Thursday, November 6, 2014

මරණයෙන් පසු ජීවිතයක් පවතීද ?

"මරණයෙන් පසු ජීවිතයක් පවතීද ?" නයින් රංග නානායක්කාර නම් මහතෙකු විසින් රචනා කරන්නට යෙදුනු ලිපියක් මීට දෙමසකට පෙර දකින්නට ලැබිණි. ඉතා වැදගත් මාතෘකාවක් වුව, ඒ ලිපියේ කතා කර නොතිබුණේ ද ඒ ගැනමයි. ඒ ලිපියට ප්‍රතිචාර දැමූ පාඨක සමූහයා ද කිසි සේත් මේ ගැන කතා කර තිබුණේ නැත. අවාසනාවකි ! මේ සා ගාම්භීර මාතෘකාවක් ඒ සා නොසළකා හැරීමකට ලක් වීම නම් සංවේගයට හේතුවකි.
මරණින් පසු කිසිවක් නැත්නම්...
අපි අද ඒ ගැන කතා කරමු.




අව්‍යාකෘත ප්‍රශ්න

අව්‍යාකෘත ප්‍රශ්න දහයක් ගැන බුදුදහමේ සඳහන් වේ. මේවා බුදු කෙනෙකුන් විසින් පිළිතුරු නොදෙන ප්‍රශ්න බවයි බොහෝ දෙනාගේ අදහස. මේ වැරදි අදහස හේතුවෙන් නොයෙක් මිත්‍යාදෘෂ්ඨිකයින් විසින් මේවා හාර හාරා ඇසීමත්, සමහර අල්පශ්‍රැත පුද්ගලයින් විසින් තම තම නැණ පමණින් මේවාට පිළිතුරු දීමට උත්සාහ කිරීමත් දක්නට ලැබේ. සමහරු බුදුරජාණන් වහන්සේ මේවාට පිළිතුරු නොදෙන්නේ නොදන්නා නිසාය කියා සමච්චල් කිරීමට තරම් ද සාහසික වෙති.

පළමුව අව්‍යාකෘත ප්‍රශ්න කුමක් දැයි දැන ගනිමු.

වච්ඡගොත්ත පුඡ්චා

මේ සඳහා වච්ඡගොත්ත පරිබ්‍රාජකයා හා මුගලන් තෙරුන් අතර ඇති වූ සාකච්ඡාව විමසමු. (සංයුක්ත නිකාය)
වච්ඡගොත්ත : භවත් මුගලන්, ලෝකය සැමදාම පවතිනවාද?[1]
මුගලන් හිමි : එම ප්‍රශ්නයට පිළිතුරක් තථාගතයන් වහන්සේ කියල නැහැ.

වච්ඡගොත්ත : ලෝකය සැමදාම පවතින්නේ නැතිද?[2]
මුගලන් හිමි : ඒ ගැනත් පිළිතුරක් කියා නැහැ.

වච්ඡගොත්ත : ලෝකයේ කෙළවරක් තියෙනවද?[3]
මුගලන් හිමි : ඒ ගැනවත් පිළිතුරක් කියා නැහැ.

වච්ඡගොත්ත : ලෝකයේ කෙළවරක් නැතිද?[4]
මුගලන් හිමි : ඒ ගැනවත් උත්තරයක්‌ කියා නැහැ.

වච්ඡගොත්ත : ජීවයත් ශරීරයත් එකද?[5]
මුගලන් හිමි : ඒ පිළිබඳවත් පිළිතුරක් කියා නැහැ.

වච්ඡගොත්ත : ජීවයත් ශරීරයත් යනු දෙකක්ද?[6]
මුගලන් හිමි : එයටත් පිළිතුරක් කියා නැහැ.

වච්ඡගොත්ත : තථාගතයා මරණින් පසු ඇතිද?[7]
මුගලන් හිමි : ඒ ගැන තථාගතයන් වහන්සේ පිළිතුරක් කියා නැහැ.

වච්ඡගොත්ත : තථාගතයා මරණින් පසු නැතිද?[8]
මුගලන් හිමි : ඒ ගැනවත් උත්තරයක්‌ කියා නැහැ.

වච්ඡගොත්ත : තථාගතයා මරණින් පසු ඇති හා නැතිද?[9]
මුගලන් හිමි : ඒ ගැනත් පිළිතුරක් කියා නැහැ.

වච්ඡගොත්ත : තථාගතයා මරණින් පසු තථාගතයා නොම ඇති හා නොම නැතිද?[10]
මුගලන් හිමි : ඒ ගැනත් උත්තරයක්‌ කියා නැහැ.

වච්ඡගොත්ත : භවත් මුගලන්, අන්‍යතිර්ථක පිරිවැජියන් විසින් අසන ලද මේ ප්‍රශ්න වලට මේ විදියට පිළිතුරු දෙන්නේ කවර හේතුවක් නිසාද?

මුගලන් හිමි : වච්ඡ: අන්‍යතිර්ථක පිරිවැජියන්, ඇස, කණ, නැහැය,දිව, ශරීරය, හා මන යන මේවා "මගේ" කියා හෝ "මම වෙමි" කියා හෝ "මගේ ආත්මය" කියා හෝ සළකනවා. එම නිසයි ඔවුන් අසන ප්‍රශ්න වලට පිළිතුරු ඔය විදියට දෙන්නේ. වච්ඡ: බුදුරජාණන්වහන්සේ ඇස, කණ, නැහැය,දිව, ශරීරය, හා මන යන මේවා "මගේ" කියා හෝ "මම වෙමි" කියා හෝ "මගේ ආත්මය" කියා හෝ පිළිගන්නේ නැහැ. අන්න ඒ නිසයි ඔය විදියට පිළිතුරු දෙන්නේ.
ඉහත සාකච්ඡාව අනුව නිගමනය පැහැදිළිය. බුදුරජාණන්වහන්සේ ඉහත කී ප්‍රශ්න වලට පිළිතුරු නොදෙන්නේ පිළිතුරු නොදන්නා නිසා හෝ සමහරු කියන ලෙස දන්නා මුත් ඒ පිළිතුර නිර්වාණාවබෝධයට ප්‍රයෝජනවත් නොවන නිසා හෝ නොවේ. ඉහත ප්‍රශ්න වලට පිළිතුරු නොදෙන්නේ ඒ ප්‍රශ්න තුමූම ආත්මවාදී වන නිසාය. බුදුදහම ආත්මවාදයක් නොව අනාත්ම වාදයක් බව මෙහිදී සිහිපත් කර ගැනීම මනාය. අනාත්මවාදය තුල එකී ප්‍රශ්න අර්ථ විරහිත වේ.

වච්ඡගොත්ත සහ බුදුරජාණන් වහන්සේ අතර ඇති වූ සාකච්ඡාව සළකමු.
වච්ඡගොත්ත : භවත් ගෞතමයන් වහන්ස, පසුගිය දිනවලදී "කුතුහල ශාලාවේදී" රැස් වූ අය අතර පහත විදියේ කථාවක් ඇති වුණා. පුරණ කස්සප, පකුධ කච්චායන, නිඝන්ඨනාථපුත්ත, මක්ඛලි ගෝසාල, සඤඡය බෙල්ලට්ඨිපුත්ත, අජිත කේසකම්බල යන මෙම ශාස්තෘ වරුන්, කාලක්‍රියා කල සිය ශ්‍රාවකයින් පිළිබඳව "අසුවලා අසවල් තැන ඉපදුනා, අසුවලා අසවල් තැන ඉපදුනා" යනුවෙන් ඔවුන් මලායින් පසු උපන් තැන් කියනවා. එම ශාස්තෘ වරුන් කියන උතුම් වූ තත්වයට පත් වූවන් මරණින් පසු උපදින තැනුත් කියනවා. භවත් ගෞතමයන් වහන්සේත් මැරුණු ශ්‍රාවකයන් අසවල් අසවල් තැන්වල ඉපදුණයි කියල කියනවා. එහෙම උනත් තම අනුශාෂනා පරිදි උතුම් තත්වයට පත් වූවාහු මරණින් පසු උපත ගැන කියන්නේ නැහැ.ඒ පිළිබඳව ඇසුවාම කියන්නේ තණ්හාව නැති කළා, සංයෝජන බිඳ දැමුවා, මොනවට අහංකාරය බැහැර කළා, දුක අවසන් කළාකියල විතරයි. භවත් ගෞතමයන් වහන්සේට ධර්මය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇතිදෝ කියා මට සැකයක් ඇති වෙනවා.

බුදුරජාණන් වහන්සේ : වච්ඡ, සැකයක් ඇති වීම සාධාරණයි. සැක කළයුතු දෙයකමයි සැකය ඇති කර ගත්තේ. වච්ඡ මම කියන්නේ මළායින් පසු උපදිනවා කියල උපාදානය ඇතිව මළවුන් පිළිබඳව විතරයි. උපාදානය නැති කර දමල මැරුණු අය උපදිනවයි මම කියන්නේ නෑ. වච්ඡ ගින්න දැල්වෙන්නේ උපාදානය (දර ආදිය) නිසයි. උපාදානය නැතිනම් ගින්න දැල්වෙන්නේ නැහැ. අන්න ඒ වගේ උපාදානය ඇතුව මළ අය උපදිනවා. උපාදානය නැතුව මළ අය උපදින්නේ නැත.
මේ සංවාද වලින් පෙනෙන දේ නම්, මරණින් මතු උපත පිළිබඳ, "සාපේක්‍ෂ" එහෙත් ස්ථිර පිළිතුරක් බුදුරජාණන් වහන්සේ විසින් ලබා දී ඇති බවයි. මේ පිළිතුර, ප්‍රශ්නය නගන තැනැත්තාටත් ප්‍රශ්නයට භාජනය වන තැනැත්තාටත් යන දෙදෙනාටම සාපේක්‍ෂ වේ. මේ කතාවේ වැදගත් ම කොටස එළඹෙන්නේ මින් ඉදිරියටයි.

ඒ පිළිබඳව මීළඟ ලිපියෙන් කතා කරමු.


4 comments:

  1. හ්ම්... හොඳ පිවිසුමක්. මේකෙන් කියවෙන්නේ;
    මරණයෙන් පසු තත්වය:
    1. මැරුණ කෙනාට සාපේක්ෂයි:
    ඒක පැහැදිලියි. සමහරු මැරිලා අපායේ, සමහරු දිව්‍ය ලෝකේ, සමහරු බ්‍රහ්ම ලෝකේ, සමහරු මනුෂ්‍ය ලෝකේ, තවත් සමහරු නිවන් දකිනවා.
    2. ප්‍රශ්නය අහන කෙනාට සාපේක්ෂයි:
    එහෙම වෙන්න බෑ. ඔබ තුමා අදහස් කරන්නේ මරණින් පසු තත්වය සාපේක්ෂයි කියන එකට වඩා ඒ සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයට දෙන පිළිතුර සාපේක්ෂයි කියන එකයි කියා හිතෙනවා. මේ ලිපියේ මේ කාරණාව පැහැදිළි මදි. ඊළඟ ලිපියෙන් පැහැදිළි කිරීමක් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ! අසන කෙනා අනුව - වඩා නිවැරදිව කිවහොත් අසන්නාගේ දෘෂ්ඨිය අනුව - දෙන පිළිතුර වෙනස් වේ.

      Delete
  2. ඒ වගේම බ්ලොග් එකේ අලුත් පෙනුමත් හරිම අපූරුයි. IE එකේ අවුලක් නැතිව වැඩ කරනවා.

    ReplyDelete