Tuesday, July 22, 2014

හෙල්මට් ගැලවූ අසරණයාගේ කලිසමත් ගැලවීම



හෙල්මට් ගලවමුද යනු මීට දෙමසකට පෙර පල කෙරුණු ලිපියකි. යතුරු පැදි ධාවකයන් විසින් පූර්ණ ශීර්ෂාවරණ පැළඳීම වැළැක්වීම පිණිස නීතිය බලාත්මක කිරීම පිලිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තැන්පත් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා විසින් කෙරුණු ප්‍රකාශයක් ඊට ප්‍රස්තුත විය. ඒ දින වලම අපට ලැබුණු විද්‍යුත් ලිපියක් එයට සුදුසු ඌන පූර්ණයක් ලබා දුන්නත් එය අපගේ වැඩි සැළකිල්ලක් නොලැබීමට හේතුව එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික අරගල වෙනුවෙන් පෙනී සිටීම දෙතිස් කතාවේ විෂය පථය තුල අපහසු කරුණක් වීම නිසාය. හැරත් ඒ විද්‍යුත් ලිපිය දෙතිස් කතා වෙත ම යොමු කෙරුණක් නොව, සාමාන්‍ය විද්‍යුත්-ලිපි-කණ්ඩායක් වෙත යැවුණු ලිපියෙකි.

කාලය සමග ඒ පළමු ලිපිය මතකයෙන් ඉවත් වී ගියත් ඒ මතකය නැවත අලුත් වූයේ එහි ම දෙවන කොටස ලෙස සැළකිය හැකි ලිපියක් නැවත ලැබුණු බැවිණි.


අයාලේ ආ විද්‍යුත් ලිපි දෙකක්

අයාලේ ආවේ යැයි කියන්නේ මේ ලිපි දෙකම නියම ඉලක්කයකින් තොරව දාමාකාර ලිපි (chain-mail) ලෙස අප වෙත ලැබුණු නිසාය. මෙහි කර්තෘ අමතක කර අන්තර්ගතය පමණක් විමසීමට බඳුන් කරන්නේ ලිපියේ කර්තෘ කවරෙක් වුවත් අන්තර්ගතයට එයින් ස්වායත්ත වන නිසා සහ ඒ ලිපි ඒ අයුරින්ම මෙහි උපුටා නොදැක්වෙන නිසාය.

පළමු ලිපියේ අන්තර්ගතය: කූඩුවේ දොරකඩ එල්ලුණු රිලව්

ලිපි දෙකින් පළමුවැන්න සම්පූර්ණයෙන් විරෝධතා ලිපියකි. ප්‍රස්තුතය ලේඛකයාට එක්තරා බැංකුවකට ඇතුල් වීමේදී විඳින්නට සිදු වූ කරදරය යි. ලේඛකයා විස්තර කරන ලෙස ඔහු බොරලැස්ගමුවේ පිහිටි සම්පත් බැංකු ශාඛාවක් වෙත පිය මනින්නේ තමන් උදෑසන රාජකාරියට යන අතරමග කිසියම් බැංකු කටයුත්තක් වෙනුවෙනි. බැංකුවේ දොරටුව මුර කරන මුර කරුවන් දෙදෙනෙකි. "කූඩුවේ දොරකඩ එල්ලුණු රිලවුන්" දෙදෙනෙක් ලෙස ඒ දෙදෙනා දොරටුව අවුරා ගනිමින් තමා බැංකුවට ඇතුල් වන මග හරස් කළ බව ලේඛකයා කියයි. අරුමයකි ! අපි දකින මුරකරුවන්නම් දොරත් හැර, දත් සියල්ලත් දක්වා, සිනා සී 'ගුඩ් මෝනිං' කියාද පවසත්.

මේ බැංකුවේ මුරකරුවන් එසේ මග හරස් කළේ නම් එය පැහැදිලිවම අවිනීත කමකි. බැංකුවක් නොව කුමන ව්‍යාපාරික ස්ථානයක් වුව පවතින්නේ ගනුදෙනු කරුවන් නිසාවෙනි. ගනුදෙනු කරුවා ඇතුල් වන මග හරස් කිරීම අවිනීත කමක් වනවා පමණක් නොව, උදෑසනම රාජකාරියට යන කෙනෙකුට එවැනි බාදාවක් කිරීම ඔහුගේ දවසම කාලකන්නි කිරීමකි. මුරකරුවන් එසේ හැසිරුනේ ඇයි?

හේතුව අපේ ලේඛකයා යතුරු පැදියෙන් බැස තම හැට්ටය (jacket) ගලවමින් ම ඇතුල් වීමට තැත් කිරීමයි. තම මග හරස් කිරීම නිසා කලකිරුණු ලේඛකයා ඊට විරෝධය පා වචනයක් හෝ කතා නොකර ආපසු හැරුණු බවත්, නැවත යමක් කල්පනා වී ආපසු ගිය බවත් ඒ ලිපියේ තිබිණි. ඔහු නැවත හැරී ගොස් ඇසූ වැදගත් ප්‍රශ්නය නම් ගලවලා ඇතුලට එන්න කියන්නේ ජැකට් එක විතරද, නැතිනම් මුස්ලිම් ගැහැණු අඳින ගෝනි-බිල්ලා කිට් එකත් ගලවන්නැයි කියනවාද? යන්නයි. මීළඟට සිදු වන්නේ තරමක බහින්බස් වීමකින් අනතුරුව ඔහු බැංකුවට ඇතුල් වී තරමක ගෝසාවක් ද නගමින් හැට්ටය ද ගලවා තම කටයුත්ත කරගෙන පිට වී යාමයි. මෙතැන ඔහු හැසිරුණු ආකාරය දැක ගැනීමට අප නොසිටි එකමයි හොඳ !

කටයුත්ත කරගෙන පිටත් වන්නට සැරසුණු අරගලකාරයා වෙත පැමිණෙන මුරකරුවෙක් ඔහුට කිසියම් ලිපියක් පෙන්වමින් තමන්ගේ වරදක් නැති බවත් තමන් කරන්නේ පැවරුණු රාජකාරිය අකුරට ඉටු කිරීම බවත් පැහැදිලි කිරීමට උත්සාහ ගත් බව ඒ ලිපිය තවදුරටත් කියයි. එහෙත් ලේඛකයා ගේ ස්ථාවරය මුරකරුගේ රාජකාරිය තමන්ට අදාළ නැති බව සහ බැංකුව තමාට වෙනස් කොට සැළකීමක් (descrimination) කළ බවයි.

ඒ විද්‍යුත් ලිපිය අවසන් වශයෙන් සඳහන් කරන්නේ මෙවැනි සිද්ධියකට තමන් මුහුණ පෑ ප්‍රථම හා එකම අවස්ථාව එය බවත්, මේ බැංකු ශාඛාවේ පිළිවෙත හෙළා දැකිය යුතු බවත්ය. අප එය කියවා ඉවත ලූවේ මෙවැනි හුදෙකලා උද්ගෝෂණ වෙත පෞද්ගලිකවත්, දෙතිස් කතා වශයෙනුත් අප සහය නොදක්වන බැවිණි.

අප කළේ වරදකි.

දෙවන ලිපියේ අන්තර්ගතය: කන නෑසෙන ගෝරිල්ලා

ඒ ලේඛකයාගෙන්ම දෙවන ලිපියත් ලැබිණි. දැන් ඔහු පෙරට වඩා පරිණත සහ දැක්මක් සහිත නියම කැරලිකාරයෙකි. ඔහු ඊළඟ වාරයේ බැංකුවට ඇතුල් වන විටම අර රිලා චරියාවෙන් ඔහු පිළිගන්නට යෙදිණි. මෙවර කිපෙනු වෙනුවට ඔහු කෙළින්ම කළමනාකාර තැන හමු විය යුතු බව කියා ඇත. පළමු ලිපියේද ඔහු කළමනාකරු හමු වන්නට ඉල්ලූ මුත් කළමනාකරු පොත අස්සන් කර රෝන්දයක් ගොස් සිටි බැවින් හමු වීමට නොහැකි වූ බව තිබිණි.

ඒ සාකච්චාව අනුව කැරලිකාරයාගේ අවශ්‍යතාව වනුයේ හැට්ටය / කබාය හැඳගෙන බැංකුවට ඇතුල් වීමේ වරප්‍රසාදය නොවේ. ඔහුගේ ඉල්ලීම සියලුම යතුරු පැදි ධාවකයන්ගේ පොදු අවශ්‍යතාවයකි. හැට්ටය ගලවා ඇතුල් විය යුතු බව බැංකුවේ නියමය නම් එය සුදුසු පරිදි ගැලවීමට හා ගලවා සුරක්‍ෂිතව තැබීමට තැනක් වෙන් කළ යුතු නොවේද? ලේඛකයාගේ එකම අවශ්‍යතාව සහ ඉල්ලීම එයයි. මේ අතිශය සාධාරණ ඉල්ලීමකි. එයම ඔහුගේ අරගලය දෙතිස් කතා හමුවේ සාධාරණීකරණය කරන්නට සමත් වූ බැවින් ඒ වෙනුවෙන් අද දෙතිස් කතාවේ ඉඩක් වෙන් වේ. කැරලිකාරයා පවසන අයුරු ඒ බැංකුවේ කළමනාකාර තැන "කන නෑසෙන තඩි ගොරිල්ලෙකි". අපේ කැරලිකාරයා කුමක් කිව්වත් එය නොකෙරෙන තැනට කතා කිරීම සහ ඔහුටම චෝදනා කිරීම මේ බැංකු කළමනාකරු ඉතා සාර්ථකව කර ඇත.

විශේෂයෙන්ම ඔයාලාට ඉස්සර කොටි ගහනකොට තැන් තැන් වල බැරියර් දාගෙන පොලිසියෙන් චෙක් කළා මතකද, ඒ කාලේ කට වහගෙන හිටියා නේද? යි ගෝරිල්ලා විසින් කැරලිකාරයාගෙන් අවඥා සහගතව විමසීම පිළිකුල් සහගතයි. එහෙත් ඊට ඔහු දුන් පිළිතුර අප විසින් ආදර්ශයට ගත යුතු පිළිතුරකි. ඔව්, ඒ දවස් වල ඇත්ත තර්ජනයක් තිබුණා. හැමෝටම, හැමෝගෙම ජීවිත වලට සහ රටට. ඒ වෙලාවට රට වෙනුවෙන් කලිසම ගලවන් එන්න කීවත් එන්න අපි සුදානම්. ඒ නිසා තමයි අපි චන්දෙ දීලා ඒක ඉවර කරන්න පුළුවන් ආණ්ඩුවක් පත් කර ගත්තේ, ආණ්ඩුව ඒ තර්ජනේ සහමුලින්ම ගලවලා ඉවරයි. දැන් එක එකා කියන පලියට කලිසම් ගලවන්න අපි ලෑස්ති නෑ!. අද දෙතිස් කතා ලිපිය ඔහුගේ හුදෙකලා අරගලය වෙනුවෙන් වෙන් කෙරෙන්නේ උද්දච්ඡ බැංකු කළමනාකරුට දුන් මේ පිළිතුරට කෙරෙන ගරු කිරීමක් වශයෙනි.

දෙතිස් කතා හි ස්ථාවරය

බැංකු කළමනාකරු ගෝරිල්ලෙක් ද නැතහොත් ගැඩවිලෙක් ද යන්න දෙතිස් කතාවට අදාළ නොවේ. එහෙත් සිද්ධිය සත්‍ය නොවී ද්වේෂ සහගත චෝදනාවක් පමණක් වී නම් දෙතිස් කතා හි ඉඩ ඒ වෙනුවෙන් වෙන් කිරීම අපරාධයකි. ලේඛකයා හුදෙක් දක්‍ෂ ප්‍රබන්ධ රචයෙක් පමණක් වීමේ ඉඩක් නැත්තේම නැත. එබැවින් සිද්ධියේ සත්‍යාසත්‍යතාව තහවුරු කර ගැනීම අවශ්‍ය විය. ඊට අවස්ථාව පසුගිය දිනෙක එළැඹුණේ මිතුරෙක් හා සමග ඔහුගේ යතුරු පැදියෙන් බොරලැස්ගමුවේ සම්පත් බැංකුවට යාමට ඉඩක් ලැබුණු බැවිණි.

මේ දිනවල ඒ අසල කොළඹ-පිළියන්දල මහා මාර්ගය පුළුල් කෙරෙන බැවින් බැංකුව හාත්පස පැතිරුණු දැඩි දුහුවිල්ලකි (මේ බව අර ලේඛකයා කියන්නේ නැත). තම හැට්ටය / කබාය කෙරේ ආලයක්‌ ඇති කෙනෙක් බැංකුව ඉදිරිපිට සිට කබාය ගලවන්නේ නැත. ගැලෙව්වත් එය එහි තබා ගියොත් නැවත ඇඟ ලා ගැනීම බොරු!. සම්පත් බැංකුව තනිකර පෙට්ටි ගොඩනැගිල්ලකි. ටෙලර් යන්ත්‍රය ඇති කුටිය මිස වෙන කිසි ආවරණයක් ඒ ඉදිරිපිට නැත. අර "රිලව්" දෙන්නා විදුරු කූඩුවේ එල්ලී සිට දොර දෑඟුලක් මෑත් කර කබාය ගලවා ඇතුල් වන ලෙස හස්ත සඥාවෙන් අපට අණ කරයි. කැරලිකාරයා අපට බොරු කියා නැත. මේ ගැන කිසිත් නොදත් මා මිතුරා "මොන හුඃ..." යැයි තමාටම කියා ගනිමින් කබාය ගැලවිය. වෙන බැංකු වල ඇතුළට ඇවිත්නේ ගලවන්නේ. ඇයි මෙහෙට අද ජැකට් ඇඳන් හොරු පනිනවා කියලා පණිවිඩයක්වත් එවලා තියෙනවාද? මම උන් විමසීමි. නෑ ස', අපිට කියල තියෙන්නේ කාටවත් ජැකට් ඇඳගෙන එන්න දෙන්න එපා කියලයි... මුරකරු හෙවත් රිලවා ඉතා ආචාරශිලිව පිළිවදන් දිනි. "මූ නම් කියූ තරම් රිලවෙක් නොවේය" කියා සිතමින් බැංකුවට ඇතුල් වීමි.

