Friday, August 19, 2016

හාල් මොටද තණකොළ කන ගොන්නුන්ට


අප කුඩා සංදියේ තිබුණු එකම ගුවන් විදුලි සේවය ගුවන් විදුලිය™ පමණක් වුවත් බොහෝ හොඳ ගීත එයින් අසන්නට ලැබිණි. ඒවා අප හදවත් තුල කිඳා බැස තවමත් රැව් දෙමින් පවතී. මේ ගීතය අසා බලමු.



කරුණු කාරණා පෙළ ගැසෙන සැටියට රටක් තබා මේ ගීතවත් හෙට අපේ දරුවන්ට උරුමද?

මේ ගී දරුවන්ට අසන්නට සැළැස්වීමෙන් අප ඔවුන් ඉදිරියේ විහිළු කාරයන් බවට පත් නොවේද? මේ ගී අසන අපේ දරුවන් ඒවා නාසන අන්‍යයන් ඉදිරියේ හෑල්ලුවට ලක් නොවේද? ඒ අපට පසුගිය කෙටි කාලයේ වද දුන් පැනයයි.





චරිත තුනක්


"තුට්ටු දෙකේ හෙංචයියන් වෙනුවෙන් තම හිස දන්දුන් උදාර නායකයා" - ඒ පසුගිය ජනවාරි 9 වැනිදා දෙතිස් කතාවේ පල කෙරුණු ලිපියේ ජනපති මහින්ද රාජපක්‍ෂයන් හැඳින්වීම පිණිස අප යොදා ගත් වාක්‍ය ඛණ්ඩයයි. එහි අප මේ ලෙස සඳහන් කළෙමු.
නිදහස් ශ්‍රී ලංකාවේ එදා මෙදාතුර පහළ වූ වඩාත්ම ජනහිතකාමී උදාර ජන-නායකයා පසුවදා සම්පූර්ණ ප්‍රතිඵල නිකුත් වන්නටත් පළමු සිය පරාජය පිළිගෙන ඊළඟ නායකයාට ඉඩ හෙළි පෙහෙළි කර ඉවත්ව ගියේ බහුතර ජනතාවගේ සෝ-සුසුම් මධ්‍යයේය. අප එසේ කියන්නේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේනට පළමු මනාපය පල කළ බොහෝ දෙනෙක් ඔහුගේ ජය පතා නොව ජනාධිපති මහින්ද රාජපක්‍ෂට පණිවුඩයක් නිකුත් කිරීම පිණිස එසේ කළ බව අප දන්නා නිසාය. මෛත්‍රීපාල සිරිසේනගේ මේ ජයග්‍රහණය ලංකාව ආසියාවේ ආශ්චර්‍යය කරා ගෙන යන මහින්ද චින්තනයේ තවත් එක් වැදගත් සන්ධිෂ්ඨානයක් වන්නේ එසේය. කොහොමත් වියැකෙමින් තිබූ සිංහලයාගේ ජාතික අභිලාෂයන් ඉටු කර ගැනීම පිළිබඳ බලාපොරොත්තු අවසන් වන්නේ එතැනිණි. එහෙත් මහරජ'ය කියා ඔහුට වන්දිභට්ට කම් කර ඔහුට මේ ඉරණම අත් කරදුන් අවස්ථාවාදීන් හෙට විළි-ලැජ්ජාවක් නැතුව මෛත්‍රී පසුපස ඇදෙනු ඇත.
අප සඳහන් කළ දේ අද වන විට සක් සුදක් සේ පසක් වෙමින් තිබේ. මෙය සතුටට කාරණයක් නොවේ.

අභිනව ජනපති සම්බන්ධව අපගේ විග්‍රහය මෙසේ විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එතරම් වැඩක් ඇත්තෙන්ම නැත. ඔහු ජනාධිපති වූයේ වැඩ කරන්නට පොරොන්දු දී නොවේ - වැඩ නවතන්නට පොරොන්දු දී ය. හැරත් ඔහු ඉල්ලුවේ දින 100 පමණි. දින 100 ක් තුල කළ හැකි ඉටි ගෙඩියක් නැත. ඉතිං මේ දින සීය ඇතුලත ඔහුට කරන්නට ඇත්තේ සකල බුජං අරක ගෙනෙන් කියා අගමැති රනිල් කියන විට ඒක ගෙනත් දීමත්, සකල බුජං මේක ගෙනෙන් කියා කාර්‍ය නියමයක් නැති ඇමති චන්ද්‍රිකා කියන විට ඒක ගෙනත් දීමත් පමණි. අන්න ඒ ටිකනම් හරියට කරන්නට මේ හාදයාට හැකි බව අපට ඉර හඳ සේ විශ්වාසය.
අනේ මට වැඩ කරන්න දුන්නේ නෑ, මට පනත ගේන්න දුන්නේ නෑ කියා අඬාගෙන අනික් පැත්තට ගිය හාදයෙක්ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වන්නද?

මේ ජනාධිපති රට පාලනයක් කරන්නේම නැත. රට පාලනය කරන්නේ තානාපතිවරුය. ඒ තමන්ගේ සුවච කීකරු බලු කුක්කා වන අගමැති රනිල් වික්‍රමසිංහ හරහාය.


වැඩ බැරි දාසලාගේ වැඩ-කිඩ


රනිල් වික්‍රමසිංහ ජනවාරි 9 දා අගමැති වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට නොවේ. ඔහු අගමැති වූයේ විධායක බලතල භාවිතා නොකරන්නේමැයි හත් පොලේ දිවුරා බලයට පැමිණි සිරිසේනගේ විධායක බලතල වල පිහිටෙනි. ඒ ක්‍රියාවේ ව්‍යවස්ථානුකුල බවද සැකයට තුඩු දෙන්නකි. අප එදා ඒ ගැන සඳහන් කළේ මේ අයුරිණි.
වැඩ ඇල්ලූ විධායක නැති ජනපතිගේ පළමු කර්තව්‍යය වූයේ මහජන චන්දයෙන් විපක්‍ෂ නායක බවට පත් කළ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමයි. ඔහුට පාර්ලිමේන්තුවේ ඇති මන්ත්‍රී ධුර ගණන කීයදැයි අභිනව ජනාධිපතිතුමා දන්නේදැයි සැක සහිතයි. මේ තමාගේ විධායක බලය අනිසි ලෙස භාවිතා කිරීම නොවේනම් කුමක්දැයි ඊනියා බුද්ධිමතෙක් පැමිණ අපට කියා දේනම් යහපති.
වික්‍රමසිංහ අගමැති ධුරය මංකොල්ල කන අතර සිරිසේන කළේ තමාගේ ප්‍රතිවාදී පක්‍ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය කොල්ල කෑමයි.
අද රාත්‍රී ප්‍රවෘත්ති වලට කියවුණේ මෛත්‍රීපාල ශ්‍රී.ලං.නි.පයේ සභාපති ධුරයට එහි මධ්‍යම කාරක සභාව විසින් පත් කර ගත් බවයි. මේ තක්කඩි කමකි - තරුද නිදන මහ රෑ මහජනතාව මෛත්‍රී පාලනයක සුභ සිහින දකිමින් නිදා සිටින විට කළ කළු අරලිය හෝටල පන්නයේ ගසා කෑමකි. මෛත්‍රීපාල ජනාධිපති වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයා වශයෙන් නොවේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා වශයෙනි. ජනාධිපතිවරණයේදී ඔහුට සහය නොදුන් ශ්‍රී.ලං.නි. පක්‍ෂයේ සභාපති වශයෙන් ඔහු පත් කර ගැනීම ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් ඇතුළු මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ඡන්දය භාවිතා කළ 5,768,090 ක මහා ජනකායකගේ අයිතිවාසිකම් උල්ලංඝනයකි. පනස් හත් ලක්‍ෂ හැට අටදහස් අනූවක ජනතාවක් එදා 8 වැනිදා ඡන්දපොළට ගොස් හඬ නොනගා කීවේ මෛත්‍රීපාල එපාය කියාය. එතරම් ජනතාවක් එපා කී පුද්ගලයෙක්, විශේෂයෙන් වෙනත් පක්‍ෂයක පුද්ගලයෙක් තම පක්‍ෂයේ සභාපති කර ගැනීමට ශ්‍රී.ලං.නි.පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ ඉන්නේ පිස්සන්ද, නැතිනම් මුං ඔක්කෝටම චන්දි අක්කාගේ සරුවත් පෙවිලාද?
ඉතාම තක්කඩි ක්‍රමයකට බලහත්කාරයෙන් අගමැති ධුරයට පත් වූ වික්‍රමසිංහ හදිසි වැදගත් කමක් ඇති කර්තව්‍යය ලෙස කළේ එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාව තමාගේ ඒකාධිපති පාලනයට නතු කර ගත් අයුරින්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමාගේ ඒකාධිපති බූදලයක් බවට පත් කර ගැනීමයි. මේ ක්‍රියාවලිය හඳුන්වන නාමය 19 වන සංශෝධනයයි.

පහත දැක්වෙන්නේ අප එදා ඒ ගැන දැක්වූ අදහස් වේ.
වෙසක් සතිය කට උඩ තබාගෙන සිංහල බෞද්ධයින් වෙසක් සතියෙන් (සිහියෙන්) යුතුව දේශපාලන නිද්‍රාවක කල් යවන මොහොතේ, මේ රට පාලනය කරන යටත් විජිත ආණ්ඩුව උපක්‍රමශීලි ලෙස ක්‍රියාත්මක වෙමින් ලෝකයේ කොහේවත් ක්‍රියාත්මක නොවන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නාමයෙන් රටේ ජනබලය මංකොල්ල කෑමට කටයුතු කරනු පෙනේ. මෙය කොඩිවිනයකි - මේ කොඩිවිනයට කියන නම 19 වන සංශෝධනය වේ. මහජනතාවට කොලේ වසා ගෙනෙන මෙවැනි කොඩිවින ලංකාවට කාලයෙන් කාලයට ඇතුල් වේ.
19 වන සංශෝධනය සහ එහි වටාපිටාව ගැන සඳහන් කර අප ජනතාවගෙන් ඉල්ලීමක් කළෙමු.
සිංහල බෞද්ධයින් නිදි වැදී සිටියොත් අපට අහිමි වන දේ දිනා ගැනීමට තව වසර 50 කටත් හැකි වේය කියා කිව නොහැක. අපට 1956 දී වාරයක් ආවේය. සිංහලය රජබස කර ගනු මිස ඊට වඩා දෙයක් කර ගැනීමට අපට හැකි වූයේ නැත. 2005 දී අපට ලැබුණු අවස්ථාව දෙමළ කැරැල්ල මැඩ පැවැත්වීමෙන් එහා ජයග්‍රහණයක් කරා ගියේ නැත. මීළඟ අවස්ථාව කවදා ආවත් ඒ වන තෙක් අප ජීවත්ව සිටීදැයි කිව නොහැක. ඒ නිසා අද කළ යුතු දේ අදම කළ යුතුව තිබේ.

ඒ නිසා යෝජිත 19 වන සශෝධනයට එරෙහි වෙමු. සියළු සිංහලයින් දැනුවත් කරමු. ඊට විරුද්ධ කරවිය හැකි සෑම මන්ත්‍රී වරයෙකුටම බලපෑම් කරමු. පාර්ලිමේන්තුවේ දී එය පරාජය කරවමු. පරාජය කළ නොහැකි නම් තුනෙන් දෙක ලබා ගැනීමට ඉඩ නොදෙමු. ඒ අද දවසේ සිංහලයාගේ ජාතික කර්තව්‍යයයි.
මෙය බීරි අලින්ට විණා වැයීමක් පමණක් වූ අතර මන්ත්‍රී සරත් වීරසේකර හැරුණු විට ඉතිරි සියලු දෙනාගේ සහයෙන් මේ ද්‍රෝහී සංශෝධනය සම්මත විය. උදය ගම්මන්පිල්ල ඇතුළු කිහිප දෙනෙක් පසුව මෙහි දොස් දක්වා තිබෙණු දුටු මුත් සක්‍රිය දේශපාලනයේ යෙදෙන ඔහුට තමා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් නොවීය කියා මේ අපරාධයෙන් ගැලවී යා නොහැක.

මේ තුච්ඡ ක්‍රියාව ගැන අප එදා සඳහන් කළේ මෙසේය.
විමල් විරවංශලා සහ විපක්‍ෂය මොන පම්පෝරි ගැසුවත් වසං කළ නොහැකි සත්‍යය නම් 19 වන ව්‍යවස්ථා සංශෝධනය රාජපක්‍ෂලා දේශපාලන බිමෙන් ඉවත් කිරීමේ ජෝන් කෙරීලාගේ අභිප්‍රාය (නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ හොඳමිනිහා මහතාගේ මේ සම්බන්ධ ලිපිය කියවන්න) ඉෂ්ඨ කිරීම පිණිස ගෙනා යෝජනාවක් බවත්, ඒ අභිප්‍රාය ඔවුන් ඒ අයුරින්ම ඉටු කරගෙන ඇති බවත් ය.

දැන් මේ ගැන විමල් විරවංශලාට පම්පෝරි ගැසීමට දෙයක් නැත. විරවංශලා අපට නොකීවාට ඇත්ත කතාව නම් නිදහස් පක්‍ෂ නායකත්වය පවරා දුන් දා 'අප්පච්චි' සැබැවින්ම මළ බවත්, විපක්‍ෂ නායක ධුරය දරමින් ඒ පක්‍ෂයේ අයවළුන් ඇමතිකම් පිළිගත් විට මළ අප්පච්චිට පාංශුකූලය දෙනු ලැබුණු බවත්ය. 19 සම්මත කර ගැනීමට අත ඉස්සීම මගින් ඔහුගේ දරුවන් සහ හදාගත් දරුවන් විසින් කරන ලද්දේ මළ 'අප්පච්චි'ට තුංමාසේ දානේත් දී අහවර කිරීමයි. මහින්ද රාජපක්‍ෂ යනු දැන් දේශපාලන මළමිනියකි. පිළිගන්නට අකමැති මුත් අපට පෙනෙන්නට තිබෙන සත්‍යය එයයි. මෙතැනින් එහාට සෙල්ලම් දමන්නට ආවොත් මහින්ද රාජපක්‍ෂට සිදු වන්නේ බෝතලයක සිර වී මුහුදට විසි වී පාවී පාවී ඉන්නට ය.
මීළඟට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ සංවාදය ඉදිරිපත් විය. එය පාර්ලිමේන්තුව තුල සිංහල නියෝජනය අඩු කිරීමේ උපක්‍රමයක් බව පෙන්වා දී ඊට විරුද්ධ විය යුතු බව අප සඳහන් කළේ බොහෝ අවස්ථා වල අප හා සමගාමී අදහසක සිටි ආචාර්ය නලින් ද සිල්වා පවා නව මැතිවරණ ක්‍රමයට පක්‍ෂව අදහස් දක්වද්දීය. එහෙත් 19 වන සංශෝධනය හරහා තම අභිලාශ ඉටු කරගෙන සිටි රනිල් වික්‍රමසිංහගේ ස්වාමි වරුන්ට මේ සංශෝධනය එතරම් වැදගත් වූයේ නැත.

එහෙත් ඔවුන්ට ඊට වඩා වැදගත් යමක් තිබිණි. ඒ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල සිංහලයාට ඇති සුරක්‍ෂිතතාවය අහෝසි කර දැමීමයි. ප්‍රතිරෝධයකින් තොරව ව්‍යවස්ථා ප්‍රතිපාදන තුල රැඳෙමින්ම එය ඉටු කර ගත නොහැකි බව දත් ඔවුහු මෙවර අමුතුම "ගේමකට" පිළිපන්හ. ඒ තමන්ගේ හෙංචයියන් හෙංචක්කන් කිහිප දෙනක් දමා නව ව්‍යවස්ථාවකට මහජන අදහස් ලබා ගැනීමයි. අදහස් මහජනයාගේ වුවත් සැකසෙන ව්‍යවස්ථාව මහජනතාවගේ නොවන බවට මේ හෙංචයියලා හා හෙංචක්කලා වග බලා ගන්නවා ඇත.

අප මේ කූටෝපක්‍රමය ගැන සඳහන් කලේ පහත අයුරිණි.
දැන් එළඹී ඇත්තේ ඉහත සියළු නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී සහ සම්ප්‍රදාය විරෝධී උපක්‍රම වල කූටප්‍රාප්තියයි. ජුන්ටටාධිපති නාමධාරී රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පතට පවසන්නේ තමා විසින්ම කඩිමුඩියේ 19 වැනි සංශෝධනයක් ගෙනැවිත් මන්ත්‍රීවරුන්ගේ බෙලි ඇඹරීම මගින් එය සම්මත කර ගනිමින් තමාට රිසි අයුරින් සකස් කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසි කර දමා එජාප ව්‍යවස්ථාව වැනි බහුබූතයක් සකසා ගැනීමට තමාගේ අභිප්‍රායක් පවතින බවයි.

මේ බහුබූත වලට ඉඩ දුන්නොත් ලංකාව තවදුරටත් මෙලෙස නොපවතිනු ඇති අතර සිංහලය එහි අවසානය දකිනු ඇත. සිංහලයා තම නිජබිමෙහිම දෙවන පංතියේ පුරවැසියෙක් බවට පත් වනු ඇත. සිංහලයන් ලෙස පෙනී සිටිමින් පරවැඩ කරන වික්‍රමබාහු කරුණාරත්න, රාජිත සේනාරත්න, ජයම්පති වික්‍රමරත්න, නිර්මාල් රංජිත් වැනි අසිංහලයින්ට පමණක් මේ රටේ තත්වයක් ලැබෙනු ඇත. අප මෙතක් කරුණු පෙන්වා දී ත් මේවා කියවන සිංහලයින්ට මේවායේ වගේ වගක් නැත්නම් මීට වඩා කරන්නට දෙයක් නැත. පෙරද සටහන් කර ඇති පරිදි පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් කරගත හැකි සුළු කරුණක් වෙනුවෙන් මහමගට බැස වෙඩි කෑමේ ආසාවක් හෝ අභිප්‍රායක් හෝ අපට නැත.
ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන බල අධිකාරියන් තමා අතට නතු කරගෙන සිටින වික්‍රමසිංහ කිසිවක් ඉදිරියේ නැමෙන්නේ නැති බවත්, ඔහුගේ ස්වාමිවරුන් ඔහුව අතිශයින් විශ්වාස බවත් පසුගිය සමයේ ඔහු පාර්ලිමේන්තුවේ හැසිරුණ අයුරින් සහ ඔහුගේ ස්වාමිවරුන් තරඟයට ඔහුට චරිත සහතික නිකුත් කරන අයුරින් පෙනේ. මේ තත්වය යටතේ ජාතියට අනාගතයක් ඇත්තේම නැත. අප කිසි අඩුපාඩුවක් නැතිවම යටත් විජිතයකි. මෙය එකවර සතුටට සහ දුකට පත් විය යුතු තත්වයකි.

සතුටට හේතුව අප යටත් විජිතයක් බව අප දැන සිටීමයි - දුකට හේතුව කාගේ යටත් විජිතයක් දැයි නොදැන සිටීමයි.


ඇයි අපිටම මෙහෙම වෙන්නෙ ?


සිංහලයා කළ යුතු දේ දන්නේ නැත. දැන සිටියත් එය කළ යුතු මොහොතේ කරන්නේ නැත. අපේ ජාතියේ විනාශයට හේතුව මෙයයි.
මේ 2015 වසරත් අවසන් වෙමින් යන මොහොතේත් රනිල් වික්‍රමසිංහගේ ටිකිරි මොළය ගැන නොදන්නා අයට හුරතල් කරමින් කියා දීමට කාලයක් අපට නැත. අනෙක් අතින්, මහින්ද රාජපක්‍ෂ පාර්ශවය ද රනිල් වික්‍රමසිංහ සමග කිසියම් ආකාරයක "ඩීල්" එකක සිටිනු පෙනේ. 1978 ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් තැනීම සහ එමගින් පළාත් සභා ඇතුළු බෙදුම්වාදයට දුන් කප්පම් අහෝසි කිරීම මහින්ද රාජපක්‍ෂ විසින් ත්‍රස්තවාදය පැරදවීමෙන් අනතුරුව වහ වහා කළ යුතුව තිබුණු කර්තව්‍යයක් විය. ඔහු ඒ වෙනුවට කළේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමයි.

වික්‍රමසිංහ, කිරිඇල්ල ඇතුළු එක්සත් ජාතික පක්‍ෂය එදාත් දෙමළ බෙදුම්වාදයට පක්‍ෂ විය, අදත් එසේමය. එසේනම් වරද දෙමළුන්ගේ නොව සිංහල අපේමය. සිංහල ජාතික ව්‍යාපාරය සිංහල අරමුණු වෙත යාම වෙනුවට රාජපක්‍ෂ වන්දනාව කරමින් ඔහු ගැලවුම්කරුවා ලෙස පත් කර ගත්තේය. පසුගිය ජනවාරි 8 වැනිදා ඔහු ඇද වැටුණේ සිංහල ජාතික ව්‍යාපාරයද සුන්නද්දූලි කරමිනි.

අද ජාතියක් වශයෙන් අප අත්විඳිමින් සිටින්නේ කළ යුතු දේ කළ යුතු මොහොතේ නොකිරීමේ ප්‍රතිවිපාක මිස වෙනකක් නොවේ.

කළ යුත්තේ කුමක්ද ?


සිංහල ජාතික ව්‍යාපාරය තමන්ගේ ගමනක් නැවත ආරම්භ කළ යුතුය. පුද්ගලයන් ද වැදගත් මුත් පුද්ගලයන් අවසන් අරමුණට වඩා වැදගත් වන්නේ නැත. දෙමළ වර්ගවාදී ව්‍යාපාරය මෙය දනී. ඒ නිසා ඔවුන් වේලුපිල්ලේගේ සහ ඔහුගේ සහචරයන්ගේ මළකඳන් මතින් තම අරමුණ වෙත ලඟා වෙමින් සිටී. සිංහලයාගේ අරමුණ නියෝජනය කරන්නේ කවුරුන්ද? ඊට පෙර සිංහලයාගේ අරමුණ කුමක්ද ?

ඊනියා ඒකාබද්ධ විපක්‍ෂය සිංහලයා නියෝජනය කරන්නේ නැත. නුවර සිට කොළඹට පා ගමනක් ගිය ඒකාබද්ධ විපක්‍ෂයට බණ්ඩාරනායක සමාධියට ගරු කිරීමත් වැට් එකට විරුද්ධ වීමත් වැදගත් විය - අතුරුදහන් වූවන් යැයි කියා ත්‍රස්තවාදීන් "පොරවල්" කරන පනතට එතරම් විරෝධයක් ඇති වුණේ නැත. වෙළෙන්දන් වෙළෙඳසැල් වසා වැට් සටනට එක් වුණත් ත්‍රස්තවාදී අභිලාශ ඉටු කරන පනතට විරුද්ධව කිසි විරෝධතාවයක් නැත. ආචාර්ය නලින් ද සිල්වා, මතුගම සෙනෙවිරුවන්, වසන්ත බණ්ඩාර වැනි කිහිප දෙනෙක් පමණක් කිසි හව්හරණක් නැතත් මේවාට විරුද්ධව ලිපි පෙළක් ලියා තිබෙනු දිටිමි.

වැට් පනතට එරෙහිව අධිකරණ ඉදිරියට ගිය ඒකාබද්ධ විපක්‍ෂය මේ පනත කෙරේ කර අරින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඒ ඔවුන් සිංහලයා නියෝජනය නොකරන බැවිණි. අවසානයේ එය ජනාධිපති සිරිසේන වෙත පවරා ඔවුන්ට ඇඟ බේරා ගත හැකි නොවේ. සිරිසේනට පත් වූයේ විජාතික බලවේග වල ශක්තියෙන් බෙදුම්වාදී බලවේග වල චන්ද වලිනි. ඒකාබද්ධ විපක්‍ෂය (සහ පසුව ඊනියා ජාතික ආණ්ඩුවට එක් වූ අයවළුන්) මන්ත්‍රී ධුර වලට පත් වූයේ ජාතික බලවේග වල ශක්තියෙනි. හැරත් නාම මාත්‍රික ජනාධිපති කෙනෙක් පමණක් වන සිරිසේනට වික්‍රමසිංහගේ අවසරයෙන් තොරව සද්දයට පඩයක් වත් ඇරීමට නිදහසක් නැති බව ඒකාබද්ධ විපක්‍ෂ දන්නේ නැද්ද?

එසේම මහින්ද රාජපක්‍ෂ නම් දේශපාලන මළමිනිය රජ කරවීමටත් ඒ හරහා තම තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමටත් ඒකාබද්ධ විපක්‍ෂය දරන වෑයම හෙළා දැකිය යුතුය. අපට අවශ්‍ය වන්නේ, රටට අවශ්‍ය වන්නේ, සිංහලයාට අවශ්‍ය වන්නේ ඉටු කර ගත හැකි අරමුණු සහ ඒ වෙත ලඟා වීමේ වැඩපිළිවෙළකි. මහින්ද නැවත බලයට පත් කර ගැනීම එකී අරමුණු ඉටු කර ගැනීම කෙරේ කොතෙක් දුරට උපස්තම්භක වන්නේද යන්න ඒ අනුව නිගමනය කළ යුතුව පවතී. ඒකාබද්ධ විපක්‍ෂය පළමුව තම අසමත් බව පිළිගත යුතුය. දෙවනුව ඊට පිළියම් යෙදිය යුතුය. එය නොකරන තාක් සිංහල ජාතික ව්‍යාපාරයට ඒකාබද්ධ විපක්‍ෂය සමග අනාගතයක් නැත.


අදෘශ්‍යමාන ත්‍රස්තවාදීන්ගේ කන්තෝරුව


ජනමාධ්‍ය වලත් මේ ගැන සැළකිය යුතු හා හූවක් තිබුණේ නැති අතර පනත සම්මත වූ බව බලහත්කාරයෙන් ප්‍රකාශ කිරීමට නාම මාත්‍රික කථානායක කටයුතු කර තිබිණි. කරු ජයසූරිය නාම මාත්‍රික කතානායකයා පමණි - සැබෑ කථානායක වික්‍රමසිංහ වේ. සිරිසේන නාම මාත්‍රික ජනාධිපති වන අයුරිණි. වික්‍රමසිංහගේ නියම වියරු ඒකාධිපති ස්වරූපය මෙයින් පැහැදිළි කෙරෙන අතරේ ඊට වඩා වැදගත් කමක් එහි ඇත.

මේ පනතේ භයානක කම ලෙස බොහෝ දෙනා දකින්නේ පසුව යුධ අපරාධ චෝදනා ගෙන ඒම පිණිස මේ පනතින් පිහිටුවන අතුරුදහන් වූවන්ගේ හෙවත් අදෘශ්‍යමාන ත්‍රස්තවාදීන්ගේ කන්තෝරුව යොදා ගැනෙනු ඇත'ය යන්නයි. එහෙත් අප දකින්නේ මෙය අපේ හමුදාවේ ඒකාග්‍රතාවයට (Integrity) සහ චිත්ත ශක්තියට (Morale) බලවත් පහරක් බවයි. හමුදාවේ චිත්ත ශක්තියට එල්ල කරන පහරක් රටට එල්ල කරන පහරකි - ජාතියට එල්ල කරන පහරකි.

මේ පනතින් කෙරෙන භයානකම දේ නම් හමුදාව තුලට කිඳා බැස එහි රහස්‍ය තොරතුරු වෙතට ප්‍රවේශ වීමට පිටස්තරයන්ට අවස්ථාව ලබා දීමයි. එසේම මෙසේ ලබා ගන්නා තොරතුරු කෙළින්ම ජාතියේ සතුරන් අතට පත් කෙරෙන අතර ඒවා රටට ජාතියට එරෙහිව අවස්ථානුකූලව ඔවුන් විසින් යොදා ගැනෙනු ඇත. මෙමගින් කෙරෙන සියලුම සතුරු කම් වලට මුක්තිය හිමි වන අයුරින් මේ පනත සැකසී ඇත.

මේ පනත සම්මත වූවා යයි බලහත්කාරයෙන් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වික්‍රමසිංහට චරිත සහතික නිකුත් කරන ඇමරිකානු තානාපතිතුමා හා ඔහුගේ සනුහරය, එවැනිම චෝදනා වලට ලක් වන ඇමරිකානු සොල්දාදුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය වික්‍රමසිංහ දන්නේද ?


උන්ගේ අපේ අභිලාශ


වික්‍රමසිංහ මේවා නොදැන සිටීමට හේතුවක් නැත. එහෙත් ඇමරිකාවට අවනත ඔහු ඇමරිකාව ඇමරිකානු සොල්දාදුවන් කෙරේ ක්‍රියා කරන අයුරින් ශ්‍රී ලංකා සොල්දාදුවන් කෙරේ ක්‍රියාත්මක වීමට උත්සුක වන්නේ නැත. හේතුව ඔහු ඇමරිකානු වාලෙක් පමණක් වන නිසාය. ඇමරිකාවට අප ගැන වගේ වගක් නැත. ඉන්දියාවට නම් අප අවනත කරගෙන ඉන්දියාව තුලට ඇතුල් කර ගැනීම අවශ්‍යය. එහෙත් ඇමරිකාවට අවශ්‍ය අපගේ පොළොවේ පය ගසා ගැනීමට ඉඩක් පමණි.

වික්‍රමසිංහ අපේ රටේ, සිංහලයාගේ ජාතික අභිලාශ ක්‍රියාත්මක කරන්නේ නැත. ඔහු අපේ ජාතික අභිලාෂයන්ට එරෙහිව ක්‍රියා කරයි. මහින්ද රාජපක්‍ෂ යටතේ මේ රටේ හමුදාව බෙදුම්වාදී දෙමළ ත්‍රස්තවාදය පරදවා රටේ ජාතික අභිලාශය ඉටු කිරීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහගේ ස්වාමි වරුන්ගේ වෛරයට පාත්‍ර වී සිටියි. එසේනම් හමුදාව රැක ගැනීම ජාතියේ වගකීමකි. මංගල සමරවීර ගේ කටකතා බලකාය වැනි ලංකාවාසී සහ පරදේශවාසි ඩයස්පොරවල් සහ ඔවුන්ගේ නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන්නට නියමිත කටකතා විශ්වාස කර හමුදා සාමාජිකයන් හා නිලධාරීන්ට දඬුවම් කරන යාන්ත්‍රණයක් මේ රටට අවශ්‍ය නැත. මේ පනත ක්‍රියාත්මක වීමට කිසි සේත් ඉඩ දිය යුතු නැත. මක් නිසාද? එමගින්එ රටේ ආරක්‍ෂක හමුදාව විදේශ ඒජන්තයන් අතට පත් වීමට ඉඩ ලබන නිසාය.

මේ විනාශය රටට අත් වූ පසු වික්‍රමසිංහට සාප කර පලක් නැත. ඔහු බලයට පත් වුනෙත්, බලය පවත්වාගෙන යන්නෙත් විදෙස් බලවේග වල ශක්තියෙන් වුවත් ඔහුව ඒ තැනට ගෙන ඒම පිණිස සිරිසේන ජනාධිපති තනතුරට පත් කරන්නේ සහ තවමත් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ ඔලමොට්ටල-තකතීරු සිංහලයන් ම වන බැවිණි.


10 comments:

  1. මේ රටේ ජාතික ව්‍යාපාරයක් කවදාවත් තිබුනෙ නෑ. දළදා මාලිගාවට ගහපු කාලෙ යුද්දෙ සැරටම තිබුන කාලෙත් මිනිස්සුන්ට යුධ මානසිකත්වයකට ගන්න අමාරු වුනා.ජවිපෙ,හෙල උරුමය ඇතුළු සියළු බලවේග ප්‍රාතිහාර්යකින් වගෙ එකතුවෙලා තාවකාලිකව ජාතික බලවේගයක් නිර්මානය වුනා තමයි.
    දැන් පුද්ගලයෙක් අල්ලගෙන ඉන්නව. පුද්ගලය වැටුනට පස්සෙ ඔක්කොම ඉවරයි. පුද්ගලයෙක් මත රැදෙනව කියන්නෙම ඒ ජාතික ව්‍යාපාරය පරඩැලක් බව පේනව.

    මට පේන්නෙ ඓතිහාසික හේතුවක්. ඇත්තටම ඔය ජාතික ව්‍යාපාරය කවදාවත්ම තිබුනෙ නෑ.අනන්‍යතාවය රැකුනෙත් දූපතක් වී ම නිසා. බුද්ධාගම නිසා ජාතික ව්‍යාපාරයකට කවදාවත්ම ඉඩක් නෑ.චීනය ජපානය වියට්නාමය ගත්තොත් ඒ රටවල්වල බුද්ධාගම ජාතික සංකේතයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඔයා මනුශ්‍ය ස්වභාවය ගැන වැරදි අවබෝධයකින් සිටින කෙනෙක්. මීට කලින් දවසක ඔබ උඩුවාගේ බ්ලොග් අඩවියේදී දෙමළ ජනතාවට සිංහලයන්ගෙන් බරපතල අසාධාරණ වූ නිසා ඔවුන් දරුණු වුනා යන මතය ඉදිරිපත්කලා. එහෙම වෙන්නේ නෑ එහෙම වෙන්නේ පරණ හින්දි චිත්‍රපටවල පමණයි.
      ඒ වගේම මිනිස්සු ජාතිකත්වය නැමති සංකල්පය වටා ස්වංක්‍රීයව සංවිධානය වන්නේත් නෑ. එය යම් සංවිධානයක් හරහාම වියයුතුයි. ඒවගේම යම් සමාජයක්තුල සිටින සියළු මිනිසුන් තුල ජාතිකත්වය සම්බන්ධව එකම මතයකුත් නෑ.
      මූගල් රජවරුන්ට හින්දු බහුතරයක් සිටින අධිරාජ්‍යයක් පාලනය කල හැකි වුනෙත්. බිරිතානියන්ට හිරු නොබසින අධිරාජ්‍යයක් තැනිය හැකිවුනෙත් මෙම මනුශ්‍ය ස්වභාවය නිසයි.
      ඒ වගේම දැවැන්ත අධිරාජ්‍ය බිඳවැටීමෙන් පසු නිදහස්වූ රාජ්‍යය තුල ගැටුම් වැඩි වන්නේ අධිරාජ්‍යය විසින් ජාතිකත්වය දුබල කිරීම නිසයි.

      මෙකත් හිතන්න ඇයි විග්නේශ්වරන් සතිපතා මොකක්හරි වර්ගවාදී කුණුහරුපයක් කියන්නේ.
      ඔහු එසේ කරන්නේ එසේ නොකලොත් දෙමළුන්ගේ බෙදුම්වාදී හැඟීම් ක්‍රමයෙන් සමනයවන බව දෙමලෙක් වන ඔහු අපට වඩා හොඳින් දන්නා නිසයි.

      Delete
    2. ම.ම.,
      ඔබේ අදහසට එකඟ වන්නට අපහසුයි. අපේ අනන්‍යතාවය රැකුණේ දූපතක් වීම නිසා නම් වැද්දන්ගේ අනන්‍යතාවය සුද්දන් එන තුරු රැකුණේ කුමක් නිසාද?

      දූපතක් වීම හේතුවෙන් බලපෑම් අඩු වීම සත්‍යයක් මුත් අනන්‍යතාව රැක ගැනීම හා එය අතර සෘජු සම්බන්ධතාවක් දැකීම විහිළුවකි. එසේ නම් මහාද්වීප වල වෙනස් අනන්‍යතා ඇති වන්නේ නැත.

      මිහිදු මාහිමියන්ගෙන් පසු ලක්දිව රාජ්‍ය පාලනය කෙරේ මහා විහාරයේ බලපෑම ප්‍රබලව ඇති විය. ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව ඇති වන්නේ විජාතික බලපෑම් ඇති විටයි. එවැනි සෑම අවස්ථාවකම මහා විහාරය ප්‍රමුඛ කොට ගත් ජාතික ව්‍යාපාරයේ බලපෑම ඉතිහාසය පුරා දැකිය හැක. එවැනි විජාතික තර්ජන නැති විට ජාතික ව්‍යාපාරය නිද්‍රාගත වේ.

      ඉංගිරිසි පාලනයට එරෙහිව සිංහලයන් කළ සෑම නිදහස් අරගලයක් පසුපසම පන්සල වූ බව ඒ අරගල වලදී දිවි දුන් හිමිවරුන්ගේ නාම ලේඛනයෙන් පෙනේ.

      අප දන්නා කාලයේ අතිපූජ්‍ය මඩිහේ, පූජ්‍ය මාදුළුවාවේ (පසුව පාරාජිකා විය), පූජ්‍ය ගංගොඩවිල, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ (හෙදියන් බාරව ද කටයුතු කළේය), පූජ්‍ය ඇල්ලේ වැනි හිමිවරු පන්සලේ සිටිමින් මේ ව්‍යාපාරයට පණ දුන් යතිවරු වේ.

      ලංකාවේ බලය ගැන උනන්දු වන කොල්ලන් බල්ලන් සහ පරයන් සියලු දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධ සාශනයට හිමි තැන නැති කරන්නට වලි කන්නේ නිකම්ම ද?

      Delete
  2. ඔය ඊළම තෑගි ඔප්පුවකින් දීලම දැම්මොත් නරකද
    මේ කන්කරච්චලේ වත් නැතිව යන්නෙ නැතෑ. මාක්ස්වාදීන් ලිබරල්වාදීන් මානව හිතවාදීන් හා එන් ජී ඕ කාරයන් සතුටු වෙන්නෙ නැතෑ.
    ඊළම එක්කම නැගෙනහිර මුස්ලිම් අයටත් තෑගි ඔප්පුවකින්ම යමක් දෙන්න ඕන. තව තව පිරිස් යම් යම් දේ ඉල්ලුවොත් තෑගි ඔප්පු වලින්ම දීල දාන්න ඕන.
    මේ රටේ ජනතාවට ගැලපෙන්නෙත් ඒ වගෙ විසදුම්.
    මොකද කියන්නෙ නරකද යෝජනාව.

    ReplyDelete
    Replies
    1. ජාතික මතය ඔන්න ඔතැනට තල්ලු කිරීම තමයි මේ සියළු ව්‍යාපාර වල උත්සාහය.
      යුද්ධයට බියෙන් ජනතාව ඔවැනි මත වාදයකට සාමය නමින් ගෙන එන්නට දැරූ තැත ව්‍යර්ථ වූ කල නව මෙහෙයුම ක්‍රියාත්මකව ඇත.

      Delete
    2. එහෙම කරනවානම් මුලින්ම දෙමලා සහ මුස්ලිම් මිනිහාට තමා දෙමලෙක් / මුස්ලිමෙක් ලෙස ලියාපදිංචි වීම‍ට ක්‍රමයක් සැකසිය යුතුයි.
      ඉන්පසු ජන සංගණනයක් කර රටේ භුමිය ජන අනුපාතයට බෙදා දෙමල ප්‍රදේශයට සියළු දෙමළුන් ගාල්කල යුතුයි. මුස්ලිම් ප්‍රදේශයට සියළු මුස්ලිමුන් ගාල්කල යුතුයි. මිශ්‍ර විවාහ කරගෙන ඇති අය බලෙන් දික්කසාද කල යුතුයි.

      Delete
    3. ම.ම.,
      "discrimination" යන ඉංගිරිසි වචනයේ සැබෑ ප්‍රායෝගික අර්ථය බල කේන්ද්‍රයේ නොසිටින බහුතර සිංහලයින්ට අවබෝධ කර දීමට ඔබේ යෝජනාව අගනේය.

      j.p.,
      ඔය අදහස මීට කාලයකට පෙර අපටද තිබිණි. එහෙත් ගැටළුව වන්නේ අප ඊට කැමති උවත් අනෙක් පාර්ශවය ඊට අකමැති වීමයි (අපද ඊට අකමැති වීම වෙනම ප්‍රශ්නයකි). අනෙක් පාර්ශවය පතන්නේ ශ්‍රී ලංකා බල කේන්ද්‍රයේ තමන් දරන ස්ථානය එළෙසම දරමින් තමන්ට වැඩි බලයක් සහිත ප්‍රදේශ වල සිංහලයින් පාගා බිමටම අඹරා පාවාඩයක් කර ගැනීම මිස වෙනකක් නොවේ. දෙවැන්න ලබා ගැනීම වෙනුවෙන් පළමුවැන්න නැති කර ගැනීමට ඔවුන් සූදානම් නැත.

      Delete
  3. මම මධ්‍යස්ථ මතධාරියා වෙමි. ප්‍රොෆයිල්ම එකෙන් ඒම අමාරුය. ෆෝන් එකෙව් ලොග්වන නිසාය.

    කලකට පෙර ජාතික ව්‍යාපාරයේ ද සිටියෙම්. සිංහලයන් ගැන කලකිරුනෙමි.ජාතික ව්‍යාපාරයේදී මට තේරුම් ගිය දෙය නම් මෙරට ජාතික ව්‍යාපාරය පුද්ගලයන් ඉලක්ක කර සිදුවන්නක් බවයි. එනම් මොකෙක් හෝ පංචස්කන්ධයකට කිරුළු පැලදවීමෙන් ජාතික ව්‍යාාපාරය අවසන් වේ.
    මෙය 56 බංඩාරනායක මෙන්ම හෙල උරුමය තුලත් පසුව මහිංද උදාහරනයේත් දැකිය හැකි විය. මම නම් රාජාංඩු විරෝධියෙක්මි.

    මෙහි තේරුම ජාතික ව්‍යාපාරය සජීවීව තිබෙන දෙයක් නොවන බවයි.

    ජාතික ව්‍යාපාරය පදනම් විය යුත්තේ ඊළම හා වෙනත් බෙදුම්වාදයන් වෙනුවෙනි. කනිෂ්කද එකග වූ ලෙසින්ම ජාතිවාදය යන වචනයේ ප්‍රායෝගික තේරුම සිංහලයන්ට අවබෝධ කර දීමට හොදම ක්‍රමය ඊළම බිහිවීමයි. නැගෙනහිර මුස්ලිම් රාජ්‍යයක් මෙන්ම රටමැද වතුදෙමල රාජ්‍යයක්ද අවශ්‍යය. උතුරේ දෙමල රාජ්‍යය ට පුත්තලමද අැතුලත් වීමෙන් මෙහි ප්‍රායෝගික අර්ථය යස රගට අපට අවබෝධ වනු අැත.
    මාක්ස්වාදීන් ලෙනින්වාදීන් ට්‍රොට්ස්කිවාදීන් කස්ත්‍රෝවාදීන් මාවෝවාදීන් හෝචිමිංවාදීන් කිම් ඉල්සුංවාදීන් ලිබරල්වාදීන් හා එන්ජීඕකාරයන්ගේ කංකරච්චලයෙන් මිදී නිදාගන්නවත් අපට ලැබෙනු අැත.

    ලැබුන ප්‍රමානය ප්‍රමානවත් නැතිබව මැසිවිලිනැගේනම් අනෙක් දිස්ත්‍රික්කද සමානව බෙදාදිය හැක. නොතාරිස් කෙනෙක් ලග තෑගි ඔප්පු ලෙසම දීල දාන එක ලේසිය.

    ReplyDelete