Monday, November 10, 2014

දස අව්‍යාකෘත ප්‍රශ්න වලට පිළිතුරු නොදෙන බව සත්‍යයක්ද?

පසුගිය ලිපිය තුලින් දස අව්‍යාකෘත ප්‍රශ්න ගැන සාකච්චා කළෙමු. බුදුරජාණන් වහන්සේ නමක් විසින් ඒවාට පිළිතුරු නොදෙන්නේය යන ජනප්‍රිය මතය අභියෝගයට ලක් කළෙමු. අවසන් වශයෙන් එයට බුදුරජාණන් වහන්සේ විසින් සාපේක්‍ෂ පිළිතුරක් දී ඇති බව සඳහන් කළෙමු. අද සංවාදය එතැන් සිට දිග හැරේ.
මහා කාරුණිකයන් වහන්සේ
බුදුරජාණන් වහන්සේ අනුරාධ ස්වාමින් වහන්සේට මේ ගැන උපදෙස් දුන් අයුරු දැන ගනිමු.



අව්‍යාකෘත ප්‍රශ්න වලට පිළිතුරු දී තිබේද ?


අනුරාධ යනු බුද්ධ ශ්‍රාවකයෙකි. එහෙත් උන් වහන්සේ අරහත් ඵලයට පත් වී නැත. උන් වහන්සේ ආරණ්‍යගතව සිටින විට වූ සිද්ධියක් අරභයා බුදුරජාණන් වහන්සේ හා කෙරුණු සංවාදයක් පහත දැක්වේ. මෙය සංයුක්ත නිකායේ දැක්වෙන සූත්‍රයකි.

අනුරාධ හිමි: ස්වාමීනි, මා ආරණ්‍ය සේනාසනයෙහි සිටි විට පිරිවැජි පිරිසක් මා වෙතට ඇවිත්, උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් පැමිණීමට පත් වූ තථාගතයා මරණින් පසු ඇති ද?, නැති ද?, ඇති හා නැති ද?, නොම ඇති හා නොම නැති ද? කියලා මගෙන් ඇසුවා. ඊට පස්සේ මම ඔය කියාපු සතර ආකාරයෙන් පිටස්තරව තථාගතයා පිළිබඳව යමක් කියන්නට හැකි කමක් තිබෙනවාද? කියල ඒ අයගෙන් ඇසුවා. ඊට පස්සේ ඔවුන් මේ ලඟදි පැවිදි වූවෙක්; නවකයෙක්; බාලයෙක්; අව්‍යක්තයෙක්. කියල මට දොස් නගල යන්නට ගියා. ස්වාමීනි, ඔවුන් නැවතත් එම ප්‍රශ්න මගෙන් ඇසුවොත්, බුදුරාජාණන් වහන්සේගේ දේශනාවට ගැලපෙන විදියටත්, භාග්‍යවතුන් වහන්සේට අභූත චෝදනා නොකරන්නෙකු වන විදියටත්, ධර්මයට අනුරූප වන විදියටත්, පිළිතුරු දීමෙන් පසු ඔවුන්ගේ ගැරහුමට ලක් නොවන විදියටත්, උත්තර කියන්නේ කොහොමද?

බුදුරජාණන් වහන්සේ: අනුරාධ; රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, වික්ඤාණ යන මේවා නිච්චද? අනිච්චද?
අනුරාධ හිමි: අනිච්චයි ස්වාමීනි.

බුදුරජාණන් වහන්සේ: යමක් අනිච්ච නම් එය දුකක් ද? සැපක් ද?
අනුරාධ හිමි: දුකක් ස්වාමීනි.

බුදුරජාණන් වහන්සේ: යමක් අනිච්ච නම් දුකක් නම් එය "මගේ" ඒ "මම වෙමි" ඒ "මගේ ආත්මය" කියල ගැනීම සුදුසුද?
අනුරාධ හිමි: ස්වාමීනි, එහෙම පිළිගැනීම සුදුසු නැහැ.

බුදුරජාණන් වහන්සේ: අනුරාධ; රූප වේදනා සඤ්ඤා සංඛාර හා වික්ඤාණ යන මේවා පිළිබඳව සම්‍යක්ඥානය ඇති කරගත් ශ්‍රාවකයා රූපාදිය කෙරෙහි කලකිරෙනවා. කලකිරී නොඇලෙනවා. නො ඇලී ඒවායින් මිදෙනවා. මිදුණායින් පසු මිදුණා යන නුවණක් ඇති වෙනවා. ඉපදීම අවසානයි. බඹසර වැස නිමයි. කළයුතු දේ කරලා අවසානයි. වෙනත් කළයුතු දෙයක් නැහැයි කියල දැන ගන්නවා.
අනුරාධ; තථාගතයා යනුවෙන් ගණන් ගන්නේ රූපයද?
අනුරාධ හිමි: නැහැ ස්වාමීනි.

බුදුරජාණන් වහන්සේ: වේදනාව තථාගත ද? සඤ්ඤාව තථාගත ද? සංඛාර තථාගත ද? වික්ඤාණ තථාගතද?
අනුරාධ හිමි: ස්වාමීනි, ඒ එකක්වත් තථාගත නමින් ගණන් ගන්න බැහැ.

බුදුරජාණන් වහන්සේ: අනුරාධ, රූප වේදනා සඤ්ඤා සංඛාර හා වික්ඤාණ යන මේවායින් කවරක හෝ තථාගතයා ඇතැයි කියා සිතනවාද?
අනුරාධ හිමි: ස්වාමීනි, එහෙම සිතන්නට බැහැ.

බුදුරජාණන් වහන්සේ: අනුරාධ, රූප වේදනා සඤ්ඤා සංඛාර හා වික්ඤාණ යන මේවා තථාගතයා වශයෙන් සිතනවද?
අනුරාධ හිමි: ස්වාමීනි, එහෙම සිතෙන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ: අනුරාධ, එහෙනම් අරූප අවේදනා අසඤ්ඤා අසංඛාර අවික්ඤාණ යන මේවා තථාගතයා වශයෙන් සිතනවද?
අනුරාධ හිමි: ස්වාමීනි, එහෙම සිතෙන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ: අනුරාධ, මේ ලෝකයේදීත්, සත්‍ය වූ ස්ථිර වූ තථාගතයකු "ඇත" කියා නොපිළිගත හැකි බව එයින් පෙනෙනවා. අනුරාධ, මෙලොවදීත් එහෙමනම්, මළායින් පසු තථාගතයකු ගැන කථා කිරීම සුදුසුද? ඉතින් අනුරාධ, උතුම් පුරුෂ තථාගතයා, පරම පුරුෂ තථාගතයා, උතුම් පැමිණීමට පත් තථාගතයා යන කීමෙහි තේරුමක් තියෙනවද? එම තථාගතයා මරණින් පසු "ඇතිද?" "නැතිද?" "ඇති හා නැතිද?" "නොම ඇති හා නොම නැති ද?" යන සතර ක්‍රමයෙන් බැහැරව යමක් කිව හැකිද?
අනුරාධ හිමි: ස්වාමීනි, කියන්න දෙයක් නැහැ.

බුදුරජාණන් වහන්සේ: බොහොම හොඳයි අනුරාධ, මා කලින් කිව්වෙත් දැන් කියන්නෙත් අනුරාධ, දුක්ඛයත් දුක්ඛනිරෝධයත් පමණයි.

ඉහත සංවාදයට අනුව මහරහත් භාවයට පත් වූවෙකුගේ මරණින් මතු තත්වය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් අනුරාධ හිමිට කුඩා දරුවෙකුට දයාබර මෑණි කෙනෙකුන් විසින් අකුරෙන් අකුරෙන් පහදා දෙන්නා සේ සුපැහැදිලි පිළිතුරක් දී තිබේ. රහත් භාවයට පත් නොවුවෙකු, එනම් උපාදානය සහිතව මළ තැනැත්තෙකු පිළිබඳව දිය හැකි සරල පිළිතුර උන් වහන්සේ වජ්චගොත්ත පිරිවැජියාට දෙසා වදාරා ඇත. එසේනම් මරණින් මතු තත්වය පිළිබඳව අද බෞද්ධයින් තුල මෙතරම් කුකුස්‌ ඇති වීමට හේතුව කිම?

මෙයට හේතුව අද බෞද්ධයින් විවිධාකාර හේතු නිසා අනාත්මවාදයෙන් අපගමනය වී ආත්මවාදය දෙසට තල්ලු වී සිටීම බව අපගේ පෞද්ගලික අදහස යි. පෙර ලිපියේ, වච්ඡගොත්ත විසින් භවත් මුගලන්, අන්‍යතිර්ථක පිරිවැජියන් විසින් අසන ලද මේ ප්‍රශ්න වලට මේ විදියට පිළිතුරු දෙන්නේ කවර හේතුවක් නිසාද? කියා ඇසූ විට මුගලන් හිමි වච්ඡ: අන්‍යතිර්ථක පිරිවැජියන්, ඇස, කණ, නැහැය, දිව, ශරීරය, හා මන යන මේවා "මගේ" කියා හෝ "මම වෙමි" කියා හෝ "මගේ ආත්මය" කියා හෝ සළකනවා. එම නිසයි ඔවුන් අසන ප්‍රශ්න වලට පිළිතුරු ඔය විදියට දෙන්නේ. වච්ඡ: බුදුරජාණන්වහන්සේ ඇස, කණ, නැහැය, දිව, ශරීරය, හා මන යන මේවා "මගේ" කියා හෝ "මම වෙමි" කියා හෝ "මගේ ආත්මය" කියා හෝ පිළිගන්නේ නැහැ. අන්න ඒ නිසයි ඔය විදියට පිළිතුරු දෙන්නේ.යි සාකල්‍ය සම්පූර්ණ සෘජු පිළිතුරක් දෙති. මෙහි "පිළිතුර" නම් පිළිතුරු නොදී සිටීමයි. අද සිටින ආත්මවාදී බෞද්ධයින්ට අප විසින් මේ සම්බන්ධව දිය යුතු නියම පිළිතුරද එයම මිස වෙනකක් නොවේ.

48 comments:

  1. 1. ඒ කියන්නේ දැනුත් නෑ. ඒනිසා මරණින් මතු තියෙන්න දේකුත් නෑ කියන එකද ?

    2. එතකොට මේ හතරෙන්
    ඇති ද?
    නැති ද?
    ඇති හා නැති ද?
    නොම ඇති හා නොම නැති ද?'

    'නැත' කියා කෙලින්ම කියන්නේ නැත්තේ ඇයි ?

    3.'නොම ඇති හා නොම නැති ද' කියන කොටසේ 'ඇති' == 'නොම නැති' හා 'නොම නැති' == 'ඇති' ලෙස නොසලකන්නේ අයි දැයි නොතේරේ . හේතුවක් තිබිය යුතුය නමුත් මිටර් නොවේ.

    ReplyDelete
    Replies
    1. පිළිතුරේ "සාපේක්‍ෂ" යන වචනයට ඔබේ අවධානය යොමු කරමි.

      1. නැත. පැංචා දැනුත් නැති නිසා* මරණින් මතු පැංචෙක් ගැන ඇත / නැත / ඇත හා නැත / නොම ඇත හා නොම නැත යන චතුරාකාර පිළිතුරැ නොගැළපේ. දැන් පැංචා යනු පඤ්ඤප්තියකි - හෙවත් පැනවීමකි.

      2. 'නැත' කියා කීමේ 'කෙලින්' කම කුමක්ද? කෙලින් කීම යනු බොරු කීමද? නැති වීමටනම් ඊට පෙර යමක් තිබිය යුතු නොවේද?

      3. සුලභ ප්‍රශ්නයකි. මෙසේ සිතමු.
      "ඇයි මචං අවුලක්ද?" කියා ඇසුවොත් "නැහැ" කියා පිළිතුරු දුන් කෙනෙක් "අවුලක් නැද්ද"යි ඇසූ විට "එහෙමත් නෑ" කියයි නම් ඔබ තේරුම් ගන්නේ කුමක්ද? මෙහි සරල තේරුම ඔහුට දැනට අවුලක් නැති මුත් තව මොහොතකින් අවුලක් ඇති වීමේ හැකියාවක් ඇති බවයි (ඇත හා නැත). මෙය සාමාන්‍ය ජීවිතයේදී විභාගයක් (අධ්‍යාපන හෝ වෛද්‍ය හෝ වෙන ඕනෑම) අපි අත්දකින තත්වයකි. ලේ නියැදියක් (සාම්පලයක්) ලබා දී එහි ප්‍රතිපලය ලැබෙන තෙක් අප සිටින්නේ ඉහත අවස්ථාවේය. මේ අ'වින් ෂ්රෝඩින්ග'ගේ චිත්ත පරීක්‍ෂණයේ බළලා සිටි තත්වයයි.
      අනෙක් අවස්ථාවට උපමාවක් මේ අවස්ථාවේ සිහියට නොඑයි. එහෙත් මේ දෙක එකම නොවේ.
      ---
      * ඉහත 'දැනුත් නැති නිසා'ය යන්න වැරදි වචන ව්‍යවහාරයකි. තේරුම් කිරීමේ පහසුව සඳහා එසේ යොදා ගන්නා ලදී.

      සැ.යු.: ඉහත මූලික ලිපියේ සටහන් කරන ලද සංවාද අපේ නිර්මාණ නොවන මුත් දැන් දුන් පිළිතුරු අපේ නිර්මාණ නිසා තමන්ම විමසීමෙන් තොරව පිළිගැනීම නො-සුදුසුය.

      Delete
    2. පිළිතුරු වලට ස්තූති කනිෂ්ක.

      1. 'ඇත / නැත / ඇත හා නැත / නොම ඇත හා නොම නැත' යන්නෙහි හා 'පඤ්ඤප්තියකි - හෙවත් පැනවීමකි' යන්නෙහි වෙනස තේරුම් ගැනීමට උත්සහ දරමි. පැනවීමක් කියන්නේ 'ඇත / නැත / ඇත හා නැත / නොම ඇත හා නොම නැත' මේ එකක්වත් නොවේ නම් ඒක හරියටම අවබෝධ වෙන්නේ නිවන් /මාර්ගපල ලැබූ විටද? ඊට පෙර දල අදහසක් ලබා ගත හැකිද?
      2. නැති වීමටනම් ඊට පෙර යමක් තිබිය යුතු නොවේද? ඔව් . ඒ නිසා නැත කිව නොහැක. ඒක හරි.
      3. ඇති හා නැති ද?ලේ නියැදියක් (සාම්පලයක්) ලබා දී එහි ප්‍රතිපලය ලැබෙන තෙක් අප සිටින්නේ ඉහත අවස්ථාවේය. - උදාහරණයට ස්තුති. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ . 'නොම ඇත හා නොම නැත' නම් ඉතින් තෙරුන් ගන්න බෑ තවම . හිත හිත ඉන්නකොට වෙලාවක තේරෙයි.

      Delete
    3. පහත: http://katha32.blogspot.com/2014/11/avyakrutha-prashna.html?showComment=1415813115630#c6870708002728641258
      හි පිළිතුරත් බලන්න.

      ඔබට එදා මිහින්තලා පව්වේදී කෙරුණු අපූරු ප්‍රශ්නෝත්තර සංග්‍රහය අද-ඊයේ වාගේ මතකයි නම්;
      දේවානම්පියතිස්ස රජුගෙන් ඇසූ ඤාති ප්‍රශ්නයේ අවසන් කොටස සිහියට නගා ගන්න.

      මිහිඳු හිමි: මහරජ ඒ නෑයනුත් නොනෑයනුත් හැර වෙනත් කිසිවෙක් සිටිත්ද?
      තිස්ස රජු: (හා මට තේරුණා හාමුදුරුවනේ, ඔය මගෙන් අහන්නේ චතුස්කෝටිකයේ හතරවෙනි එක දන්නවද කියලනේ...)

      කලින් වාරයේ සිහියට නො-ආ උපමාව වෙනුවෙනි මෙය ඉදිරිපත් කරන ලද්දේ.

      Delete
  2. මෙන්න මේවට තමා පැනල උත්තර දෙන්න හිතෙන්නේ...

    1. ඒ කියන්නේ දැනුත් නෑ. ඒනිසා මරණින් මතු තියෙන්න දේකුත් නෑ කියන එකද ?
    --- දැනුත් නෑ කියා නැත. දැනුත් "සත්‍ය වූ ස්ථිර වූ 'තථාගතයකු' ඇත කියා නොපිළිගත හැකි බව"යි කියා ඇත්තේ. (දැනුත් නෑ කියන්නේ මොකුත්ම නෑ කියන එකයි)

    2. එතකොට මේ හතරෙන්
    ඇති ද?
    නැති ද?
    ඇති හා නැති ද?
    නොම ඇති හා නොම නැති ද?'
    'නැත' කියා කෙලින්ම කියන්නේ නැත්තේ ඇයි ?
    --- කොල්ලෝ හෙප්පුවට හෙණ ගැහුවාම කිල්ලෝටේ හොයන්න යන්නෙපා. හතරෙන් එකක්වත් කියන්න බෑ කිව්වම එහෙනම් දෙවෙනි එක වෙන්න බැරිද කියල අහන්නේ ඇයි? 'නැත' කියා කෙලින්ම කියන්නේ නැත්තේ 'නැත' කියා කෙලින්ම කියන්න බැරි නිසා - එහෙම කිව්වොත් වැරදි නිසා.

    3.'නොම ඇති හා නොම නැති ද' කියන කොටසේ 'ඇති' == 'නොම නැති' හා 'නොම නැති' == 'ඇති' ලෙස නොසලකන්නේ අයි දැයි නොතේරේ . හේතුවක් තිබිය යුතුය නමුත් මිටර් නොවේ.
    --- මේක ලිව්වා වැරදි නේද?
    --- ඇති යන්න t හා නැති යන්න f ලෙස ගත්තොත් නො- යන්න n ලෙස සැලකූ විට:
    ඉහත අවස්ථා සතර:
    t, f, tf, ntnf වේ.
    දැන් ඔබට කීමට අවශ්‍ය කුමක්ද?
    t = nf හා nf = t ලෙස නොසලකන්නේ ඇයිද කියාද?

    ReplyDelete
    Replies
    1. (t)rue & (f)alse සංකල්පයට (n) අකුරක් යොදා ගැනීම අපූරු වැඩක්නේ. ඔය තියෙන්නේ අපේම සංකල්ප ගොඩනගා ගැනීමක්.

      Delete
    2. ස්තුතී මේක පහදලා දුන්නට.

      Delete
  3. කුලකයක් ඇදල බලන්න. රුපියලේ කාසියක් ගන්න. රවුම් දෙකක් අදින්න. චේදනය වන පරිදි. එකක් "ඇත" අනෙක "නැත". චේදනය "ඇත සහ නැත" කොටුව ඇතුලේ රවුම් වලින් එලිය, නොම ඇති සහ නොම නැති.
    ඇත - ආත්මවාදියි සහ නිත්‍යයි.
    නැත - හිස්. කථා කරන්න දෙයක් නැහැ.
    නොම ඇති - පවතින්නේ නැත (අනාත්ම)
    නොම නැති - ස්ථිර නැත ( අනිත්‍ය )
    හරිද මන්ද :) (ඔන්න මම නෙවෙයි මුලින්ම පැනල දුන්නේ )

    ReplyDelete
    Replies
    1. ඇනෝ සහෝදරයා, ඔබතුමාගේ කුලක සංකල්පය ඉතා අගෙයි, මට හිතෙන හැටියට ඒකෙන්න් මේ සතර ආකාරයේ පිළිතුර ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. හැබැයි ඒක අනිත්‍ය අනාත්ම සංකල්ප එක්ක ඔබ කරන ගැලපීම ටිකක් පටැලිලි සහිත බවකුයි හැඟෙන්නේ. අපි බලමු අපේ කණිෂ්ක මහත්තයට ඒ ගැන කියන්න තියෙන්නේ මොනවද කියලා.

      Delete
    2. මෙන්න මේක පොඩ්ඩක් බලන්න: http://katha32.blogspot.com/2013/05/vesak-poya.html?showComment=1369853454918#c3187445140735576417

      මේක මම මුලින් හෙව්වත් සොයා ගන්න ලැබුනේ නෑ.
      Anonymous,
      ඉහත සබැඳියෙන් අප ඔබේ අදහස අනුමත කරන බවයි කීමට තතනන්නේ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මම මේ ප්‍රශ්නේ අහන්න කලින් වෙන් සටහන ඔස්සේ හිතුවා. මට වැරදුනේ ඇත = A හා නැත = A ' ලෙස සැලකීම. මම ප්‍රශ්නයක් රිපීට් කරලා වගේ. කනිෂ්කගේ දාලා තියන කලින් සබැදියේ තියෙන්නෙත් මේ කතාවමයි. Anon කියලා තියන විදියට A B දාලා වෙන් රූපේ ඇදල බැලුවමයි , ජෝසප් දීලා තියන උදාහරනේ බැලුවමයි තර්කානුකුලව හතරවෙනි අවස්ථාව හිතා ගන්න පුළුවන්. ස්තුතී මේක පහදලා දුන්නට.

      Delete
    5. කණිෂ්ක,
      ස්තූතියි පෙර සටහන නැවත පලකිරීමට. මා එය කියවා තිබුන මුත් හදිසියේ දැමු කෙටි සටහනේ සියල්ල සදහන් කල නොහැකි විය.

      Delete
    6. සිතුවිළි,
      පැටලෙනවානම්, පැටලවෙන්නේ මෙතන වෙන්න ඕන. (මේක තනියම තමන්ම තේරුම් ගන්න ඕන තැනක්!)
      නොම ඇති - පවතින්නේ නැත (අනාත්ම)
      නොම නැති - ස්ථිර නැත ( අනිත්‍ය )

      යමක් ඇතයි කිව්වම හෝ පවතිනවා කිව්වම (නැවත්මක් නැහැ) ඒක අත්මවාදී වෙනවනේ. නමුත් අපි සියළු සංකල්ප අමතක කරලා වට පිට බැලුවොත්, දෘෂ්ටි මායාවක් වශයෙන් හෝ පැවැත්මක් තිබෙනවානේ. මේක දෘෂ්ටි මායාවක් විදිහට අපි උනත් හිතන්නෙම, අපි ලබපු බුදු දහමේ අභාෂය නිසයි. ඊයේ හිටපු "සිතුවිළි" අද ඉන්නෙත්, හෙට ඉන්නෙත් අපේ "සිත" හෝ සංකල්ප තුල පමණයි. "සිතුවිළි" වෙනස් වෙන (නිත්‍ය නොවන බව) ඔහුගේ කුඩා කල මිතුරෙකු හදිසියේ හමු වීමෙන් "වෙනස් වෙලා තියෙන තරම්!" කියන කියමනේ ඇත. නමුත් ඔහු අල්ලාගත් "සිතුවිළි" කෙනක් ඇත. "සිතුවිළි" කියන්නේ හරිම තැන්පත්, අහිංසක, කඩවසම්, මිත්‍රසිලි හාදයෙක් ආදී වශයෙන්. නමුත් Josep දකින සිතුවිළි වෙනස් කෙනෙක්. "සිතුවිළි" දකින "සිතුවිළි" තවත් කෙනෙක්!. ඇත්තනම් එම දෘෂ්ටි මායාවන් ඇසුරෙන් සකස් කරගන්නා හෝ පනව ගන්නා "සිතුවිළි" කෙනෙක් නැති බවයි. මෙය "ශුන්‍ය බව නොවේ". එය අපේ පංච ඉන්ද්‍රිය ඇසුරෙන් ලබන වේදනා (දැනීම් හෝ අත්දැකීම්) තුලින් අප තුලම ගොඩනගාගත් දෙයක් පමණි.

      යමක් නැතැයි කිව්වොත් හිස් වෙනවනේ. නමුත් අපි සියළු සංකල්ප අමතක කරලා වට පිට බැලුවොත්, දෘෂ්ටි මායාවක් වශයෙන් හෝ යම් යම් දේවල් තිබෙනවානේ. මේක දෘෂ්ටි මායාවක් විදිහට අපි උනත් හිතන්නෙම, අපි ලබපු බුදු දහමේ අභාෂය නිසයි. ඊයේ හිටපු "සිතුවිළි" අද ඉන්නෙත්, හෙට ඉන්නෙත් අපට "වෙනස් වීම" ගෝචර නැති නිසයි. මොහොතක් හෝ වෙනස් නොවී ඇති දෙයක් නැහැ. අද ඇති පුටුව තව මාසයකින් එකවරම දිරනවා නෙවෙයිනේ. රටාවක් අනුව සියල්ල වෙනස් වෙනවා. අපිට ගෝචර වෙන්නේ යමක පැවතීමක් සහ එහි විනාසයක් (හෝ වෙනසක්, විපල්ලාසයක් ) පමණයි. වෙනස් වීම ගෝචර නැහැ. කිසිවක් ස්ථිර නැත. නොම නැත.

      Delete
    7. ඔව් යාළුවා ඒ අදහස නම් පැහැදිලියි.

      තවදෙයක් මීට ටික කලකට පෙර හිටපු ඇනොනිමස් බලන කොට පැංචා වෙලා.
      ඒ වෙනුවට අළුත් ඇනෝනිමස් කෙනෙක් ඇවිල්ලා.
      ඒකත් අනිත්‍යමද මන්දා.
      ඇනෝ සහෝදරයා, ඔබතුමාත් අපිට සිංහලෙන් කියවන්න පුළුවන් නමක් යොදා ගනිමුකෝ. එතකොට මෙහෙම කථා කරනවාට වඩා තව පොඩි "ෆිට්" එකක් තියෙනවා

      Delete
  4. ඉක්බිති ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙතැ එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකැත්පස් වැ හුන්හ. එකැත්පස් වැ හුන් ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ.

    වහන්ස, මම මෙහි භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැන පන්සලකැ වෙසෙමි. එකල්හි වහන්ස, බොහෝ අන්තොටු පිරිවැජ්ජෝ මා වෙත එළැඹියහ. එළැඹ මා හා සතුටු වූහ. සතුටු විය යුතු සිහිකට යුතු කථා කොට නිමවා එකත් පසෙකැ හුන්හ. එකත් පසෙකැ හුන් ඒ අන්තොටු පිරිවැජියෝ මට තෙල කීහු:

    ඇවැත් අනුරාධයෙනි, උත්තම පුරුෂ වූ පරමප්‍රාප්තියට පැමිණි යම් ඒ සත්ත්ව වේද, (යුෂ්මත් ශාස්තෘ වූ ) තථාගත්යෝ ඒ සත්ත්වයා මේ සතර තන්හී ලා පනවන්නාහු 'සත්ත්ව මරණින් මතු වෙයි හෝ, සත්ත්ව මරණින් මතු නොවෙයි හෝ, සත්ත්ව මරණින් මතු වෙයි නොද වෙයි හෝ, සත්ත්ව මරණින් මතු නොද වෙයි නොද නොවෙයි හෝ'යි පනවත්දැ"යි?

    මෙසේ කී කල්හි වහන්ස, මම ඒ අත්තොටු පිරිවැජ්ජනට තෙල කීමි: "ඇවැත්නි උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ පරම ප්‍රාප්තියට පැමිණි යම් ඒ සත්ත්ව වේද, අස්මත් ශාස්තෘ වූ තථාගතයන් වහන්සේ ඒ සත්ත්වයා පනවන්නාහු සත්ත්ව මරණින් මතු වෙයි හෝ...... සත්ත්ව මරණින් මතු නොද වෙයි නො ද නොවෙයි හෝ යන සතර තැන හැර පනවන සේකැ"යි.......

    යනාදී වශයෙන් කියැවෙන්නේ
    සූත්‍ර පිටකයෙහි
    සංයුක්ත නිකායෙහි තෘතීය භාගයෙහි
    ඛන්ධක වග්ගයෙහි සිවු වැනි ක්ප්ටස වූ
    ථේර වග්ගයෙහි
    සතර වැනි සූත්‍රය වූ
    අනුරාධ සූත්‍රයෙහිය.
    බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්ථන ගන්ථ මාලාවෙහි
    සංයුක්ත නිකාය තෘතීය භාගය ග්‍රන්ථයෙහි පිටු අංක 201.

    ReplyDelete
    Replies
    1. අනුරාධය මෙහි ලා මේ අත්බැව්හි ම සත්‍ය වශයෙන් ස්ථීර වශයෙන් තොපට සත්ත්වයෙකු නොලැබෙන කල්හී "ඇවැත්නි උත්තමපුරුෂ වූ පරම පුරුෂ වූ පරම ප්‍රාප්තියට පැමිණි යම් ඒ තථාගත (සත්ත්ව ) වේ නම් තථාගත්යෝ ඒ සත්ත්වයා පනවන්නාහු සත්ත්ව මරණින් මතු වෙයි හෝ සත්ත්ව මරණින් මතු නොවෙයි හෝ සත්ත්ව මරණින් මතු වෙයි නො ද වෙයි හෝ සත්ත්ව මරණින් මතු නො ද වෙයි, නො ද නොවෙයි හෝ යන මේ සිව් තැනින් වෙන්ව පනවති"යි තොපගේ ඒ විසඳීම නිසි ද?
      වහන්ස, තෙල නො වේ මැ යි.

      අනුරාධය, මැනැවි මැනැවි. අනුරාධය පෙරද දැනුදු මම් දු:ඛයත් දු:ඛනිරෝධයත් පනවමියි.

      යන අයුරින් අදාල සූත්‍රය නිමාවට පත්වේ. මෙහි කනිෂ්කයන් උපුටා ගෙන ඇති සූත්‍ර කොටස හා ඉතා සියුම් එහෙත් නොසලකා හැරිය නොහැකි යම් වෙනස් කම් ඇති බව අපගේ බුද්ධිමත් මිතුරන් හට වැටහෙනවා ඇත. එම නිසා සාකච්ඡාවේදී ඒ ගැන සැලකිලිමත් වීම යෙහෙකියැයි මාහට සිතේ.
      මෙය කිසි ලෙසකින්වත් එම මුල් කෘථිය කල හා ඒ නිසාම මෙවන් හරවත් සාකච්චාවකට අපට මග පෑදූ එම කෘථියෙහි කතෲ හිමියන් හට අවමානයක් අවතක්සේරුවක් කිරීමේ අරමුණුන් ලියූවක් නොවන වග අප මිතුරන් කරුනාවෙන් පිළිගනු ඇතැයි සිතමි. එහෙත් සුළු වෙනසද බරපතල ව්‍යසනයක් විය හැකි නිසා මෙසේ මෙය උපුටා දැක්වීමි.

      Delete
    2. සිතිවිළි,
      එසේය. වචන වශයෙන් වෙනසක් තිබේ. තථාගත ඇති තන්හි සත්ත්ව යැයි යෙදීම හැර වෙන 'අර්ථ වශයෙන්' වැදගත් වෙනසක් නොදිටිමි. එවැන්නක් ඇතොත් පෙන්වා දීම අගයමි. විශේෂයෙන් ඉහත අප උපුටා දැක්වූ දෙය අභියෝගයට ලක් වන හෝ මේ ලිපියේ වලංගු භාවයට හානි කරන හෝ වෙනසක් නම් එය විශේෂයෙන් පෙන්වා දිය යුතු වේ.

      Delete
    3. ඊට පස්සේ මම ඔය කියාපු සතර ආකාරයෙන් පිටස්තරව තථාගතයා පිළිබඳව යමක් කියන්නට හැකි කමක් තිබෙනවාද? කියල ඒ අයගෙන් ඇසුවා.
      සත්ත්ව මරණින් මතු නොද වෙයි නො ද නොවෙයි හෝ යන සතර තැන හැර පනවන සේකැ"යි.......

      ඉහත දැක්වෙන්නේ පිරිවැජියන්ගේ ප්‍රෂ්න හමුවේ අනුරුද්ධ තෙරුන් අසන ප්‍රති ප්‍රශ්නය / උත්තරය දෙතැන දැක්වෙන ආකාරයයි.
      මා එහි වෙනසක් දකිමි. ඇතැම් විට වෙනස්ව වටහා ගැනීමක් විය හැක.
      අන්තර්ගතය සාකච්ඡාවේ ප්‍රස්තුතයට බරපතල හානියක් නොකරන බැව සැබෑයි එහෙත් වෙනස යනු වෙනසකි.
      ඒ කෙරෙහි ඔබගේ අවධානය යොමු කරමි.

      Delete
    4. සිතුවිළි තුමාත් අවිද්‍යා තුමා ගිය පාරේම ගොහිං කියල මම මේ උන්නේ ...
      ටික දොහකින් පේන්න උන්නේ නෑ නොවැ !

      Delete
    5. ආආ.... ඒ ටිකක් නිශ්ෂබ්ද වෙලා බලන්න හිතුනා අපේ ජෝසප් මහත්තයා මල ගෙදර යන්නවත් අනෙක් උදවියට කථා කරයිද කියලා.
      අඩුගානේ එහෙමවත් සැලකිල්ලක් ලැබුනේ නැති හින්දා ආයෙමත් ලියන්න පටන් ගත්තා.

      Delete
    6. විහිළුවක් කලේ පහුගිය ටිකේ ටිකක් විතර වැඩ අධික උනා

      Delete
    7. සිතුවිළි, ඔබ හරි. එතැන මද වෙනසක් ඇත. අප දැක්වූ තැන අනුරාධ හිමි පරිබ්‍රාජකයන්ගෙන් ප්‍රති-ප්‍රශ්නයක් විමසන අතර ඔබේ දැක්වූ තැන උන් වහන්සේ අර සතරම අතහැර පිළිතුර පනවත්. මේ දෙආකාරයේ අරුත් වශයෙන් වෙනසක් නොදකිමි.

      Delete
  5. මම මේක කොහේ හරි කලින් දැකල තියෙනවා කියල හිතුණා. මම කියන්නේ ලිපිය ගැන නෙවේ - ෆොටෝ එක ගැන.
    බිංදුගේ බුදු පිළිම
    >> http://budupilima.blogspot.com/2012/05/blog-post_12.html

    ReplyDelete
  6. මට නම් පේන්නෙ මෙතන තියෙන්නෙ වචන හරඹයක්.මළ පසු උපදින්නෙ මළ කෙනත් නොවේ අනෙක් අයෙකුත් නොවේ කියන එකත් මෙහෙමයි.මළ කෙනාගෙ ඇසුරින් ඇතිවුන කෙනෙක් කියා තේරෙන්නෙ කීවනම් ඉවරනෙ.
    ඇත,නැත,වර්තමානයේ නැතත් පසුව ඇතිවිය හැක.කීවනම් ඉවරනෙ.අහස පොළව ගැටලන්නෙ නැතිව
    ඉතාම සරල දෙයක් කියන්න හතරවටේ කරකවනව.මේකෙන් වෙන්නෙ කට්ටියකට අපබ්‍රංසයක් වෙනව ටහ්ව කෙනෙකුට අමුතු අද්භූත එකක් වෙලා ගූඩ භක්තියක් ඇතිවෙනව

    ReplyDelete
    Replies
    1. දැන් ඕව කියල වැඩක් නෑ මස්සිනා.
      බුදුහාමුදුරුවෝ පිරිණිවන් පාලා.

      Delete
    2. ඔයාගේ තර්කයනම් හරි යාළුවා.
      ඒ උනාට මල කෙනා ඇසුරින් උපන් වෙනත් කෙනෙක් කියුවොත් මල කෙනා ඇත්තටම එහෙනම් ඉඳලා තියෙනවානේ. නේද?
      එතකොට මල කෙනා අනාත්ම නැහැ. එහෙමනම් උපන් කෙනා කොහෙත්ම වෙන කෙනෙක් වෙන්න බැහැ අර මල කෙනාම නොවී.
      එත්කොට වැඩේ මල ජංජාලයක් වෙන්නම පැටලෙනවා වගේ නේද?

      Delete
    3. අපට මෙතෙක් අඩුව තිබුණේ මධ්‍යස්ථ මතධාරියෙක් පමණි'යි කිසිවෙක් මෙතෙක් කියා නැත. අනාරාධනාවෙන්ම මධ්‍යස්ථ මතධාරියා පැමිණ සිටී. එයත් වාසනාවකි. එහෙත්, ඔබේ වචන හරඹය අපේ වැටහෙන මානයට එපිටින් තිබෙන බවත් ඒ නිසාම ඒ කෙරේ අප තුල කිසියම් ආකාරයක ගූඪ භක්තියක් ඇති වූ බවත් සිහි කරමි.

      මධ්‍යස්ථ මතධාරියාගේ බ්ලොග් අඩවියෙත් අප කරක් ගැසූ බව කීම වරදක් නොවේය සිතමි.

      Delete
  7. කණිෂ්ක,
    මෙහි සඳහන් "අව්‍යකෘත"යන වචනය පිළිබඳ සරල පැහැදිලි කිරීමක් කළ හැකිද?
    මෙය යම් කිසි ධර්ම ග්‍රන්ථයක් එන වචනයක්ද?

    ReplyDelete
    Replies
    1. ව්‍යාකරණය කරන ලද්දේ ව්‍යාකෘත වේ. ව්‍යාකරණය නොකරන ලද්දේ අව්‍යාකෘත වේ.




      සිතුවිළි,

      "අව්‍යකෘත"යන වචනය "ව්‍යාකරණ" හෙවත් වියරණ සමග බැදී ඇති බව අපේ පෞද්ගලික අදහස වේ.
      ව්‍යාකරණ යන්නෙහි අරුත කුමක්ද?

      www.sinhaladictionary.org අන්තර්ජාල ශබ්ද කෝෂය මීට දෙන අරුත "භාෂාවේ භාවිතය පිළිබඳ රීති සමූදාය; භාෂා පරිග්‍රහය; ප්‍රකාශය; පැවසීම; විසඳීම" ආදී වශයෙනි. අපට මෙයින් අවශ්‍ය වන්නේ අවසන් තේරුම් කිහිපයයි. පැහැදිලි කිරීම, ප්‍රකාශ කිරීම විසඳීම ආදී තේරුම් ව්‍යාකරණ යන්නේ පවතී.

      "ව්‍යාකරණය කරන ලද්දේ ව්‍යාකෘත වේ. ව්‍යාකරණය නොකරන ලද්දේ අව්‍යාකෘත වේ."

      පිළිතුර ප්‍රමාණවත්ය සිතමි.

      සැ.යු.: ඉහත පිළිතුර අපේම නිර්මාණයකි. සිංහල-පාලි භාෂා විශාරදයෙක් විසින් මීට වෙනස් පිළිතුරක් දේ නම් එය පිළිගන්න.

      Delete
    2. ඔබට පින්, පිළිතුර බොහෝම පැහැදිලියි.

      Delete
    3. සිතුවිළි,
      මෙයාගේ හොඳ තමයි දන්නේ නැති දෙයක් උනත් දන්නවා වගේ උත්තර දෙන එක. හික් !

      Delete
    4. ඒකත් ඇත්ත ජෝසප්,
      භාෂා විශාරදයෙක් වෙන උත්තරයක් දුන්නොත් ඒක පිළිගන්න කියලා එයාම කියනවානම්. මට අහන්න තිබුනේ මොන බම්බුවකටද මේ උත්තරේ දුන්නේ කියලා නේද?
      අනේ මන්දා. නොගැටී ඉන්න හදන කොට ඒකත් මහ නිවට කමක් වගේ පේනවා නේද?

      Delete
    5. ඒකනේ...
      හැබැයි, එහෙම උත්තරයක් දෙනකොට මමනම් අලුතෙන් හිතන්න පටන් ගන්නවා. මේ දෙන උත්තරේ හරිද වැරදිද, හරිද වැරදිද...
      මේක තමයි හරි උත්තරේ, මීට වඩා උත්තරයක් නෑ කියල කවුරු හරි උත්තරයක් දුන්නොත් අපි එතනින් එහාට හිතනවද?
      අන්න ඒකයි මේ වගේ උත්තර වල වැදගත් කම.

      Delete
    6. මක් කොරන්ඩද? ඔච්චරබරපතල උත්තර පදනම් කොරගෙන හිතන්ඩ තරම් මොළයක් කියල එකක් ඔය උත්තමයින්ට වගේ අපිට තියෙනවැයි කියලයැ නේද?

      Delete
    7. සිතුවිළි,
      පිළිතුර හරිද වැරදිද, වැරදිනම් වැරැද්ද කුමක්ද යන කරුණු විශ්ලේෂණය කිරීම මීට වඩා යහපතක් නොවන්නේද?
      ----
      ජොසෙෆ්,
      ඔහේ හොඳයි පොදු අපේක්‍ෂකයා වෙන්න. අහු වෙන හැම පැත්තටම කතා කරනවා.

      Delete
    8. යාළුවනේ,
      මට මේ ගැන වාදයක්, හරි වැරදි තීරණයක්, පොර වීමක් කිසිසේත්ම අවශ්‍ය වූයේ නැහැ.
      මට අවශ්‍ය වුයේ මෙම වචනය ලේකඛයා විසින් යොදා ගනු ලැබුයේ කුමන අදහසකින්ද යන්න දැන ගැනීමට පමණයි.
      ඉතින් ඔහු කියනවානම් එය යොදා ගත්තේ ව්‍යාකෘත නොවූ හෙවත් පැහැදිලි නොකරනලද නොවිසඳන ලද යන අරුතින් කියා එයට හරි හෝ වැරැද්දක් මා නොදකිමි. එහි හරි හෝ වැරදි කියා දෙයක් තිබීමේ සම්භාවිතාවයක්ද මා නොදකිමි.වදනක අරුත පිළිබඳව වන සම්මුතියද සාපෙක්ශ ලෙස මා දකිමි
      ඉතින් වැඩිපුර කලකථාවකට හූ මිටි තියන්නට ගොස් මා ඇනගත් නිසා මට වටහා ගැනීමට මොළයක් නැතැයි කීවෙමි.
      ඇත්තෙන්ම වටහා ගැනීමට බුද්ධිය එව්ලේ පහල වූවා නම් ඒ අනවශ්‍ය කථාවට හූ මිටි නොතියා සිටීමට තිබුනා නොවේද?
      භාෂා විශාරදයෙකුගේ අර්ථ දැක්වීම මාගේ ප්‍රශ්නයට පිළිතුරු නොසපයන වග දැන්වත් ඔබලාට වැටහෙනවාද?

      Delete
    9. සිතුවිළි,

      වචනයක අරුත නොව, 'වචනය' ම සම්මුතියකි. අරුත ගැන කවර කතාවක්ද.

      අපට ඇත්තේ සංකල්පනාය. සංකල්පනා සන්නිවේදනය කිරීම පිණිස මිනිසා 'වචන' තනා ගනී. ඒ වචන සම්මුති බවට පත් වේ. අනතුරුව ව්‍යාකරණ හෙවත් නීති-රීති උපදවා ගනී. ඒවාද සම්මුතිම පමණි. ඇත්ත වශයෙන් වචනයක් ගෙන එහි අරුත මේයැයි කෙනෙක් කියන විට තවකෙක් එහි අරුත වෙනකක් බව කියානම් ඒ ගැටුමකට හේතුවක් ම වන්නේ නොවේ. බහුඅරුත් දරන වචන තිබෙන බැවිණි.

      Delete
    10. වචනයක අරුත පමණක් නොව, 'වචන' යනු ම සම්මුති වේ. එල !!!

      Delete
    11. මම කියපු දේ එක්කෙනෙක් වැරදි කොනින් අල්ලගත්තා.
      ගැටුම් මොකටද කියල නිහඬ උනාම අනිත් කෙනත් ඒ කොනේම එල්ලිලා කෑගහනවා.
      ඉතින් මම මොකද කොරන්නේ?

      Delete
    12. හරි හරි... ඔන්න ඕක අල්ලලා දාමු.
      එක නෙවෙයි. මේ වාරේ ශ්‍රී පාදේ වඳින්න යන්නේ කවුද?

      Delete
    13. කවුරුත් යන්නේ නෑ වගේ...

      Delete
    14. ශ්‍රී පාදය වන්දනාව:
      ශ්‍රීපා වන්දනාව තවදුරටත් "වන්දනාවක්" බව ඔබ සිතනවාද?

      Delete
    15. කණිෂ්කගේ ප්‍රශ්නය ඉතාම හොඳ ප්‍රෂ්ණයක්.
      හැබැයි මම තවම එක් වතාවක් වත් සිරිපාදේ යන්න තරම් වාසනා වන්ත උනේ නැහැ. මම උසස් පෙළ කරන කාලේ පවුලේ හැමෝම සිරිපාදෙ ගියා ඒත් යන්න දිනකට පෙර පාසැල් යද්දී පුංචි බොරැල්ල හන්දියේදි බස් එකෙන් වැටිලා මරණයෙන් අනූ නවයෙන් බේරුනු මට කකුලක් ආබාධ වෙලා ඒ ගමන වැලකුනා.
      හැබයි ඉතින් තවම යන්න බැරි උනු එකට ඒක නම් නිදහසට කාරනයක් නෙවෙයි.
      ඇත්තටම සිරිපාද ගමන අද වන විට වන්දනා ගමනක්මද?

      Delete
    16. මම හිතන විදියට ශ්‍රීපා වන්දනාව "තවදුරටත්" "වන්දනාවක්" නොවෙයි. ඒත් ශ්‍රී පා වන්දනා කරන අයනම් තවමත් සිටින බව කිව හැකියි.

      Delete