Wednesday, February 14, 2018

පළාත් පාලන මැතිවරණයේ පසුවදන

අපේක්‍ෂා කළාට වඩා ඉතා හොඳින් පළාත් පාලන මැතිවරණය නිමාවට පත් විය. සිදු වෙමින් පවතින පෙරළිය ගැන එදින අපරභාග 8:30 පමණ වන විට මහින්ද රාජපක්‍ෂ ඇතුළු බොහෝ ඉහළ තැන් සමග හොඳ සම්බන්ධතා ඇති කලා ලෝකයේ පුද්ගලයෙක් හරහා අපට දැන ගන්නට ලැබිණි.

මේ තරම් බොරුවක් ...
මෙවර මැතිවරණය පැවැත්වුණු ක්‍රමවේදය අනුව ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානයේදීම ගණනය ද කළ හැකිව තිබිණි. ඒ ප්‍රතිඵලය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා වෙත එවීමෙන් අනතුරුව පරීක්‍ෂා කර පරිගණක පද්ධතියට ඇතුල් කළ යුතුව තිබිණි. පරිගණක ක්‍රමවේද සහ ඒ ආශ්‍රිත පද්ධති සම්බන්ධ හොඳම දැනුම සහ වසර ගණනාවක අත්දැකීම් ඇති කොළොඹ විශ්ව විද්‍යාලය වෙනුවට මේ භාරදූර කර්තව්‍ය කැලණියට පැවරීම හේතුවෙන් හෝ ඇමති මංගල ඇමති චම්පක ඇමති රාජිත ආදීන් අරලියගහ මන්දිරයට වී නීතිපති සහ හමුදාපති ගෙන්වාගෙන හමුදා කුමන්ත්‍රණයක් මගින් ප්‍රාදේශීය සභා වල බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කිරීම හේතුවෙන් හෝ ඡන්ද ප්‍රතිපල ප්‍රකාශ කිරීම කල් ගියේය. පසුදා පහන් වන තුරුත් යන්තම් ප්‍රකාශයට පත් කර ගත්තේ ප්‍රතිපල පහක් හෝ හයකි.

රාත්‍රියේ ජනමාධ්‍ය වලට මැතිවරණ කොමිසම මැතිවරණ කොමිසමට වටලා ගැනීමට සිදු වන්නේත් කොමසාරිස්ට ප්‍රමාදයට හේතු දක්වමින් විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරන්නට සිදු වන්නේත් මේ ආණ්ඩුවට ලක්ෂණික වැඩ-බැරි භාවය හේතුවෙනි.





10,000 දියව් !

මැතිවරණ කොමිසම විසින් මුලින් ඉදිරිපත් කළ ප්‍රතිපල සාවද්‍ය බව පසුව කොමිසම විසින්ම පිළිගැනිණි. විශේෂයෙන්ම ලැයිස්තුවට අදාළ මන්ත්‍රීධුර ප්‍රමාණයක් ඒ ඒ පක්‍ෂ වලට පිරිනැමීමේදී අක්‍රමිකතා ඇති වූ බවට චෝදනා එල්ල විය. එක් එක් ප්‍රාදේශීය සභාවට එක් එක් අයුරින් සළකා ඇති බවට ප්‍රතිඵල සටහන් බැලූ කල පෙනේ. මැතිවරණ කොමිසමේ ප්‍රතිඵල පිටුව අක්‍රියය. එහි දැක්වෙන්නේ අනුවේදනීය වැකියකි. මේ වැඩ බැරි කම හෝ නොසැළකිල්ල හෝ මිස වෙන කුමක්ද ?


This system was developed to update the map and relevant data automatically according to the results come from local polling stations. But election commission received the data for entire ward through a scan document in hard copy format which cannot be feed to the system.

Therefore, please kindly note that the system will not update the information automatically.

We apologize for the inconvenience.



මුළු ලංකාවෙන්ම දෙවනුවට නිකුත් කරන ලද කිරින්ද පුහුල්වැල්ලේ ප්‍රතිඵලය කිහිප වරක් වෙනස් කෙරිණි. මට මතක ඇති ප්‍රතිඵලයට අනුව අතුරුදහන් වූ ඡන්ද 10,000 පමණ ඒ ප්‍රතිඵලයට අඩංගු විය. ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 10,000 කින් පමණ අඩු කිරීමෙන් මෙය අවසන් වශයෙන් නිවැරදි කරගෙන ඇත.

වැරදි ප්‍රතිඵලයට අනුව කිරින්ද පුහුල්වැල්ලේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 24,290 ක් වන අතර නිවැරදි ප්‍රතිඵලයේ එය 14,036 දක්වා අඩු වේ.
වැරදි ප්‍රතිඵලයනිවැරදි ප්‍රතිඵලය
වලංගු ඡන්ද සංඛ්‍යාව24,04813,839
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව24,29014,036
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව32,74016,784
කෙසේ වුව, මේ ප්‍රතිඵල වෙනස් කම් වලින් ඒ ඒ පක්‍ෂ විසින් දිනා ගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාවේ වෙනසක් වූයේ නැත. එසේ වූයේ නම් මීට වඩා බොහෝ ආන්දෝලනයක් ඇති වීමට ඉඩ තිබිණි.


ක්‍රමයේ අඩුපාඩු, දුර්වලතා

මැතිවරණ කොමිසම නිකුත් කළ ප්‍රතිඵල ලැයිස්තු වල ඒ ඒ පක්‍ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව, ප්‍රතිශතය, දිනූ කොට්ඨාශ සංඛ්‍යාව, සමානුපාතික ක්‍රමයට පත් විය යුතු මන්ත්‍රී සංඛ්‍යාව සහ අවසන් වශයෙන් පත් වීමට නියමිත මන්ත්‍රී සංඛ්‍යාව ලැයිස්තුගත කර තිබිණි. උදාහරණයකට කොළොඹ මහනගර සභාව සළකමු.

කොළොඹ මහනගර සභාවේ කොට්ඨාශ 66 කි. නව මැතිවරණ ක්‍රමයට අදාළ 60:40 අනුපාතය යටතේ එහි මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 110 වේ.

මින් 66 ක් කොට්ඨාශ ක්‍රමය යටතේ තමන් තරඟ කළ කොට්ඨාශය ජයග්‍රහණය කිරීමෙන් පත් වේ. පසුව මැතිවරණ කොමිසම (දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා) විසින් මුළු සභා බල ප්‍රදේශයම ආවරණය වන පරිදි ඒ ඒ පක්‍ෂ ලබා ගත් චන්ද ප්‍රමාණය වලංගු මුළු චන්ද සංඛ්‍යාවට දක්වන අනුපාතය මත ඒ ඒ පක්‍ෂ විසින් ලැබිය යුතු නියෝජිත සංඛ්‍යාව තීරණය කරනු ලැබේ. දෙවැනි ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු පත් වීමට සුදුසුකම් ලබන්නේ තම පක්‍ෂය විසින් සමානුපාතික යටතේ ලැබිය යුතු මන්ත්‍රී සංඛ්‍යාව කොට්ඨාශ ජයග්‍රහණ වලින් මේ වන විටත් දිනාගෙන නැතිනම් පමණි. මේ ක්‍රමය මෙතෙක් පැවති බෝනස් මන්ත්‍රීධුර සහ ජාතික ලැයිස්තුවෙන් වෙනස්ය.

ඉහත කොළොඹ උදාහරණයේදී රෝසි සේනානායකගේ කණ්ඩායම කොට්ඨාශ 66 න් 60 ක් දිනාගෙන සභාවේ ආසන 60 කට හිමිකම් කීවත් දෙවන ලැයිස්තුවෙන් ඔවුන්ට අසුන් හිමි වන්නේ නැත. හේතුව සමානුපාතික ක්‍රමය යටතේ ඔවුන්ට සැබවින්ම හිමි විය යුතු මන්ත්‍රී ධුර සංඛ්‍යාව මේ වන විටත් ඉක්මවා සිටීමයි.

අනෙක් අතින් කොට්ඨාශ තුනක් පමණක් දිනා ගත් පොදුජන පෙරමුණට දෙවන ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 20 ක්ද, කොට්ඨාශ දෙකක් පමණක් දිනාගත් නිදහස් සංධානයට දෙවන ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 10 ක්ද හිමි වේ. මෙහි විහිළුව වන්නේ දෙවන ලැයිස්තුව සමන්විත වන්නේ මහජනයා විසින් තෝරා පත් කරගත් නියෝජිතයන්ගෙන් නොව ඒ ඒ පක්‍ෂ විසින් නම් කළ පිරිසකගෙන් වීමයි. මේ පුද්ගලයින් ප්‍රතික්‍ෂේප කිරීමේ හැකියාවක් මහජනයා වෙත මේ විසුළු මැතිවරණ ක්‍රමය විසින් සපයා නොදෙයි.

රෝසිගේ කණ්ඩායම සමානුපාතික ක්‍රමය මත තමන්ට හිමි විය යුතු මන්ත්‍රීධුර සංඛ්‍යාව ඉක්මවා වැඩිපුර දිනාගෙන සිටින ධුර නවය කොමිසම විසින් උදුරා ගන්නේ හෝ අන් කණ්ඩායම් අතර බෙදා දෙන්නේ හෝ නැත (එසේ කිරීම ද ප්‍රජාතන්ත්‍ර විරෝධී වේ). ඒ හේතුවෙන් වැඩිපුර මන්ත්‍රී වරු නවදෙනෙක් නඩත්තු කිරීමට මහජනතාවට සිදු වේ.

ඒ නවය කොට්ඨාශ ජයග්‍රහණය නොකළ අනෙක් කණ්ඩායම් වලින් හිලව් කර කොළොඹ මහනගර සභාවේ සභිකයන් ගණන 110 මට්ටමේම තබා ගත්තේනම් කොට්ඨාශ වැඩියෙන් ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්‍ෂයට පහසු බහුතරයක් සහ මහජන ඡන්දයට සාධාරණයක් ද ඉටු විය හැකිව තිබිණි. දැන් මේ ක්‍රමයෙන් සිදු වී ඇත්තේ ප්‍රකාශිත මුළු ඡන්ද ගණනින් 0.5% වත් ගත නොහැකි විසුළුකාරයින් රැසකට මන්ත්‍රී ධුර ලැබී සභාව විහිළුවක් බවට පත් වීමයි. මේ මන්ත්‍රීධුර ඒවා මිලදී ගැනීමේ අවශ්‍යතාවය ඇති කණ්ඩායම් විසින් යථා කාලයේදී මිලදී ගනු ඇත.

මෙය වෙනස් කිරීමට කළ හැකි අනෙක් පිළියම නම් දෙවන ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් ලබා ගැනීම පිණිස දිනා ගත යුතු අවම ඡන්ද සංඛ්‍යාවක් තීරණය කිරීමයි. මහමැතිවරණයකදී මේ සංඛ්‍යාව 1/20 හෙවත් 5% වේ. කොළොඹ මහනගර සභාවේ දෙවන ලැයිස්තුවට හිමි මන්ත්‍රීධුර සංඛ්‍යාව 44 නිසා ඒ ලැයිස්තුවෙන් ධුරයක් ලැබීම පිණිස වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 1/44 හෙවත් ආසන්න වශයෙන් 2.3% වත් ලැබීම අනිවාර්‍ය කළ යුතුව තිබේ. එසේ විනම් දෙලොවටම පලක් නැති හඩු පක්‍ෂ සහ ඊනියා ස්වාධීන කණ්ඩායම් ඉවතට විසි වීමට ඉඩ තිබිණි.

පෞද්ගලිකව මා දකින්නේ කොට්ඨාශයක් ජයග්‍රහණය කර ගත නොහැකි පක්‍ෂයකට හෝ කණ්ඩායමකට මෙතරම් විශාල ආසන සංඛ්‍යාවක් (40%) වෙන් කළ යුතු නැති බවයි. එය අනවශ්‍ය බරක් පමණක් නොව සෘජු මහජන චන්දයෙන් පත් නොවී පක්‍ෂයේ හෝ පුද්ගලයන්ගේ ලෙන්ගතු කම් මත පත් වන එහෙයියන් පිරිසක් වන්නේ නම් මෙයින් සිදු වන්නේ ඊනියා ගමේ ආණ්ඩුව කොළොඹ සීතල කාමර වල සිටින්නන් විසින් (නැතිනම් යුරෝපයේ හෝ සිංගප්පුරුවේ හෝ සිටින්නන් විසින්) තම දේශපාලන අභිලාෂයන් උදෙසා මෙහෙයවනු ලැබීමයි.

මේ නව ක්‍රමය කෙටුම්පත් කළ විදේශ ඒජන්තයන්ට අවශ්‍ය වන්නට ඇත්තේ එවැනි ක්‍රමයකි. එසේම ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොන්ග්‍රසය වැනි පක්‍ෂ විසින් සමානුපාතික ලැයිස්තුව කෙරේ පැවති පෙන්වන ලද බැඳියාව ඔවුන් විසින් ලබාගත් මන්ත්‍රීධුර සංඛ්‍යාව විසින් සාධාරණීකරණය කරන බවක්ද පෙනේ. කොහොමත් මෙවර සිමා නිර්ණය කරන ලද්දේ ද වර්ගවාදී පදනමකි. උදාහරණයක් ලෙස අඹගමුව ප්‍රාදේශීය සභාව තුනට කැඩීම දැක්විය හැක. ශ්‍රී පාදය අඹගමුවෙන් ඉවත් කිරීම ලෙස වැරදියට අර්ථ දක්වන ලද මේ ප්‍රශ්නයේදී සිදු වූයේ තනිකර දෙමළ ප්‍රාදේශීය සභා කිහිපයක් තරමක සිංහල නියෝජනයක් තිබූ (බහුතර නියෝජනයක් නොවේ) සභාවකින් කඩා ඉවත් කර ගැනීමයි. නුවරඑළිය මස්කෙළිය හයකට කැඩීමත් මෙවැනි උප්පරවැට්ටියකි.


කළ යුතු දේ

මෙකී සියළු කාරණා හේතුවෙන් මතු පැමිණෙන ආණ්ඩුවක් යටතේ නැවත සිමා නිර්ණය කර පළාත් පාලන මැතිවරණ ක්‍රමය සිංහලයාට අවාසි නොවන, සිංහලයා දුර්වල නොකෙරෙන තත්වයකට පත් කළ යුතුව තිබේ. වර්තමාන දිස්ත්‍රික් මායිම් නැවත සළකා බැලීමත්, ඉංගිරිසින් විසින් සිංහලේ රාජ්‍යය බෙදා වෙන් කර පාලනය කිරීම පිණිස තැනූ පළාත් සීමා සුදුසු පරිදි වෙනස් කිරීමත් කිසිම ප්‍රදේශයක් (පළාතක්/ දිස්ත්‍රික්කයක් සහ හැකිනම් මහනගර සභාවක්/නගර සභාවක්/ප්‍රාදේශීය සභාවක් පවා) කිසිම ජනකොටසකට වෙන්ව අයිති කර ගත නොහැකි පරිදි සහ කිසිම ජන කොටසක් වෙනස් සැළකිල්ලකට භාජනය නොකළ හැකි පරිදි ව්‍යවස්ථාවෙන්ම සහ පරිපාලන ක්‍රියා මාර්ග වලින් සුදුසු ක්‍රියා මාර්ග ගැනීමත් අවශ්‍යයෙන්ම කළ යුතුය.

එහෙත් වඩා වැදගත් වන්නේ මේ පරාජය හමුවේ වියරු වැටී සිටින රනිල් වික්‍රමසිංහ - ජයම්පති වික්‍රමරත්න, සම්පන්තන් - සුමන්තිරන් සහ අනුර කුමාර ප්‍රමුඛ ආණ්ඩුව දුර්වල වී දණින් වැටී සිටින සිරිසේනගේ අත අඹරවා ගෙන ඒමට ඉඩ ඇති දෙමළ බෙදුම්වාදී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුලට ගෙන ඒමට නොදී පරාජය කිරීමයි.

මෙකී ජනවරම මහින්ද රාජපක්‍ෂට පෞද්ගලිකව ලැබුණු වරමක් ලෙස හෝ මහබැංකු මංකොල්ලයට එරෙහිව නැගුණු ජනතා විරෝධයක් ලෙසට හෝ අර්ථ දැක්වීම අපරාධයකි. මෙය ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ජාතික අභිලාශ පාවා දීමට එරෙහිව නැගුණු විරෝධයකි. පොහොට්ටුවේ නායකයන්ගේ වගකීම වන්නේ මේ ධජය අතරමග බිම නොදා ජයග්‍රහණය තෙක් ඉදිරියට ගෙන යාමයි. පැකේජ් පප්පා වන G. L. පීරිස්, තවලම් ගිය ඩලස් අලහප්පෙරුම සහ මහින්ද රාජපක්‍ෂ රජයේ සිටිමින් 13 අහෝසි කිරීමට එරෙහි වූ DEW ගුණසේකර සහ තිස්ස විතාරණ ආදීන්ගෙන් මේ වරම සමූහ දූෂණයට ලක් නොවීම පිණිස ඒ පක්‍ෂයේ සිටින දේශමාමක පිරිස් අවධානයෙන් සිටිය යුතුය.




10 comments:

  1. ප්‍රශ්න දෙකක්:
    1. "බොරුවක්" ලෙස ඉහත දත්ත / සිතියම දක්වා ඇත්තේ මංද ?
    2. මැකෝගේ ආතල් එකේ comment වසා දමා ඇත්තේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. 2. එකවර දෙතැනක සංවාද කිරීම දුෂ්කර නිසා.

      1. සිතියමෙන් සැබෑ ස්වරූපය විග්‍රහ නොකෙරෙන නිසා. සිතියම වර්ණ ගන්වා ඇත්තේ සභාවේ වැඩි ආසන ගණන දිනූ පක්‍ෂයේ වර්ණයෙනි. වික්‍රමසිංහ-සිරිසේන සුසංයෝගයෙන් UNP-SLFP හෝ UNP-UPFA එකතු තැනිය හැකි සභාග ගැන මෙයින් අදහසක් නොදේ. පොහොට්ටුවට බහුතරය නැති බොහෝ තැන්හි සිදු වනු ඇත්තේ දෙවන තැනට පැමිණි වික්‍රමසිංහගේ අලියාට ගොම්පස් ඇල්ලීමට බුලත් කොළය අතින් ගත් සිරිසේන ඉදිරිපත් වීමයි. මෙයට අමතරව පොහොට්ටුවෙන් ඉදිරිපත් වී ජයගත් සමහර "පොල් ලෙලි" අලියාගේ කුණු ඇතිල්ලීමට ඉදිරිපත් වුණොත් එයත් පුදුමයක් නොවේ.

      Delete
    2. හික් !!

      පොහොට්ටුවට බහුතරය නැති බොහෝ තැන්හි සිදු වනු ඇත්තේ දෙවන තැනට පැමිණි වික්‍රමසිංහගේ අලියාට ගොම්පස් ඇල්ලීමට බුලත් කොළය අතින් ගත් සිරිසේන ඉදිරිපත් වීමයි. මෙයට අමතරව පොහොට්ටුවෙන් ඉදිරිපත් වී ජයගත් සමහර "පොල් ලෙලි" අලියාගේ කුණු ඇතිල්ලීමට ඉදිරිපත් වුණොත් එයත් පුදුමයක් නොවේ. - මහජනතාවට දින කිහිපයක් ආතල් දීමෙන් පසු සිදු වන්නේ එයයි.

      Delete
    3. පොහොට්ටුවට බහුතරය නැති බොහෝ තැන්හි සිදු වනු ඇත්තේ දෙවන තැනට පැමිණි වික්‍රමසිංහගේ අලියාට ගොම්පස් ඇල්ලීමට බුලත් කොළය අතින් ගත් සිරිසේන ඉදිරිපත් වීමයි.

      සිදු විය යුතුව ඇත්තේ එයයි. ජනාධිපති සිරිසේනට කළ හැකි අන් දෙයක් නැත.

      සිරිසේන දේශපාලන සිරකරුවෙකි. ලංකාවේ සිටින ප්‍රධානම දේශපාලන සිරකරුවා ඔහුය. රටේ අවාසනාවට, කොටි නිදහස් කරගැනීම ගැන කරදර වන පෙරටුගාමීන්වත් සිරිසේන නිදහස් කර ගැනීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැත.

      Delete
  2. ඡන්ද ක්‍රමයේ ඇති දුර්වල තාවය හා ජනතාවගේ අපේක්ශාවකින් තොර නියෝජිතයින් පත් කිරීම ගැන මතු කරන අදහස ගැන පූර්ණ ලෙසම එකඟයි. මේ ඡන්ද ක්‍රමයේ අදාල දුර්වල තාවය ජනතාවට වටහා ගැනීමටවත් කාලයක් හෝ ක්‍රමය පිළිබඳව සමාජ කතිකාවතක් ඇති වීමට සරිලන කාලයක් ලැබුනේ නැහැ.
    ඡන්දය කල් දමමින් සිට තකහනියේ ගැසට් කර පැවැත්වූ ඡන්දයක් නිසා සියල්ල වැටහෙන විට අශ්වයා පැනගොස් හමාරයි.

    මේ ඡන්ද ක්‍රමය ඉදිරියේ පත්වන රජයක් විසින් අනිවාර්‍යයෙන්ම සංශේධනයකට ලක් කොට වඩා ජනතා වාදී ස්ථාවරයකට ගෙන ආ යුතුයි.

    Joseph මතුකර ඇති ප්‍රශ්න දෙක ඉතා වැදගත්. කථා කතු තුමනි අපගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධා නොකර වහාම පිළිතුරු සපයන්න.

    ReplyDelete
    Replies
    1. මහජනතාව තම ඡන්දයෙන් මන්ත්‍රී වරු පත් කර යවන්නේ තමන්ට රට පාලනය කිරීමත් ජීවනෝපාය සළසා ගැනීමත් එකවිට කර ගැනීම නොකළ හැකි බැවිණි. එහිදී මහජනයා තමන් පත් කරන මන්ත්‍රීවරුන් විසින් ඔවුන් විසින් සම්මත කරන නීති රීති අණ පනත් කියවා දැනගෙන ඒවායේ ආනිසංශ හා විපාක අවබෝධ කරගෙන ඒ අනුව සුදුසු පරිදි කටයුතු කරන්නේ යැයි බලාපොරොත්තු වෙයි.

      ඊනියා ජනවාරි 8 ජනවරමින් බලයට පැමිණි ජනාධිපති විසින් එවකට පාර්ලිමේන්තු බහුතරය නැති වික්‍රමසිංහ අගමැති කරන විට දෙකොණ පූට්ටු වී සිට, වික්‍රමසිංහගේ ව්‍යවස්ථා චක්-ගෝලයන් විසින් ගෙනා තක්කඩි 19 වන සංශෝධනයට පක්‍ෂව ඡන්දය දුන් කිසිවෙකුට අද රටට අත් වී ඇති ඉරණමේ වගකීමෙන් මිදෙන්නට හැකියාවක් නැත. 19 වන සංශෝධනයට විරුද්ධ වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පමණි.
      > http://katha32.blogspot.com/2015/04/19th-amendment.html


      ලංකාවේ එතෙක් මෙතෙක් පහළ වූ අතිශය කෘර ඒකාධිපතියා රනිල් වික්‍රමසිංහය. ඔහු බලය ලබා ගන්නේ එක දිගට සිදු වන ඝාතන වැලක් හරහාය. මේ ඝාතන බැර වන්නේ දෙමළ ත්‍රස්තවාදීන්ගේ ගිණුමටයි. දෙමළ ත්‍රස්තවාදීන්ගේ කුරුමාණම 1999 දී වැරදෙන මුත් පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් මගින් නැවත බලයට එන රනිල් 2002 සිට දෙමළ ත්‍රස්තවාදීන්ට කෘත ගුණ සළකයි. ඔහු අදත් කරමින් සිටින්නේ එයම මිස වෙනකක් නොවේ.

      රනිල්ගේ ඒකාධිපති ස්වරූපය ඔහුට සහය දක්වන ඊනියා සිවිල් සංවිධාන පුරවැසි සංවිධාන, අවස්ථාවාදී බුද්ධිමතුන් කලාකාරයින් සහ සඟගණ දන්නේ නැතැයි සිතිය නොහැක. ඔවුන් මේ බව නොදන්නේ නම් කළ යුතු එකම දේ රනිල්ගේ අනුදැනුම මත එජාප ව්‍යවස්ථාවට සහ ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට රිංගවා ඇති සංශෝධන නැවත කියැවීම පමණි.

      සරළව කිවහොත්, එජාප ව්‍යවස්ථාවේ ඇත්තේ වික්‍රමසිංහ කැමති තාක් කල් එජාප නායකයා රනිල් වික්‍රමසිංහම බවයි. 19 වන සංශෝධනයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇත්තේ ජනාධිපති ධුරය ලබන තෙක් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරන බවයි. පොහොට්ටු පක්‍ෂයේ සිටින්නේ යැයි කියන ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන් 19 වන සංශෝධනයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා නැද්ද ? ජුන්ටාධිපති වික්‍රමසිංහගේ ඒකාධිපති 19 වන සංශෝධනයට ඔවුන් සහය දුන්නේ මේ කිසිවක් නොදැන ද ?

      Delete
    2. ඔබ දෙදෙනා පවසන දේ හරි ! මේ මැතිවරණ ක්‍රමය විකාරයක්. අනිවාර්‍ය කාන්තා නියෝජනයත් දැන් දැන් පටලැවිල්ලක් වී ඇති බවයි ඇසෙන්නේ. මේ සියල්ල අනිවාර්‍යයෙන්ම වෙනස් විය යුතු දේ.

      K පෙන්වා දෙන අයුරින්, මේ පටලැවිල්ලට ඒකාබද්ධ විපක්‍ෂයත් වගකිව යුතුයි. එසේනම් මේ පටලැවිල්ල ලෙහන්නේ කවුද ?

      Delete
    3. මේ ගැටළු සියල්ල ලෙහා ගැනීමට මට පෙනෙන අයුරින් ඇත්තේ එකම එක ක්‍රමයකි. එය පියවර තුනකින් සහ අභියෝග තුනකින් යුක්තය.
      පියවර තුන:
      1. මේ ආණ්ඩුවට (ඊනියා ජාතික ආණ්ඩුවට) ඉතිරි අවුරුදු දෙක අපට අවම හානියක් ගෙන දෙමින් යාමට ඉඩ දිය යුතුය. ඒ අතර එන පළාත් සභා මැතිවරණ දිනා ගැනීම පොහොට්ටුවට කළ හැක.
      2. ඉදිරි මහමැතිවරණයේදී සෑම සිංහලයෙක්ම විශ්වාසවන්ත එක පක්‍ෂයකට තුනෙන් දෙක ලැබෙන අයුරින් එකාවන්ව ඡන්දය ප්‍රකාශ කළ යුතුය.
      3. ඒ ආණ්ඩුවේ අගමැති ධුරය මහාචාර්‍ය හරිශ්චන්ද්‍ර විජේතුංග පත් කරගෙන ඔහුගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ නව ව්‍යවස්ථාවක් තැනිය යුතුය.

      අභියෝග තුන:
      1. මේ ආණ්ඩුව මේ අවුරුදු දෙකට කුමක් කරයිද, අඩු වශයෙන් මැතිවරණ හෝ නියමිත පරිදි පවත්වයිද යනු ප්‍රශ්නයකි. ඒවා සුදුසු පරිදි පවත්වා ගැනීම අභියෝගයකි.
      2. රොඩියයි කින්නරයයි එකතු කර ගත්තත් සෑම සිංහලයෙක්ම (අඩු තරමින් සිංහලයින්ගෙන් 70% වත්) සිංහලකම ගැන සිතා ඡන්දය දෙයිද? සිංහලයින් තුල එතරම් සිංහල කමක් නැත. පොදු මහජනතාව තුල ඒ හැඟීම ඇති උවත් දේශපාලන බලය දරන්නන් තුල ඒ හැඟීම ඇත්ද? මේ දෙවන අභියෝගයයි.
      3. මහාචාර්‍ය විජේතුංග වැනි උගත් වියත් පුද්ගලයෙක් සමග කටයුතු කිරීමට, ගිරිය පුප්පාගෙන වේදිකා මත බෙරිහන් දී අමාරුවෙන් උපයා ගත් මනාපෙන් පාර්ලිමේන්තු ගොස් බලය ලබා ගත් දේශපාලන බලධාරීන් කැමති වේද යනු ප්‍රශ්නයකි. හේතුව මහාචාර්‍යවරයා ජාතිය ගැන මිස එක එකාගේ පෞද්ගලික න්‍යාය පත්‍ර මත කටයුතු නොකරන කෙනෙක් වීමයි. එහෙත් සැබෑ අභියෝගය එය නොවේ. දැනටත් වයෝවෘද්ධ මහාචාර්‍ය වරයාට එතරම් කාලයක් ශරීර සුවතාවය පවත්වා ගත හැකිද යන්නයි.
      මුල් අභියෝග දෙක කෝඳුරු තෙල් හත්පට්ටයනම් තුන් වැන්න තවත් අවශ්‍ය වන "ටික" වේ.

      Delete
  3. මේ මැතිවරනය පසු වී දින එකොලහක් පසු වී ඇත.
    ජනමතය විමසන මැතිවරණය පැවැත්වූ වැඩ බැරි පක්ෂග්‍රාහී මැතිවරණ කොමිසම විසින් ඡන්දය දුන් ඡන්ද දායකයාගේ මූලික අයිතීන් වත් සුරැකීමට නොහැකි බැරි බැරියාවකින් පෙලෙමින් සිටිති.
    සරලවම බැලුවොත් ඡන්ද දායකයෙකු ලෙස ඡන්දය ප්‍රකාශ කල අපිට අද වන තුරුත්, අපගේ කොට්ඨාශය ජය ගත්තේ කුමන පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින්ද? ඒ කුමන ආකාර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින්ද?
    අප ගේ ප්‍රාදේශීය හෝ නගර සභාව තුල කුමන කුමන කොට්ඨාශ මා ඡන්දය දුන් පක්ෂය ගෝ කණ්ඩායම විසින් දිනාගෙන ඇතිද? අනෙක් පක්ෂ හා කණ්ඩායම් විසින් දිනාගත් කොට්ඨාශ මොනවාද? ආදී වූ මූලික තොරතුරු කිසිවක් පිළිබඳ කොමිසමේ නිල වාර්ථාවක් ලබා ගැනීමට ඡන්දදායකයාට හැකියාවක් නැත.

    සියළු ජනතාව මැතිවරණ ප්‍රථිපල දැන ගනුයේ කට කථා නම් වූ අති පැරනි සන්නිවේදන ක්‍රමයෙන්ම පමණි.

    නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමය මෙසේ වුව්මනාවෙන්ම අවගමනයක් කරා ගෙන යන්නේද?

    ReplyDelete
    Replies
    1. මේ සිතා මතා කරන දෙයකැයි නොසිතමි. මැකෝ නමින් අප විසින් සුරතලයට හඳුන්වන ඊනියා මැතිවරණ කොමිසමේ සභාපති තෙමේ තමන් හා තමන්ගේ ස්වාමිවරුන් විසින් වැඩිදුර නොසිතා අටවන ලද උගුලක තමන්ම වැටී සිටින බවයි පෙනෙන්නේ. මෙහි වැදගත් වචනය ස්වාමිවරුන් යන්නයි. අද රටේ පතියෙක් නැත. සිටින්නේ ඒජන්තයන් පමණි. නාමික ජනපති අගමැතිගේ සුවච සේවකයෙකි. අගමැති සහ ඊනියා ස්වාධින කොමිෂන් විදේශ බලවේග වල (විශේෂයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ) ඉත්තන් වේ. මේ විදේශ බලවේග අතරද ඒකාත්මික බවක් නැත. එක එකා එක එක පැත්තට අදී. එක එකා එක එක මට්ටමින් සතුටු කිරීමට විවිධ අණ-පනත් තුනෙන් දෙකේ බලයෙන් සම්මත කීරීමයි මේ සියළු අවුල් වලට මුල.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !