පොසොන් මාසය එළඹෙත්ම දෙවියෝ උන් වහන්සේ වැඩ සිටි තැනත් වජ්‍රාසනයත් අතරින් පූර්ව සක්වල මුවවිට සිට පශ්චිම සක්වල මුවවිට දක්වා රුවන් සක්මනක් මැවූහ. තථාගතයන් වහන්සේ ඒ සතිය ඒ රුවන් සක්මන මත සක්මන් කළ සේක. තෙවන සතිය අවසානයේ සතුටු සිත් ඇති දෙවියෝ ශ්‍රී මහා බෝධියට වයඹ දිගින් රුවන් ගෙය ක් මැවූහ. සක්මනින් බැස රුවන් ගෙයට වැඩම කළ සම්මා සම්බුදු රජාණන් වහන්සේ චක්‍රවර්ති රාජ්‍යය ලත් රජ්ජුරු කෙනෙකුන් භාණ්ඩාගාරයට වැද තමන් සතු වූ නොයෙක් රත්න ජාති පරීක්‍ෂා කරන්නේ යම් සේ ද, තමන් වහන්සේ අභිනවයෙන් සතු කර ගත් ධර්මරත්නය පරීක්‍ෂා කිරීමට පටන් ගත්හ. මේසේ තමන් වහන්සේගේ "අනෙක ජාති සංසාරං..." යන ගාථාවෙන් පටන් "අප්පමාදෙන සම්පාදේථ" යන ගාථාව දක්වා තමන් වහන්සේ විසින් දේශනා කරන්නා වූ, පිටක වශයෙන් තුනක් වන, නිකාය වශයෙන් පසක් වන, අංග වශයෙන් නවයක් වන, ස්ඛන්ධ වශයෙන් සුවාසූදහසක් වන එහෙත් රස වශයෙන් එකම ධර්ම රසය වන සියලු ධර්මය මුල සිට අග දක්වාත්, අග සිට මුල දක්වාත්, දෙකෙළවර සිට මැද දක්වාත්, මැද සිට දෙකෙළවර දක්වාත් මෙනෙහි කරන උන් වහන්සේගේ බුද්ධ ශරීරයෙන් සවනක් ගණ බුදු රැස් විහිදිණි. මේ බුද්ධත්වයෙන් සතර වන සතියයි.
එසේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සවනක් ගණ බුදු රැසින් දිලිහි දිලිහී රුවන් ගෙයි වැඩ සිටින සඳ, වෙසක් පෝ දා පැරදී පලා ගිය මාරයා අනෙක් දෙවියන්ගේ නින්දා අපහාස විඳිමින් ස්වකිය පරනිම්මිත වසවර්තී නම් දිව්‍ය ලෝකයේ ස්වකිය භවනේ සිටිය නොහැකිව ඉන් පලා ගොස් මගී වෙසක් මවාගෙන දඹදිව එක්තරා මාවතක් මැද දෙපා දිගු කොට හිඳගෙන එක අතක් නිකට තබාගෙන කරබාගෙන දැන් කුමක් කරම්දැයි කල්පනා කරමින් බොහෝ ශෝකයෙන් සුසුම් හෙලමින් සොළොස් කාරණයක් සිතා ඒ මහමග අවුරා සොළොස් ඉරක් ඇන්දේය. මෙසේ හෙතෙම මහමග ඉරි අඳිමින් සිටින විට ස්වකිය පියාණන් සතර සතියකින් නුදුටු ඒ වසවර්තී මාරයාගේ තණ්හාය, රතීය, රගාය යන නම් ඇති දූන් තිදෙන මේ බැව් දැනගෙන වහා එහි පැමිණ
නොබා සිටිය මැනවි පියාණන් වහන්ස, අප නුඹ වහන්සේගේ ඒ සතුරා කාම පාශයෙන් බැඳගෙන විත්, නුඹ වහන්සේගේ පාමුල දක්වා ලමුයි කියා වහසි බස් කියා ගොස් විතරාගී ඒ මුනින්ද්‍රියන් වහන්සේ ඉදිරියේ නොයෙක් රාගී ලීලා දක්වා අසමත් ව පැරදී පලා ගියේ අද වන් පොසොන් පසළොස්වක පෝ දිනකය.
මුචලින්ද නාග දරණය - සය වන සතිය |
෴
සකල ලෝකවාසි බෞද්ධ ජනතාවට වෙසක් පුන් පෝ දිනය වැදගත් වන්නේ යම් සේ ද ලංකාවාසී බෞද්ධ ජනතාවට වඩා වැදගත් වන්නේ පොසොන් පෝ දිනයයි. මාසයකට පෙර අගනුවරට රැස්ව උමතු වෙසින් සැණකෙළි කෙළි මහජනතාව උපාසක ලීලාවෙන් රජරට කරා ඇදෙන්නේ මේ කාලයටයි. තරමක් තද වැසි ඇති වන මේ කාලයේ රජරට පුරා ඇති කුදු මහත් සියලු වැව් පිරී යාම සාමාන්‍යයෙන් සිදු වේ. දිය කෙළි කෙළිනු රිසි දනන්ට මේ රජ මගුලකි. පොසොන් මාසයේ දිය කෙළි පමණක් නොව දඩ කෙළිද යහමින් පැවති බවට අපේ ඉතිහාසය දෙස් දෙයි.
ලක්දිව ඉතිහාසය වෙනස් කළ මහින්දාගමනය
ශූර වීර පණ්ඩුකාභය රජුගෙන් (බු.ව. 107, මූලාශ්‍රය මහාවංශය) ඇරඹුණු අනුරාධපුර රජ පෙළපතේ දෙවනුව රජ පැමිණියේ මුඨසීව රජුය (බු.ව. 177, මූලාශ්‍රය මහාවංශය). ස්වකිය පියාණන් විසින් මනා සැළැස්මකට අනුව ඉදි කෙරුණ රම්‍ය නගරයක් වන අනුරාධපුරයේ සිට රාජ්‍යය විචාල ඒ රජුට තම සැට අවුරුදු රාජ්‍ය කාලය තුල කිරීමට බොහෝ කටයුතු තිබුණේ නැත. අභ්‍යන්තර බාහිර ආරවුල් නැති එතුමාගේ රාජ්‍ය කාලයේ වඩාත් දියුණු නාගරික ලක්‍ෂණ ඇති කර ගනිමින් ලෝකයේ ප්‍රධානම නගරයක් ලෙස දියුණු වූ අනුරාධපුරයේ සුඛිත මුදිත මහජනතාවට සැන්දෑ කාලය විවේකයෙන් ගත කිරීම පිණිසත්, ශාරීරික අභ්‍යාසය පිණිසත් උද්‍යානයක් නොමැති අඩුව දැනිණි. මේ රජතුමාගේ අග්‍රගන්‍ය නිර්මාණය අනුරාධපුර නගරයේ කළ මහාමේඝ වනය හෙවත්, අදද හඳුන්වන පරිදි මහමෙවුනා උයනයි. මේ වනෝද්‍යානය සෑදීම පිණිස බිම සළකුණු කරන දින අකාල මේඝයක් වට හෙයින් මේ උයන මහාමේඝ වන නම් වන බැව් අපේ වංශකතා කියයි.මුඨසීව රජ සමයේ ලක්දිව පුරා සාමය රජයන සෞභාග්‍යමත් කාලයක් වුවත්, දඹදිව තත්වය එසේ නොවීය. පාඨලීපුත්‍රය රජ දහන කර ගනිමින් මගධයේ රජ බවට පත් වූ චණ්ඩාශෝක තෙමේ කාලිංගය දෙවනත් කර මහා ජන සංහාරයක් කරමින් සිටියේ මේ සමයේ ය. පසුව හෙතෙම දිග්විජය කෙරේ කලකිරී දහම් විජය වැළඳ ගත් ඒ රජ තෙමේ ස්වකිය පුත්‍රයන් හා දියණියන් යන දෙදෙනාම බුදු සසුනේ පැවිදි කරවීය. ඒ මහින්ද කුමාරයෝ ලක්දිව බුදුසසුන පිහිටුවීම පිණිස මොග්ගලීපුත්තතිස්ස තෙරුන්ගෙන් නිල ලදින් මුඨසීව මහරජු ඉතා මහළු බැවින් ලක්දිව නොවැඩ තමන් වහන්සේගේ මව් දේවී තොමෝ වාසය කරන වේදිසගිරියේ වැඩ වාසය කරයි.
මුඨසීව මහරජුට පුත්තු දස දෙනෙක් හා දූ වරු දෙදෙනෙක් වූහ. මහ පිනැති තිස්ස තෙමේ මුඨසීව රජු ඇවෑමෙන් අනුරාධපුරයේ රජ බවට පැමිණියේය. හෙතෙම අශෝක රජු හා අදෘශ මිත්‍රයහ. හසුන් යවා පුරුදු ඇත්තේය. තිස්ස රජුගේ අභිෂේකය (බු.ව. 237, මූලාශ්‍රය මහාවංශය) සමගම ලක්දිව බොහෝ රුවන් පහල විය. තිස්ස රජ තෙමේ සිතන්නේ, ලක්දිව වනාහී බොහෝ රුවන් ඇත්තේය. මේසේ වූ රුවන් දඹදිව් තලේ නැත්තේය.එසේ හෙයින් මේ රුවන් වනාහි ජම්බුදීප චක්‍රවර්ති අශෝක රජුටම ගැලපේ යැයි සිතා, ඇමතියන් අත ඒ රුවන් පඬුරු කොට යැවුහ. අතිශය දුර්ලභ වූ ඒ රුවන් දැක සතුටු වූ ධර්මාශෝක මිහිපල් තෙමේ, ඒ ඇමතියන්ට තනතුරු දී සත් මසක් එහි තබාගෙන සත්කාර කර අවසන, මේ රුවන් හා සැසඳෙන අනික් රුවනක් නැත. එසේ වුවත් තුනුරුවණ වනාහි අගය කළ නොහැක්කේමය කියා සිතා ඒ තිස්ස රජුට බොහෝ පඬුරු සමග අභිෂේකයට අවශ්‍ය කළමනාද සපයා දී සියල්ලටම වඩා උතුම් දහම් පඬුරක් ලෙස හසුනක් ලියා ඒ ඇමතියන් අත ලක්දිව එවූහ.
මිහින්තලයේ බුදුරුව, අම්බස්තල චෛත්‍යය සහ ආරාධනාගල සේල චෛත්‍ය මළුවට දිස් වන අයුරු |
එකල ඒ මිස්සක පවුවේ වෙසෙන දේවතාවා මුව වේශයක් ගෙන තිස්ස රජු ඉදිරියෙන් දිව ගිය ආකාරයත්, ඒ පසුපස පන්නාගෙන ගිය මහ රජුට මහින්ද මහ රහතන් වහන්සේ "තිස්ස තිස්ස" ආදී වශයෙන් ආමන්ත්‍රණය කළ ආකාරයත්, "මේ මොන යකෙක්'දැ"යි බියපත් වූ මහ රජුගේ බිය සංසිඳවීමට
සමනාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා - තමෙව අනුකම්පාය - ජම්බුදීපා ඉදාගතායනාදී වශයෙන් දේශනා කළ ආකාරයත් චිරප්‍රසිද්ධ කරුණු ය. මෙසේ බියෙන් මිදුණු ඒ දේවානම්පියතිස්ස රාජයා අඹ පැනය හා ඥාති පැනය යන පැන දෙක විමසා වදාළ මහින්ද මහ තෙරුන්ට දුන් පිළිතුරු අනුව බුදුදහම විමසා අවබෝධ කර ගැනීමට සමත් චින්තන ලීලාවක් ලක්දිව ජනයා සතු බව දැන ගත් උන් වහන්සේ ඒ නුවණැති රජුට චුල්ලහත්තිපදෝපම සූත්‍රයෙන් දහම් දෙසා වදාළ අයුරුත්, ඒ දහම් අසා මහ රජු සතලිස් දහසක් සේනාව සමග තෙරුවන් සරණ ගිය අයුරුත් එසේම චිරප්‍රසිද්ධයහ.
අනුබුදු මිහිදු මාහිමියන් දේවානම්පියතිස්ස රජුට සම්මුඛ වූ අම්බස්තලය ෴ පසුබිමින් දිස්වන්නේ ආරාධනාගලයි |
ඉක්බිති තෙරුන් වහන්සේ සුමන සාමණේරයන් බනවා, කාල ඝෝෂා කිරීමට නියම කළහ. ඒ තෙරුන් වහන්සේ මුළු ලක්දිව ඇසෙන සේ සෘද්ධි බලයෙන් කාල ඝෝෂා කළාහුය. මෙසේ සුමන සාමණේරයන් වහන්සේ කාලඝෝෂා කළ ස්ථානය අද ආරාධනා ගල ලෙස හැඳින්වේ. මේ කාලඝෝෂාව අසා රැස් වූ ලක්දිව් වැසි දිව්‍ය, නාග සුපර්නාදීන්ට මිහිඳු මාහිමියන් වහන්සේ විසින් සමචිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දේශනා කරන ලද බව කියවේ. මිහිඳු මාහිමියන් තිස්ස රජු හා සම්මුඛ වී දහම් දේශනා කළේ අම්බස්තලයේදීය.
මෙසේ අසංඛ්‍ය සත්ත්වයන් අමා මහ නිවන් දක්වා පසුදිනට පහන් වූ සඳ එහි පැමිණි රථාචාර්යයා පළමුව යවා තබා තමන් වහන්සේ රහත් පිරිවර සමග අහසින් වැඩ නැගෙනහිර මහ වාසලට සැපත් වූහ. රජ්ජුරුවෝ ද මෙපවත් අසා පැමිණ පසඟ පිහිටුවා වැඳ මහ පෙරහරින් ගෙන ගොස් සිංහාසනයේ වඩා හිඳුවා කළමනා සත්කාර කොට දහම් දේශනයට ආරාධනා කළාහුය. මිහිදු මාහිමියන් වහන්සේ අන්තඃපුරයේදී විමානවස්තුව සහ ප්‍රේත වස්තුව මුල්කොටගෙන දහම් දේසුහ. ඒ දහම් අසා අනුලා දෙවින් ප්‍රමුඛ පන්සියයක් ස්ත්‍රීහු සෝවාන් බවට පත් වූහ.
මේ පවත් අසා එක රැස් වන්නා වූ මහජනයාට රජ මැදුර හා අන්තඃපුරය අවකාශ මද බැවින් පස්වරු කාලයේ ධර්ම දේශනා පිණිස රජ ගෙයි ඇත් හල සකසා ධර්මාසන පනවා දුන්හ. තෙරුන් වහන්සේ මෙහි වැඩ හිඳ දේවදූත සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. ඒ ඇසූ දහසක් පුරුෂයින් සෝවාන් කළහ. තව තව එන සේනාව මහත් බැවින් ඇත් හලත් සම්බාධ බැවින් නුවරට දකුණු දිග නන්දන නම් උයනෙහි වැඩ හිඳ සවස් කාලයේ බාලපණ්ඩිත සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. එයිනුත් දහසක් පමණ පිරිස සෝවාන් වූහ. මෙසේ තමන් වහන්සේ අනුරාධපුරයට වැඩි පළමු දිනයේම දෙදහස් පන්සියයක් සිංහලයන් සෝවාන් කරවා මහින්ද මහා රහතන් වහන්සේ, ලංකේශ්වර වූ දේවානම්පිය තිස්ස රජුගේ ආරාධනයෙන්, මුඨසීව මහා රජු විසින් කරවන ලද මහාමේඝවන නම් උයනෙහි රාත්‍රී විහරණය කළ සේක.
දෙවන දා උයනට සැපත් වූ මහ රජු ආරාම පිළිගැනීම කැප බැව් තෙරුන් අතින් දැනගෙන ඒ මහාමේඝවන උද්‍යානය මහා සංඝයාට පිළිගැන්වූහ. මේ මහපෝලෝ ගුගුරුවා පිළිගන්නා ලද දෙවන ආරාම පූජාවයි (පළමු වැන්න වේළුවනාරාම පූජාව වෙයි). මෙහිදී දෙසන ලද දම් අසා අනුලා දේවී සකෘදාගාමී විය. ඒ දෙවින් පැවිදි වන රුචි පහල කළ බැවින් ඈ පැවිදි කර ගන්නා ලෙස ඉල්ලූ මහරජුට "මහරජ, ස්ත්‍රීන් පැවිදි කිරීම කැප නැත්තේය. අපගේ නැගණි සංඝමිත්තා නම් තෙරණි කෙනෙක් වෙති. උත්තම වූ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද බොහෝ භික්ෂුනින්ද ගෙන උන් වඩින ලෙස තොපගේ මිත්‍ර අපගේ පියාණන්ට හසුන් යවව"යි තෙරුන් වහන්සේ පිළිතුරු දුන්හ. මේ ලක්දිව මෙහෙණි සස්නේ මුලාරම්භයයි. මහමෙවුනා උයන පිළිගත් මිහිඳු මහ තෙරුන් පිළිවෙලින්, ශ්‍රී මහා බෝධිය පිහිටන තැන, ලෝවාමහපා පිහිටන තැන, රුවන්වැලි සෑ පිහිටන තැන ආදී සතර බුදු වරුන් විසින් සේවනය කරන ලද්දා වූ උත්තම ස්ථාන සතකට වැඩ වදාරා සමන් මල් අට මිට බැගින් පූජා කර සත් වරක් පොළෝ ගුගුරවා එදින අග්ගික්ඛන්දෝපම සූත්‍රයෙන් බණ කියා දහසක් පමණ දෙනා නිවන් දැක්වූහ.
මෙසේම තුන් වන දා ආශීර්විෂෝපම සූත්‍රයෙන් ද, සිව් වන දවස් අනමතග්ග සූත්‍රයෙන් ද බණ වදාරා නොයෙක් දහස් ගණන් ස්ත්‍රී පුරුෂයන් නිවන් දැක්වුහ. එසේම මහා සීමාව බඳවා බුදුසසුන පන්දහසක් හවුරුදු පවත්නා සේ තිර කළේය. මේ මහා සීමාව බන්ධනය කරන දිනයේද පොළෝ කම්පා විය. පස් වන දින ඛජ්ජනිය පරියාය සූත්‍රයෙන් ද, සවන දවස් ගොමයපින්ඩ සූත්‍රයෙන් ද, සත් වන දවස් ධම්සක්‌පැවතුම් සූත්‍රයෙන් ද බණ වදාරා දහස බැගින් දෙනා සෝවාන් ඵලයට පත් කළ සේක.