Tuesday, November 24, 2015

පොඩි එකාගේ ළියුම...!

කලකට ඉස්සර පොඩි එකාගේ ලියුම නමින් ඉරිදා පත්තරයක අපූරු භාෂා ශෛලියකින් ලියැවුනු ලිපි පෙලක් තිබූ බව යලි මතකයට නැගුනේ ඊයේ පෙරේදා කවුන්සිලයේ ඉදිරිපත් කෙරුනු අපූරු අය වැය ප්‍රකාශනයෙනි.

"පොඩි එකා ලියන්නේ", "..... කියා අපේ තාත්තා කියනවාය" අදී ලෙසිනි. එහෙම බැලුවහම මේ අති දීර්ග ලියැවිල්ල පොඩි එකාගේත් පොඩි එකෙකුගේ බව සිතේ.

එහෙම නැතිව බැරිම තැන මුදල් ඇමති කම පොඩි එකෙකුටවත් (ළමේකුට !) දුන්නාදැයි සැකයක් සිතේ......

එය ඉදිරිපත් කල භාශා ශෛලියෙන් නම් මෙලෝ යකෙකුට එම අයවැය ප්‍රකාශනයේ තිබුනේ මොනවාදැයි නොවැටුහුනු බවනම් සැක නැත. එක අතකට එහෙම වීමත් හොඳ ඇති. මොකද එතකොට කාටවත් අය වැය විවේචනය කල නොහැකි නිසා. ඊට පසු පත්තර කාරයින් එකින් එක උලුප්පා දැක්වීම නිසා දැන් අපිට මේ අයවැයේ තිබුනේ මොනවාදැයි යන්තමට තේරෙන්නට පටන් ගෙන ඇත.



Tuesday, November 10, 2015

අඤ්ඤා කොන්ඩඤ්ඤ සහ සිද්ධාර්ථ

කපිලවස්තු පුර සුදොවුන් රජුට පුතෙක් ඉපදී පස් දිනකින් නම් තැබීමේ මගුල එළඹින. ඊට වේද වේදාන්ත ඥානයෙන් පරිපූර්ණ, අංග ලක්‍ෂණ විද්‍යාවන් දන්නා, ප්‍රඥාව ඇති බමුණන් එකසිය අට දෙනෙකුන් ගෙන්වන ලදී. මොවුනතරින් ප්‍රධාන වූ රාම ධජ ලක්ඛණ මන්තී කොන්ඩක්ඤ භෝජ සුයාම සුදත්ත යන බමුණන් අට දෙනා ළදරු කුමරුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සහ අසූවක් අනුව්‍යංජන ලක්‍ෂණ දුටහ.
www.telegraph.co.uk
ඔවුනතරින් වැඩිමහල් බමුණෝ සත්දෙන මේ කුමරු ගිහිගෙයි සිටියොත් සක්විති රජ වෙයි පැවිදි වුවොත් බුදු වෙයි කියමින් දෑඟුල් පෑහ. සැමට බාල කොන්ඩඤ්ඤ තෙමේ මේ කුමරු ඒකාන්තයෙන් ගිහි ගෙයි නොරඳනේ වෙයි, ගිහිගෙන් නික්මී පැවිදි වී බුදු වෙයි කියමින් එක් ඇඟිල්ලක් පෑහ.

මේ කුමරු මතු තමාටත් වැඩක් කෙරෙයි අනුනටත් වැඩක් කෙරෙයි යන අර්ථයෙන් සිද්ධාර්ථ නම් වේවායි ඒ බමුණෝ ප්‍රකාශ කළ බැවින් ගෝත්‍රයෙන් ගෞතම වූ ඒ පින්වත් කුමරුන්ට සිද්ධාර්ථ යන නාමය තබන ලදී.

පන්තිස් වසක් ඇවෑමෙන් ගයාවේ දී සම්මා සම්බුද්ධත්වය සාක්‍ෂාත් කර ගත් ඒ සිද්ධාර්ථයන් විසින් බරණැස ඉසිපතනයේ දම්සක් පැවතුම් සුතුර දේශනා කරන කල්හි පැවිදිව සිටි කොන්ඩඤ්ඤ තෙමේ පළමුව දහම් අවබෝධ කර ගත් හෙයින් හෙතෙම අඤ්ඤා කොන්ඩඤ්ඤ නම් විය.

මෙසේ කොන්ඩඤ්ඤ තමන් සිද්ධාර්ථ නම තැබීමට මුල් වූයේ යම් සේද ඒ සිද්ධාර්ථයෝ ම කොන්ඩඤ්ඤ තෙරුන්ට 'අඤ්ඤා' යන අභිදානය ලැබීමට උපස්තම්භක වූහ.


නම් තැබීම


සුදොවුන් රජු කළ අයුරින්ම නොවුණත්, නම් තැබීම සෑම තැනකම සෑම කල්හිම විශේෂ වැදගත් කමක් ගත් චාරිත්‍රයක් බව පසුගිය දෙතුන් වසර තුල එංගලන්ත රජ පවුලේ සිදු වූ නම් තැබීම් වලින් පෙනේ. සමහර නම් වල අනෙක් ඒවාට වඩා අමුතු බලයක් තිබේ. පසුගිය දස වසර පුරා "මහින්ද" යන නාමය නොමැතිව ලංකාවේ පොදු වැසිකිළියක්වත් විවෘත නොවූ බව සමහරු කියත්. රුහුණු මාගම්පුර මහින්ද රාජපක්‍ෂ තටාකාංගනය, මත්තල මහින්ද රාජපක්‍ෂ වී ගබඩා සංකීර්ණය (මෙය මුළින් සැළසුම් කෙරුණේ කටුනායකට විකල්ප ගුවන් තොටුපොළක් වශයෙනි), නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල, සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනය, තවම වැඩ නිම නැති නෙළුම් කුළුන මහින්ද රාජපක්‍ෂ විදුලි සංදේශ කුළුන සහ මෑතකදී කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් මහින්ද රාජපක්‍ෂ භූගත බංකර සංකීර්ණය ද ඉහත අදහස සනාථ කරන ජීවමාන උදාහරණ වේ.

අද එසේනම් නම් තැබීම පිළිබඳව කතා කරමු. ඊට පෙර මධ්‍යස්ථ මතධාරියා නම් ලත් යකාට ස්තූති කරමු. මක් නිසාද, නම් තැබීම පිළිබඳ කතා කිරීමට අප පෙළඹවූ ආසන්න හේතු කාරකය යකාගේ අඩවියේ පළ වූ ලිපියක් වන නිසාය.