Sunday, October 28, 2012

වප් පුර පසළොස්වක පෝය

මේ පෙර වස් සමාදන් වූ සියළු භික්ෂුන් චාරිකාවෙන් වෙන්ව පන්සල් ආරණ්‍ය වල වාසය කරන කාලයේ අවසානයි. සියලු වෙහෙර විහාරස්ථාන වල වස් අවසාන කථින පිංකම් මේ පෝ දිනයත් සමග ඇරඹේ.

වස්සාන සමයේ වට වැස්සෙන් පොළොව තෙමුණු පසු ගොවින් කුඹුරු සී සෑම් කරමින් ඊළඟ කන්නයට සැරසෙන්නේ මේ කාලයේදීය. එකල දඹදිව මේ කටයුත්ත රාජ්‍ය අනුග්‍රහය සහිතව කෙරුණු බව සුද්ධෝදන රජුගේ වප් මගුල ගැන පැරණි කතාවෙන් කියැවේ.

වප් මගුල් උත්සවය

සුද්ධෝදන රජුගේ වප් මගුල
බෝසතුන් ඉපිද පස් මසක් ගිය තැන කපිලවස්තු නුවර වප් මගුල් උත්සවය වීය. රජ ගෙයි සියල්ලෝම ඊට සහභාගී විය යුතු බැවින් කුඩා කුමරුද සරසවාගෙන කිරි මව් වරුද රජ ගෙයි සෙසු පිරිවර සමග කෙතට වන්හ. කෙත කෙළවර මහ දඹ ගසෙක් මුල සුදු වැලි අතුරා යහන් පනවා වට තිර අද්දා වියන් බඳවා රැකවල් ලවා සුදොවුන් රජ තෙමේ සෙනග පිරිවරාගෙන ගොස් වප් මගුල පටන් ගත්හ.

රජ තෙමේ සුදු ගවයින් යෙදු රන් නගුලකින් සී සායි, රජ පිරිවර රිදී නගුල් ගෙන ඒ අනුව සාති. අඩහැර නැගේ, කවි සීපද ගැයේ, සුදුවත් හැඳි සුදු මල් ගත් වැසියෝ තුටුව මේ මංගල්‍යය නරඹති. කුමරු රැකවලට සිටි කිරි මව් වරුද මෑත් වී ඒ අසිරි විඳිති.

පස් මස් වයස් මහ බෝසතුන් අවදිව රැකවලේ සිටින කිසිවෙකු නොදැක යහනින් නැගී පලක් බැඳ ආනාපානසතිය වඩා ප්‍රථම ධ්‍යානය උපදවා ගත්හ. හිරු අවරට හැරිණ. එහෙත් මහ දඹ ගසේ සෙවන ගස මුලින් ඈත්ව නොගියේය. දඹ ගස වටා පිහිටි සෙසු ගස වල සෙවනැළි ද ඒ ගස දෙසටම නැමී ගත්හ. මේ අසිරි දුටු කිරි මව් වරු බියපත්ව වහ වහා දිව ගොස් සුදොවුන් රජුට ඒ පවත් දැන්වුහ.

සුදොවුන් රජු එබස් අසා වප් මගුල් හැර දිවගෙන අවුත් සෙවනැළි දැක විස්මිතව තිරය ඇතුලට වැද පතුල් පිට පතුල් තබා අතුල් පිට අතුල් තබා ඇසිපිය නොසලා වටපිට නොබලා සියක් වයස් තවුසෙක් මෙන් සමවත් සුවයෙන් වැඩ හිඳින පස් මස් වියැති පුතුන් දිට. ඒ රජ තෙමේ ළය උපන් ප්‍රීති වේගය දරා ගත නොහෙනුයේ "මේ කවර නම් පෙළහරක්ද, පුතණුවෙනි තෝ දැන්ම බුදු වී ද, තොපගේ මෑණියෝ අද මේ දුටු නම් ප්‍රීතිය දරා ගත නොහි ස්වකිය ජීවිතය පුජා නොකෙරෙද්ද, පුත, මාගේ මේ දෙවෙනි වැඳීමයි" කියා ලපටි සිරි පා යුග්ම මත රාජ සිරස තබා වැන්දේය.



මහ බෝසතුන් සිය පියාගෙන් දෙවන වැඳුම ලත් වප් මගුල් උළෙල පැවතියේ වප් මස කවර දිනයකදීද යන්න සඳහන් නොවෙතත් වප් පෝදා ලක්දිව හා සාශනික ඉතිහාසයේ ඉතා වැදගත් සිදු වීම කිහිපයක් ගැන සඳහන් වේ.

ගණ්ඩබ්බ නම් අඹ රුක් මූලයේදී යමා මහ පෙළහර පා තව්තිසා දෙව් ලොවට වැඩි තථාගතයන් වහන්සේ එහිදී වස් වසා පවාරණය කර දෙව් බඹුන්ගේ පුජෝපහාර ලබමින් මහ පෙළහරින් සංකස්ස පුරයට වැඩම කළේ මෙවන් වප් පුන් පෝ දිනකයි.

මේ මහා භද්‍රකල්පයේ මෛත්‍රිය නමින් මතු බුදු වන බෝසතාණන් වහන්සේ එකල සංකස්ස පුර සිරිවඩ්ඪ කෙළෙඹියාට පුත්ව ඉපදී සිටි සේක. දේවාවරෝහණ උත්සවය දුටු හෙතෙම අතිශයින් පැහැද බුදු සස්නේ පැවිදි විය.

ලක්දිව දේවානම්පියතිස්ස රජ විසින් ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ඉල්ලා මගධයේ අශෝක රජු වෙත දූතයෙක් ලෙස අරිට්ඨ කුමරු පිටත් කරන්නේ ද මෙවන් පෝ දිනයකයි. අප අදද වැඳුම් පිදුම් කරන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සහ මෙහෙණි සස්නත් සමග සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ මෙරටට වැඩම කෙරෙන්නේ ඒ සාර්ථක දූතගමන නිසාය. අද ක්‍රියාත්මක නොවන නමුත් භික්ෂුණි උපසම්පදාව පැවති සමය තුල බොහෝ කුල කාන්තාවෝ පිළිවෙත් පුරා අමා මහ නිවන් සාධා ගත්හ. අප ද ඒ බව සිහියට ගනිමින් මේ පුන් පෝ දින බැතියෙන් පින් කම් වල නියැලෙමු.

15 comments:

  1. මා නොදුටු මිතුරු ජෝසප් ගේ මග පෙන්වීම මත මෙහි පැමිණියෙමි.
    හොඳ ලිපියක් කියවීමි.ස්තුතියි.
    සිතුවිළි

    ReplyDelete
    Replies
    1. සිතුවිළි,
      ඔබ මෙහි පැමිණ කොමෙන්ටුවක් කෙටීම අගී. ඔබ නැවත පැමිණ මෙය දහම් සභාවක් කර ගන්නේ නම් මම කැමති වෙමි. මෙහි අපට බාදා නැත. මේ අඩවිය පවත්වාගෙන යන 'කේ' මට බොහෝ කරුණු වලදී මග පෙන්වූ කළණ මිතුරෙකි. ඔබ මගෙන් යමක් ගනී නම් ඊට වඩා දෙයක් ඔහුගෙන් ගත හැකි බව මට විශ්වාසයි.

      කේ,
      ඔබ නියම නම (අකමැතිනම් ආරුඪ නමක්) ඉදිරිපත් කර ගැලපෙන ප්රෝෆයිලයක් සාදා ගන්න. ඔබේ මේ ලිපියේ අන්තර්ගතය හොඳයි, නමුත් ගලා යාම ප්‍රශස්ත නැත. ඔබට මීට වඩා හොඳින් කළ හැකි බව මම ස්ථිරවම දනිමි.
      සිතුවිළි ඉතා හොඳ හිතක් ඇති කාගේ වුවත් දේ අගය කරන හොඳ මිතුරෙකි. ඔහුගෙන් ඔබට වැදගත් උපදෙස් ලැබිය හැකි බව සිතමි.

      Delete
  2. ඔබ දෙදෙනාටම ස්තුති කරමි. සිතුවිළි මෙහි පැමිණි පළමු ආගන්තුකයා යැයි සිතමි. ඒ නිසා ඔබ සාදරයෙන් පිළිගනිමි. ජෝසේෆ් දෙන උපදෙස්නම් පිළිපැදිය යුතු බව සිතමි. මා තවම profile එකක් සාදා නැත්තේ මේ අඩවිය තවම අළුත් නිසා සහ මෙහි යන එන අය මා කෙලින්ම දන්නා අය නිසාය. ඔබ වෙනත් අය මෙහි කැටුව ඒ නම් ඒ කටයුත්ත ඉක්මන් කළ යුතු වේ.

    නැවත ඔබ දෙදෙනාටම ස්තුතිය පිරිනමමි. නැවත පැමිණෙන්න, ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. ඔබේ විවේචන මේ අඩවිය ඉහල තලයකට ගෙන යනු ඇත.

    ReplyDelete
  3. මමද මා නොදුටු ජෝසේෆ් මාමාගේ මග පෙන්වීම මත මෙහි පැමිණියෙමි.

    සිතිවිලි, සහ ජෝසේෆ් මාමා මෙන් මෙම ලිපිය ඇගයීමට තරම් දැනුමක් මට නොමැති වුවත් ලිපිය කියවාගෙන යන විට නැගුනු ප්‍රශ්නයක් ඇසීමට අවසර ඇතැයි සිතමි.

    "පස් මස් වයස් මහ බෝසතුන් අවදිව රැකවලේ සිටින කිසිවෙකු නොදැක යහනින් නැගී පලක් බැඳ ආනාපානසතිය වඩා ප්‍රථම ධ්‍යානය උපදවා ගත්හ." සහ අසා තිබෙන හැටියට උපන් විගස නෙලුම් මල් 7 උඩින් ඇවිද යාම.

    ජෝසේෆ් මාමා පැහැදිලි කරදුන් ආකාරයට අවුරුදු 16දි සිදුහත් කුමරු යසෝධරා කුමරිය අවාහ කරගන්න විටදී වත් ඔහුගේ පෙර භාවයන් ගැන නුවනක් ඔහුට නැහැ. එය එසේනම්, ඉහත දැක්වෙන අවස්ථා දෙක එනම්,

    1. උපන් විගස නෙලුම් මල් 7 උඩින් ඇවිද යාම
    2. ලිපියේ සදහන් ආකාරයට පස් මස් වයස් බෝ සතුන් යහනින් නැගී පලක් බැදීම.

    මේවා හුදෙක් මිත්‍යා මත නොවන්නේද? සැබෑ ලෝකයේ අපි දැක තිබෙන පස් මස් වයස් දරුවෙකුට අඩු තරමින් කොන්ද කෙලින් කර ඉදගැනීමටවත් හැකියාවක් නැහැ නොවේද? එහෙවු එකේ මෙවැනි දෙයක් විශ්වාස කල හැක්කේ කෙසේද? මේවා ඔප්පු කල හැකිද?

    මිහි මත ජීවත් වන මානවයා තම ආගම හෝ ධර්මය ලෙස අදහන, පිළිපදින දේවල් සියල්ල තීරණය වන්නේ ඔවුන්ගේ විශ්වාසය මත නොවේද? ඒ කියන්නේ මුල් කාලෙදී වන්දනා මන කරපු ගස්, ගල්, ගින්දර වැනි දේවල් වෙනුවට බුදු රදුන්, ජේසුස් ක්‍රිස්තුස්, මුහම්මද් නබි තුමන් වැනි පුද්ගල නාමයන් වලට වැඳීම සහ ඒ අනුව යාම නොවේද?

    ඔබ තිදෙනාගේම පිළිතුරු අගය කොට සලකමි.

    පොඩි ළමයා.

    ReplyDelete
    Replies
    1. ජෝසේෆ් මවෙත එවා මා කලින් පල කළ ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ බෑණා ඔබ විය යුතුයැයි සිතේ. මා මෙතෙක් සිතා සිටියේ එය ඔහුගේ ප්‍රබන්ධයක්‌ බවයි.

      ඔබව සාදරයෙන් පිළි ගන්නා අතරම මගේ අදහස් ජෝසේෆ් ගේ අදහස් වලට වඩා හාත්පසින්ම වෙනස් විය හැකි බව ඔබට මුලින්ම මතක් කරමි. ඔබ මතු කරන කරුණු වලට එක් එක් අයගේ අදහස් මිස නිවැරදි පිළිතුර මේ යැයි ඒකාංශ කොට දැක්විය නොහැකි බව දෙවනුව මතක් කරමි. ඒ අප කිසිවෙක් සර්වඥාතාඥානය ලබා නොමැති බැවිනි. අනෙක් අතින් ඒ ඒ සිද්ධි එසේ සිදු වූවා හෝ නොවූවා හෝ වේවා බුද්ධ ධර්මයට ඉන් වන බලපෑමක් නැති බැවිනි.

      ඔබ දැක්වූ පියුම් පිට වැඩම කිරීම පමණක් නොව දසදිග් බලා 'අග්ගෝ හමස්මි ලෝකස්ස' යනාදී වශයෙන් සිංහනාද කිරීමද, පංචාභිඥා අෂ්ඨ සමාපත්ති ඇති එකසිය විසි වයස් කාලදේවල තවුසාගේ ජටා මතුයෙහි පා පියුම් පිහිටුවා ඔහුගෙන්ද සිය පියාගෙන්ද වැඳුම් ලැබීමද, මා විස්තර කළ වප් මගුල් දා සිදු වීමද, බෝසතුන් ශිල්ප ඉගෙන ගැනීමද, ශිල්ප දැක්වීමද එසේම අභිනිෂ්ක්‍රමණය කිරීමද මෙවැනි අද්භූත විස්තර වලින් සමන්විතය. මේවා අපට ඔප්පු කළ නොහැකිවා සේම ඒවා එසේ සිදු නොවූ බව ඔප්පු කිරීමට ද නොහැක.

      අවශ්‍යනම් අපට උද්ගමනයෙන් නිගමනයකට පැමිණිය හැක. එනම් වෙනත් අවස්ථා වල එසේ වනු නිරීක්ෂණය නොකළ බැවින් ඒ අවස්ථාවේදී ද එසේ නොවුණු බවට නිගමනය කිරීමයි. එය සාර්ථක ප්‍රයත්නයක් නොවන්නේ බෝසතාණන් වහන්සේ සාධාරණ පුරුෂයෙක් නොවන බව මේ කතා වලම කියැවෙන බැවිණි. උන් වහන්සේ විශේෂිත පුරුෂයෙකි, හෙවත් මහා පුරුෂයෙකි.

      උන් වහන්සේ විශේෂිත පුරුෂයෙක් වන්නේ විශේෂ සිදුවීම් උන් වහන්සේගේ චරිතය වටා ගෙතී ඇති බැවිණි. අනෙක් අය වෙනුවෙන්ද එවැනි සිද්ධි සිදු වේනම් උන් වහන්සේ විශේෂිත පුද්ගලයෙක් නොවේ. එවිට බුද්ධ චරිතය තවත් ඕනෑම චරිත කතාවකින් වෙනස් නොවනු ඇත.

      ඔබ ඇත්තෙන්ම පොඩි ළමයෙක්නම්, මෙවැනි ප්‍රශ්න ඇති වීම ස්වාභාවිකයි. මා එසේ කියන්නේ මටද එකී ප්‍රශ්න ඇති වුනු නිසාය. ඒ බොහෝ ප්‍රශ්න වලට හේතුව අපේ අධ්‍යාපනය විසින් ඇති කෙරෙන ආකල්පයි. නමුත් ඔබ වැඩෙන විට ඔවැනි ප්‍රශ්න වලට තමන් සෑහීමට පත් වන පිළිතුරක් ලැබෙනු ඇත.

      ඔබ අවසන් ඡේදයෙන් මතු කරන්නේ ඔබේම අදහසක් යැයි නොසිතමි. ඔය අදහස අපේ ගුරුවරුද අපට උගන්වා ඇත. ඒ අදහස් ඔවුන්ටද ඉබේ පහල වූවා නොවේ. ඔබ ඉදිරිපත් කරන්නේ බටහිර රටවල් වල මාක්ස්වාදයට නැඹුරු සමාජ විද්‍යාඥයින් විසින් දේව ධර්මයේ විකාශනය ගැන දරන මතයයි. ඒක දේව වාදය බහුදේව වාදයේ විකාශනයක් බවත්, බහුදේව වාදය ස්වභාවික බලවේග වලට දේවත්වයක් ආරෝපණය කිරීමේ ප්‍රතිපලයක් බවත් අවසාන වශයෙන් ගත් කළ ආගම යනු බොරුවක් බවත් එහි හරයයි.

      එහෙත් ප්‍රාග්-භාරතීය (භාරතය ඇති වීමට පෙරාතුව = දඹදිව පැවති) දර්ශන වල පැවැත්ම ඔය ප්‍රවාදයෙන් පැහැදිලි කළ නොහැක. විශේෂයෙන්ම භාවනාව ප්‍රගුණ කළ ප්‍රාග්-වෛදික තවුසන්, විවිධ වාද ඉගෙනගෙන වාද කරමින් උගන්වමින් සංචාරය කළ පරිබ්‍යා‌‍‌‌‍‌ජකයින්, විවිධ විද්යා ප්‍රගුණ කළ සෘෂි වරුන්, සංකීර්ණ ප්‍රශ්න ගැන හිත වෙහෙසූ පණ්ඩිතයින් වැනි විශේෂිත පුද්ගලයින් නොසිටි බටහිර රටවලට ඔවැනි ප්‍රවාදයක් ගැලපෙන නමුත් අපේ සන්ධර්භය තුල ඔය කතාව හුදු හිතලුවක් පමණි.

      පොඩි ළමයෝ, ඔබ අසන ප්‍රශ්න වලට පිළිතුරු ඔබ බලන කෝණයට සාපේක්ෂ බව ඔබට ඉහත විස්තරයෙන් වැටහෙනවා ඇතැයි සිතමි. ඉතින් මට කළ හැක්කේ පිළිතුර සොයා ගැනීමට උදව් කිරීම පමණි. පිළිතුර සොයා ගැනීම ඔබ සතු කාර්යයකි. ඔබට මේ කාර්යය කළ හැකි බවට ඉඟියක් 'අදහන, පිළිපදින දේවල් සියල්ල තීරණය වන්නේ ඔවුන්ගේ විශ්වාසය මත නොවේද?' යන ඔබේ ප්‍රශ්නයේ ඇත.

      ජෝසේෆ් වසර ගණනාවකට පෙර මවෙත email මගින් ඔවැනි ප්‍රශ්න යොමු කළ බවත් මගේ පිළිතුරු මෙවැනිම වූ බවත් ඔහු මා උදව්වක් කොට ගෙන ඔහුගේ පිළිතුරු නිර්මාණය කර ගැනීමට දක්ෂ වූ බවත් ඔබ දිරි ගැන්වීමක් වශයෙන් මතක් කරමි.

      මගේ බ්ලොග් අඩවියට පැමිණීම හා ප්‍රශ්න ඇසීම පිළිබඳව ස්තුති කරමි. ඔබ ජෝසේෆ් සේ වේවායි ප්‍රර්ථනා කරමි.

      Delete
    2. පොඩි ළමයෝ, ඔබ මෙහි පැමිණීම ඔබට හොඳකි. ඒ ඔබට වෙනත් කෝණයකින් දැකීමේ හැකියාව මින් ලැබෙන නිසයි. එහෙත්, මා දුන් අයුරින් එක එල්ලේ පිළිතුරු ... ලැබේ යැයි නොසිතමි.

      ඔබේ ප්‍රශ්න ගැන මගේ පිළිතුරු:

      1. මේවා හුදෙක් මිත්‍යා මත නොවන්නේද?
      --- හුදෙක් මිත්‍යා මත නොවේ. මගේ ගුරුතුමා (වෙනත් කරුණු වලදී කෙසේ වෙතත් මේ කරුණු වලදී 'නොදුටු මිතුරා' ගුරුතුමා බවට පත් වේ) වෙනත් වචන වලින් කියා ඇති පරිදි, ඔබ ක්‍රිස්තියානි නම් ඔබට මැවීම 'මිත්‍යාවක්' නොවේ. ඔබ පැරණි ග්‍රීකයෙක්නම් ඔබට ඔලිම්පස්හි දෙවි වරුන්ගේ කතා 'මිත්‍යා' නොවේ. ඔබ හින්දුවෙක් නම් 'රාමායන-මහභාරතාදී' කතා 'මිත්‍යා' නොවේ. නමුත් ඔබ බෞද්ධයෙක් නම් ඒ සියලු කතා මිත්‍යා වේ. අර කරුණු ද එළෙසමයි.

      2. සැබෑ ලෝකයේ අපි දැක තිබෙන පස් මස් වයස් දරුවෙකුට අඩු තරමින් කොන්ද කෙලින් කර ඉදගැනීමටවත් හැකියාවක් නැහැ නොවේද?
      --- මට ඒ ගැන දැනීමක් නැත. නමුත් මාස තුනක පමණ දරුවෝ අන් අය ආධාර කරගෙන කොන්ද කෙලින් තබා ඉඳ ගනිති. වසරක පමණ දරුවෝ ඇවිදීම අරඹති.

      3. එහෙවු එකේ මෙවැනි දෙයක් විශ්වාස කල හැක්කේ කෙසේද? මේවා ඔප්පු කල හැකිද?
      --- විශ්වාස කළ හැක්කේ භක්තියෙනි වඩා නිවැරදිව කිවහොත් ශ්‍රද්ධාවෙනි. ඔප්පු කළ නොහැක. ඔප්පු කළ යුත්තේ කුමක් ආධාර කරගෙනද හා ඔප්පු කළ යුත්තේ ඇයිද යනුම වෙනම විසඳා ගත යුතු ප්‍රශ්න වේ. උපමාවක් කියමි. කෙකුලේ එකිනෙකාගේ වලිග සපා ගත් සර්පයින් දාමය සිහිනෙන් දුටු බව බව කවුරු හෝ ඔප්පු කර තිබේද?

      4. මිහි මත ජීවත් වන මානවයා තම ආගම හෝ ධර්මය ලෙස අදහන, පිළිපදින දේවල් සියල්ල තීරණය වන්නේ ඔවුන්ගේ විශ්වාසය මත නොවේද?
      --- මේ ප්‍රශ්නය අසම්පුර්නයි. 'ආගම හෝ ධර්මය ලෙස අදහන, පිළිපදින දේවල්' පමණක් නොව මිලදී ගන්නා දේවල්, මිතුරු කමට, ව්‍යාපාර කිරීමට, විවාහයට තෝරා ගන්නා පුද්ගලයින්, චන්දය දෙන අය, රැකියාවට බඳවා ගන්නා අය ආදී මෙකී නොකී බොහෝ දේ වලදී තීරණ ගන්නේ විශ්වාසය මතයි.

      5. ඒ කියන්නේ මුල් කාලෙදී වන්දනා මන කරපු ගස්, ගල්, ගින්දර වැනි දේවල් වෙනුවට බුදු රදුන්, ජේසුස් ක්‍රිස්තුස්, මුහම්මද් නබි තුමන් වැනි පුද්ගල නාමයන් වලට වැඳීම සහ ඒ අනුව යාම නොවේද?
      --- නැත. ගස්-ගල් වලට වැඳීම සහ මළවුන් පිදීම ලංකාවේ පැවති දෙයකි. ඒ වෙනුවට බුදු දහම ලැබුණා මිස ගස්-ගල් වැඳීම ක්‍රම විකාශනයෙන් බුදු දහම ඇති වුණා නොවේ. සිංහලයෝ ඒ බුදු දහම සිංහල බුද්ධාගමක් බවට පත් කර ගත්හ. ක්‍රිස්තියානි ආගම් ජුදයාවෙන් පිට වුනු ජේසුගේ ගෝලයින් විසින් යුදෙව් ආගම වෙනත් ප්‍රාදේශීය ආගම් හා මුහු කර ගැනීමෙන් ඇති වින. ඉස්ලාම් ආගම කාන්තරවාසි ම්ලේච්ච ගෝත්‍රිකයින් විසින් යුදෙව් බයිබලයේ ඉගැන්වීම් තමන්ට සුදුසු පරිදි උපුටා ගැනීමෙන් ඇරඹින. මේ ආගම් වෙනත් ප්‍රාදේශීය ආගම් අභිබවා යාම හෝ ඒවා මැඩ පැවැත්වීම හෝ මිස ගස්, ගල්, ගින්දර, වැස්ස, අකුණු, සුළං වැනි මුලින් කි දේ වෙනුවට පසුව කී දේ ආදේශ වීම සිදු නොවූ බව මගේ අදහසයි. මේ දීර්ඝ නිබන්ධනයකට මාතෘකාවකි. ඉතා කෙටි පිළිතුරක් දුනිමි.

      Delete
    3. පොඩි ළමයාගේ පැනය මටත් යොමු කොට ඇති නිසා යමක් ලිවිය යුතුයි.
      එහෙත් කේ ලියා ඇති දේ කියවූ විට මාහට ලිවීමට යමක් නැතැයි සිතිනි. කේ ඍජුව කරුනු දක්වා නැතිඋවද සිතීමට බොහෝ දේ ඉතිරි කර ලියා ඇත. මා සිතන අයුරු බුදු දහම සාකච්චාවේදි යොදාගත යුතු නිවැරදිම ක්‍රමය එයයි.
      එම නිසා මා කේගේ පැහැදිළි කිරීම නොකියවූවාසේ මාගේ අදහස පවසන්නම්.
      මාද මීට කලකට පෙර භෞතිකවාදියෙකුව උන් අවදියේ මේවා මිත්‍යාවන්යැයි බැහැර කලෙමි. එහෙත් පොළොවෙන් නෙළුම් මතුවීම උපන් සැටියේ කුමරුන් ඇවිදීම හා සිංහ ගර්ජනා පැවැත්වීම අදටත් මා හට අපැහැදිලි තැන්ය.
      මේවා දහමට උදවු හෝ බධා කරුනු නොවන බැවින් දැන් මා මේ ගැන නොවෙහෙසෙමි.
      එහෙත් පස් මස් කුමරු ඵලක් බැඳ භාවනාවෙහි යෙදීමට හේතු පිටුපස සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුල පිරූ පාරමී ශක්තිය ගැබ්ව තිබුනා විය හැක, කෙනෙකුට එසේ නොවෙයැයිද කිව හැක. මන්ද මෙය නෙළුම් මල් ඉපදීම වැනි භාහිර කාරනාවක් නොවේ.
      ඔබගේ අවසන් චේදයෙහි ඇති කරුනු.
      ආගම ධර්මය යන දෙයට ඔබදී ඇති අර්ථ කථනය සැසඳෙන්නේ භක්තිය මුල් කොටගත් ඇදහීම් සහිත තැන් වලදීය. අද බොහෝ බෞද්ධයින්ද ස්‍රද්ධාවයනු භක්තියම (FAITH) යැයි වැරදි වැටහීමක ඇත. එහෙත් මා දකිනා අයුරු භක්තිය හටගන්නේ මෝහයම පදනම්වය. ඉතින් බුදුන් භක්තිය අනුදැන වදාරනු නැත. මෙය දීර්ඝව සාකච්චා කල යුතු කරුනකි.
      භක්තිය පදනම් වූ ඇදහීම් වලදී භෞතික පූජා භාණ්ඩ පුද්ගල නාම වලින් ප්‍රතිස්ථාපනය වී ඇති බවට ඔබ නගන තර්කය ඉතා සාධාරණයැයි මට සිතේ.
      එහෙත් සැබෑ බුදු දහම පිහිටා ඇත්තේ වෙනත් තලයකය, වෙනත් මානයකය.
      සිතුවිළි

      Delete
    4. ඔබ තිදෙනාගේම අදහස් වලට ස්තුතියි.

      පොඩි ළමයා.

      Delete
  4. ඔන්න මමත් කියෙව්වා ... වරදක් කියන්න බෑ ... දිගටම ලියන්න.
    මම රටට හිතැති පෛසර පීතර චින්තර යන්තර මන්තර
    (ප.ලි.: Joseph ගේ link එකෙන්ම තමා මමත් ආවේ. එයා හොඳට promote කරනවා.)

    ReplyDelete
  5. ජෝසප් මාමේ,

    මම මේ දිනවල ඔබ සහ සිතිවිලි අතර LCN අඩවියේ ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කිරීම සම්බන්දව ඇති වී තිබෙන කතිකාව කියවමින් සිටිමි. ඒවා නැවත නැවත කියවීමට ආශා සිතෙන ඉතා විශිෂ්ට ගනයේ විග්‍රහයන් වන අතර මා හට ඉඩ ප්‍රස්තා ඇති අයුරින් එය කියවමි. මම නැවත කියමි, LCN අඩවියේ පුවත් වලට වඩා වැඩි යමක් ඔබගේ කොමෙන්ටු වල ඇත. පුංචි දෙයක් ඇසීමට සිතේ කැමතිනම් පමණක් පිළිතුරු ලබා දෙන්න.

    ඔබ සරසවි ආචාර්යවරයෙක්ද? නැතහොත් ලේකකයෙක්ද?

    වැරදි දෙයක් අසුවානම් සමා වන්න, ඔබ ගැන දන ගැනීමට අසා කරමි. LCN අඩවියේ මෙය කල නොහැක, ඔබගේ මිතුරාගේ අඩවිය තොරා ගත්තේ වෙනත් මාර්ගයක් නැති බැවිනි.

    ප. ලි.

    මාමා යෑයි නිතර නිතර කරන ආමන්ත්‍රණය ඔබට හිරිහැරයක් නම් සමා වන්න. එසේ කරන්නේ ඉතාමත් ගෞරාවයෙනි. ඔබ හා මාගේ සම්බන්දය ගොඩ නැගුණු ආකාරය ඔබට මතක ඇතැයි සිතමි. කෙසේ වෙතත් ජාතික ගීයෙනුත් කියන ආකාරයට "තුන් සින්හලයම නෑදෑයෝ"


    පොඩි ළමයා.

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයා කියන ලිපිය මමත් දුටුවා, නමුත් වැඩිදුර කියවන්න ලැබුනේ නෑ. දැන්නම් ඒක බලන්න වෙනවා.

      ඔබේ ජෝසේෆ් මාමා නම් හරි ජනප්‍රිය කෙනෙක් හැඩයි. මා මේ වෙබ් අඩවිය අරඹා මාස කිහිපයකට මෙහි පැමිණ comment දමා ගියේ දෙදෙනායි, ඉන් එක්කෙනෙක් Joseph. ඔහු මේ වන විට කිහිප දෙනෙක් මෙහි කැඳවාගෙන ඇවිත්. ඇත්තෙන්ම මට වඩා පිරිසක් ඔහු කැඳවාගෙන ඇවිත්.

      ඔබ දෙදෙනාගේ ප්‍රශ්නෝත්තර මා අත පත් වූ විට මා කල්පනා කළේ ඔහුට මේ වෙබ් අඩවියට ලිපි සැපයීමට ආරාධනා කර ඔහු ලවා එය ඉදිරිපත් කරම්දෝ නොකරම්දෝ කියායි. අවසානයේ මා තීරණය කළේ එය මගේ කතෘත්වයෙන් ඉදිරිපත් කිරීමටයි. දැන් නම් ඒ තීරණය නැවත සමීක්ෂණය කරවීමට කාලය යැයි සිතෙයි.

      Joseph, ඔබ පොඩි ළමයාට පිළිතුරු සපයන විට මගේ මේ ආරාධනය ගැනත් සිතා බලන්න. ඔබට යහපත් සාකච්චාවකට තැනක් අවශ්‍යනම්, මේ ඔබේ තැනක් කර ගත හැක.

      පොඩි ළමයෝ, මා ඔබේ ප්‍රතිචාරය දැක්කේ හෙට ඉල් පෝ දිනයේ ලිපිය ලියමින් සිටින අතරතුරේය. හෙට පල වන ඒ ලිපියටත් ඔබ ප්‍රතිචාර දක්වනු ඇතැයි සිතමි.

      තෙරුවන් සරණයි !

      Delete
    2. කේ,

      ඔබට ස්තුතියි. ඔබගේ ආරාධනාවට ජෝසප් මාමාගෙන් සුභවාදී පිළිතුරක් ලැබේ යයි අපේක්ෂා කරමි. එසේ වුවහොත් ඔබ සහ ජෝසප් මාමා යන සුසංයෝගය මේ වෙබ් අඩවිය ඉහල තැනකට ඔසවා තැබීමට ඔබ ගන්නා උත්සාහයට වඩා හොද අත්තිවාරමක් වනවා ඇත.

      මම ටික දිනක පටන් ඔබගේ පළමු වැනි ලිපියේ සිට පිලිවෙලින් සියලු ලිපි කියවමින් සිටිමි. ඔබගේ විනෝද සමයම ලිපි පෙළ ඉතා ප්‍රිය කරමි. සියලු පොහොය ලිපි ඉතා වැදගත් වන අතර ඒවා නැවත නැවත කියවා අවබෝධ කරගැනීමට උත්සාහ කරමි.

      ඔබගේ මෙම blog අඩවිය සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබේවායි පතමි. හැකි ලෙස අවබෝධයෙන් කොමෙන්ට් දැමීමට උත්සහ කරමි.

      ඔබට තෙරුවන් සරණයි.

      පොඩි ළමයා.

      Delete
    3. පොඩි ළමයා කියන ඒ කතිකාව නම් දැන් අවසානයි. ඒ ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරමි. ඔබ අසන ප්‍රශ්නයට පිළිතුරු දෙමි. මා සරසවි යන කාලයේ කුප්පියක්වත් දමා නැත. ආචාර්යවරයෙක් වීම ගැන කවර කතාවක්ද. මා ලේකකයෙක්ද නොවේ. ඇත්තෙන්ම මා O/L සිංහල පත්‍රයට ලියු රචනාවෙන් පසු දීර්ඝ රචනාවක් සිංහලෙන් කළේ LCN වෙනුවෙනි. ඇත්තෙන්ම ඒ වෙනුවෙන් පමණි.

      ඔබ මාමා කියා ඇමතීම හිරිහැරයක් නම් නොවේ. නමුත් එය ඔබ විශේෂිතයෙක් කරයි.

      ;) "තුන් සිංහලයම නෑදෑයෝ" කියා ඇත්තේ ජාතික ගියේ නොවේ, වික්ටර් ගේ "අපි ඔක්කොම රජවරු" ගීතයේය. එය ඔබ නොදැන ලියූ දෙයක්යැයි නොසිතමි. ජාතික ගීයේ ඇත්තේ "එක මවකගේ දරු කැළ බැවිනා" කියාය.

      කේ, මගේ මිත්‍රයා දැන් මගුලක් කතා කරන හැඩයි. මට "උඹ ලියපන් කිවේ" ඔහුයි. මම ඔහුට "මට කම්මැලි නෑ, මම ලියන්නම්. හිඃ ! හැබැයි තවදුරටත් මේක තමන්ගේ විතරක් blog එකක් වෙන්නේ නෑ. සිහළ උරුමෙට උන දේ තමයි වෙන්නේ. කැමතිද?" කියා උත්තර දුනිමි. මම ප්‍රශ්නෝත්තර යැවුවේ ඊට පසුවයි. ඒවා තමන්ගේ ලෙස පළ කර දැන් සුදනා වෙන්න කතා කරයි. හික් ! (විහිළුවක් හොඳේ)

      ඔබ දෙදෙනාටම කියමි. මා online ජීවිතය ගැන පරෙස්සම් වෙමි. මට fb, LinkedIn, Twitter, Skype තබා Gmaill ලිපිනයක්වත් නැත. Google කාරයා ගැන මට තඹ සත පහක විශ්වාසයක් නැත. මේ අඩවියට ලිවීමට නම් Google account එකක් තිබිය යුතුය. දෙලෝ ප්‍රයෝජනයක් ඇතොත් ප්‍රතිපත්ති පසෙක දමා ඒ ගැන සළකා බලන්නෙමි.

      Delete
  6. කේ,
    පොඩි ළමයාට පිළිතුරු වශයෙන් මා ලියූ දේ ගැන ඔබ දකින අයුරු ගැන යමක් දැන ගැනීමට කැමැත්තෙමි. ඔබට ඉඩ ඇති විටෙක ඒ පිළිබඳ යමක් ලියන්න.
    ඔබගේ ඉල් පොහොය ලිපිය බලා පොරොත්තුවෙන් සිටිමි.
    සිතුවිළි

    ReplyDelete
    Replies
    1. "...ඔබගේ අවසන් චේදයෙහි ඇති කරුනු..." යන කොටසට පෙර ඔබ ලියා ඇති කොටස් ගැන මගේ විවේචනයක් නැත. ඒවා ඔබේ පෞද්ගලික අදහස් ලෙස සළකමි.

      "ආගම ධර්මය යන දෙයට ඔබදී ඇති අර්ථ කථනය සැසඳෙන්නේ භක්තිය මුල් කොටගත් ඇදහීම් සහිත තැන් වලදීය." යන කතාව වැරදි යයි මම නොකියමි. එහෙත් ශ්‍රද්ධාව ගැන කතා කරන අපද බොහෝ දේ තීරණය කරන්නේ පොඩි ළමයා කියන අයුරු විශ්වාසයෙනි. ඒ බව මම කියා ඇත. "අද බොහෝ බෞද්ධයින්ද ස්‍රද්ධාවයනු භක්තියම (FAITH) යැයි වැරදි වැටහීමක ඇත." යන ඔබේ වාක්‍යය ගැනද ගැටළුවක් නැත, නමුත් faith යන්නට සිංහල වචනය 'ඇදහිල්ල' ලෙස මම සළකමි. භක්තිය යන්නෙන් ඒ අර්ථය නොලැබේ.

      "භක්තිය හටගන්නේ මෝහයම පදනම්වය" යන්න ගැන මම එකඟ නොවෙමි. ලෝභය නිසාද භක්තිය හට ගනී. ද්වේශය නිසා භක්තිය හට ගනීදැයි මා සිතා නැත.

      භක්තිය නරක දෙයක් නොවේ, භක්තිමත් වීමෙන් නිවන් අවබෝධ කළ නොහැකි මුත් සමාජ පැවැත්ම තිර කරන සාධකයක් ලෙස එය අවශ්‍යය. ආගමික විශ්වාසයන් කෙරෙහි පමණක් නොව ස්වාමි-භාර්යාවන් අතර ද ගුරු-ගෝල දෙපිරිස අතරද දෙමව්පිය-දරුවන් අතර ද භක්තිය තිබිය යුතුය.

      "භක්තිය පදනම් වූ ඇදහීම්" යන්නට යුදෙව් ආදී එබ්‍රහමික ආගම් ඇතුලත් නම්, පොඩි ළමයා සඳහන් කරන ගස්, ගල් වැනි 'භෞතික පූජා භාණ්ඩ' පුද්ගල නාම වලින් ප්‍රතිස්ථාපනය වී ඇති බව සත්ත්‍යයක් නොවේ. නමුත් නෝඩික්, ග්‍රීක්, වෛදික වැනි ආගම් වල එවැනි ලක්ෂණ ඇත. ප්‍රාග් බෞද්ධ සිංහල ඇදහිලි (උදා: මළවුන් ඇදහිල්ල) පවා 100% ඔය කියන ගණයට දැමිය නොහැක.

      "එහෙත් සැබෑ බුදු දහම පිහිටා ඇත්තේ වෙනත් තලයකය, වෙනත් මානයකය." යන මේ කතාව ඔබම විස්තර කළ යුතුව තිබේ. ඔබ සඳහන් කරන මානය මට දැන ගැනීමට වෙනත් ක්‍රමයක් නැත.

      ඉහත විශ්ලේෂණය ඔබ ඇසූ නිසා කළෙමි. වරදක් ඇතොත් පෙන්වා දීම ඔබ සතුය. පමාව ගැන සමාව අයදිමි, ස්තුතියි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !