සුද්ද හිටියේ යාල අද්දර, මේ සුද්දන් රට කරන කාලේ නිසා ඒ හැටි දියුණුවක් නෑ ඔන්න. කැලේ තමයි ලංකාව පුරාම. දියුණුව කියන්නේ කැලේ කපල මොනවා හරි කරන එක නිසා සුද්ද යාල ආවේ ඒ වැඩේට. මිනිහට යස බංගලාවක් තිබුන කැලේ අද්දරම, ලොකු වත්තක් මැද්දට වෙන්න.
ඒ කාලේ කැලේ වට කර වැටවල් බඳින සිරිතක් තිබුනේ නෑනේ. ඉතිං කැලේ වැසියොත් ගමේ වැසියොත් කලවමේ තමයි ජීවත් උනේ, ගමේ මිනිස්සු අකුලේ රිංගනවා, කැලේ සත්තු ගම් වදිනවා. කවුරුත් තමන්ගේ සීමාව දැනගෙන හිටිය නිසා කාටවත් වැඩි කරදරයක් නෑ.
ඔය අතරේ තමයි සුද්ද හදිසියේ එංගලන්තේ ගියේ. ගමේ මිනිස්සුනම් කිව්වේ පෙලවාසියක් කර ගන්ට ගියා කියලයි. ඒ ගැන නෝක්කාඩු කියන්න ගමේ කවුරුත් උන්නේ නෑ, සුද්දගේ චරිතේ හොඳයි. කොහොම හරි ඕං සුද්ද ගිහිං මාස ගානකට පස්සේ සුද්දයි සුද්දියි දෙන්නම ආවලු නැවෙන්. ගමේ සමහර ඇත්තොත් ගාලු ගියාලු මේ දෙන්නව පිළිගන්න.
කොහොමින් කොහොමින් හරි සුද්ද සුද්දිව කැන්දන් ආව කියමුකෝ බංගලාවට.
එදා රෑ...
එදා රෑ තමයි වැඩේ.
සුද්ද ඉතිං පුරුදු කාරයනේ. මූ ගොර ඇද ඇද නිදි නැවේ ආව මහන්සියටත් එක්ක. සුද්දී එහෙට පෙරළෙනවා, මෙහෙට පෙරළෙනවා, සුද්දගේ අත අරගෙන පටලවා ගන්නවා, සුද්දව කොට්ටෙ වෙනුවට තියා ගන්නවා... මොනඃ ! නිදි දෙව්දුව සුද්දී ළඟටවත් එන්නේ නෑ, එක්කෝ එයාත් සුද්ද වගේම කොහේ හරි වැටිලා නිදි.
හඳ එළියත් පායලා තියෙනවා... එළියේ එක එක රෑහි හඬවල් ඇහෙනවා... එංගලන්තේ වගේ නැතත් ඇඟ කීරිගැහෙන හීන් හුළඟක් බාගෙට ඇරිලා තියෙන ජනේලේ පොලු අතරින් එනවා. ඇඳ ළඟ තියෙන කනප්පුව උඩ ලස්සනට හදල තියෙන පළතුරු වට්ටියේ ලොකු කෝලිකුට්ටු ඇවරියක්ම හඳ එළියෙන් දිලිසෙනවා සුද්දිට පේනවා. එයා නිදි නැතිව ඇඳේ එහෙට පෙරළෙනවා, මෙහෙට පෙරළෙනවා. සමහර විට නැවේ ඇවිත් තෙහෙට්ටුව නිසා වෙන්න ඇති. ඒ අතරේ තමයි කවුරු හරි කෙනෙක් (සතෙක්?) ජනේලේ අයිනේ බරට අඩිය තිය තියා ඇවිදිනවා සුද්දිට ඇහුණේ. අපොයි, එයාව බය කරන්න ඔය සද්ද වලට බෑ.
එයා හිමීට නැගිට්ටා. හවුස් කෝට් එක දා ගත්තා, බරාඳය දිගේ ගිහිං ලොකු දොර ඇරගෙන බලාගෙන ඉන්නවා ජනේලේ පැත්ත දිහා. ඔන්න එතකොට තමයි ලොකු පර්වතයක් වගේ දෙයක් හඳ එළියේ හෙලවෙනවා එයා දැක්කේ. සුද්දි තේරුම් ගත්තා මේ නම් අලිය බව. සුද්ද අස්සයෙකුටත් වඩා ලොකු මේ වගේ සතෙක් ගැන එංගලන්තේදී කියනවා එයා අහල තිබුණා, ඒත් දැක්කේ අදයි.
අලිය ටික ටික ජනේලේ ලඟට ලං උණා. විදුලියක් වැදුන වගේ එක පාරටම දැහැනෙන් නැගිට්ට සුද්දි ඉක්මනට දොර වහල දුවගෙන ගියේ කාමරේට. අලිය ජනේලෙන් හොඬවැල ඇතුලට දානවත්, අර කනප්පුව උඩ තිබුණු ලොකු කෝලිකුට්ටු ඇවරිය ඒකෙන් පටලව ගන්නවත් ඊට පස්සේ ඒක කටට යවනවත් සුද්දි පැහැදිලිවම දැක්ක. අලිය ඒක කාල යන්න ගියත්, සුද්දිට ඉස්පාසුවක් නෑ මේ දැක්ක දේ කාට හරි කියා ගන්නකම්. දෙයියනේ අවුරුදු විසි ගානක් එංගලන්තේ ඉඳල හීනෙන්වත් හිතපු දෙයක්ද මේ ලංකාවේ හිටපු එක රෑකට දැක්කේ... තව මොන මොනවා දකින්න ලැබෙයිද ඉදිරියට...
සුද්දි පත්තු කළා ලාම්පුව, ගියා සුද්දගේ ලියන මේසේ ලඟට, ගත්ත ලියන කඩදාසියක්, ඔන්න ලියනවා අම්මට ලියුමක්...
ආදරණිය අම්මා වෙතටයි,හ්ම්... ලියුමනම් තව ඉවර නෑ, ඒත් කතාව ඉවරයි.
දෙවියන් වහන්සේගේ කරුණාවෙන් අපි ගාලු වරායෙන් ලංකාවට සැපත් උනා...
අපි එංගලන්තේ ඉන්නකොට එයා අලියා ගැන කතා කළා අම්මාට මතකද? මම අද අලියෙක් දුටුවා. ඌනම් මහා පුදුමාකාර සතෙක්. ලොකු පර්වතයක් වගේ මූ අද රෑ පැද්දි පැද්දී ආවා අපේ ජනේලේ ලඟටම. මම බලන් හිටියා.
මූ ඇවිත් උගේ අර දිගම දිග වලිගය අපේ ජනේලෙන් බංගලාව ඇතුලට දැමුවා. දමා අර කනප්පුව උඩ තිබූ රස කෝලිකුට්ටු ඇවරිය ඒ දිග වලිගෙන් ඔතා ගත්තා. අම්මා කිවුවාට විශ්වාස කරන එකක් නෑ මූ ඒ යස කෙහෙල් ඇවරිය වලිගෙන් ඔතාගෙන ඊළඟට කළ දේ. දෙයියන්ගේ නාමෙට මා විශ්වාස කරන්න, අම්මේ, එයා කියල තියෙන්නේ ඇත්තම තමා. අලියා ඇත්තටම දෙවියන් වහන්සේගේ පුදුම මැවිල්ලක් ...
හික් හික් හික්...
ReplyDeleteනෝ කොමෙන්ට්ස් !!!
පව් සුද්දි !
අලි පැටියෝ ඔයයි මමයි !
හික් හික් හික්...
අනේ ඉතින් සුද්දිගේ අම්මට මොනවා හිතෙන්න ඇත්තද තමන්ගේ දුව ගැන?
ReplyDelete"සුද්දිගේ අම්මට මොනවා හිතෙන්න ඇත්තද අලිය ගැන..."
Deleteමෙයයි බිංදු සැබෑ ප්‍රශ්නය.
දෙවියන් වහන්සේ කළොත් කරන්නේ ඔය වගේ වැඩක්මයි
ReplyDeleteඑය නොවේද මිතුර(මිනිසු)නි දෙවියන් වහන්සේගේ සැබෑ මහිමය !
Deleteහික් හික් හික් !!
මිතුරනි,
ReplyDeleteමේ කතාව සුද්දී ගැන කතාවක් නොවේ. අඩු තරමින් දෙවියන් වහන්සේ (හෝ උන් වහන්සේගේ මැවිල්ල) ගැන කතාවක් හෝ නොවේ. මේ කතාවේ කියවෙන්නේ අප ලෝකය පනවා (නිර්මාණය කර) ගන්නේ අපේ දැනුමට හා අවබෝධයට සාපේක්‍ෂව වන බවයි.
අර තරුණ සුද්දිය එංගලන්තෙන් නැව් නැග සිය ප්‍රියයා සමග එන විට අලියා යන නම අසා තිබුණා පමණි. ඌ ලොකු සතෙක් බව පමණි ඈ දත්තේ. අලියා හොඬවැල දමා පළතුරු වට්ටියෙන් පළතුරු ගන්නා විට ඒ වලිගය යැයි ඈ සිතන්නේ ඇගේ ලෝකයේ කිසිම සතෙකුට හොඬවැල නම් අවයවයක් නැති බැවිණි. වලිගයෙන් පළතුරක් පටලා ගත් විට තර්කානුකූලව එය ඇතුල් කළ හැකි එකම මුඛය වෙත ඒ පළතුර ඇතුල් කළ බව ඈ සිය මව් වෙත විස්මයෙන් යුතුව ලියා යැවුවාය.
හොඳයි, ලංකාවේ අලි (වඩා නිවැරදිව කියතොත් ඇතුන්) සිටියේ නැතැයි උපකල්පනය කරන්න. මිහිඳු හිමි තිස්ස රජුට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් බණ දේශනා කරන විට ඒ රජුට කුමක් සිතීමට ඉඩ තිබිණිද ?
කේ විනෝදාසමයම යටතේ ලියා ඇත්තේ වුව මේ කතාව කියවූ මට ඇති වුයේ දුකකි. ඒ, කියා ඉවර කළ කතාවේ නොකියූ කතාව සිතට ආ බැවිනි. ::::::::: කල් යත්ම ඉංගිරිස් ඉගෙන ගත් අපේ ඇත්තෝ සුද්දිගේ ලියුම කියවා අලියා යනු වලිගෙන් කෙසෙල් ගෙන මොනවාදෝ කරන සත්ව කෙනෙකැයි ඇදහුහ. ඒ ඇදහිල්ල සිංහලට හරවා ඊළඟ පරපුරට නොමිලේම කටපාඩම් කරවුහ. ඉන්පසු ලෝකෙට ණය වී නැවෙන් ගෙනා එක එක ජාතියේ කෙසෙල් වලින් එක එක දේ කිරීම නිසා අලියා දැන් ඉන්නේ තවදුරටත් අලියෙක් ලෙස පැවතිය නොහැකි තත්ත්වයකය. ඒ අතර කල් යද්දී සුද්දා නම් අලියාට වෙනත් යමක් ඇති බවත් ඒ වැදගත් යමක් බවත් යාන්තමට වාගේ තේරුම් ගත්තේය. එහෙත් කළුසුද්දා තවමත් සිතා සිටින්නේ සුද්දා මුලින් කියූ දේ දේ හරි බවයි. අලියා විකාරරූපී සත්ව කෙනෙකු බවට පත් වෙමින් සිටි. :::::::::::
ReplyDeleteඔබලාට හරි අපූරු චින්තන හැකියාවක් ඇති බවයි පෙනී යන්නේ. SiTh පෙන්වා දෙන කතාව බොහෝ කරුණු කෙරේ සාධාරණ බව කිව හැකියි. සරල උදාහරණයක් දෙමි. අප කුඩා කාලයේ පාචනය සැදුනු දරුවන්ට 'ජීවනී' සහ, බැදි හාල් කැඳ, තැඹිලි වතුර සහ තවත් නොයෙක් දියර වර්ග දීමට පොළඹවන රුපවාහිනි දැන්වීමක් ප්‍රචාරය විය. මේ දේවල් සාම්ප්‍රදායික දැනුම අනුව අපේ ගම් වල එදත් පැවති දෙයකි. එසේනම් වියදම් කරගෙන දැන්වීම් දැමීමට සිදු වූයේ ඇයි?
Deleteහේතුව ඊට ටික කලකට පෙර බටහිර වෛද්‍ය විද්‍යාව විසින්ම මේවා දීම 'මිත්‍යා' බව කියා දියර නොදී සිටීමට මව්පියන් පෙළඹවූ ප්‍රචාරණ ක්‍රමයක් පැවතීම බව පසු කාලීනව කියවීමි. මෙහි හරි වරද වෛද්‍ය විද්‍යාත්මකව කීමට අපට හැකියාවක් නොපවතී.
කෙසේ වෙතත් මේ එකම උදාහරණය නොවේ. මහවැලි ව්‍යාපාරය යටතේ කුදු-මහත් වැව් දහස් ගණනක බැමි කපා දැමීම ඉතාම විනාශකාරී උදාහරණයකි. රජරට වකුගඩු රෝගය හා මෙහි සම්බන්ධයක් ඇති බව මා තවමත් අදහමි.
ගොවිතැන සම්බන්ද බොහෝ කෙම් ක්‍රම, සිංහල වෙදකම ආශ්‍රිත ඇදහිලි ආදිය තවත් උදාහරණ වේ.