Sunday, October 28, 2012

වප් පුර පසළොස්වක පෝය

මේ පෙර වස් සමාදන් වූ සියළු භික්ෂුන් චාරිකාවෙන් වෙන්ව පන්සල් ආරණ්‍ය වල වාසය කරන කාලයේ අවසානයි. සියලු වෙහෙර විහාරස්ථාන වල වස් අවසාන කථින පිංකම් මේ පෝ දිනයත් සමග ඇරඹේ.

වස්සාන සමයේ වට වැස්සෙන් පොළොව තෙමුණු පසු ගොවින් කුඹුරු සී සෑම් කරමින් ඊළඟ කන්නයට සැරසෙන්නේ මේ කාලයේදීය. එකල දඹදිව මේ කටයුත්ත රාජ්‍ය අනුග්‍රහය සහිතව කෙරුණු බව සුද්ධෝදන රජුගේ වප් මගුල ගැන පැරණි කතාවෙන් කියැවේ.

වප් මගුල් උත්සවය

සුද්ධෝදන රජුගේ වප් මගුල
බෝසතුන් ඉපිද පස් මසක් ගිය තැන කපිලවස්තු නුවර වප් මගුල් උත්සවය වීය. රජ ගෙයි සියල්ලෝම ඊට සහභාගී විය යුතු බැවින් කුඩා කුමරුද සරසවාගෙන කිරි මව් වරුද රජ ගෙයි සෙසු පිරිවර සමග කෙතට වන්හ. කෙත කෙළවර මහ දඹ ගසෙක් මුල සුදු වැලි අතුරා යහන් පනවා වට තිර අද්දා වියන් බඳවා රැකවල් ලවා සුදොවුන් රජ තෙමේ සෙනග පිරිවරාගෙන ගොස් වප් මගුල පටන් ගත්හ.

රජ තෙමේ සුදු ගවයින් යෙදු රන් නගුලකින් සී සායි, රජ පිරිවර රිදී නගුල් ගෙන ඒ අනුව සාති. අඩහැර නැගේ, කවි සීපද ගැයේ, සුදුවත් හැඳි සුදු මල් ගත් වැසියෝ තුටුව මේ මංගල්‍යය නරඹති. කුමරු රැකවලට සිටි කිරි මව් වරුද මෑත් වී ඒ අසිරි විඳිති.

පස් මස් වයස් මහ බෝසතුන් අවදිව රැකවලේ සිටින කිසිවෙකු නොදැක යහනින් නැගී පලක් බැඳ ආනාපානසතිය වඩා ප්‍රථම ධ්‍යානය උපදවා ගත්හ. හිරු අවරට හැරිණ. එහෙත් මහ දඹ ගසේ සෙවන ගස මුලින් ඈත්ව නොගියේය. දඹ ගස වටා පිහිටි සෙසු ගස වල සෙවනැළි ද ඒ ගස දෙසටම නැමී ගත්හ. මේ අසිරි දුටු කිරි මව් වරු බියපත්ව වහ වහා දිව ගොස් සුදොවුන් රජුට ඒ පවත් දැන්වුහ.

සුදොවුන් රජු එබස් අසා වප් මගුල් හැර දිවගෙන අවුත් සෙවනැළි දැක විස්මිතව තිරය ඇතුලට වැද පතුල් පිට පතුල් තබා අතුල් පිට අතුල් තබා ඇසිපිය නොසලා වටපිට නොබලා සියක් වයස් තවුසෙක් මෙන් සමවත් සුවයෙන් වැඩ හිඳින පස් මස් වියැති පුතුන් දිට. ඒ රජ තෙමේ ළය උපන් ප්‍රීති වේගය දරා ගත නොහෙනුයේ "මේ කවර නම් පෙළහරක්ද, පුතණුවෙනි තෝ දැන්ම බුදු වී ද, තොපගේ මෑණියෝ අද මේ දුටු නම් ප්‍රීතිය දරා ගත නොහි ස්වකිය ජීවිතය පුජා නොකෙරෙද්ද, පුත, මාගේ මේ දෙවෙනි වැඳීමයි" කියා ලපටි සිරි පා යුග්ම මත රාජ සිරස තබා වැන්දේය.



මහ බෝසතුන් සිය පියාගෙන් දෙවන වැඳුම ලත් වප් මගුල් උළෙල පැවතියේ වප් මස කවර දිනයකදීද යන්න සඳහන් නොවෙතත් වප් පෝදා ලක්දිව හා සාශනික ඉතිහාසයේ ඉතා වැදගත් සිදු වීම කිහිපයක් ගැන සඳහන් වේ.

ගණ්ඩබ්බ නම් අඹ රුක් මූලයේදී යමා මහ පෙළහර පා තව්තිසා දෙව් ලොවට වැඩි තථාගතයන් වහන්සේ එහිදී වස් වසා පවාරණය කර දෙව් බඹුන්ගේ පුජෝපහාර ලබමින් මහ පෙළහරින් සංකස්ස පුරයට වැඩම කළේ මෙවන් වප් පුන් පෝ දිනකයි.

මේ මහා භද්‍රකල්පයේ මෛත්‍රිය නමින් මතු බුදු වන බෝසතාණන් වහන්සේ එකල සංකස්ස පුර සිරිවඩ්ඪ කෙළෙඹියාට පුත්ව ඉපදී සිටි සේක. දේවාවරෝහණ උත්සවය දුටු හෙතෙම අතිශයින් පැහැද බුදු සස්නේ පැවිදි විය.

ලක්දිව දේවානම්පියතිස්ස රජ විසින් ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ඉල්ලා මගධයේ අශෝක රජු වෙත දූතයෙක් ලෙස අරිට්ඨ කුමරු පිටත් කරන්නේ ද මෙවන් පෝ දිනයකයි. අප අදද වැඳුම් පිදුම් කරන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සහ මෙහෙණි සස්නත් සමග සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ මෙරටට වැඩම කෙරෙන්නේ ඒ සාර්ථක දූතගමන නිසාය. අද ක්‍රියාත්මක නොවන නමුත් භික්ෂුණි උපසම්පදාව පැවති සමය තුල බොහෝ කුල කාන්තාවෝ පිළිවෙත් පුරා අමා මහ නිවන් සාධා ගත්හ. අප ද ඒ බව සිහියට ගනිමින් මේ පුන් පෝ දින බැතියෙන් පින් කම් වල නියැලෙමු.

Tuesday, October 16, 2012

අධික වේගය අනතුරුදායකයි


මාරාවේසෙන් වගේ එන වාහනේ දැක්ක රාළහාමිට පුදුම සන්තෝෂයක් දැනුනා. ඉක්මනට පාරට පැනල වාහනේ නවත්තා ගත්තේ හරිම අමාරුවෙන්. අළුත්ම අළුත් කාරෙකෙන් බොහොම හදිස්සියෙන් බැස්සේ ජැන්ඩියට ඇඳ පැළඳ ගත් තරුණයෙක්. මිනිහා හරි කලබලයක් පෙන්නුවත් අපේ රාළහාමි නෙමේ බුරුලක් පෙන්නුවේ.

"මොකද හදිස්සිය, අවසන් ගමනද යන්නේ, ඒවා හරි යන්නේ නෑ මේ ටවුමේ." රාළහාමි සැර උනා. "කෝ ලයිසන්?"

"රාළහාමි පොඩ්ඩක් ඉන්නකෝ, මම කියන දේ අහන්නකෝ." තරුණයා රියැදුරු බලපත දෙන පාටක් නෑ.

"නෑ නෑ නෑ, වැඩි කතා ඕනන්නෑ, කෝ ගන්න ආදායම් බලපත්‍රය" රාළහාමි තව ටිකක් තදින් කිව්වා. බලෙන්ම තරුණයාගෙන් ආදායම් බලපත්‍රය ගත් රාළහාමි රියැදුරු බලපත්‍රයත් ඉල්ලන් දඩ කොලේ ලියන්න ගත්තා. නොඉවසිල්ලෙන් සිටි තරුණයා "රාළහාමි, මේ ... මම කියන දේ පොඩ්ඩක් අහන්නකෝ ..." කියලා යමක් කියන්න හැදුවත් රාළහාමිගෙන් බුරුලක් නෑ. "පොඩ්ඩක් ඉන්නවා මේක ලියනකම්" රාළහාමි සැර උනා. "වැඩි කතා වලට ආවොත් කෙලින්ම කූඩුවේ".

"නෑ නෑ රාළාමි... OIC මහත්තයා..." තරුණයා ට කතාව ඉවර කරන්න ලැබුනේ නෑ. "හා තමුසේ ලොකු අත්තක්ද, හරි එහෙනං ඒ මහත්තයත් එක්ක බේරා ගන්නවා, යමු පොලිසියට" කියලා අර තරුණයාව ජීප් එකේ දා ගත්තා.

දැන් තරුණයා කූඩුවේ. රාළහාමි එළියේ. දෙන්නට දෙන්නා කතා නැතුව ඔහොම පැයක් විතර හිටියා. දැන් නම් රාළහාමිගේ තරහව නිවිලා වගේ. එයා කියනවා "තමුසෙට බේරුමක් තියෙනවා... සමහර විට OIC මහත්තයා ආවාම තමුසෙව අවවාද කරලා විතරක් එළියට දායි. අද එයාගේ එකම දුවගේ මගුල් ගේ, ඒකයි තාම නැත්තේ"

"ම්හු ! ඒක කෙරෙන්නෑ" තරුණයා නොමනාපෙන් ඔලුව වැනුවා.

"මමයි මනමාලයා !!!"
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !