Sunday, July 5, 2015

හැරී බලමු !

වර්ධමාන මහාවීර තුමාගේ පිළිරුව කිරෙන් දොවන අනුගාමිකයින්
දෙතිස් කතාවට අදට වසර තුනක් සපිරේ. වසර තුනක් යනු මහා ලොකු කාලයක් නොවුණත් blog අඩවි වල ආයු අපේක්‍ෂාව සමග සැසඳූ කළ එයත් තරමක කාලයකි. වසර තුනක අපගේ කියුම් කෙරුම් පිළිබඳ අවලෝකනයකට මීට වඩා සුදුසු මොහොතක් තිබේද?

එසේනම් අපි අතීතය දෙස එබී බලමු.






දෙතිස් කතාවේ මුල්ම ලිපිය ක්‍රි.ව. 2012 ජූලි මස පස් වැනි බ්‍රහස්පතින්දා හෙවත් ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ ඇසළ අව දියවක නම් තිථිය ලත් ගුරු දින පල විය. එතැන් පටන් සෑම වසරකම ජූලි මස 5 වැනි දිනයන්හි ලිපිය බැගින් පල කෙරිණි. පළමු වසර තුලදී අප හිතමිතුරු සිතුවිළි ලේඛකයෙකු වශයෙන් දෙතිස් කතාව හා එක් විය. දෙවන වසරේ දී අවිද්‍යා එකතු වූ අතර ඊළඟ වසරේදී තම පෞද්ගලික අත්දැකීමක් අප හා එක් කළ බිංදු ලේඛිකාවක් ලෙස අප හා එක් වූවාය. ලේඛකයෙක් ලෙස මේ අඩවිය හා එක් නොවූවත් මිතුරු ජොසෙෆ් ද ලිපි කිහිපයක් සපයා තිබේ. දෙතිස් කතාව මෙතෙක් දුර පැමිණියේ මේ සියළු දෙනාගේ සහයෝගයෙනි. මීට අමතරව තම blog අඩවියේ දෙතිස් කතාව පිළිබඳ ප්‍රචාරයක් ලබා දුන් මධ්‍යස්ථ මතධාරියා ද මේ මොහොතේ සිහිපත් කළ යුතු වේ.

දෙතිස් කතාව මෙතෙක් ලිපි 118 ක් පල කර තිබේ. මේ වසරකට දළ වශයෙන් ලිපි 40 බැගින් පල කිරීමකි. එය සතුටුදායක සංඛ්‍යාවක් වන්නේ අඩු තරමින් දෙසතියකට එකක් වත් පල කෙරී ඇති බැවිණි. පසුගිය වසර තුනේදී ඉහත නම් සඳහන් කළ ලේඛකයන් විසින් රචිත ලිපි වෙත මදක් යොමු වෙමු. මේ ලිපි විවිධත්වයකින් යුතුව නොයෙක් මාතෘකා යටතේ ලියැවී ඇත. එසේම දෙතිස් කතාවේ පල වන ලිපි වෙත පමණක් අවධානය යොමු කිරීම නොසෑහේ. සමහර අවස්ථා වල ලිපි කියවන පාඨකයින් විසින් පල කෙරෙන අදහස් දැක්වීම් ප්‍රස්තුත ලිපියට වඩා සාරගර්භ වන අවස්ථා තිබේ. විශේෂයෙන් anuhasa2011, සාරිකා විචාරනී, Pra Jay, කුරුටු ගෑ ගී පවුර, සමරසේකරගේ සිතුවිලි ලියන සමරසේකර මහතා, වැනි මෑතකදී (බොහෝ විට මධ්‍යස්ථ මතධාරියාගේ මගපෙන්වීම මත) එක් වූ පාඨකයින් පමණක් නොව jagath pathirana, අන්තෝනියෝ බහිජටා, පොඩි ළමයා සහ SiTH වැනි ඈත කාලයේ සිට අප හා එක්ව සංවාද කළ මිතුරන්ගේද අමිල අදහස් එකතු වීමෙනි දෙතිස් කතාව සාරවත් වී ඇත්තේ.



දෙතිස් කතාව ඇරඹූ මුල්ම කාලයේ සෑම පුන් පෝ දිනකම පල කෙරුණු පෝ දින ලිපි අතිශය ජනප්‍රිය විය. තවමත් ජනප්‍රියත්වයේ ඉහලම රැඳී තිබෙන ලිපි අතරින් බොහොමයක් පොහෝ දින උදෙසා ලියැවුණු ලිපි වේ. පසළොස්වක පොහෝ දිනයක් යෙදෙන්නේ එක මාසයකට එකකි. ඒ අනුව පොහෝ දින ලිපි පැවතිය හැක්කේ දොළොසක් පමණි. එහෙත් තුන් වසරක් තුල ඊට වඩා ලිපි ලියැවී තිබීමෙන් පෙනී යන්නේ මේ සම්බන්ධව සංවාදයට ලක් නොවූ බොහෝ කරුණු පවතින බවයි.

එසේ වුවත් දෙතිස් කතාව බෞද්ධ ලිපි පමණක් පල කෙරෙන අඩවියක් නොවේ. එය සිංහලය සහ සිංහලයා වෙනුවෙන් වඩා දැඩිව පෙනී සිටී. මේ හේතුවෙන් පසුගිය වසරේ සිංහල රට සහ ඉතිහාසය පිළිබඳ ලිපි ද බොහොමයක් පල කරන්නට යෙදින. එසේම දෙතිස් කතාව පසුගිය වසර අගභාගයේ පමණ පටන් රටේ දේශපාලනය වෙතද යම් තරමකින් අවධානය යොමු කිරීමට පෙළඹිණි. සිංහලය වෙනුවෙන් පෙනී සිටින අඩවියක් වශයෙන් දේශපාලනයෙන් ඉවත් වී සිටීමට වර්තමාන තත්වය යටතේ ඉඩක් නැත. පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් පල කෙරුණු ලිපි වේ. දේශපාලනය පිළිබඳ කතා කරමින් දෙතිස් කතාව පොදු අපේක්‍ෂකයා පිළිබඳව ලිවීය. පොදු අපේක්‍ෂකයා ජනපති වූ පසු ඔහු පසුපස සිටි විදේශ බලවේග අනුමාන කරමින් ඉන්දීය අභිලාෂයන් පිළිබඳව ලිවීමු. පරාජිත රාජපක්‍ෂ විසින් ගත යුතු මග ගැනත්, අනන්‍යතාව අහිමි කර ගත් ජාතික හෙළ උරුමය ගැනත් ලිවීමු. උදේ එකක් කියා දවල්ට වෙනකක් කියා රෑට තවත් එකක් කියන ඊළඟ දවසේ 'එහෙම කියන්න මට පිස්සුද හිටං' කියා ලිස්සා යන කිසිදු වගකිවයුතු තනතුරකට සුදුසු නොවන සකලබුජං ලා ගැන ලිවීමු. ඇමරිකා එක්සත් ජනපද වල පුවත් පත් වලට ලියන හොඳමිනිහා මහතා වැනි දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස් අප පාඨකයන්ට ඉදිරිපත් කළෙමු.

එසේම, ඊනියා 'ස්වාධින' කොමිෂන් සභා නමින් ජනතා පරමාධිපත්‍යය හොර පාරෙන් මංකොල්ල කෑම පිණිස සකස් කළ 19 වන සංශෝධනයට සවිඥානිකව විරුද්ධ වීමු. පාර්ලිමේන්තුවේ සිටියේ එකම එක සිංහල මන්ත්‍රීවරයෙක් පමණක් බව අපට පෙන්වා දෙමින් එය සම්මත වූ විට ඊට අත ඉස්සූ අය දැන හෝ නොදැන ඉටු කළේ හොඳමිනිහා මහතා පෙන්වා දුන් ජෝන් කෙරීලාගේ අභිලාශ ඉටු කිරීම බව අප පාඨකයන්ට මතක් කළෙමු. සිංහලයින්ට තවත් හෙණයක් පාත් කරමින් 20 සංශෝධනය ගෙනෙන විට ඊටත් එරෙහි වුණෙමු. ඒ අප මෙතෙක් කළ දේශපාලනයයි.



අප කිරීමට ආරම්භ කළ කර්තව්‍යය අවසානය දැක නැත. අවසානයක් දකින මානයකවත් නැත. එසේනම් මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මීළඟ වසරේ තවත් ලිපි වලින් හමු වන තෙක් සියළු පාඨක භවතුන්ට "සුභ අනාගතයක් !" යැයි දෙතිස් කතාවේ ප්‍රර්ථනය වේ.

21 comments:

  1. හ්ම්ම්!
    දෙතිස් කථාවට "ශුභ උපන් දිනයක් වේවා!"

    ReplyDelete
    Replies
    1. ඔහෙප්පලයන් !
      මම ඕක මතක් කරගෙනම හිටිය, ඒත් ඊයේ අමතක උනානේ. ෂික් !
      ඒක නෙවි, අර මහාවීර කිරෙන් නාවන එකෙයි අවුරුදු තුනේ උපන් දිනෙයි අතර සම්බන්දෙ මොකද්ද?

      Delete
    2. ඇත්තමයි, ඒ රූපෙ බලලා මම හිතුවා ලිපියේ ඒකට සම්බන්ධ මොකක් හරි ඇති කියලා.
      හැබැයි ලිපිය කියවලා ඉවර වෙන කොට ඒක අමතක වුනා.
      හැබෑටම මොකක්ද මේ පින්තූරෙ තියෙන සම්බන්ධය?

      Delete
    3. හිතා ගන්නම බැරිද ?

      Delete
  2. වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. කොහොමද වටින්නේ ?

      Delete
    2. ඔබ තුමාට ස්තූති වේවා !

      Delete
  3. Replies
    1. ආටිකල් එකද ?

      Delete
    2. ඔබේ දිරිගැන්වීමට තුති පුදමි.

      Delete
  4. සාරවත්ව ගෙවුණ වසර තුනට සුභ පැතුම්
    ඉදිරි කාලය සශ්‍රීක සමයක් වෙයි කියල හිතනව
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ! කියල මාත් ප්‍රාර්ථනා කරනවා. ඒත්...
      රටට කෙළවෙන්න යනකොට අපිට සශ්‍රික වෙන්න විදියක් නෑ.

      Delete
    2. ඇත්ත.
      ඔබේ සුබ පැතුමට ස්තූතිය පිළිගන්වමි.

      Delete
  5. ප්‍රිය මිත්‍රයිනි

    මුලින්ම සුබ අනාගතයක් පතමි.

    මම මේ දිනවල අතිශයින්ම කාර්යබහුල වී සිටිමි. ඒ කාරනා කිහිපයක්ම නිසයි. එනිසා ටික කලකට බ්ලොග් ලිවීමක් නොකරමි.නමුත් ඉඩ ලැබෙන විටක බ්ලොග් කියවමි.


    සිංහල බ්ලොග් අවකාශයේ නිර්මානශීලී කවීන් දේශපාලන විචාර ලියන අය, රසවත් උපහාස ලිපි ලියන අය සිටිති. එය සැබෑවක්මය.
    එහෙත් එය ඒකාකාරීය.ඔබ වැනි අලුත් විදියට හිතන බ්ලොග් කරුවන් හදුන්වා දෙන්නට උත්සාහ කළේ එබැවිනි.

    මේ ප්‍රශ්නය ඔබෙන් අසමි.
    බ්ලොග් ලිවීමෙන් ඇති ඵලය කිම?
    බ්ලොග් කියවන පිරිස එන්න එන්නම අඩුවේ.
    බ්ලොග් හරහා කළ හැකි දෙයක් නැත.
    අපට කළ හැක්කේ බලා සිටීමය.

    මීට
    ඔබේ දියුණුව පතන
    මධ්‍යස්ථ මතධාරියා

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ත මත ධාරියා ගේ කථාව හරි, මේ බ්ලොග් වල බොහෝම හරවත් හා දැනුම වඩවන ලිපි පල වෙනවා. ඒ වගේම ගත යුත්තක් නැති පල් හෑලිත් ඕනෑ තරම්. ඇතැම් ඒවා කියවන්නට නොහිතෙන තරමේ පෞද්ගලික කාරනා.
      කොහොම වුනත් යකාගේ අඩවිය නිසා මමත් බ්ලොග් කියවන්නට පුරුදු වුනා. ඒ අතින් සිංහල බ්ලොග් සමූහයටම යකා ඉතා විශාල මෙහෙයක් කර තිබෙනවාකියා කියා මට හිතෙනවා.
      බ්ලොග් කියවන්නන් හිඟ වීමේ හේතුව ලෙසනම් මා දකින්නේ මේ කිසිදු බ්ලොග් අඩවියක ලිපි පල වීමේ හෝ පාඨක අදහස් වලට පිළිතුරු සපයීමේ ක්‍රමවත් බවක් නැති වීමයි. ඇතැම් බ්ලොග් වලට කාලයකට සැරයක් ගොස් බැලුවත් කිසිදු අළුත් වීමක් යාවත් කාලීන වීමක් නැහැ. අන්න ඒ නිසා පාඨකයන් ඒවායින් ඈත් වෙනවා. ඒත් යකාගේ මුල් පිටුව නම් හොඳයි මොකද ඔබේ අඩවියේ යාවත්කාලින වීමක් නැතත් ඒ තුලින් අනුන්ගේ බ්ලොග් වල යාවතාලීන වීම් පෙන්වනවා. අන්න ඒ නිසා එය සියල්ලන්ටම වැදගත් බව පෙනෙනවා.
      මේ නියමිත කාල රාමුවක් තුල බ්ලොග් අඩවි යාවත්කාලීන කිරීම හෝ පාඨක අදහස් වලට පිළිතුරු සැපයීම කියන කාරනය පොදුවේ බොහෝමයක් බ්ලොග් කරුවන්ට කල හැකි දෙයක් නොවෙයි. පූර්ණ කාලීනයන් නොවන ඔවුනට කාලය සමග යුද්ධය බරපතල බව පිළිගත යුතුයි. ප්‍රශ්ණය එලෙස නම් පිළිතුර කුමක් විය යුතුද?
      එහෙත් යකාගේ උත්සහයනම් බොහෝම සාර්ථක බව මම හිතනවා.

      කථා 32 හි හිතවතෙකු හැටියට මා ඔබේ සුභ පැතිමට ස්තුති කරමි.

      Delete
    2. බ්ලොග් ලිවීමෙන් ඇති ඵලය කිම?

      මධ්‍යස්ථ මතධාරියාණෙනි,

      ඔබට කතාවක් කියමි.

      එක්තරා රටක රජෙක් විය. එතුමන්ගේ රාජකීය රහසක් එක්තරා ගැමියෙක් විසින් දැන ගන්නා ලදී. රාජ භය හේතුවෙන් මෙය කිසිවෙකුට කීමට නොහැකිව ගැමියා බොහෝ කලක් ළතැවෙමින් සිට අවසානයේ තීරණයක් ගත්තේය.

      තනිවම කැලයේ ඈතට ඈතට ඇවිද ගොස් කිසිවෙක් නොඑන පැත්තක රූස්ස ගස් අතර තරමක වලක් හාරා රහස කොඳුරා වල වසා ගමට ඒමයි ඔහු කළේ. එයින් ඔහුගේ නින්ද නැවත ලැබිණි - ළතැවුල් අඩු විය. රහසේ බරින් ගැමියා නිදහස් විය.


      මේ කතාව තව දිගට ඇතත් අප කීමට අවශ්‍ය දේ කියා අවසානය.
      ---------

      බ්ලොග් ලිවීමෙන් ඇති ඵලය කිම?

      කිසිවෙකුට හරි හැටි කීමට නොහැකි, කීමට වෙලාවක් නැති, වෙලාවක් තිබුණත් අසන්නට කෙනෙක් නැති බොහෝ දේ කියා සිත සැහැල්ලු කර ගැනීමට ඉඩ ලැබීම blog ලිවීමෙන් අපට ඇති ඵලයකි. (අප හා බොහෝ දුරට සම අදහස් දරන සිතුවිළි සහ ජොසෙෆ් යන මිතුරන් දෙදෙනක් ලැබීමත් ඔබත් ඇතුළු තව සුවහසක් අදෘශ මිතුරන් ඇති වීමත් එහි අතුරුඵල වේ)

      Delete
  6. මේ කිරෙන් දොවන අනුගාමිකයින් සිටින්නේ ඉන්දියාවේ ය , නමුත් ලංකාවේ කිරෙන් නවන්නේ දේශපාලුවන්ය. හොද හොද සෙල්ලම් හිටං බලන්න පුළුවන් වෙයි ඉදිරියට. තවත් චිරාත් කාලයක් දෙතිස් කතා වැජබේවා ! තෙරුවන් සරණයි !!

    ReplyDelete
    Replies
    1. බිංදු ඔබ අදහස් කලේ කණිෂ්ක කියන්නේ අපත් නිඝන්ට රූප කිරෙන් නාවන මුග්දයන් බවද?
      අප යැයි කීවේ ඔබත් මාත් ඇතුළු අප මිතුරන් නොවෙයි. ශ්‍රී ලාංකීය ජාතිය සඳහායි.
      නිඝන්ට රූප යැයි කීවේ ජෛන මහා වීරයන්ගේ රූප නොව. සමාජීය වශයෙන් නග්න දේශපාළුවන්ගේ ප්‍රතිරූපයන් ය.

      Delete
    2. ඔබ හරි සිතුවිලි,
      නමුත් කණිෂ්කගේ අදහස නම් දන්නේ නැහැ. පලකට නැති දේශපාලුවන් මැතිවරණ වේදිකාවේ උඩ පනින කොට මොළේ නැති ජනාතව කතිරය නමැති කිරෙන් දෝවනය කරනවා දේශපාලුවන්ව. රැ වැටුන වලේ දවලුත් වැටෙන ජනතාවක් තමයි ලංකාවේ ජිවත් වෙන්නේ.

      Delete
  7. කණිෂ්ක,
    මා ඔබ වෙත යොමු කල ඊ මේල් පණිවුඩය දකින්නට ඇතැයි සිතමි.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !