Friday, July 11, 2014

මා නික්ඛම මහාවීර...



ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මේ පොහෝ දිනයේ සිදු වූ සිදු වීම් බොහොමයක් වෙසක් පොහෝ දිනය හා අන්‍යොන්‍ය වශයෙන් බැඳී පවතී.

මා නිඛම මහාවීර - ඉතෝ තේ සත්තමේ දිනේ
දිබ්බන්තු චක්‌කරතනං - අද්ධා පාතු භවිස්‌සති
සිද්ධාර්ථ කුමාර චරිතය සහ බෝසත් තවුස් චරිතය සැළකූ කළ ඉතාම වැදගත් සිදු වීම් මේ පොහෝ දිනය ආශ්‍රිතව සිදු වී තිබේ.
  • මව්කුස පිළිසිඳ ගැනීම
  • ලෙඩෙක්, මහල්ලෙක්, මළමිනිහක්‌ හා පැවිද්දෙක් යන සතර පෙරනිමිති අතුරින් ප්‍රථම හා අවසාන නිමිත්ත දර්ශනය
  • රාහුල කුමරුගේ උත්පත්ති මංගල්‍යය
  • කිසා ගෝතමියගේ නිබ්බුත පද ඇසීම ඇසීම හා ඈ වෙත සිය මුතුහර තෑගි කර යැවීම
  • නාටිකාවන්ගේ විප්‍රකාර දැකීම
  • මහාභිනිෂ්ක්‍රමණය
  • තව්තිසා දෙව් ලොව සිළුමිණි සෑය ඇති වීම හා බඹ ලොව සළුමිණි සෑය ඇති වීම
  • සිද්ධාර්ථ කුමාරයා සසර කතරින් එතෙර කිරීම පිණිස තිස් යොදුන් මග ගෙවා පැමිණීමට උපකාර වූ කන්ථක අශ්වරාජයා තිරිසන් ආත්මභාවයෙන් චුත වී දිව්‍ය ශ්‍රී ලැබීම
  • රාජගහ නුවර පිඬු සිඟා වැඩිම, ආහාරයේ පිළිකුල මෙනෙහි කිරීම හා අධිෂ්ඨාන කරගෙන වැළඳීම
  • මගධ රාජාධිපති බිම්බිසාර රාජයාගේ අර්ධ රාජ්‍ය භාර ගන්නා ලෙස කළ ආරාධනය ප්‍රතික්ෂේප කිරීම හා බුදු බව ලබා පළමුව රජගහ නුවරට වැඩම කරන ලෙස කළ ආරාධනය පිළිගැනීම.
ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ වැදගත් කම පිළිබඳ තව විස්තර බෝසතුන් මව් කුස පිළිසිඳ ගත් ඇසළ පුන් පෝය ලිපියේ සඳහන්ය.


අභිනිෂ්ක්‍රමණය

පසුගිය වසරේ අප පස් මහ බැලුම් විග්‍රහ කර ගත්තෙමු. අද අභිනිෂ්ක්‍රමණය හා ආශ්‍රිත සිදු වීම පිළිබඳව විමසා බලමු. පහත උපුටා ගැනීම පූජාවලියේ මහබිනික්මන් පූජා කථා පරිච්චඡේදයෙනි.

සතර පෙර නිමිති දැකීම


මාගේ බොධිසත්ත්වයෝ යශොධරා දේවීන් ප්‍රධාන වූ මේ සතලිස් දහසක් නාටකස්ත්රිාන් පිරිවරා මාණික්ය් ශොභාවෙන් දිලියෙන්නා වූ කනක ප්රාහසාද බඳු වූ, පියරජහු කරවා දුන් තුන් ප්රා සාදයෙහි සුරඟනන් බඳු වරඟනන්ගේ මඳහස ලැසි බැල්මෙන් පින පිනා මහත් වූ රාජ්ය ශ්රීේ සම්පත් විඳුනා සඳ, ඒ බෝසතාණෝ එක් දවසෙක උයන් කෙළි කෙළනා කැමතිව රථාචාය්ය්බර්යාූ කැඳවා මඟුල් රථය සරහා ලව යි කීදෑ ය. රථාචාය්ය්ාර්යාව යහපතැයි ගිවිස උතුම් වූ රථයක් රථාලංකාරයෙන් සරහා නෙළුම්පත පැහැ ඇති මංගල අශ්වරාජයන් සතරදෙනකු යොදාලා බෝසතුන්ට දැන්විය. බෝසතාණෝ දිව්යෝරථයක් වැනි වූ ඒ රථයට පැනනරඟී මහ පෙරහරින් උයනට නික්මුණ සේක. එ කෙණෙහි දේවතාවෝ සිද්ධාර්ථකුමාරයන් බුදුවන කල් ආසන්න ය, තපසට කාරණා දක්වම්හයි එක් දිව්යණපුත්රසයකු ජරා වෙසක් ගන්වා කඩ දත් ඇතිව, නර ඉස් ඇති ව, වක ගසාගෙන දණ්ඩක් අතින් ගෙන වෙවූල වෙවූලා සිටියා සේ දක්වාලුහ. ඒ ජයාරූපය බෝසතුන් හා රථාචාර්‍යයාහට පෙනෙයි. සෙස්සවුන්ට නො පෙනෙයි. බෝසතාණෝ සබඳ රථාචාර්‍ය ය! මේ කෙසේ වූ රූපයක් දැයි විචාළදෑය. ස්වාමිනි! මහළු මිනිසෙකැයි කී ය. මොහු මේ උපන් සැටි ම දැ යි විචාළදෑ ය. නැත, ස්වාමිනි! පෙර අප සේ ම ළදරුය. දැන් දිරා ගියේයැයි කීය. තවත් මෙසේ වූ සත්හු ලොව ඇදිදැ යි විචාලදෑ ය. ස්වාමිනි, ඉතා සුලභ යැයි කී ය. මට ත් මේ ජරා රූපය ඇද්දැ යි විචාළදෑ ය. සියලු සතුන්ට ම ඇතැයි දෙවියන්ගේ ආනුභාවයෙන් කී ය.

ඉක්බිත්තෙන් බොධිසත්වයෝ මේ මනුෂ්‍යාත්මය නම් මෙසේ අනිත්‍ය දෙයෙක් වනැ යි මේ ජීවිතයට නින්දා වේවයි කියා අතින් ලකුණු උපදවා මෙසේ වූ ජරා ඇති මට ක්‍රීඩාවෙන් නම් නැතැයි සසර කලකිරි නැවත ප්‍රසාදයට ම වන්දෑ ය. ශුද්ධොදන රජ්ජුරුවෝ කුමක් නිසා ම පුතණුවෝ උයනට නො ගොස් නැවත අවුදැයි විචාරා ජරා රූපයක් දැක කලකිරී ආසේකැයි අසා එබදු රුවක් දැක මහණ වෙතිය් පෙරම ඇසීමි. කොල! මා නො නසව! වහා නළුවන් දී මපුතණුවන් ක්‍රීඩාවෙන් සතුටු කරවා මහණ වීමෙහි ලොභ නැති සේ කරවයි නියොග කොට තව ද නුවර සතර දිගින් දෙ දෙ ගවුවේ රකවල් ලැවූහ.

තව ද සාරමසක් ගිය කල පෙර සේම උයන් කෙළියට යනදෑ දෙවියන් මවා පෑ කුෂ්ඨයෙක් පිරි ශරිර ඇති, මහ සැළ සේ උදර ඇති, වන්බිඩි සා සීපද ඇති, ව්‍යාධිගතවූ රූපයක් දැක පෙර සේම රථාචාර්‍යයා අතින් විචාරා එදා ද සසර කලකිරි නැවත මාලිගාවට ම වැඩිසේක. එ පවත් රජ්ජුරුවෝ අසා මහත් වූ ශොක කොට නුවර සිසාරා තුන් තුන් ගවූවේ රකවල් ලැවූහ.

නැවත ද සාරමසක් ගිය කල උයන් කෙළියට යන දෑ දෙවියන් මවා පෑ, කට දල්වාගෙන ඉදිම, නිල්ව ගිය ශරිරඇති ව, නව දොරින් නික්මෙන පණුකැලන් විසින් ආකුල වූ මෘතරූපයක් දැක, එ දවස් පෙර සේ ම කලකිරි උයන්කෙළියට යන ගමන් හැර ප්‍රසාදයට ම නැඟි දෑය. එ දවස් ද රජ්ජුරුවෝ විචාරා දොම්නස්ව තව ද නුවර සිසාරා සතර සතර ගවුවේ රකවල් ලැවූහ.

මෙසේ තව ද සාරමසක් ගිය කල ඇසළ මැදි පොහෝ දින සම්ප්‍රාප්ත වි ය. බොහෝ ආයු ඇති බොධිසත්ත්වවරයෝ මේ නිමිත්ත දක්නාහු සියක් සියක් අවුරුද්දෙන් දක්ති. ආයු මඳ කාලයෙහි උපන් බොධිසත්ත්වවරයෝ සාරමසින් සාරමසකට දකිති. මේ කාරණයෙන් අප මහා බොධිසත්ත්වයන් ද සාරමසක් සාරමසක් ගිය කල මෙ තුන් කාරණය දුටු සමයෙහි සතර වන ගමනෙහි මෙසේ ඇසළ මැදි පොහෝදින ය සම්ප්‍රාප්ත වි ය.එ දා උයන් කෙළියට යන දෑ දෙවියන් මවා පෑ සකසු කොට හැඳ පෙරව වියදඬු පමණින් දුර නො බලා උපශාන්ත වූ ගුණයෙන් සැදී සිටියා වූ මහණවෙස දැක යහළු මේ ශාන්ත වූ වෙසයකින් හොබනාහු කවුරු දැයි විචාරා දෙවියන්ගේ ආනුභාවයෙන් ස්වාමිනි තපස් වෙසෙකැයි කී කල මේ උපශාන්ත වූ වෙසෙක. එකාන්තයෙන් මේ වෙස ගත්තා හට සසරින් ගැළවීමක් වේ ම යැයි මහණ වෙසෙහි සතුටු ව එ දා උයන් කෙළියට නික්මුණුසේක.

ඒ උයනෙහි දිවාභාගයෙහි නඳුන් උයන් වන් ශක්‍රයා සේ උද්‍යාන ක්‍රීඩා කොට, මඟුල් පොකුණට බැස ජල ක්‍රීඩා කොට, හිරු හස්තගත වේලෙහි මඟුල් සලවට වැඩහිඳ සර්වාභරණයෙන් සැරහෙමි යි සිතූසේක. ඒ අදහස් දත්තාවූ ඇමැතියෝ ලක්ෂවටනා සළු හා සූසැට ආභරණයන් ගෙනහැර සිසාරා සිට ගත්හ. ඒ කෙසේ වූ ආභරණ ද යත්: පාදාංගුලි, පාදජාලා, පාදාහරණ, පාදශෘංඛලා,පාදසිරි, ජංඝාපත්රහ, වළලු, කෙයුරාහරණ, ඌරුජාලා,හිණ සැද, මකරපට, උදර බන්ධන, හස්තාංගුලි, හස්ත මුද්රි කා, කෛපෝට්ටු, අංගදාභරණ, ගලමුතුමාලා, එකාවැළ, අවුල්හර, සද්දම්, මුතු දම්, රන් දම්, රිදී දම්, සිද්දතු දම්, පබළු දම්, කර්ණාභරණ, කර්ණාවතංස, කර්ණ කුණ්ඩලා, ලලාට පට, වොටුනු යනාදී මේ සූසැට ආභරණයන් හා මල් සුවඳ විලෙවුන් ගෙන පිරිවරා සිට ගත්හ.

එ කෙණෙහි මාගේ ස්වාමිදරුවන් පශ්විමභවයෙහි ලබන අලංකාර ය හෙයින් ශක්‍ර දේවෙන්ද්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසන ය හුණු වි ය. සක්දෙව්රජ පරීක්ෂා කරනුයේ බෝසතාණන් මහණ වන දා පශ්චිමාලංකාරයැ යි දැක විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවා යහළු විශ්වකර්ම දිව්‍ය පුත්‍ර ය! සිද්ධාර්ථ කුමාරයෝ අද මධ්‍යම රාත්‍රියෙහි මහභිනික්මන් කොට සෙට අලුයම මහණ වෙති. මේ උන්ගේ පශ්චිම වූ මහණ පූජා අලංකාර ය. තෝ ගොස් ඒ මහාපුරුෂයා සිව්යාජභරණයෙන් සරහාලවයි නියොග කළේ ය. එ කල විශ්වකර්මයා දිව්‍යානුභාවයෙන් ඇසිල්ලකින් අවුදින් මඟුල් කපු වෙසක් ගෙන කපුවා අත තුබු වෙළුම් සළුව ගෙන බෝසතාණන් සිරස වෙළි ය. එ වේලෙහි බෝසතාණෝ ඔහුගේ අත දිව පහස් දැන මේ මනුෂ්‍යයෙක් නො වෙයි. එකාන්තයෙන් මේ දේවතාවෙක් ම යැයි දත්සේක. ඒ විශ්වකර්ම දිව්‍යපුත්‍රයා එ දා සරහනුයේ අකුළාලු කල තැල් මල් තුඹ මල් සා ඇති විදාපි කල සයොදුන් දොළොස් යොදුන් සා ඇති දිවසළු දහසක් පටින් සිරස වෙළා මිණි වොටුනු පලඳවා දිව්යාුභරණයෙන් අලංකෘත කෙළේය.

මෙසේ බෝසතුන් මහණ මන දා ඒ විශ්වකර්ම දිව්ය දිව්‍යපුත්‍රයා එදා කළා වූ අලංකාර පරම්පරාව දැන් දක්වා සසුන් වැද මහණ වන්නවුන්ට ව්‍යවහාර වී යැයි දතයුතු.

රාහුල කුමාරෝත්පත්තිය


ඉක්බිත්තෙන්, මෙසේ සැරහුම් ලදින් වැඩහුන් කල ආතත විතතාදි වූ පඤ්චාංගික තූර්යනාදයන් පවත්වා මහත් වූ උත්සව වී ය: බ්‍රාහ්මණයෝ ජය නන්දාදි මංගල ස්තුතියට පටන්ගත්හ. එ කෙණෙහි පාණ්ඩුකම්බල ශෛලාසනයෙන් පැනනැඟි ශක්‍ර දේවේන්ද්‍රයා සේ බෝසතාණෝ මඟුල් සල වටින් පැනනැඟි රථාලංකාරයෙන් හෙබියා වූ මඟුල් රථයට පැනනැඟි සිටගත් සේක. එ කෙණෙහි යශෝධරා නම් අගබිසෝ රුවන කුසින් රාහුල නම් පුත්රුවන පහළ විය.

එ කල ශුද්ධොදන රජ්ජුරුවෝ යෙහෙළියන් පුතකු වැදුහ යි අසා එතෙකින් මපුතණුවන් දරුමලින් බැඳ ගම රඳවා ගනිමි යි මහණ විය නො දෙමි යි මට වූයේ අනුබලයෙකැයි ඉතා සතුටු ව ම පුතණුවන්ට සතුටු හසුන් කියවයි අමාත්‍යයන් මඟුල් වෙස් ගන්වා බෝසතුන් කරා යවූවාහු ය. එ වේලෙහි අමාත්‍යයෝ දිව දිව ගොස් හිමි! තොප හා එක් වැනි වූ පුතණු කෙනෙක් උපන්හයි බෝසතුන්ට දැන්වූහ. බෝසතාණෝ එ බස් අසා රාහුලයෙක් උපන, ඒ මට ගිහිබන්ධන යැයි කීසේක. ශුද්ධොදන රජ්ජුරුවෝ මපුතණුවෝ කුමක් කිවූ දෝ හෝ යි විචාරා රාහුලො ජාතොයි කිසේකැයි අසා මෙ තැන් පටන් මාගේ මුණුබුරාණෝ රාහුලයෝ යයි නම් දුන්හ.

නිබ්බුත පද ඇසීම


ඉක්බිත්තෙන් බොධිසත්ත්වයෝ මිනිස්ලොව උපන්නාහට දරුකෙනකුන් ලැබීම නම් ඉතා උගහට. ඉනුත් පුතකු ලැබීම නම් ඊටත් වඩා උගහට. දැන් ම මහණ වන්නට නො ගොස් රජ ගෙට ගොසින් ම පුතුන් දැකපියා රාත්‍රී භාගයෙහි මහභිනික්මන් කෙරෙමියි සිතා මහත් වූ ශ්‍රී සෞභාග්‍යයෙන් නුවරට වැද ශක්‍ර දේවේන්ද්‍ර ලිලායෙන් රජගෙට නික්මුණුදෑ ය. එ වේලෙහි කිසා ගොතමී නම් බැදෑ බිසොවක් බෝසතුන් වීථීයෙහි වඩනා ලීලා හා ‍ඓශ්චර්යය දැක ඉතා කුල්මත් ව ඇතුළු ගෙයි හින්ද නොහී මතු මාලේ සිංහපඤ්ජරයෙහි දොර හැර බෝසතුන්ගේ රූපලිලා දැක නිල්වලා ගබකින් චන්ද්‍ර මුඛයක් පෑවා සේ සිංහපඤ්ජර මුඛයෙන් තමාගේ මුඛය බෝසතුන්ගේ අභිමුඛයට දක්වාලා:
නිබ්බුතා නූන සා මාතා - නිබ්බුතා නූන සො පිතා
නිබ්බුතා නූන සා නාරි - යස්සායං ඊදිසො පතී
යි. යන මේ ගය කියා සිද්ධාර්ථ නම් රූ සයුරාණෙනි! අද තොප මෑණියන්ගේ ද සිත නිවි ගිය. තොපගේ මේ ශ්‍රී දුටු පියාණන්ගේද සිත නිවී ගිය. යම් ස්ත්‍රීයක් තොපගේ ශරිර පහස් ලද්දා නම් ඇගේ ද සිත නිවී ගියේ යැයි කීව. බෝසතාණෝ බිසොවුන් කී නිවී ගියේ ය, නිවී ගියේ යැයි යන තෙපුල් අසා මම ත් නිවන් සොයමි. මොයි ත් නිවී ගියැ යි යන බස් කිය යි. මට මෝ ප්‍රිය බස් කිව. අදම මා ගිහිගෙය හැර ගොස් මහණ වුව මැනවැයි සතුටුව මට ප්‍රිය තෙපුල් කි වියට ප්‍රිය වස්තුවකින් පූජා කෙරෙමියි කර තුබූ ලක්ෂයක් වටනා මුතුහර ගළවා ඒ කිසාගෝතමීන්ට යවූදෑ ය. කිසාගෝතමි මුතුහර ය දැක සිද්ධාර්ථ කුමාරයෝ මා කෙරෙහි ප්‍රේමයෙන් කර තුබු මුතුහර එවාපූදෑ ය. එකාන්තයෙන් මා කෙරෙහි ප්‍රතිබද්ධ වූ සිත් ඇත්තාහු ය. යශොධරා දේවීන් සේ ම මා ත් අගමෙහෙසුන් කෙරෙතියි සිතූහ.

නාටිකාංගනාවන්ගේ විප්‍රකාර දැකීම


ඉක්බිත්තෙන් බෝධිසත්ත්වයෝ මහත් වූ ශ්‍රී සෞභාග්‍යයෙන් ප්‍රසාදයට නැඟී ශ්‍රී යහනෙහි සැතපුණුසේක. එකෙණෙහි රජගෙය සුවඳතෙල් වැට පහනින් එකාලෝක කළහ. සර්වාලංකාරයෙන් සැරහුණා වූ නෘත්‍ය ගීත වාද්යහයෙහි දක්ෂ වූ දෙවඟනක් බඳු රූ ඇති සතලිස් දහසක් නාටක ස්ත්‍රීහු පිරිවරා ගත්හ. එයින් සමහරු නටති. සමහරු ගී කියති. සමහරු වංගි පිඹිති. සමහරු විණා ගාති. සමහරු අත්ල එළති. සමහරු වස්කුලල් පිඹිති. සමහරු නෘත්‍යාංග දක්වති. සමහරු ලීලා දක්වති. සමහරු වයති. යනාදීන් ක්රි‍ඩාවට පටන් ගත්හ. බෝසතාණෝ කෙලෙසුන් කෙරෙහි විරක්ත වූ සිතින් ඒ ක්‍රීඩායෙහි සිත් නො ලා අනික් ඇලයෙන් නැමි නිද්‍රාවට පටන්ගත් දෑ ය.

ඒ ස්ත්‍රීහු බෝසතුන් නිදන සේ දැක නිකම් නටා වෙහෙසෙනු කිම් දැයි තූර්‍ය්ය භාණ්ඩයන් බිම තබා එ ම බෙරෙහි හිස තබා සිටි තෙත වැද හෙව නිදන්නාහු ය. ප්‍රදීපාලෝකයෙන් එකාලොකම ය. බෝසතාණෝ යහනින් නැඟී වැඩහිඳ ස්ත්‍රීන්ගේ නොඑක් විකාර දුටුදෑය. සමහරු කුණු කෙළ ධාරා වගුරුවති. සමහරු දත් කති. සමහරු තලු ගසති. සමහරු නන් දොඩති. සමහරු අපගත වස්ත්‍ර ව කෝපීන ස්ථාන දක්වති. බොධිසත්ත්වයෝ මොවුන්ගේ විප්‍රකාර දැක කාමයෙහි අතිශයෙන් ලොභ නැති ව මේ ස්ත්රිසහු පෙඑයම්’ වේලෙහි දිව්යාංතගනාවන් සේ සිටියාහුය. දැන් මාත රූප වැනියාහු යැයි සසර කලකිරි එ තැන නොඑක් කුණුපයන් පිරුණා වූ අමුසොහෙනෙක් සේ වැටහිණ. තුන් භවය ම ගිනි ගත් ගෙවල් සේ සිතිණ.

මහබිනික්මන


මේ සසර හුණු සත්ත්වයාට ඉතා උපද්රලවයෙක් වී ය; ඉතා පරිහානි වී යැයි උදාන පවත්වා අතිශයින් ම මහණ විමෙහි සිත නැමී දැන්ම මා නික්මුණ මැනවැයි සිතා යහනින් නැඟිලා පද සලකුණු නො දී ම සෙමෙන් සෙමෙන් රන් බාව කරා ගොස් මෙ තැන කවරෙක් දැයි විචාලදෑ ය. එදා රෑ හිණිගබඩායෙහි එළිපත හිස තබා ගෙන වැදහොත්තා වූ ඡන්න නම් අමාත්යියා ස්වාමීනි! මම ඡන්නයා යැයි කී ය. යාළු ඡන්න ය! දැන් ම මම මහභින්ක්මන් කරනු කැමැත්තෙමි. කිසි කෙනෙකුන්ට ත් නො හඟවා මඟුලසු සරහා වහා ගෙනෙවයි කිදෑ ය. ඒ මැනව ස්විමිනියි කියා අශ්වලංකාර ගෙන දහස් ගණන් අසුන් සිටිනා අශ්වශාලාවට ගොස් සුවඳ වැට පහනින් දිලිහි දිලිහී සමන් මල් වියනක් යට බුමුතුරුණු පිට අස්රජ සිරින් සිටියා වූ කන්ථක නම් අශ්වරාජයා දැක මේ අසු සරහම් යි සිතාලා ඒ අශ්වයා සරහාලී ය. ඒ අශ්වරාජයා තමා සරහන වේලෙහි ම සිතනුයේ මේ සැරහුම ඉතා දැඩි ය. මෙ තෙක් දා උයන් කෙළි ආදියට මාගේ ස්වාමීහු වඩිනා කල යොදන යෙදීමක් නොවෙයි. අද රාත්‍රීයෙහි සොරා ම යොදති. මාගේ ස්වාමිදරුවාණෝ දැන් ම මහභිනික්මන් කෙරෙත්වනැ යි. බොහෝ කලක් මා පුරා ආවා වූ මාගේ ප්‍රාර්ථනාව ද අද කුළු ගන්නා වනැයි ඉතා සන්තුෂ්ට වූයේ මහත් කොට හෙෂාරව කෙළේ ය. ඒ ශබ්ද ය මුළුනුවර පැතිර ගිය. දේවතාවෝ ඒ ශබ්දය සඟවා කිසිකෙනෙකුන් කන හි ය නුදුන්හ.

එ කල බොධිසත්ත්වයෝ අමාත්යරයා අශ්වශාලාවට යවාලා පුතනුවන් දැක පියා යෙමියි සිතා යශෝධරා දෙිවීන් වසන ශ්‍රීයහන් ගබඩාවට ගොස් දොර හරපි දෑ ය. එ වේලෙහි ගර්භාන් තරයෙහි සුවඳ වැට පහන් සතර දිග දිලියෙ යි. යශොධරා දේවී අමුණක් සමන් මලින් තැනු යහන් මතුයෙහි හෙව නාරිලතායෙන් නිකුත් රුවන් දළුවක් සේ පුතනුවන් බඩ දිගෙන ලෙහි අත තබා ලා නිදන්නාහු ය. බෝසතාණෝ එ වේලෙහි රන්බාව අතින් අල්වා ගෙන දකුණු පය එළිපත මත්තෙහි තබා සිට ගර්හාන්තර ය බලා පුතනුවන්ගේ රූ හා දේවීන්ගේ ශොභා දැක දරුවන් වඩා ගෙන සිඹ සනහා පියමියි සිතාලා දේවීන් අත පහ කොට පියා දරුවන් ඇල්ලීම් නම් යශොධරා දේවී පිබිද යෙති; උන් හා සමඟ කථායෙක් වී නම් මා කාමබන්ධනයෙන් බැඳ මහභින්ක්මන් කොට ගත කොදි ගමනාන්තරා ය කෙරෙතියි සිතා qමතු බුදු ව ආ දා ම දරුවන් දැක පියමියි සිතාලා දැන් මේ එක දරුකෙනකුන් කෙරෙහි කලා වූ ප්‍රේමයෙන් මහණ නො විම් නම් මතු මුළුලෝ වැසියන් හැම නො වරදවා කෙසේ දරු කොට ගනිම් ද, සංසාර සාගරයෙහි ගොඩ නො දක්නා අපමණ වූ සත්ත්වයෝ කවුරුන් මුහුණ බලා ගැළවෙද් ද යනාදීන් සියලු සතුන් කෙරෙහි උපන් මහා කරුණා ඇති ව, පුතණුවන් කරා දිවූ ප්‍රේම නමැති මහවතුර තමන් වහන්සේගේ සාරාඛේය්ය කප් ලක්ෂයක් මුළුල්ලෙහි නො කඩ කොට තිබුවා වූ ධෛර්යය පාරමිතා නමැති මහ මියරින් රඳවා මහමෙරක් ඔසවන පුරුෂයකු මහත් වූ උත්සාහයෙන් ඔසවන්නා සේ, එළිපත තුබු පය මහත් වූ වීර්යයෙන් හයා ගෙන ප්‍රාසාදයෙන් බැස අශ්වයා කරා ගොස් පිට අත ගසා ඕහට මෙසේ කීසේක. යහළු කන්ථක ය! අද එක රෑ තෝ මා ගළව. මම තාගේ සහායෙන් ගොස් බුදු ව තා ඇතුළු ව බොහෝ දිව්‍ය මනුෂ්‍යයන් සසරින් ගළවමියි කියාලා ඒ අශ්වරාජයා පිටට පැන නැඟිදෑ ය.

ඒ අශ්වරාජය‍ාගේ ග්‍රිවය පටන් වාලධිය දක්වා අටළොස් රියන් දිග ඇත්තේය. දිගට සුදුසු වූ උස ඇත්තේය. ඉතා සුදුය. පිරිසිදු වූ සකක් වැන්නේ ය. මහත් වූ බල හා දව ඇත්තේ ය. ඉදින් හෙෂාරවයක් කෙරේ නම් කුරපහර දේ නම් හැම නුවර වෙවුල්වාපි ය යි. එසේ හෙයින් කිසි අරගලයක් නො වන සේ නැඟු නැඟු කුරපහරින් කුරපහරට දෙවියෝ අතුල්තල දුන්හ. බෝසතාණෝ ඒ අශ්වරාජයා පිට හිඳ ඡන්න නම් අමාත්යහයා ලවා අසු වාලධි ය ගන්වා එ දා රෑ වූ පසළොස් පැය ගිය වේලෙහි මහ වාසල් දොරට පැමිණිදෑ ය. එ කල ශුද්ධොදන රජ්ජුරුවෝ පුතණුවන් නො වේලෙක සොරපෙලා යෙති යි දහසක් යොධයන් වසාලන දහසක් යොධයන් හයාලන, බියලි දොර දෙකක් ලැවූහ. දහස් ගණන් යෝධයෝ රකවල් ගෙන නිදන්නාහු ය.

මාගේ බොධිසත්ත්වයෝ ඉතා බලසම්පන්න සේක. දශබලධාරී දෑ ය. නාරායණ බලයෙන් ඡද්දන්ත හස්තීන් දසදෙනෙක් හට බල ඇතිසේක. උපොසථ කුලයෙන් සියක් ඇතුන්ට බල ඇතිසේක. හෙම කුලයෙන් දහසක් ඇතුන්ට බල ඇතිසේක. මංගල කුලයෙන් දසදහසක් ඇතුන්ට බල ඇතිසේක. ගන්ධ කුලයෙන් ලක්ෂයක් ඇතුන්ට බල ඇතිසේක. පිංගල කුලයෙන් දසලක්ෂයක් ඇතුන්ට බල ඇතිසේක. තම්බ කුලයෙන් කෙළක් ඇතුන්ට බල ඇතිසේක. පණ්ඩර කුලයෙන් දසකෙළක් ඇතුන්ට බල ඇතිසේක. ගඬ්ගෙය්යල කුලයෙන් කෙළසියයක් ඇතුන්ට බල ඇතිසේක. කාලාවක කුලයෙන් කෙළ දහසක් ඇතුන්ට බල ඇතිසේක. මධ්යවම පුරුෂ ගණනායෙන් දසකෙළ දහසක් පුරුෂයන්ට බල ඇතිසේක. මෙසේ එකොළොස් දහස් එක්සිය එකොළොස් කෙළ එකොළොස් ලක්ෂ එකොළොස් දහස් එක්සිය දස මහා බලධාරී සේක.

ඉදින් දොර නො හැරේ නමුත් ඡන්නයා අසූ වල්ගය අල්වා ගත දී අසු දෙකලවයෙන් බදාගෙන අටළොස් රියන් මහ පවුර ගරුඬ රාජයකු සේ පැන දමා පියමියි සිතූසේක. අමාත්‍යයා සිතන්නේ ඉදින් දොර නො හැරේ නම් මාගේ ස්වාමිදරුවන් දකුණු දසරුවෙහි හිඳුවාගෙන අශ්වරාජයා සකක් සේ වම් අත්ලෙහි තබාගෙන කිසි අරගලයක් නොකොට පවුර පැනපියා මම් ම ගෙන යෙමියි සිති ය. කන්ථක නම් අශ්වරාජයා සිතන්නේ ඉදින් දොර නො හැරේ නම් අමාත්‍යයා වල්ගය ගතදි ම, මාගේ ස්වාමියා පිට වැඩඉන්දදී ම, මේ ප්‍රකාරය සිංහයකු සේ පැනපියා අද ගෙන යෙමියි සිතිය. ඉදින් දොර නො හැරුණේ වි නම් මේ තුන්දෙන ම තමන් තමන් සිතුසිතු සේ ම පැන පලා යන බල ඇත්තාහ. එ කෙණෙහි වාසල අරක්ගත් දෙවියා මතු අපට නිවන් දොර හැර දී ලුව මැනවැයි සතුටු පඬුරු දුන්නා සේ වාසල් දොර හැරපි හ.

එ කෙණෙහි වශවර්තිමාරයා සිදුහත් කුමර අද මේ දොරින් පිටත් වි නම් ගොසින් එකාන්තයෙන් බුදු වෙයි බුදු වී නම් එ දවස් මාගේ නරකවල ගිනි නිව යි. හැම නරක හිස් කෙරෙයි. හැම සතුන් ම දෙවුලෝ පුර යි. මට බොහෝ හානි කෙරෙයි. මායමක් කියා ඔහු අද යා නො දෙමියි සිතාලා දිව දිව අවුත් නුවර දොර ආකාශයෙහි සිට:
මා නික්ඛම මහාවීර - ඉතො තෙ සත්තමෙ දිනෙ,
දිබ්බන්තු චක්කරතනං - අද්ධා පාතු හවිස්සති
යි. යන මේ ගාථාව කියා නො යව, සිද්ධාර්ථ කුමාරයෙනි! සත් දවසක් ගිය කල තොපට චක්රසවර්තිරුවන පහළ වෙයි. සතර මහාද්විප ය හා දෙදහසක් කොදෙවුවලින් පිරුණා වු මේ සක්වළ ගබ මුළුල්ලෙහි ම එකාධිපත්ය්යෙන් චක්රණවර්ති රාජ්යළ ය කරව. යහළු නො යව නො යවයි කි ය.

බොධිසත්ත්වයෝ මාරයා දැක තෝ කවරෙක්හි දැයි විචාළදැ ය. මර දෙවුපුත් කියනුයේ මම එසේ මෙසේ එකෙකිම් නො වෙමි. සවන පරනිර්මිත වශවර්ති දිව්‍ය ලොකයෙහි මාර දිව්‍ය පුත්‍රයා නම් මම ය. මා කිවා කරවයි කී ය. බෝසතාණෝ එ බස් අසා තා සේ වූ මාරයෝ සියයෙක් දහසෙක් ලක්ෂයෙකුත් අද මා රඳවා ගත නො හෙතියි කියාලා:
මාර ජානාමහං මය්හං - වක්කස්ස පන සම්භවං,
අනත්ථී කොහං රජ්ජෙන - තිට්ඨ ත්වං මාරා මා ඉධ
යි. යනාදින් ගර්ජනා කොට දසදහසක් සක්වළ ගුගුරුවා ලොවුතුරා බුදුව ධම්සක් පවත්පමි. මට තාගේ සක්රුවනින් කම් නැත. තෝ මෙ තැන නො රඳ‍ා පලා යායි කීසේක. ඒ වසවත් මර එ බස් අසා ආකාශයෙහි සිට බෝසතුන්ට දත් කකා මතු තා බුදු වන ලෙස් බලදි. මෙ තැන් පටන්ගෙන කාම විතර්කයක් හෝ ව්යාදපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ සිතූ විටෙක තට නිහඬ දනිවියි කියා ඡායාවක් සේ ලඟ සිටගෙන ඒ සාවුරුද්ද මුළුල්ලෙහි ත් අවකාශයක් බලා නො දැක බුදු වන දා ද මහත් වු යක්ෂ සෙනාව හැරගෙන දිව පැරද ගොසිනුත්, බුදු වූ හවුරුද්දක් මුළුලුලෙහි ත්, බුදුන් සමීපයෙන් දුරු නොව මෙසේ සත් හවුරුද්දක් බුදුන් හා සමඟ ඇවිද්දේ ම ය.

ඉක්බිත්තෙන් අනන්ය සාධාරනොත්තම වූ සුරගමණි රත්නාලංකෘත විශුද්ධ බුද්ධාංකුර මාගේ ශ්‍රී මහා බොධිසත්ත්වයෝ සත් දවසෙකින් ලැබෙන චක්‍රවර්ති රාජ්‍යය අලුයම දැමූ කෙළපිඬක් සේ සරු නො කොට හැරපියා මහත් සත්කාරයෙන් නුවරින් පිටත් වූසේක. මෙසේ ඇසළමස මැදි පොහෝදා උතුරුසළ නකතින් එ දා මධ්‍යම රාත්‍රීයෙහි මහභිනික්මන් කොට නික්මිලා නුවර බලාපියනු කැමැති වූසේක. එ කෙණෙහි මහ පොළොව කුඹල් සකක් සේ පෙරළී බොසතාණන්ට නුවර දක්වාලි ය. ඒ ස්ථානය කන්ථක නිවන්ත නම් වෙතියක් මතු වන්නේ ය යි සලකුණු දිලා වඩනාලද මාර්ග මුඛයට ම අශ්වරාජයා විහිදුවා ගමන් ගත් සේක.

එ කෙණෙහි ඉතා මහත්වූ සත්කාරයෙන් මහත් වූ ශ්‍රී සෞභාග්යනයෙන් දසදහසක් සක්වළ සැටදහසක් කාමාවචර දිව්‍ය ලොකවල දෙවියෝ අපගේ ස්වාමියා මහභිනික්මන් කෙරෙයි. ඕහට අද රෑ අඳුරු දුරු කොට මහභිනික්මන් පූජා කරම්හයි රැස්ව පෙරට ව සැටදහසක් දෙවියෝ සැටදහසක් පමණ මිණි දඬුවැට පහන් ගෙන සිටියහ. දකුණැළයෙන් සැටදහසක් පහන් ගෙන සිටියහ. වම්ඇළයෙන් ද සැටදහසක් පහන් ගෙන සිටියහ. පිටිපස්සෙන් ද සැටදහසක් පහන් ගෙන සිටියහ. තෙසු දෙවියෝ සක්වළගබ වසා උරවටින් උරවට ගසා මිණිදඬුවැට පහන් ගෙන සිටියහ. එ දා රෑ මාගේ ස්වාමිදරුවාණන්ට දෙවියන් පිදු පහන් පූජාවෙන් මේ සා සක්වළගබ මුළුල්ලෙහි කුරු කුහුඹුවන් සා සත්තුන් ඔවුනොවුන්ට පෙනෙන්නාහු ම ය. අඳුරෙන් වැසෙන්නා වූ අල්ලක් සා අවකාශයකුත් කිසිතැනෙකත් තැන්ම ය. මෙසේ සක්වළගබ එකාලෝකවූ වේලෙහි සෙසු දෙවියෝද, නාගයෝ ද, ගරුඬයෝ ද, ගන්ධර්වයෝ ද, දිවමලින් දිවගඳින් දිව සුන්නෙන් දිවදුමින් පූජා කෙරෙති. සෙවියන් දමන ලරසතු දලින් හා මඳාරා මලින් හා අසුරයන් දමන පළොල් මලින් හා නයින් දමන කඩුපුල් මලින් හා ආකිශයෙහි අතුරු නැති ව ඝන මහා වර්ෂාවක් සේ මල්ධාරාවෙන් චතුරු වී ය.

තව ද, පඤ්චාංගික තූර්ය ගෙන දිව ආ ගන්ධර්ව දෙවියෝ ඉදිරියේ අටසැට දහසක් තූර්යනාරදයන් පැවැත්වූහ. දකුණත් පස අටසැට දහසක් තූර්ය නාද පවත්වා පූජා කෙරෙති. වමත් පස අටසැට දහසක් දිව්යාහෙරිනාද පවත්වා පූජා කෙරෙති. පිටිපස්සෙන් අට සැටදහසක් හෙරිනාද පූජා කෙරෙති. අවශෙෂ වූ ගන්ධර්වයෝ සිටිනා අනික් අවකාශයක් නැතිහෙයින් සක්වළගබ මුවවිට සිසාරා සිටගත්හ. ඒ දිව්ය හෙරි ඝොෂාව සමුද්රමධ්යායෙහි මහා මෙඝ නාදයක් සේ, යුගන්ධර පර්වතයෙහි වැදගන්නා රළ හඩක් සේ, පොළොව පටන් ගෙන අකනිටා බඹලොව දක්වා පූජා ඝොෂාවෙන් එක නින්නාද වී ය.

මෙසේ දසදහසක් සක්වළ දෙවියන් කරන මහත් වූ පූජා විඳුනා වූ මාගේ බොධිසත්ත්වයන් වහන්සේ එ දා රෑ තිබූ පසළොස් පැය දෑතුරෙහි තුන් රටක් ගෙවා තිස් යොදනක් ගොස් අනෝමා නම් ගංතෙරට අලුයම් වේලෙහි පැමිණිසේක. ඒ අශ්වරාජයාගේ දව එ තෙක් ම දැ යි යතහොත්: ඉදින් දිවේ නම් සතිස් ලක්ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් සක්වළගබ සිසාරා බමරක් නැටුවා සේ ඇසිල්ලකින් දිවපියා දහවල් බතට වාසයට එන තරම් දව ඇත්තේය. එ දා දිව්යා බ්ර්හ්ම අසුර නාග සුපර්ණ ගන්ධර්වාදීන් දමනලද සුවඳින් මලින් මඟ අතුරු නැත්තෙන් මල්වැසි පිහිරා දුවනුයේ ලස් ව තිස් යොදනක් ගියේ ය යි දතයුතු.

ඒ මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍රයන් වහන්සේ විසින් විරචිත පූජාවලියයි.


පූජාවලිය එසේ කීවේ වුව අභිනිෂ්ක්‍රමණ වනාහි නවීන බුද්ධිමතුන්ගේ අප්‍රමාන විවාදයට හා විවේචනයට භාජනය වූ බුද්ධ චරිතයේ සිද්ධියයි. සාරාසංඛ්‍යකල්ප ලක්‍ෂයක් පෙරුම් දම් පුරා, පස් මහා බැලුම් බලා උත්පත්තිය ලැබ, තමන් බුදු වන බවට අසිත තවුසා, කොන්ඩඤ්ඤ බමුණා ආදීන්ගේ අනාවැකි කියා තිබූ පසුබිමක හැදී වැදුණු සිදුහත් කුමරා යශෝදරාව ආවාහ කර ගත්තේ ඇයි? රාහුලයා උපදින තෙක් ගිහි ගෙයි රැඳුනේ ඇයි? සතර පෙර නිමිති දකින තෙක් ඔහුට පැවිදි වීමට නොසිතුනේ මක් නිසාද? එදිනම උපන් රාහුලයා හා යශෝදරාව මාළිගයේ තබා අභිනිෂ්ක්‍රමණය කිරීම නිවැරදිද? එසේ ගොස් බුදු බව ලබාගෙන අනතුරුව යහපත් පවුල් ජිවිතයක් ගත කිරීම පිළිබඳ උපදෙස් ඇතුලත් සිඟාලෝවාද සූත්‍රය ඈ "ගිහි" සූත්‍ර දේශනා කිරීමට උන් වහන්සේට කොතෙක් දුරට සුදුසුකම් ඇත්ද? මේ එවැනි ප්‍රාඥයන් විසින් නිතර නැගෙන ප්‍රශ්න වේ.

ඒ නවීන ප්‍රඥයින්ට පිළිතුරු දීම වෙනත් දිනෙක කරමු. එතෙක් මිට පෙර දිනක අප මිතුරු ජොසෙෆ් විසින් පොඩි ළමයා හා මේ කරුණු ගැන කෙරුණු සංවාදයක් විමසමු.
මාමයි බෑනයි 2
සබැඳි වෙනත් ලිපි:

54 comments:

  1. අනුන්ගේ පානෙන් එළිය බැලීම ... හික් !
    ---
    මාතෘකාව: මාරයා විසින්.
    වැදගත්කම: ගිය අවුරුද්දේ ලිපිය.
    ලිපියේ හරය: පූජාවලිය.
    විචාරය: මගෙන් අමු අමුවේ ගල් කරගෙන.

    අලුත් අවුරුද්දක පළවෙනි ලිපිය මෙහෙම කෑලි කෑලි එකතු කරලා හදා ගත්තම වගතුවක් වෙයිද මේ අවුරුද්දටම...?

    ReplyDelete
    Replies
    1. "Don't reinvent the wheel" කියා කවුදෝ පඬියෙක් කියා තිබුණු බව අපට විශ්ව විද්‍යාලයේදී උගන්වා ඇත. අප ඒ පඬි වදන අනුව ක්‍රියා කළා පමණි.

      Delete
    2. පඬි වදන් අනුව ක්‍රියා කිරීම වරදක් නැත. නමුත් සිහියේ තබා ගත යුතු දේ නම් පණ්ඩිතයින්ට ඒදන්ඩේ යන්නට බැරි බවයි.

      Delete
  2. ඉහත පූජාවලී විස්තරය ත්‍රිපිටකය හා සංගත වන්නේද?

    උදාහරණයක් ලෙස, මහබිනික්මන් කරන සිදුහත් කුමරු මාරයාට "දසදහසක් සක්වළ ගුගුරුවා ලොවුතුරා බුදුව ධම්සක් පවත්පමි. මට තාගේ සක්රුවනින් කම් නැත. තෝ මෙ තැන නො රඳා පලා යා" යි කී බව සත්‍යයක් නම් සිදුහත් කුමරු රජ ගෙයි සිටින විටත් අනාගතය දැනගෙන සිටි බව පෙනේ. එවිට සතර පෙරනිමිති දැකීම, නාටිකාවන්ගේ විප්‍රකාර දැකීම, සසර කළකිරිම ආදී සියල්ල අර්ථ ශූන්‍ය වනු පමණක් නොව බුද්ධ චරිතයට හා බුද්ධ ධර්මයට ඉමහත් හානියක් ගෙන දෙමින් මේ සියල්ල කවරෙකුගේ හෝ සුවිශේෂ සැලැස්මක් බවත් අභිනිෂ්ක්‍රමණය යනු ඒ සැලැස්මේ අංශුමාත්‍ර කොටසක් පමණක් බවටත් නිතැතින්ම පත් වේ. මේ සිද්ධිය සංසන්දනය කළ යුත්තේ මෝසෙස් විසින් තෝරා ගත් ජනතාව පොරොන්දු දේශයට රැගෙන යාමටයි. එසේම සර්පයා පැමිණ කාන්තාවට ගෙඩිය කන්නැයි ඇරයුම් කිරීම හා මෙතන මාරයා "අලි දෙන්නං කොටි දෙන්නං" කියා නොයන ලෙස පැවසීම අතර සමාන කමක් පෙනේ.

    රාගම තේවත්තේ ගල් පල්ලියේ ගල් පාදිලියන් විසින් පූජාවලිය ත් බෞතිස්ම කර ගන්නා දිනය වැඩි ඈතක නොවන බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. මේ පැනය ත්‍රිපිටකධාරියෙකු විසින් විසැඳිය යුත්තකි. එහෙත් පහත සූත්‍රය කියවන්න. මහාභිනිෂ්ක්‍රමණය බුද්ධ භාෂිතයෙන්ම විස්තර කෙරෙන්නේ ඉතා කෙටියෙනි.
      * අරිය පරියෙසන සූත්‍රය

      පූජාවලියේ මාරයාට කරන අභියෝගය පූජාවලී කර්තෘ හිමියන්ගේ සංකල්පනාවක් වීමේ ඉඩ ඉතා අධිකය. මෙහිදී අවබෝධ කර ගත යුතු වන්නේ උන් වහන්සේගේ අරමුණ තෙරුවණ කෙරේ ශ්‍රද්ධා ඉපැදවීම වන බවයි.

      තමන් වහන්සේගේ කාලයට සහශ්‍රයකට පමණ පසු ලංකාවේ රෝපණය කෙරෙන වල් පැලෑටි වලට ඒ ප්‍රබන්ධ පොහොරක් වන්නේනම් ඊට සුදුසු පිළියම් යෙදීම අධ්‍යතන යුගයේ ශාසනභාරධාරීන්ගේ කර්තව්‍යයකි.

      Delete
    2. ඔබේ පිළිතුර සෑහීමට පත් විය හැකි එකක්. ඒත් මා බලාපොරොත්තු වූ පිළිතුර නම් අසිත හා කොන්ඩඤ්ඤ බමුණන් විසින් බුදු වීම ගැන අනාවැකි කී බව සිදුහත් කුමරු දන්නා නිසා මෙසේ මාරයාට කීම සත්‍යයක් විය හැකි බවයි.
      අරිය පරියෙසන සූත්‍රයට ලින්ක් එක දුන්නාට පින්.

      Delete
    3. එය නොවිය හැකියි නොකියමි.
      එහෙත් සත්‍යය එය වීමේ ඉඩ අඩුය. හේතුව සුද්ධෝදන මහරජුගේ සූක්‍ෂම ආරක්‍ෂා සංවිධානයයි. මෙවැනි ආරංචියක් සිදුහත් කුමරුගේ කනේ වැටීමට ඔහු ඉඩ දේ යැයි සිතිය හැකිද? සිදුහත් කුමරු අනාවැකි අසා ඒවා විශ්වාස කරමින් සිටියේනම් සතරපෙරනිමිති ආදියේ වටිනාකමක් නැති වී යයි.

      Delete
    4. සිතුවිළිJuly 25, 2014 at 7:28 AM

      කණිෂ්ක,
      ඔබ අරියපරියේශණ සූත්‍රය පිළිබඳ දී ඇති ලින්ක් එකෙහි දැක්වෙන්නේ දෙදහස් පන්සියය බුද්ධ ජයන්තිය වෙනුවෙන් අති ගෞරවනීය ප්‍රඥ්ඥාසම්පන්න භික්ෂු මඬුල්ලක් විසින් පරිවර්ථනය කරන්නට යෙදී ඇති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවෙහි සිංහල පරිවර්ථිත පිටු කිහිපයකි.
      පිටු අංක බලන්න එහි ඇත්තෙ ඔත්තේ අංක පමණි. ඉරට්ටේ අංක සහිත පිටුවල එන්නේ සිංහල අකුරින් මුද්‍රිත පාලි පාඨයන්ය.
      මෙම සූත්‍ර කියවන්නෙකුට මෙම පාලි හා සිංහල යන දෙක එක්ව කියැවීම ඉතා වැදගත් වේ.
      මෙවන් වූ ත්‍රිපිටක පරිවර්ථනයක් මේ ලක් බිමෙහි සිදුව ඇති බව පවා අප බොහෝ දෙනා නොදනිති. දන්නෝ එය හෙලි නොකරති හෙතු කිමදැයි නොදනිමි.
      මේ සමස්ථ ත්‍රිපිටක පරිවර්ථනයම පොත් කාණ්ඩ ගනනාවක් ලෙසින් ඡායාගත (ඵ්ඪ්F) ගොනු ලෙසින් මාහට මිතුරෙකු Cඪ් දෙකක් තුල ලබා දෙන ලදී. එය ලබා ගැනීමට ඔබලාගේ කැමැත්තක් වේනම් ක්‍රමයක් කියන්න.
      මා එය ලැබුනු සැනින් මාගේ පරිඝනකයට පිටපත් කර ගන්නා ලද අතර. එය හැකි ඉක්මනින් උනන්දුවක් දක්වන්නෙකුට ලබා දීමට කැමැත්තෙමි.
      මා අතින් එය අස්ථාන ගත වුවහොත් නැවත ලබා ගැනීමට මගක් අවශ්‍යයි.

      අප අන්තර්ජාලයෙහි දකින බොහෝ පරිවර්ථන කල උන් කවුරුන්දැයි නොදනිමු. එහෙත් මේ ග්‍රන්ථ වල රරිවර්ථක මණ්ඩලය ගැන පූර්ණ විස්තරයක්ද අඩංගුවේ.
      එය සම්පූර්ණ ත්‍රිපිටකයමදැයි මා නොදන්න මුත් එය විනය සූත්‍ර අබිධර්ම කොටස් තුනම ඇතුලත් අතිවිශාල දත්ත ගබඩාවකි.

      Delete
    5. සිතුවිළිJuly 25, 2014 at 7:30 AM

      ගොනුව PDF ලෙසිනුත් මිතුරා ලබා දුන්නේ CD ලෙසිනුත් නිවැරදි විය යුතුය/

      Delete
    6. සිතුවිළි,

      මා සතුවත් "ථේරවාද ත්‍රිපිටකය" නම් DVD යුගලයක් තිබේ (CD නොවේ). එය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව බව එහි කවරයේ ලියා තිබේ. ඔබ සතුව ඇත්තේ එයම බව මගේ අනුමානය වේ.

      "මා අතින් එය අස්ථාන ගත වුවහොත් නැවත ලබා ගැනීමට මගක් අවශ්‍යයි" කියා කියන බැවින් එයට ක්‍රමය කියමි. සුදුසුම දේ එය අන්තර්ජාලයට පැටවීමයි. මේ සඳහා ක්‍රම කිහිපයක් ඇතත් ඔබට පහසුම ක්‍රමය Google Drive බව යෝජනා කරමි.

      ඔබේ "සිතුවිළි" gmail ලිපිනයෙන් එයට ඇතුල් වන්න. අනතුරුව Google Drive වෙත එන්න. එහෙත් ඔබ සතු වන්නේ අසීමිත අන්තර්ජාල සම්බන්දතාවයක් නොවේනම් සියල්ල එක වර ඊට පටවන්න එපා.

      මේ ගැන ලිපියක් ඉදිරි මාස දෙක-තුන ඇතුලත ඉදිරිපත් කරන්නම්. එය ඔබට හා මේ ගැටළුව විඳින සැමට සහනයක් වේවි.

      Delete
    7. සිතුවිළිJuly 26, 2014 at 8:48 AM

      හරි හරි! මගේ ගාවත් තියෙන්නේ DVD යුගලයක් තමයි ඉතින් ඕකට CD කිව්වත් DVD කිව්වත් මොකද දෙකම එකයිනේ!
      (ඒ අපි වැනි අය දන්න තරම )
      ඔබගේ ලිපිය වලාපොරොත්තු වෙමි.

      Delete
    8. CD: තාක්‍ෂණය පැරණිය. ධාරිතාව 700 MB පමණි.
      DVD: අළුත්ය. බොහෝ පරිගණක සතු වන්නේ මේ තැටි හා ක්‍රියා කරන ධාවක වේ. ධාරිතාව 4.7 GB සිට එමෙන් දෙගුණය දක්වා වේ.
      BluRay: තවම පරිගණක සඳහා ප්‍රචලිත නැත. HD චිත්‍රපට බොහෝ විට මේ ආකාර තැටි වල එයි. 3D චිත්‍රපට විශේෂයෙන් මේ තැටි වල එයි. 25GB - 50GB ට ආසන්න ධාරිතාවක් ඇත.

      මෙතැන කොටා විකිය බැලීමෙන් නොකී තොරතුරු දැන ගත හැක.

      CD කීවත් DVD කීවත් එක නොවේ. අන්තර්ගතය අතින් DVD එකක් හා සම වීමට CD පහක් ඇවැසි වේ.

      Delete
    9. සිතුවිළිJuly 27, 2014 at 7:00 AM

      ඔන්න ඕකනේ කියන්නේ විහිළුවට කියන ඒවාත් සීරියස් ගන්නවා කියලා!

      Delete
    10. සිතුවිළි,
      හික්...
      ඇද්ද අහ ගත්තා.
      ---------

      කණිෂ්ක,
      1 --------- "CD කීවත් DVD කීවත් එක නොවේ. අන්තර්ගතය අතින් DVD එකක් හා සම වීමට CD පහක් ඇවැසි වේ."
      2 --------- CD: තාක්‍ෂණය පැරණිය. ධාරිතාව 700 MB පමණි.
      3 --------- DVD: අළුත්ය. බොහෝ පරිගණක සතු වන්නේ මේ තැටි හා ක්‍රියා කරන ධාවක වේ. ධාරිතාව 4.7 GB සිට එමෙන් දෙගුණය දක්වා වේ.


      නමුත් 700 x 5 = 3500. එනම් 700 MB ඒවා පහක් 3.5 GB පමණ වේ.

      ඔබේ ගණනය වැරදිය.

      Delete
    11. සිතුවිළිJuly 28, 2014 at 8:56 PM

      :) :)

      Delete
    12. නැවතත්....
      අපොයි !!!

      Delete
  3. තව එකක්...
    පූජාවලිය කොපි-පේස්ට් ද? නැත්නම් වෙන කාට හරි දීල ටයිප් කර ගත්තද?
    වැරදි ගොඩයි.

    ReplyDelete
  4. සිතුවිළිJuly 26, 2014 at 8:42 AM

    කණිශ්ක,
    ඔබ ඉහත දක්වා ඇති අරිය පරියේෂන සූත්‍රයට අනුව මහභිනික්මන පිළිබඳ පවතින බොහෝ ආටෝප සාටෝප සහිත කථා බැහැර කළ යුතුයි නේද?
    ජනප්‍රිය කථාවෙහි කෙසේ කීවත් සූත්‍රයෙහි කියැවෙන්නේ මා පියන් හඬා වැලපෙද්දී කසාවත් හැඳ මාළිගයින් නික්ම ආ බවක් නේද?
    එසේනම් මහභිනික්මන සිදුව තිබිය යුත්තේ මාපියන් හා දයාබර පතිනියගේද දැනුම ඇතිව හා අනුමැතිය ඇතිව හෝ නැතිවය.
    කුමාර වේශයෙන්ම පලා ගොස් සක් දෙවිඳුන් ලබා දුන් චීවර හැඳි බවද නිශ්ප්‍රභා කරමින් ඉන් කියැවෙන්නේ මාලිගයෙහිදීම භික්ෂු වෙස් ගෙන නික්ම ගිය බවක් නේද?
    මෙහි පූජාවලිය ඇතුළු එහ්ඩා මෙදා තුර මහභිනික්මන විස්තර කළ සියළු කතුවරුන් දක්වන දෙවියන්ගේ මැදිහත්වීම සේම මාරයාගේ චණ්ඩි පාට්ද නිස්ප්‍රභා වන බවක් ඔබ දකිනවාද?

    මේ ගැන ඔබගේ අදහස දැන ගැනීමට කැමැතියි.
    ජෝසප් ඔබ අරිය පරියේෂණ සූත්‍රය කියැවූ විට ඒ ගැන ඔබේ අදහසුත් දක්වන්න

    ReplyDelete
    Replies
    1. අරිය පරියේෂණ සූත්‍රයේ සන්ධර්භය මේ ප්‍රශ්නය විසඳීමේදී ඉතා වැදගත් ය. සන්ධර්භයට අනුව වැදගත් වන දේ බුදුරජානන් වහන්සේ විසින් දේශනා කර ඇත. එයට අනුව උන් වහන්සේ දෙමාපියන් නොකැමැති කොට අබිනික්මන් කර ඇත. ඉන් කියැවෙන්නේ එපමණකි. ගියේ දවාලේද රාත්‍රියේද, චන්න සමගද තනිවමද, මාරයාට තර්ජනය කළාද, සක් දෙවිඳුට සිළුමිණ දුන්නාද, සළුව අටපිරිකර පිළිගැන්වූ බඹුට දුන්නාද යන කිසිවක් මෙයින් කියවෙන්නේ නැත. එසේම නොකියවෙන්නේද නැත.

      අපට මෙය මෙසේ වීය, මෙසේ නොවීය කියා අද තහවුරු කර ගැනීමට ක්‍රමයක් නැත. පූජාවලී කතු හිමියන්ට ද එසේමය. සියල්ලට වඩා එයින් දහමට සිදු වන බලපෑමක් ද නැත. ඒ නිසා සම්ප්‍රදායේ එන කතාව සන්ධර්භය තුල පිළිගනිම්හ. පිළිගන්නා ගමන් සාහිත්‍ය තුල අතිශයෝක්තිය හමු වීම ස්වභාවික බවත් මතක තබා ගමු.

      මේ සම්බන්ද කතාවක් පවසමි.... -->

      Delete
    2. එක්තරා ප්‍රවීන චිත්‍ර ශිල්පියෙක් විහාරයේ බිතු සිතුවම් අඳි. කුඩා සාමණේර නම විහිදා ගත් කුතුහලයෙන් එය බලා සිටී. ශිල්පියා නිපුන අයුරින්, යක්‍ෂයින්, නාගයින්, ගරුඬ, කුම්බාණ්ඩයින්, අසුරයින් පමණක් නොව නාරිලතා, බදලතා, කිඳුරු, මකර, නරසිංහ, ගජසිංහ, රූ සිත්තම් කරයි. අනේපිඬු සිටු, විශාකා සිටු දේවිය, අජාසත් රජු, සච්චක, දේවදත්ත තෙර, සුනීත, සෝපාක, අංගුලිමාල, පටාචාරා ඈ මිනිස් රූ ද ඒ තෙලිතුඩෙන් මැවෙන්නේ එපමණම නිපුණත්වයකිනි.

      සාමණේර නමට ඇති වූ ගැටළුව සැමට පැහැදිළි ඇතැයි සිතමු. එහෙත් ශිල්පියා වඩා පහසුවෙන් අඳින්නේ පළමු කට්ටලයේ රූ බව දැන ගැනීම සාමණේර නම පුදුමයට පත් කිරීමට සමත් වුවත් දෙතිස් කතා කියවන අප මිතුරන් ඉන් පුදුමයට පත් නොවන බව දනිමු.

      සිතුවිළිගේ ප්‍රශ්නයට පිළිතුර එහි ඇත.

      Delete
    3. සිතුවිළි,

      ඒ සූත්‍රයේ බුදුරදුන් භික්ෂූන්ට දෙසා වදාරන්නේ ආර්යපරියේෂණය සහ අනාර්යපරියේෂණය යැයි දෙකක් ඇති බවත්, භික්ෂුන් විසින් ආර්යපරියේෂණය කළ යුතු බවත්ය. ඒ ආර්ය පරියේෂණය තමන් වහන්සේ විසින් කරන ලද බව දෙසන බුදුරදුන් එය කල ආකාරය විස්තර කරයි. ඒ විස්තරය අබිමුව පූජාවලියේ විස්තර කෙරෙන සිද්ධි නොවැදගත්ය. ඒවා ඇසීමෙන් නිවන් දකින කෙනෙක් නැත. හැරත් බණ සෙනග භික්ෂූන් මිස උපාසකයින් නොවන විට අභිනිෂ්ක්‍රමණය විස්තර කිරීමේ ප්‍රයෝජනයක් ද නොපෙනේ. ඒ නිසා බුදුරදුන් තමන් ගිහි ගේ හැර පැමිණීම කෙරේ මාතෘ-භාර්යාදීන්ගේ සතුටක් නොතිබූ බව පමණක් කියා වඩා වැදගත් දේ කීමට කාලය ඉතිරි කර ගනී.
      මෙය නිවැරදිය, අගය කළ යුතුය. එයයි බුද්ධ කෘත්‍යය. නොවැදගත් වන්නා වූ එක වචනයක් හෝ බුදු වරු දෙසන්නේ නැත.

      අපේ කණිෂ්ක තුමා 'සන්ධර්භය' යැයි එක වචනයෙන් විස්තර කරන්නේ මෙය යැයි සිතමි. මෙය නොවේනම් එය විස්තර කරන්න.

      අබිනික්මන ගැන ඔහුගේ මතයට එකඟ වෙමි. මාරයා ඇතුළු දෙවි වරුන්ගේ මැදිහත්වීම එසේ නොවුනැයි ප්‍රකාශ කිරීමට අපට ප්‍රමාණවත් සාධක නැත.

      Delete
    4. සිතුවිළිJuly 28, 2014 at 9:01 PM

      මෙතැනදී ඔබ දෙපල මතුකරන මතවාදය පිළිගත හැක.

      කෙසේ වෙතත් ගිහි ගෙයින් නික්ම කසාවත් හැඳ පැවිදි බවට පැමිණියෙමි නොකියා.
      හිස රවුළු බා කසාවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිදි බවට පැමිණියෙමි කීමෙහි වෙනසක් ඇතිද?

      Delete
    5. සිතුවිළි,

      "හිතේ නැගුණු කලකිරීම කුමරිය
      ඔබ පමණයි දැන සිටියේ පෙර සිට..."
      යැයි විශාරද සනත් නන්දසිරි ශුරින් විසින් ගැයෙන ගීය ඔබ අසා ඇතැයි සිතමි. ගීය නොව ඒ පද වැල සිතට නගා ගන්න.

      යශෝදරාව වෙත අප මහා බෝසතුන්ගේ විවාහ යෝජනාව කළ අවස්ථාවේ සුප්පබුද්ධ රජු එයට විරුද්ධ වන්නේ සිද්ධාර්ථයන් ගිහි ගෙය හැරයන බැවින් තම දියණිය වැන්දඹු වේය කියාය. එහෙත් ඒ මංගල්ලය සිද්ධ වන්නේ "කනවැන්දුම් උනත් මා සිද්ධර්තයා සමග මිස වෙන එකෙක් හා දීගයක නොයමි"යි යශෝදරාව දැඩි මතයක සිටි බැවිනි.

      මෙය සංසාර පුරුද්ද හෙවත් "පතාගෙන ආ ආකාරය" බව අපේ පැරැන්නන්ගේ අදහස විය. සරලව කියතොත් සිද්ධාර්ථ කුමරු ගිහි ගෙයින් නික්ම පැවිදි වීම ඒ කුමරු හැර අන් සියලු දෙනා බලාපොරොත්තුව සිටි දෙයකි. ඒ අයට ප්‍රශ්නය වූයේ යන්නේ කවදාද මිස යන්නේද නොයන්නේද නොවේ.

      මෙවැනි තත්වයක් තුලයි අප මේ කරුණ විග්‍රහ කර ගත යුත්තේ. ඒ අනුව මිතුරු ජොසෙෆ් කරන විග්‍රහය නිවැරදියි.

      දැන් ඔබේ ප්‍රශ්නය දෙස බලමු.

      මෙහි "ගිහි ගෙයින් නික්ම" යනුවෙන් කී තැන ගෙදර දොරින් පිට වීම යැයි ගත් කළ ඔබ අසන ප්‍රශ්නය නිවැරදිය. එහෙත් ගෙදර දොරින් හෝ නගර දොරින් හෝ පිට වීම අබිනික්මන් අරුතින් ගිහි ගේ හැර යාම නොවේ. ගිහි ගේ හැර ගියා වන්නේ ගිහි ගෙයට අයත් සියලු පරිෂ්කාර අතහැරීමෙනි.

      හිස රවුළු සහ රාජකීය සළු අයිති වන්නේ ගිහි ගෙයට බැවින් ඒවා තබාගෙන ගිහි ගෙය හැර ගියාය කීමේ අරුතක් නැත. ගිහි ගෙයින් නික්මීම සම්පුර්ණ වන්නේ ඒවාත් අතහැරිමෙනි. එහෙත් තවම පැවිද්ද සම්පූර්ණ නැත. පැවිද්ද ඇති වන්නේ ගිහි ගෙයින් පිට වී පැවිද්ද අධිෂ්ඨාන කර ගැනීමෙනි (ගිහි ගෙයින් නික්මීම හා පැවිදි බවට පැමිණීම අතර අතරක් ඇත).

      මේ අපේ අදහස මිස කිසියම් තැනක කියැවූ/ දුටු අදහසක් නොවන බැවින් වෙන තැනක ප්‍රකාශ කිරීමට පෙර සැළකිලිමත් වන්න. ඔබ ඒ ප්‍රශ්නය ඇසීම නිසාම ඒ පිළිතුර දිය හැකි විය. ඒ ගැන පිං දෙමි.

      Delete
    6. සිතුවිළිJuly 29, 2014 at 9:30 AM

      කණිශ්ක ඔබ සැමවිටෙම මාගේ පැනයන් නොකියවාම පිළිතුරු දෙන්නේ ඇයි.?
      මා ප්‍රෂ්න විමසන විලාශය මෝඩ වැඩිද නැත්හොත් වටහාගත නොහැකිදැයි මට නොවැටහේ.
      කෙසේ වෙතත්,
      සනත් නන්දසිරිගේ ගීතය යනුත් සාහිත්‍ය කෘතියකි. සත්ත්‍යය සොයා යාමට එය පරිශීලනය කල යුතුදැයි යන්න වෙනම විමසා බලන තෙක් එය පසෙකින් තබමු.
      යශෝදරාවගේ විවාහ යෝජනාව හා ඇය ඒ කෙරෙහි දැක්වූ දැඩි බව ආදියද අප අසා ඇත්තෙ බොදු සාහිත්‍යය තුලිනමය.
      මේවා ගැන විමසා බැලිය යුතු නම් ඒ වෙනම කළ යුත්තකි
      අප මිතුරු ජෝසප් ඉහත කරන විග්‍රහය පිළිබඳ ගැටළුවක් නැත එය පිළිගත හැකි තර්කානුකූල විග්‍රහයකි.

      ගිහි ගෙයින් නික්මීම යනු දොරින් පිටවීම යැයි මා කීවේ නැත එය ඔබගේ උපකල්පනයකි. ඔබගේම උපකල්පනයක් මත පිහිටා අනෙකා විවේචනය කරන්නේ ඇයි? එය නොවිය යුත්තකැයි මා සිතමි.

      හිස් රවුළු බා කහ වත් හැඳීම යනු පැවිදි වෙස් ගැනීමකි
      ගිහි ගෙයින් නික්මීම යනු භෞතික හා මානසික් ගිහි බැඳීම් හැරපියා දැමීමය
      පැවිදි බවට පැමිණීම යනු යම් කිසි තැනක් වෙත පැමිණින අයුරින් නොව පැවිදි බවට පත්වීම යනුවෙනි.

      මේ කරුනු තුන මේ ආකාරයෙන් ගෙන මා ඉහත නැගූ පැනය නැවත විමසන්න.


      Delete
    7. ප්‍රශ්නයත් පිළිතුරත් දෙකම තේරුනේ නැත.
      එක්කෝ මෙහි ඇසීමට තරම් ප්‍රශ්නයක් නැත. නැතිනම් අර "නිශ්ශබ්ද" පිළිතුරු වැනි ගැඹුරු ප්‍රශ්නයක් තිබේද?
      කරුණාකර පැහැදිලි කරන්න.

      Delete
    8. සිතුවිළිJuly 29, 2014 at 5:05 PM

      නැහැ අහන්න තරම් ප්‍රශ්නයක් නැතිව ඇති!
      පිළිතුරක් එපා!!!!

      Delete
    9. සිතුවිළි,

      ඔබේ ප්‍රථම පැනයෙන් දෙවැන්න ගම්‍ය වූයේ නැත. අප ඒ ප්‍රශ්නය විග්‍රහ කර ගත්තේ මාළිගය සහිතවමයි.

      [1] හිස් රවුළු බා කහ වත් හැඳීම යනු පැවිදි වෙස් ගැනීමකි
      [2] ගිහි ගෙයින් නික්මීම යනු භෞතික හා මානසික් ගිහි බැඳීම් හැරපියා දැමීමය
      [3] පැවිදි බවට පැමිණීම යනු යම් කිසි තැනක් වෙත පැමිණින අයුරින් නොව පැවිදි බවට පත්වීම යනුවෙනි.

      මේ කරුනු තුන මේ ආකාරයෙන්ම ගෙන අංක අනුව විග්‍රහ කරන්නම්.

      1 --> හරි. එහෙත් පැවිදි වෙස් ගැනීම යනු පැවිදි බව ලැබීම නොවේ. (නළුවන්/ හොර චීවරධාරීන්/ චර පුරුෂයන්)

      2 --> අසම්පුර්නයි. භෞතික බැඳීම් හැරපියා දැමීම යැයි කී විට "බැඳීම" හැර දමා ගිහි ගෙයි පරිෂ්කාර පරිශීලනය කිරීම කළ හැක. මේ කාරණය පැහැදිළි කර ගැනීමට විද්‍යාවේදී රහතන් වහන්සේගේ පුවත් පත් ලිපි සේ පෙනෙන දැන්වීමක් කියවීම ප්‍රමාණවත්ය. උන් වහන්සේට බැඳීමක් නැත, එහෙත් ගිහි ගෙයි පරිෂ්කාර (උදාහරණයක් ලෙස ව්‍යායාම උපකරණ) පරිහරණය කරත්. මේ ගිහි ගෙයින් නික්මීම නොවේ.
      නැවත ප්‍රස්තුතයට එමු. සිද්ධාර්ථ කුමරු මාලිගයේදී ම පැවිදි වෙස් ගත්තත් ස්වකිය නගර සීමාව ඉක්මවා නොයන තාක් ගිහි ගෙයින් නික්මීම සර්ව සම්පුර්න නොවේ.

      3 --> පැවිදි බවට පැමිණීම/පැවිදි බවට පත්වීම යනු පැවිද්ද අධිෂ්ඨාන කිරීමයි. අද කුල කුමරුවෙක් මහණ කරන විට කර්ම වාක්‍ය කියා පැවිද්ද පිරිනමන්නේ මේ නිසයි. අංක 1 යටතේ දුන් විග්‍රහය මෙයට ද අදාළ වේ.

      ඔබ අදහස් කරන දේ අප අදහස් කරන දේම නම් අපේ පෙර පිළිතුර නැවත විග්‍රහ කර හැකියි. කෙටියෙන් කියතොත් සිද්ධාර්ථ කුමරු මව්පියන් හඬ හඬා සිටියදී, යශෝදරාව බලා සිටියදී කෙස්ස කපා සළු පිළි උනා දමා මැටි පාත්‍රයක් ගෙන මහදවාලේ මාළිගයෙන් පිටත් වීම සංගත නැත. පූජාවලි විග්‍රහය ඊට වඩා අපගේ සිත් ගනී. ජෛන මහාවීර තුමන් සම්බන්ධයෙන්ද එවැනිම කතාවක් තිබීම වෙනම කතාවකි.

      ඔබේ පිළිතුරු නොකියවන්නේ නොවේ සිතුවිළි, මේ වනාහි අදහස් තේරුම් ගැනීමේ හා ඉදිරිපත් කිරීමේ දෝෂයයි. එයට සමාව භාජනය කරත්වා !

      Delete
    10. සිතුවිළිJuly 30, 2014 at 7:00 AM

      කණිෂ්ක,
      ඔබගේ මේ නිහතමානී පැහැදිලි පිළිතුර ගෞරවයෙන් පිළිගනිමි.
      2/ යටතේ ඔබ මාගේ අදහසට කරන ඌන පූර්ණය නිවැරදියි. එහෙත් අසවල් උන්නාන්සේ කෙරෙහි රහතන් වහන්සේ වැනි නාමයකින් ඇමතීම කොතෙක් දුරට යුතුදැයි නොදනිමි. ඒ උන්නාන්සේ කෙරෙහි වුවද හුදු භික්ෂුවකට දෙන ගෞරවාර්ථයෙන් පමණක් පිළිපැදීම මාගේ ක්‍රමයයි.

      සමස්තයක් ලෙස ගත්කල ඔබගේ පිළිතුර මෙහි එක් වාක්‍යයක ගොනු කොට දක්වා ඇත. ඒ නම්
      "පූජාවලී විග්‍රහය ඊට වඩා අපගේ සිත් ගනී" යන්නයි. මා එයට විරුද්ධ නැත.
      එහෙත් බුද්ධ චරිතයෙන් ආටෝප පිස දමන තරමට කුණු දුහුවිල්ලෙන් වැසී ගිය රන් මුවා පිළිමයක් පිස ඩමන විට කාන්තිය පතුරුවන්නා සේ සැබෑ බුද්ධ චරිතය කාන්තිය විහිදුවමින් මාගේ ශ්‍රද්ධාව වඩවයි.
      එම නිසාම මා හැකි සැම විට මා තුළින්ම එහි පිටතින් බැඳී ඇති දුහුවිල්ලත් නොයෙකුත් දෙනා පළඳවා ඇති කසී සලුත් බැහැර කොට රන් මුවා පිළිමයෙහි සැබෑ කාන්තිය දැකීමට වෙහෙසෙමි. කැමැත්තෙමි.

      ඔබට බොහෝ පින්!

      Delete
    11. මැදින් පැනීම ගැන කමන්න. එහෙත්, "පූජාවලී විග්‍රහය ඊට වඩා අපගේ සිත් ගනී" යන්න ඔබට හුදෙකලා කර ගත නොහැක. එය ඊට පෙර වාක්‍යය හා වෙන් කළ නොහැකි ලෙස "ඊට වඩා" යන පදයෙන් බැඳී ඇත.

      අඩු තරමින් "කෙස්ස කපා සළු පිළි උනා දමා මැටි පාත්‍රයක් ගෙන මහදවාලේ මාළිගයෙන් පිටත් වීම සංගත නැත. පූජාවලි විග්‍රහය ඊට වඩා අපගේ සිත් ගනී." යන වාක්‍ය ඛණ්ඩය එක්ව සැළකිය යුතු වේ.

      පිටිදූවේ ඩයල් එක රහත් වී සිටීදැයි පරික්ෂා කිරීමට අපට නොහැක. ඒ නිසා තමන් රහතෙකැයි ඔහුම කියන්නේ නම් අන් අය එසේ ඇමතීමේ වරදක් නොදකිමි. ඔහු කරන්නේ බොරුවක් වන විට එසේ ඇමතීමම දරුණු උපහාසයකි.

      Delete
    12. සිතුවිළිJuly 30, 2014 at 7:41 PM

      කමන්නේ මොකටද?
      ඔබ දෙදෙනා විසින්ම පිළිගනු ලබන සංගත නැත කියන කාරනය සංගත නැති බව මාද දකිමි. එහෙත් එය සංගත නැති වන්නේ අපගේ සිතුවිලි වලට මිස සැබෑ ලෙස සිදු වන්නට ඇති කාරනයට නොවේ. එය පිළිගන්නවාද?
      ඒ සංගත නොමැති කාරනය පවා සිදු වන්නට හෝ නොවන්නට ඇත කීවොත් එය නිශ්ප්‍රභ කල හැකිද?
      මා දකිනා හැටියට එහි සංගත බව පවත්නේ අර සිත්ගැනීමට යටත්වමය. එම නිසා එය වෙන්ව ගැනීමෙහි වරදක්ද නැත.

      කෙසේ වෙතත් මා දැන නොසිටි කණිෂ්කයන් විසින්ම මතුකරනට යෙදුනු ජෛන මහා වීරයන් පිළිබඳ මෙවැනිම වූ කථා පුවත පවා සාක්ශි දරනුයේ පූජාවලි විග්‍රහය අදී වූදේ බුද්ධ චරිතය වටා පසු කාලීනව පෙරැවූ කසී සලු විය හැකි බව නේද?

      කණිෂ්ක, වාදය තර්කය ජය ගැනීමට නොව දැනුම හා අවබෝධයට උදව් පිණිස, ඔබට හැකි විටෙක ඒ ජෛන මහා වීරයන්ගේ කථා පුවත අපට පවසන්න එයත් දැන ගැනීම වැදගත් වේවි.

      පිටිදූවේ උන්නන්සේ ගැන එසේ ඇමතීම ඔබ කියන අයුරින් වරදක් නොවේ තමා. එහෙත් දෙකට දෙවාරමට අවිශ්වාසයෙන් එසේ ඇමතීම සුදුසු නැත. මා කුසල් අකුසල් තකන්නෙකු නිසා එසේ කියමි.
      ඔහු කරන්නේ බොරුවක් නම්, එය විනය පිටකයේ පාරාජිකා පාලියෙහි සිව් වැනි පාරාජිකාවට යටත් වේ. උන් වහන්සේ සිටිනා තැන දන්නේ උන් වහන්සේම නිසා මේ ගැන අපට තීන්දු තීරණ දිය නොහැකියැයි මා පිළිගනිමි.
      එමනිසා ඔහුව නිවැරදි කිරීමට නොවෙහෙසී අපගේ කුසල් අකුසල් දහම් ගැන තැකීමෙන් ඔහු වැනියන්ට භික්ෂූත්වයෙන් සැලකීමෙහි හා ඇමතීමෙහි වරදක් සිදු නොවේ.
      රහතන් වහන්සේ වැනි යෙදුමක් උපහාස මුඛයෙන් නොයොදන්න. එය ඔබගේම යහපත පිණිස හේතු වේවි. අප සැවොම කුසල් අකුසල් ඇත කියා පිළිගන්නාවුන් බව මා සිතමි.

      Delete
    13. සිතුවිළි,

      කෙනෙක් තමා සකදාගාමී වී සිටිතියි අනාගාමී වී සිටිතියි කියත්නම් එය එසේ නොවේය කියා කීමට එඩිතර වීම සුදුසු නොවේ. ඔහු පිළිබඳ අපේ විග්‍රහයක් තිබුණත් එය මෙතැනට අදාළ නොවන නිසා ඒ ගැන වැඩිදුර යා යුතු නැත. එහෙත් අපට පැහැදිළි කිරීමට අවශ්‍ය වූ කාරණාවට සුදුසු උපමාව ඔහු කෙරෙන් දැකිය හැකි නිසා එය පමණක් ගතිමු. අවශ්‍ය දෙය කියැවි තිබේ. එය අවශ්‍ය පුද්ගලයා බාදාවකින් තොරව තේරුම් ගෙන ද තිබේ. ඒ නිසා උපමාවේ පාත්‍ර වර්ගයා පිළිබඳ වෙහෙසීම අරුතක් නැත.

      බුද්ධ චරිතයෙන් ආටෝප පිස දැමීම පිළිබඳ ඔබේ අදහස පරිපූර්ණ නැත. ආටෝප පිළිබඳ පිළිගත් පොදු අර්ථ දැක්වීමක් ඇත්තේ නැති බැවිණි. කෙනෙකුට පස් මහා බැළුම් ආටෝපයක් විය හැක. තව කෙනෙකුට දස දහසක් සක්වළ ආඥා චක්‍රය පැතිරවීම ආටෝපයක් විය හැක. සමහරු බුදු පිළිම කෙරේ පවා, මග අයිනේ ඇති කපුටු බෝ රුක කෙරේ පවා ජීවමාන බුදු කෙනෙක් ය යන සංඥා උපදවා ගනිත්. බටහිර උගත්හු ජීවමාන බුදුහිමියන් දුටත් 'මචං' කියා ඇමතීමට පවා සමත්ය. ඒ ආටෝප පිස දැමීමේ උපරිමයද? නැත. මෙහි කෙළවරක් නැත.

      ඔබ බුද්ධ චරිතය ඇසුරු කොට නිපැයූ බයිස්කෝප් එක බැලුවෙහිද?

      Delete
    14. ජොසෙෆ්,
      ඔහු දරුණු උපහාසයකට ලක් කිරීමේ අභිප්‍රායක් අපට තිබුණේ නැත.
      අවශ්‍ය කාර්‍යයට ගැලපෙන උපමාව සෑදීමට සුදුසුම වචනය තෝරා ගත්තා පමණි.

      Delete
    15. සිතුවිළිJuly 31, 2014 at 4:19 AM

      රහතුන් ගැන උපමාව දැන් පසෙක තබමු.
      ආටෝප පිස දැමීම යන කරුන ගැන මා කරනා වූ ප්‍රකාශයෙහි "මා තුලින්ම" කියා වදනක් මා යොදා ඇති බව ඔබ දුටුවාද?
      යමෙකු එවැන්නක් කරනවානම් කල යුත්තේ තමා තුළ පිහිටුවාගත් ශ්‍රද්ධාව තුල පිහිටමිනි.
      එසේ නොවුනු පුද්ගලයා තුල ශ්‍රද්ධාවක් කිසිදින ගොඩ නොනැගෙන අතර ඔහුට බුදුන් දැකීමටද නොලැබෙනු ඇත.
      රන් මුවා පිළිමයෙහි බැබලීම දකින්නේ පිළිමය රන් මුවා බව දතොත් පමණි.
      අර මචං කියනා වරගයේ උන් පිළිමය පැරණි පිළිමයක් ලෙස මිස රන් මුවා පිළිමයක් ලෙසනොදකින්නවුන්ය. දුටුවත් එහි රන් වල මුදල් වටිමාකම ගැන මිස කාන්තිය ආශ්වාදනය නොකරන්නවුන්ය.
      කඡ්චපුටයාට දුන් පිඟාන ඌ සූරා නොබැලුවානම් මහ බෝසතුනට අසංඛ්‍ය කල්ප ගනනාවක් වෛර කරමින් පසුපස නො එනු ඇත.

      Delete
    16. සිතුවිළිJuly 31, 2014 at 5:46 AM

      සිදුහත් චරිතය උපයෝගී කොට නිපැයූ සිංහල චිත්‍රපටිය නොබැලුවෙමි. ඒ නළුවෙකුගේ රූපයක් යොදාගෙන බුදු හිමියන් තබා සිදුහත් චරිතයවත් මනසේ ගොඩනගා ගැනීමට අනවශ්‍ය බැවිනි.
      දෙරණ නාලිකාවෙහි ප්‍රචාරය වන සිදුහත් කුමරුගේ කථාවයැයි කියනා සම්මත ඉන්දියානු හින්දු ආදර කතාව නම් කොටස් කිහිපයක් බැලුවෙමි. එහි ඔවුන් සිදුහත් චරිතයට කර ඇති අවමානය ගැන කථා කොට ඵලක් නැත.
      අපගේ ගෞරවනීයම කාන්තා චරිතයක් වූ යශෝධරාවට කර ඇති අවමානයද තක්සේරු කල නොහැකි තරමෙහිය. ධනවත් නව යෞවනියක තුල හිඳිනා බුද්ධිමත් තැන්පත් චරිතයක් සංගත නැතැයි ඔවුන් සිතුවා විය හැක. ඔවුන් දකින යශෝධරාව කෙලිලොල් දඟකාර සුන්දර නව යෞවනියකි. ඉන් එහා යමක් ඒ චරිතයෙහි නැත.
      අනෙක් චරිත ගැන කථා කිරීමට ඇති දෙයක්ද නැත. කථාවට අනුව එදා බුදුන් දවසත් එහි තිබී ඇත්තේ අද දවසේ පවතින හින්දු චාරිත්‍ර විධිමය. ඒ චාරිත්‍ර විධී කෙතරම් කලක් අකණ්ඩව පැවැතුනු ඒවාද කෙතරම් ආශ්චර්‍යයක්ද?

      Delete
    17. මමත් ඒ බයිස්කෝප් එක බලා නැත. නොබැලූ එකමයි හොඳ.
      ඉන්දියානු හිංදු ආදර කතාවත් බලා නැත. එහෙත් ඒ ගැන අසා ඇත.
      බලන්න, අප ඒවා නොබලන හෙයින්ම බොහෝ අනවශ්‍ය කතා වලින් ගැළවුනා නොවේද?

      Delete
  5. සිතුවිළි,

    "කමන්නේ මොකටද?"ලෙස අරඹන ඔබේ ප්‍රතිචාරය Spam ලෙස වර්ගීකරණය වී තිබී මොහොතකට පෙර එකතු කළෙමි.

    ඔබේ මුල් පරිච්චේද තුනෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන ප්‍රතිචාරය දීමට හැකියාවක් නැත. නොදෙන පිළිතුර කියවා ගැනීමට ඔබ සමත් බවත් ඔබ කියවා ගන්නා පිළිතුර සත්‍ය බවත් සපථ කරමි.

    මතක ඇති සැටියෙන් ජෛන මහා වීරයෝ ලිච්ජවී රජෙකි. ඔහුගේ දේවියට පුත් කුමරා ලැබුණු දින අබිනික්මන් කොට අට වසක් දුෂ්කර ක්‍රියා කොට කෛවල්‍යයත්වය ලැබීය. මේ කතාව සුදුසු දිනෙක ඉදිරිපත් කරමි.

    විද්‍යාවේදී රහතන් වහන්සේ යැයි කීම ජොසෙෆ් කෙසේ කීවත් අපහාසයක් නොවේ. තමන් රහත් යැයි පවසන්නේ උන් වහන්සේය. එසේම විද්‍යාවේදී උපාධිය උජාරුවෙන් සඳහන් කළේද උන් වහන්සේය. උපාධි නමින් හැඳින්වීම සිංහල ක්‍රමයට අනුව ගෞරවයකි. "පණ්ඩිත හාමුදුරුවෝ", දේවානම්පිය තිස්ස රජ්ජුරුවෝ, මන්ත්‍රී තුමා / ඇමති තුමා ආදිය උදාහරණ වේ. හැරත් රහතන් වහන්සේය නොකීවේ නම් උපමාවේ අරුත සිඳේ.

    අනිත් අතින් ගත් කළ නම සඳහන් කිරීම සිංහල ක්‍රමයට අනුව අගෞරවයකි. උසාවියේදී හඬ නගා නම කීමෙන් කරන්නේ අපහාසයක් බව තේරුම් ගත් කෙනෙකුට සිටින්නේ මා පමණද. අපේ පැරැණ්නන් දරුවන්ට ඇමතීමට පැන්චා, හුරතලා, සුදූ, නෝනා, මැණික, හාමිනේ, රාළහාමි, මහත්තයා, පොඩී, ලොකූ, හින්නි, හිච්චි ඈ සුරතල් නම් දමාගෙන සිටියේ ද මේ අරුතින්මැයි. මේ පිළිබඳ අගනා විස්තරයක් මිළින්ද ප්‍රශ්නයේ අඩංගුය.

    ReplyDelete
  6. සතර පෙර නිමිත්ත යනු ලෙඩෙක්, මහල්ලෙක්, මිනියක් හා පැවිද්දෙකි. මේ සියල්ල සුද්ධෝධන රජු විසින් පුරයට ඇතුල් වීමට නොදී වැලැක්වූ බව සඳහන්ය. කතාවට අනුව බෝසතුන් දුටු සතර පෙර නිමිත්ත දේව නිර්මිතයකි.

    බේගලය හෙවත් බයිබලයයේ උත්පත්ති කතාවට අනුව ගෙඩිය කෑම නිසා දෙවියන් වහන්සේ විසින් මිනිසාට දෙන්නේ ද ඔය දේ ම වේ. කෙසේ වෙතත් බොහෝ දෙනෙකුට සතර පෙර නිමිති ප්‍රශ්නයකි.

    * සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරූ බෝසතුන්ට සසර කලකිරීම පිණිස සතර පෙර නිමිති දැකීම අත්‍යාවශ්‍යද?
    * සතර පෙර නිමිති නොදැක බෝසතාණ කෙනෙක් අබිනික්මන් කරන්නේ නැද්ද?
    * අනික් අතින්, සතර පෙර නිමිති දකින අන් අය අබිනික්මන් නොකරන්නේ ඇයි?
    * දෙවියන් විසින් පෙන්වූ හේතුවෙන්ද බෝසතුන් දුටු අර සතර පමණක් පෙර නිමිති වී වී අප දකින දේ පෙර නිමිති නොවන්නේ?

    මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. එය බොහෝ දෙනාට යහපතකි.

    ReplyDelete
    Replies
    1. ඔව්, මේවා බොහෝ දෙනෙක් කවට කමටත් අසන ප්‍රශ්න. සරලවම පිළිතුරු දුන්නොත්;
      1] සසර කළකිරිම පිණිස හේතුවක් අවශ්‍යයි.
      2] බෝසතාණන් වහන්සේ අබිනික්මන් කළ නිසාය සතර පෙරනිමිති පිලිබඳව අද කතාවට ලක් වන්නේ.
      3] අන් අය සතර පෙරනිමිති නොදකින නිසා. (සතර පෙරනිමිති දැකීම යනු අර හතර දැකීම නොවේ)
      4] දෙවියන් විසින් පෙන්වූ නිසාම නොවෙතත් එයත් එක හේතුවකි. ඔබේ 4 වෙනි ප්‍රශ්නය තුලම 3 ට පිළිතුර ඇත.

      මේවා වෙනම ලිපියක් ලිවීමට තරම් කරුණු සහිත ප්‍රශ්න වුවත්, කාල වෙලාව අනුව පිළිතුරු දිනිමි. තව ප්‍රශ්න ඇතොත් විමසන්න.

      Delete
    2. "මේවා වෙනම ලිපියක් ලිවීමට තරම් කරුණු සහිත ප්‍රශ්න වුවත්..."
      වෙනම ලිපියක් (නැතත් තව විස්තර සහිතව) පැහැදිලි කරන්න.

      Delete
    3. සිතුවිළිAugust 9, 2014 at 2:49 PM

      කණිෂ්ක,
      ඔබගේ 3 වැනි පිළිතුර ඉතාමත් අරුත්බරයි.
      මා එයට බොහෝ ප්‍රිය කරමි.

      Delete
    4. සිතුවිළිAugust 10, 2014 at 1:13 PM

      http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/2Majjhima-Nikaya/Majjhima3/130-devaduta-s.html
      කණිෂ්ක,
      ඔබගේ තුන්වැනි පිළිතුර මේ දේව දූත සූත්‍රය හා ගැලපෙන්නේ නොවේද? දේව දූත සූත්‍රයෙහි පාඩම ඔබ එක් විටම කියා ඇති බවක් දුටුවෙමි.

      Delete
    5. දේවදූත සූත්‍රය ඇදහිය නොහැකි විස්තරයකි. එය විවේචනයෙන් ගැලවී සිටින්නේ බුදුරජාණන් වහන්සේම දෙසූ බව සඳහන් වන නිසාය.

      Delete
    6. සිතුවිළිAugust 11, 2014 at 10:18 PM

      මිතුරනි,
      සක් දෙවිඳුන් සඳ මඬල මත සාවා ගේ රුව සිත්තම් කලායැයි කියැවෙන "සස ජාතකය"ද ත්‍රිපිටක ධර්මයෙහි ඇතුලත්වන බුද්ධ භාශිතයක් ලෙස සැලකෙන්නකි.
      එය අප පිළිගන්නේ කෙසේද ඒ අනුවම දේව දූත සූත්‍රයද පිළිගැනීමෙහි හැකියාව අප සතු විය යුතුයැයි මා සිතමි.
      ජාතක කථාවක හෝ සූත්‍ර ධර්මයක සෙවිය යුත්තේ වදනින් කියනා වූ කරුනු නොව එම දේශනාවට පසුබිම් වුනු තත්වය හා දේශනාව මගින් බුදු හිමියන් දීමට තැත් කළ පණිවුඩයයි. එම පණිවුඩය අපට නිවැරදිව දැකිය හැකිනම් අපද මහ රහතුන් ම තමයි.
      කෙසේ වෙතත් මා ඔබ දෙදෙනාගේ සාකච්ඡාව අදාල නැති දෙයක් මැදට දැමීමෙන් බාධා කල බවක් දකිමි.
      ඔබලාගේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න. එය කියවන්නට රුචි සාකච්ඡාවක් වේවි.

      Delete
    7. ක...,
      "දසබෝධිසත්තුප්පත්තිකථාව" නම් කතා ලිවීමට කාලය වැය වීම හේතුවෙන් පිළිතුර පමා වන්නට ඇතැයි සිතමි. හැකි විටක පිළිතුරු දෙන්න.
      ---
      සිතුවිළි,
      "දේවදූත සූත්‍රය ඇදහිය නොහැකි විස්තරයකි" යනු එය අවිශ්වාස කරන බව නොවේ. එක වර විශ්වාස කළ නොහැකි තරම් අද්භූත කතාවක් බවයි මෙහි අදහස. මා පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ මේ සූත්‍රය විවේචනයන් ඇද ගැනීමට කාන්දමක් විය හැකි බවයි.

      Delete
    8. දේව දූත සූත්‍රය සත්‍ය වශයෙන්ම ඉතාම අපූරු සූත්‍රයක්. එය අපට අසන්නට ලැබුණේ කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයකින්, ඒ වසර බොහෝ ගණනකට පෙර.

      කෙසේ වෙතත් එහි දැක්වෙන්නේ පව් කර නිරයට යනු ලබන නිරිසතාගෙන් නිරයපාලකයින් විසින් විමසන්නේයයි කියවෙන ප්‍රශ්න කිහිපයක්. ඒ ප්‍රශ්න වල හරය නම් "දේවදූතයන් දුටුවේද" යන්නයි. දේවදූත යැයි මෙහි හැඳින්වෙන්නේ ජාති-ජරා-ව්‍යාධි-මරණ යන දුක්ඛ ලබන සත්ත්වයන් හා රාජෝපරාධ කළවුන්ට දෙනු ලබන දඬුවම් ලබන්නා වූ සත්ත්වයන්මය.

      පළමුව කී සතර සසර ස්වභාව වේ. සැප කැමති සත්ත්වයා එයට බිය උපදවා ගත යුතුය. දැඩි වීර්යයෙන් කුසල් පිණිස උත්සාහ කළ යුතුය. අන්තිම වශයෙන් කී රාජ දඬුවම් වනාහි අකුසල් විපාක දැක්වීමයි. එය දුටු සත්ත්වයා අකුසලය කෙරේ බිය විය යුතුය.

      මෙසේ මේ කරුණු සසර සැරිසරන සත්ත්වයා අකුසලයෙන් වළක්වන කුසලයේ යොදවන නිමිති වශයෙන් සැළකීමෙනි ඒවා දේවදූතයින් වශයෙන් දේශනා කරන ලද්දේ.

      නිමිති දැකීම ගැන අප ඉහත සඳහන් කළ දෑ මේ සූත්‍රය හා මොනවට ගැලපේ.
      ---

      එහෙත් අප සිත් ගත් කරුණ එය නොවේ. මේ සූත්‍රාවසානයේ නිරයපාලකයා සිතන්නේ මේ ආකාරයෙන් යැයි දක්වා තිබේ.
      "ලෝකයේ යම් කෙනෙක් පව්කම් කෙරෙත්ද, ඔවුහු මෙබඳු නානාප්‍රකාර කම්කටොලු ලබත්. මම මනුෂ්‍යාත්මයක් ලබන්නේ නම් අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ සර්වඥතෙම ලෝකයේ උපදින්නේ නම් මම ඒ භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය කරන්නෙම් නම් ඒ භාග්‍යවතුන් වහන්සේ මට ධර්ම දේශනා කරන්නේ නම් මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැනගන්නෙමි නම් යහපති"

      මේ තරම් දේවදූතයන් දැක දැකත් මේ යක්‍ෂයා පතන්නේ බුදුරජාණන් වහන්සේ දුටුවොත් උන් වහන්සේගෙන් ධර්මය දැන ගැනීමටයි. දන්නා දෙය භාවිතා කර මේ ඝෝර සංසාරයෙන් එතෙර වීමට නොවේ.

      ඒ යකාගේත් අපේත් ඒ හැටි වෙනසක් නැත. බලාගෙන යන විට අපිත් හොඳ හොඳ යක්කු තමා !

      Delete
  7. සිතුවිළිAugust 12, 2014 at 4:09 PM

    ඔව් ජෝසප්, ඇත්තෙන්ම ඔබ හරි.
    මා එය හා සමකර දැක්වූ සස ජාතකයද බොහෝම පහසුවෙන් බුදු දහමට මඩ ගැසීම පිනිස මෝඩයන් යොදා ගන්නා වූ තැනක් තමයි.
    එහෙත් මා කියන මූලික කරුන ගැන ඔබගේ මතය කුමක්ද?
    කණිෂ්කගේ 3 වැනි පිළිතුර හා දේවදූත සූත්‍රයෙහි අරුත අතර යම් සමාන කමක් ඔබ දකිනවාද?

    ReplyDelete
    Replies
    1. අප මීට පෙර ලිපි කිහිපයක් යොදාගෙන අපේ පැරණි ලෝක විග්‍රහය ඉදිරිපත් කළා ඔබට මතක ඇතැයි සිතමු. සස ජාතකයේ එන සඳ සහ නිල් ආම්ස්ට්‍රෝන් ගොඩ-බැස්සා වූ සඳ එකක් නොව දෙකකි. ඒ දෙක වෙන වෙනම නොගැනීමෙනි මේ ගැටළුව ඇති වන්නේ.

      ඕනෑම දෙයක් සන්ධර්භයෙන් පිටතට ගෙන විග්‍රහ කිරීම සුදුසු නැත.

      Delete
    2. සිතුවිළි,

      කණිෂ්ක පිළිතුරු දී ඇති නිසා ඔබේ ප්‍රශ්නය මගහැරී තිබිණි.
      ඔබ කියන මූලික කරුන "කණිෂ්කගේ 3 වැනි පිළිතුර හා දේවදූත සූත්‍රයෙහි අරුත අතර සමාන කම" ද නැතිනම් වෙන දෙයක්ද?

      දේවදූත සූත්‍රයේ දේවදූතයන් ගැන සඳහන් ය. එයින් උපුටාගෙන පසු කාලීන හිමි වරුන් විසින් සතර පෙරනිමිති සෑදුවාද නැතහොත් තමන් සතර පෙර නිමිති දුටු නිසා බුදුරජාණන් වහන්සේ විසින් දේවදූත සූත්‍රය දෙසුවාද යන්න බොහෝ තර්ක කළ හැකි මාතෘකාවකි. මේ දෙක එතරම් සමානය. කේ ගේ කෙටි පිළිතුර ඒ අතින් විශිෂ්ඨය. හැමෝම දකිනා දෙයක නොදකිනා පැත්ත දැකීම සහ එය නිමිත්තක් ලෙස හඳුනා ගැනීම් මෙහි ඇති වැදගත් කම වේ.

      මට ඇති විවේචනය දේවදූතයන් ගැන නොවේ. මගේ විවේචනය නිරයපාලකයන් සම්බන්ධයෙනි. ඒ ගැන විස්තර නොකරමි.

      Delete
    3. සිතුවිළිAugust 15, 2014 at 9:44 PM

      ජෝසප්,
      මා කියන්නේ මිනිසුන් අර කරුණු හතර දිනපතා දුටුවද නිමිති නොදකිතියි යන කණිෂ්කගේ අදහස (තුන් වැනි පිළිතුර )දේවදූත සූත්‍රයෙහි මා දුටු හරය හා සමාන වන බවක් දුටු බවයි. ඔබද එය හා එකඟ වී ඇති බවක් දුටිමි. (කණිෂ්කයන් විසින්ද එය අනුමත කොට ඇත )
      ඔබ ඒ තුලින් තවත් අගනා අදහසක් මතුකර දී ඇත ඒ නම් දේවදූත සූත්‍රය පරිහරණය කල අය පසුකාලීනව නිමිති පිළිබඳ කථාව ගොඩනැගුවාද, නැතහොත් බුදු හිමියන් විසින්ම තමන් සතර පෙර නිමිති දුටු නිසා දේවදූත සූත්‍රය දෙසුවාද යන්නයි. මෙය සැබැවින්ම දහම විමසන්නෙකුට විමසා බැලීමට අගනා කාරනයකැයි දැන් මටද සිතේ.

      ඔබගේ අවසන් වැකිය ගැන,
      ඇතැම් විට බුදු හිමියන් මේ සම්පූර්ණ දේව දූත සූත්‍රය දෙසීම තුල නිරය පාලකයන් හා නිරි සතුන් යනු හුදු චරිත වී පනිවුඩය ඔබ අප ග්‍රහනය කරගත් දේ පමණක් වූවා විය හැකි නේද?
      මෙය මතයක්, අදහසක්, දැක්මක් නොව හුදු සිතුවිල්ලක්ම පමණි.

      Delete
    4. "...නිරය පාලකයන් හා නිරි සතුන් යනු හුදු චරිත වී..."
      නැත. ඒවා හුදු චරිත නම් සියල්ල ප්‍රබන්ධයක් පමණක් බවට පත් වනු ඇත.

      Delete
    5. සිතුවිළිAugust 19, 2014 at 2:38 PM

      අන්න ඒ නිසා තමා මා කී දෙය මතයක්, අදහසක් හෝ දැක්මක් තරමට ශක්තිමත් නොවන්නේ.

      Delete
  8. සිතුවිළිAugust 15, 2014 at 9:59 PM

    කණිෂ්ක,
    ඔබ මතුකරන අපගේ පැරණි ලෝක විග්‍රහය පිළිබඳ සාකච්චාව හා අපූරුවට බැඳෙන තවත් අගනා සූත්‍ර ධර්මයක් මට හමුවිය. එය නම් දීඝ නිකායෙහි පාථික සූත්‍රයයි. ඉතා දීර්ඝ සූත්‍ර දේශනාවක් වන මෙහි බුදු හිමියන් ලෝකෝත්පත්තිචර්‍යාව පිළිබඳ අග්ගඥ්ඥ සූත්‍රයෙහි අයුරින්මද මදක් වැඩි කරුනු දැක්වීම් වලින් යුතුවද අදහස් දක්වයි.
    මෙහි මා දුටු සුවිශේශීම කාරණය වන්නේ මැවුම්වාදී සංකල්පය ලොව බිහි වන්නේ කෙසේදැයි මෙහි පැහැදිලි කිරීමක් කරනු ලැබීමයි.
    එහෙත් මුළුමනින්ම සම්මුති ලෝකය පදනම්ව දෙසා ඇති මේ සූත්‍රයෙන් කියැවෙන දේද බොහෝ දුරට කථාන්දර හා කථාන්දරම පමණි කියන ඔබ දෙපලගේ මිනුමටනම් හොඳින්ම ගැලපේ.
    http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/1Digha-Nikaya/Digha3/24-pathika-s.html
    ඉඩක් ලද විටෙක කියවා බලන්න.

    ReplyDelete