"මෑතකදී මා ප්රමුඛ රජය විසින් කරන ලද යම් යම් පත්වීම්වලට විරුද්ධව විවිධ බලපෑම් ඉදිරිපත් වෙමින් පවතී. මේ පත්වීම් සියල්ල සිදු කරන ලද්දේ, අප රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව මෙන්ම
සෞභාග්යයේ දැක්මප්‍රතිපත්ති ප්රකාශය ක්රියාත්මක කිරීම වැනි ඉතා සුවිශේෂී කරුණු සලකා බලමිනි. එමෙන්ම, පත්වූ පුද්ගලයන්ගේ ජාති හිතෛෂිබව, සුදුසුකම් සහ පසුබිම පරීක්ෂා කොට අවස්ථාවෝචිත පරිදි රජයේ ප්රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි ආකාරයට පත්වීම් කර ඇති බැව් මම අවධාරණය කරමි.
ගැඹුරින් සිතා බලා කරන ලද පත්වීම් වෙනස් කොට, විවිධ බලපෑම් නිසා වෙනත් අය ඒ සඳහා යෙදවීමට කිසිදු අපේක්ෂාවක් මා තුළ නොමැත. එබැවින් යම් පත්වීමකට විරුද්ධව එය වෙනස් කරන ලෙස තමන්ට හෝ රජයට බලපෑම් නොකරන ලෙස මම සියලුදෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිමි.
පත්වීම්වලට විරුද්ධව අදහස්, උදහස් පළ කිරීමෙන් එසේ තෝරා පත් කරගත් පුද්ගලයින්ට භාර දෙන ලද කාර්යය හා කර්තව්යය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වනවා පමණක් නොව, සමාජය තුළ එම පුද්ගලයින් අවතක්සේරුවකට ලක්වීමෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ද දුර්වල වනු ඇත."
මේ නිවේදනය නිකුත් කිරීමට හේතු වන්නේ නව රජයේ කැබිනට් මණ්ඩලය පත් කිරීමේ සිට පහළට මෙතෙක් කෙරුණු යම් යම් පත් කිරීම් ය; එසේ නැතිනම් පත් නොකිරීම් ය.
෴
ලංකාවේ දෙවැනියට වැඩිම මනාප ලැබූ සරත් වීරසේකර මන්ත්‍රීවරයාට රාජ්‍ය අමාත්‍යධුරයක් පමණක් ලබා දීමත් අග්‍රාමාත්‍යවරයාගේ පුත්‍රයාට කැබිනට් අමාත්‍යධුරයක් ලබා දීමත් එකකි. කිසි මනාපයක් නැතිවත් ජනාධිපතිවරයාගේ නඩු වලට (නොමිලේ?) පෙනී සිටීම පමණක් හේතුවෙන්, පත් කළ මන්ත්‍රී මොහොමඩ් අලි මහතාට බලවත් කැබිනට් ඇමති ධුරයක් වන අධිකරණ ඇමති ධුරය ලබා දීමත් තවත් හේතුවකි. කුමන්ත්‍රණ පිළිබඳ විශාරද විමල් විරවංශ මහතාට අනුව ජනාධිපති ලේකම් වරුන් අතරත් CIA කුමන්ත්‍රණ කරුවන් සිටී; ඔවුන් පැත්තකින් තබමු, ජනාධිපති ලේකම් වරයාත් විමල් විරවංශ මහතාට අනුව ආර්ථික ඝාතකයෙකි. පසුගිය මැයි මාසයේ කුප්‍රකට පඩි-බාගේ ගොන් කතාව කීමෙන් පසුව මෙතෙක් ඔහු කළ කී දෑ අනුව විමල් විරවංශ හරි යැයි අපට සිතෙන්නට ඉඩ තිබේ. මිළින්ද ප්‍රශ්ණය පැණ නගින්නේ මේ අතර ය.
දැන් ජනාධිපති මෙකී සකලවිධ පත් කිරීම් පිළිබඳවම නිල වශයෙන්ම නිවේදනයක් නිකුත් කර තිබේ. මේ නිවේදනයේ හරය වන්නේ "දැන් කට වහගෙන හිටපල්ලා" යන්නය. පුඤ්චි බණ්ඩා ජයසුන්දර මහතා දෙරණ නාලිකාවේ පෙනී සිටිමින් දිල්කා සමන්මලී සමග කළ සංවාදය අනුව පැහැදිළි එක දෙයක් නම් මහජනතාව දැන් 'දෙන දෙයක් කා බී වෙන දෙයක් බලාගෙන සිටීමට' හිත හදාගෙන සිටින බවට පූර්ව නිගමනයක ආණ්ඩුව සිටින බවයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂගේ ඉහත නිවේදනය හේතුවෙන් මිළින්ද ප්‍රශ්නය කතා කිරීමේ අදහස අතහැර දැමීමට අපට සිදු වෙයි, ඒ ගැන ගැටළුවක් නැත. නමුත් තවත් නිවේදනයක් මේ දින වලම ප්‍රචාරය විය. එහි හරය තමන් රාජ්‍ය උත්සව වලට මිස මගුල් ගෙවල්, කොටහළු ගෙවල්, පාටි වලට, කඨින පිංකම් වැනි පෞද්ගලික උත්සව වලට නොපැමිණෙන බවත් ඒවාට ආරාධනා නොකළ යුතු බවත් ය.
මෙහි හොඳ පැත්තක් ද ඇත. අප ඡන්දය දී ජනාධිපති කෙනෙක් පත් කර ගන්නේ අනුන්ගේ මගුල් වලට අස්සන් කරන්නට නොවේ. නමුත් එහි නරක පැත්තක් ද ඇත. ජනාධිපති ඉහත උපුටා දැක්වූ පළමු නිවේදනයෙන් කියන්නේ තමන් කළ පත් කිරීම් කාගේවත් බලපෑම් වලට වෙනස් නොකරන බවය. එනම් ඔහුගේ තීරණ ගැනීමේ සහායක කල්ලිය ඔවුන් බවය. රනිල්ගේ තුම්මුල්ලේ ඉස්කෝලේ ආදී ශිෂ්‍ය සංගමය මෙනි. අනෙක් පැත්තෙන් අර නොයනවාය කියන "පෞද්ගලික" අවස්ථා ඔහුගේ සහචර කල්ලියේ නොවන අයට (මේ අප වැනි සාමාන්‍ය ජනයා නොවීම වෙනම කතාවකි) ඔහු වෙත සමීප වී තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට ඇති අවස්ථා අහිමි කිරීමකි. මේ තමන් විසින්ම තනා ගත් සිර කූඩුවක තමන් විසින්ම වැටීමකි. රත්තරනින් තැනුවත් සිර කූඩුව නම් සිර කූඩුවම වෙයි. මේ එතරම් හොඳ දෙයක් නොවේ.
෴
ලංකා ඉතිහාසයේ සඳහන් වන වඩාත් ධාර්මිකම රජතුමා කවුදැයි ඇසුවොත් ඊට සෘජු පිළිතුර එළාර නම් වෙයි; වෙනත් පිළිතුරු නැත. ඔහු ධාර්මික යැයි කියැවෙන්නේ ඒ රජතුමා විසින් නීතිය සැමට සමානව ක්‍රියාවේ යෙදැවූ බැවිනුත් රටවැසි තිරිසනෙකුට වුව (මෙය අතිශයෝක්තියක් විය හැක - එසේ වුවත් ගින්නක් නැතිව දුමක් නොනගී) රජු වෙත කෙළින්ම පැමිණ පැමිණිලි කිරීමේ යාන්ත්‍රණයක් තිබීමත්, එයින් සාධාරණය ඉටු වන සහ එසේ වන බව මහජනතාවට පෙනී ගිය බැවිනුත් නිසා මිස ඊනියා ධර්ම යුද්ධය යැයි නම් කර මිණී මරණ යුධ කළ බැවින් වත් සත්‍ය ක්‍රියා කර වැසි වැස්සවූ බැවින් වත් නොවේ.
වර්තමාන ගෝඨාභය රජතුමා තෝරා ගෙන තිබෙන්නේ මෙහි අනෙක් පැත්තයි. ආනවිළුන්දාව ඩෝසර් කරන්නේ යැයි කී විට ඔහු කරන්නේ හොරාගේ ඡන්ද ප්‍රතිග්රාහකයාගෙන් ඒ ගැන ඇසීමයි; සිංහරාජය කපන්නේ යැයි කී විට ඔහු කරන්නේ කැලය කපන්නට බලපෑම් කළවුන් සමග මාධ්‍ය ඉදිරියේ සංවාදයේ යෙදීමයි. පත් කිරීම් විවේචනය කළ විට දැක්වූ ප්‍රතිචාරය ඉහත දැක්විණ.
මේ යන පාර නම් මහළු වේදේහ රාජයා සේනක පුක්කුසාදී පඬි වරුන් සමග ගිය ගමනයි. වේදේහ රාජයාට තමන් ගැන අවබෝධයක් සහ තමන්ගේ පණ්ඩිතයන්ගේ තරම ගැන අවබෝධයක් තිබූ නිසා ළදරු මහෞෂධ පණ්ඩිතයන් සොයා ගැනීමට හැකි විය. එහි ප්‍රතිඵලය අටළොස් අක්ෂෞහිනියක් මහා සතුරු සේනාව විසින් වට කළේ වුවත් මියුළු නුවර ලේ බිඳකුදු නොසොල්වා ගළවා ගත හැකි වීමයි. ගෝඨාභය රාජයාට තමන් ගැනත් තමන් වටකොට සිටින ළාමක-පණ්ඩිතයන් ගැනත් හරි හමන් තක්සේරුවක් තිබේද ?
෴