Tuesday, November 10, 2015

අඤ්ඤා කොන්ඩඤ්ඤ සහ සිද්ධාර්ථ

කපිලවස්තු පුර සුදොවුන් රජුට පුතෙක් ඉපදී පස් දිනකින් නම් තැබීමේ මගුල එළඹින. ඊට වේද වේදාන්ත ඥානයෙන් පරිපූර්ණ, අංග ලක්‍ෂණ විද්‍යාවන් දන්නා, ප්‍රඥාව ඇති බමුණන් එකසිය අට දෙනෙකුන් ගෙන්වන ලදී. මොවුනතරින් ප්‍රධාන වූ රාම ධජ ලක්ඛණ මන්තී කොන්ඩක්ඤ භෝජ සුයාම සුදත්ත යන බමුණන් අට දෙනා ළදරු කුමරුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සහ අසූවක් අනුව්‍යංජන ලක්‍ෂණ දුටහ.
www.telegraph.co.uk
ඔවුනතරින් වැඩිමහල් බමුණෝ සත්දෙන මේ කුමරු ගිහිගෙයි සිටියොත් සක්විති රජ වෙයි පැවිදි වුවොත් බුදු වෙයි කියමින් දෑඟුල් පෑහ. සැමට බාල කොන්ඩඤ්ඤ තෙමේ මේ කුමරු ඒකාන්තයෙන් ගිහි ගෙයි නොරඳනේ වෙයි, ගිහිගෙන් නික්මී පැවිදි වී බුදු වෙයි කියමින් එක් ඇඟිල්ලක් පෑහ.

මේ කුමරු මතු තමාටත් වැඩක් කෙරෙයි අනුනටත් වැඩක් කෙරෙයි යන අර්ථයෙන් සිද්ධාර්ථ නම් වේවායි ඒ බමුණෝ ප්‍රකාශ කළ බැවින් ගෝත්‍රයෙන් ගෞතම වූ ඒ පින්වත් කුමරුන්ට සිද්ධාර්ථ යන නාමය තබන ලදී.

පන්තිස් වසක් ඇවෑමෙන් ගයාවේ දී සම්මා සම්බුද්ධත්වය සාක්‍ෂාත් කර ගත් ඒ සිද්ධාර්ථයන් විසින් බරණැස ඉසිපතනයේ දම්සක් පැවතුම් සුතුර දේශනා කරන කල්හි පැවිදිව සිටි කොන්ඩඤ්ඤ තෙමේ පළමුව දහම් අවබෝධ කර ගත් හෙයින් හෙතෙම අඤ්ඤා කොන්ඩඤ්ඤ නම් විය.

මෙසේ කොන්ඩඤ්ඤ තමන් සිද්ධාර්ථ නම තැබීමට මුල් වූයේ යම් සේද ඒ සිද්ධාර්ථයෝ ම කොන්ඩඤ්ඤ තෙරුන්ට 'අඤ්ඤා' යන අභිදානය ලැබීමට උපස්තම්භක වූහ.


නම් තැබීම


සුදොවුන් රජු කළ අයුරින්ම නොවුණත්, නම් තැබීම සෑම තැනකම සෑම කල්හිම විශේෂ වැදගත් කමක් ගත් චාරිත්‍රයක් බව පසුගිය දෙතුන් වසර තුල එංගලන්ත රජ පවුලේ සිදු වූ නම් තැබීම් වලින් පෙනේ. සමහර නම් වල අනෙක් ඒවාට වඩා අමුතු බලයක් තිබේ. පසුගිය දස වසර පුරා "මහින්ද" යන නාමය නොමැතිව ලංකාවේ පොදු වැසිකිළියක්වත් විවෘත නොවූ බව සමහරු කියත්. රුහුණු මාගම්පුර මහින්ද රාජපක්‍ෂ තටාකාංගනය, මත්තල මහින්ද රාජපක්‍ෂ වී ගබඩා සංකීර්ණය (මෙය මුළින් සැළසුම් කෙරුණේ කටුනායකට විකල්ප ගුවන් තොටුපොළක් වශයෙනි), නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල, සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනය, තවම වැඩ නිම නැති නෙළුම් කුළුන මහින්ද රාජපක්‍ෂ විදුලි සංදේශ කුළුන සහ මෑතකදී කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් මහින්ද රාජපක්‍ෂ භූගත බංකර සංකීර්ණය ද ඉහත අදහස සනාථ කරන ජීවමාන උදාහරණ වේ.

අද එසේනම් නම් තැබීම පිළිබඳව කතා කරමු. ඊට පෙර මධ්‍යස්ථ මතධාරියා නම් ලත් යකාට ස්තූති කරමු. මක් නිසාද, නම් තැබීම පිළිබඳ කතා කිරීමට අප පෙළඹවූ ආසන්න හේතු කාරකය යකාගේ අඩවියේ පළ වූ ලිපියක් වන නිසාය.





පැරැන්ණන් නම් තැබූ හැටි


සුදොවුන් රජු බමුණන් කැඳවා නම් තැබීමට පෙර දරුවන්ට නම් තැබූ ආකාරය පිළිබඳ උදාහරණ අප සතු වෙයි. උම්මග්ග ජාතකයේ මහෞෂධ පණ්ඩිතයෝ ඒ නාමය ලබන්නේ උපදින විට මහත් බලගතු ඖෂධයක් අත්ලේ තබාගෙන උපන් නිසාය. කුස ජාතකයේ පබාවතී එනම් වන්නේ ඇගේ ශරීර ප්‍රභාව හේතුවෙනි. පඤ්චායුධ කුමරු ඒ නම ලබන්නේ යක්‍ෂයාට ආයුධ පහකින් ම පහර දුන් නිසාද යන්න දැන ගැනීමට ක්‍රමයක් නැති මුත් දහම්සොඬ රජු එනම ලබන්නේ ඔහු දහම්සොඬ වීම නිසා බවටනම් සැකයක් නැත.

බුද්ධ කාලයේ කොසොල් රට රාජ පුරෝහිතගේ දරුවා 'අහිංසක' නම ලබන්නේ තමන් උපන් මොහොතේ මුළු නුවරම ආයුධ දිලිහී ගියත් කිසිවෙකුටත් අනතුරක් නොවූ හේතුවෙනි. රජගහ නුවර ජීවකයා ඒ නම ලබන්නේ උපන් විටම මෑණියන් විසින් කසළ ගොඩට විසි කරන ලදුව බලු කපුටන් විසින් පිරිවරන ලද්දේ මහමග යන රාජ කුමාරයා විසින් විමසන කල්හි අවට සිටියවුන් විසින් තවමත් ජිවත් වන්නේ යැයි පිළිවදන් දුන් බැවිණි. අම්බපාලිය අඹ ඵලයකින් පහල වූ බව කියැවේ.

බිම්බා දේවිය යශෝදරා නම් වන්නේ මහත් යශෝරාවයක් දරණ බැවින් වන මුත් ඇගේ පුත් කුමරා රාහුල නම් වන්නේ සිද්ධාර්ථයන් විසින් පවසන ලද රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං යන වචනය ඇසුරිණි. සාරිපුත්ත සාරි බැමිණියගේ පුත්‍රයාය. අනාථපිණ්ඩික තමන් විසින් නොවරදවා දෙන දානය හේතුවෙන් ඒ නම ලද අතර අදින්න පුබ්බක කිසිවක් දුන් බවට 'පෙර වාර්තා' නොමැති බැවින් ඒ නමට හිමිකම් කීය. ඔහුගේ පුත් මට්ටකුණ්ඩලි තමාගේ පියා විසින් තමන්ම තලා නිර්මාණය කර දුන් කුණ්ඩලාභාරණය හේතුවෙන් ඒ නම ගත්තේය.

චුල්ල පන්ථක සහ මහා පන්ථක තෙරවරු "පන්ථක" නම ලබන්නේ මහමග අයිනේ උපන් බැවිණි. පූරණ කස්සපයා "පූරණ" වන්නේ ඔහුගේ කුලගෙයි දාසයන් සියය සම්පූර්ණ කරමින් උපන් නිසාය. උපතටත් පෙරම සීය පියාණන් වහන්සේට සතුරු වන ලක්‍ෂණ ප්‍රකට කළ බිම්බිසාර රාජ පුත්‍රයා "අජාතශත්‍රෑ" නම් වීය.

දිව්‍යමය ගාන්ධර්වයා වන පඤ්චසිඛයා තම නම ලබන්නේ කොණ්ඩා පහක් බැඳ සිටින හේතුවෙනි (Robert Nesta සිහි වේ). ශක්‍රයා සහසැස් වන්නේ ඔහුට දහසක් ඇස් තිබූ නිසා බව කියැවේ. අසුර ආක්‍රමණයක තර්ජනය සෑම මොහොතකම දකිමින් සිටි හෙතෙම CCTV කැමරා සවි කර ගත්තා යැයි සිතිය හැක.

ලක්දිව නම් සැළකුවොත් අපට මුළින්ම සිහි වන නාමය උන්මාද චිත්‍රාවයි. දකින යෞවනයන් මුසපත් කරවනසුළු බැවින් ඈ ඒ නම ලද්දීය. ඇගේ පුත්‍රයා පණ්ඩුකාභය නම් වන්නේ තම මුත්තණුවන්ගේ සහ වැඩිමහළු මාමණ්ඩියගේ නම් (පණ්ඩු + අභය) එකතු කිරීමෙනි. මේ අයුරින්ම වේළුසුමනයන් (වේළු + සුමන) ද තම නාමය ලද්දේය. තිස්ස රජුගේ 'දේවානම්පිය' නාමය අභිදානයකි. ලංකා ඉතිහාසයේ සෑම තිස්ස රජ කෙනෙකුටම කිසියම් විශේෂණ නාමයක් තිබී ඇත - කාකවන්ණ, සද්ධා, යසලාලක, වංකනාසික, කුටිකන්ණ ආදී වශයෙනි.

ගැමුණු රජුගේ තවත් යෝධයෙක් වන නන්දිමිත්‍රයා 'මිත්‍ර' නම ගන්නේ එළාර රජු වෙත සේවය කළ ස්වකීය ඤාතියෙකුගෙනි. ගෝඨයිම්බර තමන් මිටි බැවින් ගෝඨ නාමයද ඉඹුල් වනයක් සිඳ ලූ හෙයින් ඉම්බර නාමයද ලත් බව කියැවේ.


නම් වෙනස් වූ හැටි


මේ පැරණි නම් පසුකාලීනව වෙනස් වී ගියේය. පොළොන්නරු යුගයේදී රජුන් අතර 'බාහු' යන්න ප්‍රචලිත විය. පරංගින් අපට ඩොන්, සිඤ්ඤො, සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු ආදී නම් දුන් අතර ලංසි සහ ඉන්ගිරිසින්ද මේ කරුණේ දී නොමසුරු වූහ. ඩොන් ඩේවිඩ් (පසුකාලීනව අනගාරික ධර්මපාල) බටහිර නම් වෙනුවට ආර්ය (එනම් උතුරු ඉන්දීය ඌරුව ඇති නම්) ප්‍රචලිත කිරීමට මුල් වූ අතර මුණිදාස කුමාරණතුංග (පසුව කුමාරතුංග මුනිදාස හෙවත් කුමරතුඟු මුනිදස්) විසින් සිංහලයින්ගේ නම් හෙළ ඌරුවට සකස් කෙරිණි. ආර්යසේන අශුබෝධ අරිසෙන් අහුබුදු වන්නේත්, සාබියෙල් අල්විස් අලව්ඉසි සැබිහෙළ වන්නේත් කුමාරතුංගයන්ගේ අනුහසිනි.

ඉහත විස්තර කළ නාමයන් බොහොමයක් උපතත් සමග දෙමාපියන් විසින් තැබුණු නම් නොව පසුකාලීනව සමාජය විසින් නැතිනම් ඉතිහාස කාරයන් විසින් තබන්නට ඇතැයි සිතිය හැක. එහෙත් නමත් සමග උපත ලියාපදිංචි කෙරෙන මේ කාලයේ ඒ සෙල්ලම් දැමීමට ඉඩක් නැත. දැන් නොයෙල් මුදලිගේ කළාක් මෙන් "හැංගි හොරා" දේශපාලනය නොකරන්නේ නම් උපතේදී තබන නාමය දිගටම බලපැවැත්වේ. එසේ හෙයින් ඒ නාමය පෙරට වඩා වැදගත් කමක් ගනී.

අහුබුදු නාමය පටබැඳ ගත් ආශුබෝධ නම් තැබීම ව්‍යාපාරයක් බවට පරිවර්තනය කළේය. ඔහු අද ජීවතුන් අතර නැතත් ඒ ව්‍යාපාරය ඔහුගේ දියණිය, සමන්ති අහුබුදු, විසින් සාර්ථකව කරගෙන යන්නීය.


නම් සිංහල වූ හැටි


1956 දී සිංහලය රාජ්‍ය භාෂාව වීමෙන් සිංහල බසේ පුබුදුවක් ඇති විය. මේ හේතුවෙන් සිංහලයින් විසින් ආරම්භ කරන්නට යෙදුණු ව්‍යාපාර වලට නම් තැබීමේදී සිංහල නම් තෝරා ගැනීම වාසිදායක විය (රාජපක්‍ෂ පාලන සමයේද මේ රැල්ල නැවත ඇති විය - මචං, මාළු මාළු, දකුණ පෙරට, කොස් කඩේ ආදී නම් උදාහරණ ලෙස දැක්විය හැක). මේ වන විට හුදු හෙළය තම පරවේණිය බවට පත් කරගෙන සිටි ආශුබෝධයන්ට මේ රැල්ලේ නැගී යාම එතරම් අපහසු නොවීය. සිරස, දාස, ලිට්රෝ, ඔරික්, දම්රෝ, සම්පත් බැංකුව, සලාකා ආදී බොහෝ ව්‍යාපාර සේම ජනසවිය, සෙත්සිරිපාය, සරසවිපාය වැනි ව්‍යාපෘති හා ගොඩනැගිලි නාම ද ඔහුගේ නිර්මාණ වේ.

අශුබෝධ සිංහල ජාතිය මත සිය හංවඩුව තැබුවේ දරුවන්ට නම් තැබීම මගිනි. සිංහලය රජබස කිරීම හේතුකොටගෙන සමාජ ඉණිමගේ ඉහළට නැගී සිංහලයන්ට ඉණිමගට පයින් ගැසීම (හෙවත් මූලය අමතක කිරීමට) අවශ්‍ය වී තිබිණි. පර නම් තැබීම සේම දරුවන්ට පාරම්පරික නම් තැබීම ද මදි කමක් ලෙස සැළකූ නව ප්‍රජාවට අශුබෝධ ඉටු දෙවියෙක් විය. මෙතෙක් කිසිවෙක් කිසිවෙකුට නොතැබූ නමක් දරුවන්ට තැබීමෙන් තමන්ගේ දරුවා අනන්‍ය වේ යැයි මේ දෙමාපියන් සළකන්නට ඇත. එහෙත් අප අනන්‍ය විය යුත්තේ පුද්ගලයින් වශයෙන් නොව ජාතියක් වශයෙන් බව මේ දෙමාපියන්ට අවබෝධ නොවීය. ව්‍යාපාර ලෝකයේ පිණුම් ගසමින් සිටි අශුබෝධට කෙසේ අවබෝධ වන්නද !
අහුබුදුගේ ආදර්ශ නම් - උපුටා ගැනීම babynames.lk

ඕනෑම හොඳ දෙයකට නිමාවක් තිබේ. අශුබෝධ සියලු දෙනාටම අනන්‍ය, එනම් නැසූ විරූ, නොවූ විරූ නම් සැපයීමට ලක ලැහැස්ති වී සිටියත් භාෂාවේ පරිමිත භාවය හේතුවෙන් එය කළ හැකි නොවේ. අපට වචන ඇත්තේ සීමිත ගණනකි. වචන අවසන් වූ විට කළ හැකි එකම දේ වචන නිර්මාණය කිරීමයි. ආශුබෝධ මෙය පිළිකුල් සහගත මට්ටමකට ගෙන ගියේ කටට එන ඕනෑම ශබ්ද සංයෝජනයකට ඒත්තු ගැන්විය හැකි අරුතක් නිර්මාණය කිරීමෙනි. මේ ශබ්ද සංයෝජනය මෙලෝ රහක් නැති එකක් වීම ඔහුට ගැටළුවක් නොවූයේ "ජපන් නම් සේ ඇසෙන", "ප්‍රංශ නම් සේ ඇසෙන", "ඉංගිරිසි නම් සේ ඇසෙන", "හින්දි නම් සේ ඇසෙන" ආදී වශයෙන් ඔහු ඒවා වර්ග කරගෙන සිටි බැවිණි. ජපන් නම් සේ ඇසෙන ආශුබෝධයන් විසින් නිර්මිත නම් වල ජපන් තේරුම් කවරේදැයි සොයා බැලූ දෙමාපියෝ වෙත්ද ?

ජාතියේ දරුවන්ට "ලොවෙත් නැති" නම් සැපයූ ආශුබෝධ තමන්ගේ දියණියට දුන් නාමය සමන්ති ය. අද ආශුබෝධ අප අතර නැත. ඔහුගේ දියණිය ප්‍රවේණිගත උරුමය පෙරට ගෙන යමින් ජාතියට හංවඩු ගැසීමේ ව්‍යාපාරය උරට ගෙන සිටී. මෙයට තව වැඩිකල් ආයුෂ නැති බැවිනුත් ඒ අසරණියගේ ජීවිකා වෘත්තියට හානි නොකළයුතු බැවිනුත් අශුබෝධ පිළිබඳ කතාව මෙතැනින් නවතමු.


"බු" යන්නෙන් නමක්


මගේ මාමාට පුතෙක් උපනි. වේලාව බැලූ නැකත්කරුවා මේ දරුවාට බුයන්නෙන් නමක් තැබිය යුතු බවට නිර්දේශ කළේය. බුයන්නෙන් ඇරඹෙන නම් ඇති දෙදෙනෙක් ඒ වන විටත් අපගේ ඥාතීන් අතර සිටි බැවින් මෙය වඩා දුෂ්කර කර්තව්‍යයක් විය. "බු" යන්නෙන් පටන් ගන්නා මුත් "බුද්ධි" නොවන නමක් ඇත්ද?

එවැනි නමක් නැති තැන මාමා පිහිට සෙව්වේ ගොවියෙකු යැයි කියනවාට වඩා ඉඩම් හිමි වැවිලි කරුවෙකු ලෙස හඳුන්වා දිය හැකි, පවුලේ වැඩිහිටියෙකු වූ මගේම බාප්පාගෙනි. නැති අකුරෙන් නමක් හිටිවනම ගලා ආවේ නිරායාසයෙනි.

බුසල් සේරුක කියල දාපං !


නමේ වැදගත්කම


නමේ එතරම් වැදගත් කමක් නැති බව සමහරු කියත්. එහෙත් ඒ සමග එකඟ වීම අපහසුය. නමේ ගත යුතු කිසිවක්ම නැත්නම් ඩොන් ඩේවිඩ් ධර්මපාල වන්නේවත් ආර්යසේන අහුබුදු වන්නේවත් නැත. එසේම වර්තමාන දෙමාපියන් රුපියල් 600 දී සමන්ති ආශුබෝධගෙන් නමක් ගන්නේද නැත. මේ සියල්ලටමත් වඩා අප සහ තවත් බොහෝ දෙනා ආශුබෝධයන්ගේ විසුළු නම් ගැන විචාර ලියන්නේ ද නැත.

දරුවෙකුට තබන නමේ ඇත්ත වශයෙන් සැළකිය යුතු දෙයක් තිබේ. එහෙත් ඒ තෝරා ගත් නාමය "ලොවෙත් නැති" නමක් වීම නම් නොවේ. පළමුව නම ප්‍රසිද්දියේ කිව හැකි විය යුතුය. එනම් එය කියන විට වෙනකක් නෑසිය යුතුය (උච්චාරණයේ පහසුව). දෙවැනුව එය ලිවිය හැකි විය යුතුය. අප සිංහලය හා සමව, සමහර විට ඊටත් වඩා, ඉංගිරිසිය භාවිතා කරන බැවින් නම ඉංගිරිසියෙන් ලියන කළ සිංහල නමම කියැවේද කියා බැලිය යුතුය. සමහර නම් ඉංගිරිසියෙන් ලියූ කළ ගෑණු-පිරිමි කම නැති වී යයි. තුෂාර-තුෂාරා, අනුෂ-අනුෂා, චන්දිම-චන්දිමා, ඉෂාර-ඉෂාරා, ඉන්දික-ඉන්දිකා අපට හමු වී ඇති උදාහරණ වේ. වෙනත් භාෂා ආශ්‍රය කරගෙන තනන නම් සිංහලෙන් ලිවිම අපහසුය (ලිවීමේ පහසුව).

එසේම නම විසින් අසන්නා තුල ජනිත කෙරෙන හැඟීම සැළකිය යුතුය. මෙය සියල්ලටම වඩා වැදගත් කොට සිතමි (සිත්ගන්නාසුළු බව). ආශුබෝධයන්ගේ නම් වල තේරුම ඔහුගෙන්ම අසාගෙන මිසක අන්‍යයන් විසින් දැන ගත හැකි නොවීම හේතුවෙන් අපගේ දරුවන්ට නම් තේරීමේදී ඔහුගේ කිසිදු නමක් නොසැලකීමට පූර්ව නිගමනයකට පැමිණියෙමි.

සිව්වෙනුව ඒ නම වරනැගෙන ආකාරය හෙවත් කෙටි නම් තනා ගත හැකි ආකාරය සැළකිය යුතුය. බොහෝ විට සමගාමින් සහ මිතුරන් විසින් පුද්ගලයෙකු ඇමතෙන්නේ දෙමාපියන් දුන් නමින් ම නොවේ. පුබුදු නම ඇති මුත් මිතුරන් විසින් පුබ්බා යනුවෙන් නොඇමතෙන කෙනෙක් නැත. රණතුංග, රණසිංහ, රණබාහු ඈ වාසගම් රණයා බවට ඉබේම පෙරැළේ. සුසන්ත සුසා බවටත් සුදන්ත සුදා බවටත් සඳරුවන් සඳයා හෝ හඳයා බවටත් පෙරළීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණකි. රුචිර රුච්චා බවට පෙරැළේ. ගයනාත් නම ඇත්තෙක් ගඳයා වීය. පුෂ්පික පුකා විය. මේ පද පෙරළි අනුමාන කිරීම අපහසු මුත් දැනටමත් නපුරු අයුරින් වරනැගෙන නමක් තම දරුවාට තෝරා නොගැනීමට සැළකිලිමත් වීම යහපති.

මගේ එක්තරා පාසැල් මිතුරෙක් වැලයා නම් විය. ඔහුගේ නම නොව වාසගම විජේරත්න වූ අතර මුවන්පැලැස්ස ගුවන් විදුලි නාටකයේ කෝරළේ මහත්තයාට හඬ දෙන විජේරත්න වරකාගොඩ වෙළෙඳ දැන්වීම් වලද පෙනී සිටිමින් එකල ජනප්‍රිය චරිතයක් විය. මගේ මිතුරාගේ නම පරිණාමය වූයේ පහත අයුරිණි.
විජේරත්න --> විජේරත්න වරකාගොඩ --> වරකාගොඩ --> වැලගොඩ --> වැලයා !

තවත් මිතුරෙක් ප්‍රේමරත්න විය. ඔහු ජෙමා බවට පත් විය.
ප්‍රේමරත්න --> ලව්+ජෙමා --> ජෙමා !

විජිත නම් තවකෙක් විජ්ජප්පඩයා විය.

ඇමරිකානුවන්ට සම්මත කෙටි නම් තිබේ. රොබට් බොබ් වන අතර විලියම් බිල් වේ. තියඩෝර් ටෙඩි වෙයි. රිචඩ් ඩික් වේ, කැතරින් කැතී වන අතර මාගරට් ඩේසී වන්නීය. එහෙත් අපට එවැනි සමම්තයක් නැති බැවින් කෙටි නම් පට බැඳෙන්නේ අහඹු ආකාරයෙනි.

සඳහන් කළ අංග සියල්ලෙන්ම සමන්විත මුත් අර්ථය නපුරු සමහර නම් තිබේ. 'මැරියන්' නම ඇති සිංහල ගෑණු සිටිති. මහීෂ යන නමෙහි තේරුම 'මිහිකතට අධිපති' වන්නේ යැයි මිතුරෙක් මා හා වාද කළද ගව-මහීෂ යන තැන එහි අරුත සමාන වන්නේ මී ගවයාටය. ඉරෝෂන් යනු ඉංගිරිසියෙන් ඛාදනය වීමයි. සමහර සුසුදු දැරියයෝ නිල්මිණි නමින් හැඳින්වෙති. ඉරාන් (ඉරා දමන්න !) ලෙස ලොකු අකුරින් ලියූ පෝස්ටර් කොළොඹ තැන් තැන් වල පසුගිය මැතිවරණ සමයේ අලවා තිබුණත් ඒවා ඉරා දැමීමට පොලිසියවත් උනන්දු වූයේ නැත.

සමහර නම් එනම ඇතියන් විසින් පෙර කරන ලද කටයුතු හේතුවෙන් ගර්හිත තත්වයට පත් වී තිබේ. උදාහරණයක් ලෙස 'ප්‍රබාකරන්' නම ඇති දෙමළෙක් දෙස සිංහලයින් වපරැසින් නොබලා සිටීවිද? කාශ්‍යප: එනමින් පෙර බුදුකෙනෙකුන් සහ ගෞතම බුදුරදුන්ගේ මහා ශ්‍රාවකයෙක් ද සිටි මුත් පිතෘ ඝාතක රජෙක් සිහියට නොනගයිද ? එසේම සිරිමා යනු බුද්ධ කාලයේ විසූ ප්‍රසිද්ධ ගණිකාවකි. තම දියණියට ඒ නම තබන තැනැත්තා වලව්වක විසුවත් පහත් පෙළේ මිනිසෙකි.


ඉහත සියල්ලෙන් කියවෙන්නේ දෙමාපියන් තබන නම අතීතයේ කෙසේ වෙතත් වර්තමානයේ බොහෝ කරුණු වලට බලපාන බවයි. නමේ ශබ්දය විසින් අසන්නා තුල ඇති කෙරෙන සංජානනය යහපත් නම් එවැනි නමක් යහපත්ය. පෙර කළාක් මෙන් අද දරුවන්ට නම් තබන්නේ නැත. එසේම පාතාල කණ්ඩායම්, කුමන්ත්‍රණ මූලික රහසිගත දේශපාලනයේ යෙදෙන්නන්, ආගම් මාරු කරන්නන් ආදී සමාජයේ සාතිශය සුළුතරයක් හැරුණු කොට බහුතරය එක නමක් සමග ජීවිත කාලයම ගත කරති. ඒ එක නම තැබීම මහා සංකීර්ණ කර්තව්‍යයක් බවට පත් වී තිබේ. වර්තමානයේ කෙරෙන නම් තැබීම පිළිබඳව වෙනත් දිනයෙක කතා කරමු.



සටහන:
සමන්ති අහුබුදුගෙන් නමක් ඕනෑද ? මෙතැනින් babynames.lk වෙත පිවිසෙන්න.

45 comments:

  1. කොළඹ නගර සභා චන්ද දැන්වීමක ගුත්තිල සිල්වා කියලා කෙනෙක්ගේ නමක් තිබුනා.

    ReplyDelete
    Replies
    1. හැබෑට !
      ඒකත් හරියට අන්තෝනියෝ බහිජටා කිව්ව වගේ !!
      මගේ යාලුවෙක් උන්නා... `ජෝජ් වොෂිංටන් මද්දුම බණ්ඩාර` කියල නම මැදට එන. ඒකත් හරියට "අයිසැක් විවියන් ඇලෙක්සැන්ඩර් රිචඩ්ස්" කිව්ව වගේ, නැද්ද.

      Delete
  2. ඔන්න අපිටත් මල පයිනවා.
    මාසයක් මැරිලා හිටියා. ඊට පස්සේ අනුන්ගේ ලියුමක් හොරකං කරලා දැම්ම. තව සතියක් බුදියගෙන ඉඳලා................
    නමක් ගැන මාගලක් ලියනවා.
    රටේ ලියන්න දේවල් නැතුව වගේ.

    සෝභිත මළා, මාරපන අස් උනා, සිරිසේන හාමුදුරුවන්ට සැප දෙන්න තායි ගියා, සිරා යන්නේ නැති නිසා උගේ දුව හෙලිකොප්ටරෙන් ගිහිං සිල් රෙදි බෙදනවා. පනත් විජේ වෙල් විදානේ එක්ක ඇර ගන්නවා. ඒ මදිවට ඔබ තුමා ලෝබ නැතුව පොන්සේකාට දාපු වෙල් විදානේ නම පනත් විජේ ඌ දාපු එකක් වගේ කියනවා. ඒ අස්සේ සරසවි සිසුන්ට පොලිසියෙන් නෙලනවා. නෙලපුව හරි කියන්න මාධ්‍ය සාකච්ඡා තියල පොලිස් මාධ්‍ය ප්‍රකාශකලා රංගොංජාගේ ගානට වැටෙනවා.

    මෙච්චර ජරමර තියෙන රටේ මෙයා ඉඳගෙන සමන්ති අහුබුදු ළමයින්ට නම් දාන හැටි ලියනවා --- හිරිකිතේ බෑ.

    ඔන්න චාමර, මටත් මල පයිනවා !

    ReplyDelete
    Replies
    1. සෝහිත හාමුදුරුවන්ගේ මරණයත් හරියට ගාමිනී අතුකෝරලගේ මරණය වගේම නේද?
      එක්කො රනිල් පෙර භවයක මහා කුසලයක් කර තියෙනවා. ඒ නිසා තමන්ට අභියෝගයක්වන සිංහල නායකයින් විනාශ වෙනවා. නැත්නම්......

      Delete
    2. හික් ! චාමර කියලද කිව්වේ? මට ඇහුන්නෑ....

      Delete
    3. මම බය උනා, සොඳුරිය! මම බය උනා - මම බය උනා !!!

      Delete
  3. යකාගේ අඩවිය ලිපියට දාපු ප්‍රතිචාරය මෙතනටත් දාන්නම්,
    මට මේකට අදහසක් දාන්න පරක්කු වුන එක ගැන කනගාටුයි.
    මෙම ලිපියේ තියෙන සමහර කරුණු වලට සහ අදහස් පාඨක ප්‍රතිචාර වැඩි හරියකට එකඟ වෙන්න බෑ.
    අරිසෙන් අහුබුදු මහත්තයා සමාජයේ අවශ්‍යතාවයක් හඳුනාගෙන තම දක්ෂතාවය යොදාගෙන ව්‍යාපාරයක් කලා.
    ඔහු කාටවත් තමන්ගෙන් නමක් ගන්න කියා බලකලේ නෑ.
    එතුමාගේ නමක් නිසා කාටවත් හානියක් වුනෙත් නෑ (යහපතකුත් වුනේ නෑ).
    ඒ වගේම අහුබුදුගේ නම් නිසා සිංහල ජාතියට යම් අනන්‍යතාවක් ලැබුනා (ලංකාවේ කාට හරි අමුතු නමක් තියෙනවානම් හැමෝම දන්නවා එයා සිංහල කියලා.) මේ ගැන දෙතිස් කතා අඩවියෙත් සඳහන් කලා.
    එමනිසා අහුබුදු මහත්තයා අපරාධකාරයෙක් ගානට දමන්න කාටවත් අයිතියක් නෑ.
    සිංහලයන්ට බිස්නස් බැරි මොකද කියන ගැටලුවට උත්තරයක් මෙම ප්‍රතිචාර කියවපුවාම ලැබෙනවා. එක සිංහලයෙක් සාධාරණව දියුනු වෙනකොට අනිත් සිංහලයාට ඒක දිහා බලලා සතුටු වෙන්න බෑ. මේවා අපි මේ වැරැද්ද හදාගත යුතුයි

    //සිංහලය රජබස කිරීම හේතුකොටගෙන සමාජ ඉණිමගේ ඉහළට නැගී සිංහලයන්ට ඉණිමගට පයින් ගැසීම (හෙවත් මූලය අමතක කිරීමට) අවශ්‍ය වී තිබිණි. පර නම් තැබීම සේම දරුවන්ට පාරම්පරික නම් තැබීම ද මදි කමක් ලෙස සැළකූ නව ප්‍රජාවට අශුබෝධ ඉටු දෙවියෙක් විය.
    මේ කතාවනම් සම්පූර්ණ ඇත්ත. මෑත ඉතිහාසය තුල සිංහල මධ්‍යම පන්තියට තම දරුවන්ට නම් තැබීමේදී ධර්මපාල තුමාගේ යුගයේ ආර්ය නම් (එනම් උතුරු ඉන්දියනෙු නම්) ගොඩේ නම් වගේ දැනුනා. අනිත් අතට මිශෙල්, රොශෙල්, ඔඩ්‍රි, බියන්කා, ජොයිස්, එතල්, ටානියා වගේ යුරෝපීය නම් වලටත් ඔවුන් කැමති වුනේ නෑ. මෙන්න මේ හිස්තැනට තමයි අහුබුදු මහතා රිංගුවේ. නමුත් අහුබුදු මහතා නොසිටියා නම් මල්කි, දිල්කි, දිල්රුක්ෂි වගේ හින්දි ශෛලියේ නම් හෝ නයෝමි, සමන්තා, එරෝෂන්, කොරෝෂන් වගේ සිංහල වැනි ‍යුරෝපීය නම් ජනප්‍රිය වෙන්න තිබුනා.
    මමනම් කැමතියි මගේ නමට ඉතාලි කෑල්ලක් තිබුනනම්. ඒ කියන්නේ සිල්වියෝ, ලුසියෝ, මිලානෝ, වැටලන්ටිනෝවගේ කෑල්ලක්. මගෙ යාලුවෙන් කිව්වා උඹ වගේ එවුන්ට "අන්තෝනියෝ බහිජටා" ඉතාලි/පාලි නමක් දාගැනීම සුදුසුයි කියලා.

    ReplyDelete
    Replies
    1. ජගත්,
      ඔබ ප්‍රතිචාර දැමීමට පරක්කු උනේ නැත. අප ලිපිය පල කිරීමටනම් පරක්කු විය. (මෙය මාස කිහිපයකට පෙර ඇරඹු ලිපියකි.)

      * "අරිසෙන් අහුබුදු මහත්තයා සමාජයේ අවශ්‍යතාවයක් හඳුනාගෙන තම දක්ෂතාවය යොදාගෙන ව්‍යාපාරයක් කලා. ඔහු කාටවත් තමන්ගෙන් නමක් ගන්න කියා බලකලේ නෑ." --- මේ 100% නිවැරදි අදහසකි. වෙනත් වචනයෙන් කිවහොත් ඔහු සමාජයේ සැඟවී තිබූ අවශ්‍යතාව හඳුනාගෙන ඊට සරිලන සැපයුමක් දුන්නේය. මෙය සූර ව්‍යවසායකයෙකුගේ ලක්‍ෂණයකි.

      * "එතුමාගේ නමක් නිසා කාටවත් හානියක් වුනෙත් නෑ (යහපතකුත් වුනේ නෑ)." --- දෙවන කොටසට එකඟ නොවෙමි. විශේෂයෙන් ඔහු ව්‍යාපාර වලට තැබූ නාමයෝ ඒ ව්‍යාපාර සාර්ථක වීමට හේතු භූත නොවූ බව පැවසිය නොහැක. (සමහර ව්‍යාපාර බිඳ වැටීම විසින් මෙය අවලංගු නොවේ.)

      * "ඒ වගේම අහුබුදුගේ නම් නිසා සිංහල ජාතියට යම් අනන්‍යතාවක් ලැබුනා" --- මෙය තර්කයට ප්‍රස්තුතයකි. ඔබ යෝජනා කරන්නේ අනන්‍යතාවයක් නැති වීමම අනන්‍යතාවයක් වන බවයි.

      * "එමනිසා අහුබුදු මහත්තයා අපරාධකාරයෙක් ගානට දමන්න කාටවත් අයිතියක් නෑ." --- ඔබ හරි. මේ ලිපියේ අදහස අහුබුදු පිළිබඳ සාකච්චා කිරීම නොව සිංහලයින් ළමයින්ට නම් තැබීම පිළිබඳ සුළු විවේචනයක් කිරීමයි. කිසි දෙයක් වෙනස් විය යුතු බව අප යෝජනා කරන්නේ නැත. (අහුබුදු මැතිණියගේ ව්‍යාපාරික අඩවිය වෙත බැඳියක් සපයා ඇත්තේ ද එය තවත් ප්‍රවර්ධනය කරන අදහසිනි.)

      Delete
    2. නොකීවාට මා ද ඉතාලි නොව රුසියන් නම් වලට ප්‍රිය කරමි. මීෂා, සාෂා, සර්ගෙයි, සිස්කින්, පුෂ්කින්, රුස්ලාන්, ඉවාන් වැනි නම් වල අමුතු ළයාන්විත ගතියක් දැනේ.

      ඒ හැරුණු කොට පැරණි වෛදික නම් වලට ද ප්‍රිය කරමි. අභිමන්‍යු, ආදිත්‍ය, චානක්‍ය, ධනඤ්ජ්‍ය, පාර්ත්, භාරද්වාජ, ඉන්ද්‍රජිත් වැනි නම් වල ඇති ගාම්භීර බව ප්‍රතික්‍ෂේප කළ හැකිද.

      Delete
  4. අරිසෙන් අහුබුදු ශුරීන්ගේ සිංහල දැනුම තක්සේරු කරන අයට ඉස්ස්සර වේලාම කරන්න තියෙන්නෙ අහුබුදු ශුරින් සිටි හෙළ හවුලේ රැපියෙල් තෙන්නකෝන් ශුරින් ලියු "වවුලුව" පද්‍ය පොත කියවා තේරුම් ගන්න පුලුවන්ද කියලා උත්සාහ කරන එකයි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සමරසේකර මහතාට තුති !

      ඔබ හරි, අරිසෙන් අහුබුදු ශුරීන්ගේ සිංහල දැනුම තක්සේරු කරන්න කෙනෙක් ඉදිරිපත් වේනම් අහුබුදුට වඩා දැනුමක් ඔහුට තිබිය යුතුයි. අපි ඒ නිසාමයි ඔහුගේ දැනුම මීට ගාවා නොගැනීමට ප්‍රවේසම් වී ඇත්තේ.

      වවුලුව බොහෝ කලකට පෙර කියැවූ මතකයක් තිබෙන මුත් පොත අප සතුව නැත. සොයා ගැනීමට හැකි වෙතොත් අනිවාර්‍යයෙන් කියවමි.

      Delete
    2. කණිෂ්ක මහතා,
      මා අද තමයි නැවත ඔබේ blog එක බැලුවේ. කියවීමට හා තේරුම් ගැනීමට ඇති අපහසුව අමතක කලොත් වවුලුව කවි පොත හරිම රසවත් එකක් ඒක හරියට ජේන් ඔස්ටින්ගේ pride & prejudice පොත වාගේ. වවුලුවේ ඇති එක කවියක් මට මතකයි
      "යොන් හුට නැගෙත කුඹ ගස මත නැව ගිලෙ ත
      දුන් කුඩු හෙප්පුවට ඉනැ යන කලෙට අ ත
      දෙන්නට සරි නිදසුන ලෙස පෙර සිරි ත
      දැන් මෙහි හොවති වලගම්බාවෝ අන ත "
      මේ පොත හොයා ගෙන මගේපොත් ගොන්නට එකතු කර ගන්න ඕනෑ.
      සමරසේකර

      Delete
  5. ඉතා අගනා ලිපියක්. ඉතා ඉහළ මට්ටමේ කරුණු සම්පිණ්ඩනයක්. ඔබට බෙහෙවින් ස්තුතියි මෙවැනි ලිපියක් ඉදිරිපත් කිරීම පිළිබඳව. දරුවන්ට නම් තැබීමට අදහස් කරන දෙමව්පියන් මේ ලිපිය කියවා බලනවානම් හොඳයි.

    කලකට ඉහතදී මමත් ලිව්වා මේ හා සමාන ලිපියක්.

    මේ තියෙන්නේ ඒ ලිපිය

    ReplyDelete
    Replies
    1. ඔබේ ඉතා කෙටි අදහස කියැවීමි. කෙටියෙන් මුත් ඉතා ප්‍රබල පණිවිඩයක් එයින් සමාජයට මුදා හරි. දරුවන්ට නම් තැබීමට අදහස් කරන දෙමාපියන් විසින් නොවරදවා කියැවිය යුතු ලිපියක් ඉදිරියේදී ලිවීමට අදහස් කරමි.

      ඔබ දෙතිස් කතාවට පැමිණි මුල් අවස්ථාව මේ'ය කියා සිතමි. මා ඔබේ blogger අඩවියේ බොහෝ ලිපි කියවා ඇති බව සිහි කරමි.

      Delete
  6. //ලංකා ඉතිහාසයේ සෑම තිස්ස රජ කෙනෙකුටම කිසියම් විශේෂණ නාමයක් තිබී ඇත - කාකවන්ණ, සද්ධා, යසලාලක, වංකනාසික, කුටිකන්ණ ආදී වශයෙනි.//

    වයිකින් Viking නායකයින්ටත් විශේෂණ තිබුනා ... the Fair, Ironsides, Bluetooth, the Red....වගේ.

    ඊටත් වඩා interesting එක අතීත Roman නම් -- Gaius Julius Caesar මුලින් පුද්ගලික praenomen නම (Gaius ) . ඊට පස්සේ nomen ගෝත්‍රයේ හෝ පරම්පරාවේ නම (Julius) , ඊට පස්සෙ cognomen සෑහෙන දෙනෙකුට තුන්වෙනි නමක් තිබුනා (Caesar). එය බොහෝ වෙලාවට විශේශණ පදයකින් or nickname එකකින් ආව එකක්, එය එක් මුතුන්මිත්තෙකුට පටබැඳී පසුව පවුලේ නාමයක් ලෙස යෙදුනා.
    සීසර් කියන එක "හුඟක් කෙස් ඇති" වගේ තේරුමක් ඇති එකක් කියලයි සැලකෙන්නෙ. ජුලියස් සීසර් බලවත් කාලයේ එයාට කෙස් සෑහෙන්න අඩුව තිබුනයි කියලයි සාධක තියෙන්නෙ. :-D එහෙත් ඔහුගේ මුත්තනුවෙක්ට නික් නේම් එකක් ලෙස ලැබී පසුව පවුල් නාමයක්වූ සීසර් යන්න පසුව අධිරාජයා යන තේරුම ගත්තා ඔගස්ටස් සීසර්ගෙන පස්සෙ. තවදුරට යනවා .......ඒක ජර්මන් කයිසර්, රුසියන් සාර් යන වචනවල උපත.
    ඔක්කොම ලියන්න බෑ මෙතන. පෝස්ට් එකක් සයිස් කමෙන්ට් එකක් වෙයි. :-D

    මං ආස ටොපික් එකක් ගැන ලිවීම ගැන ඔබට මගේ ස්තුතිය

    ReplyDelete
    Replies
    1. "සීසර් කියන එක "හුඟක් කෙස් ඇති" වගේ තේරුමක් ඇති එකක් කියලයි සැලකෙන්නෙ" මේ කියන්නේ හිස් පළඳනාවේ තිබෙන කෙස් ගැන නොවිය හැකිද ?

      කෛසර, සාර්, පමණක් නොව චාන්සලර් යන්නෙහිද උපත සීසර් බව කියවා තිබුණ මුත් ඔබ පෙන්වා දෙන කරුණු බොහොමයක් දැන සිටියේ නැත. මේ කරුණු ඉදිරිපත් කර ලිපියේ අගය වැඩි කිරීමට ස්තූතිය.

      Delete
    2. සිංහලයෝ අන් අයට විසුළු නම පබැදීමට සහජයෙන් කැමති ජාතියකි.රජවරුන් පවා එයින් මිදුනේ නැත.කාවන් තිස්ස. වංක නාත තිස්ස, සෙල්ලම් නිරිඳු (කුණ්ඩසාලේ කුමාරයා) උදාහරනවේ.

      Delete
  7. සියදෝරස්, ලියෝනස්, දියෝනස් වගේ නම් ග්‍රීක් වුනත් සියදෝරිස්, ලියෝනිස්, දියෝනිස් සිංහල නම් වියයුතුයි.
    ඒ වාගේම අන්ද්‍රේ පෘතුග්‍රීසි/ස්පාඤ්ඤ නමක් ඇන්ඩ්රූ ඉංග්‍රීසි නමක් අන්ද්‍රෙවිච් රුසියන් නමක් නමුත් අන්දරේ කියන්නේ සිංහල නමක්

    ReplyDelete
    Replies
    1. හරියට ගිරිගෝරිස් සිංහල නමක් වෙනවා වගේ.

      Delete
  8. අපුරු ලිපියක්. මම හිතාගෙන හිටියේ සුනිල්,අජිත්,සුජිත් නිමල් වගේ නම් ඔර්ජිනල් සිංහල කියලා, ලැජ්ජයි බං ඒවා ඔක්කම මේඩ් ඉන් india .
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. සුනිල් දත්, අජිත් වදෙකාර්, සුජිත් ප්‍රසන්න කෙසේ වෙතත් නිමල් යනු නිමල සිංහල නමක් නොවේද ?

      Delete
  9. කණිෂ්ක

    අකුරක් නෑර වටින කරුනු ඉදිරිපත් කරලා තිබෙන ලිපියක්.මීට වඩා යමක් සදහන් කරන්නම් කියලා හිටියේ.ඒත් කාර්යබහුල කම නිසා වැඩි පුර යමක් සදහන් කිරිම අපහසුයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  10. ඇත්තටම මේ ලිපියට කමෙන්ට් එකක් දාන්න කැමතියි ඒත් කඩිමුඩියේ ඒක කරන්න බැරි නිසාත්, සන්සුන්ව ලිපිය නැවත කියවා කිවයුතු දෙය කීමට කාලවේලාව හරස් නිසාත් ඉඩ ලැබෙන හැටියට ලිපිත් ප්‍රථිචාරත් කියවීමෙන් සෑහීමකට පත් වෙනවා.
    ඉඩ ලැබෙන හැටියට කෙටි අදහස් පමණක් ලියනවා....

    ReplyDelete
    Replies
    1. මීළඟ ලිපියටම ඔබේ ප්‍රතිචාර එක් කරන්න.

      Delete
    2. අනේ මන්දා අපේ කණිශ්ක සහෝදරයා මේ විදියට කිව්වේ අමනාපයෙන්වත්ද?
      නැහැ ඇත්තෙන්ම මම උඩින් පල්ලෙන් කරන අදහස් දැක්වීම් කතා 32කේ ලියන්න අකැමැතියි.
      යමක් ලියනවානම් හොඳින් හිතා බලාම ලිවීමයි කල යුත්තේ. යකාගේ අඩවියේ මේ සමාන ලිපියකට අදහසක් පල කලාට උරන වෙන්න එපා. ඒක බොහෝම සරල ප්‍රථිචාරයක් ඒ දමා තියෙන්නේ.

      Delete
    3. හික් ! මොන පිස්සුද.
      මෙයා එහෙම තරහ වෙන කෙනෙක් නෙවෙයි.

      Delete
    4. තරහින් නොව නම් තබනාකාරය පිළිබඳ ලිපියක් ලියමින් සිටියෙමි. ඔබට ඒ නොනිමි ලිපිය කියැවිය හැක. ඒ පිළිබඳ ගැටළුවක් නැත.

      Delete
  11. උසස්පෙල ප්‍රශ්න පත්‍රයක ද්වීපද නාමකරනය නිර්මානය කටල් කවුද? යන ප්‍රශ්නයට "කරෝලිස් ලියෝනිස්" කිව්වොත් ලකුණු දිය යුතුද?

    ReplyDelete
    Replies
    1. නැත !
      හේතුව: එය අසන්නේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක වන නිසා

      Delete
  12. නමනිසා ගොඩගිය දෙන්නෙක් ඉන්නවා
    1. දුග්ගන්නනාරාල. හැබැයි එයාට නමට අමතරව අධ්‍යාපන සුදුසුකම් සහ නිර්මාණශීලීත්වය වගේ දේවලුත් අවශ්‍යවුනා නමත් ආධාරයක් වුනා.
    2.අබාන්ස් (සම්පූර්ණ නම අබාන්ස් රෙස්පොන්ජි වගේ එකක්) ඒක නම් සාප්පුවකටම ගැලපෙන නමක්.

    "අර්ජුන රණතුංගට" "කුඹුක රණතුංග" කව්වොත් හෙල ගතියක් තියෙනවා නේද?
    අපේ ලොක්කට අයිවෝ සිරිසේන කියලා කියල දාලා තිබුනනම් නියමයි.

    ReplyDelete
    Replies
    1. අර්ජුන & කුඹුක !!!!
      කිරිහොදි සහ සෙරන්ගේටි කිව්වා වගේ.

      Delete
    2. අර්ජුන කියන්නේ සංස්කෘත බාශාවෙන් කුඹුක් ගසට

      Delete
    3. 'අර්ජුන' යනුවෙන් සංස්කෘත වචනයක් නැත. අර්ජුන් යනුවෙන් නම් ඇත.
      "ගම" ඇලෙන්නේ නෑ නේද ?

      Delete
    4. ඇයි ජගත් ඔබට මැතිවරණ කොමසාරිස් දූරය දැරූ චන්දානන්ද ද සිල්වා මහතාව අමතක වුනාද?ඇත්තටම ඔහුට ඒ නම ඔහුගේ මා පියන් තැබුවේ ඇයි?

      Delete
    5. "නමනිසා ගොඩගිය"
      -------------------

      ඉහත නම් සඳහන් අය නම නිසා ගොඩ ගිය බව කියන්නේ කෙසේද ? නම් වලින් ඔවුන්ගේ කටයුතු වලට එළියක් ලැබුණා විය හැකියි. එහෙත් ඒ නම් නැතිව වෙන නම් තිබුණත් ඔවුන් ඒ ඒ කටයුතු වලින් ගොඩ යා හැකියි නේද ? රුක්මණී දේවිය ගැන ඔබ සිතන්නේ කුමක්ද ? දිලිප් කුමාර් හා ආක්ෂේ කුමාර් ?? මේ අය තමන්ගේ නියම නමින් පෙනී සිටියානම් කුමක් වන්නට ඉඩ තිබිණිද ?

      මා කියන්නේ සමහර නම් වල අනෙක් නම් වලට වඩා අමුතු ගතියක් ඇති බව මිසක් නම හේතුවෙන්ම යමක් සිදු වනු ඇති බව නොවෙයි. රවි කරුණානායක එනමින් පෙනී සිටින්නේ එයින් මැතිවරණයේදී වාසියක් ගැනීමට බව සත්‍යයක් මුත් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ නම හේතුවෙන්ම නොවේ.

      අර්ජුන යනු කුඹුක් ගස බව නොදැන සිටියෙමි. හිංදි මිස සකු බසේ අර්ජුන'යක් නැතැයි කීමට ඉක්මන් නොවෙමි.

      Delete
  13. හරිම අගෙයි කණිෂ්ක. හෙළ හවුලේ පුරෝගාමීන් වටිනා පර්යේෂණ කළ විද්වත්තු. මේ ඒ අසුරෙන් දියත්වුන සාර්ථක වෙළඳාමක තතු

    ReplyDelete
    Replies
    1. හෙළ හවුලේ පුරෝගාමීන් එදා කල විප්ලවයේ අරමුන වුනේ එයින් එකෙකුට ඉන් වානිජ වාසියක් තනාගෙන ඒ මගින් සිංහල ඉදිරි පරපුරක අනන්‍යතාවය කාබසිනියා කිරීමටදැයි ප්‍රශ්ණ කිරීම නරකද?
      එහෙත් අහුබුදුටම මා දොස් පවරන්නේ නැහැ. වගකිව යුත්තන් රැල්ලට දුවන විචාර බුද්ධියක් නැති දෙමව්පියන්ම බවයි මගේ අදහස. අහුබුදු කලේ අසූචි වලඳන්නට ඉල්ලන උන්ට එය නුසුදුසු ක්‍රියාවකියි නොකියා ලාබයට අසූචි සැපයීමේ කොන්ත්‍රාත්තුව භාර ගැනීමයි. එම නිසා ඒ අවස්තාවාදී ක්‍රියාවට ඔහුටද සමාවක් ලැබිය යුතු නැත.

      Delete
    2. Invention & Innovation
      ------------------------------
      ආශුබෝධගේ නම් invention ය. ඔහුගේ ව්‍යාපාරය innovation ය. මේ දෙකම අනර්ඝය. ඔහුට දොස් කිව නොහැක. වැරැද්ද ඇත්තේ රැල්ල පදින අපේ සිංහලයින් අත මිස ආශුබෝධ නම් සූර ව්‍යාපාරිකයා අත නොවේ. සමන්ති අත මේ දෙකින් එකක්වත් නැත. එබැවින් ඒ ව්‍යාපාරය යථා කාලයේ ස්වභාවික මරණයකට ලක් වනු ඇත.

      දොළුකන්දේ හිමියන්ගේ "පිරිත් පැන් - තොග" ව්‍යාපාරය ස්වභාවික මරණයකට ලක් වූ තවත් මෙවැනි innovative ව්‍යාපාරයකි.

      දැන් පවත්නා "ප්‍රංශෙට කොඩි දැමිල්ල" සහ මේවාට ඇදෙන ජනතාවගේ මනෝභාවයන් අතර දැඩි වෙනසක් ඇත්ද ?

      Delete
  14. මිතුරනි,

    මා තුමාගේ (අප'ය කීම නවතා දැමීමට වෙර දරමි) පෞද්ගලික පරිගණකයේ දෝෂයක් හේතුවෙන් ලියූ ලිපි පල කිරීමටත් නොහැකිව කල් ගෙවමි. ඔබලාට ප්‍රතිචාර දැමීමට අවශ්‍ය වුවත් පමා වන්නේ ඒ හේතුව නිසාය. ඔබලාගේ සංවාද කරගෙන යන්න.

    මේ වගට,
    දෙතිස් කතා සංස්කාරක

    ReplyDelete
  15. මොනවා හරි ලියපන්කො යකෝ ..

    ReplyDelete
    Replies
    1. එසේය. අප හිත මිතුරු සිතුවිළි ඒ පිළිබඳව මැනවින් බලාගෙන ඇත.

      Delete
  16. කණිෂ්ක, අළුත් කථාවක් එව්වා, ඊ මේල් බලන්න යාළුවා. හොඳනම් දාන්න

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !