බිනර පුර පෝ දා සඳ |
සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රථම වරට කිඹුල්වතට පැමිණි ගමනේදී සිය මුනුපුරු රාහුල කුමරුද දෙවනුව සිය පුත් නන්ද කුමරුද පැවිදි කළ පසු එතුමියට පැවිදි වීමේ අදහස පහල විය. සුද්ධෝදන ශාක්‍ය රජු සිය අවසන් සයනයේ සැතපී සිටම රහත්ව පිරිනිවන් පෑ පසු එතුමිය සිය අභිප්‍රාය බුදු රදුන්ට දැන්වූ නමුත් ඒ ඇරයුම ප්‍රතික්ෂේප කෙරිණි.
මහා කාරුණිකයන් වහන්සේ ශාක්‍ය කෝලිය යුද්ධය වලකා ලන්නට රෝහිණි නදී තෙරට වැඩි ගමනේදී පැවිදි වූ කුමාර වරුන්ගේ බිරින්දෑ වරුද බුද්ධ මාතා නම් දැරූ මහා ප්‍රජාපති ගෞතමිය වෙත පැමිණ පැවිදි වීමේ අදහස පළ කළෝහ. ප්‍රජාපති ගෞතමිය ඒ දේවීන් ගේ ආයාචනය පිළිගෙන උන් සමගම න්යග්රෝධාරාමයට පැමිණ කාන්තාවන් උදෙසා පැවිදි බව ඉල්ලු නමුත් ඒ ආයාචනය ද නො අනුදැන වදාළ බුදු හිමියෝ කිඹුල්වතින් නික්ම විසාලා මහා නුවරට සැපත් වුහ.
එකල මහා ප්‍රජාපති ගෞතමින් ඒ දේවී වරු පන්සියය සමගම මන්ත්‍රණය කොට තුමූම කෙස් බා අබරණ ඉවත් කොට ගිහි වෙස් හැර මහණ වෙස් ගෙන මහානාම ශාක්‍ය රජ විසින් සැපයූ රථ ප්‍රතික්ෂේප කර පා ගමනින්ම යොදුන් පනසක් දුර ගෙවාගෙන විශාලා මහනුවර කූටාගාර ශාලාවට වෙත පැමිණ විහාරය තුලට නොගොස් දොරටුව අසල කඳුලින් පිරි නෙතින් යුතුව, බුබුළු නැගී පතුලින්, ලේ ගලන පයින් හා කිළිටි වැරහැලි වූ සිවුරෙන් යුතුව උන්හ. අනද මහ තෙරුන් ඒ බව දැනගෙන කම්පා වී උන් පැමිණි අදහස ඉෂ්ඨ කර දීම පිණිස දැඩි අදිටනින් යුතුව බුදු රජාණන් වහන්සේට නොයෙක් අයුරින් කරුණු කියා සිව් වරක් ආයාචනා කර අෂ්ට ගරු ධර්ම සහිත ප්‍රනීත භික්ෂුණි පැවිද්ද ලබා දීමට පුරෝගාමී වූහ. මහා ප්‍රජාපති ගෞතමිය බුද්ධ උපස්ථායක අනද මහ තෙරුන් අතින් අෂ්ඨ ගරු ධර්ම අසා අනුමෝදන් වීම සමගම මෙහෙණ පැවිද්ද හා උපසම්පදාව ඇති විය.
එහි ප්‍රතිපලයක් බුද්ධ ශාසනය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව් වනක් පිරිසෙන් සමලංකෘත විය. ඛේමා, උප්පලවන්නා, භද්දකාත්‍යානා, නන්දා, ධම්මදින්නා ඈ ක්ෂිනාශ්‍රාව ශ්‍රාවිකාවන් ලොවුතුරා විමුක්තිය උදා කර ගනිමින් ලෝ වැඩ සලසන්නේ ඉන් අනතුරුවය. එසේ අප්‍රමාන පරිශ්‍රමයෙන් ඇති කර ගත් භික්ෂුණී උපසම්පදාව මේ වන විට අතුරුදහන් වී ඇති නිසා අද ලංකාවේ කාන්තාවෝ පැවිදි වෙස් දරා දස සිල් මාතාවන් ලෙස හැසිරෙමින් ස්වකිය විමුක්තිය පිණිස අප්‍රමාදව කටයුතු කරති.
සියළු සත්ත්වයෝ නොපමා වෙත්වා !