ගොයම් කපාගෙන අස්වනු ගෙට ගත් පසු ගමේ කොළු කුරුට්ටන් ඉපනැල්ල පාගමින් කුඹුරු වල සෙල්ලම් කරනු මේ කාලයේ සුලභ දසුනකි. මේ කාලයේ දහවල ග්‍රීස්මය දැඩිය. රාත්‍රිය දාහය සහිතය. ඒ දාහය අවසන් කරමින් අක් වැසි ලෙස හැඳින්වෙන ගිගුරුම් සහිත වැසි බක් මාසයේ පසළොස්වක පමණ වන විට සවස් කාලයේ ඇති වේ. බක් මහ අකුණු ලෙස හැඳින්වෙන මේ අකුණු සහිත වැස්සෙන් පොළොව සරු වන බව දැන සිටි සිංහලයෝ කල් නොයවාම ඊළඟ කන්නය පිණිස කුඹුරු සැකසීම අරඹත්.
බුදුරදුන් නාගදීපයට වැඩම කිරීම, කැළණි විහාරයේ බිතු සිතුවමකින්. |
"මහත් ඍද්ධි ඇති මහෝදර නම් නාග තෙමේ මුහුද පන්සියයක් යොදුන් අයම් නාග භවනයෙහි රජ වී. උහුගේ නැගණි තොමෝ කන්වඩමන් නම් පව්වෙහි නා රජහට දෙන ලද්දීය. උහුගේ පුත්‍ර තෙමේ චූලෝදර නමි. උහුගේ මෑණියන් පිය වූ නා රජතෙම උතුම් වූ මිණිපළඟ මෑණියන්ට දී කාලක්‍රියා කළේය. එසේ හෙයින් මයිල් නාරජු හා බෑණනුවන් යුධය තෙම එළඹ සිටියේය. පර්වතවාසි වූ ඩ ඒ නාගයෝ මහත් ඍද්ධිමත් වූහ." යනාදී වශයෙන් මහාවංශය මේ සිද්ධිය විස්තර කරයි.
බුද්ධත්වයෙන් පස් වන වස බක් මස අමාවක් පෝ දා අළුයම මහා කරුණා සමාපත්තියට සම වැදී ලොව බලා වදාරන සම්මා සම්බුදුරජාණන් වහන්සේට යුධයෙන් නැසී යන කෙළ ගණන් නාගයන් පෙනිණි. උන් කෙරේ කරුණාවෙන් බුදුරජානන් වහන්සේ තමන් වහන්සේ පා සිවුරු රැගෙන ජේතවනාරාමයෙන් නික්මිණ. මෙකල ජේතවන දොරටුව අබියස කිරිපලු රුකක් වාසභූමි කරගෙන සමිද්ධි සුමන නම් දිව්‍යරාජයෙක් වෙසෙයි. පූර්වභාවයේ නාගදීපයේ මනුෂ්‍යයෙක් වූ හෙතෙම තමන් වසන කිරිපලු රුක මුලිනුදුරාගෙන බුදුරදුන් සිරසට ඡත්‍රයක් කොට අල්වාගෙන උන් වහන්සේ පසුපස්සේ නික්මිණ.
මෙසේ අහසින් නාගදීපයට වැඩම කළ උන් වහන්සේ අහසේ වැඩ සිටිමින් අන්ධකාරයක් මවා නාගයින් කෙරේ බිය ඉපිදවූ සේක. අනතුරුව ඒ බිය පහ කිරීමට ආලෝකයක් උපදවා දී උන්ගේ බිය දුරු කළ සේක. අස්වැසුනු සිත් ඇති ඒ නාගයෝ බුදුරදුන් දෙපා වැඳ නමස්කාර කළෝය. එසේ සතුටු සිත් ඇති නාගයින්ට බුදුරජාණන් වහන්සේ සමගිය ඇති කරන ධර්මයක් දෙසූ සේක. දහම් අසා යුධ පිණිස වන් සිත අතහැර දැමූ ඒ නාගයෝ යුද්ධයට හේතු වූ ඒ මිනීපළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළහ. ඒ පූජාව පිළිගත් සර්වඥයන් වහන්සේ එහි බැස නාගයින් දුන් දානය පිළිගෙන වළඳා අන්තයෙහි දිය වැසි ගොඩ වැසි තුන්කෙළක් පමණ නාගයින් තුන් සරණෙහි හා සීලයෙහි පිහිටවූ සේක. ඒ යුද්ධයට පැමිණ සිටි මනීඅක්ඛිත නම් කැළණියේ නා රජ තෙමේ තථාගතයන් වහන්සේට අමතා "වහන්ස ඔබ වහන්සේ අප නොදුටු සේක්නම් අප සැවොම අද යුධයෙන් නැසෙම්හ. අප සියල්ලන් කෙරේ කළ කරුණාව මා කෙරේ විශේෂ කොට දක්වත්වා.. නැවත මෙහි ආගමනයෙන් මාගේ දේශයට වඩිත්වා"යි ආයාචනය කළේය. තුන් කල් දන්නා බුදුරජාණන් වහන්සේ තුෂ්නිම්භූත භාවයෙන් මේ ආයාචනය ඉවසූ සේක.
තවද බුදුරජාණන් වහන්සේ ඒ නාගයන් අමතා තමන් වහන්සේට ඡත්‍රයක් වූ ඒ කිරිපලු රුකද තමන් වහන්සේ වැඩ සිටි ඒ මිණිපලඟද යන මේ පාරිභෝගික වස්තු දෙක පූජා පිණිස පවරා දී තමන් වහන්සේගේ කෘත්‍ය සපිරුණේ නැවත ජේතවනයටම වැඩම කොට වදාළහ. මේ වනාහි බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනයයි.