Friday, January 1, 2016

සමුගැනීම ?

2015 වසරට සමු දුන්නේ ඊයේ ය. අදත් සමු ගැනීමක් ගැන කතා කිරීමට සිදුව තිබේ.

දෙතිස් කතාව ආරම්භ කෙරුණේ 2012 ජූලි මස 5 වැනිදා ය. 2013 ජූලි 5 වැනිදා "අද ජූලි 5 !" ලිපියෙන් දෙතිස් කතාවේ පළමු වසර සමාලෝචනය කළෙමු. අලුත් ග්‍රෙගරියන් දින දසුනක් වෙත මාරු වීම නොව දෙතිස් කතාවට වසරක් පිරීම මෙවැන්නකට සුදුසු අවස්ථාව බව තවමත් අපගේ අදහස වේ.

එහෙත් එහි වෙනසක් කිරීමට දැන් සිදුව තිබේ.




පළමු සමුගැනීම


අප දෙතිස් කතාව ආරම්භ කිරීමට හේතු දැක්වූයේ පහත අයුරිණි.

බ්ලොගයක ඇරඹුම

...මටම කියලා අන්තර්ජාල සම්බන්ධයක්, මොඩමයක් සමග මිලදී ගත්තා. දැන් ඉතින් මාසෙන් මාසෙට බිල ගෙවන්න එපැයි. මාසෙට රුපියල් එක්දාස් පන්සීයකට බදුත් එකතු කරලා ගෙවනකොට කොහොමද සනීපෙ. නිකං තියෙන ඉන්ටනෙට් එකට එච්චර ගානක් නිකංම ගෙවන්නේ මොකටද? ඔන්න මම බ්ලොග් එක පටන් ගත්තා...
ඊයේ (දෙසැම්බර 31 දින) ඒ අන්තර්ජාල සම්බන්ධතාවයට සමු දිනිමි. ගාස්තු ගෙවා විසන්ධි කළ පසු ඒ හා කිසි සම්බන්ධතාවයක් අපේ නැති බැවින් ඒ පළමු සමුගැනීමයි.



දෙතිස් කතාව සාමාන්‍යයෙන් හුදෙකලාව තිබුණු බ්ලොග් අඩවියකි. වසර 3 ½ ගත වීත් එහි පිවිසුම් සංඛ්‍යාව 52,300 ක් පමණක් වීම ඊට සාධකයකි.

එහෙත් පසුගිය අඩවසර තුල පාඨක පැමිණීම සැළකිය යුතු ලෙස වැඩි වූ බවත් පාඨකයන්ගේ දායකත්වය (එනම් ප්‍රතිචාර දැමීම) ද බොහෝ සෙයින් වැඩි වූ බවත් නිරීක්‍ෂණය විය. මේ තත්ත්වයට තනි හේතුවක් දැක්විය හැකිනම් එය "මධ්‍යස්ථ මතධාරියා" යන තනි වචනයෙන් හැඳින්විය හැක.



සිත් ගත් blog


යකාගේ අඩවිය
2015 වසරේ අපගේ සිත් ගත්, අප විසින් වඩාත්ම පරිශීලනය කරන ලද, බ්ලොග් අඩවි දෙකක් තිබේ. එකක් ඉහත කී මධ්‍යස්ථ මතධාරියා විසින් සැකසෙන "යකාගේ අඩවිය ( සියල්ල ප්‍රශ්න කරන විමසන මණ්ඩපය )" වන අතර අනෙක "ඉකොනොමැට්ටා Economatta" විසින් සකස් කෙරෙන "ඉකොනොමැට්ටාගේ බොජුන්හල" වේ.
ඉකොනොමැට්ටාගේ බොජුන්හල
මින් පළමුවැන්න 2014 ජනවාරි මස ඇරඹෙන අතර දෙවැන්න යන්තම් මාස හත පසු කළා පමණි. මේ දෙකෙහිම පුරුදු පාඨක සංඛ්‍යාවත් ලිපියකට වැටෙන ප්‍රතිචාර සංඛ්‍යාවත් ඉතා විශාල වන සේම දෙතිස් කතාව පුරා වසර තුනහමාරක් තුල එකතු කර ගත් පිවිසුම් සංඛ්‍යාව ඉතාම පහසුවෙන් ඉක්මවා යාමටද මේ අඩවි දෙක සමත්ව තිබේ. එයින් පෙන්වන්නේ මේ අඩවි දෙකේ සාර්ථකත්වයයි.

ඉතාම සාරවත් සහ නැවුම් ලිපි නිරන්තරයෙන් ඉදිරිපත් කිරීමත් සක්‍රිය සංවාද ඇති කිරීම කෙරේ උනන්දු වීමත් (මෙය යකාගේ අඩවිය කෙරේ විශේෂයෙන්ම අදාළය) මේවායේ සාර්ථකත්වයට හේතුව බව සිතමි.



දෙවන සමුගැනීම


දෙවැනි සමුගැනීම කරන්නේ එතරම් සාර්ථකත්වයක සිටි, අපගේද සිත් ගත් බ්ලොග් දෙකින් එකක් ලියූ මධ්‍යස්ථ මතධාරියාය. ඔහු ඒ ගැන මෙසේ කියයි.
මෙම තීරණය ගත්තේ සැප්තැම්බර් මාසයේය. හේතු කිහිපයකි. එකක් නම් මේ සදහා මගේ කාලවේලාව විශාල වශයෙන් වැය වීමය. මම ඉතා කාර්යබහුල කෙනෙක්මි. තවත් හේතුවක් නම් බ්ලොග් ලිවීමෙන් මා බලාපොරොත්තු වූ සන්තුෂ්ටිය නොළැබීමය...
මේ ඉතාම අවාසනාවකි. ඔහු මීට පෙරත් මේ පිළිබඳ ඉඟියක් සපයා තිබිණි. කෙනෙක් තමා මධ්‍යස්ථ මතධාරියා ලෙස හඳුන්වා ගන්නේ ඉතාම දැඩි වගකීමක් කර තබා ගනිමිනි. මෙවැනි අනන්‍යතාවයක් දීර්ඝ කාලීනව නඩත්තු කිරීම සාකල්‍යයෙන්ම අපහසු කටයුත්තකි. ඔහු ඊට මේ වසර දෙක පුරාම ප්‍රමාණවත් උත්සාහයක් දැරූ බවට යකාගේ අඩවිය කියැවූ මිතුරන් සාක්‍ෂි දරනු ඇත.

මධ්‍යස්ථ මතධාරියා සේම ඉකොනොමැට්ටා ද ඉලක්ක සපුරා ගැනීමක් පිළිබඳ ඉඟි පල කළේ පසුගිය මාසයේ ය. මධ්‍යස්ථ මතධාරියා නොව ඉකොනොමැට්ටා සමුගන්නට යන බවකි අප අනුමාන කළේ. කෙසේ වුව ඔහු දිගටම ලියන බව මේ වන විට සපථ කර තිබේ. එය සිංහල බ්ලොග් අවකාශය පැත්තෙන් බැලූ කල අස්වැසිල්ලකි.

සමුගත් මධ්‍යස්ථ මතධාරියාට සේම සමු නොගත් ඉකොනොමැට්ටාට ද එළැඹෙන වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක සහ ආපසු හැරී බලන කල කලකිරීම් ඇති නොවන වසරක් වේවා !



එපමණක් නොව, අපගේ ඉතාම පැරණි මිතුරන් වන ජොසෙෆ්, සිතුවිළි, බිංදු සහ අවිද්‍යාත් සාරිකා විචාරනී, ජගත් පතිරණ, විචාරක - Wicharaka, Pra Jay, රාජ්, anuhasa2011, Tiraj Adikari, සහ සමරසේකර මහතා වැනි මෑත කාලයේ සම්බන්ධ වූ මිතුරන්ටත් මෙහි නම් සඳහන් නොකළ සෑම සියළු දෙනාටත් ලැබුවා වූ 2016 වසර සුබම සුබ වේවා !

17 comments:

  1. 'නොනැවතී ඉදිරියට යන්න' නමැති බුදු වදන ආදර්ශයට ගනිමින් ඉදිරියට යන්නට, මධ්‍යස්ථ මතධාරියාට හැකිවුනා නම්, හරිම වටිනවා. ඔහු අප කවුරුන්හෝ සමග, ඊ මේල් එකකින්වත් තම අදහස් සාකච්ඡා කලානම්, මේ ප්‍රතිඵලය අත්නොවන්නට තිබුණා. 'සිංහල බ්ලොග් කලාව, එක්තරා ආකාරයක යුද්ධයකි' කියා මා තේරුම්ගත්තේ, වසර තුනක් බ්ලොග් ලිවීමෙන් පසුවයි. ඒ යුද්ධය සඳහා අදහස්, සිතුවිලි, ප්‍රතිපත්ති, ප්‍රතිවචන, වලින් සන්නද්ධව මුහුණ දෙන්නට, අද මට හැකියාව ලැබී තිබෙනවා. මධ්‍යස්ථ මතධාරියාව නොඉවසූ අයවලුන් කවුරුන්දැයි අනාගතයේදී හෙළිවන්නට ඉඩ තිබෙනවා.

    ඔබට ජයවේවා! යහපත උදාවේවා!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් අප දිරි ගන්වයි.

      Delete
  2. ඔබට සහ පව්ලේ සැමට සුභ නව වසරක් වේවා. මා ගැනත් මතක් කර තිබීම ගැන සතුටුයි. උපථීන්ම අලසයෙකු වන මා මගේ blog එක නිතිපතාම යාවත්කාලින කරන්නේ නම් නැහැ. එ අලස කම මේ වසරේදී වත් අවම කර ගන්න ඕනෑ.මා ලිපි 9කත මුල පුරා ඇති නමුත් එ එකක් වත් ඉවර කරලා පල කරන්න බැරි උනා.බොහෝ ලිපි වලින් මා ගොඩක් දේ ඉගෙන ගත්තා. ඇත්තෙන්ම මා තවමත් ශිෂ්‍යයෙකු පමණයි. එ අතරේදී සමහර ලිපි වලට ප්‍රතිචාර ලියන්නත් උනා එතැනදී මා සත්‍ය යනු සත්‍යම මිස අන් දෙයක් නොවේ true is nothing but true යන උපදේශය අනුව ඒ ලිපි දකිනවා.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාට සාපේක්‍ෂව මා හතර ගුණයක් පමණ කම්මැලියැයි සිතෙන්නේ මා ද අරඹා අවසන් නොකර ඇති ලිපි එපමණ ප්‍රමාණයක් ඇති බැවිණි.

      ඒවා අවසන් කර ගැනුමට හෝ කාලින නොවේනම් මකා දැමීමට අප දෙදෙනාටම මේ වසරේ අවස්ථාව ලැබේවා !

      Delete
  3. http://tinypic.com/view.php?pic=s5z4hg&s=9#.VogJMPlEmUl

    ReplyDelete
    Replies
    1. කනිෂ්ක, දේශපාලන උන්මත්තක අමනයින්ගේ මෙවන් වූ පොස්ට් හැකි ඉක්මනින් මකා දමන්න.

      Delete
    2. මෙය අප අනුමත නොකරන මුත් ඇතුලතින් ගිණි ගන්නා කෙනෙක් දුම් පිට කර ගැනීමට දරන අහිංසක සහ බොළඳ උත්සාහයකට අකුල් හෙළීමේ කැමැත්තක් නැත.

      Delete
  4. පළමුවෙන්ම, කණිෂ්ක, ජෝසප්, බින්දු, අවිද්‍යා ඇතුළු කී නොකී කතා 32හි මිතුරු සියලු දෙනාහටම යහපත් අරමුණු බලාපොරොත්තු ඉටුවන සාර්තක නව වසරක් වේවායි උදාවූ 2016 වසර වෙනුවෙන් මා ශුභ පතමි....!

    කණිෂ්ක විසින් සමුදුන් අන්තර්ජාල සම්බන්ධතාවයට වඩා ඔහුට අඩු පිරිවැයකින් වඩා හොඳ සේවයක් සැපයීමට ඔහු හා එක වූ නව අන්තර්ජාල සම්බන්ධතාවයට හැකිවේවා කියාද මා පතමි. (අර හයිබර්නේශන් පීරියඩ් එක අහෝසි කල නොහැකිනම් වඩා කෙටි වේවා කියාද නව වසරේ පතමි )

    මද්‍යස්ත මතදාරියා හෙවත් යකාගේ සමුගැනීම බ්ලොග් අවකාශයට තදින් දැනී ඇති බවක් පෙනේ. මේ ගැන විභීශන අඩවිය නම් වූ බ්ලොගයේද දිගු විචාරයක් පලවී තිබූ අතර මාද එහි සටහනක් තැබුවෙමි.
    කණිශ්ක කියන පරිදිම ඔහු විසින් රඳවා ගැනීමට වෙර දැරූ මධ්‍යස්ත බවම ඔහුට පීඩාවක් ඇතිකලා විය හැකියැයි මමද සිතුවෙමි.
    කෙසේ වෙතත් ඔහු නිසා මාද සිංහල බ්ලොග් කියැවීමට අටන් ගත්තෙමි. යකාගේ අඩවිය යනු කුමක්දැයි මා මුලින් විමසුවේ ඔබලාගෙනි, මට මතක හැටියට එය කුමක්දැයි මට කීවේ ජෝසප් මිතුරා විසිනි.

    මට යකාට කීමට ඇත්තේ
    යකෝ පිස්සු කෙලින්නේ නැතුව ආයෙ වරෙන්, සතියට දෙක ගනනේ නොවෙයි ඉඳහිට ලිපියක් ලියපන්, ඉඳහිට අනෙක් බ්ලොග්වලට ප්‍රථිචාරයක් දමාපන්...!

    ReplyDelete
    Replies
    1. අන් සියළු පරාමිති නොසළකා හැරියොත්, රු.1300 කට 12 GB සහ රු.1400 කට 25 GB ලැබෙන සම්බන්ධතා දෙකක් සංසන්දනය කළොත් ඔබේ තේරීම සුපැහැදිළි එකකි. මෙය මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ බලෙන්ම අපේ ඇඟේ ගසන Windows 10 පද්ධතිය අපේ අනුදැනුමින් තොරව යාවත්කාලින වන හෙයිනි.

      'හයිබරනේෂන් ගැසීම' අපේ ආසාව නොවේ - හිම වලසෙකුත් එසේ කියා ඇත. එහෙත් කළ හැකි අන් යමක් නැත.

      යකා නැවත ප්‍රාදුර්භූත වේ යැයි නොසිතමි. ඔහුම තමාගේ සමුගැනීමට දක්වන පළමු හේතුව කාල වෙලා මදි කම බව ඔබලා නොසලකන්නේ ඇයි ...

      Delete
    2. ඇත්තෙන්ම, වින්ඩෝස් 10 බලෙන් ඇඟේ ගැසීම නම් විසාල මුදල් කාබාසිනියා කිරීමක්. මමත් ඔය අත්දැකීම ලැබුවා අන්ත්‍රජාලයට සම්බන්ද වූ සැනින්ම අති විශාල ලෙස අසීමිත් ඩවුන්ලෝඩ් වීමක් නිසා මා සම්බන්ධ වීමද අත්හැර දැමුවා. පසුව ඒ ගැන දැනුමැති කෙනෙකුගේ සහයෝගයෙන් සොයා බලා ඒ වින්ඩෝස් හි ත්‍රස්ත ප්‍රහාරයක් බව වටහාගෙන එම ඩවුන්ලෝඩ් වීම අත්හිටවූවා. දැනටනම් තත්වය යහපත් ඒත් වින්ඩෝස් වෙතින් තවත් එවන් වූ ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල විය හැකියි.
      මා හිතන්නේ අප කරන වරද වින්ඩෝස් හි ලයිසන් සොෆ්ට්වෙයාර් භාවිතා කිරීමයි.

      යකාට කාල වේලාව පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනැගුනිනම් එයයි ප්‍රශ්න කල යුතු කාරිය. ඔහු සතියට ලිපි දෙක බැගින් ලියන විට පැහැදිලිවම එය ඔහුටම ගැටලුවක් වන්නට ඇති. එය කලමනාකරණය කර ගත යුත්තේ ඔහු විසින්මයි. ඔබ කාලය පිළිබඳ ප්‍රශ්නය නිසා හයිබර්නේශන් ගසන විට අපට එය සරල විහිළුවක් මිස අන් යමක් වන්නේ නැහැ නේද?

      Delete
  5. මධ්‍යස්ත මතධාරියා ඇනෝ හැටියට කටයුතු කරන බව පේනවා.
    විභීශන අඩවිය ලිපිය ගැනනම් කියන්න තියෙන්නේ ක්‍රිස්තියානි කාරයෙක් ෆෝම් වෙලා කියලා.

    ReplyDelete
    Replies
    1. 'විභීශන අඩවිය' පිළිබඳ එතරම් මතකයක් නැති මුත් මධ්‍යස්ත මතධාරියා දිගටම අප කියවනු ඇති බවට අදහමි.

      Delete
  6. ඔබටත් ඔබේ බ්ලොගයටත් සුභ ම සුභ නව වසරක් වේවා......

    ReplyDelete
  7. කලාතුරකින් බ්ලොග් අවකාශයට පිවිසුනත් අනිවාර්යයෙන්ම ගොඩවෙන තැනක් තමයි දෙතිස් කතා. තව දිගු කලක් අප දැනුවත් කරන්නට හැකිවේවා !දෙතිස් කතාවට සම්බන්ධ සියලුම දෙනාට සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  8. ටිකක් පරක්කු වුනා යහලුවේ තවත් ලේට් වෙන්නෙ නැතුව නිවු ඉයර් එකට සුබ පතමු (තිත් දෙකයි කැපිටල් ඩී)

    සුභ නව වසරක් වෙවා

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !