Tuesday, November 27, 2012

ඉල් පුර පසළොස්වක

අනුරාධපුර ථුපාරාම වෙහෙර වහන්සේ
මේ චීවර මාසයයි. චීවර මාසය යනු වප් අව පෑලවිය සිට ඉල් පුර පසළොස්වක දක්වා වන දින තිහයි. පෙර වස් වසා මහා පවාරණයෙන් වස් පවාරණය කළ භික්ෂූහු කඨින චීවර පිළි ගැනීමට සුදුසුකම් ඇත්තෝය. ඒ පින්වත් හිමිවරු ප්‍රමුඛ කොට ගෙන සැදැහැවත් උපාසක උපාසිකාවෝ මේ මාසය තුල කඨින පින්කම් පවත්වති. චීවර මාසය අවසන් වන ඉල් පුන් පෝ දින වස් පවාරණය කරන්නෝ පසුවස් සමාදන් වූ භික්ෂුන් වහන්සේලාය. උන් වහන්සේලාට කඨින චීවර පිළිගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.

ලක්දිව ප්‍රථම වස් වාසය මිහින්තලයේ විය. වස් පවාරණය කළ මිහිඳු මහ තෙරහු වන්දනීය වස්තුන්ගේ අවශ්‍යතාව දේවානම්පියතිස්ස රජුට දැන්වුහ. ථුපාරාමය ප්‍රමුඛ ලක්දිව වන්දනීය ගොඩනැගිලි වල ආරම්භය මෙයයි.


පස්වග මහණුන්ට දම්සක් දෙසා වදාළ තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ප්‍රථම වස් කාලය බරණැස ඉසිපතනාරාමයේම ගත කළහ. යස කුලපුතු, ඒ කුමරුගේ මිතුරු විමල, සුබාහු, පුන්නජි හා ගවම්පති යන කුමරුවන් හා තවත් පනසක් පිරිවර මහණ වී උතුම් අරහත් බව ලබා ගැනීම මේ වස් සමය තුල සිදු විය. ඒ හේතුවෙන් එම වස් සමය නිමා වන විට ලොව (සර්වඥයන් වහන්සේ සමග) රහතුන් එක් සැට නමකගෙන් පරිපුර්ණ විය. ඉල් මස පුර පසළොස්වක දා උදෑසන මේ රහතුන් සැට නම තමන් වහන්සේ ඉදිරියට කැඳවූ මහා කාරුණිකයන් වහන්සේ 'චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ...' යනාදී වශයෙන් උන් වහන්සේලාට අනුශාසනා කොට උන් වහන්සේලා සැට නම සැට මගෙක යවා බරණැසින් නික්ම උරුවෙල් දනව්වට යන මගට පිළිපන්හ.

එසේ පිළිපන් උන් වහන්සේ අතරමග කපු වන ලැහැබක් දැක එහි වූ එක්තරා ගසක් මුල වැඩ හුන් සේක.

එකළ කොසොල් රට රජ කුමරුවෝ තිස් දෙනෙක් කප්පාසික නම් වනයක් ඉතා රම්‍ය යැයි අසා කෙළි පිණිස එහි ගියහ. ඒ කුමරුවෝ ඉතා උතුම් වූ රුව ගුණ දරන බැවින් භද්‍ර වර්ගීය නමින් ප්‍රකටයහ. උන් තිස් දෙන අතරින් එකෙක් තම අඟනක් නැති හෙයින් වෙසඟනක කැඳවාගෙන ගියේය. ඒ වෙසඟන කුමරුන්ගේ ප්‍රමාදයක් දැක උන්ගේ අබරණ රැගෙන පලා ගියාය. ඒ කුමරුවෝද අබරණ හා ඈ සොයන්නෝ ගස මුල හුන් බුදු රජුන් දැක ස්ත්‍රියක් දුටුවෝද, නුදුටුවෝදැයි උන් වහන්සේගෙන් විමසුහ. උන් වහන්සේ "කුමරුවනි, අනුන් සෙවීම වඩා උතුම්ද, නොහොත් තමන් සෙවීම වඩා උතුම්දැයි" පැනයෙකින්ම ඒ කුමරුන්ට පිළිවදන් දුන්හ.

තමන් සෙවීමම උතුම් බව ඒ කුමාර වරු කීහ. එසේ විනම් මෙහි හිඳුවයි වදාරා බුදු රදුහු උන්ගේ චරිතානුරූපී බණ දෙසුහ. ඒ කුමරුවෝ එබණ අසා සව් කෙළෙසුන් නසා රහත් වූහ. රහත්ව ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලැබූ ඒ තෙරවරු තිස් මගක ධර්ම ප්‍රචාරය පිණිස වැඩම කළහ. බුදු රජුන්ද උරුවෙල් කසුබ් ආදී කොට ඇති තුන් බෑ ජටිලයන් දමනය කිරීම පිණිස හුදෙකලාවම උරුවෙල් දනව්ව බලා වැඩියහ.


බුද්ධත්වයෙන් සත් වන වසරේ වප් පුන් පෝ දින සංකස්ස පුරයේ පැවති දේවාරෝහණ උත්සවය දැක අතිශයින් පැහැදී බුදු සස්නේ පැවිදි වූ මෛත්‍රී බෝසතුන් අවසන් නියත විවරණය ශාක්‍යසිංහ ගෞතම බුදුරජානන් වෙතින් ලබන්නේ අද වන් ඉල් පුන් පෝ දිනයකය.


දේවාරෝහණ උත්සව අවස්ථාවේ බුදු රදුන් හා විචිත්‍ර ධර්ම සාකච්චාවක් පවත්වා ප්‍රඥාවන්තයින් කෙරෙන් අග්‍රස්ථානය ලැබූ, ධර්ම සේනාපති වූ, අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූයේ ද ඉල් පුර පසළොස්වක පෝ දිනකයි. එකළ බුදු රජුන්ද අසූ වයස් වූහ. බුදු රජුන්ට පෙර අග සව්වන් පිරිනිවන් පානා බව උන් වහන්සේ දිවැසින් දුටහ. උන් වහන්සේගේ සොයුරු සොයුරියන් සියළු දෙනාම පැවිදිව රහත් බවට පත් වී සිටියත් මව් බැමිණිය පමණක් මිසදිටු ගෙන වෙසෙයි. ස්වකිය ආයු ගෙවුණු බැව් දැන ගත් සාරිපුත්තයන් වහන්සේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දැක පිරිනිවනට අවසර ලබාගෙන ස්වකිය මෑණියන් වසන නාලක ගමට වැඩම කළහ.

උන් වහන්සේට කලක සිට පවතින උදරාබාධයක් ඒ රාත්‍රියේ උත්සන්න විය. උන්වහන්සේ එදාම පිරිනිවන් පා වදාරණ බව දුටු සතර වරම් දෙව් රජවරු, ශක්‍ර දේවේන්ද්‍රයා හා මහා බ්‍රහ්මයා ආදීහු තුන්යම් රැය මුළුල්ලේ උන් වහන්සේට උපස්ථාන කළහ. ජිවිත කාලයක් මුළුල්ලේ තමන්ගෙන් පුද පූජා ලැබූවත් එක දිනක්වත් තමන් දැකීමට නොපැමිණි තමන්ගේ දෙවිවරු ඒ දෙවි වරුන්ට කිසි දින පුජාවක් නොපැවැත්වූ තම පුත්‍රයාට කරන උපස්ථාන දැක විස්මපත් වූ උපතිස්ස මාතාව අළුයම උන් වහන්සේගෙන් බණ අසා උතුම් සෝවාන් ඵලයට පත්ව තෙරුවන් සරණ ගියාය.

ස්වකිය මෙහෙවර අවසන් කළ, එබැවින් කිසිවෙකුට ණයක් නැති, කිසිවක් කෙරෙහි ඇල්මක් නැති සාරිපුත්තයන් වහන්සේ මහ පොළොවට ඉසිලිය නොහෙන සිය ගුණ කඳ දරා සිටිමින් රැස්ව සිටි ජනතාවට නොයෙක් සිය දහස් ගණන් ප්‍රාතිහාර්ය දක්වා දහම් දේශනා කොට නොයෙක් දෙනාට ස්වර්ග මෝක්ෂ සැප සාදා දී දකුණැලයෙන් සැතපී අනුපිළිවෙලින් ධ්‍යානයන්ට සම වැදී ඉන් නැගිට පරිනිර්වාණ සම්පත්තියට පැමිණ වදාළහ.


එසේ හෙයින්, සියළු සත්ත්වයෝ නොපමා වෙත්වා !

5 comments:

  1. සරල බසින් ලියැවුනු එක දිගට කියවාගෙන යා හැකි ඉල් පොහොය හා බැඳුනු රසවත් ලිපියක්.

    කටින් චීවර පූජාව දහම හා බැඳෙන්නේ කෙසේදැයි ඔබට මා වෙත පහදා දිය හැකිද, එය සාමාන්‍ය චීවර පූජාවකට වඩා වෙනස් වන්නේ කුමන අයුරකින්ද?

    ඔබට බොහෝ පින්
    සිතුවිළි

    ReplyDelete
  2. මේ ලිපියේ නම් ගලා යාම හොඳයි.විස්තර සහ වර්ණනා ඉතා කදිමයි. නොදන්නා දුර්ලභ දේත් කියවා දැන ගත්තා. ඔබට පින් !

    ReplyDelete
  3. ඔබ දෙදෙනාගේ අදහස් වලට ස්තුතියි.

    සිතුවිළි, අසන ප්‍රශ්නයට වෙලා ඇති විටක පිළිතුරු සපයන්නම්. ඔබට හැකිනම් මේ ප්‍රශ්නය තව ටිකක් විස්තර ඇතුව අසන්න. එසේ කිරීමෙන් අනවශ්‍ය විස්තර වළක්වා ගත හැකියි. නැත්නම් මම පිස්සෙක් වගේ වැල් වටාරම් ලියයි.

    ReplyDelete
    Replies
    1. මා දකිනා හැටියට කටින චීවර පූජාව යනු ධනවතුන් විසින්ම කරනු ලබන ලෞකික අපේක්ශා මුදුන් කොට කරන පින්කමකි, මෙ පින්කමෙහි ඇතුලාන්තය ගැන මා නොදනී, බෞද්දයන් උවද මෙවැනි දෑ නොදන්නා මා වැනියන් වෙනුවෙන් ඉදිරි දිනක හෝ මේ පිළිබඳ යමක් ලියන්න.
      අවංකවම මෙය වස් විසූ භික්ෂූන් උදෙසා කරන චීවරයක් පූජා කිරීමක් බව හැර අන් යමක් මා නොදනී.
      එමෙන්ම භික්ෂුවක් උදෙසා කරන අන් චීවර පූජාවකට වඩා මෙවැන්නක් උසස් වන්නේ කෙසේද? එය දහම හා ගැලපෙන්නේ කෙසේද යන වගත් දැන ගැන්මට කැමැත්තෙමි

      සිතුවිළි

      Delete
    2. සිතුවිළි, අවිවේකය හේතුවෙන් ඔබට පිළිතුරක් සම්පුර්ණ කර ගත නොහැකි විය. මා ඇරඹූ පිළිතුරක් ඇතත් එය ඔබේ පැනයට හරියටම නොගැලපෙන විස්තර වලින් ගහනය. කිහිප වරක් කපා කොටා බැලුවද දීර්ඝ වැඩි යැයි සිතෙයි. එය නව ලිපියක් ලෙස ඉදිරිපත් කරමි. හෙට ඔබට එය කියවිය හැකිය.

      Delete