Monday, August 13, 2012

මගී ප්‍රවාහනයට නව තාක්ෂනය

ගිය සතියේ ගුවන් විදුලි පුවත් වල කියැවුණ එක වැදගත් පුවතක් ගැන මගේ අවධානය යොමු විය. ඉන් කියවුනේ බස්රථ සඳහා පෙර ගෙවුම් සේවාව ලබා දීමට කැමති තාක්ෂණික සේවා සපයන ආයතන විසින් තම උනන්දුව රජය වෙත දක්වන "අභිමත ප්‍රකාශ" ඉදිරිපත් කරන ලෙසයි. එක් එක් ආයතන තනි තනිව නොව එකට එක් වී සංයුක්ත ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බව ඉන් වැඩි දුරටත් කියැවිණි. පෙර ගෙවුම් ක්‍රමය පිළිබඳව මා කලින් ලිපියකද (ඉතුරු සල්ලි කෝ) පැහැදිලි කිරීමක් කළ නිසාත් පාඨක මිත්‍රයෙක් ඒ ගැන වැඩි විස්තර ලියන ලෙස ඉල්ලු නිසාත් මේ එයට සුදුසු අවස්ථාව බව සිතේ.
බස් රථ සඳහා පෙර ගෙවුම් සේවාව ලබා දීමට ආයතන කිහිපයක සේවා සැපයීම අත්‍යාවශ්‍යය. එක් ආයතනයක් අනෙකට වඩා වැදගත්යැයි කිව නොහැකි පරිදි මේ එක එක ආයතනය විසින් සැපයෙන සේවා අවියෝජනීය ලෙස එකිනෙක හා බැඳී පවතී. එක සේවාවක් බිඳ වැටුණු වහාම සම්පුර්ණ සේවාවම බිඳ වැටේ. විස්තර කිරීමේ පහසුව තකා ටිකට් පත් නිකුත් කරන යන්ත්‍රයෙන් පටන් ගනිමු.

ටිකට් පත් යන්ත්‍ර

අප දන්නා පරිදි මේ වන විට ලංකාවේ බස් රථ සඳහා ටිකට් පත් යන්ත්‍ර අලෙවි කර සේවා සපයන ප්‍රධාන ආයතන දෙකක් පවතී. ඒ දෙකම සපයන ටිකට් යන්ත්‍ර එකලාව ක්‍රියා කරන, එනම් බාහිර උපකරණ හෝ පද්ධති සමග හෝ කිසියම් අන්තර්ක්රියාවක්, තොරතුරු හුවමාරුවක් කර නොගන්නා යන්ත්‍ර වේ. මේවා බාහිරින් ලබා ගන්නා එකම ආදානය කොන්දොස්තර මහතා විසින් යතුරු පුවරුව හරහා ලබා දෙන ගමනාන්තය හා ටිකට් පත් ගණන පමණි. බස් ගාස්තු සංශෝධනයක් වූ විට මේ යන්ත්‍ර සැපයුම්කරු වෙත ගෙන යාමෙන් තොරව යාවත්කාලින කර ගත නොහැක. නමුත් යෝජිත ටිකට් පත් නිකුත් කරන යන්ත්‍රය පැති දෙකකින් පද්ධති දෙකක් සමග ගනුදෙනු කළ යුතුය.

  1. මගියා සතු පෙර ගෙවුම් මගී කාඩ් පත සමග තොරතුරු හුවමාරුව සඳහා NFC තාක්ෂනය.
  2. සහායක මෘදුකාංග පද්ධතිය සමග තොරතුරු හුවමාරුව සඳහා GPRS තාක්ෂනය.
නව ක්‍රමය යටතේ මේ යන්ත්‍ර NFC තාක්ෂනය සහිත කියවන යන්ත්‍ර මගින් ප්‍රතිස්ථාපනය කළ යුතු වේ. NFC තාක්ෂණයට අමතරව මේ යන්ත්‍ර තුල SIM පතක් සඳහා හා සමහර විට MicroSD පතක් වැනි දත්ත රඳවනයක් සඳහාද ඉඩ හසර තිබිය යුතු වේ. මේ යන්ත්‍ර වල හැඩය, ප්‍රමාණය, බැටරි ආයු කාලය, යතුරු පුවරුවේ යතුරු ගණන හා යතුරු පිහිටුම හා වෙනත් අමතර විශේෂාංග ඒ ඒ යන්ත්‍ර නිෂ්පාදකයා හා මොඩලය අනුව වෙනස් විය හැක. දැනට පෙනී යන ලෙස පෙර කී ආයතන දෙක NFC තාක්ෂනය සහිත ටිකට් යන්ත්‍ර ලංකා වෙළෙඳපොළට හඳුන්වා දිය යුතුය. නැතහොත් ඒ ආයතන වෙනුවට වෙනත් ආයතනයක් ඒ තැන ගත යුතුය.

මෙහිදී සඳහන් කළ යුතු අමතර කරුණක් ඇත. යෝජිත පෙර ගෙවුම් කාඩ් පත් ක්‍රමයේදී දැන් ජංගම දුරකථන වලට පෙර ගෙවුම් වටිනාකම ඇතුලත් කරන සේ වටිනාකම එක කළ හැකි උපකරණයක් මගියා සතුව නැත (NFC තාක්ෂනය සහිත ජංගම දුරකථන තවම සාමාන්‍යකරණය වී නැත). ඒ නිසා පෙරගෙවුම් නියෝජිතයින් විසින්ද මේ යන්ත්‍ර භාවිතා කළ යුතුව පවතී. ලංකාවේ බස් රථ 20000 පමණ (ලංගම සමග) ඇති නිසා අලෙවි කළ හැකි ටිකට් පත් යන්ත්‍ර ගණන එපමණ වුවත් පෙර ගෙවුම් නියෝජිතයන් වෙත අලෙවි කළ හැකි යන්ත්‍ර ප්‍රමාණය විශාලය.

පෙර ගෙවුම් මගී කාඩ් පත

NFC තාක්ෂනය සහිත පෙර ගෙවුම් කාඩ් පත් සැපයීම තවත් ආයතනයක් විසින් කළ යුතුය. මෙය මයික්‍රෝ චිපයක් අඩංගු සැවොම දන්නා හඳුනන ණය කාඩ් පතක් වැනි එම ප්‍රමාණයේම කාඩ් පතකි. එහි බස්/ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර වල ලෙස මගියා හඳුනා ගන්නා සළකුණු අඩංගු නොවේ. ඒ නිසා මෙය අන්සතු කළ හැක. අප දුටු කාඩ් පතේ හිමිකරුගේ නම මුද්‍රණය කර නොතිබුණ මුත් අවශ්‍යනම් නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ හිමිකරුගේ ජායාරුපය වැනි හඳුනා ගැනීමේ සලකුණු මුද්‍රණය කිරීම තාක්ෂණික වශයෙන් කළ නොහැකි දෙයක් නොවේ. ඒ නිසා මෙය සොරා ගනී යැයි බිය විය යුතු නැත (මිනිස් ඇසට දැකිය හැකි ලෙස කාඩ් පත මත මුද්‍රණය කිරීමත් කාඩ් කියවනය විසින් කියවිය හැකි සේ චිපය තුල දත්තයක් ලෙස ගබඩා කිරීමත් තාක්ෂණික වශයෙන් වෙනස් ක්‍රියාවලි දෙකකි).

කාඩ් පත් කියවනය විසින් කියැවිය යුතු කාඩ් පත හඳුනා ගැනීමේ විස්තර, එහි අවසන් ගනුදෙනු කිහිපය පිළිබඳ තොරතුරු හා කාඩ් පතේ වර්තමාන වටිනාකම ආදිය කාඩ් පතේ චිපය තුල රඳවා තබා ගැනේ.

ටිකට් පතක් මිලදී ගත් විට ඊට අදාළ ගාස්තුව කාඩ් පතින් අඩු වන අතර එම වටිනාකම ටිකට් යන්ත්‍රය තුල ගබඩා වේ. සිය කාඩ් පතේ ඇති මුදල මගියාට කියවා ගැනීමට ක්‍රමයක් නැති වුවත් ටිකට් පත මුද්‍රණය වන අවස්ථාවේදී කාඩ් පතේ වර්තමාන වටිනාකම බස් ටිකට් පතේ මුද්‍රණය වී පැමිණෙන ලෙස පහසුකම් සලසා තිබීම මගියාට පහසුවකි.

මේ කාඩ් පත් ලංකාවට ගෙන්වීම, බෙදාහැරීම හා ඒවායේ ජීවචක්ර කළමනාකරණය තවත් ආයතනයක් සතු වගකීමකි.

මගී කාඩ්පත් වල පෙර ගෙවුම් බාර ගැනීම, මෙහෙයුම්, බැංකු කටයුතු හා නීතිමය පැත්ත

මේ ගැන ඊළඟ ලිපියෙන් සාකච්චා කරමු...

1 comment:

  1. ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න මිත්‍රයා...

    ReplyDelete