Thursday, May 14, 2015

දානයේ අනුසස්

මෙය මාගේ පුද්ගලික ජිවිතයේ අත්දැකීමක් සත්‍ය ලෙස අත්විද ගත් ආකාරය ගැන පැවසීමට ගන්නා ලද උත්සාහයකි.

පුද්ගලික ජිවිතයේ අත් දැකීමක් දෙතිස් කථා අතරට යොමු කරන්න සිතුනේ ගොඩක් අරමුණු පෙරදැරි කරගෙනයි.
  • දානයේ ආනිසංස සැබෑ අත්දැකීමක් තුලින් අවබෝධ කරවන්න,
  • දර්මය අවබෝධයෙන් දකිනවා නම් ප්‍රතිපල ලැබ ගත හැකි බව,
  • පිං නිසා ජිවිතයේ හරවත් බව කියන්න,
  • දෙනදේ සිතේ පැහැදීමෙන් දෙන්න,
  • සැමට ආදරය, කරුණාව, මෙත් සිත පතුරුවන්න, සහ
  • මෙය කියවන මොහොතක් පාසා මගේ සිත පිනෙන් වැඩෙන නිසා.




මා විවාහ දිවියට ඇතුලත්ව මේ වන විට සත් වසරක් ඉක්මවා ඇත. ඒ අතර තුර කාලයේදී දයාබර බිරිදක් ලෙස ධර්මයට අනුකුලව ජිවත් වීමට ස්වාභාවිකවම මා සිත පොළබවා ඇත. හතර වරිගයකට මගෙන් වෙන්න ඕන යුතුකම් ඉටු කරමින් බොහොම සැහැල්ලු ලෙස අසල්වැසියන්ට කරුණාව පෙරදැරිව කාලය ගෙවීගෙන මරණයට ලංවෙමි.


නිමිත්ත


මම විවාහයට එලබිමෙන් පසු මට නිතරම අපුරු සිතුවිල්ලක් තුල මා සිරගතව ඇත. මා විසින්ම පිළියෙළ කරන ලද දානයක් බුද්ධපුත්‍රයන් වහන්සේලාට පූජා කිරීම සිත තුල රජ කරන සිහිනයක්ව ඇත. දිවා කළ පොඩ්ඩක් ඇලව විවේකයක් ගත්තද, රාත්‍රියේ නිදිසුව වින්දද, මා වැඩි හරියක් සිහිනෙන් දකිනුයේ, පන්සල් යෑම, සහ හමුදුරුවරුය. මේ සිහින නිසා මාගේ සිත තවත් මේ සිතුවිල්ල ක්‍රියාත්මක කරන්න මා පොලබවන ලදී.

විවාහයෙන් අවුරුරුදු 4-5 ගත වීමෙන් පසු අපුරු සිදුවීම් පෙළකට මුහුණ දෙන්නටද විය. මා තනිව නිදා සිටිනා විට නින්දෙන් ඇහැරෙන්නේ ගැස්සිමෙන්ය, එක්කෝ නින්ද යාගෙන එනකොට මා තිගැස්සී ඇහැරෙන්නට විය, මෙය මෙසේ සිදු වනවිට මාහට වෙනත් කිසිම බයානක සිහින වෙනත් බිය ගැන්වීම් කිසිවක් නැත. වෙන එකම දේ ඇහැරෙන එක පමණි. කාලය මෙසේ ගතවනවිට, මට දෙයක් දැනෙන්න පටන් ගත්තා, කුමන හෝ තද අනතුරක් වෙන්න යන මොහොතක අවසන් මොහොතේ ඉන් මා ගැලවෙනවා , නැතිනම් මාව බේරාගන්නවා යන නිගමනයට එන්න තරම් පසුබට වුයේ නැත. නොයෙක් අවස්ථා වලදී මිතුරියන් සමග මේ බව පැවසු විට එකිනෙකාගේ අදහස් විමසු පසු මට තේරුම් ගැනීමට හැකි වුයේ, ඉතාමත් හැගීම් බර මොහොතකි.

එනම් මා හට ආදරයෙන් සිටිය ලගම ඥාතියෙක් මා සමග ජිවත්වන බවයි. ඔහු කොතරම් මට ආදරය කලාද කීවොත් මා කුසට දරුවකු පැමිනේනවටද අකමැති විය, දරුවකු පිළිසිද ගත් මොහොතේදී මා ගේ ඇග ගැහෙන වාර ගාන ඉතාමත් අදිකව සිදුවන්නට විය. ඒ මොහොතින් පසු දින කීපයක් ඇතුලත දී මා හට දරුවා අහිමි වී යයි. මේ සමගම මා හට හාමුදුරුවන් වහන්සේලා පෙනෙන වාර ගණන ද වැඩි වන්නට විය.

අවසාන වශයෙන් මම තීරණයකට ආවා, මියගිය ආදරණිය ඥාතියෙක් මා ගෙන් පිං බලාපොරොත්තුවෙන් ඉන්නවා යන්න. ඒ සදහා අවශ්‍ය කටයුතු මා ලහි ලහියේ සුදානම් කරන්නට සිතුවෙමි.


ආරාධනය


දැනට අපි ගමෙන් ඈත්ව මහත්තයා ගේ රැකියාව නිසා නගරයේ නිවසක් බදු ගෙන ජිවිතයට මුහුණ දෙමි. ඒ නිසා අපටම කියා පන්සලක්‌ හොයා ගන්නත් හරිම අපහසුවක් තිබුණා. නමුත් අපි නවාතැන් ගත් එක ගෙවල් හිමිකරුවකුගේ පුත්‍රයෙක් බුද්ධපුත්‍රයෙක්ව සසුන් කෙත බබළවයි. ගිහිකල මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් දක්ෂය සිසුවෙක්ව විය. මේ නිවෙස් හිමිකරුගේ නිවසේ අවුරුදු කිහිපයක් අප ඉතාමත් සතුටින් අපේම ගෙදර ඉන්නවා වගේ කාලය ගත විය.

ගේ හිමිකරුද මාගේ හොද මිතුරියක්‌ බවට‍ පත් විය, අපි දෙදෙනාගේ පුද්ගලික කතා බහ සහෝදරියන් සේ කතා බස් කිරීමට තරම් හිතවත් විය. මා හට ඇති ආශාව ඔවුන්ට දැන්වූ විට ඔවුන් පැවසුවේ " කිසිම ප්‍රශ්නයක් නැ අපේ හාමුදුරුවන් නිවසට වැඩි දවසක මේ පිංකම කරමු කියා මට කියා තිබිණි.

වෙසක් සද මෝරන්නට මත්තෙන් දිනක මා සුපුරුදු පරිදි දවසේ වැඩ නිම කර දිවා කාලයේ ඇදට ගොස් ඇල වුයෙමි. මා දුටුවා එදින හාමුදුරුවරු කිහිප නමක් පාත්තර රැගෙන දානයක් අවසන්ව ගෙයි පියගැට පෙළ බැස යනවා. මා හට දානයක් ලහි ලහියේ දීමේ අවශ්‍යතාවය ඉතාමත් තදින් දැනෙන්නට විය. මම මේ බව , ගේ හිමි නැගණිය සමග පැවසුවේ එදිනමයි. ඇයත් ඒ සදහා උනන්දු වුවක් ලෙස මට දැනින. ඊට පසු දිනයේ මම අපේ ගෙදර සිට නැගණියගේ ගෙදර පැත්තට යනවිට , හාමුදුරුවෝ පාත්තරය රැගෙන එයාලගේ නිවසේ උඩුමහලට වඩිනවා දුටුවා.

මට අදහා ගන්න බැරුව ගියා ඊයේ දිනයේ මා දුටු සිහිනයේ තවත් කොටසක් සැබෑවටම මට පේනවා කියලා හිතුණා. ගෙවල් හිමි නැගණිය ගුරු මාතාවක් ඇය පාසැල් ගොස් පැමිණෙන විට එයාලගේ නිවසේ අසුන් මත සුදු රෙදි එලා ඇති විට ඇයටද සිහිව ඇත්තේ මා ය.

මෙම හාමුදුරුවන් වහන්සේ, නාඋයනේ අරියදම්ම හාමුදුරුවන් වහන්සේ ගේ ගෝලයෙක් වන අතර, කොග්ගල ප්‍රදේශයේ වැඩ වාසය කරති. ඒ අතර තුර කාලයේදී අසනීප වනවිට හෝ වෙනත් පන්සලකට වඩින විට තම නිවසටද පැමිණ මවගේ සුව දුක් සොයා බලනවා වෙන්න පුළුවන. මේ ස්වාමීන්වහන්සේ පයට පාවහන්ද, මුදල් පරිහරනයෙන් තොරව පැවිදි දිවිය ගෙවන බව මා මින් පෙර දැනගන්නා ලද තොරතුරුය. මේ නිවසේද පින්කම් වෙනුවෙන් මා සහභාගී වී ඇති හෙයින් එම හාමුදුරුවෝ සිල්වත් හාමුදුරු නමක් බව අප දෙදෙනාද තරයේම විශ්වාස කරනවා.

දැන් මාගේ සිත ඇදෙන්නේම අපට හැකි විදිහට දානයක් දෙමු දෙමු කියලා මයි. මම මහත්තයට දුර ඇමතුමක් දීල කිවා හාමුදුරුවෝ අද වැඩියා අපි දානයක් දෙන්න ලැස්ති කරමුද කියලා, මහත්තයා මාගේ කැමැත්තට ඉඩ දුන්නා, මිටින් අත හැරපු කුරුල්ලෙකු සේ දිවේ නැගණියගේ නිවසටයි.
බිංදු :- නංගි නංගි

ගුරුතුමිය :- ඔව් ඉන්න්නවා , (බලනකොට නැගණියගේ මව ඇයද ගුරුතුමියකි,ඒ මොහොතේ සිටියේ) ඇයි බිංදු ?

බිංදු :- මම ආවේ හාමුදුරුවෝ වඩිනවා දැකලා

ගුරුතුමිය :- ඒ මොකෝ ?

බිංදු :-මට දානයක් දෙන්න හිතුණා , හැබැයි දානයකට අරාධනා කරන්න ඕන පිළිවෙල මම නම් දන්නේ නෑ, ඒත් ....

ගුරුතුමිය :- (කුස්සිය දෙසින් සාලයට එබුන ගුරුතුමී හාමුදුරුවනේ බිංදුට දානයක් දෙන්න ඕනේ ලු හාමුදුරුවන්ට, කවදා වෙනකන් වැඩ ඉන්නවද මෙහෙ)

හාමුදුරුවෝ :- මම ඉරිදා වෙනකන් ඉන්නවා.

ගුරුතුමිය :- බිංදු හාමුදුරුවෝ ඉන්නවා ඉරිදා වෙනකන් ඔයාට පුළුවන් දෙන්න, ගොඩක් ව්‍යංජන අවශ්‍ය නෑ අපිත් උයනවා නේ.

බිංදු :- අනේ මම ආසයි ගෙදරට වැඩම කරවලා දානයක් දෙන්න

ගුරුතුමිය :- හාමුදුරුවනේ පහල ගෙදරට වඩින්න පුලුවන්ද එදාට?

හාමුදුරුවෝ :- ප්‍රශ්නයක් නෑ.
මේ වගේ සතුටක් මට කවදාවක් වත් දැනෙන්න නැතුව ඇති ජිවිතයේ.

ගෙහිමි නැගණිය හවස ආවා අපේ ගේ පැත්තට, හාමුදුරුවෝ ඇවිල්ලා ඉන්නවා අක්කා කථා කරා කියලා අම්මා කිවා කිවා. එයත් පුදුම වුනාලු පෙරදිනයේ මගේ දවල් හීනය සහ, නොකියා හදිසියේ හාමුදුරුවන්ගේ පැමිණීම ගැන.

එදින දිනය බදාදා දිනයක් වගේ මට මතකයි. ඉරිදා කියන දිනයේ දානයට ලෑස්තිවෙන්න මට කාලය ඇති උනත් බයක් දැනුනා මගේ හිතේ තියෙන වැඩ ටික කරගන්න බැරි වෙයිද කියලා. ඒ නිසා ලොකු නැන්දගේ දුවට කථා කරහම එයා සිකුරාදා එන බව කිවා.

බදාදා දිනයේම හවස මේ වචන හුවමාරුවත් සමග දානය හිතේ රජකරවන ගමන් මම තනිවම සංවිධනය වෙන්න පටන් ගත්තා.


සම්පාදනය


හවස ගෙවල් අස්කරලා දුවිලි පිහලා ගේ සෝදලා දැම්මා. ගේ වේලෙන කම් දානය සදහා අවශ්‍ය කරන අතුරුපස, ව්‍යංජන, පලතුරු යනාදිය පිළිබද ලැයිස්තුවක් පිළියෙළ කරා. බදාදා කියන දිනයේම අතුරුපස සැදීම සදහා කැකුළු සහල් පෙගෙන්න දැම්මා.

බ්‍රහස්පතින්දා දිනයේ දී හා සිකුරාදා යන දින දෙකේදී මුංකැවුම් පිළියෙළ කරා, දොදොල් ටිකක් හැදී ගෑවා, වටලප්පන් හැදුවා, තල අලුවා හැදුවා.

ජිවිතයේ කිසිම දිනක හාමුදුරුනමකට දානයක් දිනැති මට මේය " ළමා දානයක් " ලෙස දැනුනා. අත්දැකීම් එකතු කරගන්න හොද අවස්ථාවක් මෙය බව සිතුනා . කුඩා කළ දෙමාපියන් දානයකට ලෑස්ති වෙනවා දැක ඇත්තේ කෙසේද මමත් එලෙසෙම තනිව මුහුණ දෙන්න සැරසෙනවා දැනුනා. (මහත්තයා රැකියාවට යන නිසා)

දානය සදහා කැවිලි පෙවිලි සුදානම් කලේ, දානයට පූජා කරන්න වගේම එන පිරිසටද ඉන් සංග්‍රහ කිරීම කලයුත්තක් බැවිණි. අප සිටින නිවසේ හිමි නැගණිය ද , ඇගේ සහකරුටද අරාධනා කළා. නැගණියගේ වැඩිමල් සොයුරිය ඇතුළු පවුලේ සැමටද , මේ අයගේ මවු තුමිය වන ගුරු මාතාවට ද එන ලෙස අරාධනා කළා.

මේ අතර තුර ගෙහිමි නැගණිය සහ අපේ හාමුදුරුවන් වහන්සේ එක්ව නොයෙක් යෝජනා ඉදිරි පත් කරා, එනම් මෙම දානය සංඝික දානයක් කිරීම සදහා අවශ්‍ය හාමුදුරුවන් ගනන සපයා ගැනීමට ගොඩක් වෙහෙසක් ගත්තා. නමුත් මේ හාමුදුරුවෝ ආගන්තුක හාමුදුරු කෙනෙක් නිසා මේ පෙදෙසට, මට පහසු දිනයට ඒ හාමුදුරුවරු දාන බාරගෙන තිබෙන නිසා එය ඉතමත් අපහසු කාර්යක් වුණා.

නැගණිය මට පස්සේ කිවා , අක්කා වැඩිය මහන්සි වෙන්න එපා, අපේ හාමුදුරුවෝ විතරයි නේ වඩින්නේ කියලා, එකට කමක් නැද්ද එක්කෙනක් හිටියට කියලා.

මේ වෙනකොට මම හිත පහදවාගෙන ඉවරයි, එක්කෙනක් වැඩම කරත් කීප නමක් වැඩම කරත් අවශ්‍ය අහාර පාන සකසා ඇති බැවින්, 4-5 නමකට පුජාකරත් එක් අයෙකුට පූජා කරත්, සිල්වත් බුද්ධ පුත්‍රයෙකුටයි මම මේ දානය දෙන්නේ කියන එක.

ඉදුල් නොකර සකසන ලද කැවිලි පෙවිලි, දානය සදහා වෙනම අසුරා තැබූ අතර, අසල්වාසීන්ට දෙන්න සිතු දේ ඒ අයුරින් පාර්සල් කර ස්ථානගත කරන ලදී.

සෙනසුරාදා දිනය වන විට ලොකු නැන්දගේ දියණියද පැමිණ සිටි නිසා, මිදුල් පිරිසිදු කර, නිවාස තුල පිරිසිදු කිරීමද කර, පසු දින දානයට කලින් පිළියෙළ කරන ව්‍යංජන සදහා සුදානම් විය. පලතුරු සපයා ගැනීම එළවලු සපයා ගැනීම, එදින රාත්‍රී වන විට සම්පුර්ණ කරන ලදී.

සෙනසුරාදා දිනයේදී තල්පත් මාළු උයලා, පොලොස් ව්‍යංජනයක් පිළියෙළ කරා, කාලයක් තුල මගේ සිතේ රජ කරන ලද දානය සදහා මම හෙට දවසේ සුදානම් යන අදහස හැම වෙලේම මට දැනෙන්න වුණා.

ඉරිදා දිනයට හිරු පහන් විය, අසල්වැසියන්ද ඥාති මල්ලි කෙනෙක්ද සිය දරුවද රැගෙන ආවේ අක්කට උදව් කරන්නයි. ඒ එන විට බොහොමයක් වැඩ පිළියෙල වී හමාරයි. පොඩි පොඩි වැඩ ටිකක් ඉතුරුව තිබුණා. නංගි ද එනවා වැඩක් නැති නිසා යනවා. දහවල් 9 වන විට සියල්ල සුදානම්.

දානය වෙනුවෙන්, කුරුළුතුඩ් සහලේ බත් සමග තලපත් මාළු ද , පොලොස් ව්‍යංජනය ද , වැටකොළු සුදට උයලා, රාජ අල (දම්පාට) උයලා, කජු බැදලා, එළවලු සලාදයක් හදලා, තැල් කොළ ඇඹුලක් ද පිළියෙළ කරා. අතුරු පස වෙනුවෙන්, කැවිලි ජාති අතරට, තල අලුවා, මුංකැවුම්, දොදොල්ද, වටලප්පන්ද, මුදවපු කිරි ද ගස් ලබු, කොමඩු, කෝලිකුට්ටු ද, අන්නසි සහ තැඹිලි ද සම්පාදනය කරන ලදී.


දන් පිළිගැන්වීම


මේ වන විට සියල්ල සුදානම්ව හමාරයි. කාලයක් තිස්සේ කරන්න සිතමින් සිතපු දේ ඉතාමත් කෙටි කාලයක් තුලදී සාර්ථකව සංවිධානය වී ඇති බව මට වැටහින, අඩුවකට පැවතුනේ දෙපාර්ශයේම දෙමාපියන් හට පැමිණීමට කාලයක් නොතිබීමයි.

එම තීරණය නැවත කරන අවස්ථාවක දෙමාපියන් සමග කරනවා මේක මගේ "ළමා දානය" යැයි මම තීරණය කලමි.

පය සෝදා නිවාස තුලට වැඩම කරවා ගත්තේ මේ හාමුදුරුවන් වහන්සේගේ ගිහිකළ මහ ගෙදර හෙවත් අපට බදු දී ඇති නිවාස තුලටයි. මේ වන විට පුජා ද්‍රව්‍ය සිල්ලම උන්වහන්සේ ඉදිරිපිට තබා ඇති අතර ඉන් කොටස බැගින් ගෙන බුද්ධ පුජාවට වෙන්කර සැමට අත ගස්සවා පූජා කරන ලදී.

මේ කාලය තුල මා හොදින් සිහිය පිහිටුවා ගත් අතර, බුදුදහම සත්‍යක් නම් මේ පිං අනුමෝදනාව සාර්ථක වේවා!, කියා අධිෂ්ඨානයක්ද හිත තුල රදවා ගෙනය.මේ දානය ලබා දෙන්නේ "මගෙන් පිං බලාපොරොත්තුව යම් ඥාති පිරිසක් සිටීද, ඒ අය පිං ලැබ සුගතිගාමී වේවා ! ඒ වගේම මට නොපෙනී මට ආදරය කරන කෙනෙක් ඇත්නම් , නොපෙනෙන ආත්මයක සිට මා රැක ගන්නවට වඩා, අප අතරම ඉපිද නිර්වාණය අවබෝධ කරගන්නා ලෙස මවිසින් අරාධනා කරන ලදී. ඒ වගේම මා ඇති දැඩිකළ දෙමාපියන් මෙන්ම, මා හට ගුණ ගරුක ස්වාමිපුරුෂයෙක් හිමි කළ දෙමාපියන්ටද මේ පිං අත්වේවා! යන පරම චේතනාවන් පමණක් මා සිත තුල විය.

මේ සියලු බලාපොරොත්තු සමගින් වාඩිව , හාමුදුරුවන් වහන්සේ දේශනා කළ දර්ම දේශනයට ඉතාමත් හොදින් ඇහුම්කන් දීගෙන දිටියෙමි. පරිබාහිර කිසිවෙකු කුමක් කරනවද, කියනවද මා නොදුටුවෙමි, නොඅසුවෙමි, මා සිටියේ මගේ ලොවේ පමණි. එහි සිටියේ දේශකයන් වහන්සේගේ, දේශනා විලාසය හා හඩ පමණකි.දෙනෙත් පියාගෙන සිටින විට දුටුවේ, කළුවර පරිසරය තුල ප්‍රධාන වර්ණයන්ගෙන් යුත් ආලෝක ධාරාවන් පමණි. දේශකයින් වහන්සේගේ ධර්ම දේශනාව අවසානයේ මා පියවි සිහිය ලැබුවා සේ මට දැනුණා. ඉන් අනතුරුව පැන් වඩා මළගියඥාතීන්ට පිං දීමෙන් අනතුරුව පිරිකර පුජා කරන ලදී.

ඒ සදහා අප මිලදී ගත් පන්සීය පනස් ජාතක පොත් වහන්සේ සඝසතු කොට පුජා කරන ලදී. සියලුම කටයුතු අවසානයේ හාමුදුරුවෝ පැවසුවේ දානය ඉතාමත් හොදයි. අතපය අකුලාගෙන වැදගෙන සිටියද කිසිම වේදනාවක් නැතුව, ඉදගෙන සිටිය තැනින් නැගිටීමට මට හැකියාව ලැබුනා. ඒ වගේම නිදි යහනේ දී මාව ඇහැරවන කෙනාද මේ පිං ලැබ සුගතිගාමී වී ඇති බව සතුටින් දන්වනු කැමැත්තෙමි. මේ වනතුරුත් දාන මාන, හාමුදුරුවරු සිහිනෙන් නෙත නොගැටුනෙමි. ඒ වගේම මගේ එකම බලාපොරොත්තුව අපට හැකි අයුරින් සැම වසරකට වරක්ම වෙසක් මාසයේ මෙවන් දානමය පිංකමක් සිදු කිරීමටයි.

ඒ වගේම ගිහි පිංවතුන් සදහාද මෙලෙස පිළියෙළ කරගත් දානය අඩුවකින් තොරව සැමදේම පුද දෙන ලදී. එදින රාත්‍රියට ද මේ ආහාරම සැමට ලබා දීමට සිදු වුයේ, මෙය "ළමා දානය"ක් නිසා ප්‍රමාණයන් ගැන අනාවබෝධය නිසාය.


ප්‍රාර්ථනාව


පුද්ගලික ජිවිතයේ අත් දැකීමක් දෙතිස් කථා අතරට යොමු කරන්න සිතුනේ ගොඩක් අරමුණු පෙරදැරි කරගෙනයි.
  • දානයේ ආනිසංස සැබෑ අත්දැකීමක් තුලින් අවබෝධ කරවන්න,
  • දර්මය අවබෝධයෙන් දකිනවා නම් ප්‍රතිපල ලැබ ගත හැකි බව,
  • පිං නිසා ජිවිතයේ හරවත් බව කියන්න,
  • දෙනදේ සිතේ පැහැදීමෙන් දෙන්න,
  • සැමට ආදරය, කරුණාව, මෙත් සිත පතුරුවන්න,
  • මෙය කියවන මොහොතක් පාසා මගේ සිත පිනෙන් වැඩෙන නිසා.
මේ සත්‍ය කථාවේ අනුභාවයෙන් සැමට සෙත් වේවා! බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝරත්නයේ , පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා! සියළු දෙවි දේවතාවන්ට මේ පිං ලැබ මේ සියළු දෙනාටම මේ සංසාර ගමනින් එතෙර වන්නට හැකියාව ලැබේවා!!

යහපතක්ම වේවා!!!



           සංස්කාරකගෙන් සටහනක්:

      මෙය පළමුව විද්‍යුත් තැපෑල ඔස්සේ අප වෙත ලැබුණු ලියමනකි.
      එහි අන්තර්ගතය වෙනස් කිරීම නුසුදුසු බැවිනුත් අපට වඩා වෙනස් අනන්‍යතාවයක් සහිතව රචිත ලිපියක් බැවිනුත් රචිකාවියගේ නමින් ම පල කිරීම සුදුසුය තීරණය කළෙමි. ඒ අනුව අප විසින් කෙරුණු ආරාධනය මත රචිකාවිය විසින් ම සැපයුණු ලිපියයි ඉහත පල වෙන්නේ.
      රචිකාවිය විසින් පවත්වාගෙන යන බුදුපිළිම blog අඩවියට මෙතැනින් පිවිසිය හැක.
      කණි..!

36 comments:

  1. අපූරු රසයක් තියෙන කතාවක්

    ReplyDelete
  2. දානය දෙන එක හොදයි.දානය දෙනවා කිව්වාමාත් වැරදියි වගේ.දානය කියන එකෙත් තේරුම දෙනවා කියන එකනේ.ඒ දෙන්නේ තමා සතු දේවල්.ආහාර විතරක් දානය යන්නට අයිති නෑ.මගේ මතය ඒකයි.තමා සතුව ආදරය තියෙනවානම් ආදරය යමෙකුට දීමත් දානයක්.දානය තුලින් අපිට ලැබෙන්නේ සියල්ල අත්හැරීමට හැකි වීම.සියල්ල අත් හැර නිවට යන එක.ඒත තමා බුදු දහමේ නියම හරය.

    හිතන්න..බොහෝ පන්සල් ඉතා සමෘද්ධිමත්.කෑම බීම ආදියෙන් පිරිලා.ඒ අතර ඉද හිට පන්සලක් දෙකක් තියෙනවා දවසට එකම දානයක් ලැබෙන්නේ නැති.ඒ වගේම තුන් වේලට එක් වේලක් කන සාමාන්‍යය දුගී මිනිස්සුත් ඉන්නවා.මං හිතන්නේ හාමුදුරුවරු වඩම්වලා දෙනවට වඩා ඔවුන්ට දානයක් දීම විශාල ආනිසංශයක්.තියෙන තැන්වලටම නැවත නැවත දීමේ තේරුමක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔබ ඉදිරිපත් කර ඇති බොහෝ අදහස් අපූරුය. ඒ අතර 'තමා සතුව ආදරය තියෙනවානම් ආදරය යමෙකුට දීමත් දානයක්' යන්න වඩාත් අපූරුය. එහෙත් ඔබට යමක් අමතක වී ඇති බව පෙනේ.
      "ආදරය" දානයක් යැයි ඔබ මේ මතය ඉදිරිපත් කරන්නේ කවරක් පදනම් කරගෙනද? අපේ අදහස නම් මෙය වැරදි අදහසක් බවයි. එහෙත් මතුපිට අර්ථය සමග ගැටීමක් නැත.

      මිතුර ඔබේ දෙවන කොටස පිළිබඳ දැනට අදහස් දැක්වීමෙන් සහ එහි අවසන අසන පැනයට පිළිතුරු බැඳීමෙන් වැලකී සිටිමි. රචිකාව විසින් දෙන පිළිතුරක්ම අගය කොට සළකමි.

      Delete
    2. ආදරය යන්නට පටු සීමාවක් නැත, මේ විශ්වය රදා පවතින්නේද ආදරය මත යන්නයි මගේ අදහස. නමුත් මේ ආදරය දානයක් කරගත් මිනිසුන් කොපමණ පිරිසක් පවුල් ජීවිත අවුල් ජාලාවක් බවට පත්කරගෙන තියේද මේ විශ්වය තුල. මේ දානය තුල සීමාවක් පනවන්න සිදුවෙන නිසා එය දානයක් ලෙස පිළිගත හැකිද?

      Delete
  3. මම නම් කියන්නෙ දානය දිය යුත්තෙ එය අවශ්‍ය පුද්ගලයට.
    සිය අධ්‍යාත්මික අරමුණු සදහා පැවිදි වූ භික්ෂූන් වහන්සේලාට දෙන දානය තමයි මහත්ඵ්ල මහානිසංස වෙන්නෙ.
    හැබැයි බැරියරපෙරලන ගිරිය යටින් කෑගහන ගනරාල ලට දෙන දානයෙන් අකුසල් සිදුවෙනවා. ඊටහේතුව දුස්සීල භික්ෂු පරම්පරාව පවත්වාගෙන යාමට ඒ දානය උදව්වක් වන නිසා
    හිඟන්නන්ට දෙනවට වඩා පොලන්නන්ට දෙන එක පිං
    හිගන්නො කරන්නෙ රස්සාවක් නෙ. පොලන්නො කියන්නෙ අවශ්‍යැතා තිබුනත් ඉල්ලන්න ලැජ්ජ අය.

    මටට්‍රේන් එකේදි හම්බවුනා එහෙම පවුලක්. ඒ ළමයි නිදන්ගත රෝගයකින් පීඩා විදිනව. ට්‍රේන් එකේ අය සල්ලි එකතුකරල දෙනකොට ඒ පවුලෙ සැමියට ඇඩුන. ඔහු සල්ලි ප්‍රතික්ෂේප කළා.මගෙ අතේ තිබුන සල්ලි ඔක්කොම දුන්න මාරුකාසි ටිකක් විතරක් තියාගෙන.
    අවශ්‍යතා තියන අයට දීම තමා පිං

    මම නම් හිගන්නන්ට කවදාවත් සතවක් වත් දෙනෙන් නෑ. පාතාලය පවත්වාගෙන යන්න උදවු කරන්න මට බෑ

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ත මත ධාරියාගේ මේ අදහසට මම කැමතියි.ඇත්තෙන්ම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකට දෙන දානයට වඩා උතුම් යැයි කිව හැකි දානයක් තවත් තිබිය නොහැකියි. එහෙත් අද කාලයේ සැබෑ බුද්ධ පුත්‍රයන් හා බුද්ධ පුත්‍ර ප්‍රතිරූපකයන් වෙන්කොට හඳුනා ගත නොහැකි වීම බරපහල ප්‍රශ්නයක්.
      සිඟන්නන් පිළිබඳවත් මගේ ආකල්පයත් එයම තමයි. මම කිසි වීටෙක සිඟන්නන්හට මුදල් දෙන්නට කැමති නැහැ. විශේශයෙන් වර්ණ සංඥා අසල සිටින ව්‍යාජ අභාදිතයින්හට මා කිසි ලෙසකින්වත් මුදල් දෙන්නේ නැහැ සහ මා සමග සිටින කිසිවෙකුට මුදල් දීමට ඉඩ දෙන්නේත් නැහැ. ඒ වෙන දෙයක් නිසා නොවෙයි, වර්ණ සංඥා මාරු වීමත් සමග ගමන් කරන වාහන වලට සිඟන්නෙකු යට වීමට ඉඩ ඇති නිසාත්, එසේ වුවහොත් අහින්සක රියැදුරෙකු අමාරුවේ වැටෙන නිසාත්, ඒ මුදල් දීම මගින් සිඟන්නන් මහ මගට කැඳවන නිසාත් ය.
      මිනිසෙකු වාහනයකට යටවී මැරුණොත් නීතියට අනුව රියැදුරා රිමාන්ඩ් කරන් අතර නීතිය ඉදිරියේදී සිඟන්නා යනු තවත් එක් මිනිසෙකු පමණක් වේ. බොහෝ රියදුරන් නොදකින මේ අවදානම මා සැම විටම මිනිසුන්ට මතක් කරමි.

      Delete
    2. සිඟන්නන්ට දීම පිළිබඳ ඔබ දෙදෙනාගේ අදහසට අපත් එකඟයි.

      මීට බොහෝ කාලයකට පෙර අප කුඩා කාලයේ අපගේ පියාණන් හා සමග බස් රථයේ යනෙන විට පැමිණෙන සිඟන්නන්ට කිසිත් නොදී සිටීම අප සිත් තුල ඇති කළේ දුකක්. අප කිසිවක් දෙන්නට තැත් කළත් ඔහු කළේ විරුද්ධත්වය පෑමයි. ඔහු කළ දේ නිවැරදි බව දැන් අපට පැහැදිළියි.

      වර්ණ සංඥා අසල කරක් ගසන සිඟන්නන්නම් අප කෙරේ ඇති කරන්නේ මහත් අපුලක්. මහා හඬින් කෑගසන විලාප දෙන පසුපසම පැමිණෙන හිඟන්නන් තවත් කොටසක්. මේ අයට දීමෙන් අත් වන පින ඉතා අවමයි.

      පෙර දැක්වූ ලෙස ලැබීමම අරමුණු කර දන්දෙන අප විසින් පිංකෙත් හරි හැටි තෝරා ගැනීම කළ යුතුයි. අප රුපියල් 100 දෙන විට ලැබෙන්නේ රුපියල් 10 නම් එය එතැනට දීමට වඩා ඒ මුදලින් ආප්ප අරං කෑම (ජහඃ! පාලන මිල යටතේ මේ මුදලට ආප්ප 5 ක් මිලදී ගත හැකියි නොවැ) ගුණදායකයි.

      Delete
    3. එහෙත් බැරියර පෙරලන ගිරිය යටින් කෑගහන ගනරාලලට දෙන දානයෙන් අකුසල් සිදුවෙනවා. ය යන්න සමග එකඟ වීම කළ නොහැකියි. විශේෂයෙන්ම කුසල් අකුසක් සහ පිං-පව් කෙරේ චේතනාව බලපාන බව දන්නා බැවින්.

      මධ්‍යස්ථ මතධාරියා ඔය කියන ගණරාළලාට දෙන්නේ ඔය කියන කර්තව්‍යයන් වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන ද? එසේ නොවන්නේ නම්, සාංඝික කර දෙන දානයක ඔය කියන ගණරාළලා සිටී පමණින් එය අකුසල් ජනිත කරන්නේ නැත.

      Delete
  4. බිංදුගේ අපූරු ලිපිය ඇයගේම වදනින් පලකිරීම ඇත්තෙන්ම කණිශ්කගේ හොඳ තීරණයක්. ඒ භාශා විලාශය හා ඉදිරිපත්කිරීම තුල ඒ දානමය පිංකමෙන් ඇය ලද ආශ්වාදය වදනක් වදනක් පාසා කියැවෙනවා. ඇත්ත නේන්නම්, සිත්ට එකඟව සිත පහදවා ගනිමින් කරනු ලබන පිංකමක ආශ්වාදය මතක් වන හැම විටම සිත පුරවනවා තමයි. ඇය මේ පින් කමින් ලද ආශ්වාදය අන් අය හා බෙදා ගැනීමෙන් ඇයත් නැවත නැවත සතුටු වන අතර එය කියැවීමෙන් ආශ්වාදයක් ලැබීමට අපට ඉඩ සලසා තිබෙනවා.
    මේ ලිපිය කියවන විට මට මතක් වන්නේ වසරකට කිහිප වරක් පොහොය දිනවලට පන්සලේ උපාසක දානය සඳහා යමක් පිලිගන්වන මගේ බිරිඳ ඒ කෙරෙහි දක්වන උනන්දුව හා කැපවීමයි. එය නියමිත වේලාවට පෙර පන්සලට ගොස් භාර දී ඇය ඒ ගැන සතුටු වන ආකාරයි.
    ඇත්තෙන්ම මේ කිසි දෙයක් කරන්නේ පෙරලා යමක් වෙනුවෙන් නොවෙයි දීමෙන්ම ලබනා ආශ්වාදය උදෙසායි. මා හිතන හැටියට ශ්‍රද්ධාවත් උපාසක උපාසිකාවන්ට හැර අන් කිසිවෙකුටත් දීමෙන් මෙවන් ආශවාදයක් නම් ලබන්නට නොහැකි වනු ඇත.
    අහර පූජාවට අමතරව බිංදු විසින් කර ඇති ග්‍රන්ත පූජාව, භික්ෂූන්වහන්සේ විසින් නිරතුරුව කරනු ලබන ධර්ම දානයට අනුබල දීමක් ලෙස සැලකිය හැකියි. එය සියළු දාන අතුරින් මහා දානය වූ ධර්ම දානයට කරන අනුග්‍රහයක් බැවින් එයත් මහත්ඵල මහානිසංස වූ දානයක් ම වනවා. (කණිෂ්කගේ අමා පැන් දන්සල සිහි වනවා, එයට කථා කරමින් සිටියා මිස එකදු රුපියලකින් හෝ දායක වන්නට නොහැකි වීම ගැන කනගාටු වෙනවා )

    දානයක් දීමට සුදුසු භික්ෂුවක් මුනගැසෙන්නේද ඒ දානය කෙරෙහි දෙන්නාගේ ඇති ශ්‍රද්ධා වත් සිතුවිළි නිසාමයයි මා සිතනවා. මේ දානය පිළිගැන්වීම නිසාත් එය කියවා ආස්වාදයක් ලැබීමට අන් අයහට ඉඩ සැලසීම නිසාත්, මේ සියළු කුසලයන් එක්ව බිංදුගේ ඉදිරි දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා ඇයගේ සියළු යහපත් බලාපොරොත්තු එලෙසින්ම තෙරුවනේ සත්‍යය බලයෙන් ඉටුවේවා කියා මා පතමි !

    ReplyDelete
    Replies
    1. දීමෙන් ලබන ආශ්වාදය
      දීමේ ආශ්වාදයක් ඇති බව සැබැවි. එහෙත් ලැබීමේ ආශ්වාදය ඊට වඩා බොහෝ සෙයින් වැඩිය. මා නම් වඩාත් කැමති දෙවැන්නටයි. පළමුවැන්නට සිත් යොමන්නේ එහි කර්මානුරූප ප්‍රතිඵලය දෙවැන්න වන බැවිණි.

      සැදෑය නිසා ප්‍රතිග්රාහකයෙක් මුණගැසීම
      මෙය සැබෑවකි. තිස්සයා හා කළ සටනින් පැරදුණු ගැමුණු කුමර තෙමේ තමාගේ එක් විශ්වාසදායි ඇමතියෙක් හා සමග අශ්වයා පිටින් පලා යන්නේ, කුසගිනි දැනී තමන් සතු එකම බත්මුල ලිහා සතරට බෙදා කාලඝෝෂා කළ කතාව ඔබ දන්නේ යැයි සිතමි.

      Delete
    2. ඇත්ත කණිෂ්ක, මේ ගැන ඔබත් මාත් මීට පෙරත් සාකච්චා කොට තිබෙනවා. ලෝකෝත්තර තත්වය පතන්නෙකු නම් සෙවිය යුත්තේ දීමෙහි ආශ්වාදය මිස ලැබීමෙහි ආශ්වාදය නොවෙයි.
      අනෙක දානයක් දීම ලබන ආත්මය සඳහා බැංකු ගිණුමක මුදල් තැන්පත් කිරීමක් ලෙස සලකා කරනවානම්, අනේ මන්දා! මටනම් එතැන බරපතල ගැටළුවක්.

      ඔබේ පිළිතුරේ දෙවැනි කොටස මට වැටහෙන්නේ නැහැ.

      Delete
    3. සිතුවිළි,
      "ලෝකෝත්තර තත්වය පතන්නෙකු නම් සෙවිය යුත්තේ දීමෙහි ආශ්වාදය මිස ලැබීමෙහි ආශ්වාදය නොවෙයි" යන්න පිළිබඳව එකඟ වනු බෑ. අප සිතන පරිදි ලෝකෝත්තර විමුක්තිය පතන්නෙකු විසින් දීමේ හෝ ලැබීමේ හෝ එසේත් නැතිනම් වෙනයම් දෙයක හෝ "ආශ්වාදයක්" සෙවීම වැරදියි.

      ලෝකෝත්තර විමුක්තිය පතන්නෙකු විසින් කළ යුත්තේ ආශ්වාදය සෙවීම නොව ආදීනවය නුවණින් දැක ගැනීමයි. එසේම බැංකු ගිණුමක මුදල් තැන්පත් කිරීමක් මීට කිසි සේත් සම්බන්ධයක් නැත.

      Delete
    4. සිතුවිලි,
      ඔබගේ හද පත්ලෙන් කරන ලද ප්‍රර්ථනා වට බොහොම පිං. දානයේ අනුහස් බලෙන් අපේ සියලුම පැතුම් මේ වනවිට සම්පුර්ණ වෙමින් පවතිනවා. අපි යන තැනකට අරගෙන යන්නේ අපි කළ කී දෑ පමණක් බැවින් , ඒ පිළිබද සැලකිල්ලක් දැක්වීම සැමගේම යුතුකම වනු ඇත. තෙරුවන් බලෙන් සැමටම සෙත් වේවා !!

      Delete
  5. යම් දානයක පින් පව් තීරණය කරන්න සංස්කෘතිය බලපානවද?
    උදාහරණයක් හැටියට වෙස්සන්තර තාපසතුමා දරුවන් සහ බිරිඳ දන් දීම ඒ සංස්කෘතියට අනුව පිනක් වුනාට වෙනත් සංස්කීතියකට සාපේක්ෂව පවක් වෙන්න පුලුවන්ද?

    තව අදහසක් කියන්න කැමතියි පින් පව් ගැන විචාරය කරන ගොඩක් අය අවිඥානිකව බුදු දහම තුල දෙවියන් වහන්නේ සොයනබව පෙනෙනවා. බදු දහමට අනුව රට වෙනුවෙන් සටන්කරන සෙබලෙක්ට පව් සිදුවන අතරම. කුඩු බිස්නස් කාරයෙක් දානයක් දුන්නාම පින් සිදු වෙනවා. මොකද පින් පවු සම්බන්ධ කටයුතු සිදුවන්නේ සුපිරි බුද්ධියකින් (දෙවියන් වහන්සේ / පරමාත්මය) නොවේ. ඒක විශ්වයේ වරදක් මිස බුදුදහමේ වරදක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ජගත් ඔබ මතු කරන අදහස සිතන්නට පොලඹවන අදහසක්.

      ඇත්තෙන්ම බැලූ බැල්මට එය එසේයැයි කිව හැකියි තමා. ඒත් මා සිතන්නේ පින් පව් සඳහා සංස්කෘතිකමය බලපෑමක් තිබිය නොහැකියි.
      පින් පව් තීරනය වන්නේ අදාල ක්‍රියා කරන පුද්ගලයාගේ චේතනාව මත මිස වටේ සිට විවේචනය කරන උන්ගේ දැක්ම මත නොවෙයි.
      අන්න ඒ නිසා තමයි දේව වාදී දහම් වල මෙන් බුදු දහමේ පින් හා පව් ලැයිස්තු ඉදිරිපත් කොට නැත්තේ. එහෙත් අද බොහෝ මිනිසුන් අසවල් දේ කිරීම පින් හා අසවල් දේ කිරීම පව් ලෙස දක්වන්නට පෙළඹී තිබෙනවා අන්න ඔවුන් තමා ඔබ කියන ආකාරයෙන් බුදු දහම තුල දෙවියන් සොයන්නන්.
      එසේම විශ්වයෙහි කිසිවක වරදක් තිබිය නොහැකියි. විශ්වය පවතින්නේ එයට පවතින්නට සිදුව ඇති හේතු ඵල දහම මතම මිස කාටවත් සාධාරනයක් හෝ අසාධාරනයක් ඉටුකිරීමේ අරමුණකින් නොවෙයි. ඉතින් එහි ඇති වරද කුමක්ද? වරද ඇත්තේ අප තුලමයි, ඒ අප සියල්ල දෙස තෘශ්නාවෙන් බලන නිසයි. වෙනස් වීම පිළිගැනුමට අකැමැති නිසයි.

      මේ ඒ ගැන මා සිතන හැටි.

      Delete
    2. කිසිම දානයක පින තීරණය කරන්නට සංස්කෘතිය බලපාන්නේ නැත. එහෙත් පින සම්බන්ධ අර්ථ දැක්වීම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් විය හැක.

      ඒ මේ ගැන දිය හැකි කෙටි පිළිතුර.
      ------------

      ජපන් සංස්කෘතියේ පින අපේ සංස්කෘතියේ පිනෙන් වෙනස්ය. ඉස්ලාම් සංස්කෘතියේ පින (මෙවැන්නක් අප දන්නා තරමින් තිබිය නොහැකි මුත් සමහර ඉස්ලාම් විද්වත්හු ඉස්ලාම් සංස්කෘතියේ පින් ඇති බව කියත් - මෙය අල් ටකියාවක් ද විය හැක) මේ දෙකින්ම වෙනස් ය. ගවයෙකුගේ බෙල්ල කපා අල්ලඃ නම් දරුණු පිසාචයෙක් වෙනුවෙන් කැප කිරීම පින බව ඉස්ලාමය උගන්වන අතරේ අප කියන්නේ එය අපායට ඒකායන මාර්ගය බවයි.

      එහෙත්,
      අප විසින් තේරුම් ගත යුතු වන්නේ ඉස්ලාම් සංස්කෘතියේ 'පින' නැති බවත්, ඔවුන්ගේ ඇති කිසියම් අප විසින් නොදන්නා දෙයක් හැඳින්වීම පිණිස 'පින' නම් අපේ වචනය පැහැරගෙන ඇති බවත්ය. මෙය ජේසු 'සමිදා'ය, තිලෝගුරු ය, සාන්ත අන්තෝනි 'මුණි' තුමා ආදී වශයෙන් කතෝලිකයින් විසින් කෙරෙන වචන හොරකමට සමානය.

      "පින" එහි නියම අර්ථයෙන් සංස්කෘතියට සාපේක්‍ෂ නොවේ. ඒ ඔබේ දිගු පිළිතුරයි.

      Delete
    3. ඔබේ දෙවන අදහසට අප බොහෝ දුරට එකඟයි. 'විශ්වයේ වරද' වෙනුවට ලෝක ස්වභාවය යන්න ඒ උදෙසා අප විසින් යොදා ගැනෙන පදය යි.

      Delete
    4. සිතුවිළි,
      "...දේව වාදී දහම් වල මෙන් බුදු දහමේ පින් හා පව් ලැයිස්තු ඉදිරිපත් කොට නැත්තේ...." යැයි ඔබ කියන බැවින්,
      පස් පව් සහ දස පින් කිරියවත් පිළිබඳ ඔබේ අදහස දැන ගැනීමට සතුටුයි.

      Delete
    5. කනිෂ්ක, මේක බොහෝම වැදගත් ප්‍රෂ්ණයක් හා පිළිතුර විව්ධාකාරයෙන් වාදයට බඳුන් කල හැකි ප්‍රෂ්නයක්.
      මා කියන්නේ බුදු දහමේ සමස්ත පි හා පව් ලැයිස්තු වක් නැති බවයි. බුදු දහමේ ඒ වෙනුවට පින හා පව යන්න තීරණය වන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමකුයි ඇත්තේ.
      ඔබ කියන ආකාරයට පස් පව් හා දස පින් ආදී ලෙසින් ඍජුවම නියත පින් පව් කිහිපයක් සපයා ඇති බව ඇත්තක්. ඒත් ඉන් කියැවෙන්නේ නැහැ නේද ඉන් පිටත් පින් හා පව් නැති වගක්.
      උදා හරන ලෙස ඉස්ලාම් ආගම ගතහොත් එයට අනුව ඌරු මස් කෑම පවක්. දෙවියන් නොඅදහන්නා මැරීම පිනක්. මේ කුරානය උගන්වන හැටි. එහෙත් එහි පදනමක් ඇතිද?
      ක්‍රිස්තියානි ආගමට අනුව සතෙකු මරා අනෙකාට කන්නට දීම පිනක්. දෙවියන් ගැන ප්‍රශ්න කිරීම පව ආදී ලෙස බොහෝ වූ පින් පව් ලැයිස්තුවක් ඒවායේ වෙනවා.
      එහෙත් අපට හැකියාව තියෙනවා අප කරන ඕනෑම ක්‍රියාවක් තුලි පින් හෝ පව් කර ගැනීමටත් එය කුමනාකාරදැයි වටහා ගැනීමටත්.
      මා හිතනවා මේ පිළිතුර සෑහෙයි කියලා

      Delete
    6. සමස්ථ පව් සහ සමස්ථ පින් යනුවෙන් ලැයිස්තුවක් ඔබට කිසි තැනෙක හමු නොවන බවයි අප කියන්නේ. පව් සහ පින් යන වචන වලට අත්‍යන්තයෙන් සමාන පද වෙනස් සංස්කෘතීන් තුල හමු වෙන්නේ නෑ. පින-පව අපේ සංස්කෘතියේ (අබෞද්ධ) සංකල්ප. ඉංගිරිසි sin යන්නේ සැබෑ අරුත අපේ පවට සමාන නෑ.

      ඔබ කියන්නට උත්සාහ කරන දේ පින්-පව් වෙනුවට හොඳ-නරක යොදා නැවත කීවොත් වඩා නිරවුල් වේවි.

      Delete
  6. http://yakaageadaviya.blogspot.com/2015/05/blog-post_17.html?showComment=1432047836081#c2771528114813253784
    කණිශ්ක,
    මෙය මෙතැනට අදාල නැහැ. ඒත් මෙය කියවා බලන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

    ReplyDelete
  7. කර්ම - චේතනාව කර්මය වේ. කුසල /අකුසල විපාක ගෙනදේ.
    සංස්කාර - සෑම මොහොතකම රැස් කරයි. කලින් රැස් කරපුවා ගෙවී යයි.(කර්මය වගේද?)

    මේ මට හිතෙන හැටි/ අහල තියන හැටි. කර්මය සහ සංස්කාර අතර සම්බන්දයක් තියනවද ? නැතිනම් එකිනෙකට ස්වායත්තද ?

    ReplyDelete
    Replies
    1. මේ පිළිබඳ පිළිතුරක් නොදීමට කැමතියි. පටිච්චසමුප්පාදය තුනට කඩා සත්ත්වයා දෙවරක් උපද්දවන විග්‍රහයේදී සංස්කාර යනු පෙර කර්මයැයි ඉගැන්වෙන බැවිණි. ඔබ බලාපොරොත්තු වන්නේ කෙනෙකුගේ පෞද්ගලික මතය නොව බුද්ධ භාෂිතය බව උපකල්පනය කරමි.

      Delete
    2. 'චේතනාව කර්මය වේ' යන්න බොරුවකි. චේතනාවත් කර්මයක් වේය කීවේනම් පිළිගත හැක. මෙසේ බොරු තනන්නේ දැඩි හීනමානයෙන් පෙළෙන ලංකාවේ ඊනියා උගත් බෞද්ධයින් විසිනි. නූගත් බෞද්ධයෝ මෙවැනි බොරු කතා නොකියති.

      සංස්කාර රැස් කරයි යන්න තේරුමක් ඇති වාක්‍යයක් නොවේ. සංස්කාර යනු රැස් කළ හැකි දෙයක් නොවේ. "'ඉර එළිය' 'මල පහ' කරයි" යන වාක්‍යයේ තේරුමක් ඇත්ද?

      කර්මය සහ සංස්කාර අතර සම්බන්ධය නම්, කර්මයත් සංස්කාරයක් වීමයි. මෙය "පොල් ගහත් ගහකි" යන අයුරින් තේරුම් ගන්න. පොල් ගහ ගහක් බව සැබෑ මුත් ගහ යනු පොල් ගහ පමණක් නොවන අතර පොල් නොවන ගස් බොහෝ වේ.

      Delete
    3. බිංදුත් ඉඳල ඉඳල හරි අපූරු ලිපි ලියනවා. හොඳයි හොඳයි ! තව ලියන්න.

      Delete
    4. ජෝසප් ඉතාම හොඳින් මේක පැහැදිලි කරල තියෙනවා.
      ඒත් චේතනාවත් කර්මයක් වේ කියන කතාව මට පොඩි ගැටළුවක් වෙනවා.
      කර්මය යනු ක්‍රියාව ලෙස ගත හොත් එය එසේ විය හැකියි. ඒත් බුද්ධ දේශනාව අනුව කර්මය යනු චේතනාවයි කියා කියැවෙනවා. මෙතැනදී චේතනාවෙන් තොරව කර්මය යන සංස්ඛාර පද්ධතිය තැනෙන්නේ නැති බවකුයි මට හිතෙන්නේ. ඒ අනුව ගතහොත් චේතනාව ක්‍රියාව හා බැඳී හෝ නොබැඳී කර්මයක් බවට (සංස්ඛාර තැනීමක් ) පත්විය හැකියි නේද?
      මේ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න.

      Delete
    5. සිතුවිළි,

      'චේතනාව කර්මය වේ' යනු `චේතනාව` = `කර්මය` යන්නයි.
      'චේතනාවත් කර්මයක් වේය' යනු `චේතනාව` ⊂ `කර්මය` යන්න වේ.
      (මෙතැනදී පිහිටට එන්නේ කුලක පිළිබඳ දැනුමයි)
      ------------

      අපේ හිතමිතුරු ජොසෙෆ් කෙසේ කීවත්, "'චේතනාව කර්මය වේ' යන්න බොරුවකි" කීමත් නිවැරදි නැත. මෙහිදී සිදු වී ඇත්තේ කෙනෙකුට උඩින් පල්ලෙන් ඇහුණු දෙයක් පරම සත්‍යය ලෙස ගැනීමයි.

      අප මිත්‍ර Kiith, "කර්ම - චේතනාව කර්මය වේ" යනුවෙන් දක්වන්නේ "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" යන බුද්ධ වචනය විය හැක. එහෙත් මේ වනාහී සම්පූර්ණ බුද්ධ වචනය නොවේ.

      උදාහරණයක් දෙතොත්: පිපාසා ඇති කෙනෙකුට බීමට පැන් දීම පිණිස පොල් කටුව අතට දුන් කළ පොල් කට්ට කා කට තුවාල කර ගන්නේ යම් සේද ඉහත වාක්‍යය පිළිගන්නා අයවළුන්ට තුවාල වනු මිස පිපාසා සංසිඳෙන්නේ නම් නැත. පිපාසාව සංසිඳෙන්නේ පැනිත්ත පානය කිරීමෙනි.

      පැනිත්ත හෙවත් බුද්ධ වචනය නම් "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති, කායෙන වාචාය මනසා" වේ.

      "සිතින් කයින් වචනයෙන් කරන්නා වූ කර්ම සිතා මතාම කරන බැවින් මහණෙනි මම් චේතනාවම කර්මය කොට දේශනා කරමි" යනුවෙන් එය පරිවර්ථනය කළ හැක. දැන් එය පැහැදිළිය.

      මේ බුද්ධ වචනයේ අරුත චේතනාව කර්මය වන බව නොව, සිතින් කයින් මනසින් කරන්නා වූ කර්මයක කුශලාකුශල විපාකය තීරණය කිරීම කෙරේ එකී කර්මයට උපස්ථම්භක වූ චේතනාව බලපාන බවය.

      Delete
    6. ඔව් කණිෂ්ක, මේ පැහැදිලි කිරීම එක්ක මම එකඟයි.
      ඒ කියන්නේ කර්මය = ක්‍රියාව ලෙස ගත හොත් චේතනාව යනු කර්මය නොවෙයි.
      එහෙත් සත්ත්වයා චේතනාත්මකව සිතින් කයින් වදනින් කරනු ලබන යම් කිසි ක්‍රියාවක් නිසා ගොඩ නැගෙන සංස්ඛාර ස්ඛන්ධය = කර්මය වැනි අදහසක් මෙයින් උද්දීපනය වන බවක් පෙනෙනවා.
      මෙය එක්තරා ආකාරයකට පමණ ඉක්මවා අර්ත දැක්වීමක්.
      කෙසේ වෙතත් කීත් ගේ ප්‍රෂ්ණයට ජෝසප්ගේ පිළිතුර හොඳ බවයි මගේ අදහස.

      Delete
    7. හික් !
      උත්තර දෙන්න කැමති නෑ, උත්තර දෙන්න බෑ කියල ඇඹරෙන උන් කතා කොරවන්න අපි දන්නවා.

      Delete
    8. මිතුර,
      හුදෙක් මෙය කතාවක් නොව සත්‍ය අත්දැකීමක් පමණි, දෙතිස්කතා කියවන ඔබ සැම දෙනා සමග එක්ව මාගේ අත්දැකීම බෙදා හදා ගැනීම ගැන බොහොම සතුටු වන අතර ඔබ සැම දෙනාමත් මා වගේම බොහොම පිං දහම් කරන පිරිසක් මේ තුල සැරිසරනවා දැකීමත් ගොඩක් සතුටකි , ඒ වගේම මාගේ ලිපිය මගේ වදනින් පළකිරීම ගැන කණිෂ්කටත් බොහොම පිං. ඔබ සැමගේම යහපත් බලාපොරොත්තු ප්‍රර්ථනා ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා , කියා එකම සිතින් ප්‍රර්ථනා කරනවා, තෙරුවන් සරණයි!!

      Delete
    9. මේ කතාව ඇත්තටම හරිම අගෙයි බිංදු. ඇත්තම අත්දැකීමක් නිසා කියවගෙන යනකොට අපිත් දානයක් දෙන්න යන්නේ වගේ හැගීමක් ඇති උනා. ඔබගේ සියලු සිතුම් පැතුම් එලෙසම ඉටුවේවා.

      Delete
    10. Kiith,
      ඔබ හරි. අපත් මේ පිංකමට සම්බන්ධ වූ බවක් ලිපිය කියවන විට දැනුණා.

      Delete
  8. * ලෝකෝත්තර තත්වය පතන්නෙකු නම් සෙවිය යුත්තේ දීමෙහි ආශ්වාදය මිස ලැබීමෙහි ආශ්වාදය නොවෙයි. --- A

    * ලෝකෝත්තර විමුක්තිය පතන්නෙකු විසින් දීමේ හෝ ලැබීමේ හෝ එසේත් නැතිනම් වෙනයම් දෙයක හෝ "ආශ්වාදයක්" සෙවීම වැරදියි. --- B

    ලෝකෝත්තර විමුක්තිය පතන්නෙකු විසින් කළ යුත්තේ ආශ්වාදය සෙවීම නොව ආදීනවය නුවණින් දැක ගැනීමයි.

    මේ ඉතාම වැදගත් සංවාදයක්. මෙය ඉදිරියට ගෙන නොයන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. ජෝසප්,
      මේ කරුණට ඔබ ඉදිරිපත්කරන අදහස හා එක එල්ලේම එකඟ වනවා.
      ලෝකෝත්තර තත්වය පතන්නෙකු නුවණින් දැකිය යුත්තේ ආදීනවය තමා.
      එහෙම බැලූවිට ලැබීමෙහි ආශ්වාදයක් එවැන්නෙකුට තිබිය හැකිද?

      ලැබීමක් ගැන බලා පොරොත්තු නැතිව දීමේදී ඉන් ලබන ආශ්වාදය නිරාමිශ ආස්වාදයක් නොවෙයිද?
      කැමතිනම් මේ ගැන ඔබ දෙපලගේ අදහස් දක්වන්න.
      ජෝසප් ඔබ නිහඬ වීම බරපතල පාඩුවක්.
      ඔබට අප හා සම්බන්ද වීමට ඉක්මනින් ඉඩ හසර ලැබේවා කියා මා පතන්නම්.

      Delete