Thursday, July 23, 2015

ඒකාධිපතියෙක් තෝරා පත් කර ගැනීමේ නිදහස

ඇමරිකාවෙන් අපනයනය කෙරෙන භයානකම දේ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි
ඡන්දයකින් ජය ගත යුත්තේ කවුරුන්දැයි කිසිවෙකු විමසුවහොත් පක්ෂ වන්දනා කරන්නන් හැරුනු කල ඕනෑම අයෙකුගේ පිළිතුර වනු ඇත්තේ ඒ ජනතාව බවයි. ඇත්තෙන්ම ජනතාව ඡන්ද වලින් ජයග්‍රහනය කරනවාදැයි විමසුවහොත් කීමට ඇත්තේ නැත යනුවෙනි.




ඡන්දය අතලඟ, කවුරුන් අගමැති වෙයිද


ලංකාවෙ හෝ දකුණු ආසියා කලාපයේ පමණක් නොව ලොව පුරාම මැතිවරණයකින් බල පෙරලියක් සිදුවූ සෑම අවස්ථාවකම එය ජනතා ජයග්‍රහනයක් ලෙසත්, ජනතා රජයක් ලෙසත් හුවා දැක්වීම අප කොතෙකුත් දැක ඇත්තෙමු. එහෙත් එවන් වූ ජයක් ජනතා ජයක් ලෙස පැවතියේ කුමන රටකදැයි අපට පෙන්වා දිය හැකිද? එවැනි උදාහරණ නැත.ඇතොත් ඒ ඉතාමත් අල්පයක් විය හැක.


ලංකාවේ ජනවාරි 8 දා ලැබුවේ ජනතා ජයක්ද, බිහි වූයේ ජනතා රජයක්ද


මේ ප්‍රශ්නයම විහිලුවකි. ඇත්තෙන්ම ජනවාරි 8 දා ලංකාවේ රජයක් පිහිටුවීමට බලයක් දුන්නෙකු නැත. පැවති රජය වෙත විපක්ශයේ (බෙදුම්වාදී කල්ලි ඇතුළුව) සියළු කණ්ඩායම් එකතුව එල්ල කල නිර්දය විවේචන හමුවේ බෙදුම් වාදීන්, පක්ෂවාදීන්, පුද්ගලවාදීන්, රැල්ලට ඡන්දය දෙන්නන්, පැවති රජය සමග පුද්ගලික එදිරිවාදිකම් දැරුවන්, රාජපක්ෂ පවුලේ තරුණයින්හට ඊරිසියා කලවුන්, ඇතුළු විවිධ වූ කණ්ඩායම් ඒ විවිධවූ හේතුන් මත පැවති රජයට එරෙහි වීමක් පමණක් සිදුවිය.

මෙසේ සිදුවූ බල පෙරළියේදී ජයග්‍රාහකයන් ඉදිරි සැලසුම් සැකසීම ගැන වෙහෙසීම තබා තමන් ජය ගනීවියැයි සිතූ බවක්වත් පෙනෙන්නට තිබුනේ නැත. මැතිවරණය දා රාත්‍රියේ ප්‍රධාන අපේක්ශකයා කුරුනෑගල ප්‍රදේශයේ පොල්වත්තක සැඟවී සිටි බව මෑතකදී කිසිවෙකු ප්‍රකාශ කලේය. එයින්ම ගම්‍යවන්නේ ජයග්‍රහනයක් ගැන සිතුවිලි මාත්‍රාවක් වත් ඒ වනවිටත් ඔහු තුල නොතිබූ බවම පමණකි. එවන් විටෙක රටක ඉදිරි ගමන ගැන ඔවුන් තුල වූ සැලසුම් ගැන කවර කථාද. අදටත් අප අත් දකින්නේ හිටපු රජයේ වැරදි ගැන හා එම රජයේ මැදිහත් වීම නිසා අතපසු වූ කාරනා ගැන කරන කථා මිස ඉදිරි සැලසුම් ගැන නොවීම මෙයට ඇති හොඳම සාක්ශියයි.


මෙවන් පසුබිමක ඉදිරි මැතිවරනයෙන් කුමක් සිදු වේද?


යම් කිසි ප්‍රදේශයක වාසීන්ගෙන් අති බහුතරය "වල් බූරුවන්" නම් එම ප්‍රදේශය පාලනය පිණිස "වල්බූරුවෙකු" පත් කොට ගැනීම ගැන ප්‍රජාතන්ත්‍ර වාදීව සිතන්නෙකුට එරෙහි විය නොහැක. එම නිසා මේ අවස්ථාවේ අප වසන ප්‍රදේශයේ බහුතරය කුමණාකාර සත්ත්ව කොට්ඨාශයක්දැයි කීමට අප තවම කල් වැඩියැයි සිතේ.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවට තමන් කැමති ඒකාධිපතියෙක් තෝරා පත් කර ගැනීමට ඇති හැකියාවයි
ඒ ජයග්‍රහන හා පරාජයන් කෙසේ වෙතත් මීලඟ පාර්ලිමේන්තුවේ අගමැති පත් කරන්නේ තම අභිමතයට යැයි ශ්‍රී ලංකාවේ සර්ව බල්ධාරී ජනාධිපති උතුමානන් වහන්සේ විසින් දේශනා කොට වදාරා ඇත. මේ නම් අපූරු කියමනකි. මා එතුමාට උතුමානන් වහන්සේයැයි හඳුන්වන්නේ මේ සර්ව බලධාරී ව්‍යවස්ථාවේ මැවුම් කරු වූ හිටපු සර්ව බලධාරී ජනාධිපති ජේ ආර් ජයවර්ධන උතුමාණන්ව මේ ප්‍රකාශය මගින් වත්මන් ජනාධිපති උතුමානන් වහන්සේ විසින් අතික්‍රමණය කොට ඇති බැවිනි.එතුමානන් වහන්සේට ඊට වඩා ගෞරවයෙන් ඇමතිය යුතු වදනක් මම සිංහල භාශාව තුල නොදකින නිසා පලමු උතුමානන්ට එහා ගොස් "උතුමානන් වහන්සේ" යැයි ඇමතීමි. එසේම මේ අගමැති පත් කිරීමේ සුවිශේෂී බලය කිසිවෙකු කිසිදා උරගා බලා නොතිබුනද මෙතුමා එය ජනතාවට තමා දිවුරුම් දුන් දිනයේදීම ව්‍යවස්ථාව තඹයකට මායිම් නොකොට පෙන්වා දෙනු ලැබිනි. එසෙම එවන් වූ බලය යෙදීමක් ඉදිරියේ ලක් වාසීන්ට හෝ පාර්ලිමේන්තු බහුතරයකට කල හැක්කක් මෙසිරිලක නොමැති බවද එදා තහවුරු කොට දෙනු ලැබීය.


ශ්‍රී ලංකා රජයේ බලය දරන්නේ ජනාධිපතිද අගමැතිද?
අගමැති පත් කරන්නේ ජනාදිපති විසින්මද?


අප දන්නා ඉතිහාසය තුළ, ප්‍රේමදාස මහතා, විජේතුංග මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1994 දී, රත්නසිරි වික්‍රමණායක මහතා, දි මු ජයරත්න මහතා ආදීන් අගමැති කිරීමට ඒ ඒ කල බලයේ සිටි ජනපති වරුන් පාර්ලිමේන්තුව විමසීමක් හෝ එම පත්කිරීම වලට එරෙහිව හෝ පක්ෂව පාර්ලිමේන්තුවෙන් බලපෑමක් එල්ල වූ බවක් අප නොදනිමු.

එහෙත් වික්‍රමසිංහ මහතා පලමු වරට අගමැති වූ විට පාර්ලිමේන්තු කණ්ඩායමෙන් හා පක්ෂයෙන් ඔහුට පක්ෂව ජනාධිපති වෙත බලපෑම් එල්ල වූ බව නොරහසකි. එසේම දෙවැනි වර අගමැති වූ විට පාර්ලිමේන්තුවේ බහුතරය වූ එජාප මන්ත්‍රීවරුනට ජනපතිනිය හිස නැමූ බවත් සත්‍යයකි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමේදීද ජනපතිනියට පක්ෂයේ බහුතර මතයට යට වීමට සිදු වූ බව පැවසේ.

මේ සියල්ලටම වඩා ජනවාරි 9 වැනිදා සිදුවීම වෙනස්ම වූවකි. එදා පාර්ලිමේන්තුවේ එවකට සිටි අගමැති ධූරයේ සිටියදීම සුළුතර කණ්ඩායමක කෙනෙකු අගමැති ලෙස පත් කල අතර බහුතර කණ්ඩායමේ තෝරා ගත් පිරිසකට වරප්‍රසාද පිරිනැමීමෙන් යටත් කොට ගන්නා ලදී. එමගින් සුළුතර අගමැතිට බාධාවකින් තොරව රජය පවත්වා ගැනීමට හැකි විය.

මේ සියල්ලෙන් ගම්‍ය වන්නේ කුමක්ද? ඒ පාර්ලිමේන්තුවේ බහුතරයක ප්‍රසාදය දිනන පුද්ගලයා පාර්ලිමේන්තු සාමාජිකයෙකු නම් තමන්වද, තමන් ජනාධිපතිනම් තම්න්ගේ පැහැදිලි බත් බැලයෙකුවද අගමැති තනතුරට පත් කල හැකි බවයි.


මේ අනුව අගෝස්තු 18 වැනිදා සිදුවනු ඇත්තේ කුමක්ද?


යම්කිසි අයුරකින් සංධානය ජයග්‍රහනය නොලදහොත් එවිට නියත ලෙසම ජය ලබන එජාපයේ වික්‍රමසිංහ මහතාව ජනාධිපති වරයා විසින් අග්‍රාමාත්‍ය ධූරයේ පිහිටවනු ඇත. එහි කිසිදු ගැටලුවක්ද නැත.

එහෙත් සන්ධානය ජය ගතහොත්? ප්‍රශ්ණය පැනනගින්නේ මෙතැනදීය. මෙවැනි විටකදී ජනපතිවරයාට කළ හැකි විකල්ප කිහිපයක් තිබීම විසින් ගැටළුව නිර්මානය කරයි.

එක් විකල්පයක් ලෙස එක් එක් පක්ෂ ලැබූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව නොතකා වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය ධූරයේ පිහිටුවිය හැකිය.

එහෙත් රාජාසන කථාවකට ඡන්දය විමසන පාර්ලිමෙන්තු සම්ප්‍රදාය තිබුනහොත් ඔහු නියත ලෙසම එයින් පරදිනු ඇත.

(ජනවාරි 9 දා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී රාජාසන කථාවක් කළ බවක් අප දන්නේ නැත. ඇතැම් විට මේ සම්ප්‍රදාය හිතා මතා අමතක කොට දැමුවා විය හැක.) ඇතැම් විට රාජාසන කථාවක් නොපැවැත්වීමේ පූර්වාදර්ශය අනුගමනය කරමින් එතැන් සිට රජයක් පවත්වාගෙන යා හැකිය.

තවත් විකල්පයක් ලෙස සංධානයේ වෙනත් ජේෂ්ඨ පුද්ගලයෙකු අග්‍රාමාත්‍ය ලෙස නම් කල හැකිය. එවන් විටෙක සංධානයේ බහුතරය ඔහුට එරෙහි වීමෙන් ඔහුව රාජාසන කථාවෙන් පැරදවිය හැකිය. එහෙත් එයද ප්‍රායෝගික නොවන්නේ, එවන් විටෙක නොවැරදීම එජාපය ජනාධිපතිවරයාගේ සහයට ඉදිරිපත් වන බැවිනි. එවිට සංධානයේ යම් පිරිසකුත් එජාපයත් එක්වී රාජාසන කථාව ජග්‍රහනය කරවනු ඇත.

එලෙසම ඇතිවන පීඩනය හමුවේ මහින්ද මහතාව අග්‍රාමාත්‍ය තනතුරට පතිරීමට ජනාධිපතිවරයාට සිදුවුවහොත්, ජනාධිපතිවරයා විසින් නිසැක ලෙසම එජාපයේ හා සංධානයේ යම් පිරිසකගේත් සහයෙන් මහින්ද මහතාව රාජාසන කථාවෙන් පරදවා ධූරයෙන් පහ කරනු ඇත.

මේ අනුව බලන කල මහින්ද මහතාට ඡන්දයෙන් ජය ගැනීම කෙතරම් දුශ්කර වුවද, ඊටත් වඩා ධූරය ලබා ගැනීමත්, යම් ලෙසකින් ධූරය ලබා ගත හොත් එය රැක ගැනීමත් ඉදිරි වසර 4 කුත් මාස මාස 4ක කාලය තුල අතිශයින්ම දුශ්කර වනු ඇත.

මේ සියල්ල සලකා බැලූ විට නොයෙකුත් හේතූන් මත ඡන්දය ප්‍රකාශ කරන ජනතාවගේ අරමුණු, අවසන් ප්‍රථිඵලය තුල (තේරී පත් වන මන්ත්‍රී සංඛ්‍යාව තුල නොව) මූර්තිමත් වනවාදැයි යන්න උභතෝකෝටික ප්‍රෂ්ණයකි. ජනතා කැමැත්ත කුමක් වුවද හැරෙන හැරෙන අතට බලය ඇත්තාට වාසි සලසා ගත හැකි ශ්‍රී ලංකාද්වීපයෙහි අරුම පුදුම ව්‍යවස්ථාව එතරම්ම අපූරුය !

එහෙත් අප සැම එම ව්‍යවස්ථාවෙහි යටත් වැසියන් වෙමු !



සංස්කාරක සටහන:
අප දන්නා තරමින් රාජාසන කථාව වෙස්ට්මිනිස්ටර් හෙවත් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය තුලින් අපට හුරු වූ සම්ප්‍රදායකි. 1972 ව්‍යවස්ථාවෙන් බ්‍රිතාන්‍ය කිරීටය වෙත තිබූ බැඳීම අහෝසි කිරීමෙන් අනතුරුවත් මේ සම්ප්‍රදාය අවලංගු නොවීනම් 1978 ව්‍යවස්ථාව විසින් විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමත් සමග රාජාසන කතාව පිළිබඳ සම්ප්‍රදාය අභාවයට යන්නට ඇත'ය යනු අපගේ අදහස වේ.

3 comments:

  1. හායි හූයි බබි ආච්චිගේ බයිසිකල් එක...
    කෙල්ලෝ කොල්ලෝ වට කරගෙන ගැහුවා බෙල් එක.

    ඔන්න ඕකයි වෙලා තියෙන්නේ.

    සිතුවිළි,
    ඔබ තුමාගේ ලිපිය ටිකක් ගලා යාම හොඳ මදි කීප සැරයක් කියවන්න වෙනවා. අද මට වෙලාවක් නෑ. උදේම දැක්කත් තාම වැඩ. බලමු, අපිට කතා කරන්න දේවල් තියෙනවා.

    රාජාසන කතාව ගැන "සංස්කාරක සටහන" හරි කියලයි මමත් හිතන්නේ. එහෙම (රාජාසන) කතාවක් නම් මම කවදාවත් අහල නෑ.

    අනික තමයි දාල තියෙන පින්තූර දෙක. 100% දෙන්න පුළුවන් ඒ දෙකට.

    ReplyDelete
  2. 1. චන්දයකින් මහජනතාව ජය ගත යුතු බව ලංකාවේ නම් අඩු තරමින් දේශපාලනඥයෙක්වත් කියන්නේ නැත.

    2. ජනවාරි 8 දා ජනතා ජයක් ලැබුනේවත්, ජනතා රජයක් බිහි වූයේවත් නැත. ඔබ කියන අයුරින්ම සකලවිධ රාජපක්‍ෂ විරෝධීන් එක්ව ඔහු පරාජය කිරීමට සමත් වූ බවනම් ඇත්තකි. ඇතැම් තානාපති කාර්යාල නම් මෙයින් ඉතාම වැදගත් ජයග්‍රහණයන් වාර්තා කිරීමට සමත් විය.

    3. විධායක බලතල තමන් විසින් අත්හරින බව දහ අතේ පොරොන්දු දී බලයට පත් "වල්බූරු" ජනාධිපති කලේ ජනාධිපති ධුරයට අයත් ව්‍යවස්ථානුකූල බලතල භාවිතයක් නොවේ. ඔහු භාවිතා කලේ සර්වබලධාරී තානාපති කාර්යාල විසින් පැවරූ කර්තව්‍ය නොපිරිහෙලා ඉටු කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවසන් විනිශ්චය හිමි ඒ අයට නිසා "වල්බූරු" ජනාධිපතිට "මුක්තිය" ඇත.

    4. මෙය ව්‍යවස්ථාවේම වරද නොවේ. වාසි පිලට මාරු වන දේශපාලනඥයන්ගේ වරදක් ද ඇති මුත් මහජනයා "ජනයා" නොවී "බැටළුවන්" බවට පත් වීමේ විපාකයයි. රනිල් අගමැති වීම වැළක්විය හැකි යැයි මා නම් සිතන්නේ නැත. නූල් සුත්තර වලට දක්‍ෂ රනිල් එජාපය වියගසේ ගැට ගැසූ අයුරින්ම ලංකා රජයද තම ඒකාධිපති භුක්තියට යටත් කර ගනු ඇත. "වල්බූරු" ජනාධිපතිට "භාවිතා නොකරන" විධායක බලතල රෝල් කර පශ්චාත් භාගයේ ගසා ගැනීම මිස වෙන විකල්පයක් නැත.

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නිර්නායක සැපයීමේ ශුද්ධ වූ අයිතිය දරන්නන් ගැන ඔබ කියන අංක 3 අදහසට මා ඉතා ප්‍රිය කරමි.
      ඉන් කියැවෙන දේ පොතකින් ලියා පල කල හැකි මහා බරක් ඇතැයි මට දැනේ.

      Delete