කොල්ලකරුවෙක්ද, ගනුදෙනුකරුවෙක්ද |
අපි ෆුල් ෆේස් හෙල්මට් තහනම් කර ශ්‍රී ලංකාව මේ ව්‍යසනයෙන් ගලවා ගම්හයි ඉහත නම් සඳහන් අහිංසක මහත්මයා ලවා කියැවූහ. දින කීපයක් ඇවෑමෙන් ඒ තීරණය හකුලා ගැනුණේ ජනමාධ්‍ය තුලින් පැන නැගුනු අතිමහත් ජනතා විරෝධය හේතුවෙන්ද නැතහොත් නීති පැනවීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියට නොව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බව සිහි වීමෙන්ද යන ප්‍රශ්නයට පිළිතුරක් නැත. ඒ විලි ලැජ්ජාව වසා ගැනීමට දෝ අනතුරුව මේ පඬිවරු අත ගැසුවේ හෙඩ් ලයිට් යන නමින් හඳුන්වන ප්‍රධාන ලාම්පුව වෙතටයි. ප්‍රධාන ලාම්පු දැල්වීමේ ඊනියා නීතිය බලාත්මක කළ දා බොහෝ දෙනෙක් මෙය පිළිපැද්දද දැන් දැන් මේ විකාරය කරන කෙනෙක් නැත.
ප්‍රධාන ලාම්පු දැල්වීම ගැන කතා කිරීම මදකට කල් තබා මහදැනමුත්තා සිහි ගන්වන තීන්දුවක් සේ පෙනෙන හෙල්මට් නීතිය ගැන කතා කරමු.
මහදැනමුත්තා මුට්ටිය බේරා ගත් හැටි
පිපාසයෙන් එහේ මෙහේ ඇවිද ගිය එළුවෙක් මුට්ටියක අඩියේ තිබූ දිය ස්වල්පයක් දැක එය බීමට හිස මුට්ටියට දැමූ විට අං දෙක හේතුවෙන් එළු හිස මුට්ටියේ හිර විය. හිස පිටතට ගැනීමට අපෝසත් වූ අසරණ එළුවාබෑ බෑ ...කියමින් ඇවිදියි. එළුවාට බැරි බව එයින් දැන ගත් ගමයා මහදැනමුත්තාට පණිවිඩය යැවුවේ එළුවාත් මුට්ටියත් දෙකම බේරා ගැනීමටයි.
ප්‍රශ්නය විසඳීමට ඇතු පිටින් පැමිණි මහදැනමුත්තා ඇතු වත්ත ඇතුලට ගැනීමට ගම ගෙදර ප්‍රධාන දොරටුව (ගේට්ටුව) කඩා දැමූ සැටිත්, එසේ ඇතුළු වී මුට්ටිය බේරා ගැනීමට එළුවාගේ බෙල්ල කැපීමට අණ කළ මහදැනමුත්තා අනතුරුව එළු හිස එළියට ගැනීමට මුට්ටිය බිඳීමට අණ කළ සැටිත් ඒ කතාවේ එයි. දෙකම බේරා ගැනීමට ජිනීවා ගිය (වැරදුණා! ... මහදැනමුත්තා සොයා ගිය) ගමයාට උනේ දෙකම පමණක් නොව අගේට තිබූ ගේට්ටුවත් යන තුනම නැති වීමයි. දුප්පත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා දෙන ප්‍රකාශ අසන අපට ඉහත කතාව සිහි වන්නේ ඒ දෙකේම සාම්‍යය එතරම්ම පැහැදිළි නිසාය.
යතුරුපැදි කරුවන් හා වං හුං කතා කිරීම
පූර්ණ ශීර්ෂාවරණ පැළඳ ගමන් කරන යතුරුපැදි කරුවන් අහඹු ලෙස මහමග නවතා ආගිය තොරතුරු වං හුං කතා කිරීමේ වැඩපිළිවෙලක් පොලීසිය විසින් අරඹා ඇතැයි යන ප්‍රකාශය ඒ මහතාගේ නවතම ප්‍රකාශයයි. මේ නම් මහදැනමුත්තාගේ බුද්ධි මහිමය ඉක්මවා අන්දරේගේ මට්ටමට ලඟා වූ උපක්‍රමයකි.උදේ හදිසියෙන් රාජකාරියට හෝ වෙනත් ගමනක හෝ යන ගමන් නාඳුනන "පොලිස් කාරයෙක්" හා සාද සාමීචි කතා කරන්නට කැමති කවුද? දවසක් දෙකක් මේ පොලිස් ගැටයට අසු වන තරුණයන් තව කීයක් හෝ දී අලුත් හෙල්මටයක් ගැනීම වඩා ලාභදායක නොවේදැයි තනිවම සිතනු ඇත.
එවිට ෆුල් ෆේස් හෙල්මට් දමාගෙන යාමට ඉතුරු වන්නේ බැංකු කොල්ලකාරයින් පමණක් වන නිසා බැංකු ආරක්‍ෂක අංශ වලට සහ පොලිසියට ෆුල් ෆේස් හෙල්මට් කාරයින්ට දුටු තැන වෙඩි තැබීමේ බලය ලබා දිය හැක. ප්‍රශ්නය නිවාරණයි !
කතන්දර පසෙක තබා නැවත ප්‍රස්තුතයට එමු.!
මේ ගැන දිවයින පාඨකයෙක් ලියූ ලිපියක් පහත බැඳියෙන් ගොස් කියැවිය හැක.!
- අක්මීමන - කේ. මතිලාල්,
ඇතිවන නැතිවන හෙල්මට් නීතිය
, දිවයින [2014 ජනවාරි 07]
දිවයින පාඨකයා එසේ කීවත් දිවයින කතුතුමා ඒ ගැන දරන්නේ වෙනස් අදහසකි.නීතියෙන් නියම කරන නිසා නොවේ, අනතුරුවලින් වැළැකීම සඳහා අපි හෙල්මට් හිසේ දමා ගන්නා බව මෙහිදී අවධාරණයෙන් ම කියා සිටින්නෙමු. ඇතිවන නැතිවන හෙල්මට් නීතිය කෙසේ වෙතත් යතුරු පැදියක යන විට හිස මොළය මුහුණ කට මෙන්ම ජීවිතය ද බේරා ගන්නට කැමැති අය හෙල්මට් පළඳිත්වා.
දිවයින කතු තුමා මේ කියන දේ එතුමා සැබවින්ම අදහස් කරන දේ දැයි පැහැදිළි නැත. එහෙත් එක් දෙයක් නම් ස්ථිරය. බැංකු මංකොල්ල කෑමට ෆුල් ෆේස් හෙල්මට් දැමීම හේතු කොටගෙන ඒවා තහනම් කිරීම මුග්ධ තීන්දුවකි. හෙල්මට් දැමීම අනිවාර්‍ය කෙරෙන නීතියක් ගෙනාවේ ආණ්ඩුවනම් ඒ නීතිය ගෙනාවේ යතුරු පැදි කරුවන්ගේ ආරක්‍ෂාව තකා නම් ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීම මගින් කෙරෙන්නේ ඒ නීතිය පලක් නැති තත්වයට පත් කිරීමයි. කේ. මතිලාල් මහතා නිවැරදිව සඳහන් කරන ආකාරයට මිනිස්සු ෆුල් ෆේස් හෙල්මට් පළඳින්නේ නීතිය විසින් එය අනිවාර්‍ය කරන නිසා නොව තමන්ගේ ආරක්‍ෂාව උදෙසායි. නීතිය අනිවාර්‍ය කරන බැවින් පළඳින්නේනම් වැඩි ගානක් දී ඒ හෙල්මට් ගැනීමට මේ මිනිසුන් සිටු වරු නොවේ.දැන් කළ යුතුව ඇත්තේ හෙල්මට් දැමීම සපුරා තහනම් කිරීම ය. අපේ යෝජනාව සමාන වන්නේ පිහියෙන් ඇන මිනී මැරීමට හැකි නිසා පිහි පාවිච්චිය, පිහි නිෂ්පාදනය, පිහි ළඟ තබා ගැනීම යන කාරණාවලට බව කෙනකු කියනවා ඇති. එහෙත් පිහිය නැති තැන මන්නයෙන් හෝ කැත්තෙන් වැඩක් ගත හැකි ය. එහෙත් හෙල්මට් එක අයින් කළ විට එයට විකල්ප නැත. ඉන්දියාවේ හෙල්මට් දැමිය යුතු බවට නීතියක් නැත. හෙල්මට් දමා ගෙන ගොස් අනතුරට ලක් වී තුවාල නොලැබ බේරුණු කෙනෙක් සිටිත් ද? අපට එය කියන්න. හෙල්මට් එක දමා සිටියත් රිය ගැටුමේදී උඩින් ගොස් බිමට පතිත වන මිනිහාගේ හිස කම්පනය වෙයි. කොන්ද කැඩෙයි. ඉතින් තවත් මොන කතා ද?--- දිවයින කතුවැකිය [2014 අප්‍රේල් 25]
පොලීසිය තමන්ගේ නොහැකියාව වසා ගැනීමට අනතුරේ හෙළන්නේ දුප්පත් යතුරුපැදි කරුවන්ගේ අසරණ ජීවිත නම් මේ ගැන දෙවරක් සිතිය යුතුව තිබේ. අනික් අතින්, හෙල්මට් පැළඳීමෙන් හිසට මිස වෙන ශරිරාවයවයකට ලැබෙන ආරක්‍ෂාවක් නැති නිසා දිවයින කතු තුමා කියන පරිදිම හෙල්මට් පැළඳීමෙන් සිදුව ඇත්තේ තමන් මළා නම් හොඳයි කියා විටෙක සිතෙන අබ්බගාතයන් පිරිසක් ලංකාවේ ජනගහනයට එකතු වීමයි (හෙල්මට් නොපැලඳීනම් මේ අයට අඩි හයක් පොළොව යට සැතපීමට සිදු වීම වෙනම කතාවකි). මිනිස්සු හෙල්මට් මිලදී ගන්නේ මුදලක් වියදම් කිරීමෙනි. ආණ්ඩුව හෙල්මට් නොමිලේ ලබා දෙන්නේ නැතිනම් තමන් මිලදී ගත් ෆුල් ෆේස් හෙල්මට් විසි කර මුහුණ හකු පෙදෙස ආරක්‍ෂා නොකෙරෙන හෙල්මට් මිලදී ගන්නැයි මහජනතාවට අණ කිරීම විහිළුවකි. එයත් අකාර්යක්‍ෂම යැයි ජනතා අප්‍රසාදයට ලක් වී ඇති පොලිස් සේවයේ සහ පිළිගැනීමේ නිලධාරීන් ලෙස කටයුතු කරන ඊනියා බැංකු ආරක්‍ෂක නිලධාරීන්ගේ නොහැකියාවට හිලව්වක් ලෙස කරන්නට සිදු වීම සාහසික විහිළුවකි.
ආණ්ඩුවෙන් දුන් ඉඩම් පුත්තලමේ තිබියදී විල්පත්තුවේ අක්කර දහස් ගණනක් එළි කර බලෙන් අල්ලා ගත් ත්‍රස්තවාදීන්ට මන්නාරමෙන් තවත් ඉඩම් දීමට පිං සිත් පහල වන ආණ්ඩුවකට දුප්පත් බයිසිකල් කාරයින්ට හෙල්මට් සහනාධාරයක් ලබා දීමට බැරි ඇයි? ඒ සහනයම දැනට කඩවල් වල ෆුල් ෆේස් හෙල්මට් තබාගෙන බඩේ ගින්දරෙන් ජීවත් වන මුදලාලිලාටද ලබා දීමට මේ වෙස්සන්තර ආණ්ඩුවට නොහැකියාවක් නැත. එසේ කළහොත් සල්ලි දී ගත් ෆුල් ෆේස් හෙල්මට් ගෙදර ළූනු කැපීමට භාවිතා කර ආණ්ඩුවෙන් නිකං දුන් ඔළුව පමණක් වැහෙන හෙල්මට් දමාගෙන පාරේ ගොස් හප්පාගෙන හොක්ක තලා ගැනීමට අපේ අයියලා සමත් වන බවට කතා දෙකක් නැත.
මේක පිළිගන්න අමාරුයි. මම හිතන්නේ ෆුල් ෆේස් හෙල්මට් තහනමක් දැනටත් ලංකාවේ තියෙනවා. ඒක දැම්මේ ත්‍රස්තවාදී ප්‍රශ්න තිබුණු කාලේ. ගැටලුව තියෙන්නේ පොලීසිය ෆුල් ෆේස් හෙල්මට් දාගෙන යන අය අල්ලන්නේ නැති එක. ඒ වගේම ඒවා මේ රටට ගෙන්වීම සහ විකිණීම වළක්වන්නේ නැති එක. දැන් මේ මාධ්‍ය ප්‍රකාශක කියන්නේ අපිට අල්ලන්න හිතෙනවා කියන එක මිසක් අපිට නීතියක් දාන්න හිතෙනවා කියන එක නෙවෙයි.
ReplyDeleteදැන් ඒ කෝණෙන් බැලුවොත් මොනවද ඔයාලට කියන්න තියෙන්නේ?
ජොසෙෆ්, ඔබේ අදහස නිවැරදි විය හැක. මා ශීර්ෂාවරණයක් මිලදී ගත් කාලයේ (මීට වසර ගණනකට ඉහත) සිතා බලාම මුහුණ නොවැසෙන එකක් ගත්තේ එවැනි නීතියක් තිබූ බැව් දන්නා නිසාය. මුහුණ වැසෙන එකකින් වැඩි ආරක්‍ෂාවක් ලැබෙන බව අප එකලද දැන සිටි අතර එසේ මුහුණම වැසෙන හිස් ආවරණ එකලද බහුලව තිබූ බැව් හොඳින්ම මතකයේ තිබේ.
Deleteඒ නීතිය ඉවත් කළ බවක් මතක නැති බැවින් පොලිසිය විසින් කියන්නේ යැයි ඔබ කියන දේ සත්‍ය විය හැකි බව පිළිගනිමු.
ඒත්...
පොලීසියට මෙසේ හිතෙන හිතෙන විට ක්‍රියාත්මක කිරීමට නොවේ රටක නීතියක් ඇත්තේ. අන්න ඒ කරුණ කරා ඔබලාගේ අවධානය යොමු කිරීමයි ඉහත වැල්-වටාරම් සියල්ලේ අරමුණ.
ඔබ කියන කරුණ සත්‍ය වුවත් පොලීසියට මා කරන චෝදනාවෙන් නිදහසක් ලැබෙන්නේ නැත.
හික් හික් හික්... !
Delete"පොලීසියට හිතෙන හිතෙන විට ක්‍රියාත්මක කිරීමට නොවේ රටක නීතියක් ඇත්තේ"
ඔබේ ප්‍රකාශය සත්‍ය වුවත් ඒ ගැනත් එකඟ විය නොහැක. ලංකාවේ (සහ අනෙක් රටවලත්) නීති තනා ඇත්තේ ප්‍රයෝගික තත්වය දන්නා ප්‍රාඥයින් නොවේ. මා ඔබට දෙන උදාහරණය 17 වන සංශෝධනයයි (එයට ඔබට විරුද්ධ විය නොහැකි බව දනිමි). ඒ නිසා නීති ක්‍රියාත්මක කිරීමේ ප්‍රයෝගික ගැටළු තිබේ. ඒ ඒ තැනට ගැලපෙන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ නිලධාරීන්ට ඇති නිදහස අගය කළ යුතුය. නීතිය සර්වසම්පුර්ණ නැති බැවින් මේ නිදහස වැදගත්ය. විශේෂයෙන්ම රථ පදවන කෙනෙක් වශයෙන් ඔබට මෙයටත් විරුද්ධ විය නොහැකි බව දනිමි.
17 වන සංශෝධනය පමණක් නොව 13 වන සංශෝධනයත්, එසේම බාහිර බලපෑම් විසින් අප මත පටවන වෙනත් ඕනෑම නීතියකුත් එය විසින් විසඳන ප්‍රශ්න වලට වඩා බොහෝ ප්‍රශ්න අලුතින් ඇති කරයි. උදාහරණයක් ලෙස චන්ද්‍රිකා සමයේ සම්මත වීමටම ගිය ජල කළමනාකරණ පනත සහ දැනටත් සම්මත වීමට අර අදින බීජ පනත දැක්විය හැකියි. අර පාසැල් සිසුන්ට කුරිරු දඬුවම් කිරීමට එරෙහිව චන්ද්‍රිකා සමයේම සම්මත කර ගත් පනත් අද ක්‍රියාත්මක වන සැටි තවත් උදාහරණයකි. එය දෙමාපියන්ට එරෙහිවත් භාවිතා විය හැකි බව දිවයිනේ කියෙව්වා මතකයි.
Deleteහිත එකඟ නොවුනත් රටේ ප්‍රයෝගික තත්වය සළකා ඔබ කියන කරුණට එකඟ වෙමි. එහෙත් කල්පනා කර බැලුවොත් මෙමගින් සිදු වන්නේ මහජනයා පොලිස් නිලධාරියාගේ අනුකම්පාව මත යැපෙන යාචක පිරිසක මට්ටමට පත් වීමයි. මෙය සුදුසු දෙයක් නොවේ. මාර්ග වරදක් මගෙන් සිදු වී ඇතොත් කෙළින්ම දඩ කොලය ඉල්ලා සිටින ස්ථාවරයක සිටින මට ඉහත කරුණ පැවසීමට අයිතියක් ඇති බව අදහමි.
(සමහර පොලිස් නිලධාරීහු වින්දිතයින් නැති සුළු වැරදි වලට අවවාද කර මුදා හැරීම කරත්. මේ ගැනනම් අපට කළ හැක්කක් නැත.)
"සත්ව" හිතවාදී "කෘමිනාසක" නිර්දේස කිරීම අපට කල නොහැකි සේම "කුණුවෙන සංස්කෘතියක" වැරදි සොයාබැලීම අප අතහැර ඇත. නමුත් ඉඳහිට හෝ මෙවෙන්නක් මගින් පඩියන්ට වැරදි පෙන්වා දීමෙන් හැර මෙය නිවැරදි කල නොහැකි බවද හොඳහැටි දන්නා බැවින් ඔබගේ උත්සාහය අගය කරමි. තවද එකෙකුගේ "වුර්තිය අයිතිය" රැකෙන පරිදි, අනෙකාගේ "මානව හිමිකම්" ආරක්ෂා කරමින් "ප්‍රජාතන්ත්‍රවාදී" ලෙස "මද්‍යස්ත" මත දැක්වීමද ( දැක්කීම) අපට හුරු නැත.
ReplyDeleteපඩියන් සහ "මහදැනමුත්තා" ගැන සදහන් කර ඇති බැවින් ඇසිය යුතු ප්‍රස්නයක් ඇත, ඔබ මහදැනමුත්තා කතා පෙළ නිර්මාණය දකින්නේ කෙසේද?
අප කුඩා කාලයේ සිතා සිටියේ "මහදැනමුත්තා" සෑදී ඇත්තේ "මහදැන" + "මුත්තා" එකතු වීමෙන් බවයි. මහදැන යනු ලොකු ලොකු දේ දන්නා සහ මුත්තා යනු මහළු අයෙක් බවයි පුංචි අපේ පුංචි සිතේ තිබුණේ.
Deleteයමක් කමක් තේරෙන වයසට එන විට අප සිතුවේ මේ කතා, අපේ ගම්වල සිටි බොහෝ ඇසුපිරූ තැන් ඇති මහළු පුද්ගලයින් උපහාසයට ලක් කිරීම පිණිස කවරෙකු හෝ විසින් ගෙතූ කතා බවයි.
"මහදැනමුත්තා" යනු ලොකු ලොකු දේ දන්නා මහල්ලෙක් නොවන බවත් ඔහු සමහර විට තරුණයෙකු පවා විය හැකි බවත් දැන් අපේ අදහස වෙයි. "මහා" + "දැනමුත්තා" යන පද දෙක සන්ධි වීමෙන් ඒ නම සෑදෙන්නට ඇති බව අපට සිතී වැඩි කලක් නැත. "දැනමුත්තා" යන්නෙහි තේරුම "දැනුමැත්තා" ය - හෙවත් දැනමුතු කම් දෙන තැනැත්තාය. එහි වයස සම්බන්ධයක් නැත.
මේ කතා සියල්ලෙන් දෙන පණිවිඩය නම් අපේ සමාජයේ අධිපත්‍යය විහිදවාගෙන පණ්ඩිතයින් සේ (රූපවාහිනී බදු ගෙන - ගුවන් විදුලි නාලිකා වල පදිංචි වී - පත්තර අච්චු ගසාගෙන) පෙනී සිටින ගොබිලන් ප්‍රයෝගිකව ප්‍රශ්නයක් එළඹී කල ඊට මුහුණ දෙන මුග්ධ ස්වරූපයයි. එකලත් එසේය - අදත් වෙනසක් නැත.
"දෙකම බේරා ගැනීමට මහදැනමුත්තා සොයා ගිය ගමයාට උනේ තුනම නැති වීමයි." යනුවෙන් අප අදහස් කළේ මෙයයි. අද ආණ්ඩුව පවා බොහෝ ප්‍රශ්න වලදී (හෙජිං, ජෙනිවා, උතුරු පළාත් සභා, නීති විද්‍යාල ප්‍රවේශය ආදී...) "තුනම" නැති කරගෙන සිටින්නේ මෙවැනි මහදැනමුත්තන් ගේ උපදෙස් සොයා යාම නිසා බව මා කීවොත් සහේතුකව එරෙහි විය හැකි කෙනෙක් වේද?
මේ කතා සියල්ලෙන් දෙන පණිවිඩය නම් අපේ සමාජයේ අධිපත්‍යය විහිදවාගෙන පණ්ඩිතයින් සේ (රූපවාහිනී බදු ගෙන - ගුවන් විදුලි නාලිකා වල පදිංචි වී - පත්තර අච්චු ගසාගෙන) පෙනී සිටින ගොබිලන් ප්‍රයෝගිකව ප්‍රශ්නයක් එළඹී කල ඊට මුහුණ දෙන මුග්ධ ස්වරූපයයි. එකලත් එසේය - අදත් වෙනසක් නැත.
Deleteඔබ සමග 100% එකඟ වෙමි. එකල උගතුන්ගේ (පොතේ උගතුන්) අදහස් අප පැරණි සමාජය පිළිගත් ආකාරය යනු මගේද තර්කය වේ. එවිට ගමරාල කතා පෙළ ගැන ඔබ කුමක් සිතන්නේද? hik hik ...
මහදැනමුත්තාගේ මැද්දට පනින්න හිතුනා. මහදැනමුත්තා කියන්නේ ගුරෙක් ! එයාට ගෝලයෝ රොත්තක් හිටියා. ගෝලයෝ අමතක කරලා ගුරා ගැන විතරක් කතා කරන්න බෑ. උදාහරණයක් විදියට ඔය සෙට් එක ගඟෙන් එතෙර උන කතාව දන්නවා නේද? එතැනදී මහදැනමුත්තා මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නෑ. ඒ ගැන ඔබ දෙදෙනාගේම අදහස් දෙන්න බලන්න.
Deleteඅවිද්‍යාව,
Deleteගමරාළ යනු නිලයක් මිස පුද්ගලයෙක් නොවන බැවින් ගමරාළගේ කතා ඇත්නම් ඒ කතා වල කියැවෙන්නේ එක ගමරාළ කෙනෙකු සම්බන්ද කතා ප්‍රවෘති නොවේ. ඒ නිසා ඒවා එකතු කරගෙන සමස්තය පිලිබඳ අදහසක් දැක්වීම අප විසින් නොකළ යුතු මට්ටමේ වරදකි.
ජොසෙෆ්,
Deleteඔබ අදහසක් ඉදිරිපත් කරන්නේ අපට එය ප්‍රතික්‍ෂේප කිරීමට ඉඩ තබා නොවෙයි. මහදැනමුත්තාගේ ගෝලයන් පිලිබඳ ඔබේ නිරීක්‍ෂණය නිවැරදියි. එහෙත්, ඉන් කියැවෙන්නේ ඔහුගේ ගෝලයන් ගුරාටත් වඩා අ-ප්‍රායෝගික මිනිසුන් වූ බව මිස මහදැනමුත්තා ප්‍රාඥයෙකු වන බව නොවේ. ඔහු සහ ඔහුගේ ගෝලයන් නොව මේ කතා වලින් වඩාම නිර්දය ලෙස හාස්‍යයට ලක් වන්නේ ඔහුගෙන් උපදෙස් ගත් සාමාන්‍ය මිනිසුන්.
ඔබ උපුටා නො-දක්වන කතාව ගෝලයන් හුළුඅත්තක් ගෙන ගඟින් එතෙර වී එකෙක් ගඟ විසින් ගිල ගත්තේය කියා හැඬු කතාව විය යුතුයි. එහිනම් හාස්‍යයට ලක් වන්නේ ගෝලයන්. එසේම මහදැනමුත්තා නියරෙන් ලියැද්දට වැටුණු කතාව සහ තවත් බොහෝ කතා වල හාස්‍යයට ලක් වන්නේ ගෝලයන්.
අද සමාජයට මින් ගත හැකි දේ ලෙස මා දකින්නේ අපට ආදර්ශ ගත හැකි පුද්ගලයින් අද සමාජයේ ඉස්මතු වී නොමැති බවයි. විද්වතුන් ලෙස සමාජයේ පෙනී සිටින ය මහදැනමුත්තාට වඩා වැඩි වෙනසක් ඇත්නම් ඒ ඉංගිරිසි කතා කිරීමේ හැකියාව සහ ගුවන් යානයක නැගී නොරටක ගමන් කර තිබීමෙන් පමණයි.
"මේ කතා වලින් වඩාම නිර්දය ලෙස හාස්‍යයට ලක් වන්නේ ඔහුගෙන් උපදෙස් ගත් සාමාන්‍ය මිනිසුන්"
Deleteමේ කතාවනම් අලුත් අදහසක්. ඒ වගේම ගඟින් එතෙර වූ කතාව සහ මඩට වැටීම යන කතා දෙකම ගැන ඔබ කියන දේ ගැන එකඟ වෙන්න පුළුවන්.
මෙතැනදීනම් අවිද්‍යාගේ දහස හා හොඳින්ම එකඟ වෙමි. බොහෝ විට මෙවන් මාතෘකා ඉදිරියේ කීමට යමක් නැතැයි කියමින් මා නිහඬ වන්නේ මෙවන්ම වූ අදහසකිනැයි මා සිතමි.
ReplyDeleteකුණුවෙන සමාජය යන මතවාදය හානම් මා එකඟ නොවෙමි. බහුතරයක් වූ බොදු පිරිස ස්‍රද්ධාවෙන් මිදී ඇත. අන්‍යාගමිකයෝ ඔවුනගේ ආගමික ඉගැන්වීම් වල එපා කියා ඇති දෑ නොතකා කරන්නට යැයි කියා ඇති දේ උපරිමයෙන් කරමින් සිටිති. බුද්ධෝත්පාද කාලය කෙමෙන් අබුද්ධස්ස කාලයකට පියනගමින් සිටියි. ඉදිරියේදී මෙවන් බුද්ධිමතුනට විහිළු සේ පෙනෙන ජාතික මට්ටමේ ක්‍රමවේද තව තවත් බිහිවීම නොවැලැක්විය හැකිය. ඒවා විහිළු ලෙස දැකීමට සමත් බුද්ධිමතුන් සංඛ්‍යාත්මකව අඩුවෙමින් යනු ඇත
සිතුවිළි, අප කතා කරන දේ තුල රසයක් තිබිය යුතුය. බොහෝ කලකින් 'විනෝද සමයම' ක් පල නොකළ බැවින් ඒ ඌරුව ගත් ලිපියක් පල කිරීමද අවශ්‍ය විය.
Deleteඑසේම අවිද්‍යා විසින් පල කළ ලිපියේ සාකච්ඡාව අතරමගදී වැදගත් ගැඹුරු සාකච්ඡාවක් ඇරඹීම ඔහුට කරන අසාධාරණයක් වෙයි. හෙල්මට් ලිපිය අප කලින් ලියා තිබුණ බැවින් තව ඇවැසි ආරළු බුරුළු එකතු කර පල කළෙමි. මෙහිද කතා කළ යුතු දේ පැවතුනත් අවිද්‍යාගේ පෙර ලිපියට ඔබලා වැඩි අවධානයක් යොමු කරන්නේනම් ඉතා කැමති වෙමි.
අප කලින් ද සඳහන් කළ පරිදි දෙතිස් කතා කාටත් ප්‍රයෝජනවත් සාකච්ඡා මණ්ඩපයක් වනු දැකීමයි අපේ බලවත් අභිප්‍රාය.
සාකච්චා මණ්ඩපයක්... හික් !
Deleteඅපි කරන්නේ ඒකම නෙවේද?
ඔව් ඔව් ඒකම තමයි. ;)
Deleteකණිෂ්ක,
Deleteඅළුත් ලිපියක් පල වූ සැනින් අවිද්‍යාගේ ලිපියේ ගොඩ නැගෙමින් පැවති සාකච්ඡාව බිඳ වැටුනු බවක් ඔබ දක්නෙහිද?
නැතහොත් අන් යම් හේතුවක් නිසා අවිද්‍යා නිහඬ වීද? ඔහු දුර්මුඛ කරවන සුළු යමක් අපගෙන් කියැවීද?
ඔහු නැවත අවදි වනතෙක් අප බලා සිටිමු.
මිතුරු අවිද්‍යා මද නිහැඬියාවකට පත් වූ බව සැබැයි. ඒ ඔබගෙන් හෝ වෙන අයෙකුගෙන් ඔහු 'දුර්මුඛ' කෙරෙන යමක් කියැවීම නිසානම් නොවෙයි. ඔහු 'දුර්මුඛ' කිරීම ඔබටත් මටත් පහසු කාර්‍යයක් වන්නේද නැත - ඔහු එතරම් ගැඹුරින් තමන් ලියන දේ ගැන විමසුමක යෙදෙන නිසාය.
Deleteකෙසේ වෙතත් ඔහු ඒ සාකච්චාවේ ඉදිරිපත් වූ කරුණු උකහාගෙන ලිපියක් සකස් කිරීමට කාලය ගත් බැවිණි ඔහුගේ පිළිතුරු පල නොවූයේ. ඒ ලිපිය ගැන සඳහනක් කර පැරණි ලිපියේ ප්‍රතිචාර තීරුව වසා දැමීම නම් අවිද්‍යා නොව මවිසින් කරන ලද අපරාධයකි. "ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ වෙසක් මස අව විසේනිය නම් තිථිය ලත් සඳු දින" ඔහුගේ ලිපිය පල වන බැවින් එය ගැටළුවක් නොවේය සිතමි. ඔබ මේ ප්‍රතිචාරය කියැවීමට ප්‍රථම අවිද්‍යා ගේ ලිපිය කියවනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි.
ඒකත් එහෙමද !
Delete