Friday, January 16, 2015

ලංකාවට ෆීල්ඩ් මාෂල් කෙනෙක් ?

ජෙනරල් සරත් ෆොන්සේකා
ලංකාවේ වඩාත් ජනාදරයට පත් හමුදා නිලධාරියා ඔහුය. සක්‍රිය සේවයේ යෙදී සිටියදීම ඉහලම නිලයෙන් පුද ලද එකම නිලධාරියා ඔහුය. සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව හැරුණු කොට 'සෙන්පති' යන නාමයෙන් ජාතියක් විසින් හෘදයාංගමව හඳුනා ගන්නා ලද සහ ජාතික වීරයෙක් ලෙස රටේ පොදු ජනතාව වෙතින් පිදුම් ලැබූ යුධ හමුදා නිලධාරියා ඔහුය. ඒ එදා 2009 මැයි මස 18 වැනි දින, ඉන්දිරා ගාන්ධිගේ ඉන්දීය මධ්‍යම රජය හා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව එක්ව තමිල්නාඩුවේ දී නිෂ්පාදනය කර මෙරට ආක්‍රමණය කිරීමට එවූ, දෙමළ ආක්‍රමණික හමුදාව නන්දිකඩාල් කලපුවේ දී නින්දා සහගත පරාජයකට ලක් කිරීමට ඔහුගෙන් ලද දායකත්වය නිසාය.



ජෙනරල් සරත් ෆොන්සේකා සහ ෆීල්ඩ් මාෂල් තනතුර

හමුදාපති ලුතිනන් ජෙනරල් සරත් ෆොන්සේකා, ජෙනරල් සරත් ෆොන්සේකා බවට, හමුදාපති ධුරය දරමින් ම උසස් වීමක් ලබන්නේ එකී දායකත්වය හේතුවෙනි. මීට පෙර ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි කිසිවෙක් සක්‍රිය සේවයේ යෙදෙමින් ජෙනරල් ධුරයට පත් වී නොතිබිණි. පෙර සිටි ජෙනරල්වරු හමුදාපති ධුරය දරමින් සිට විශ්‍රාම ගිය ලුතිනන් ජෙනරල්වරුය. ඒ හැරෙන්නට හිටපු අගමැති සර් ජෝන් කොතලාවල (1980), ත්‍රස්තවාදී ප්‍රහාරයකින් දිවංගත වූ හිටපු රාජ්‍යාරක්ෂක රාජ්‍ය ඇමති රංජන් විජේරත්න (1991) සහ හිටපු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති අනුරුද්ධ රත්වත්තේ (1999) වැනි මහත්වරු දේශපාලන වශයෙන් ඒ ගෞරවය ලැබුවෝය.

ලංකාවේ හමුදාවේ ජෙනරල් තනතුරට වඩා ඉහල තනතුරක් නැත. එහෙත් වඩා විශාල හමුදා වල, විශේෂයෙන්ම සුවිශේෂ මෙහෙයුම් වල යෙදෙන ඒකාබද්ධ හමුදාවන්හි ජෙනරල් තනතුරට වඩා ඉහල තනතුරක් තිබීම අවශ්‍යය. වෙන වෙනම ජෙනරල්වරු යටතේ ඇති හමුදා කිහිපයක් එක්ව ක්‍රියාන්විතයක යෙදෙන අවස්ථාවල, උදාහරණයක් ලෙස දෙවන ලෝක යුද්ධය, මෙවැනි තනතුරක් අවශ්‍ය වනු ඇත. සාමාන්‍යයෙන් හමුදා ජෙනරල් යනු තරු හතරේ තත්ත්වය (rank)කි. ඊට ඉහල තත්වයක් තරු පහේ තනතුරක් ලෙස හඳුනා ගැනේ. ශ්‍රී ලංකාවේ, තවම මේ තනතුර කිසිවෙකුට හෝ ලබා දී නැතත්, එය ෆීල්ඩ් මාෂල් (Field Marshall) ලෙස හඳුනා ගත හැක. ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි තරු ධුරාවලියපහත පහත අයුරු වේ.
  • තරු 5: Field marshal :-
    ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් හි මීට අනුරූප තනතුරක් නැත.
  • තරු 4: General :-
    සාමාන්‍යයෙන් ලුතිනන් ජෙනරල් වශයෙන් විශ්‍රාම යන හමුදාපතිවරු ජෙනරල් බවට උසස් කෙරේ. විශ්‍රාම යෑමට මත්තෙන් සක්‍රිය සේවයේ යෙදෙමින් මේ තත්වයට පත් වූයේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පමණි. ඊට අමතරව ඒ මහතා සක්‍රිය සේවයේ යෙදෙමින්ම ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්නේ යැයි චෝදනාවක් ද විය.
  • තරු 3: Lieutenant general :-
    ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවේ හමුදාපති.
  • තරු 2: Major general :-
    හමුදාපතිට පහලින් සිටින නිලධාරීන්. සාමාන්‍යයෙන් මේ අය ලුතිනන් ජෙනරල් බවට පත් කර හමුදාපති ධුරය පිරිනැමෙන අතර සේවා දිගුවක් නොලැබුණොත් විශ්‍රාමික ලුතිනන් ජෙනරල්වරු බවට පත් වේ.
  • තරු 1: Brigadier :-
    බොහෝ විට සේනාංකයක් බාරව කටයුතු කරයි.
             ඉහත විස්තරයේ වරදක් ඇතොත් එය නිවැරදි කරත්වා !

යුධ බිමේ අවශ්‍යතාවයට අමතරව වික්‍රමාන්විත ක්‍රියාන්විතයන්හි නිරත වූ (හෝ නොවූ) හමුදා ජෙනරල්වරුන් (සහ සමහර අවස්ථා වලදී ඊට පහල නිලයන්) සැරසීම පිණිසද මේ තනතුර භාවිතා කළ හැක. ප්‍රයෝගිකව ඉතා කලාතුරකින් අවශ්‍ය වන ෆීල්ඩ් මාෂල් තනතුර බොහෝ කොටම සැරසිල්ලක් ලෙස යොදා ගැනේ. එංගලන්ත රැජිණගේ සැමියා (එඩින්බරෝහි ආදිපාද වරයා) සහ ඇගේ පුත්‍රයා (වේල්ස් කුමාරයා) සේම තවත් රජ පවුලේ කිහිප දෙනෙක් මේ තනතුර දරති. එංගලන්ත රජ පවුල පමණක් නොව පාකිස්තානයේ අයුබ් ඛාන් සහ උගන්ඩාවේ ඉඩී අමීන් තමන් රාජ්‍ය නායකත්වයට පත් වී තමන්ම මේ තනතුර ලබා ගත් අය වේ.

මේ ලොකු ලොකු අයවළුන් අතරට අපේ පුංචි ශ්‍රී ලංකාවෙන් එක් වීමට පුල පුලා බලා සිටින්නේ අපේ හිටපු හමුදාපති තුමාය. එතුමා හමුදාවේ සිටිමින්ම ජෙනරල් වුවත් විශ්‍රාම යන විට ෆීල්ඩ් මාෂල් තනතුර ලැබුණේ නැත. එතුමා හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගොස් අලුතින් තැනූ ඒකාබද්ද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් වූ නිසා එයින් ඉවත්ව යන කළ දීමට එකල පැවති ආණ්ඩුව විසින් ෆීල්ඩ් මාෂල් තනතුර ඉතිරි කර ගන්නට ඇතැයි දෙතිස් කතා සිතයි. එහෙත් ඉක්මන කොටයි යන කියමන සැබෑ කරමින් දෙනකම් නොසිට බලෙන් ගැනීමට ගිය එතුමාට අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ කීවා සේ ෆීල්ඩ් මාෂල් සිහිනය පමණක් නොව ජෙනරල් තනතුර හා විශ්‍රාම වැටුපද අහිමි විය.

දැන් ඇත්තේ අලුත් ආණ්ඩුවකි; අලුත් ජනාධිපති වරයෙකි; අලුත් ආරක්‍ෂක ලේකම් වරයෙකි. මේ අලුත් ආණ්ඩුවෙන් තමන් ජීවිත කාලයක් සිහින මැවූ ෆීල්ඩ් මාෂල් තනතුර ලැබේ යැයි සරත් ෆොන්සේකා මහතා සිතුවොත් එහි කිසි වැරද්දක් නැත - අලුත් ආණ්ඩුව රට පාලනය පසෙක තබා යහපාලනය කරන බැවිණි.


එහෙත් දැන් ජනමාධ්‍යයේ කරනම් ගසන පසුගිය කාලයේ සොයාගත් සබුද්ධික වෘත්තිකයන් ඇතුළු පිරිසට අප අයත් නොවන ළිං මැඩියන් බැවින්දෝ අපට අමුතු අදහස් පහළ වේ.

යෝජනාව

ෆීල්ඩ් මාෂල් ය කී විට අපට එක වර සිහියට එන්නේ උතුරු අප්‍රිකානු කලාපය පුරා පුරා තම අණසක පැවැත්වූ තම නම ඇසුණු පමණින් සතුරු බලමුළු පසු බැස්වූ අ'වින් රොමෙල් ය - නෝමන්ඩි වෙරළට ගොඩ බට දශලක්‍ෂ සංඛ්‍යාත ඒකාබද්ධ හමුදාවකට අණ දුන් මොන්ට්ගොමරි ය. ෆීල්ඩ් මාෂල් නාමයට නියම සුදුසුකම් ඇත්තෝ ඔවුහුය. මේජර් ජෙනරල් වරු දුසිමක් පමණ සිටින, බ්‍රිගේඩියර්වරුන් කිහිප දෙනෙක් විසින් අණ දෙන සේනාංක කිහිපයකින් සුසැදි, ලක්‍ෂ තුනක පමණ හමුදාවක් විසින් ෆීල්ඩ් මාෂල් වරයෙක් නම් කිරීම විහිළුවක් වශයෙන් දෙවැනි වෙතොත් ඒ ඉඩී අමින් විසින් තමාවම ෆීල්ඩ් මාෂල් ලෙස නම් කර ගැනීමට පමණි.

ලක්‍ෂ තුනක හමුදාවකට අණ දෙමින් යන්තම් පහළොස් දාහකට නොවැඩි නිල නොවන කැලෑ හමුදාවක් පරාජය කිරීම වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් තනතුර ලබා දෙන්නේනම් ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ප්‍රමුඛ කෝටි ගණනක හමුදාවක් හා සටන් කර නැවත නැවත පරාජය කර සංත්‍රාසයට පත් කළ අ'වින් රොමෙල්ට සර්වබලධාරී දෙවියන් වහන්සේය කීවත් මදි මිස ඇති නොවේ.

ඒ නිසා ලෝකයට විහිළුවක් නොවීම පිණිසත් අපේ යුගයේ යුධ වීරයාගේ දොළදුක සංසින්දුවිම පිණිසත් දෙතිස් කතාවට යෝජනාවක් ඇත. සබුද්ධික මහජනතාවගෙන් කෙනෙක් වැරදීමකින් හෝ දෙතිස් කතාව කියවා මෙය දුටුවොත් ජනාධිපති තුමාට රපොර්තු කර මෙය ක්‍රියාත්මක කරත්වා !

ෆීල්ඩ් මාෂල් වෙනුවට ...

ෆීල්ඩ් යනු කෙත්ය. සුද්දා පැඩි ෆීල්ඩ් යැයි අපේ වෙල්/ කුඹුරු වලට කිව්වේ ඒ අරුතිණි. බුදුරජාණන් වහන්සේ මගධ කෙත පෙන්වා ආනන්ද හිමිට එහි ලියැදි පිහිටුවා ඇති ආකාරයෙන් සිවුර සකස් කර ගැනීමට අනුදැන වදාළහ. දෙවෙනි ලෝක යුද්ධයේදී අ'වින් රොමෙල්ලා, මොන්ට්ගොමරි ලා වැඩ පෙන්නීමට පෙර භාරතයේ මහා රණශුරයන් වූ අර්ජුන ප්‍රමුඛ පංච පාණ්ඩවයන් මහා බලවත් ගංගා පුත්‍ර භීෂ්ම ප්‍රමුඛ කෞරවයන් හා යුධ කළේ කුරු කෙතේදී ය. ඒ නිසා කෙත හෙවත් වෙල යන හෙළ වදන ෆීල්ඩ් යන පර වදනට අත්‍යන්තයෙන්ම ගැලපේ.

එසේම, මාෂල් යනු ආඥා කරන තැනැත්තා, විධාන දෙන තැනැත්තා, ප්‍රධාන සැළසුම් සකස් කරන තැනැත්තා, වැනි අර්ථයන්හි යෙදේ. විශේෂයෙන් ක්‍රමෝපාය නිර්ණය කිරීම මාෂල්වරු කරත්. අපේ සංස්කෘතියේ මෙය කළේ සැළසුම් කරන විධාන දෙන නිලධරයා හඳුන්වන නම විදානේය. උදාහරණයක් ලෙස වැවෙන් දියවර නිකුත් කරන්නේ කවදාද, කොපමණ කාලයකට, කොපමණ වපසරියකට ජලය ප්‍රමාණවත් වේද, ආදිය පිළිබඳ තීන්දු තීරණ ගත්තේ වැව් විදානේය. ඔහුගේ තීරණයට මහරජු පවා අභියෝග කළේ නැත. ඒ නිසා විදානේ යන තනතුර ඉතා බලවත් තනතුරකි.

ඉහත කරුණු සළකා බලා ෆීල්ඩ් මාෂල් තනතුරට අසාධාරණයක් නොවීම පිණිසත් හිටපු යුධ විරුවාගේ දොළ දුක් සංසිඳීම පිණිසත් ලෝකයා ඉදිරියේ විහිළු සපයන්නන් නොවීම පිණිසත් ශ්‍රී ලංකික අනන්‍යතාවය රැකෙනු පිණිසත් හිටපු ජනරාල් සරත් ෆොන්සේකා මැති තුමාට වෙල් විදානේ තනතුර ප්‍රදානය කරන ලෙස දෙතිස් කතාව ශ්‍රී ලංකා රජයෙනුත් අභිනව ජනාධිපති තුමාගෙනුත් ගෞරව බහුමානයෙන් යුතුව ඉල්ලා සිටී.

22 comments:

  1. හික් !
    හිනා කාල පණ යනවා හලෝ ! හිනා වෙලා වෙලා මගේ පපුවත් රිදෙනවා.

    ReplyDelete
  2. දැන් ඔබ වැන්නවුන්ට යුධ ජයග්‍රහණය විහිළුවක් වෙලා... මහින්ද බලයේ ඉන්නකල් ඒක මහා දෙයක් .... දැන් ඒක කරපු හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් විහිලුවක් වෙලා.... මං හිතන්නේ ඔවුන් ඔබ වැන්නවුන්ගෙන් කිසිදු අගය කිරීමක් බලාගෙන මේ දේ කරේ නැති නිසා ඒක කමක් නැහැ.... කොහොමත් ඒක අතීතයේ දෙයක්.... හැමෝම හැම දේට ම ඒකග වෙන්නෙත් නැහැ... ඒකග වෙන්න ඔ්නත් නැහැ..... ඒකග වුණා කියලා වැඩකුත් නැහැ............

    ReplyDelete
    Replies
    1. අප (කණිෂ්කද ඇතුළුව) ඔහුට හමුදා සෙබළකු ලෙස කිසිදා නින්දා කොට නැත. චන්දය (2010) පවතිත්දී සහ ඔහු පරාජය වූ විටත් අපට ඔහු අපගේ ජෙනරල් සරත් ෆොන්සේකා විය. නමත් ඔහු දේශපාලන විකටයෙකි.( සමාවන්න) ඔහු එය තවම නිමා කර නැත.

      කණිෂ්කගේ අර්ථ දැක්වීමේ අඩුවක්ද නැත. එය සිංහල අපට මැනවින් ගැලපේ.

      The origin of the term dates to the early Middle Ages, originally meaning the keeper of the king's horses (from Old German Marh-scalc = "horse-servant"), from the time of the early Frankish kings.

      (http://en.wikipedia.org/wiki/Field_marshal)

      අසුන් බලන්නා කියනවට වඩා "වෙල් විදානේ " කොච්චර නම් නම්බුයිද හිටං .

      Delete
    2. මිතුර,

      ඔබ "ඔබ වැන්නවුන්" ගැන කතා කරයි. අප වැන්නවුන් ගැන ඔබ දන්නේ මොනවාද අසන්නට අපට සිත් වෙයි. ඇත්ත වශයෙන් අප වැන්නවුන් ගැන ඔබ කිසිවක් දන්නේ නැත.

      අපට යුධ ජයග්‍රහණය විහිළුවක් වී නැත. යුධ ජයග්‍රහණය ලැබිය හැකිය සහ ලැබිය යුතුය ලෙස සැමදා සිතා සිටි, එසේම තිබේය කියා කියන ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයට ඇති එකම විසඳුම ලෙස එය දුටු අපට එය කිසිදා විහිළුවක් වන්නේද නොවේ. යුධ ජයග්‍රහණය විහිළුවක් බවට පත් කර ගත් අය විසිනි "ඕනේ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්", "අලිමංකඩ කියල පාමංකඩ යනවා", "තොප්පිගල කියන්නේ කැලෑවක්" ආදී ප්‍රකාශ නිකුත් කෙරෙන්නේ. ඔබ ඒ සංගමයට ඇතුලත් ද යන්න නම් අප දන්නේ නැත.

      හමුදාව පිළිබඳව අපට කිසිදා ගැටළුවක් නොතිබිණි. අපට සැමදා ගැටළුව තිබුණේ හමුදාවට ඉහළින් සිට එය මෙහෙයවන පුද්ගලයින් සමගයි. එදා J.R.ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ මෙය කොල්ලන් දෙතුන් දෙනෙකුගේ දඩබ්බර කමකි. ඊට මුහුණ දීමේ හැකියාව ලංකා හමුදාවට ඕනෑවට වඩා තිබිණි. මේ කරුණේදී සමාවක් ලැබිය හැකි එකම ජනාධිපතිවරයා ප්‍රේමදාස වේ. ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදය සහ ඊට එරෙහිව ඇති වුණු රාජිත සේනාරත්න ආදී සාන්තුවරුන්ගෙන් සුසැදි ප්‍රා, කහ බළල්ලු, කළු බළල්ලු, කොළ කොටි ආදී විවිධ කණ්ඩායම් වල ත්‍රස්තවාදය අවසන් කර උතුරට හැරෙන විටම ඔහුගේ දිවි ගමන ආමර් වීදියෙන් කෙළවර විය.

      උතුරේ දෙමළ කැරැල්ල පිළිබඳව නිවැරදි මතයක සිටිනු අප දුටුවේ ජනාධිපති විජේතුංග පමණි. එහෙත් සිරිසේනට වඩා නිකමෙක් වූ ඔහුගෙන් යමක් බලාපොරොත්තු වීම මෝඩ කමකි. දෙමළ ජාතිවාදය හා සමග හඳපානේ පැනගිය චන්ද්‍රිකා පිළිබඳව කතා කිරීම පළක් නැත. කළ යුතු දේ හරියට කළේ ජනාධිපති මහින්ද පමණි. එය කර ගැනීමට මෙතරම් කලක් ගත වීම ශ්‍රී ලංකා හමුදාවේ හෝ හිටපු හමුදාපතිවරුන්ගේ හෝ වැරද්දක් නොවේ.

      හමුදාවට සැමදාම කළ හැකිව තිබූ දේ කිරීමට ඉඩ නුදුන්නේ පෙර සිටි පාලකයින් ය. ජනාධිපති රාජපක්‍ෂ හමුදාවට කළ හැකි, කළ යුතු දේ කිරීමට අවසර ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයකි 2009 දී ලද මේ ජයග්‍රහණය, එසේම රාජපක්‍ෂ 2015 දී ලද පරාජය එහි අතුරුඵලයක් බවද මෙහිදී සැළකුව මනාය.

      දැන් විහිළු ගැන කතා කරමු.

      යුධ ජයග්‍රහණය ලබන විට සරත් ෆොන්සේකා මහතා යුධ හමුදාපතිය. ජයග්‍රහණයට ඔහුගේ දායකත්වයක් ඇත. ඒ පිළිබඳ ඔහු කෙරේ අප තුල ගෞරවයක් ද ඇත. එහෙත් ඔහු සහ දැන් ඔහු වටා භ්‍රමණය වන ග්‍රහයින් පහසුවෙන් අමතක කරන දේ නම් යුධ ජයග්‍රහණය හමුදාපති සරත් ෆොන්සේකා විසින් තමාගේ පතළ මහා කරුණාව හේතුවෙන් අපට ලබා දුන් හිඟමනක් නොවන බවයි. ඔහු පමණක් නොව හිටපු ජනාධිපති ද මේ අදහසම දැරීය. රාජපක්‍ෂ සිතුවේ 2009 ජය හේතුවෙන් ඔහුව ජනාධිපති පුටුවේ වාඩි කිරීමට ජනතාව තීන්දු කළ බවයි.

      අපේ සිතුවිළි පරම්පරාව ඊට වඩා වෙනස්ය. අප යුධ ජය වෙනුවෙන් ඔහුට මනාපය දුන්නේ 2009 නොව 2005 දීය.

      සරත් ෆොන්සේකා හමුදාපති ධුරයෙන් ඉවත් වූ පසු කළේ තම රාජකාරි සමයේ කළා යැයි අප සිතා සිටි දේට පටහැනි දේ ය. පැහැදිළිවම තමාගේ ක්‍රියා මාර්ග විසින් තමාම දායක වී ලබා ගත් යුධ ජයග්‍රහණය විහිළුවට ලක් කළේ ඔහුය - අප නොවේ.

      හෙතෙම වරෙක කොටි නායකයින් සුදු කොඩි රැගෙන පැමිණි බව කියයි. වරෙක තමා එසේ නොකී බව කියයි. පසුව තමා ඒ බව දැන ගත්තේ යුධ බිමේ සිටි මාධ්‍යවේදීන් වෙතින් බව කියයි. ගෝඨාභය විසින් ජනමාධ්‍යවේදීන්ට ද ඇසෙන සේ දුරකථනයෙන් ශවේන්ද්‍රට සිල්වාට ද යුධ කරනාකාරය කියා දුන් (හෙවත් සුදු කොඩි රැගෙන පැමිණි LTTE ත්‍රස්තවාදී නායකයින්ට වෙඩි තබන ලෙසට උපදෙස් දුන්) බව කී දින අප තුල ඔහු කෙරේ පැවති ගෞරවය සුන් විය.

      සුදු කොඩි රැගෙන ආවත් ත්‍රස්තවාදී නම් ත්‍රස්තවාදීමය. අතේ ඇති සුදු කොඩිය බඩේ බෝම්බයක් නැති බවට දෙන සහතිකයක් නොවේ. ඒ නිසා ගිණි පෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරියාටත් බයයි කීවා සේ සුදු කොඩි රැගෙන එන ත්‍රස්තවාදීන්ට වෙඩි තැබීමට මම අණ දුන්මි'යි කීවානම් අපේ ගෞරවය තවමත් ඔහු කෙරේ වේ.

      ඒ වෙනුවට ඔහු කළේ ඇමරිකානු රජයේ ශාක්ෂිකරු වී තමා යුධ හමුදාපති තනතුරට පත් කිරීමට උපස්තම්භක වූ පුද්ගලයා පාවා දීමට කටයුතු කිරීමයි. එසේ කරන විට හමුදාවට ජයග්‍රහණයට අණ දුන්නේ තමාමය කියා කියන මේ ආඩම්බර කමට වදින පහරවත් නොපෙනෙන තරම් මේ පුද්ගලයා වෛරයෙන් අන්ධ වී සිටියේය. එසේ තමා හමුදාපති ධුරය දරන හමුදාවේ සේනාකාධිපති වරයෙකුට හමුදාවේ ධුරාවලියට පිට කෙනෙක් නියෝග ලබා දේ නම්, ඒ නියෝග අනුව ඒ සේනාංකාධිපති වරු කරයුතු කරත් නම් ඉන් පෙනෙන්නේ හමුදාපති වරයා නිවටයෙකු බවයි. එවැනි නිවටයෙකුට ෆීල්ඩ් මාෂල් කමක් .... අයියෝ සිරිසේන !!!

      ඔබේ ඇස් ඇරවිමෙන් පසු අපට දැන් සිතෙන්නේ අප විසින් පල කරන්නට යෙදුනු ඉහත ලිපිය ගෞරවනීය වෙල් විදානේලාට කෙරෙන අපහාසයක් බවයි. වෙල් විදානේලා දැන් රටේ නැති එක අපේ වාසනාව !

      Delete
    3. යාළුවා, ඔය කියන දේ ගැන එක අකුරක පිල්ලමකවත් වැරද්දක් මම දකින්නේ නෑ, ඒත් මටනම් මේ දේශපාලනේ එපා වෙලා තියෙන්නේ. චන්දෙට ඉස්සර මම LcN එකේ දාපු ගොඩක් දේවල් පල උනේ නෑ. ඒක එයාලගේ මාධ්‍ය නිදහස. මම SF ගැන ඉස්සර තරම් නොපැහැදීමක් දැන් නෑ. මට හිතෙනවා මිනිහ ටික ටික යථා තත්වයට පත් වේගෙන එනවා කියල. මිනිහගේ වෛරය තිබුණේ රාජපක්‍ෂලත් එක්ක. දැන් රාජපක්‍ෂලා පුටුව පල්ලේ වැට්ටුවට පස්සේ මිනිහ පිස්සු කෙළින එක නවත්තයි. ඒ නිසා 'විනෝද සමයම' යටතේ දාල තියෙන මේ කතාව විනෝද සමයම යටතේම තියමු. මම මුලින් කිව්වා වගේ ... මේක හිනා වෙන්න කතාවක් විතරයි ... දේශපාලන විග්‍රහයක් කර ගන්න අවශ්‍ය නෑ.

      Delete
    4. ජෝසප් ගේ ඒ අදහස මම එක හෙලාම අනුමත කරනවා. ලංකාවේ දේශපාලනය මේ ආසන්න මතිවරණයේ ප්‍රතිපලය සමග ලංඋනේ කිසිසේත්ම අපේක්ශා නොකල තැනකට. ඒක නිසා දැන් මේ පවතින තත්වය ගැන සාකච්චා හෝ විග්‍රහ කිරීමට මම නම් සම්පුර්ණයෙන්ම අකැමැතියි.
      සීනිව්ස් ගැන තත්වයත් ඒකමයි මම අර චූටි බේබි ගෙන්වපු මස් පරුවත නළු බට්ටා ගැන ලියූ විට වුන් ඒක පල කලේ නැහැ.දෙවෙනි වතාවට ලියූ විට අදහසින් උපුටා ගත් එක පේලියක් පමණක් මගේ නම යටතේ පල කලා. ඒ මාධ්‍ය නිදහස.
      ෆොන්සේකා මහතා මම ඇත්තෙන්ම යුධ ජයග්‍රහනයේ ප්‍රභල පාර්ශවකරුවෙකු ලෙස ගරු කරන කෙනෙක්. හැබැයි ඔහුගේ හිස් දේශපාලනය ගැන මා කථා කරන්නේ නැහැ.
      කොහොම වුවත් මේ කථාව හුදු විනොද සමයම ලිපියක් වෙනවානම් මමත් බොහෝම කැමතියි.
      වැඩි දුර සාකච්චාවට සුදුසු නැහැ කියන මතයේ මම ඉන්නේ,

      Delete
    5. කඩේ ආයෙත් වහල වගේ... හික් !
      චන්ඩිය බය වෙලා ... හූ හූ හූ !!!

      Delete
    6. "දැන් ඔබ වැන්නවුන්ට යුධ ජයග්‍රහණය විහිළුවක් වෙලා... මහින්ද බලයේ ඉන්නකල් ඒක මහා දෙයක් .... දැන් ඒක කරපු හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් විහිලුවක් වෙලා...." යන නොහොබිනා ප්‍රකාශය අපට ඉහත දිගු පිළිතුර ලිවීමට පෙළඹවීමක් කළේය. ඒ හැර දේශපාලන විග්‍රහයක් මෙහි නැත.

      සරත් ෆොන්සේකා මහතාට ඔහුගේ තනතුරු, නම්බුනාම සහ විශ්‍රාම වැටුප නැවත හිමි විය යුතු බව කවදත් අපේ පැතුම විය. මේ ලියන මොහොත වන විට දින සීයේ මෛත්‍රීපාල ණය ක්‍රමය යටතේ ඒවා නැවත ලැබී ඇති බවටයි ආරංචි. එය හොඳකි; ඒ දේ රාජපක්‍ෂ පාලනයක් යටතේ විණි නම් වඩාත් හොඳය. මිතුරු ජොසෙෆ් සඳහන් කළ ලෙසම මේ වසර හතරට ඔහු බොහෝ පරිණත වී ඇති බව පෙනේ. නෙල්සන් මැන්ඩෙලා, මෝහන්දාස් ගාන්ධි ආදීන් පරිණත වූයේ හිර ගෙයිදීය. එයම සරත් ෆොන්සේකා විෂයේද ක්‍රියාත්මක වී ඇති අයුරක් පෙනේ.

      එතුමාට අර අප යෝජනා කළ නාමය ලබා දී ඇති බවට ආරංචියක් වේද?

      Delete
  3. මට හිතුණු දෙයක්.
    කුරුළු බෙටි වැටෙන තැන් වල පිළිම හැදීම ගැන සංවාදයක් (හරියට බැලුවොත් විවාදයක්) ගියා ටික කාලෙකට ඉස්සර LcN එකේ. හෙවුවොත් හොයා ගන්න බැරි නෑ. මට ඒක මතක් උනා "බුදුපිළිම" site එකට දාල තියෙන photo link එක දැකලා. මම හිතන්නේ මේ පිළිමයේ පින්තූරය මෙතැනට සුදුසු නෑ.

    ReplyDelete
    Replies
    1. දැං මේ බම්බු දේශපාලනේ කථා කලා ඇති කියල හිටං මට හිතෙන්නේ.

      නරකද කලින් ලිපියේ ඇනෝගෙයි ජගත්ගෙයි ප්‍රශ්ණ ටිඅකක් සාකච්චාවට ගත්තොත්.

      ජෝසප්, සී නිව්ස් එකේත් අලුත් බෞද්ධ ලිපියක් තියෙනවා දකින්න ඇති ලේකඛයා සම්මානිත මහාචාර්‍ය DSc උපාධිධාරී අමරතුංග මහතා.

      Delete
    2. බුදුපිළිම වෙබ් අඩවිය වෙත දමා ඇති ඒදණ්ඩ වෙනස් කරන්නම්.

      Delete
  4. මට ආගමික ගැටලුවක් තියෙනවා
    බිම් බෝම්බයක් මී කතුරක් වගේ දෙයක් අටවා සතෙක් මැරුවොත් ප්‍රානගාත අකුසලයක් වෙන්නෙ නැද්ද?
    මට හිතෙන හැටියටනම් එතනදී ප්‍රානගාත යකට අවශ්‍ය කෙින්දේසි සම්පූර්ණ වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. මෙය අපටත් තිබූ ගැටළුවක්. ඇත්ත වශයෙන් අපට තිබූ ගැටළුව ඔබ ඉදිරිපත් කරන දේට වඩා සංකීර්ණ එකක්.
      දෙවන ලෝක යුධ සමයේ හෙළූ සමහර බෝම්බ තවමත් නොපිපිරී තිබෙන බව අප ඇසුවේ 1980-90 ගණන් වල. ඒවා ගුවනින් හෙළීමට හවුල් වූවන් මිය ගිය පසුත් ඒ බෝම්බ පිපිරී මිනිසුන් මිය ගිය අවස්ථා තිබුණා. වියට්නාමයේ තත්වයත් එයමයි. මෙවැනි අවස්ථා වල ඝාතකයා මිය ගිය පසු ඝාතනයට පව් සිදු වන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක්.

      මීට පිළිතුර අපට ලැබුණේ ගරුතර රේරුකානේ චන්දවිමල නාහිමිගේ ග්‍රන්ථයකින්. සිතුවිළි, ඔබට මතකයක් ඇත්නම් එහි නම ඉදිරිපත් කරන්න.

      පිළිතුර නම් පාපය දැනටමත් සිදු වී අවසන්.

      මී කතුරක් අටවන්නේ පණ ඇති සතෙක් වන මීයා එයට අසු කර මරණ චේතනාවෙන්ම නිසා එයට සතෙක් අසු වී මිය යා නම් එම උගුල අටවන අවස්ථාවේදීම පාපය සිදු වී අවසන් බවයි ඒ පොතට අනුව පිළිතුර. එහෙත් සතා අසු වී මිය නොගියොත්, නැතිනම් උගුල බිඳී යාම නිසා සතෙක් අසු නොවුණොත් ප්‍රාණ ඝාත අකුශලයක් සිදු නොවන බව එහි දක්වා තිබුණා. එය කියැවූ දින වල ඊට එරෙහිව දහසක් තර්ක නැගීමට අවස්ථාව තිබුණත් දැන් නම් එය නිවැරදි පිළිතුර ලෙස පිළිගැනීමට තරම් "අපගේ බුදුදහම" පරිණාමය වී ඇත.

      Delete
    2. කණිෂ්ක,
      ඔබගේ පිළිතුර නිවැරදියි,
      එය සඳහන් වනුයේ රේරුකානේ හිමියන්ගේ "බෞද්ධයාගේ අත්පොත " නම් කෘතියෙහිය.
      එහි පිටු අංක 50 හි පහත ඡේදය වෙයි.

      යම්කිසි සත්ත්වයෙකු මරණ අදහසින් වෙඩි තැබූ කල්හීඅ සතාට නොවැදී බලාපොරොත්තු නොවූ අන් සතෙකුට වැදී මළේද, එයින් වෙඩි තැබූ තනැත්තාට ප්‍රාණඝාත කර්මය නොවේ. ඒ සත්ත්වයා මරණු කැමැත්තක් නැති බැවිනි. මරනු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්ත්වයා නොමළේ නම්, එයින්ද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. වෙඩි වැදුණු සත්ත්වයා අවුරුදු ගනනකින් වුවද, ඒ වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ නම්, වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ කෙණෙහිම, සත්ත්වයා මැරෙන්නට කලින්ම ප්‍රාණඝාත කර්මය සිදුවේ.

      තවද පිටු අංක 52 / 53 මෙසේ කියයි.
      ස්ථාවර ප්‍රයෝග ගැන දත යුතු කරුණු.
      යම් සත්ත්වයෙකු මැරීම පිණිස උගුල් ඇටවීම් ආදී ස්ථාවර ප්‍රයෝග කරන ලද කල්හී ඒ සත්ත්වයාගේ මරනයෙන්ම ප්‍රයෝග කල තැනැත්තාට ප්‍රාණඝාත කර්මය වේ.අන් සත්ත්වයෙකු හසු වී මලේද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. නියමයක් නැතිව ඇටවූ උගුලට හසුවී කවර සත්ත්වයෙකු වුවද මළ හොත් ප්‍රාණඝාත කර්මය වේ. නියමයක් නැතිව සතුන් මැරීමට වළක් කපා තැබුවහොත්, ඒ වල පවත්නා තුරුම එහි වැටී මැරෙනා සත්ත්ව ගණනට ප්‍රාණඝාත කර්ම වල කැණුවහුට වේ.

      ඒ අනුව කණිෂ්කගේ පැනයන් ගැන මට මෙසේ සිතේ.
      ජපානයට බෝම්බ හෙලූ ඇමරිකානුවා බෝම්බය හෙලුවේ ජපනුන් මරමි කියා නම් වසර 50කට පසු හෝ එම බෝම්බය පුපුරා මිය යන ජපනුන් ගනනට ඔහු ප්‍රාණඝාත කර ගනී. එසේම එම බෝම්බයෙන් සුද්දෙකු හෝ චීනෙකු මලහොත් එහි අකුසලයක් නැත.

      එසේම මිණීමරු ත්‍රස්ත නායකයා ඉලක්ක කොට අදනම් මූ මරමියි කියා ගුවන් භටයෙකු හෙලන බෝම්බයෙන් මහ ත්‍රස්තයා බේරී අවශේශයෙකු මිය ගියහොත් භටයාට ප්‍රාණඝාතයක් නැත.

      චන්ද්‍රිකා මරන්නට බෝම්බය තැබූ එකා එසේ කලේ හැකිතරමක් දෙනා මරමි කියා නම් ප්‍රාණඝාතය ඇත චන්ද්‍රිකාවම මරමි කියා නම් කීදෙනෙකු ඉන් මලේද ප්‍රාණඝාතයක් නැත.

      Delete
    3. දිවා රෑ පින් වැඩෙන පිංකම් ලෙස හඳුන්වන, පින්තාලි තැබීම - ළිං කැණීම - වැව් පොකුණු තැනවීම - පිළිසකර කරවීම - අම්බලම් තැනීම ආදී පිංකම් කොටසක් සිංහලයින් විසින් බොහෝ අගේ කොට සළකත්. අපේ පැරැන්නෝ මෙවැනි පිංකම් කෙරේ මහත් ලොල් බවක් දැක්වූහ. පන්සල් විහාරාරාම තැනීම, පිළිම තැනීම ආදියත් මේ ගණයේම ලා සැළකිය හැක.

      මේවායේ විශේෂත්වය නම් චිරාත් කාලයක්, ඒ පින කළ සුධිමතා කාලක්‍රියා කළ පසුවත්, ඒ පිංකමේ ප්‍රතිඵල ග්‍රාහකයින් එහි ප්‍රතිඵල භුක්ති විඳීමයි. ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ අරමුදල ආරම්භ කිරීම, තමාගේ වියදමින් කළේනම්, මෙවැනි බලවත් පිංකමකි. සොයිසා රෝහල තනවා පරිත්‍යාග කළ සොයිසා මහතාත් නවලෝක රෝහල තැනවූ ධර්මදාස මුදලාලිත් සළකන්න. දෙදෙනාම කළේ මූලික වශයෙන් එකම දේය. එහෙත් නවලෝක මුදලාලි විසින් ලබා ගත් පින ඉතාම අල්පයි.

      ආමිස දාන අතුරින් ඉතාම බලවත් දානය අභයදානයයි. ඉහත පිංකම් සියල්ලෙන් කෙරෙන්නේ අනාගත පරම්පරා ගණනාවක ලක්‍ෂ සංඛ්‍යාත සත්ත්වයන්ගේ භය දුරු කිරීමයි. මින්නේරි වැව ඇතුළු මහා වැව් ගණනාවක් තැනවූ මහසෙන් රජතුමා මින්නේරි දෙවියන් ලෙස දේවත්වයට පත් කිරීම මහාවංශ කතෘගේ හිතළුවක් නම් නොවේ.

      දැන් උගුල් ඇටවීම වෙතට එමු.

      එක සත්ත්වයෙක් ඉලක්ක කර වෙඩි තැබිය හැක. එහෙත් බෝම්බ ගැසිය නොහැක. උගුල් ඇටවීමත් එසේමය. ජනාධිපති ෆිඩෙල් කැස්ත්‍රෝ මරා දැමීම පිණිස එක්සත් ජනපද මධ්‍යම බුද්ධි කාර්යාංශය නොයෙක් උපක්‍රම යෙදීය. ඒවා බොහොමයක් ඔහුම ඉලක්ක කර කළ දේය. ඒවා සාර්ථක වී නම් ඒවා සැළසුම් කළ තැනැත්තහුට ප්‍රාණඝාත අකුශලය සිදු වේ. වෙන කෙනෙක් මළොත් ඒ අකුශලය සිදු නොවී සුළු අකුශලයක් පමණක් සිදු වේ. එහෙත් චන්ද්‍රිකා ගේ බෝම්බය සම්බන්ධයෙන් එය සත්‍ය නොවේ. චන්ද්‍රිකා මලපහ කරමින් සිටින විට වැසිකිළිය තුල අඩි 6 පමණ පරාසයක බෝම්බයක් පත්තු කර ඈ ඝාතනය කිරීමට සැළසුම් කළේනම් ඔබේ කතාව පිළිගත හැක. මහජන රැස්වීමක බෝම්බයක් පත්තු කර එකෙක් පමණක් මැරීමට මගේ චේතනාව වී යැයි කීම යමරජුත් සිනා ගන්වන මට්ටමේ විහිළුවකි.

      Delete
  5. මට හිතෙන්නේ මෙතනදී අකුසලයක් වෙනවා හැබැයි ඒ ප්‍රාණ ඝාත අකුසලයක් නෙමෙයි.
    මෙතන තව ගැටලුවක් තියෙනවා මී කතුරක් අටවන විටම පාපයක් වෙනවා නම් ඒ මී කතුරට සතෙක් අහුවුනේ නැත්නම් ඒ පව සමා වෙනවද?

    ReplyDelete
    Replies
    1. ජගත්,
      මෙතැනදී මට වැටහෙන හැටියට නම් මී කතුර අටවන තැනැත්තාගේ අරමුණ ඉලක්ක ගත මීයෙකු හෝ කිසියම්ම වූ මීයෙකු ඝාතනය කිරීමයි.
      එහිදී ඝාතනයට යොදන උපාය මී කතුර ඇටවීමයි එය සිත දූශ්‍ය කරවන අකුසල් සිතක්. ප්‍රාණඝාතය සිදු වුවත් නැතත් අකුසලයක් සිදුවී හමාරයි. එහෙත් එම උගුලට හසු වී මීයෙකු මිය ගියහොත් එතැනදී ප්‍රාණඝාතය සම්පූර්ණ වනවා.
      එහෙත් යම් හෙයකින් එයට හසුව මිය ගියේ ලේනෙකු නම්,එතැනදී ප්‍රාණඝාත අකුසලයක් සම්පූර්ණ වන්නේ නැහැ.
      මේ දහමේ උගන්වන විදිය මිසක් අප කිසිවෙකු ප්‍රත්‍යක්ෂ ලෙස වටහා ගත්තක් නොවෙයිනේ. ඉතින් කර්ම සංකල්පය ගැන මෙහෙම දිගින් දිගට විමසීම මට නම් හිතෙන්නේ අසීරු කාරණයක්. යම් දුරකට නිරර්ථක ප්‍රයත්නයක්.

      Delete
    2. රේරුකානේ හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොතට අනුව පිළිතුර:
      1. "මී කතුරක් අටවන්නේ පණ ඇති සතෙක් වන මීයා එයට අසු කර මරණ චේතනාවෙන්ම නිසා එයට සතෙක් අසු වී මිය යා නම් එම උගුල අටවන අවස්ථාවේදීම පාපය සිදු වී අවසන්"
      2. "එහෙත් සතා අසු වී මිය නොගියොත්, නැතිනම් උගුල බිඳී යාම නිසා සතෙක් අසු නොවුණොත් ප්‍රාණ ඝාත අකුශලයක් සිදු නොවන බව එහි දක්වා තිබුණා."

      Delete
    3. මේ ප්‍රශ්න පැන නගින්නේ, සිතුවිළි, තවම අවබෝධයට පත් වී නැති අපටයි. අවබෝධයට පත් වූවහුට මෙවැනි ප්‍රශ්න ඇති නොවේ. හැරත්, කර්ම විෂය අපට විෂය නොවේ - එය බුද්ධ විෂයකි.

      Delete
  6. කර්මය සම්බන්ධයෙන් "කාල හීය" නම් සංකල්පය වලංගු නැති බවද මේකෙන් කියවෙන්නේ.
    අනාගතයේ වන දෙයක් නිසා වර්තමානයේ කර්මයක් සිදුවෙනවා කියන එක අපූරු අදහසක්.
    එතකොට අනාගතයේ කරන කර්මයක විපාක අතීතයේ ලැබෙන්න පුලුවන් කියා සංකල්පයකුත් ගොඩනඟන්න බැරිද
    නැතිනම් ගණිතසේ සඳහන් අතාත්වික සංඛ්‍යා වගේ මෙතනත් අතාත්වික කර්මයක් සිදුවෙනවා කියා සලකලා මීයා අහුවුනාම ඒක තාත්වික කර්මයක් වෙනවා වගේ අදහසකුත් හදන්න පුලුවන් නේද?

    ReplyDelete
    Replies
    1. කාල හීය බටහිර විද්‍යාත්මක දැනුමට අනුව නිර්මාණය කෙරුණු සංකල්පයක්. කර්මය එයින් විග්‍රහ කළ හැකි යැයි අප විශ්වාස කරන්නේ නෑ.

      * කර්ම මිනිය හැකිද ?
      * කර්ම මනින ඒකකය කුමක්ද ?
      * මේ ප්‍රශ්න මෝඩ ප්‍රශ්න බවද ඔබ සිතන්නේ?

      ඔබ කාල හීය පිළිබඳව මතු කරන විට අපට සිතෙන්නේ ඔබ කර්මය මිනිය හැකි දෙයක් ලෙස සිතාගෙන ප්‍රශ්න නගන බවයි.
      ------

      බොහෝ දෙනා "චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි" යන බුදු වදන වැරදි ලෙස වටහාගෙන ඇත යන්න අපේ අදහසයි. කර්මය යනු චේතනාව නොවේ - කර්මය යනු ක්‍රියාවයි. ක්‍රියාව කරන මොහොතේ එහි චේතනාවට අනුව (ඉහත බුදුවදන අදාළ වන්නේ මෙතැනටයි) විපාකය (පින හෝ පව) සකස් වී අවසන්. මේ අනුව කිව හැක්කේ මහසෙන් රජුට පින අත් වන්නේ ඔහු වැව සෑදූ මොහොතේ මිස මා ඒ වැවෙන් දිය බිව් මොහොතේ නොවන බවයි. අපේ පැරැන්නන් මෙවැනි දේ සෑදුවේ ඉර-හඳ පවත්නා තාක් පවතින ලෙස, එසේම සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා යන මෛත්‍රී චේතනාව පෙරදැරිව. ඒ නිසා ඒ පින ඒ මොහොතේම, එනම් කර්මය කළ මොහොතේ අත් වනවා විනා බැංකුවේ පොලිය එකතු කරන සේ දිනය අවසානයේ ගණනය කර මාසය අවසානයේ එකතු කරන ක්‍රමයක් ඇත්තේ නෑ. එසේම මෛත්‍රී චේතනාවෙන් තැනූ වැවේ කවුරු හෝ ගිලී මළොත් ඉහත බුදු වදන අනුව මහසෙන් රජතුමාට එහි පවක් අත් වන්නේ නෑ.

      උගුල තැනීමත් විග්‍රහ වන්නේ මේ අයුරින්මයි. මා තව උදාහරණයක් දෙන්නම්.

      මරාගෙන මැරෙන බෝම්බකාරියක් හමුදාපති තුමා මරාගෙන මැරීමට පනී. යකන්දාවල විසින් යටි බඩට පයින් ගැසීම නිසා ඉලක්කය වැරදී බෝම්බකාරිය සෙත්තපෝච්චි වෙයි. හමුදාපති තුමා මැරුණේ නැත. මෙහිදී බෝම්බකාරියට ප්‍රාණඝාත අකුශලය සිදු නොවේ. (වෙනත් හමුදා සෙබළුන් ද මිය නොගියබව බව උපකල්පනය කරමු.)

      ජනාධිපති තුමා වහා මැදිහත් වී හමුදාපති තුමා සිංගප්පූරු රෝහලට යවයි. සිංගප්පූරු රෝහල ඔහුගේ දිවි බේරා ගැනීමට උත්සාහ කළත් දින කිහිපයකට පසු හමුදාපති තුමා ස්වර්ගස්ථ වෙයි. දැන් ඔබ කියන්නේ බෝම්බකාරිය මිය ගොස් ඇති නිසා ප්‍රාණඝාත අකුශලය කිසිවෙකුට හෝ අත් නොවන බවද, නැතිනම් දැන් තිරිසන් අපායේ සිටින බෝම්බකාරිය මේ නව පාපය හේතු කොටගෙන නරකාදියට යා යුතු බවද ?

      රේරුකානේ චන්දවිමල හිමි අනුගමනය කරමින් අපේ පිළිතුර වන්නේ බෝම්බකාරිය බෝම්බය පත්තු කරන මොහොතේම හමුදාපතිතුමා ඝාතනය කිරීමේ පාපය සම්පූර්ණ වී ඇති බවත් හමුදාපති තුමා සැබැවින්ම මිය යන මොහොත වන විට බෝම්බකාරිය ඒ පාපය හේතු කොටගෙන අපාගත වී ඇති බවත් ය.

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !