය මිනිසුන්ට නැති අවශ්‍යතාවයක් හඳුනාගෙන එය බලෙන් සැපයීමට ලෝක සංස්ථාපනය (Establishment) මෙහෙයවීම වෙනම එකකි. පළමුවැන්න බොහෝ දෙනෙකුට ඇති හැකියාවකි. දෙවැන්න බලුකරුණක්කා සහ විලියොන් මුත්තා වැනි මේ කපේදී දුර්ලභව පහළ වන කූඨ සත්ත්වයින්ට පමණක් පහළ වන විශේෂ හැකියාවකි.
විලියොන් මුත්තා ලෝකෙට තෙල බෙදමින් යන අතර බලුකරුණක්කා දැන් විකුණන්නේ බල්ලන් ය. ඒ ද දඩාවතේ යන බල්ලන් ය. මේ ජාවාරමට මූලික ප්‍රාග්ධනයක්වත් අවශ්‍ය නැත. ලාභ නොලබන ආයතනයක් ලෙස ලියාපදිඤ්චි කර ඇති බැවින් ආණ්ඩුව බදු ගසන්නේද නැත. රෙදි ජාවාරම කළ කාලයේ මෙන් විගණන ආදියත් එතරම් අවශ්‍ය නැත. සල්ලි එනවාය සල්ලි යනවාය වෙන්නේ මොනවාද බලුකරුණක්කා දන්නවා ඇත.
අද කතාව බලුකරුණක්කා ගැනවත් විලියොන් මුත්තා ගැනවත් නොවේ.
අද කතාව සත්තු ඇති කිරීම ගැන බුදුරජාණන් වහන්සේ දෙසා වදාරා ඇති / දෙසා වදාරා නැති කරුණු සම්බන්ධයෙනි. මීට ප්‍රස්තුත වූයේ නුවර පෙරහැරේ අලි කුලප්පුව දැක කුලප්පු වූ අනාගම් ශ්‍රාවක-ශ්‍රවිකාවන්ගේ කියුම්
සංගණන වලදී ගණනය නොකෙරෙන මුත් ලක්‍ෂ ගණනක් අදහන්නන් සිටින තවත් ආගමක් ලංකාවේ තිබේ, ඒ අනාගමයි. අනාගම අන්‍යාගම් වලින් වෙනස් වන්නේ කෙසේ දැයි හරිහැටි පැහැදිළි නැතත් එහි විශේෂ අනන්‍යතා ලක්‍ෂණයක් වන්නේ එහි අනුගාමිකයන් බොහෝ විට උපතින් වෙනත් ආගමිකයන් (බෞද්ධ / හිංදු / කතෝලික) වීමත්, පසු අවදියක ඔවුන් අනාගම සරණ යාමත්, ජීවිතයේ අවසන් කාර්තුවේදී අනාගමේ නිස්සාරත්වය දැකගෙන නැවත උපන් ආගම වෙත නැඹුරු වීමත් ය. ඒ අර්ථයෙන් ගත් කළ ඒ ආගම සංගණන වලට ඇතුල් නොවීම සාධාරණ ය. නමුත් ඒ ආගමිකයන් රාජ්‍යයටත් සමාජයටත් කරන බලපෑමේ තරම සළකන කළ එසේ ගැනීම අසාධාරණ ය.
ඕනෑම ආගමක කල්ලි කණ්ඩායම් තිබේ. අනාගමේ ද එසේමය. මින් එක කල්ලියක ආතල් එක වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ අංග වලට ප්‍රසිද්ධියේ අපහාස කිරීමයි. නුවර පෙරහැරේ අලියෙක් කුලප්පු වීම මේ කල්ලියේ හාදයින්ට කට ගැස්මකි. ඔවුන්ගේ ප්‍රධාන කාරණා දෙක මැරුණ මිනිසෙකුගේ දතක් උස්සාගෙන නට නටා යාමත්, කැලයේ සිටිය යුතු අලි වෙනත් තැන් වල සිටීම (එනම් පෙරහැරේ යාම) ත් ය. ඔවුන්ගේ ආතල් කැඩීම මේ ලියමනේ වපසරියෙන් පිටත ඇත්තකි. මෙහි වපසරිය විහිදෙන්නේ සතුන් ඇති කිරීම සම්බන්ධයෙන් පමණකි. මේ හාදයින් කියනා ආකාරයට සතුන් බැඳ තබාගෙන වැඩ ගැනීමට බුදුරදුන් තදින්ම විරුද්ධ වී තිබේ. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ ඒ අනාගමේ බුදුන්ගේ ජිවන චරිතයේ අවස්ථා කිහිපයකි.
අබිනික්මන
මහා රාත්‍රියේ අවදි වන සිද්ධාර්ථ කුමරු දොරකඩ නිදාගෙන සිටින ඡන්නයා ට පයින් ඇන ඇහැරවයි.යව ඡන්නය කන්ථකයා සරහව, අබිනික්මන් කිරීමට තිබේසිද්ධාර්තයන්ගේ මුවින් පිට වේ.
ඇයි ස්වාමිනී, සතුන් පිට යෑම ඔබ අප වැන්නන්ට තරම් නොවේ. අපි කන්ථකයා වනයට එළවමුඡන්නයා පිළිවදන් දෙයි.
ඇසළ පෝ දා සඳ ඇති රාත්‍රියේ සිද්ධාර්ථ ගෞතමයන් සහ ඡන්න ඇමති විසින් වනයට එළවා දැමුණ අසරණ සත්වයා බෝසතුන් පිටුපා යන දෙස බල බලා සිට අළුයම් කාලයේ ළය පැලී මරණයට පත් වී නිදා සිට පිබිදියාක් මෙන් දෙව් ලොව උපදියි. ගෞතමයන් සහ ඇමති තෙම වෙහෙසට පත් වී පයින්ම මාළිගාවට පැමිණි බව පසුව දැන ගන්නට ලැබේ.
෴
පාරිලෙය්‍ය වනයට වැඩම කිරීම
කිව් දේ නාහන සඟ ගණ මෙදා මෙන්ම එදාත් වාසය කර තිබේ. කොසඹෑ නුවර වාසය කළ මෙවැනි දෙපිරිසක් අතර වැසිකිළි බඳුනක් අරභයා ඇති වූ කලහය දුරදිග යාමත් ඔවුන් බුද්ධානුශාසනාවට පවා අවනත නොවීමත් හේතු කොටගෙන බුදුහු පාරිලෙය්‍ය වනයට හුදෙකළාව ම වැඩම කළහ.එහිදී වස් සාර මාසය උන් වහන්සේට උපස්ථාන නොලැබුණේ ඇතෙකුගෙනි. ඇතා උපස්ථාන කිරීමට කැමති බව බුදුරජාණන් වහන්සේ පරසිත් දන්නා ඥාණයෙන් දන්නා මුත් සත්තු ලවා වැඩ ගැනීම මේ අනාගමේ බුදුන් විසින් අනුමත නෙකෙරෙති. මීයක් කඩාගෙන බුදු පුදට පැමිණි වානරයා එළවා ගත්තේද මහත් ආයාසයෙනි. සිත බිඳී බුදුන් වෙතින් පලා ගිය වානරයා අත්ත බිඳී බිම පතිත වී මරණයට පත් වූ අතර ඔහු මරණින් මතු දිව්‍ය ලෝකයට නොගියේ බුදුන් මීය පිළිනොගත් හේතුවෙනි.
෴
නාලාගිරි දමනය
බුදුන් මරණට නොයෙක් මිනිසුන් යොදවා අසාර්ථක වූ සඳ ඒ ගැන කල්පනා කරන දෙව්දත් තෙරුන්සිද්ධාර්ථයා නම් මිනිසුන් විසින් නසා ලිය නොහැකි කෙනෙකි, තිරිසනෙක් ලවා නසා පියම්හ,යි සිතා තම මිතුරු අජාසත් රජහු බණවා මන්ත්‍රණය කොට බුදුන් එන පෙරමගට නාලාගිරියා නවාපීහ.
බුදුන් වනාහී සත්ත්ව හිංසාව අනුදැන නොවදාරණ නියා ලෝක සත්ත්වයාට පෙන්වා දෙණු පිණිස සෘද්ධියෙන් ගුවනට පැන නැගී රජගහා නුවරින් සැවැත් නුවරටම පලා ගියාහුය. එසේ හෙයින් රා බී මත්ව වීථියට කඩා වැදුණා වූ නාලාගිරියා මගට වන් මිනිසුන් මරමරා ගව මහිෂ ආදී නොයෙක් සතුන් හඹා ගැහැට කරවා මග දෙපස පිහිටියා වූ සල්පිල් කඩා විසුරුවා සී සී කඩ විසුරුවා වනයටම වැදිණි.
෴
භද්‍රවතිකා ඇතින්න
කොසඹෑ නුවර රජකම් කළ උදේනි රජතුමා අමුතුම මනුෂ්‍යයෙකි. ඔහුට අග බිසෝවරුන්ම තිදෙනෙක් වූහ. මෙයින් අකාලයේ හානි නොවූයේ අසල්වැසි අවන්ති රාජ්‍යයේ පජ්ජෝත රජුගේ දියණිය වූ වාසුලදත්තාවගේ දිවි පමණි. ඒ ඇගේ දෛවයටත් වඩා ඇගේ පිය රජාගේ "චණ්ඩ" අභිදානය නිසා සිදු වූවකි.උදේනි රජුට බිසෝවරුන්ට අමතරව මහත් තේජෝ බල ඇති ඇතින්නක් ද වූවාය. ඈ යුධයේදී අභිතව සතුරු මුල් සුණු විසුණු කර පස් බැමි කඩා විසුරුවා බංකර බිමට සමතලා කර උදේනි රජුට ජය අත් කර දුන් රණ විරුවෙකි. මහළු වියට පත් ඈ රජු විසින් "පිං" යැයි සළකුණු කර අතහැර දමන ලදුව බුත්තල-කතරගම පාරේ අලි හිඟන්නා මෙන් මිනිසුන් දෙන දෙයක් කා ජීවත් වන්නීය.
මේ බව සැළ වූ බුදු රජ තෙම වහ වහා රජ මාළිගයට වැඩම කර
පිංවත් රජතුමනියි උදේනි රජ බණවා
පිංවත් බුදු සුවාමින් වහන්සයි උන් පිළිවදන් දුන් සඳ
මහරජ හැකි කාලයේ උදව් ගෙන නොහැකි කාලයේ අලි මහමගට අතහැර දැමීම තොප වැනි අනාගමික මහා ශ්‍රාවකයෙකුට තරම් නොවේ. ලක්දිව් ඔටුන්න හිමි විමුත්ති කුමරා මේ කාලයේ සතුන්ට වෙදකම් කරන්නේ හිප්පෝකිරීටස් සෙයින් ලෝක සත්ත්වයා අතර පතළව එක්සත් රාජධානියේ වසන්නෝය. තෙපි වහා ඒ රාජ්‍යයේ එලිසබෙත් වින්ඩ්සාර් රාජණිය වෙත පඳුරු සහිතව දූතයන් යවා උන් ගෙන්වා මේ ඇතින්නට උන් ලවා එන්නතක් විද සුව මරණයක් අත් කර දීපන් ය..ආදී වශයෙන් දහම් දේශනා කළාහුය.
උදේනි රජතෙම බොහෝ සතුටට පත්ව
අනාගම අදහා ගැනීමෙන් අපට වූයේ මහත් ලාභයෙක. සා..දු, සා...දු, සා.......ම දුආදී වශයෙන් මහා කාරුණිකයන් වහන්සේගේ නාමයට ප්‍රසංශා කළාහුය.
෴
අසදෘශ මහා දානය
සොළොස් මහා ජනපද පාලනය කළ රජවරු අතර කොසොල් රජතුමා විශේෂ වන්නේ ඒ රජුට රැල්ල ගසන පැත්ත ගැන තිබුණු මනා අවබෝධය නිසාමය. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරම වාසය කරමින් මහජනයා තමන්ගේ පැත්තට හරවා ගැනීම කොසොල් රජුට එතරම් දිරවූ කරුණක් නොවේ. එහෙත් ඔහුට ඊට විරුද්ධව එළිපිට කළ හැකි දෙයක්ද නොතිබුණේ සුදත්ත සිටු තුමා විශාකා සිටු දේවිය වැනි ධනවත් බලවත් ප්‍රභූන් සිද්ධාර්ථ ගෞතමයන් සරණ ගිය උපාසකයන් වූ නිසාය. නෑ බෑ නොකියා නිතිපතා දිළින්දන්ට දන් දුන් සුදත්ත සිටුවරයා කොසොල් රටේ දුප්පතාගේ හිතවතා ය. විශාකාව රජගහා නුවර අමිතභෝගී සිටුවරු අතර නම කියැවෙන මෙණ්ඩක සිටු තුමාගේ මිණිපිරියයි. සුදත්ත සිටුතුමාට අනිසි යමක් වී නම් ප්‍රතිඵලය අභ්‍යන්තර කැරැල්ලකි; විශාකාවට යමක් වී නම් අජාසත් රජු හා යුද්ධයකි. දෙකෙන් මොක උනත් ප්‍රථිපලය රජාගේ බෙල්ල යාමයි.එසේ කියා කොසොල් රජු නිකංම හිටියේ නැත. ඔහු තථාගතයන් ගැන ඔත්තු බැලීමට රහස් ඔත්තුකරුවන් යෙදවීය. වරක් මෙවැනි පැවිදි වෙස් ගත් ඔත්තුකරුවන් පිරිසක් රජු හා බුදුරජුන් සංවාදයේ යෙදී සිටින විට ඒ අසළින් ගියහ. රජා පාර කියා බලන්නේ නැතිව අර සෙට් එකට වැන්දේය; වැන්දා පමණක් නොව
අන්න බුදුහාමුදුරුවනේ රහතුන්, රහත් වෙනවනම් එහෙම වෙන්න ඕනේ, නැත්තං රහත් නොවී නිකං ඉන්න ඕනේආදී වශයෙන් බුදුන්ට කෝචොක් එකක්ද දැම්මේය. අපේ බුදුනුත් ඔලුව වනා නිකං හිටියේ නැත.
ඕකුන්ගේ රහත් කම ඔබත් දනී, මමත් දනීකියා බුදුන් පිළිවදන් දුන් විට රජුට කට උත්තර නැති විය.
තවත් අවස්ථාවක ජේතවනාරාමයේ කොටසක් කොසොල් රජු විසින් හදිසි පණතක් ගෙනැවිත් නිඝන්ටයන්ට වෙන් කර දුන්නේය. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ රජු සමග සාකච්ඡාවක් ඉල්ලා උපස්ථායක හිමියන් යැවූවත් රජුගේ දැක්මක් වත් නොලැබිණි. තෙල වැළඳූ මහෞෂධයා මෙන් කොසොල් මහා රාජයා මාළිගාවට වී දොර වසාගෙන මුර දමාගෙන සිටියේය. අවසානයේ තමන් වහන්සේටම ඒ සඳහා යාමට සිදු විය.
තවත් අවස්ථාවක බුදුරදුන් ජනපද සංචාරය කර කොසොල් නුවරට වැඩම කළේය. රැල්ල ගසන අයුරු දන්නා කොසොල් රජු වහාම දෙව්රම ගොස් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දනට ආරාධනා කළේය. එපමණක් නොව ඒ දානය බැලීමට නුවර වැසියන් ද එන ලෙස අණ කළේය. නුවරුන් එක්සත් කරන ජීවමාන බලවේගය තමාට අවනත බව නුවර වැසියන්ට පෙන්වා දීමට මීට වඩා සාර්ථක ක්‍රමයක් ඇත්ද.
එහෙත් දානය බැලූ නුවර වැසියන් නිකං සිටියේ නැත. ඔවුන් කතා වී පසු දින බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහා දානයක් දිණි. එය බැලීමට රජාටද ආරාධනා කෙරිණි. රජාට මෙය ඇල්ලුවේ නැත. රජා පසුදින ආරාධනා කර ඊට වඩා ලොකු දානයක් දුන්නේය. සිව් වැනි දින නුවර වැසියනුත්, පස් වැනි දින මහරජාත්, වශයෙන් පෙර දිනට වඩා වැඩි විච්චූරණ සහිතව මේ දන් දීමේ තරඟය ඇදී දියේය. සය වැනි දින නුවර වැසියන් කතා කර විශාකාව සහ සුදත්ත සිටු ඇතුළු අල්පේශාක්‍ය මහේශාක්‍ය සියළුම දෙනා කතා වී මනාව සංවිධානය කර දුන් දානය දුටු කොසොල් මහරජුගේ තෙද බිඳිණි. එය පරදවා දානයක් දීමට සමතෙක් නොමැති බව ඔහුට වැටහී තිබිණි. මෙතැනදී රජුගේ සහයට එන්නී මල්ලිකා දේවියයි.
මල්ලිකාවත් කොසොල් මහරජාටම ගැළපෙන කෛරාටික කාන්තාවකි. ධනය වියදම් කර ලෝකයේම තිබෙන සියළු දේ ගෙනැවිත් දුන්නත් නුවර වැසියන්ගේ දානය පැරදවිය නොහැකි බව ඈට ද තේරුම් ගියේය. අනෙක් අතින් පරාජය බාර ගෙන නිහඬ වී නම් නුවර වැසියන් දෙකොණින් සිනා වනු ඇත. මෙය තමන්ම ඇටවූ බෝම්බය තමාගේ අතේම පත්තු වීමකි. මල්ලිකාව ගල් ලෙණ බින්දාය - නොහොත් පෙට්ටිය කැඩුවාය - තේරෙන බසින් කීවොත් out-of-the-box ක්‍රමවේදයක් යෙදුවාය.
ක්‍රියාව අමාරු වුවත් එහි පදනම සරළය. රජුට බිසෝවරු ඇත; වැසියන්ට නැත. රජුට හස්තීන් සිටී; වැසියන්ට නැත. රජුට කුඩ-කොඩි-සේසත්-චාමර තිබේ; වැසියන්ට නැත. මේ අයුරින් රජු සතුව තිබෙන නමුත් වැසියන් සතු නොවන වස්තූන් උපකාර කරගෙන සැවැත් නුවර වැසියන් දුන් දානය පැරදවීමට මල්ලිකාවගේ සැළසුම විය.
බුදුන්ගේ නිත්‍ය පරිවාර පන්සියයකි. ඒ පන්සීය නමට ඇතුළත අසුන් පණවන ලදී. පණවන ලද අසුන් දෙකක් අතර බිසෝ වරුන් රඳවා භික්ෂූන්ට චාමර සැලීමට, සුවඳ ඇඹරීමට, ඒවා ගෙන යාමට මල් වල දවටා ඉසීමට වෙනම බිසෝවරුන් තබන ලදී. එසේම භික්ෂුන්ට ඡත්‍ර ඉසලීමට හස්තීන් යොදා ගන්නා ලදී. මේ අයුරින් සියල්ල සංවිධානය වන විට එක ප්‍රශ්නයක් පැන නැගිණ. රජුට ඕනෑ තරම් හීලෑ අලි සිටියත් දානය අවසන් වන තුරු භික්‍ෂුන්ට ඡත්‍ර ඉසලාගෙන සිටීමට හැකි දාන්ත ඇතුන් සිටියේ එකුන් පන්සියයක් පමණෙකි. අනෙක් හස්තීන් යුධයට මිස දානයට නුසුදුසු දාමරික උන් ය.
කෛරාටික මල්ලිකාව මෙයින් සැළෙන කාන්තාවක් නොවේ. දාමරික හස්තීන් අතර භයංකාරම එකා දක්කාගෙන විත් අහිංසක තෙරුන්ට ඡත්‍රය දරන්නට යෙදවිණි. අංගුලිමාල නමින් ප්‍රසිද්ධ ඒ තෙරුන්ගේ ආනුභාවය කොතෙක් වීද යත් අර හස්තියා සොඬ විකාගෙන නකුට දෙපරන්ද අස්සේ ගසාගෙන බියෙන් සලිතව ගල් ගැසී සිටින්නට වන.
අනාගමේ සාස්තෘ මහා අවිහිංසාවාදී මහා කාරුණික බුදු පියාණන් වහන්සේ මේ සත්ව හිංසනය හේතුවෙන් බලවත් සේ තැවුලට පත් විය. උන් වහන්සේ
මල්ලිකා මට තොගේ දානෙත් එපායි කියා දෙව්රම් වෙහෙරට නැමී ගියේය. භික්ෂූන් වහන්සේලා ද බාලාංශ පංතියේ දරු කැලක් සෙයින් උන් වහන්සේ පසුපස පිය නගා වෙහෙරටම වැඩියහ. අංගුලිමාල තෙරුන් නොපෙනී යන දෙස සැලෙමින් බලා සිටි චණ්ඩ හස්තියා භීතිය පහව ගියෙන් කුඤචනාද නගමින් නැගී සිට දානොපකරණ සුණු කෙරෙමින් අනෙක් හස්තීන්ට පහර දෙමින් භිෂණය ආරම්භ කරන ලද්දේය. සුවඳ අඹරමින් සිටි, සෙමෙර සළමින් සිටි රාජ ස්ත්‍රීන්ගේ විළාපයෙන් මාළිගය දෙදරන්නට පටන් ගත්තේය. අසදෘශ මහා දානය අලි ජංජාලයක් වී අවසන් විය.
෴
ඉතින් කතරගම පෙරහැරේ එක අලියෙක් කලබල වීමෙන් අපේ අනාගමිකයන්ට මෙහෙම ආතල් නම් පන්සීයයක් අලි එකවර කුලප්පු වීමෙන් එදා කොසොල් රට සැවැත් නුවර අනාගමික වැසියන් කොහොම ආතල් එකක් ලබන්නට ඇත්ද. එසේ හෙයින් කියන ලදී:
සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා !
රේන්ද කියන්නේ දේශ සිමාව කියන තේරුම එන දෙයක්.
ReplyDeleteකඩවත් බද්ද කියන අර්තයත් ගතහැති. බලපත්‍රයට නම් ඒ නම් එච්චර ගැලපෙන්නේ නෑ නේද?
ඔබට තේරුම් ගත හැකි පරිදි මේ ලිපිය දින කිහිපයක් තිස්සේ ලියැවුණු එකකි. රේන්දය පසුව වෙනස් කිරීමට අදහස් කෙරුණු මුත් මග හැරුණු වචනයකි. එයින් නියම අර්ථය නොඑන බව අපගේද අදහසයි. ඒ සඳහා "බල කරදාසිය" යනුවෙන් යොදා පසුව රේන්දය යන්න තැබුවේ ඊට වඩා සුදුසු සිංහල වචනයක් ලැබුණොත් වෙනස් කරන අදහසිණි.
Deleteඑසේ වුවත් මෙය අර්ථ රසය නොව ශබ්ද රසය මුල් කොටගත් ලිපියකි. තෝරා ගත් වචන වලින් අනිසි අර්ථයක් කියවන්නාට යනු ඇතැයි සිතුණු තන්හි ඉංගිරිසි පදය යොදා ඇත්තේම එහෙයිණි. දැන් ඔබ මේ වචනය හසු කර ගත් බැවින් වෙනස් කිරීම අනුචිත යැයි සිතමි. අදහසට ස්තූතියි.
පිට එවුන් කියන නිසා නෙමෙයි, පෙරහැරෙන් අලි ඉවත් කිරීම නම් හොඳ දෙයක්.
ReplyDeleteබුද්ධාගම කියන්නේ හින්දු ආගම වගේ සංස්කෘතියකට බැඳුණ එකක් නෙමෙයි.
ඒ නිසාම කාලෙන් කාලට සංස්කෘතික අංග වෙනස් කරගැනීම බෞද්ධයන්ට ගැටළුවක් නෙමෙයි.
උදාහරණයක් විදියට භක්ති ගීත ගායනය සිංහල බෞද්ධ සංස්කෘතියට ආවෙ ඒ විදියටයි.
කතෝලික නොවන ක්‍රිස්තියානි ජනගහනයෙන් බහුතරය දෙමළ වෙන්න හේතුවත්, හින්දු සංස්කෘතිය එහෙම වෙනස් නොවීමයි.
මෙය වචන ගැන ප්‍රශ්නයක් යැයි සිතමි.
Delete"බුද්ධාගම කියන්නේ හින්දු ආගම වගේ සංස්කෘතියකට බැඳුණ එකක් නෙමෙයි." යන ඔබගේ ප්‍රකාශයට එකඟ නැත. වසර 2600 කට පෙර තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කළේ ලෝක සත්වයා වෙනුවෙන් වුවත් අප අද අදහන බුද්ධාගම යනු සංස්කෘතිය හා බැඳුනකි. එය ඉස්ලාමය තරම් බැඳී නැති බව කීවේනම් එකඟ විය හැක.
හිංදු ආගම යනුවෙන් එක ආගමක් නැත. ඇත්තේ ඇදහිළි පද්ධතියකි. අපගේ බුද්ධාගම ද එසේය. "කාලෙන් කාලට සංස්කෘතික අංග වෙනස් කරගැනීම බෞද්ධයන්ට ගැටළුවක් නෙමෙයි." යන්න සමග එකඟය. එය අප ඇදහිල්ලේ ස්වභාවයයි. අප දැන් අදහන්නේ බුදුන් පස්වග මහණුන්ට දෙසූ දහමවත්, අනුබුදුන් දේවානම්පිය තිස්සට දෙසූ දහමවත් නොවෙයි. අප කළේ ඒ දහම පොතේ ලියා තබාලා අපට ගැළපෙන එකක් සාදාගෙන ඇදහීමයි.
මෙය තව බිඳක් පැහැදිළි කළහොත් අප ජාතියක් වශයෙන් කළේ ස්වදේශික ඇදහිළි නම් කේක් ගෙඩියට බුදු දහමින් අයිසිං දැමීමයි. කන්නේ කේක් මිස අයිසිං නොවේ. පසු කාලීනව දකුණු ඉන්දීය ඇදහිළි සහ යුරෝපීය ඇදහිළි වලින්ද අපි අයිසිං දැමුවෙමු. මා අදහන සිංහල බුද්ධාගම එයයි.
කතෝලික නොවන ක්‍රිස්තියානි ජනගහනයෙන් බහුතරය දෙමළනම් එසේ වන්නට හේතුව හිංදු ආගම මෙරට දේශජ ආගමක් නොවීමයි. මෙරට දේශජ ආගම නම් සිංහල බුද්ධාගමයි. මිහිදු හිමි තිස්සට දේශනා කරන්නේ බුදුදහම මෙරට මුල් බැස ගත් බවයි. එහි අර්ථය ආගන්තුකව පැමිණි මහින්දාගම (බුදුදහමේ ශාඛාව) මෙරට දේශජ ඇදහිල්ල හා මනාව බද්ධ වූ බවයි. පසුගිය සියවස් දෙක තුන තුල යුරෝපිය අධිපත්‍යය යටතේ ඉන්දියාවෙන් මෙරට පැමිණි ආර්ථික සරණාගතයින් වන දෙමළුන්ට හිංදු ආගම රැක ගැනීමට වඩා ජීවනෝපාය සහ ආර්ථිකය වැදගත් වීම තේරුම් ගැනීම පහසුය. ඔවුන් පැමිණියේ සිංහල බෞද්ධ රාජ්‍යය තුලට නොව රෙපරමාදු ලන්දේසි සහ ඇන්ග්ලිකන් ඉංගිරිසි ක්‍රිස්තියානි කොළණියක් තුලට වීම ඔබගේ නිරීක්‍ෂණයට පදනම සපයයි.
මෙහෙමනේ,
Deleteදැන් ලක්ෂ්මන් කදිරගාමර් වගේ මිනිහෙක්ට හින්දු ආගම අදහන්න පුළුවන්ද?
හැබැයි එයාට එයාගේ සංස්කෘතිය තුල ඉඳගෙනම බෞද්ධයෙක් වෙන්න පුළුවන්.
හින්දු ආගම කියන එක අපැහැදිලි සංකල්පයක් තමයි. හින්දු ආගම කියන වචනෙත් සිංහලයට ආවේ ඉංග්‍රීසි බසෙන්.
මගේ මතය නම් හින්දු ආගම කියන්නේ ඉන්දියාව එක්සත් කරන්න බමුනෝ හදපු දෙයක්.
එහි අරමුණ මුළු ඉන්දියාවටම හරියන එක ආගමක් තැනීම.
බමුනෝ හදපු අනිත් ආයුධ දෙක තමයි කුල ක්‍රමය සහ සංස්කෘත බස.
සංස්කෘත බසේ අරමුණ මුළු ඉන්දියාවටම හරියන එක බසක් සෑදීම.
කුල ක්‍රමයේ අරමුණ මුළු ඉන්දියාවටම හරියන එක සමාජ ක්‍රමයක් සෑදීම.
ඇත්තටම හින්දු ආගම නොතිබුනා නම් තමිල්නාඩු ප්‍රාන්තය අද වෙනම රටක් වෙලා ගොඩක් කල්.
-ලක්ෂ්මන් කදිරගාමර්ට කැමති ආගමක් ඇදහීමේ ගැටළුවක් තිබිණි යැයි මා සිතන්නේ නැත.
Delete-වර්තමාන පාකිස්ථානයේ පිහිටි සින්ධු නදිය ආශ්‍රය කරගෙන හිංදු යන වචනය නිපන් බව දැනට පිළිගැනෙන මතයයි. ඉන්දියා යන්නේ උපතත් එහිම වෙයි. ඉන්දියාවේ දේශජ ඇදහිළි සියල්ල එක් කර ඒවා හිංදු නමින් හැඳින්වේ. මෙය බමුණන්ගේ ව්‍යායාමයක් යැයි මා සිතන්නේ නැත.
- තමිල්නාඩු ප්‍රාන්තය වෙනම රටක් නොවීම ඊනියා හිංදු ආගමක් නිසා සිදු වූවක් නොවෙයි. එය පාකිස්ථානයට අයත් නොවීම නම් ඒ නිසා සිදු වූවක්. තමිල්නාඩු ප්‍රාන්තය වෙනම රටක් නොවූයේ එම භූමි ප්‍රදේශයට අනන්‍ය ඓතිහාසික ජාතිකත්වයක් වර්ධනය වී නොතිබීම නිසයි. ඊට අමතරව බාහිර බලවේග වලට එවැන්නක් අවශ්‍ය නොවීමත් තව හේතුවක්.
එතකොට නාලාගිරි ඇතා දමනය කළේ පොලීසියෙන්ද?
ReplyDeleteකාලෙකින් පස්සේ !
Deleteකවදත් වගේ රසයෙන් කියවන්න පුළුවන් ලිපියක්.
ReplyDeleteනමුත් මොන අර්ථයෙන් ගත්තත් බුද්ධ කාලීන කථා කවරෙකු විසින් හෝ කවර අරමුණකින් හෝ විකෘති කොට ලිවීම. විකෘතිය ලොකු හෝ කුඩා වේවා මා අකමැති කාරණයක්.
මන්ද එවැනි විකෘතියක් පැරණි මූලාස්‍රයක් ලෙස මතු යම් දිනෙක යමෙකු විසින් භාවිතා කරන්නට ඉඩ ඇති බැවිනි.
ලිපියේ අන්තර්ගතය හා එහි හාසය මුසු සමාජ විවේචනය මම දකිමි.
අවශ්‍ය වූයේ මෙතැනට එන්නටයි.
Delete