Wednesday, August 1, 2012

නිකිණි පුර පසළොස්වක හෙවත් දර මිටි පෝය


ඇසල පුන් පෝ දිනට පසුව එළඹෙන පුන් පෝ දිනය නිකිණි පෝ දිනයයි. ඒ නිසා සාම්ප්‍රදායිකව ඇසල පෝ දිනයේ පෙරවස් විසීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙතොත් ඔහු මේ පොහෝ දිනයේ වස් අධිෂ්ඨාන කර පසුවස් සමාදන් විය යුතුයි. වස් විසු භික්ෂුන් වහන්සේ නමක් විහාර සිමාවෙන් පිටත යාම ඇවතක් වුවත් අවශ්‍යතාවයක් ඇති විට සත් දිනක් දක්වා පිටත වැඩිය හැකි වන ලෙස බුදු රජාණන් වහන්සේ විසින් සත්තාහකරණය අනුදැන වදාළේ ද නිකිණි පෝය දිනකයි.

පසුවස් විසීම හැරුණු කොට ඉතා වැදගත් සිද්ධි මේ පෝ දිනයේ සිදු වී ඇත. ස්මෘති ශක්තිය ඇත්තවුන් කෙරෙන් අග්‍ර, ධර්ම භාණ්ඩාගාරික ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ අප්‍රමාන වීර්යයෙන් කෙලෙසුන් නසා සිව් පිලිසිඹියා පත් රහත් භාවයට පැමිණ වදාළේ නිකිණි පුර පසළොස්වක දිනෙක අලුයම් කාලයේදීයි. මගධ රාජ අජාතශ්ත්රයන්ගේ පුර්ණ අනුග්‍රහය හා රාජ සේනාවේ ආරක්ෂාව සහිතව රජගහ නුවර වේහාර පර්වත ප්‍රාන්තයේ සප්තපර්නි ගල් ගුහා ද්වාරය අසල ඉදි වුන මණ්ඩපයක සිව් පිලිසිඹියා පත් මහා රහතන් වහන්සේලා පන්සීය නමකගේ සහභාගිත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව ඇරඹුණේ නිකිණි අවපෑළවියදාය (පසළොස්වක දිනට පසු දින). රහතුන් වහන්සේලා එකුන් පන්සීය නමක් අසුන් ගත් පසු පන්සියය සම්පුර්ණ කරමින් ආනන්ද මාහිමියන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වමින් තමන් වහන්සේට වෙන් කළ අසුන මත ප්‍රාදුර්භූත වූ බව ශාශන ඉතිහාසයේ දැක්වේ. (ප්‍රථම සංගීතිය නිකිණි අවදියවක්දා ආරම්භ කොට සත් මසකින් නිම කරන ලද බව සමහර ග්‍රන්ථ වල සඳහන්ය. එසේනම් ආනන්ද තෙරුන් වහන්සේ අරහත් භාවයට පත් වූයේ නිකිණි පුර පසළොස්වක දින නොව නිකිණි අවපෑළවියදා විය යුතුය.)

මෙම පොහොය දරමිටි පොහොය ලෙස හැඳින්වීමට හේතුව රජරට වල් බිහි වූ සමයේ ධනයෙන් බලයෙන් පිරිහුණු නමුත් ශ්‍රද්ධාවෙන් නොපිරිහුණු සිංහල ගැමි ජනතාව තමන් දිවි දෙවෙනි කොට ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැක ගත් යුගයට දිවේ. වනයෙන් වැසුණු බෝධීන් වහන්සේ සහිත උඩ මලුව වට කොට පහත ගිනි මැල දල්වාගෙන වන සතුන් පලවා හරිමින් නිදි වර්ජිතව ඒ ජනතාව ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සැලකූ ඒ ඇසතු රුක පර සතුරන්ගෙන් රැක ගත්හ. දරමිටි පෙරහැර අදද පැවැත්වේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැර මංගල්‍යය ඇසළ පුන් පෝ දිනත් නිකිණි පුන් පෝ දිනත් අතර මාසය තුල පවත්වනු ලැබේ. මේ හැරුණු කොට සේරුවිල මංගල මහා විහාරයේ වාර්ෂික මහා පිංකම පවත්වන්නේ නිකිණි මාසයේය. කතරගම දේවාලයේ පෙරහැර, සීනිගම දෙවොල් දේවාලයේ ඇසළ මංගල්‍යය හා හලාවත මුන්නේස්වරම් දේවාලයේ පෙරහැර පවත්වන්නේ මේ සමයේය.

1 comment:

  1. මට හිතට හුඟක්ම දැනුන කොටස දර මිටි පෝය ගැන කියවෙන ටික. ඒ ක කියවලා සින්දුවක් මතක් උනා. තිත්ත උනත් ඇත්ත කියවෙන සින්දුවක්.

    දර මිටි බැන්දා... රෑ නිදි මැරුවා.... ගිණි මැළ ගහගෙන රැක සිටියා...
    එහෙව් අපට අද එන්න තහංචි ද ... ජය සිරි මා... හාමුදුරුවනේ.....

    ReplyDelete