දකුණු දිගට යන තම ගමන නිම කළ සූර්යයා නැවත හැරී එන ගමනේ ලංකාවට මුදුන් වන්නේ මැදින් මසදීය. මෙය සාමාන්‍යයෙන් ඉංගිරිසි මාස ක්‍රමයට අනුව මාර්තු 21 වන දිනට යෙදේ. මේ හේතුවෙන් වායුගෝලය කැළඹිලි සහිත වන අතර විටින් විට වැසි ඇති වේ. අක් වැසි ලෙස හඳුන්වන මේ වැස්ස සමග ඊළඟ කන්නයට සුදානම් වීම සිංහල ගොවියාගේ සිරිතයි.
ලක්දිව පමණක් නොව දඹදිවද අස්වනු පැසෙන, අටු-කොටු (ඇතොත් ඒවා) සරු වන කාලය මේ කාලයයි.
බුද්ධත්වයෙන් පසු සත් සති ගත කර, දම්සක පවත්වා, උරුවෙල් දනව් වැඩ, තුන්බෑ ජටිලයන් දමා, රජගහ නුවරට වැඩම කළ තථාගතයන් වහන්සේ, බිම්බිසාර රජු විසින් කරවා පූජා කරන්නට යෙදුනු වේළුවනාරාම විහාරයේ මෙකල වැඩ වසති. උන් වහන්සේ හමුවට පැමිණි උපතිස්ස කෝලිත දෙමිතුරෝ පැවිද්ද ලබා උතුම් මහරහත් බැව් පසක් කොටගෙන බුදු සසුනේ අගසව් තනතුරු හොබවති. බිම්බිසාර රජුගේ විජිත වන අංග-මගධ දෙරටින් පැමිණ පැවිදි වන ජනයා බොහෝය. බුද්ධ කෝලාහලය රජගහ නුවර ප්‍රමුඛ කොට ගත් මගධ හා අගු රට පමණක් නොව දුර බැහැර ජනපද දක්වා පැතිරිණි.
සිද්ධාර්ථයන් ගිහි සැප හැරදා පැවිදි වීමට ගිය තැන් පටන් ඔහු ගැන චර පුරුෂයන් යොදා සෙවිල්ලෙන් සිටින සුද්ධෝධන මහරජු මේ බව නොදැන සිටීමට ක්‍රමයක් නැත. හැරත්, සිද්ධාර්ථ තාපසයන් දුෂ්කර ක්‍රියා කරන සමයේ සාපිපාසාවෙන් ක්ලාන්තව ඇද වැටුණු මොහොතක සිය උතුරුසළුව වහ වහා පොරොව පොරොවා දුවගෙන විත් "මහරජ ඔබේ පුත්‍රයා මළේය"යි කියා සුද්ධෝදනයන්ගේ කනේ තැබූ දෙවිවරු ඒ ගැන ඔහුට කියන්නට ඇත. කෙසේ හෝ ස්වකිය අතිජාත පුත්‍ර රත්නය තම අභිමතාර්ථ ඉෂ්ඨ සිද්ධ කරගෙන මහා බලැති බිම්බිසාර රජගෙන් අනුග්‍රහ ලබමින් යොදුන් සැටක් දුර රජගහ නුවර විසීම කපිලවස්තු නිරිඳා කුල්මත් කරන්නට ඇත. එසේ වුවත්, සය වසරකින් නුදුටු පුත්‍රයා දැක ගැනීමේ ආශාව ඒ සියල්ල පරයා නැගෙන්නට විය. සුද්ධෝදන රජු දහසක් පිරිවර සමග පුත්‍රයාට කිඹුල්වත් නුවරට පැමිණෙන ලෙස ආරාධනා කිරීම පිණිස ඇමතියෙකු යවන්නේ එබැවිණි.
දහසක් පිරිවර සමග රජගහ නුවර ගිය ඇමති තෙමේ ගියා පමණි; ඇමැතිත් නැත බුදුනුත් නැත. ඔහු පිරිවර සමග පැවිදි වූ බව රජුට දැන ගන්නට ලැබෙන්නේ අනෙකුන් මාර්ගයෙනි. තවත් ඇමතියෙක්, තවත් ඇමතියෙක් වශයෙන් සුද්ධෝදන රජු නව වාරයකදී කෘතහස්ත ඇමතිවරු නව දෙනෙක් දහසක් පිරිවර බැගින් පාවා දී රජගහ නුවරට යැවුවත් පලක් නොවීය. උන් සියළු දෙනා පැවිදිව රහත් වී බුදු පිරිවර මහත් කළා පමණි. රජුගේ දූත කාර්යය කරන කෙනෙක් නැත.
සිද්ධාර්ථයන් උපන් වෙසඟ පුන් පෝ දිනයේ උපන් අය අතර උදායි නම් ඇමතියෙක් වෙයි. ඔහු කාර්යයේ දක්ෂය, සිද්ධාර්ථයන් හා මිත්‍රය. මේ භාරධුර කාර්‍යයට වඩා සුදුස්සා ඔහු බව රජුටද දැන් දැන් වැටහෙයි. රජතෙමේ උදායි කැඳවීය, කැඳවා ඔහුට මේ කාර්‍යය පැවරීය. වර්ණයෙන් කළු වූ බැවින් කාළුදායි නම් ලත් ඇමති තෙමේ "මහරජ, මාගේ පැවිද්දට අවසර දෙතොත් ඔබේ මනදොල සපුරන්නෙමි"යි ප්‍රතිඥා දුන්නේය. "දරුව, මේ මනදොල තෝ සපුරන්නෙහි නම් සියල්ල දෙමි"යි මහරජු ද ඔහුට අවසර දින. කාළුදායි ඇමති තෙමේද සිරිත් පරිදි දහසක් පිරිවර සමග රජගහ නුවර ගොස් සිරිත් ප්‍රකාරව පැවිදිව රහත් වූහ.
මැදින් මස පුන් පොහොය එළඹිණි. කිඹුල්වතින් පැමිණ පැවිදි වූ දසදහසක් හා අගු-මගධ දෙරටින් පැවිදි වූ සාරිපුත්ත-මොග්ගල්ලාන-පූරන කාශ්‍යපාදී මහ රහතුන් ප්‍රධාන දස දහසක් සමග මෙකල බුදුරදුන් සමග සරණ මහා සංඝයා විසි දහසක් පමණ වූහ. හේමන්තය අවසන් වී පරිසරය නැවුම් වී වසන්තය එළඹෙන විට කිඹුල්වතට යාමට සුදුසු කාලය මේ බව දැන ගත් කාළුදායි මහා තෙරණුවෝ බුදු රදුන් හමුවට වැඩම කර රජගහ නුවර සිට කිඹුල්වත දක්වා සැට යොදුන් මග
"අඞ්ගාරිතො දානි දුමා භදන්තෙ එලෙසිනො ඡදනං විප්පහායයනාදී වශයෙන් ගාථා සැටකින් වර්ණනා කළේය. මහතෙරුන් වහන්සේගේ අභිප්‍රාය දැන ගත් සම්මා සම්බුදුරජාණන්වහන්සේ ගිහිකල සිට මිත්‍ර වූ බොහෝ උපකාරී වූ බිම්බිසාර මහරජුට ඒ බව දන්වා විසිදහසක් මහරහතුන් පිරිවරා කිඹුල්වත් නුවරට යන සැට යොදුන් මගට පිළිපන්හ.
තෙ අච්චිමන්තොව පහාසයන්ති සමයො මහාවීර භගීරසානං
තෘතිසිතං නාතිඋණහං නාතිදුබ්භික්ඛඡාතකං
සද්දලා හරිතා භූමි එස කාලො මහාමූනී"
බුදුරදුහු දිනකට යොදුන බැගින් වැඩම කරති. කාළුදායි තෙරුන් වහන්සේ අහසින් කිඹුල්වතට වැඩම කර සුද්ධෝදන මහ රජුට "පෙර දින බුදුරජහු මෙතෙක් තැන් ගමන් කලහ, රාත්‍රී මෙහි සැතපුනාහ, අද මෙතෙක් තැන් ගමන් කර රාත්‍රිය මෙහි නවතිනු ඇත" යනාදී වශයෙන් කියා දෙමින්, සුද්ධෝදන රජුගේ රාජ භෝජනයෙන්ම බුදුරදුන්ටත් ගෙන ගොස් වළඳවයි.
මෙසේ ඒ ලෝකනාථයන් වහන්සේ ලෝක සත්ත්වයාට සෙත සදමින් ඒ සැට යොදුන් මග දිනකට යොදුන බැගින් ගමන් කරමින්, දින සැටක් ගෙවා වෙසක් මස මැදි පෝ දින කිඹුල්වතට සැපත් වූහ. එකල කිඹුල්වත් නුවර මහා ඥාති සමාගමයක් වීය. ශාක්‍ය වංශයට මහත් අනුග්‍රහයක් විය.