සිංහලයින් ලංකාවේ පැහැදිලි බහුතරය වූවත් බොහෝ සිංහලයින්ට තිබෙන්නේ සුළුතර මානසිකත්වයකි. එයට සියවස් ගණනක් අතීතයට දිවෙන ඓතිහාසික හේතු තිබේ. තමන් ලංකාවේ බහුතරය බව බොහෝ සිංහලයින්ට ඇඟට නොදැනීමේ ප්‍රතිඵලය ලෙස ඔවුහු ඇතැම් විට තමන් රටේ බහුතරය බව ප්‍රදර්ශනය කරන්නට පෙළඹෙති. වෙනත් බොහෝ රටවල බහුතර ජනවර්ගය තුළින් මෙවැනි චර්යාවන් දකින්නට ලැබෙන්නේ මීට වඩා අඩුවෙනි.මේ ඇත්තද?
මේ ගැඹුරු ප්‍රශ්නයකි. සිංහලයා මෙරට බහුතරය බවට නිගමනයකට පැමිණීමට පෙර සිංහලයා යනු කවරක් දැයි එකඟතාවකට පැමිණිය යුතුව තිබේ.
ලංකාවේ ජන සංගණන මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු නොසපයයි. ජන සංගණනයේදී කෙරෙන්නේ එක් එක් පුද්ගලයාගෙන් වෙන වෙනම ඇසෙන ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරු එක්රැස් කර සංක්‍ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කිරීමයි. එහිදී ප්‍රශ්නයේ ගැඹුරට යාමේ ඉඩ හසරක් නැත. කෙටියෙන් කිවහොත් ඉකොනොමැට්ටා තමාගේ රචනයේදී නිවැරදිව වචනයට පෙරළා ඇති පරිදි "තමන් සිංහලයින් ලෙස හඳුන්වාගන්නන්" මිස සිංහලයින් ගණනය කිරීමේ ක්‍රමවේදයක් සංගණන කතුවරුන් සතුව නැත.
තමන් සිංහලයින් ලෙස හඳුන්වාගන්නන් අතර සැළකිය යුතු ප්‍රමාණයක් අසිංහලයින් සිටී.
පසුගිය අඩ-සියවස තුල ශ්‍රී ලංකා ජන සංයුතියේ සැළකිය යුතු වෙනස් කම් සිදුව තිබේ. 1911 පටන් නිදහස ලබන විටත් දළ වශයෙන් 0.6% පමණ තිබූ බර්ගර් ඇතුළු යුරේසියානු ජනගහණය 1981 දී 0.26% ටත් 2001 සහ 2012 වන විට 0.2% පමණ දක්වාත් අඩු වී තිබේ. මෙයින් කොටසකට වග කිව යුත්තේ සංක්‍රමණ වුවත් අනෙක් කොටස සිංහල ජනයා හා මිශ්‍ර වී තිබේ.
මෙය දෙයාකාරයකින් සිදු වේ - එක් ක්‍රමයක් මිශ්‍ර විවාහයි, අනෙක සංස්කෘතික මිශ්‍රණයයි. තම තමන්ගේ ආගම් ඇදහිළි එසේම තබාගෙන මේ ජන කොටස් සිංහලය තුලට අන්තර්ග්‍රහණය වී තිබේ. මැලේ ජනයා ද බොහෝ සෙයින් මේ මගේම ගොස් ඇත. පරම්පරා මුල් වෙතට ගොස් මේ පිරිස අසිංහලයින් ලෙස හඳුනා ගත හැකි වුවත් එහි ප්‍රායෝගික වැදගත් කමක් නැත.
ලංකාවේ වැද්දන් අඩු වන්නේ වැද්දන් තම අනන්‍යතාවය අතහැර සිංහලයින් ලෙස හෝ දෙමළුන් ලෙස හෝ පෙනී සිටීම නිසා මිස වෙනත් ජනවර්ගයක් විසින් වැද්දන් වඳ කෙරෙන නිසා නොවේ. මීගමුව ආශ්‍රිතව සිටි කාපිරි ගහණයට කුමක් සිදු වීද?
දැන් සිංහලයා වෙතට හැරෙමු. වර්ෂ 2012 ජන සංගණනයට අනුව 74.9% වන ලංකාවේ සිංහල ජනයා සැබවින්ම එක ජන වර්ගයක් ද?
මින් පෙර විස්තර කළ පරිදි සිංහලය තුලට විදේශයන්ගෙන් පැමිණි ජන වර්ග අන්තර්ග්‍රහණය වෙමින් තිබේ. මේ මෑත කාලීන ප්‍රවනතාවයක් ලෙස හඳුනා ගැනීම නිවැරදි නැත. මහාවංශයේ සඳහන් වන පරිදි විජයයා ප්‍රමුඛ සත් සියයක් පිරිවර ලිඛිත වාර්තා සහිත මෙවැනි පළමු කණ්ඩායමයි. විජයට ගෙනා භාර්‍යාව, පඬුවස්දෙව් රජු ඇතුළු පිරිස සහ සංඝමිත්තා තෙරණිය හා සමග පැමිණි පිරිවර මෙහි පැළපදියම් වී ලංකාද්වීපයේ එතෙක් සිටි (ප්‍රාග්-සිංහල) ජනයා හා මිශ්‍ර වී සිංහල ජාතිය ගොඩ නැගූහ. සංක්‍රමණ සහ ආක්‍රමණය අනවරතව සිදු වූ අතර පිටතින් පැමිණෙන ජනයා සිංහලයට අන්තර්ග්‍රහණය වීමද ක්‍රමිකව සිදු විය. එහෙත් මේ ජනකොටස් යම්තාක් දුරකට තම අනන්‍යතා ද රැක ගත්හ. මේ හේතුවෙන් සිංහලය යනු ජපන් ජාතිය වැනි සමජාතීය ජනවර්ගයක් නොවේ.
අද මෙන් ගමනාගමනය පහසු නොවූ ඈත කාලයේ ලක්දිව බොහෝ පෙදෙස් වෙන් වෙන් වශයෙන් හුදෙකලාව පැවතිණි. මේ හේතුවෙන් මේ ප්‍රදේශ වල ජනගහණයන් බොහෝ දුරට ස්වාධීනව විකාශනය වූ අතර සංක්‍රමණ විසින් කළ වෙනස් කම් ඒ ඒ ප්‍රදේශ වලට පමණක් සීමා කෙරිණ.
අද තත්වය ගත්තේ වුව දකුණේ ජනයා කොළොඹ ආශ්‍රිත සිංහලයාගෙන් වෙනස් ය. කොළොඹ ආශ්‍රිත සිංහලයෝ මීගමුව හා තදාසන්න පෙදෙස් වල සිංහලයින්ගෙන් වෙනස් වෙති. මේ සියළු දෙනා උඩරට (මහනුවර, මාතලේ හා කෑගල්ල) සිංහලයින්ගෙන් වෙනස් වන අතර වෙල්ලස්සේ සිංහලයෝ තමන්ගේම ලක්‍ෂණ දරති. රජරට සිංහලයෝ (වන්නි ?) වෙනම හඳුනා ගත හැකි ලක්‍ෂණ සහිත වෙති. අනුරාධපුරයෙන් උතුරට වන්නට තද කළු තෙල් ගෑ සමක් ඇති නියම යකුන්ගෙන් පැවතෙන සේ සැළකිය හැකි පෙනෙන සිංහලයින් කොටසකි. කඳුකර සිංහලයෝ (කොත්මලය, බදුලු ප්‍රදේශ) මේ සියල්ලන්ගෙන් වෙනස් වන අතර සබරගමුවේ සිංහලයෝ (කළුතරත් ඇතුළුව) වෙනම ලක්‍ෂණ දරති. ඉහත සඳහන් කළ සියළු ප්‍රාදේශීය වෙනස් කම් නොසළකා හැරියත් වියළි කලාපයේ, කඳුකර තෙත් කලාපයේ සහ පහතරට තෙත් කලාපයේ සිංහලයන් වෙන වෙනම ගත් කළ දුටු පමණින් හඳුනා ගත හැකි වෙනස් දේශලක්‍ෂණ තිබේ.
උක්ත කරුණු දේහ ලක්‍ෂණ, ආහාර රටා සහ භාෂා විලාස අධ්‍යයනය කිරීමෙන් ගොඩ නගා ගත් උපන්‍යාස වන අතර විද්‍යාත්මක පර්යේෂන අනුව තහවුරු කිරීම ඒ ගැන උනන්දු අය විසින් වහ වහා කළ යුතුව ඇත්තේ ජන-සම්මිශ්‍රණය හේතුවෙන් ඉහත වෙනස් කම් වේගයෙන් මැකී යන හෙයිණි.
ගමනාගමනයට වඩා ජනසම්මිශ්‍රනයට බාධාවක් සිංහලයන් අතර තිබිණි. ඒ කුලය ලෙස දැන් හඳුන්වන සිංහලයින්ගේ "ජාතිය"යි. දෙමළ හම්බ මරක්කල පරංගි ලංසි ඉංගිරිසි ඈ පරයින් මෙහි පැළපදියම් වීමෙන් පසු උන්ද වෙන වෙනම ජාති වශයෙන් හඳුනා ගන්නා ලදී. අප පෙර ලිපියක දක්වා ඇති පරිදි ජාතිය යන්නේ නියම අරුත ඉංගිරිසි nation යන්නේ පරිවර්තනය නොවේ. nation යන්නේ පරිවර්තනය ලෙස ගතහොත් මෙකී කිසිවෙක් ජාති වශයෙන් හඳුනා ගත නොහේ.
සිංහලයින්ට ජාති තිබිණි. මින් සමහරක් අඩු ජාති ලෙස හැඳින්විණි. අඩු ජාති කාරයින් අනෙක් අය විසින් අඩු සැළකිල්ලට බඳුන් කෙරිණි. මෙය භාරතීය කුලවාදය හා පටලවා ගත යුතු නැත. අඩු ජාති වැඩි ජාති කෙසේ වුව ආවාහ විවාහ කෙරුණේ සමජාති දෙදෙනෙකු අතර ය. මේ හේතුවෙන් ඒ ඒ ජාති වෙන වෙනම විකාශනය වූ අතර එක එක ජාති අතර පැහැදිළි වෙනස් කම් තිබේ. සිංහලයින්ගේ විඥානයේ ජාතිය කී විට ඇති වන්නේ 'ඇඟට දැනෙන' මේ ජාතිය පිළිබඳ හැඟීම මිස පොදු සිංහල ජාතිය ගැන හැඟීමම නොවේ.
සිංහල ජාතිය ගැන හැඟීම ඇති කිරීමට අනගාරික ධර්මපාල තුමාට අර තරම් වෙහෙසෙන්නට සිදු වන්නේත් ඉහත හේතුව නිසාය. ඒ ප්‍රයත්නයෙන් අවසානයක් නොදැකම උන් වහන්සේ ඉන්දියාවේදී අපවත් වන්නේ මෙවැනි ජාතික ආකල්ප වෙනසකට කෙනෙකුගේ ජීවිත කාලය ප්‍රමාණවත් නැති නිසාය.
ඉංගිරිසින් විසින් 1818 දී වෙල්ලස්ස ආශ්‍රිතව කළ සිංහල වර්ගසංහාරයෙන් සහ ඉන් අනතුරුව කළ ඊනියා ප්‍රතිසංස්කරණ වලින් සිංහල ජන සංයුතියේ සහ ආකල්ප වල බලවත් වෙනසකට මුල පිරිණි. සිංහල ජන සමාජයේ ප්‍රමුඛත්වය දැරූ කුල පරම්පරා සහමුලින්ම පාහේ සංහාරයට ලක් වූ අතර ඉතිරි වූ පිරිස පිටුවාහල් කරන ලදී. මෙයින් සිංහල ජන සමාජය කවන්ධයක් බවට පත් විය.
දෙවනුව රාජකාරි ක්‍රමය ඉවත් කර ඉංගිරිසි අධ්‍යාපනය දීමෙන් එතෙක් පැවති රාජකාරිය මත තීන්දු වූ `ජාතියේ` සීමාව පළුදු කෙරිණි. ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලබා දීමත්, කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනයත් මේ ප්‍රවණතාව ඉක්මන් කළේය. කතෝලික සහ ක්‍රිස්තියානිකරණයත් ඔවුන් වරප්‍රසාද සහිත තත්වයට පත් වීමත් ඉහත කී ජාති වලට අයත් පුද්ගලයින් ඒවායින් වෙන් කර "ආගමේ" ලෙස හඳුනා ගත හැකි ජාතියකට වෙන් කළේය. දැන් නිදහසින් සැත්තෑ වසකට පසු ඉහත කී ජාතිය තවදුරටත් ජාතිය ලෙස නොහැඳින්වී කුලය ලෙස හඳුන්වන අතර එය පුවත්පත් වල මංගල දැන්වීම් වලට පමණක් සීමා වී තිබේ.
එසේනම් දැන් සිංහල ජාතිය ශක්තිමත් ද?
පෙර කී රාජකාරිය මත පදනම් වූ ජාති සීමා ඉරි ඉංගිරිසින්ගේ ආනුභාවයෙන් වියැකී යමින් තිබුණත් ඉංගිරිසින් විසින් පැලපදියම් කළ ජාති වශයෙන් සිංහල ජන සමාජය බෙදී තිබේ. මේවා පදනම් වන්නේ ද රාජකාරිය මතම වේ.
මේ අභිනව ජාති සිවිල් සේවය හෙවත් පරිපාලන සේවය, විදේශ සේවය, ආරක්‍ෂක අංශ, අධිකරණ සේවා, වෛද්‍ය, ඉංජිනේරු, හෙද, ව්‍යාපාරික සහ මෙකී නොකී විවිධාකාර ආදී වශයෙන් වේ. අවසන් වශයෙන් සිදු වී ඇත්තේ පැරණි රාජකාරී ක්‍රමය මත පදනම් වූ ජාතියේ අනන්‍යතා සීමා බොඳ වී සියළු සිංහලයින් එක ජාතියක් ලෙස එකතු වීම නොව ඉංගිරිසින්ගේ රාජකාරි ක්‍රමය අනුව නව ජාති වලට සිංහලයා බෙදී වෙන් වීමයි. මෙහිදී ද ආවාහ විවාහ කෙරෙන්නේ සමජාතී පති-පතිනියන් අතර වේ. වෛද්‍යවරයෙක් හෙදියක ආවාහ කර ගන්නේ නැතුවා පමණක් නොව නීතිඥවරියක් කිසිදා බස් රියැදුරෙක් හා දීග කන්නේද නැත. පෙර ක්‍රමය හා නව ක්‍රමය අතර එකම බලවත් වෙනස පුද්ගලයෙකුගේ ජාතිය තීරණය කරන සාධක අතර පියාගේ ජාතිය අඩු වැදගත් කමක් ගැනීමයි.
මෙයට අමතරව සිංහලයින් අතර ප්‍රාදේශීය බෙදීම් ද තවමත් නැතුවා නොවේ. එහෙත් සිංහලයින් බෙදන ප්‍රධානම බෙදීම මේ එකක්වත් නොවේ.
ඉහත කී ලෙස 1818 දී ඉංගිරිසින් විසින් සිංහලයින්ගේ නායකත්වය සමූලඝාතනය කෙරිණි. එහෙත් 1848 දී අරගලය නැවත පණ ගැන්විණ. ඊට උපස්තම්භක වූයේ ඉංගිරිසින් විසින් කහකඩ හමුදාව යනුවෙන් හැඳින්වූයේ යැයි කියන (ඉංගිරිසින් සිංහල වචනයක් යොදා ගැනීමේ ඉඩ ?) භික්ෂු සමාජයයි. භික්ෂුව ඉහත කී ජාතිය ඉක්මවා සිටියේය. ඔහු ඉහත කී ජාති කිසිවකට අයත් නොවූ අතර එක විටම ඒ සියල්ලටම අයත් ද විය. සිංහලයේ සියලුම ජාති ඔහුගේ අණට යටත් විය.
එහෙත් ඉංගිරිසින්ට ඊට පිළියම් තිබිණි. එකක් අධ්‍යාපනයයි, අනෙක භික්ෂූන්ට නායක පට්ටම් දීමයි.
ලක්දිව එතෙක් පැවති සාම්ප්‍රදායික අධ්‍යාපනය නසා ලූ ඉංගිරිසින් බටහිර අධ්‍යාපනය පල්ලියට බාර දීමෙන් භික්ෂු බලය සිඳ ලීම ඇරඹිණි. 1956 දී බෞද්ධ මහා බලකොටු වශයෙන් දෙස්-විදෙස් පතල මහා කිර්ති කදම්භයකට උරුම කම් කියමින් පැවති විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් ආණ්ඩුවට පවරා ගැනීම ඉංගිරිසින්ගේ මේ ව්‍යාපාරයේ කූට ප්‍රාප්තියයි. දැන් මීට ජනමාධ්‍යත් එක් වී ඇත. මේ සියල්ලේ සාමූහික ප්‍රතිඵලය සිංහලයින් සිංහලයින් ලෙස පෙනී සිටිමින්ම අසිංහලයින් බවට පත් වීමයි. 2012 ජන සංගණනයේ දී 74.9% බව පෙන්නුම් කරන්නේ මේ සියල්ලන්ගේ එකතුවයි.
අද භික්ෂුවද බටහිර අධ්‍යාපනයෙන් හිස පුරවා ගත් බටහිර දැනුමේ දාසයෙකි. ඔහු බුදුදහම විද්‍යානුකූල කිරීමට තැත් කරයි - විද්‍යාව යනු බෝ මැඩදී එදා භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධ කර ගත් ධර්මය බව ඔහුගේ සිතට එළැඹෙන්නේ නැත. බටහිර මිනිසුන් බෞද්ධ කිරීමට ජිවිත කාලය වැය කරයි - තමා වටා සිටින සිංහලයන්, අඩු තරමෙන් තමාගේ නෑ සියන් වත් ඔහුට පෙනෙන්නේ නැත. තමා අදහන දේශපාලන මතවාදය සමාජගත කිරීමට කාලය වැය කරයි - තමා බුදු සව්වෙක් ය යන්න අමතක වෙයි. නැතිනම් රක්‍ෂා කරයි - තමන්ට දායකයන්ගෙන් සිව්පසය ලැබෙන වග සළකන්නේ නැත. සමහරු උපැවිදි වෙත් - ශ්‍රමණ බව සැපයක් බව දැනෙන්නේ නැත. මේ ගණයේ භික්‍ෂුව ජාතියේ නායකත්වයට සුදුසු නැත.
මේ සියලු හේතු වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වශයෙන් අද පොදුවේ සිංහලයාට පිළිගත හැකි නායකත්වයක් නැත.
එකී රික්තය පිරවෙන්නේ දේශපාලන පක්‍ෂ විසිණි. දේශපාලන පක්‍ෂ විසින් සිංහලයා බෙදා වෙන් කරගෙන තිබේ. සිංහලයා තමන් සිංහලයෙක්මි යන අදහස ඇතිව සිංහලයින් වශයෙන් කිසිවක් කෙරෙන්නේ නැත. සිංහලයාට සිංහල විඥානයක් නැත. වැඩිම වුවහොත් ඔහුට ඇත්තේ පක්‍ෂ විඥානයකි. නැතිනම් අර කී දොස්තර විඥානය, අද්දකාත් විඥානය, දිසාපති විඥානය, පොලිස් විඥානය, මන්ත්‍රී විඥානය වැනි ජාතිවාදී විඥානයකි.
මෙසේ හෙයින් සිංහලයා ලංකාවේ සැබවින්ම සුළුතරයකි. ඇත්ත වශයෙන්ම සැළකු කළ සුළුතර මහ ගොඩක එකතුවකි.
එවැනි විටෙක ලංකාවේ දේශපාලන බලය සිංහලයින් සතු වන්නේ නැත. ආර්ථික බලය කොහෙත්ම නැත. මේ තත්වය හමුවේ, ජනසංගණන වාර්තා කුමක් කීවත්, සිංහලයින්ට තමන් බහුතරය ලෙස දැනීමේ ඉඩක් නැත. ඉලක්කම් වලින් කියැවෙන දේ සැබෑවට නොදැනීමේ පීඩනය පිට කිරීමට තමන් සිංහලයින් ලෙස සිතන සුළුතරයක් විසින් විවිධ ක්‍රම අත්හදා බලන්නට ඉඩ තිබේ.
අනෙක් සිංහලයින් බිය කිරීමට වෙනත් වාර්ගිකයින් පිළිබඳ අතිශයෝක්තියට නැගූ වාර්තා ඉදිරිපත් කිරීම, වෙනත් වාර්ගිකයින්ට එරෙහි වෛරය අවුළුවන ප්‍රකාශ කිරීම, හා සමහර විට ඊටත් එහා ගොස් අනෙක් වාර්ගිකයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීමත් ඊට ඇතුළත් වේ.
එසේ නැතිනම් සාමකාමී අයුරින් තමාගේ පාඩුවේ බ්ලොගක් ලියාගෙන, විචාරයක් කරගෙන පීඩනය පිට කිරීමත් එක ක්‍රමයකි. සියළුම සිංහලයින් වෙත දෙතිස් කතාවේ අපගේ ආරාධනය මින් දෙවැන්න තෝරා ගන්නා ලෙස වේ.
මේවා මෙසේ වන්නේ එක එක ජාති වලට අයත් සිංහලයින්ගේම වරද හේතුවෙනි. වරද සිංහලයින් ලෙස එකතු නොවීමයි. අන්‍ය වාර්ගික මනුෂ්‍යයින්ට අයත් දේපළ ගිණි තැබීමෙන් සිංහලයින්ට සිදු විය හැකි සෙතක් නැත. සිංහලයින් එකතු වේ නම් සිංහලය මෙරට බහුතරය වේනම් අපට කළ නොහැකි කිසිවක් ඇත්තේද නැත.
හොඳ විග්‍රහයක්,
ReplyDeleteඇත්තටම ලංකාවේ සැබෑ ප්‍රශ්නය වන්නේ සංඛ්‍යාලේඛන වලට අනුව සිංහල බෞද්ධයන් විශාල පිරිසක් ඇති මෙන් පෙනුනත් සැබෑ ලෙස එම "සිංහල/ බෞද්ධ" ලේබලය යටතේ සිටින්නන්ගෙන් බහුතරයක් "අසිංහල/ අබෞද්ධයන්" වීමයි. තැලෙන යකඩය දැක්කම උඩ පැන පැන තලන්නාක් මෙන් අද සෑම දෙයකටම බෞද්ධයන්ට චෝදනා කිරීමක් දක්නට ලැබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල එම පක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කලේය.
උදය ගම්මන්පිල මේ බව සදහන් කලේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇතිවු ගැටුම්කාරී තත්වය හේතුවෙන් බෞද්ධයන් මුස්ලිම් ජනතාවගෙන් සමාව ගත යුතු බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් දක්වන විකාර අදහස් පිළිබදව මාධ්‍ය වේදීන් ඔහුගෙන් අදහස් විමසු අවස්ථාවේය.
මෙහිදී අදහස් දැක්වු උදය ගම්මන්පිල “ තැලෙන යකඩයක් මෙන් අද සෑම දෙයකටම බෞද්ධයන් පලි කර ගනිමින් සිටිනවා. අපි මීට කලිනුත් පැහැදිලි කලා මේ සිද්ධිය ඇතිවූයේ සිංහල පුද්ගලයෙකු මරා දැමීම නිසා නෙවෙයි. ඔහුගේ මරණයෙන් පසු අදාල පුද්ගලයන් සීසී ටීවී කැමරා ආශ්‍රයෙන් අත්අඩංගුවට ගත්තා. ජනතාව ඉතා සාමකාමීව සිටියා. ඉන් අනතුරුව කඩ පහක් ගිණි තිබ්බා. ඒ කඩ පහෙන් තුනක් සිංහල. දෙකක් මුස්ලිම්. සිංහල තරුණයාගේ මළ ගෙදරට පැමිණෙමින් සිටි බස්රථයකින් 24 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මළ ගෙදර පැමිණි වාහන හරවා යවන්න ගත්තා. ඒ මගින් නීතිය අපට අසාධාරණව ක්‍රියාත්මක වෙනවා කියන හැගීමෙන් තමයි ජනතාව අතර කුපිත වීමක් සිදු වුනේ."
"ඒ නිසා මේ තැලෙන යකඩය දැක්කම උඩ පැන පැන තලනවා වගේ බෞද්ධයන් විසින් සමාව ගත යුතු යැයි ප්‍රකාශ සිදු කරනවා. අපි කොතැනකවත් කියලා නෑ සිංහල ජාතිකයෙක් මුස්ලිම් වරුන් තිදෙනෙක් විසින් මරා දැමුවා. ඒ නිසා මුස්ලිම් වරුන් සිංහල ජනතාවගෙන් සමාව ගත යුතුයි කියලා. අලුත්ගම දී භික්ෂූන්වහන්සේ නමකට මුස්ලිම් ජාතිකයෙක් පහරදීම තමයි අලුත්ගම ගැටුමේ ආරම්භක හේතුව. නමුත් අපි කවුරුවත් කිව්වේ නෑ මුස්ලිම් ජාතිය මහා සංඝරත්නයෙන් සමාව ගතයුතුයි කියලා."
"මේවා සාමාන්‍යකරණය කරන්න ඕන ගොනෙකුට පුලුවන්. නමුත් එයින් ඇතිවෙන ආදීනව විසදන්න කිසිම ගොනෙකුට හැකියාවක් නෑ. ඒ නිසා ගොන්නු උනත් තප්පුලන්නේ නැතුව ඉන්න තරමට, තමා ගොනා කියන එක අනික් අයට දැනගැනීමට නොහැකි වෙනබව එවැනි ගොන් ප්‍රකාශ කරන අයට අපි සිහිපත් කරනවා."
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උදය ගම්මන්පිල "ෆේස් බුක් මගින් වෛරය වැපුරුවා කියලා පාසල් දරුවන් දෙන්නෙක් රක්ෂිත බන්ධනාගාර ගත කල ආණ්ඩුවක් තමයි බෝම්බ හතරක් අතේ තියාගෙන හිටපු අයව ඇප දීලා යන්න පොලීසියට ඉඩ දෙන්න උපදෙස් දුන්නේ. ෆේස් බුක් එකේ ලියන වචනය බෝම්බයකටත් වඩා භයානක ද කියන ප්‍රශ්නය අපිට මේ ආණ්ඩුවෙන් අහන්න සිදුවෙනවා."
"නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන්න. එය නොකිරීම නිසා ඇති වු සැකය සහ අවිශ්වාසය නිසයි ජනතාව නීතිය අතට ගැනීමට පෙළඹෙන්නේ. නීතිය පිලිබද විශ්වාසය ගොඩනගන්න. දුකක් ඇතිවුනාම දුකයි දුකයි කියමින් හඩා වැටෙන් නැතුව දුකට හේතුව හෙවුවොත් විතරයි දුක නැතිකිරීමේ මාර්ගය පාදගන්න පුලුවන් කියන එක බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යයේදී දේශනාකරලා තියෙන බව බුදු බණ ගැන නිතර කියන ආණ්ඩුවේ නායකයන්ට අපි සිහිපත් කරනවා" කියලාත් ගම්මන්පිල කිව්වා, මේක ද ඇත්තටම වෙන්නේ?
මෑත කාලයේ ප්‍රධාන වශයෙන් සෝම හිමියන්ගේ ධර්ම විජය ව්‍යාපාරය, ආචාර්‍ය නලින් ද සිල්වා මතවාදී නායකත්වය දරන චින්තන පර්ෂදය සහ තවත් එවැනි ව්‍යාපාර කිහිපයක් විසිනුත් ඇල්ලේ ගුණවංශ හිමි, අධිනීතිඥ හරිස්චන්ද්‍ර විජේතුංග, මහාචාර්‍ය S.L. ගුණසේකර වැනි තනි තනි පුද්ගලයන් විසිනුත් ප්‍රවර්ධනය කෙරුණු සිංහල ජාතික ව්‍යාපාරයක් වෙයි. ඊට අමතරව සිංහලයින්ගේ ජාතික හැඟීම ද මෝරමින් තිබේ. 1960 ගණන් වලින් පසු කතෝලිකයින් පවා ක්‍රිස්තියානිකරණය වෙනුවට බෞද්ධකරණය වෙමින් සිංහල සංස්කෘතිය තුලට අවශෝෂණය වෙමින් සිටී.
Deleteඉහත ලිපිය පුරා අප විසින් විස්තර කෙරුණු, එකොනොමැට්ටා විසින් තමන්ගේ "අපේ අනන්‍යතා" ලිපියේ වෙනත් මාණයකින් විස්තර කෙරෙන ජාතික අනන්‍යතා හා ඒවායේ ප්‍රමුඛතා ඉහත කී ව්‍යාපාර විසින් තවම හඳුනාගෙන නැත.
මීට සියවසකට පෙර සිකීම් මහින්ද හිමිපාණන්ගේ, අනගාරික ධර්මපාල තුමාගේ, පියදාස සිරිසේනලාගේ, කුමාරතුංග මුනිදාසලාගේ ජාතික ව්‍යාපාරය සිංහලයා "කුල" වලට බෙදී සිටීම ප්‍රශ්නයක් බව දැනගෙන සිටි අතර කුල බෙදීම තුනී කර සිංහලයා එකතු කිරීමට සවිඥානිකව දායක විය.
පුරාණ ඊනියා කුල බෙදීම තුනී වී ගියත් සිංහලයා නවීන කුල වලට බෙදී සිටින බව වර්තමාන ජාතික ව්‍යාපාර දන්නේ නැත - අනෙක් අතින්, එසේ දැන ගැනීමට හැකියාවක් ද නැත. වර්තමාන සිංහල ජාතික ව්‍යාපාර වල සිටින පුද්ගලයන් විසින් නියෝජනය කරන්නේ සිංහලයේ වර්තමාන බෙදීම අනුව තවත් එක් අනු-ජාතියකි, නැතිනම් එහි සීමිත පරාසයකි - වෙනම වචනයෙන් කිවහොත් මේ පුද්ගලයන් වෙනම කුලයකි. මේ කුලයට අයත් පුද්ගලයින්ට සමස්තයක් ලෙස පොදුවේ සිංහලයාට ආමන්ත්‍රණය කිරීමට හැකියාවක් නැත.
ජාතියට පොදුවේ නායකත්වය දීමට හැක්කේ සංඝ රත්නයටම පමණි. එහෙත් ඊට අවශ්‍ය සුදුසුකම වර්තමාන ලංකාවේ සංඝ රත්නය තවම සපුරාගෙන නැතුවා පමණක් නොව ඔවුන් ගමන් කරන්නේද වැරදි දිශාවටය.
දේශපාලනඥයන් පසුපස යන සංඝ සමාජයේ මේ ගමන අනෙක් පැත්තට හරවන දිනක් උදා වන තෙක් සිංහලයාට සිංහල බිමේ මේ අවමන් විඳින්නට සිදු වනු ඇත.
මගෙන් ඇසූ ප්‍රශ්නයට විස්තරාත්මක පිළිතුරක් ඔබ විසින්ම ලියා තිබේ.
ReplyDeleteඔබෙන් ප්‍රශ්නය විමසෙන විටත් මේ ලිපියේ අන්තර්ගතය මසිතේ ගලපමින් තිබිණි. සැකසෙමින් තිබුණු ඒ ලිපියට මාතෘකාව සහ පිවිසුම ලබා ගැනීමට ඔබේ පෙර ලිපිය උපකාරී විය.
Deleteඅර ප්‍රශ්නය අසන ලද්දේ මේ ලිපියේ අන්තර්ගතය වඩා ඔප-මට්ටම් කර ගැනීමටයි. ඔබ පසුව පිළිතුරු දෙන්නෙමැයි කී බැවිනුත් ඒ "පසුව" දිනය කවදා ඒ දැයි කිව නොහැකි බැවිනුත් මගේ ලිපිය අවසන් කර ප්‍රකාශයට පත් කළෙමි.
ඔබේ පෙර ලිපිය නොවුණානම් මේ ලිපියට මේ මාතෘකාව ලැබෙන්නේ නැත. ඒ ගැන ස්තූතිය පිළිගන්න.
http://www.bbc.com/sinhala/sri-lanka-43370684
ReplyDelete"...ශ්‍රී ලංකා ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවලට අනුව:
1981 වසරේ දී සමස්ත ජනගහනයෙන් 69.3% බෞද්ධ ප්‍රජාව නියෝජනය කර ඇති අතර 2012 වනවිට එම ප්‍රතිශතය 70.1% දක්වා ඉහළ ගොස් ඇත
1981 වසරේ දී සමස්ත ජනගහනයෙන් 7.5% මුස්ලිම් ප්‍රජාව නියෝජනය කර ඇති අතර 2012 වනවිට එම ප්‍රතිශතය 9.7% දක්වා ඉහළ ගොස් ඇත
සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනගහනය ඉහළ ගොස් ඇතත් පසුගිය කාලය දෙස බැලීමේදී මුස්ලිම් ප්‍රජාවේ සුවිශේෂී වර්ධනයක් දැකිය නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් පවසයි..."
Unfortunately, this professor lacks the understanding of simple arithmetic.
The Muslim population has increased by 29.3% while Sinhalese population increased by just 1%.
1981 සහ 2012 සැසඳීමේදී සැළකිය යුතු වැදගත්ම කරුණ දෙමළ සංක්‍රමණයයි.
Deleteසංක්‍රමණික ජන වර්ගයක් වන දෙමළා යුරෝපීයයන්ගේ අනුබලයෙන් ලංකාවට ඇදී ආවේ දසලක්‍ෂ ගණනිනි. පසුව සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් මින් සැළකිය යුතු ප්‍රමාණයක් හරවා යැවීමට ඉඩකඩ තිබුණත් JR ජයවර්ධන විසින් ගත් එක අමනොඥ තීරණයක් හේතුවෙන් එය අවහිර විය. නමුත් ඉන්දියාව විසින් ඇති කෙරුණු JRගේ ආණ්ඩුව විසින් මර්ධනය නොකෙරුණු 1983 දෙමළ කෝලාහලය සහ අනුගාමිකව ඇති වුණු දෙමළ කැරැල්ල හේතුවෙන් දෙමළ සංක්‍රමණය අනෙක් අත හැරුණේය. 80 දශකයෙන් පසු දෙමළ ගහණය දෙමළ වර්ධන වේගයට අනුරූපව වැඩි වුණේ නැත. මේ අඩුව පිරවීමට දෙමළ නොවන අනෙක් ජන වර්ග වල ප්‍රතිශත ඉබේම ඉහළ යයි.
මෙයට අමතරව, ලංසි සහ ජා (මැලේ) වැනි ජනවර්ග සිංහලය තුලට අවශෝෂණය වීමෙනුත් සිංහල ලෙස හඳුන්වා ගන්නා ජනගහණය ඉහළ යයි.
"සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනගහනය ඉහළ ගොස් ඇතත් පසුගිය කාලය දෙස බැලීමේදී මුස්ලිම් ප්‍රජාවේ සුවිශේෂී වර්ධනයක් දැකිය නොහැකි බව" පවසන "ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන්" මෙහිදී නොපවසන දේ නම්, 69.3%, 70.1% දක්වා ඉහළ යාමේදී වැඩි වූ ප්‍රතිශතය 70.1 - 69.3 = 0.8% බවත්, 7.5%, 9.7% දක්වා ඉහළ යාමේදී වැඩි වී ඇති ප්‍රතිශතය 9.7 - 7.5 = 2.2% බවත්ය.
දැන් සරළ ගණිතයට එමු.
* 69 ව සිටි සිංහලයින් වසර 21 තුල එකකින් වැඩි වී 70 බවට පත් වී තිබෙන අතර 7 ව සිටි මුස්ලිමුන් වසර 21 තුල දෙකකින් වැඩි වී 9 බවට පත් වී තිබේ.
* ඒ අනුව, 7 වෙනුවට මුස්ලිමුන් 70 සිටියේනම් ඔවුන් 20 කින් වැඩි වී මේ වන විට 90 ව සිටිනු ඇති බව තර්කානුකූලව නිගමනය කළ හැක.
මහාචාර්‍ය වරයාගේම දත්ත අනුව සිංහලයින් 1 වැඩි වන විට මුස්ලිමුන් 20 වැඩි වේ. හේතුව මුස්ලිම් වාර්ගිකයන්ගේ ශුද්ධ වර්ධනය සිංහලයින්ගේ එම අගය මෙන් 20 ගුණයක් වීමයි.
මේ තරම් නග්නව පෙනෙන සත්‍යය බොරුවේ සීතාම්බර සළුවෙන් වසා BBC සේවාව ඔස්සේ ප්‍රචාරය කරන්නේ සුද්දන් යනු විචාරයක් හෝ තර්ක බුද්ධියක් හෝ නැති මන්ද බුද්ධිකයින් පිරිසක් ලෙස සළකාගෙන ද?
---------
අප මිතුරු ජොසේෆ් මිට පෙර ලිපියට ලබා දුන් ප්‍රතිචාරයද උක්ත කරුණ අරභයා මෙවැනිම එළියක් ලබා දෙයි.
මෙහි ප්‍රතිචාර දැක්වීම ගැන ස්තූතියි.
Actually this is from BBC Sinhala. I've noticed that they have bias against Sinhalese Buddhists. However, sad thing is that people like Economatta are trying to hide this pure fact!
ReplyDeleteI don't think economatta is trying to hide anything. he likes to be based on numbers, which is totally acceptable.
Deletepeople say the BBC in general and their so called sinhala service specially are sympathetic towards minorities. but for me, they're just spot on their agenda. it's not sinhalese, tamil or muslim they're biased against. they're trying to serve their own interests - english interests.