බැංකුවේ මුරකරුවන්ගේ ආචාරශීලි භාවය මදක් නිරීක්‍ෂණය කළේ එය අවශ්‍ය නිසාය. සිවිල් පිට ඉන්නා පොලිස් භටයෙක් විසින් මගදී දකින නමගිය අපරාධකරුවෙකුට සළකන ආකාරයට කබා හැඳගෙන යතුරු පැදියෙන් බැස එන ගනුදෙනු කරුවන්ට සැළකීම හැරුණු කොට ඔවුන්ගේ වරදක් නැත. ගෝරිල්ලා හමු වී කතා කිරීමට නොලැබුණු මුත් ඔහු දැක ගත්තෙමි. ඔහු කැප වීමෙන් වැඩ කරන බව පෙන්වන එහෙත් මෝඩ පහේ පෙනුමක් ඇති තරමක මහත දෙහෙත කළුම කළු හාදයෙකි. ලෙහෙසියෙන් කලබල නොවන පෙනුමක් ඇත. කැරලිකරුවා හැඳින්වූ අයුරින් ම ඔහුගේ කන නෑසෙන බවනම් ඔහු දෙස බැලූ බැල්මෙන් ම තේරිණි. ඔහු කිසිවෙක් කියන කිසි දෙයක් පිළිගන්නා කෙනෙක් නොවේ (මේ ගෝරිල්ලා ආශ්‍රය කිරීමෙන් නොව මිනිත්තු කිහිපයක් නිරීක්‍ෂණය කිරීමෙන් බැස ගත් නිගමනයකි). උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ යැයි සිකීම් මහින්ද තෙරපාණන් වහන්සේ විසින් විස්තර කරන්නට ඇත්තේ මෙවැනි මනුෂ්‍ය පුත්‍රයන් ගැන විය යුතුය. කැරලිකාරයා අඩ-පැයක් ඔහු හා සකච්ඡා කිරීමෙන් අනතුරුවත් කබා ගැලවීමට තැනක් සපයා දීමට බැංකුවට යුතුකමක් ඇති බව ඒත්තු ගැනීමට මොහු අසමත් වීම කැරලිකාරයාගේ වරදක් නොවේ.

කෙසේ වුවත් අර විද්‍යුත් ලිපි දෙක ලියූ අප නොදන්නා නොහඳුනන හුදෙකලා කැරලිකාරයා කියූ අයුරින් බොරලැස්ගමුවේ සම්පත් බැංකුව යතුරු පැදි ධාවකයින්ට දෙන පණිවිඩය පැහැදිළිය.

උඹලා නාවට කමක් නෑ ! උඹලගේ සල්ලි අපිට ලොකු නෑ !!

බැංකුව එසේ මොරගාන විට කැරලිකාරයා අපේ කනට කොඳුරන්නේ එකම එක ප්‍රශ්නයකි.

වැස්සේ දූවිල්ලේ මහපාරේ ජැකට් එක ගලවා දමා එන්න කියන, ගනුදෙනුකරුවන්ට කිසි ගරුසරුවක් නැති, ඒ අයගේ අවශ්‍යතා දෙස මානුෂිකව නොබලන, ඔය බැංකුවට යන්නම ඕනේද?

එහෙත් දෙතිස් කතා ඔබෙන් විමසන්නේ ඒ ප්‍රශ්නය නොවේ. දෙතිස් කතා ඔබෙන් කරන්නේ ඉල්ලීමකි. ඔබ බොරලැස්ගමුව අවට පදිංචිකරුවෙක් නම්, ඔබේ මිතුරෙක් හෝ සතුව යතුරුපැදියක් ඇත්නම් යන්න කබාය හැඳගෙන සම්පත් බැංකුවට. ඔබට වැඩක් ඇතත් නැතත් උත්සාහ කරන්න එය හැඳගෙනම ඇතුල් වන්න. අර රිලව් දෙන්නා ඔබට බාදා කළොත් විරුද්ධ වන්න එයට. මක් නිසාද, ගෝනි බිල්ලන් ට මුළු සරුවාංගයම වසාගෙන රිංගන්න දෙන බැංකුවක් යතුරු පැදියක එන සාමාන්‍ය මනුෂ්‍යයෙකු ඔහු ඇඳ සිටින හැට්ටය / කබාය හේතුවෙන් බැංකුවට ඇතුල් වීමට නොදේ නම් එය තෝරා බේරාගෙන කරන කුඩම්මාගේ සැළකිල්ලක් වන නිසා.

කබා නොහැඳ යතුරු පැදි පදවන ලෙස නීති දැමීම බැංකුවට කළ හැකි කර්තව්‍යයක් නොවේ. බැංකුවට ඇතුල් වන විට එය ගලවන ලෙස බැංකුව ගනුදෙනුකරුවන්ට නියම කරන්නේ නම් ඒවා ගැලවීමට සුදුසු තැනක් සකස් කිරීම බැංකුව සතු වගකීමකි. බැංකුවේ ඊනියා ආරක්‍ෂාවක් වෙනුවෙන් යතුරුපැදිකරුවන් සම්බෝල විය යුතු නැත. ඒ නිසා යතුරුපැදියෙන් බොරලැස්ගමුවේ සම්පත් බැංකුවට යන සෑම ගනුදෙනුකරුවෙක්ම අපේ හිතවත් ගොරිල්ලා බැහැ දැක ඔහු හා සාද සාමිචි කතා කර මේ පොදු උවමනාව ඔහුට දැනුම් දෙත්වා ! බොහෝ දෙනෙකුගේ ඉල්ලීම බැංකු ශාඛා කළමනාකරුට හා පාලනාධිකාරියට ඉවත දැමිය හැක්කක් නොවේ. අපේ කැරලිකාරයා ඔහුගේ ලක්‍ෂ දෙක මාස තුනකින් පසු ඉවත් කර ගන්නා බව පවසයි. රුපියල් ලක්‍ෂ දෙක බැංකුවට දැනෙන ගණනක් නොවුනත් ඔහුගේ අධිෂ්ඨානය දෙතිස් කතා හි අගය කිරීමට ලක් වේ. මෙය කිහිප දෙනෙක් කරන විට බැංකුවේ අතිපණ්ඩිතකම් බසිනු ඇත.


පසු සටහන: ඉහත නම සඳහන් නොවන ලේඛකයා විස්තර කරන සංසිද්ධිය සත්‍යයක් බව තහවුරු කළ හැක. අප ලංකාව පුරා සම්පත් බැංකු දුසිමකට පමණ ගොඩ වී ඇතත් "රෙද්ද ගලවන් එන්නැයි" කියන මේ අත්දැකීම ලැබුවේ බොරලැස්ගමුවේ ශාඛාවේ දී පමණි. ඉහත ලිපි එවූ ලේඛකයාම විස්තර කරන පරිදි ඔහු බැංකු කළමනාකරු හමුවී තම හැඳුනුම්පත ඉදිරිපත් කර ඔහු හරහා ලිඛිත ඉල්ලීමක් පාලනාධිකාරිය වෙත යොමු කර ඇත. ඒ යතුරුපැදි කරුවන්ට කබා ඉවත් කිරීම සඳහා වැස්සට නොතෙමෙන, ආවරණ සහිත තැනක් ලබා දෙන ලෙසයි. මේ කරුණ ඉටු වේදැයි දෙතිස් කතා බලා සිටී.

අවස්තාවක් ලදොත් ගොරිල්ලා යන සුරතල් නාමයෙන් හැඳින්වුණු බැංකු කළමනාකරු හමු වී සුව දුක් විචාරීමට ද දෙතිස් කතා හි බලාපොරොත්තුවක් ඇත. එහෙත් අපට කෙළින්ම අදාළ නැති මේ කර්තව්‍යයට වඩා වැදගත් කටයුතු අපට තිබෙන හෙයින් මෙය ප්‍රර්ථනාවකට සීමා වීමේ ඉඩකඩ වැඩිය. ගොරිල්ලාම හෝ ඔහුගේ සහචරයින් හෝ විසින් තම පාර්ශවයෙන් කිව යුතු යමක් වේ නම් එය අප වෙත ලියා දැන්වුවහොත් මීට සමාන ප්‍රසිද්ධියක් දී පල කිරීම පිලිබඳ වගකීම දෙතිස් කතා බාර ගනී.

24 comments:

  1. සිතුවිළිJuly 23, 2014 at 8:52 AM

    මෙය දෙතිස් කථා තුල නොවෙයි, ජාතික තලයේ මාධ්‍ය නාලිකා වල සාකච්ඡාවට බඳුන් විය යුතු ප්‍රෂ්ණයකි. මොටර් සයිකල් කරුවා යනු ඩිව් ගුණසෙකර නම් වාමවාදී ඇමැත්තා අර්ථ දක්වන අයුරින් සුඛෝපභෝගී ජීවිත ගත කරනා මධ්‍යම පාංතිකයින්ය.
    කෙසේ වෙතත් මෝටර් සයිකල් කරුවාට වෙනස්ව සැලකීම යනු පැහැදිලිවම මානව අයිතිවාසිකම් උල්ලංගනයකි.
    පුද්ගලික බැංකුවක එක් ශාකාවක් පමණක් මේ තරම් අත්ත්නෝමතික හැසිරීමක් දක්වයිනම් බැංකු කලමනාකරුගේ බුද්ධි මට්ටම ගැන සිතාගත හැකිය.
    හැකි කෙනෙකු මේ ලිපිය තමා දන්නා අදාල බැංකු සමාගමෙහි ඉහල නිලයකට දැකීමට සලස්වන්න.

    ReplyDelete
    Replies
    1. "මානව අයිතිවාසිකම්"
      මේවා අයිති වන්නේ ආණ්ඩුවේ ගොඩටයි. පෞද්ගලික බැංකුවක් විසින් කවරෙකුගේවත් "මානව අයිතිවාසිකම්" අහිමි කිරීමේ හැකියාවක් අප දන්නා තරමින් නැත. මෙවැනි හැසිරීමට එරෙහිව පැමිණිලි කිරීමේ හැකියාවක් පවතීදැයි නොදනිමි. එහෙත් නීති ගැන බලාපොරොත්තු තැබීමට පෙර කළ හැකි සරල ප්‍රතිකර්ම තිබේ.

      යතුරුපැදි ධාවකයින් සියලු දෙනාම කැරලිකාරයන් විය යුතු නැතත් නිවටයන් නොවී තම විරෝධය ශාඛා කළමනාකරු වෙත පල කිරීම සුදුසුම ප්‍රතිකර්මයයි. නොකෙරේ යැයි තමන් සිතන වැඩක් වෙනුවෙන් අපේ කැරලිකාරයා තමන්ගේ වටිනා කාලයෙන් අඩ පැයක් වැය කළේය. ඉතින් එක දිනකට මෙවැනි පුරුෂ ශක්තිය ඇති දහ දොළොස් දෙනෙක් බැගින් කළමනාකරුට කරදර කරන්නට ගත්තොත් ඔහුට "රෝන්දේ ගැසීමට" වෙනම ඔරලෝසුවක වෙලාවක් සොයා ගැනීමට සිදු වනු ඇත.
      කළ යුත්තේ නිහඬව අසාධාරණය ඉවැසීම නොව ශක්තිමත්ව විරෝධය පල කිරීමයි.

      බැංකුවට මේ ගැන කළ හැකි සරලම ප්‍රතිකර්මය පෙර තිබුණු සේ බැංකු පරිශ්‍රය තුල කබා ඉවත් කිරීමට ඉඩ දීමයි. බැංකුව දකින්නේ එය පසුබැස්මක් ලෙසද?

      Delete
  2. හා...හ්.....!
    මෙය තවදුරටත් විමසිය යුතුයි. කවුරුන් හෝ කී පලියට එක පසක් ගැනීම නිවැරදි ක්‍රමය නොවේ. නැවත විවේක බුද්ධියෙන් කියවා ප්‍රතිචාරයක් දක්වන්නම්.

    ReplyDelete
  3. පසුගිය දවස් වල මෝටර් බයික් වලින් පැමිණ බැංකු කොල්ලකෑම් සිදු වුන නිසා බැංකුව මේ පියවර ගන්නට ඇත. නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතුව තිබුණු එකම කරුණ නම් දිනකට බයික් වල නැගී ගනුදෙනුකරුවන් කී දෙනෙක් බැංකුවට එනවාද, එසේම කොල්ලකරුවන් කී දෙනෙක් දිනකට බැංකුවට එනවාද යන්නයි. හැම හොරාම එන්නේ ජැකට් ඇඳගෙනද?

    බැංකු හොරුන්ගේ වෘත්තීය සමිතිය විසින් නිල ඇඳුමක් සම්මත කර ගත්තාවත්ද? හික් !
    එසේනම් ගොරිල්ලා ඩබල් ඒජන්ට් කෙනෙක් බව පෙනේ.

    නැතිනම් බැංකු මැනේජර් (ගෝරිල්ලා) හිතාගෙන ඉන්නේ මේවා වෙඩි නොවදින ජැකට්ය කියා වෙන්නැති. නැත්නම් ජැකට් ඇඳගෙන බැංකුවට ඇතුල් වීම වැලැක්වීමෙන් ලැබෙන සෙත කුමක්ද? හා... එසේත් නැත්නම් බැංකුවේ මුර කාරයන් වෙඩි තියන්නේ වතුර තුවක්කු වලින්ද?

    නුගේගොඩ සම්පත් බැංකුවේ මේ වගේ පිස්සු හුටං මැනේජර් කෙනෙක් නැති බව පැහැදිලිව කිව හැක. එහි ජැකට් ගැලවීමේ පහසුකම ඇත. මෙය කියන්නේ පොදුවේ සම්පත් බැංකුවේ නම කැත වීම වැලැක්විය යුතු නිසාය.

    නමුත් බොරලැස්ගමුවේ මැනේජර් මෙවැනි අයුරකින් හැසිරුණා නම් ඌ තනිකර පිස්සෙකි. ගනුදෙනුකරුවා ඇඳගෙන ආ යුත්තේ කුමක්ද, ගලවාගෙන ආ යුත්තේ කුමක්දැයි තීරණය කිරීම ඔහුගේ කටයුත්තක් නොවේ. බයිසිකල් කාරයා කලිසම ඇඳගෙන (අදාළ දේ වහගෙන) එනවානම්, ඔලුව ඇරගෙන එනවානම් ජැකට් එක තිබුනම මොකෝ??? මෙවැනි විකාර ප්‍රතිපත්ති මරාගෙන මැරෙන බෝම්බ කරුවන් සිටි යුගයටනම් හොඳා.. මේ කාලයට ගැලපෙන්නේ නැත.
    කැරලිකාරයාගේ පිළිතුරට මගෙත් ගෞරවය හිමි වන්නේ ඒ නිසාය.

    මගේත් යෝජනාවක් ඇත.
    බයිසිකල් වලින් යන අයියලා මල්ලිලා හෙට සිට බොරලැස්ගමුවේ බැංකුවට යන විට ජැකට් එක මිස කමිස, බැනියම් නැතුව ගියානම් හරි. දෙයියම්පා මට මෙහෙම කලානම් මම පහුවදා කමිසේ නැතුව යනවා යනවාමයි ! කැරලිකාරයා හිත හොඳ මෝඩයෙක් !!

    ලියුම් දීම, ඉල්ලීම් ඉදිරිපත් කිරීම යනු නොකෙරෙන වැඩේට වැරැද්ද බාර ගැනීමක්.

    ReplyDelete
  4. සිතුවිළිJuly 25, 2014 at 6:57 AM

    ඔබ හරියටම හරි ජෝසප්,
    ඔය ලියුම් දීම නම් ඉල්ලගෙන කෑමක්.
    බැංකු කියන ආයතන වල උන්, උන් විසින් වරදක් කලාමත් නිවැරදි කරන්න අපෙන් ලියුමක් ඉල්ලනවා. මම බැංකු එක්ක ඕනෙ තරම් ගැටීම් වෙලා තියෙනවා ඔය වගේ ගොන් ඉල්ලීම් වලට විරුද්ධව.
    වාද කරලා වරද උඹලාගේ කියලා තහවුරු කරලා මම ලියුම් නොදී වැඩේ කරගෙන තියෙනවා. බැංකුව කියන ආයතනය වැදගත් තැනක් කියලා හිතලා අපි ඔළුව පාත් කලොත් උන් ගෝනි නැතුව කරේ යනවා. දැන් බැංකු වල ඉන්න බොහෝමයක් ඒවගෙයි.
    හැබැයි මේ කිව්වේ බැංකු ගැන මිසක් සම්පත් බැංකුවවත් එහි බොරලැස් ගමුව ශාකාව ගැනවත් නෙවෙයි.
    සාමාන්‍යයෙන් සම්පත් බැංකුවත් එක්ක මගේත් තියෙන අත්දැකීම් සුහදයි අචාරශීලියි.
    ඒත් ඉතින් ඔවුන්ගේ සමස්ථ ශාකා ජාලයටම එක ගොරිල්ලෙක් හිටියහම මදැයි. නේද?

    ReplyDelete
    Replies
    1. හරි.. හරියටම හරි !
      බැංකු කියන්නේ විකෘතියක්. මම දකින්නේ ඒ විදියටයි. මෙයාල කිණිතුල්ලෝ වගේ. පවතින ක්‍රමයෙන් උරා බීල ජීවත් වෙන උදවිය. හැබැයි එයාලට දැන් මුල අමතක වෙලා, එයාල හිතනවා එයාල තමයි ක්‍රමය පවත්වාගෙන යන්නේ කියලා. මේකයි එයාලගේ අලි ඔලුවට හේතුව.

      බැංකු වල වැඩ කරන කබ්බන්ට දෙන සැප වැඩියි. මෙතන තියෙන්නේ හැන්ද තියෙන එකා තමන්ටම බෙදා ගැනීම. උන්ට හිතෙන්නේ නෑ තමන් බෙදා ගන්නකොට අනිත් උන්ගෙන් අඩු වෙනවා කියලා. බැංකු කාරයෝ වගේ බොරු කාරයෝ ජාතියක් තව ඉන්නවනම් ඒ රක්‍ෂණ කාරයෝ. බැංකුවකින් දේශපාලන පන්දමක් නැතුව ණය ගත්ත මිනිස්සු දන්නවා ඒ ගැන.

      උදාහරණයක්, මගේ යාළුවෙක් බැංකුවකින් (වෙන එකකින්) නිවාස ණයක් ගත්තා. ගන්න ට්‍රයි කරපු මුළු කාලෙම බැංකුව ඌට කිව්වේ 14.5% කියලා. අන්තිමට අස්සන් කරන්න ගියාම 16% කියලා ලියුමේ තියෙනවලු. මෙතන තියෙන හොරේ තමයි ගෙවන්න පරක්කු උනොත් උන් නොකියම 16% හදන එක. ඒ වගේම නිවාස ණය දෙන්නේ ඔප්පු බැංකුවේ තියාගෙන ඒවා බැංකුවට වෙන්දේසි කරන්න බලය දීල ඉඩම් කාර්යාලයේ ලියාපදිංචි කරලනේ. ඔය ටික කරන්න කිහිප පාරක් රස්තියාදු උන මගේ යාලුවගෙන් අන්තිමට කිසිම රිසිට් එකක්, ඉන්වොයිස් එකක් නැතුව බැංකුවේ නීතිඥයා රුපියල් 25,000 ගත්තලු. මිනිහට 25,000 ලොකු නෑ. ඌට මල පැනල ඉන්නේ ඌව රස්තියාදු කරලා කරලා නිකං සල්ලි ගත්තට. සල්ලි ගත්ත කියල කිසිම ලිඛිත සාක්‍ෂියක් නෑනේ. මූ කියනවා හිඟන්නෙකුට දුන්න වගේලු. හික් ! මම කිව්වා උඹ වෙන ලෝයර් කෙනෙක් ඇල්ලුවත් ඔය වැඩේට ඔය ගාන ගනියි කියලා.

      ඌ කියනවා ...
      "ඒකට මොනවා කරන්නද, මමම මගේ කැමැත්තෙන්නේ වෙන ලෝයර් කෙනෙක් අල්ලන්නේ. එතකොට මුලින් ගණන් කතා කරනවනේ. මේ යස්සනී බැංකුවේ ලෝයර් කියලා ඒකි ගාවට මාව යැව්වේ බැංකුවෙන්මනේ. බැංකුවේ වැඩ කරනවට උන්ට බැංකුවෙන් පඩි ගෙවන්නේ නැද්ද? බැංකුවේ ඉඳගෙන බැංකුවේ රාජකාරි වෙලාවේ බැංකුවේ කොල වල බැංකුවෙන්ම ප්‍රින්ට් කරපු ලියවිලි වලට බැංකුවේ පෑනෙන්ම අස්සන් කරලා ඒවා අරගෙන මාව එහෙට මෙහෙට යවලා ටයිටල් ඉන්ෂුවරන්ස් කිය කියා මගේ සල්ලි වලින් බැංකුවටම සෙත කරලා අන්තිමට මටම කෙලියාම හරිද"

      දීපන්කෝ උත්තර !

      Delete
    2. සිතුවිළි,

      ඔබ කියන කරුණ බැංකුවට පමණක් නොව අනෙක් ආයතන වලටත් පොදු බවයි ම ගේ අත්දැකීම. විශේෂයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග පෞද්ගලික අත්දැකීමක් ඇත (එය ඉදිරිපත් කිරීමට මේ අවස්තාව නොවේ). පොදුවේ ගත් කළ සියළු ආයතන ඔබව සූරා කෑමට බලා සිටී. මෙය විශේෂයෙන් කේවල් කිරීමට හුරු නොවූ අප වැනි අයට හානියකි.

      මා පෞද්ගලිකව ප්‍රතිපත්තියක් ලෙස කේවල් නොකරමි. ඒ නිසා වැඩියෙන් ගෙවීමට සිදු වූ වාර අනන්තය. ශ්‍රී ලංකා ටෙලිකොම් සම්බන්ද සිද්ධ්යේ දී සිදු වූයේ එහි අනෙක් පැත්තයි. භාවිතා නොකළ දේ සඳහා මුදල් ගෙවීමට සිදු වීමයි.
      ---------

      ජොසෙෆ්,

      ඔබේ මිතුරාට මගේ කණගාටුව දන්වන්න. ඒ නීතිඥවරිය (යස්සනී) අර 25 ගන්න ඇත්තේ ඇගේ දරුවන්ට පාන් කෑල්ලක් අරං දීමට විය නොහැක. එය බෙදා ගැනීමට ණය අංශයේද කිහිප දෙනෙක් බලා සිටීමේ ඉඩ අධිකය.

      නීතිඥයන් යනු වෛද්‍යවරු හා සම නූතන බමුණු කුලයේ එක් අනුකුලයක් වන නිසා ඔබ දක්වන සිද්ධිය ඒ අයට උපතින් ලැබෙන වරප්‍රසාද වල කොටසක් බව සිතමි. එසේනම් මෙහි නීතිමය ගැටළුවක් ඇත. එහෙත් මෙවැනි කරුණු අහඹු සිද්ධි නොව පවත්නා ක්‍රමය විසින් අනුමත කෙරුණු සිද්ධි බවයි අපගේ අදහස. ඔබේ මිතුරා තවම ඉතා තරුණ නිසා මේ ගැන වැඩි වැටහීමක් නැති බැව් සිතමි. ඔහුට අට-ලෝ දහමින් කම්පා නොවන ලෙස අවවාද කරන්න. මේවා "අලාභ" වේ.

      කණගාටුවට කරුණ සමහරු සැමදා අලාභ විඳින අතර තව සමහරු සැමදා ලාභම විඳීමයි. එයයි ලෝක ස්වභාවය.

      Delete
    3. සිතුවිළිJuly 29, 2014 at 9:43 PM

      කණිශ්ක,
      ඔබ කියන කරුන එක්ක මමත් එකඟ වෙනවා,
      හැබැයි මෙතැන තියෙන්නේ වෙනස් විදියක ප්‍රශ්නයක් මා දකින හැටියට.
      බොහෝ ආයතන තමන්ගේ ශාකා හෝ දෙපාර්ථමේන්තු වලට තමන්ගේ කටයුතු කරගෙන යාමේ ප්‍රභල නිදහසක් දී තියෙනවා.
      එම නිදහස තුළම ලඟාවිය නොහැකි මට්ටමේ මූල්‍ය ඉලක්ක දී තියෙනවා. එවිට කාර්‍ය මණ්ඩලය නිතැතින්ම පෙලැඹෙනවා පාරිභෝගිකයා සූරා කා හෝ තම ඉලක්කවෙත යාමට. එහෙත් එය ආයථනයේ සංස්කෘතියට, වටිනාකම් වලට, සමාජ වගකීම් වලට පටහැනියි. ආයතනයේ වගකීම් වටිනාකම් ආදිය ඔවුන් බොහෝම උජාරුවට ප්‍රදර්ශනය පවා කර තිබෙනවා.

      එහෙත් ඉලක්ක කරා ලඟා වීමට කාර්‍ය මණ්ඩලය විසින් අයුතු වැඩ කරනා විට එය සාර්ථක වුවහොත්, ප්‍රශ්ණ පැන නොනැගුනහොත්, ඉලක්ක සම්පූර්ණ වී ඇත්නම් කළමණාකරනය අඳ ගොලු බිහිරි වී අර සපුරාගත් ඉලක්ක ගැන කයිවාරු ගසමින් සමරණවා. ප්‍රශ්නයක් පැන නැගුනහොත් අදාල වගකිව යුත්තාව හම ගසා දමනවා.
      මෙන්න මේකයි බොහෝමයක් ඉතා ඉහලින් පිළිගත් සමාගම් වල ඇතුලාන්තය.

      එසේම තම ඉලක්ක කරා අවසිහියෙන් දුවන කාර්‍ය මණ්ඩලය තමන් තම ක්ශේත්‍රයේ නිපුනයින් නිසාම සිතා මතා තොරතුරු වසන් කිරීම් අදී දේ මගින් දැන දැන පාරිභෝගිකයා මුලා කොට ගසා කනවා. අත නොතැබිය යුතු රතු තිත් ලෙස මෙවැනි කාරණා අලෙවිකරණයේදී සිද්ධාන්ත වශයෙන් පවා කියා දෙනු ලබනවානම් තවත් කුමක්ද? අලෙවිකරණයේ න්‍යායම මුලා කොට මුදල් ගරා ගැනීමයි. බලහත්කාරීතවය (Aggessiveness) අලෙවි කරුවකු තුල තිබිය යුතු ගුණාංගයක් ලෙස උගන්වන අලෙවිකරණය, පිළිගත් ව්‍යාපාරික මූලධර්මයක් ලෙස පිළිගන්නා ලොවක, ඔබ අප සමාගම් වලින් පතන සාදාරණය කුමක්ද?
      ඔබ මහා සමාගමක් සමග ගණුදෙනුවක් කරනවානම් අනිවාර්‍යයෙන්ම ඔබ ඔවුන්ගේ ඇම කෑ එකෙකු පමණයි. සමාගමේ නම, භහු ජාතිකද ඒක ජාතිකද, ශාකා කීයක් ඇතිද ආදී කිසිවක් මෙයට වැදගත් නොවේ.

      මේගැන අපිට කළ හැක්කේ කුමක්ද???? ආයතන ලාභ ලබද්දී හුදී ජනයා වන අප සැමදා පාඩු ලබනවා. ඒ ඔබ හෝ මා පමණක් නොවේ.

      Delete
    4. පළමුව, පෙර ප්‍රතිචාරයේ "එසේනම් මෙහි නීතිමය ගැටළුවක් ඇත" යන්න "එසේනම් මෙහි නීතිමය ගැටළුවක් නැත" යනුවෙන් නිවැරදි විය යුතුය.
      ----------

      දෙවනුව ආයතන වලට ඇති ඉලක්කයන් හා ඒ කරා යාමේදී දී ඇති නිදහස ගැන බොහෝ දුරට එකඟ වෙමි.

      උදාහරණයක් ලෙස සම්පත් බැංකුව මුල් කාලයේදී 'බෞද්ධ' බැංකුවක් විය. ඊට සංස්කෘතික අනන්‍යතාවයක් විය. ඒ බැංකුව ප්‍රතිපත්තියක් ලෙස පස් පව් වලට රුකුල් නොදෙන බව අපට දේශන දීමට පැමිණි ආරාධිතයෙක්, සම්පත් බැංකුවේ ඉහල කළමනාකාරවරයෙක්, ආඩම්බරයෙන් කියා ඇත. ඔහුට අනුව ඉස්සන් කොටු, ඌරු කොටු ඈ කෙලින්ම මස් පිණිස කෙරෙන සත්ත්ව පාලනයට ණය නොදේ. මේ ප්‍රතිපත්තිය තවමත් එසේම කියා විශ්වාස කරමු. එහෙත් අමුතු ආකාරයේ වෙළෙඳ දැන්වීම් පෙළක්, පැරණි ඇගැයීම් මත පදනම් වූ, මානුෂවාදී, පවුල් වටිනාකම් උළුප්පා දක්වන වෙළෙඳ දැන්වීම් පෙළක් සමගින් ඔබ අප අතරට එන තවත් 'සිංහල' වෙළෙඳ ව්‍යාපාරයක් වන මැලිබන් බිස්කට් ව්‍යාපාරය තම සේවකයින්ට සළකන්නේ කෙසේද? එය අද සේවකයින් බඳවා ගැනීම වෙනුවට සේවකයින් 'හයර්' කරයි. සේව්‍ය-සේවක සම්බන්දයක් තවදුරටත් මැලිබන් සමාගමේ නැත. එහෙත් ඉතා නිවැරදිව වංචා නොකර රජයට බදු ගෙවන සමාගමක් ලෙස එහි කීර්තිය තවම නිරුපද්‍රිතයි. එහෙත් සේවක ලැදියාව නැති සමාගමක් ...

      මංචි සමාගම අඩසියවසකට වඩා කාලයක් මැලිබන් සතුව තිබූ ලංකා බිස්කට් වෙළෙඳ පොළේ ප්‍රමුඛත්වය ඩැහැ ගැනීම අහඹුවක් නොවේ.

      අනන්‍යතාව අහිමි කර ගත් කළ සම්පත් බැංකුවටත් සිදු වන්නේ ඒ සන්තෑසියමයි. යතුරුපැදි පැද එන මිනිසුන් සියළු දෙනා දෙන දෙයක් කාගෙන වෙන දෙයක් බලාගෙන ඉන්නා එක්තරා ශුද්‍ර කුලයක් නොවන බව බැංකුව තේරුම් ගන්නා විට ප්‍රමාද වැඩි විය හැක.

      Delete
    5. මේගැන අපිට කළ හැක්කේ කුමක්ද????
      ඉතාම අපහසු ප්‍රශ්නයක් !
      ඒ වෙනුවට..
      මේ ගැන අපි කුමක් හෝ කළ යුතුදැ යි මා ඔබෙන් විමසන්නම්.

      මා නම් කරන්නේ තමා පාලනය කර ගැනීමයි. එහෙත් අන්‍යයන් පාලනය කළ නොහැකි බැවින් විපාක පිළිබඳ දැනුවත් කිරීම කළ හැකියි, එහෙත් එය එතරම් සාර්ථක ප්‍රතිකර්මයක් නොවන බව දින දින පාරාවෝ වරුන්ටත් සිහින වෙළෙන්දන්ටත් සේසත පුද දෙන මහා ජනකාය අපට පෙන්වා දෙයි.

      Delete
    6. සිතුවිළිJuly 30, 2014 at 6:35 AM

      ඉතාම නිවැරදියි,

      Delete
  5. සම්පත් බැංකුවේ ගෝරිල්ලාට කුමක් හෝ අපහසු තාවයක් ඇති මේ ජැකට් දකින කොට. ඒ විකෘතිය නිසා තහනමක් දමන්න ඇති. සුහදශීලි බෞද්ධ බැංකුවකට ගිය කල දසාව නම් නරකයි ඔන්න. කිරි මුට්ටියකට එක ගොම බිදුවක් වැටුනොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා මේ ගැන සොයා බලා තීරණයක් ගන්න එක සම්පත් බැංකුවේ ප්‍රධාන පාලක තැනට දැනුම් දීමෙන්, නිසි පියවරක් ගැනීමට හැකි වනු ඇත.

    ReplyDelete
    Replies
    1. ආ.... බිංදුට කිරි බිංදු ..සොරි සොරි ගොම බිංදු මතක් වෙලා.
      මෙච්චර කල් බාවනා කරන්න ගිහිං හිටියද.

      Delete
    2. සිතුවිළිJuly 29, 2014 at 9:20 PM

      ඇති යාන්තං, බින්දුට හරි කථා 32 මතක් වෙලා.
      අපි තුන්දෙනා මෙතැන පාළු ගෙයි වලං බිඳ බිඳ හිටියෙ.

      Delete
    3. මම ඉතින් ඔයාලා බිදින වලං වල කටු එකතු කර කර හිටියා.

      Delete
    4. සිතුවිළිAugust 1, 2014 at 7:26 PM

      බිංදු,
      සම්පත් බැංකුවේ ගෝරිල්ලාට තියෙන අමාරුව තමයි ඒකා කාර් එකෙන් වැඩට එන්න පටන් ගන්න කලින් එක දවසක්වත් මෝටර් සයිකලේකින් වැඩ ට ඇවිත් නැති එක.
      ජීවිතේට එක දවසක් හරි මෝටර් සයිකලේකින් දාරානිපාත වැස්සක නාගෙන ගමනක් ගිහින් තිබුනානම් සයිකල් කරුවෝ ගැන ඔයිට වැඩිය ටිකක් හරි සංවේදී වෙයි.
      මම හිතනවා ආයතනයක ලොකු පුටුවකට එන එකෙක් සතුව මෝටර් බයිසිකල් පැදීමේ අත්දැකීම අනිවාර්‍ය විය යුතුයි කියලා
      මොකද කියන්නේ?

      Delete
    5. සිතුවිළි මිතුර
      ඔය ලොකු ලොකු පුටු වලට එකපාරටම මිනිසුන් යන්නේ නැනේ. මුල අමතක කල මිනිසුන් තමයි වැඩි හරියක් ඔය පුටුරත් කරන්නේ. කොහොමත් මේ අයට ඇති එකම ප්‍රශ්නය තමයි. රෝද හතරෙන් වැඩට යන්න එලි බැස්සහම රෝද දෙකේ කට්ටිය ඔවුන්ගේ ගමනාන්තය ඉතාමත් පහසුවෙන් ලගාකර ගැනීම, ඉවසුම් නොදෙන කාර්යක් බවට පත් වීමයි. තියෙන ලොකු කමට වාහන තද බදය නිසා යාගන්න බැරි නිසා පහසුවෙන් යන අයදෙස වපර ඇසින් බලන නිසයි, මේ නිලදරුවගේ ක්‍රියා පටිපාටිය මෙලස ක්‍රියාත්මක වී ඇත්තේ.
      මේ කාලය වන විට බොහෝ මිනිසුන් තුලින් මිනිස්කම් ගිලිහිගෙන යන කාලයක් තමයි උදාවෙලා තියනේ. ලෝකෙට පෙන්න දාන පාරමිතාව පිරුවට මොකෝ නම කියන්න ලියන්න බැරි උනොත් දුන් දානයේ ආනිසංස ලැබෙන්නත් කලින් පවුකරගෙන හමාරයි. මෙවන් යුගයක ජිවත් වෙන අපි මෙවැනි අසාධාරණ අකටයුතුකම් වලට කොතරම් මුහුණ පා ඇත්තද? ඒ කිසිම දෙකට සාධාරණයක් ඉෂ්ඨ උනාද? සැමට මෙත් පතුරනවා ඇරෙන්න අපට කල හැකි දෙයක් ඉතුරුව නැත. මක්නිසාද යත් තමන් කරන දේ තමන් මිස වෙන කෙනෙක් ගෙන නොයන නිසා.

      Delete
  6. මිතුරනි,

    ගෝරිල්ලා හම ගැසීම නොවේ, මේ ලිපියේ අරමුණ. ඒ නිසා ඔහු අත හරින්න.

    අප ඔහු ගැන කළ විවරණය මිනිත්තු කිහිපයක් ඔහුව නිරීක්‍ෂණය කිරීමෙන් බැස ගත් නිගමනයක් මිස ඔහු හා ඇසුරු කිරීමෙන් දෙඩීමෙන් බැස ගත් නිගමනයක් නොවේ. අප ඔහු දුටුවේ එකම එක වරකි. ඔහු අප දුටුවාදැයි නොදනිමි. එහෙත් ඔහුත් අප වැනිම දරු පවුල් කාරයෙකි. බැංකුවට හොරෙක් පැන්න විට ඔහුට ඒ අපහාසයෙන් කොටසක් අයත් වේ. සමහර විට ඔහුත් සැකකරුවෙක් බවට පත් වේ. මේ පීඩනයයි ඔහු පහත් තැනින් ගලා යාමට සලස්වන්නේ (යතුරුපැදි ධාවකයින් පහත් පෙළේ මිනිසුන් බව මෙයින් අදහස් නොකෙරේ).

    ඒ නිසා ගොරිල්ලා අතහැර දමන්න. ඒ වෙනුවට වැරැද්ද දකින්න.

    වැරැද්ද මේ බැංකුව තුල අත්තනෝමතික ලෙස එක වර්ගයක ගනුදෙනු කරුවන් කොටසකට පමණක් පහත් කොට සැළකීමයි. ඒ නොමනා සැළකිල්ල ඉවත් කිරීම පිණිස ඔබේ හඬ අවදි කරන්න, ගොරිල්ලා හෙළා දැකීම පිණිස ඔබේ ශක්තිය වැය නොකරන්න.

    කෙනෙක් රිදවීම ලෙහෙසියෙන් පහසුවෙන් කළ හැක. එහෙත් අපේ කාර්‍යය සහ මුල් ලිපිය එවූ පුද්ගලයාගේ අරමුණ කෙනෙක් රිදවීම නොවේ. එයින් වන සෙතක් නැතුවා පමණක් නොව එය මූලික අරමුණ කරා යන ගමනට ද බාධකයකි.

    මේ බව සිතට ගන්න.

    ReplyDelete
    Replies
    1. සිතුවිළිAugust 3, 2014 at 10:40 AM

      කණිෂ්ක,
      මේ ගෝරිල්ලා තනි කොට ගැසීමෙහි හෝ හම ගැසීමෙහි වෑයමක් නොවෙයි.
      සමස්තයක් ලෙස දැන් දැන් වඩිපුර ආයතන වල මුල් පුටු වලට ඍජුවම පැමිණෙන විදෙස් උපාධිදාරීන් මුහුන දෙන ගැටළුවක්.
      මෝටර් සයිකල් කරුවා ශුද්‍ර කුලයක් ලෙස දකින්නේ ඔවුන් තමා. එය ඔවුන්ගේ වරදක් නොවෙයි. ඔවුන් අධ්‍යාපනය හා පුරුද්ද තුළින් ලබා ගන්නා සමාජ දැනුමෙහි තරමයි.

      ඇතැම් විට මෙවන් හසිරීම් දක්වන තරුණ නිලධාරීන් ගේ පියවරුන් තවම හන්දියට යන්නවත් ගෙදර මොටර් සයිකලයක් තබාගෙන දරුවන්ගෙන් බැනුම් අසමින් එය පදින්නෙකු විය හැකියි. එහෙත් තරුණ නිල්ධාරියාට තම පියා හැර අන් සියළු මෝටර් සයිකල් කරුවන් අර ශුද්‍ර කුලය ලෙසිනුයි පෙනෙන්නේ.
      මෙය ගෝරිල්ලාගේ නොවෙයි ඔහු විසින් නියෝජනය කරනු ලබන සමාජ කුලකයේ විධි ස්වභාවයයයි කීවොත් එය වැරදිද?

      Delete
    2. විදෙස් උපාධිදාරීන් මෙයට ගාවා ගැනීම කෙරේ අප තුල වැඩි කැමැත්තක් නැත. විදෙස් උපාධි, එය ලබා ගත්තේ ලංකාවේ සිටිමින්ද නැතහොත් විදෙස්ගත වී ද යන සාධකය නොසළකා, ලබන්නෝ බොහෝ විට ඒ වෙනුවෙන් දශලක්‍ෂ ගණනක් වියදම් කළ හැකි දෙමාපියන්ගේ දරුවෝය. ඔවුන්ගේ සමාජ පසුබිමත් එබඳුය. එවැනි විටක මුල අමතක කිරීම ගැන චෝදනාව සාධාරණ නැත. චතුසක පදවන ඔවුහු ස්වභාවයෙන්ම දෙසක සහ තෙසක පදවන හුදියන් පිළිකුල් කරත්.

      එහෙත් එවැනි පිළිකුල් කිරීමක් මේ බැංකුව තුල සිදු වෙතැයි අපට නිරීක්‍ෂණය නොවීය. හැට්ටය (jacket) රහිතව එන ගනුදෙනුකරුවන් සුහදව පිළිගැනීමත් එය ඇඳගෙනම එන ගනුදෙනුකරුවන්ට "සුහදව" එය ගලවන ලෙස පැවසීමත් බැංකුව කරයි. වරද ගලවන ලෙස අණ කිරීම නොවේ. (මේ ලිපි දෙකින් පළමුවැන්න උඩින් පල්ලෙන් කියවන විට අපට සිතුනේද මුල් ලේඛකයා හැට්ටය ගැලවීමට විරුද්ධ බවයි. එහෙත් සත්‍යය එය නොවේ.)

      වරද නම් ඊට සුදුසු ස්ථානයක් සපයා දීමට බැංකුව අපොහොසත් වීමයි. මෙය ගොරිල්ලාගේම වරදක් නොවේ. සමහර විට ගොරිල්ලා මේ බැංකුවේ රාජකාරි බාර ගත්තේ මේ ඊයේ පෙරේදා විය හැක. කොටින්ම ඔහු ගැන අප හරි හැටි දන්නේ නැත. කවරක් වුව, වරද තනිකර ඔහුගේ නොවේ.

      වරද බැංකුවේය. බැංකුව තීරණය ගන්නා විට ඊට අවශ්‍ය අංගෝපාංග ඇත්දැයි සොයා බැලිය යුතුය. ගෝරිල්ලාගේ වරද තමන්ට ඊට අවශ්‍ය පහසුකම් නැති බව බැංකු පාලනාධිකාරියට සෘජුව දැන්වීමට අවශ්‍ය පිට කොන්දක් නොමැති වීමයි. සම්පත් බැංකුව සාමාන්‍යයෙන් හොඳ බැංකුවකි. එහි වෙනත් ශාඛා වල මෙවැනි විකාර නුදුටිමි. ඒබැවිණි අප ගෝරිල්ලා ගැන සඳහන් කළේ. එහෙත්, මෙය ගෝරිල්ලා විසින් ගත් තීරණයක් නම් නොවේ.

      තීරණය බැංකුවේ; ප්‍රායෝගික නැති මේ තීරණය එසේම ක්‍රියාත්මක කිරීමට මුග්ධ ලෙස පියවර ගැනීමේ වරද කළමනාකරු අතේ. එයයි අපගේ අදහස. කළමනාකරු අර අපේ විරෝධතාකරුගේ පැමිණිල්ල ඉහලට ඉදිරිපත් කිරීමට පොරොන්දු වී ඇත. එය නොකෙරිණිනම් දෙපාර්ශවයම වැරදිකරුවෝ.

      අපගේ ගිණුමක් ඔය බැංකුවේ තිබිණිනම් ඉඳ හිට ගොස් යථා තත්වය සොයා බැලීමට තිබිණි. ගිණුමක් හෝ යෑමට විශේෂ හේතුවක් රහිතව එහි යෑම නොමැනවැයි සිතමි. එය අනවශ්‍ය අවධානයකට ලක් වීමකි, සැකයට බඳුන් වීමකි. බැරි වෙලාවත් බැංකුවට හොරු පැන්නොත් ...

      Delete
    3. සිතුවිළිAugust 4, 2014 at 10:13 AM

      ඔව් අනවශ්‍ය තල වලට ගෙන නොගොස් මේ කථාව එහි මුල් අරුත තුල රඳවා ගත යුතුයි,
      ඔබගේ සිහිකැඳවීම වැදගත්.

      Delete
  7. panadura seylan bank branch eka. maha jarama branch ekak. pregnant ladiesla , lamai wada gattu ammala polime innakota, pitipasse inna genu tikka counter ekata ada gahala gannawa ex staff kiyala, yako un old staff unata apita moko. ehemanam unta wenama que ekak, counter ekak daapan.

    ReplyDelete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !