Sunday, May 3, 2015

බුද්ධ වර්ෂය හා වෙසක් පෝය

සිංහලයාගේ අවුරුද්ද පිළිබඳව අප බොහෝ සෙයින් කතා කළෙමු. අප්‍රේල් 13 ආශ්‍රිතව යෙදෙන අලුත් අවුරුද්ද සිංහලයාගේ ජාතික උරුමයක් බවත්, එය දෙමළ හෝ හිංදු හෝ වෙනත් කිසිවෙකුගේ හෝ අවුරුද්දක් සමග ඈඳා ගත යුතු නැති බවත් අපගේ ප්‍රතිපත්තිය විය. දෙමළුන් ද අප්‍රේල් මස අවුරුද්දක් සැමරීම හේතුවෙන් මෙය සිංහල හා දෙමළ / සිංහල හා හිංදු අලුත් අවුරුද්ද බවට පත් නොවෙයි --- නිවාඩුව පිළිබඳව සඳහන් කරන තැන එය "සිංහල අලුත් අවුරුද්ද සහ දෙමළ අලුත් අවුරුද්ද" ය යනුවෙන් යෙදීමෙන් මේ ගැටළුව ඉතා පහසුවෙන් ලෙහා දැමිය හැකි මුත් කිසිවෙක් ඒ ගැන සිතනා බවක් නොපෙනේ.
෴ නමාමි බුද්ධං ගුණසාගරන්තං ෴
අප්‍රේල් මස අප සමරන අවුරුද්ද අපේමය, වෙනකෙකුගේ නොවේය කියා අවධාරණය කරන අප අද කතා කරන්නේ අපේ වන්නේ අප්‍රේල් මස යෙදෙන අවුරුද්ද පමණක් ද යන ඉතාම වැදගත් කාරණයයි. අප්‍රේල් මස අපි අවුරුද්ද සැමරුවානම්, ඒ එළඹුණේ කවර වර්ෂයක් (කීවෙනි වර්ෂය) ද?





දෙසැම්බර් 31 දින මධ්‍යම රාත්‍රියේ 12 කණිසමට ක්‍රිස්තුස් වහන්සේගේ වර්ෂයෙන් 2015 වැන්න එළැඹුණු බව කුඩා දරුවෝ පවා දනිත්. එහෙත්, අවුරුදු උදාවය කියා අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අපර භාග 1.47 ට අප සැමරූ මොහොතේ එළඹුණේ කවර වසරදැයි කිසිවෙකු දනිත් ද? මේ ප්‍රශ්නයට පිළිතුරක්, කෙටි නොව දිගු පිළිතුරක්, දෙතිස් කතාව කියවන සහෘද සමාගමය වෙතින් බලාපොරොත්තු වෙමු.


2559

සම්මත වේලාවෙන් අද උදෑසන 7:59 ට වෙසක් පුර පසළොස්වක තිථිය එළැඹේ. ඒ සමගම උදා වන්නේ බුද්ධ වර්ෂයෙන් 2559 වැන්නයි. ක්‍රිස්තු භක්තිකයන් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වූවා යැයි තමන් විසින් උපකල්පනය කළ දිනයේ සිට කොපමණ කල් ඉකුත් වීද යන පදනමින් දිනය දැමීමට වර්ෂය යොදා ගත්තේ යම් සේ ද, බෞද්ධ අපත් අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් වූ පරිනිර්වාණ මංගල්‍යයට පත් වී වදාළ උත්තම දිනය මූලාංකය ලෙස යොදා ගනිමින් වර්ෂය ගණනය කරමු. සම්බුද්ධ දේහය ආදාහනය කිරීම පරිනිර්වාණයෙන් සත් වන දා සිදු වූ බව කීම, සර්වඥ ධාතු ඉල්ලා දඹදිව රජවරු සේනා සහිතව මල්ල රාජධානිය වටලා ගැනීම අනතුරුව සිදු වීම සහ ද්‍රෝණ බමුණා ඉදිරිපත් වී ධාතු බෙදා දීම අටවැනි දින ආශ්‍රිතව සිදු වීම, පළමු ධර්ම සංගායනාව පරිනිර්වාණයෙන් තුන් මසක් ඇවෑමෙන් කළ බව කීම ආදී තැන් වලින් මේ ව්‍යවහාරයේ පැරණි බව පැහැදිළි ය.

අපේ සියළුම පැරණි මූලාශ්‍ර දිනය සඳහන් කිරීම උදෙසා භාවිත කරන්නේ බුද්ධ වර්ෂයයි. බුද්ධ වර්ෂය සිංහල අපේ පමණක් උරුමයක් නොව සියම්, බුරුම, කාම්බෝජාදී බෞද්ධ සංස්කෘතීන් සමග අප විසින් බෙදා හදා ගත් උරුමයකි. එහෙත්, ඒ සංස්කෘති වලට වඩා අනන්‍ය ක්‍රමයකට බුද්ධ වර්ෂය අපට වැදගත් වේ.


ජාතියේ ආරම්භය

විජයයා සත්සියයක් සිය පිරිවර හා සමග තම්බපන්ණියට ගොඩ බැසි දිනය ලෙස මහාවංශය සඳහන් කරන්නේ සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ දිනයයි. පිරිණිවන් මඤ්චකයේ සිටි බුදුරදුන් විජයයා හා පිරිවර රැක ගන්නා ලෙස ළඟ සිටී සක් දෙවිඳුන්ට බාර කළ බවත්, දෙදෙව් ලොවටම අධිපති ශක්‍ර දේවයන් වහන්සේ විසින්, තමන් විසින් කළ යුතු බොහෝ රාජකාරි ඇති බැවින් උපුල්වන් දේවයා* බණවා ලක්දිව අරක්ගෙන රැක ගන්නා වගකීම බාර කළ බවත් ජන සෘතියේ එයි. ඒ අරුතින් සිංහලයේ ආරම්භය බුද්ධ වර්ෂ 0 හෙවත් බුද්ධ වර්ෂයේ මූලාංකය හා සමපාත වේ. (මෙවැනි ජාතික හෝ ආගමික හෝ වැදගත් කමක් ක්‍රිස්තු වර්ෂය සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ නැත.) මේ පිළිබඳ සටහනක් අපේ පෙර ලිපියක වේ.

මේ හේතුවෙන් සිංහලයාට, සිංහල බෞද්ධයාට, තම දින දසුනේ වැදගත්ම දිනය වෙසක් පුර පසළොස්වක් පෝ දිනය බවට පත් වීම අහම්බයක් නොවේ. අවුරුද්ද සැමරුවාට වඩා ජයට සිංහලයින් වෙසක් සමරන්නේ එහෙයිණි. සිංහල ජාතියත් සම්බුද්ධ සාසනයත් ගහට පොත්ත සේ එකට බැඳී ඇත්තේ යම් සේ ද වෙසක් පෝ දිනයේ ජාතික වැදගත් කමත් ආගමික වැදගත් කමත් එකට බැඳී ඇත්තේ එළෙසමය.

විජයයා ලක්දිව් ගොඩ බැසීමේ පටන්, ලක්දිව දෙකඩ කර දෙමළ රාජ්‍යයක් තැනීම පිණිස මරසෙන් සේ යුධවැද සිටි පරදේශක්කාර සතුරන්ගේ කුලී සේනා පරාජය කර නන්දිකඩාල් කලපුවේ ගිල්වා දැමූ තැන් දක්වා සුවහසක් තීරණාත්මක සිදු වීම වෙසක් පෝ දිනය ආශ්‍රිතව මේ මාසයේ සිදු වී තිබේ. ඒ පිළිබඳ පැරණි ලිපියක් දෙතිස් කතාවේ වේ.


වෙසක් මාසයේ සහ බුද්ධ වර්ෂයේ අපූර්වත්වය

වෙසක් පුර පසළොස්වක පෝ දිනය මෙතරම් වැදගත් නම්, එදාට අභිනව බුද්ධ වර්ෂයද එළඹේ නම් සිංහල බෞද්ධයින්ට අවුරුද්ද සැමරීම පිණිස ඊට වඩා සුදුසු දිනයක් වෙත්ද යනු වලංගු ප්‍රශ්නයකි. ඇත්ත වශයෙන් අපි බක් මාසයේ හෙවත් අප්‍රේල් මාසයේ තවත් අවුරුදු උත්සවයක් සමරන්නේ මන්ද ?

මීන රාශියෙන්...?

කාලය නැවතී තිබෙන්නේ නැත. එය ඒකාකාරිව ගෙවී යයි - නැතහොත් ගලා යයි. බක් මාසයේ දී හෝ වෙසක් මාසයේ හෝ අවුරුද්ද සැමරීම පිණිස කිසිවක් ප්‍රත්‍යාරම්භ වන්නේ නැත. අවුරුද්ද, නැතහොත් අවුරුද්ද එළැඹීම යනු අප විසින් තනා ගන්නා එකඟතාවකි - සම්මත කර ගන්නා ප්‍රඥප්තියකි. ජනප්‍රිය විශ්වාසය අනුව බක් මහේ එළැඹෙන අවුරුද්ද විසින් සනිටුහන් කෙරෙන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට එළැඹීමයි. මෙය පෙරදිග සූර්ය වර්ෂ ක්‍රමය අනුව මීන රවිය අවසන් වී මේෂ රවිය ආරම්භ වීම ලෙස හැඳින්වේ. මේ අයුරින් රාශි චක්‍රයේ රාශි 12 ට 'රවී' දොළහක් ඇත. සූර්යයා ඒ ඒ රාශියේ ගමන් කරන කාලය ඒ ඒ රවිය නම් වේ.

මෙය මාස 12 ක වර්ෂයකි. රාශි චක්‍රය මේශයෙන් ආරම්භ වන බැවින් මේෂ රවියේ ආරම්භය නව වසර එළැඹීම ලෙස ගැනීමට පැරණියන් තීරණය කරන්නට ඇත. නැතිනම් මේෂ රවිය ආරම්භය යැයි සළකා ඉන් රාශි චක්‍රය ආරම්භ කරන්නට ඒ අය ඉටා ගන්නට ඇත.

කෙසේ වෙතත් රාශි චක්‍ර පිළිබඳ කතාව ලක්දිව ජනිත දැනුමක් වීමේ ඉඩ අඩුය. හැරත් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට එළැඹෙන්නේ මාර්තු මාසයේ බව බොහෝ මූලාශ්‍ර වල දැක්වේ.

මීට විකල්ප මතයක් නම් අප්‍රේල් මාසයේ අප සමරණ අවුරුද්දට නිමිත්ත වන්නේ සූර්යයා රේවතී නැකතින් අස්විද නැකතට එළැඹීම බවයි. මෙය රාශි පිළිබඳ ප්‍රවාදයට වඩා සංගත බව පෙනුණත් කොතෙක් දුරට නිවැරදි දැයි කීමට අපට හැකියාවක් නැත. නිමිත්ත කෙසේ වුවත් අපි අවුරුද්ද එදාට සමරමු. අපේ දැනුම අපට අහිමි කෙරී දැනුම හිමිව සිටීම ම අපරාධයක් ලෙස සැළකෙන පාලන ක්‍රමයක මර්ධනීය හස්තයකට බොහෝ කලක් යට වී සිටී බැවින් සම්ප්‍රදායේ අංග තරමක් දුරට විකල වීම බලාපොරොත්තු විය හැකි අඩුපාඩුවක් වේ.

වෙසක් මාසය

අභිනව බුද්ධ වර්ෂය අද එළැඹෙන බව කළින් සඳහන් කළෙමු. වෙසක් මාසය පිළිබඳව කිව හැක්කේ කවරක්ද? වෙසක් මාසය ඇරඹෙන්නේ අදින් ද?

වෙසක් මාසය එළැඹී දැන් දින දහ හතරකි - හෙවත් දෙසතියකි. ඒ දෙසතිය පැරණි බුද්ධ වර්ෂයට අයත් වන'තර පසළොස්වක දින සිට ඉතිරි දින කිහිපය අභිනව බුද්ධ වර්ෂයට අයත් වේ. වෙනත් වචනයෙන් කිවහොත් බුද්ධ වර්ෂය විසින් වෙසක් මාසය දෙකඩ කෙරෙයි. මේ අපූරු පිහිටීමකි.

බුද්ධ වර්ෂය විසින් වෙසක් මාසය සේ ම මැයි මාසයත් දෙකඩ කෙරේ. එහෙත් ඒ පිළිබඳව වද විය යුතු නැත. වෙසක් පෝය වසරින් වසර මැයි මාසයේ නොයෙක් දින වල යෙදේ - එහෙත් වෙසක් පෝය යනු වෙසක් මාසයේ පුර පසළොස්වක දිනයයි. වෙනත් වචන වලින් කිවහොත් වෙසක් මාසයේ පසළොස්වන දිනයයි. වෙසක් මාසය හා මැයි මාසය සමපාත නොවේ. මේ දෙක සමපාත බව පාසැල් ගුරුවරුන් ඇතුළු බොහෝ දෙනා සාවද්‍ය ලෙස විශ්වාස කරති.


දිනය යෙදීම

කලින් සඳහන් කළ මීන රවි, මේෂ රවි ආදී යෙදුම් සූර්ය වර්ෂ ක්‍රමයේ යෙදේ. ඊට අනුරූපව චන්ද්‍ර මාස ක්‍රමයේ යෙදෙන්නේ වෙසක්, පොසොන්, ඇසළ ලෙස යෙදීමයි. රෝමන්-ක්‍රිස්තියානි දින දසුනේ මැයි මාසය වෙසක් මාසය හා අනුරූප නොවන්නේ යම් සේද රවිය මේ දෙකින් කිසිවක් හා අනුරූප නොවන බව මේ වන විට පැහැදිළි විය යුතුය. චන්ද්‍ර මාස ක්‍රමයට දිනය යොදන අයුර මදක් විමසමු.

පුරපස හා අවපස

චන්ද්‍ර මාස ක්‍රමයට මාස 12ක් අයත් වේ. පහසුව උදෙසා දුරුතු මාසයෙන් ආරම්භ කරමු.
  1. දුරුතු
  2. නවම්
  3. මැදින්
  4. බක්
  5. වෙසක්
  6. පොසොන්
  7. ඇසළ
  8. නිකිණි
  9. බිනර
  10. වප්
  11. ඉල්
  12. උඳුවප්
චන්ද්‍රයාගේ කලාව අනුව දිනය යොදන මේ ක්‍රමයේදී සෑම මාසයක්ම පුර සහ අව පක්‍ෂය ලෙස දෙකොටසකට බෙදේ. පුර පක්‍ෂයේ වේවා අව පක්‍ෂයේ වේවා, තිථිය ලෙස හැඳින්වෙන දිනයක් පහත අයුරින් නම් කෙරේ.
  1. පෑළවිය – පළමු දිනය
  2. දියවක – දෙවන දිනය
  3. තියවක – තෙවන දිනය
  4. ජලවක – සිව්වෙනි දිනය
  5. විසේනිය – පස්වෙනි දිනය
  6. සැටවක – සයවෙනි දිනය
  7. සතවක – සත්වෙනි දිනය
  8. අටවක – අටවෙන දිනය**
  9. නවවක – නවවෙනි දිනය
  10. දසවක – දසවෙනි දිනය
  11. එකොළොස්වක – එකොලොස්වෙනි දිනය
  12. දොළොස්වක – දොළොස්වෙනි දිනය
  13. තෙළෙස්වක – දහතුන්වෙනි දිනය
  14. තුදුස්වක – දහහතරවෙනි දිනය
  15. පසළොස්වක | අමාවක** – පහලොස්වෙනි දිනය, අව පක්‍ෂයේ දී පසළොස්වක වෙනුවට අමාවක ලෙස භාවිතා කෙරේ
පුර පක්‍ෂයේත් අව පක්‍ෂයේත් ඉහත අයුරින් නම් කෙරෙන දින පසළොස බැගින් තිබේ. පුර-අව දෙපක්‍ෂය එකතු වූ කළ දින 30 කින් සුසැදි මාසයක් ලැබේ (නිවැරදි ගණනය අනුව චන්ද්‍ර මාසයක් දින 29 ½ වේ). මෙවැනි මාස 12 ක් වර්ෂයකි. සූර්ය වර්ෂය හා වන නොගැළපීම ඉවත් කිරීම පිණිස වසර කිහිපයකට වරක් 'අධි' මාසයක් වසරකට එකතු කෙරේ.

චන්ද්‍ර මාසයක් පුර පෑළවිය නම් තිථියෙන් ඇරඹී අමාවක තිථියෙන් අවසාන වේ. පෑළවියෙන් ඇරඹෙන පුර පක්‍ෂයේ උච්චස්තාව පුර පසළොස්වක වන අතර, පසළොස්වකින් පසු එළැඹෙන අව පෑළවියෙන් ඇරඹෙන අව පක්‍ෂය අමාවකින් අවසන් වේ.

මේ අනුව බුද්ධ වර්ෂය එළැඹෙන වෙසක් පුර පසළොස්වක දිනය ඇත්තේ වෙසක් මාසයේ මුල නොව මැද වේ. බුද්ධ වර්ෂය එළැඹෙන විට වෙසක් මාසය අඩක් ගෙවී ඇති බැවින් සූර්යයා මීනයෙන් මේෂයට (හෝ රේවතියෙන් අස්විද නැකතට) යන බව කියනාකාරයේ ප්‍රාරම්භක අවස්ථාවක් සනිටුහන් නොවේ. මේ හේතුවෙන් වෙසක් දිනය අවුරුද්දක් ඇරඹෙන සැණකෙළි දිනයක් ලෙස ගැනීමට සුදුසු නැත.

ක්‍රිස්තියානින් කැමැත්තේ නම් ජනවාරි 1 වෙනුවට දෙසැම්බර 25 දින වසරාරම්භක දින ලෙස සැළකිය හැක. කලකට පෙර සමහර රටවල එසේ සැලකිණ.
එසේ ගත්තේ නම් එහි ඇති නොගැළපීම බොහෝ දෙනාට පෙනේ. වෙසක් දා වසරාරම්භ කිරීමේ ඇති නොගැළපීම බොහෝ දෙනාට නොපෙනේ.


ලබන්නා වූ 2559 වැනි ශ්‍රී බුද්ධ වර්ෂය බොහෝ දෙනාට හිත සුව සැළසෙන වසරක් වේවා !


  • උපුල්වන් දේවයා*: මොහු අවතාර ලෙස මෙලෝ පැමිණේ යැයි හිංදුන් විසින් ඇදහෙන විෂ්ණු හා පටළවා නොගත යුතුය.
  • සතර පෝය**:පුර අටවක, අව අටවක, පුර පසළොස්වක සහ (අව) අමාවක

46 comments:

  1. උඩරට රාජසමයේ භාවිත වෙලා තිබුණේ මේ ක්‍රමය නේද? ලිපිය ගොඩක් වටිනවා

    ReplyDelete
    Replies
    1. එසේමය. ඉංගිරිසින් විසින් වර්ගසංහාරයක් (genocide) කර සිංහලයන් මැඩ පවත්වා එතෙක් පැවති ක්‍රමය අහෝසි කරන තෙක් භාවිතා කෙරුණේ මේ ක්‍රමයයි.

      ඔබේ දැන ගැනීම උදෙසා තවත් කරුණක් සඳහන් කරමි.

      ඉහත දිනය 'තිථි' ලෙස හැඳින්වූ ලෙස වේලාව දැක්වීමට 'නැකත' යොදා ගන්නා ලදී. නැකත් 27 (සමහර අවස්ථා වලදී 28) ක් ඇති අතර දවසේ ඕනෑම වෙලාවක් මෙකී නැකතකට අයත්ය.

      මීට අමතරව, දවසක් පැය 60 කට බෙදන ක්‍රමයක් ද අප සතුව පැවතී තිබේ. තුන් තිස් පෑ, තිස් පෑ ආදී ව්‍යවහාර ඇති වන්නේ එයිනි.

      පැය යනු හෝරාව නොවේ. හෝරාව (hour) වෙනුවට පැය යනුවෙන් යෙදීමත් මිනිත්තුව (minute) වෙනුවට විනාඩිය යැයි ගැනීමත් අතිශය වැරදි යෙදුම් ය.

      ඔබ ඉහත ප්‍රශ්නය නගා මේ පිළිතුර ගෙතීමට ඉඩ ලබා දුන්නාට පින් පතමි. නැතිනම් මේ කරුණු අප විසින් වෙනම ලිපියක් ලිවිම පිණිස මාතෘකාවකි.

      Delete
    2. තවත් වැදගත් කරුණක් එකතු කිරීමට අවසර.

      කුමාරතුංග මුණිදාස මහා පඬිතුමාගේ ගෝලයෙක් විසින් යෙදූ දිනයක් පහත අයුරින් වෙයි.

      කුමරතුඟු වසින් 1 නිකිණි පුර 8

      හරි අපූරු සහ නිවැරදි යෙදුමකි. එකම අවුල වනාහී "කුමරතුඟු වස" හි මූලාංකය (0) දැන ගැනීමට ගෝලයා හමු විය යුතු වීමයි.

      Delete
  2. පොඩි අවුලක් තිබේ.................. සිංහලයින් අවුරුදු සමරන අවස්ථාවේම ඔබ කියනා දෙමළුන් ද අවුරුද්ද සැමරීමේ ගැටලුව කුමක්ද????

    ReplyDelete
    Replies
    1. නිවාඩුව පිළිබඳව සඳහන් කරන තැන එය "සිංහල අලුත් අවුරුද්ද සහ දෙමළ අලුත් අවුරුද්ද" ය යනුවෙන් යෙදීමෙන් මේ ගැටළුව ඉතා පහසුවෙන් ලෙහා දැමිය හැකිය යන සඳහන වෙත ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි.

      "සිංහලයින් අවුරුදු සමරන අවස්ථාවේම දෙමළුන් ද අවුරුද්ද සැමරීමේ" ගැටලුවක් නැත. එහෙත් එකම දිනයේ වුවත් මේ දෙපිරිස සමරන්නේ අවුරුදු දෙකක් බවට සවිඥානික වීම වැදගත් බවයි අප කියන්නේ.

      Delete
    2. 1) සිංහලයින් අවුරුදු සමරන අවස්ථාවේ දෙමළුන් ද අවුරුද්ද සැමරීම;
      2) බෞද්ධයින්ගේ බක් පුර පසළොස්වක පෝය දිනයේ ක්‍රිස්තියානින් මහ සිකුරාදා සැමරීම
      යන දෙක අපටනම් එකකි. 2 ට ok කියා 1 ට විරුද්ධ වීම කුහක කමයි.

      නමුත් කණිෂ්ක පෙන්වා දෙන්නේ එය නොවේ. ඔහු පෙන්වා දෙන්නේ,
      * "සිංහල අවුරුද්ද" සහ "දෙමල අවුරුද්ද" යනුවෙන් දෙකක් ඇති විට "සිංහල සහ දෙමල අවුරුද්ද" ලෙස ඒ දෙක එකකට ඌනනය කල නොහැකි බවයි.

      පොල් ගෙඩිය සහ පුවක් ගෙඩියක් යම් තැනක ඇත්නම් පොල් සහ පුවක් ගෙඩිය කියා හැඳින්වීම හරිද ?

      Delete
    3. ජොසෙෆ්,

      ඉතා හොඳ පැහැදිළි කිරීමක්. 100% නිවැරදියි.
      අප යෝජනා කරන්නේ දෙමළුන්ගෙන් (ඒ අයගේ) අවුරුද්ද පැහැර ගැනීමට බව බොහෝ දෙනෙක් සිතා සිටියත් එය සාවද්‍ය යි.

      එහෙත් ඔබේ උපමාව තරමක් නොමග යවන සුළුයි. ගෙඩි වෙනුවට වෙනත් දෙයක් ගනිමු.

      දෙමළ කාන්තාවක් සහ මුස්ලිම් කාන්තාවක් එකම තැන සිටී නම් "දෙමළ සහ මුස්ලිම් කාන්තාව" යනුවෙන් හැඳින්වීම නිවැරදි ද?

      Delete
    4. හික් !
      භාතියගේ බිරිඳ සහ සංතුෂ්ගේ බිරිඳ වෙනුවට `භාතිය සංතුෂ්ගේ බිරිඳ` කීවොත් කොහොමට හිටීද ?

      Delete
  3. මට පොඩි අදහසක් දැනගන්න අවශ්‍යයි. යම් හෙයකින් හදිසියේම රනිල් මලොත් මොනව‍ා වේවිද?

    ReplyDelete
    Replies
    1. අපොයි ! මේ වෙසක් දවසේ අහන දේවල්.

      හදිසියේම රනිල් මළොත් වෙන දේවල් දන්නේ ඊයේ සැපත් වූ රනිල්ගේ හාම්පුතා සහ ඔහුගේ සහචරයන්ය. අපට ඒ පිළිබඳ කිසිවක් හිතා ගැනීමටවත් නොහැක (දත්ත ප්‍රමාණවත් නැත).

      අපේ අනුමානය නම්, රනිල් වෙනුවට එතැනට පැමිණීමේ විභවයක් ඇති කිහිප දෙනෙක් මේ වන විටත් සූදානම් කර ගැනීමට ඔහුගේ හාම්පුතුන් නිසැකවම කටයුතු කර ඇති බැවින් ඒ ගැන අප වද විය යුතු නැති බවයි.

      Delete
    2. හුඟක් එවුන් හිතාගෙන ඇති රනිල් මරන්න. ඒ වගේම හිතාගෙන ඇති රනිල් ඇමරිකාවට කත් අදිනවා කියලා. රනිල්ට අද පෙරදිග බටහිර ඕනෙම රටකට යන්න පුළුවන් කිසි බයක් නැතුව සහ ඉහල පිළිගැනීමක් සහිතව.

      ඇමරිකානු ආර්ථිකයට කිබිහුමක් ගියොත් ලංකාවේ ආර්ථිකයට නිව්මෝනියාව හැදෙන එක මහින්ද හිටියත් රනිල් හිටියත් කිසි වෙනසක් නැහැ. ඔය ඇමරිකන් විරෝධී අයියලාගේ පරම්පරාවේ බොහොමයක් එවුන් හැදිලා තියෙන්නෙත් යුරෝපීය රටවල අධ්‍යාපනය ලැබීමෙන්.

      රනිල් කියන්නේ මේ රට ගොඩ ගන්න සුදුසු එකම පුද්ගලයා නෙවෙයි. නමුත් මහින්ද හිතන්නේ එහෙමයි. නායකයෝ කාලීනව වෙනස් වියයුතුයි. එකෙකුට ජීවිත භුක්තියට මේ රට ලියාදෙන්න බැහැ.

      Delete
    3. ඔබ රනිල් පිළිබඳව දක්වන අදහස් පිළිබඳව අපේ එකඟත්වයක් නැත. රනිල්ට ඕනෙම රටකට යා හැකි වන්නේ ඔහු ඔවුන්ගේ කෙනෙක් නිසාය. රනිල් බටහිර රටවලට කත් අදින ගැත්තෙක් හෙවත් වාලෙක් බව අපට පෙනෙන්නේ ඒ රටවලට අවශ්‍ය දේ රනිල් කරන නිසාය.

      අප එසේ කීවත්, නායකයන් කාලීනව වෙනස් විය යුතු බව පිළිබඳව එකඟ විය හැක. එහෙත් කාලෙන් කාලෙට එක එක ජිල්මාට් දමමින් දුසිම් ගණනක බෙලි හීන් නූලෙන් කපා දමමින් 1994 සිට අද දක්වා විසි වසරක් එජාප නායකත්වය රැක ගත් කෘර ඒකාධිපතියෙක් වන රනිල් වික්‍රමසිංහ ලංකාවේ නායකත්වයට නම් සුදුසු නැත.

      මතක තියා ගන්න, අස් වෙලා ගිය සිරිසේන මහින්දට කිව්වෙත් "සොඳුරු ඒකාධිපතියෙක්" කියලයි. ඒත් රනිල්ටනම් කවුරුත් "සොඳුරු" කියන්නේ නෑ. මිනිහා කෘරම කෘර ඒකාධිපතියෙක්. සැකනම් මිනිහගේ කැපිල්ලට අහු උන එජාප නායකයින්ගෙන්ම අහල බලන්න.

      Delete
    4. කණිෂ්ක කියන දේ හරිය.
      රනිල් මැරීමට අපට උවමනාවක් නැත. දැනුත් 60 පැනලා ඉන්න රනිල් හදිසියේවත් වලකජ්ජ ගැසිය හැකි නිසා ජෝන් කෙරීලාට contingency plan එකක් තිබිය යුතුය. මිලින්ද මොරගොඩ වැනි පොරවල් කිහිප දෙනෙක් ඔත්තු සේවා ලැයිස්තු වල සිටින බව අපට සහතික ය.

      "රනිල් කියන්නේ මේ රට ගොඩ ගන්න සුදුසු එකම පුද්ගලයා නෙවෙයි. නමුත් මහින්ද හිතන්නේ එහෙමයි." යන තැන මහින්ද හිතන ආකාරය ඔබ දැන ගත්තේ කෙසේද ?

      Delete
    5. ඔව් ජෝසප් ගේ ප්‍රෂ්ණය හරි,
      මහින්ද හිතන හැටි දැන ගත්තේ කෙසේද?
      හැබැයි මේ රට ගොඩ ගන්නවානම් එය කළ හැක්කේ මහින්දටයැයි බොහෝ සිංහලයන් සිතන බවනම් ඇත්තකි. ඒ මහින්ද යනු විශ්වකර්මයෙකු නිසා නොව වනස්පතීන් නැති තැන තුත්තිරි ගසත් ගසක් වන නිසාවෙනි.

      Delete
    6. මේ රට ගොඩ ගන්නවානම් එය කළ හැක්කේ මහින්දටයැයි බොහෝ සිංහලයන් සිතන්නේ ඔහුට එවැනි අභිප්‍රායක් ඇති බව ක්‍රියාවෙන් පෙන්වූ නිසාය.

      රට ගොඩ ගැනීමේ අභිප්‍රාය ඇති කෙනෙක් විසින් කළ යුතු බොහෝ දේ ඔහු විසින් කර තිබේ. ඊට අමතරව ඒ සඳහා සුදුසු පිරිසක් ද ඔහු සතුව සිටියේය. මේ ශක්‍යතාව අවසන් වරට තිබුණේ දිවංගත ජනපති ජයවර්ධන සතුව වේ.

      Delete
    7. මාතෘකාවෙන් පිට බොහෝ දුර යන අයුරක් පෙනේ. මුල් ප්‍රශ්නය නැගූ මිත්‍රයාත් මේ සංවාදයේ තවදුරත් නැත.

      Delete
  4. සම්පූර්ණ ලිපියම කියවීමි.
    සුපුරුදු පරිදි කණිෂ්කගේ අපූරු ගැලපීම් සහිතව ලියැවී ඇති ලිපිය දැනුම වඩවන්නකි.
    අවසන දක්වා කියැවූ විට සිංහලයාගේ අවුරුද්ද සැමරීමට එරෙහිව වෙසඟයෙහි අවුරුදු සැමරීමට කථා කරන එක්තරා (භික්ෂු / භික්ෂුවේශධාරී ) පුද්ගලයෙකුගේ මතවාදයකට මෙතුලින් සියුම්ව පිළිතුරක් සපයා ඇතිදැයි මට නිකමට සිතුනි!

    කෙසේ වෙතත් අපූරු ලිපියකි.

    දැන් දැන් කථා 32 බොහෝ දෙනාගේ ඇසුරට පත්වනු දැකීමත් සතුට වඩවන කාරනයකි.

    ReplyDelete
    Replies
    1. ඔබ දැකුමින් අප පිං කළ බව හැඟුනි !

      සිතුවිළි,
      බක් මස අවුරුද්ද සැමරීමට එරෙහි වෙසක් මස අවුරුද්ද සැමරිය යුතුය යැයි පැවසූ (උන් වහන්සේ තවදුරටත් එසේ පවසන්නේදැයි අප දන්නේ නැත) ස්වාමින් වහන්සේට පිළිතුර මෙහි කෙළින්ම දී නැත.

      ඔබ මතක් කළ බැවින් පහත කොටස උපුටා දැක්වීමට අවසර.

      "මීන රවි, මේෂ රවි ආදී යෙදුම් සූර්ය වර්ෂ ක්‍රමයේ යෙදේ. ඊට අනුරූපව චන්ද්‍ර මාස ක්‍රමයේ යෙදෙන්නේ වෙසක්, පොසොන්, ඇසළ ලෙස යෙදීමයි."

      ඒ ස්වාමින් වහන්සේට දිය යුතු පිළිතුර ඇත්තේ එම වාක්‍ය දෙකෙහි තද කළු කර ඇති තැන්හි වේ.

      Delete
    2. අවසන කොටුවක් තුල දක්වා ඇති ක්‍රිස්තියානින් දෙ. 25 නව වසර නො ඇරඹීම ගැන වූ අදහස අදාල උන්නාන්සේ අරඹයාම වූවක් නොවෙයිද?
      අන්න ඒක නිසා තමා මේ පිළිතුර ඒ වහන්සේ අරඹයා වූ සියුම් පිළිතුරක් වන්නේ.
      ඍජු පිළිතුරක් මෙහි නැති වග දකිමි. එහෙත් ඒ මතවාදය සිංහලයාගේ සංස්කෘතියට කරන හානිය වේයෙකු ලී දණ්ඩකට කරන හානිය වැනියැයි මම දකිමි. එම නිසාම මෙවන් අයුරින් මතවාදාත්මකව හා හේතු සහිතව එය පැරදවිය යුතු බව තරයේ පිළිගනිමි. ඒ සඳහා ක්‍රියාත්මකව දක්වන ප්‍රථිචාර අගයමි.

      Delete
    3. අපි දැන් භාවිතා කරන අවුරුද්ද රෝමන් කාරයින්ගේ එකක්, ඒකේ විකාශනයක්.

      රෝමන් කාරයෝ මාර්තු මාසෙන් අවුරුද්ද පටන් අරං තියෙන්නේ. ජුලියස් සීසර් පස් වෙනි මාසෙට පොරගේ නම දා ගත්ත. ඔගස්ටස් හයවෙනි මාසෙට උගේ නම දා ගත්තා. හත් වෙනි (SEPTember), අට වෙනි (OCTober), නම වෙනි (NOVember), දහ වෙනි (DECember) මාස වල නම් ඒ විදියටම ඉතුරු උනා.

      ඔය අස්සේ ජනවාරි පෙබරවාරි මාස මුලට දාපු නිසා නම අනුව මේ කීවෙනි මාසෙද කියල හොයා ගන්නත් බැරි උනා. දැන් දහවෙනි මාසේ තියෙන්නේ දොළොස් වෙනියට.
      ---------

      රෝමානු කතෝලික ආගම හැදිලා එන කාලේ ක්‍රිස්තියානි කාරයෝ මේ කැලැන්ඩරේට හුරු උනා. රෝමානු ආගම් තහනම් කරලා කැලැන්ඩරේත් එක්කම කතෝලිකයෝ රෝමේ අයිති කර ගත්තා. පස්සේ කාලෙක ග්‍රෙගරි පාපයා මේක තව ටිකක් හදලා ගත්ත.

      කතෝලිකයෝ ජේසු උපන්නේ රෝමන් කැලැන්ඩරේ අනුව දෙසැම්බර් 25 කියල තීරණය කළා, ජේසු ඉපදුන නිසා කැලැන්ඩරේ හැදුව නෙමේනේ. කැලැන්ඩරේ ජේසු උපදින්නත් කලින් ඉඳලම තියෙන්න ඇති - නොතිබුනා කියලත් වෙනසක් නෑ.

      රෝමන් කතෝලික සංස්ථාව ඇති උනාට පස්සේ පොරවල්ට අවුරුද්ද ලියන්න ඕනේ උනාම උන් තීරණය කරනවා ජේසු ඉපදුණ අවුරුද්ද කියල තමන් හිතන අවුරුද්ද ජේසුගේ පළමු වර්ෂය ලෙස ගන්න. මේ කාලේ රෝමන් කාරයින්ට 0 නෑ. උන් 0 ගැන නොදන්න නිසා තීරණය කරනවා ජේසු ඉපදුනේ ජේසුගේ පළමු වර්ෂයේ දෙසැම්බර 25 කියල. [ක්‍රි.ව. 1 දෙසැ. 25]
      ---------

      බුද්ධ වර්ෂයත් ඒ වගේමයි. ඒත් ඉන්දියන් කාරයෝ 0 ගැන දන්නවා. බුදුන් පිරිනිවන් වැඩිය දිනේ එදා දඹදිව තිබුන කැලැන්ඩරෙන් බලල එයාල තීරණය කරනවා ඒක මුල හැටියට ගන්න.පිරිණිවන් පාපු වෙලාව 0 නම්, බුද්ධ වර්ෂ 1 පළවෙනි දවස වෙන්නේ පිරිනිවන් පෑ දිනය. ඒ කියන්නේ වෙසක් පසළොස්වක. පසළොස්වක දිනය වෙසක් මාසේ 15 වැනි දා ය කියන එක වැදගත් කාරණයක් නෙමෙයි. ඒ මම තේරුම් ගත්ත විදිය.
      ---------

      නමුත් මෙතන කිරිබත්ගොඩ ස්වාමි පාදයාට සියුම් ප්‍රහාරයක් නම් මම දකින්නේ නෑ. ඇත්ත ඇති හැටියෙන් කියල විතරයි.

      Delete
    4. නත්තල ගැන ඇති එක මතයකට අනුව එය Pegan ආගමේ මිත්‍ර (Mitra) නම් දෙවි කෙනෙකු වෙනුවෙන් පැවත්වූ උත්සවයක් බවයි. නමුත් කොන්ස්තන්තීන් අධිරාජ්‍යයා ක්‍රිස්තියානි ආගමට හැරුණු පසු එම ආගම ක්‍රිස්තියානිය තුලට අවශෝෂණය කර ගැනීම වෙනුවෙන් එම උත්සව දිනය යේසුස් වහන්සේගේ උපන් දිනය ලෙස ගෙන තිබේ. නත්තල් ගසද Pegan චාරිත්‍රයක් විකුර්ති වීමෙන් ඇතිවූ බව අසා ඇත. එමෙන්ම බොහෝ ඉතිහාසඥයින්ට අනුව ජේසුස් වහන්සේ ඉපදී ඇත්තේ ගිම්හානයේ මිස ශිශිරයේ මැද වන දෙසැම්බර් වල නොවේ.

      Delete
    5. @anuhasa,

      එසේද විය හැක. කතෝලිකාගම දැඩි මර්ධනයක් යටතේ ඉතා දුෂ්කර සියවස් කිහිපයකට පසු පුනරුදයක් ලැබූ ආගමකි. යුදෙව් ආගමෙන් විකසනය වූ මුත් යුරෝපයේ බොහෝ ඇදහිළි ඊට මිශ්‍ර වී තිබෙන බව අපි දනිමු.

      ජේසුස් වහන්සේ යුදෙව්වෙක් ලෙස ඉපදී යුදෙව්වෙක් ලෙස ජීවත් වී යුදෙව්වෙක් ලෙස මළ අතර බොහෝ දෙවියන් ඇදහූ රෝමානුවන් ඔහු දිව්‍ය පුත්‍රයා ලෙස අදහාගෙන තම ආගමේ දෙවියන් ඉවත් කර ජේසුස් ඒ වෙනුවට ඇතුල් කර ගැනීමෙන් නව ආගමක් ඇති කරන්නට ඇත.

      බොහෝ දෙවියන් අදහන (බහු දේව ඇදහිල්ල) මනුෂ්‍යයන්ට සාමාන්‍යයෙන් සිදු වන්නේ එයයි. පිටින් පැමිණි කවුරු හෝ දෙවියෙක් දේව මණ්ඩලයට යන්තම් හොම්බ දා ගනී. වැඩි දුර නොසිතන මිනිස්සු "තව දෙයියෙක් වැඩි උනා.. එල එල" කියා සිතත්. ටික කලක් ගිය විට අර දෙයියා "මං විතරයි දෙයියා - මාව විතරක් අදහපල්ලා" කියන විට අර මිනිස්සුන්ට කිරීමට දෙයක් නැත.

      එවිට අර තනි දෙවියා අනෙක් දෙවියන් සියළු දෙනා පළවා හැර සියල්ල අයිති කර ගනී.

      Delete
    6. @ජොසෙෆ්,
      ඔබේ පැහැදිළි කිරීම අනර්ඝයි.

      @සිතුවිළි,
      ඔබට පිළිතුරක් පහතින් දමන්නම්.

      Delete
    7. ජෝසප් ඔබගේ පිළිතුරට පින්,
      ඔව් මේ වගේ සාකච්චා දැනුම වඩවන්නේ මේලෙසයි. ඔබ විවිධ දැනුම් පද්ධතීන් ඇසුරු කරමින් ඉතා හොඳ පිළිතුරක් ගොනු කොට තිබෙනවා. මා මෙහි පහතින් කනිෂ්කයන්හට දුන් පිළිතුරත් කියවන්න. මා විසින් මෙහි ඇති සියුම් පිළිතුරක් ගැන කීවේ ඇයි යන්න ඔබට වැටහෙනු ඇත.

      Delete
  5. මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් මා ඇසූ හරවත්ම ධර්ම දේශනය දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කළ රාජගිරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාවයි.

    මා කියැවූ හරවත්ම වෙසක් ලිපිය නලින් ද සිල්වා වියතානන්ගේ ලිපියයි
    http://www1.kalaya.org/2015/05/blog-post_90.html#more

    ReplyDelete
    Replies
    1. අරියඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව ඇසුවේ නෑ. ඒත් නලින් ගේ ලිපිය කියෙව්වා. ඒක හොඳයි තමා, ඒත් අලුත් කරුණු නම් මොකුත් නෑ. හැමදාම කියන දේ තමයි.

      Delete
    2. ඇත්ත නලින් මහැදුරු තුමාගේ ලිපියේ අළුතෙන් මොකුත්ම නැහැ, ඒකේ තියෙන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කල දේ එතුමාට තේරෙන හැටියෙන් පැහැදිලි කිරීම්නේ.
      අනෙක මේ බොහෝමයක් දේවල් එතුමාම මීට පෙර කියපු දේවල්. හැබැයි මම මේ ලිපිය තුල එතුමාගේ යම් කිසි උපේක්ශා සහගත බවක් දකිනවා. ඒක යම් කිසි අලුත් තත්වයක්. ඇතැම් විට එය උපෙක්ශාවත් අත් හරින්නට කරන වෑයමක් විය හැකියි.
      දැනුමින් පිරුණු පණ්ඩිතයෙකු (අපහාසාත්මකව නොවෙයි ) වන එතුමා දැනුම බැහර කිරීමෙන් ලබන අවබෝධය ගැන ගැබුරින් විග්‍රහ කිරීමක් එතැනදී කරනවා නේද?
      අළුත් කරුනු නැති වුනාට අලුත් පැහැදිලි කිරීමක් ඇති වගක් මට නම් පෙනුනා.
      අරියඥාන හිමියන්ගේ දේශනාව නම් බොහෝම හරබර එකක්. උන් වහන්සේ සුපුරුදු පරිදි අනිත්‍යය පදනම් කරගෙන මයි දේශනාව කලේ. ඒ තුළ අතීත කර්මයන් හැසිරවීම වැනි බොහෝම වැදගත් කාරනා රැසක් ගැන පැහැදිලි කිරීම් සිදු වුනා. තවත් කිහිප වරක් අසන්නට වැදගත් දේශනාවක් ලෙසයි මා නම් එය දුටුවේ.

      Delete
    3. ආචාර්ය නලින්ගේ උපේක්‍ෂාවට හේතුව වන්නේ ඔහුගේ දේශපාලනය හේතු මත ඔහුට කෙරෙන වාරණ පැනවීම් වේ. අවුරුදු 60 පැන්න මහලු නලින්ට දැන් ඉන්න අයියලා එක්ක හැප්පෙන්නට ශක්තියක් නැත. වසර 30 කට වඩා නොකඩවා කියා දී ත් ඔහු කියන දේ අසන පිළිගන්නා සිංහලයින් නැති තරම්ය. මහින්ද එල්ල කර ඔහු ලියූ කප්පරක් ලිපි වලට මහින්ද කිසි ගානක් නැතුව පයින් ගැසූ සැටි බලන්න.

      නමුත් ඔහුගේ සතුරන් තවම ඔහුට බිය ය. ඒ නිසා ඊනියා යහපාලනය යටතේ නලින්ගේ මත ප්‍රසිද්ධ මාධ්‍ය වලට හරාම් ය. විදේශාධාර ද නොලබන ස්ථිර ආදායම් මාර්ගයක් ද නැති දුප්පත් නලින්ට කළ හැක්කේ තමාගේ පාඩුවේ බොගක් දමාගෙන (www1.kalaya.org) සිටීම පමණි. උපේක්‍ෂාවට හේතුව මේ අපේක්‍ෂා භංගත්වයයි.

      * මට මහලු වයසේ - බැරිය වෙන ගායනා පෙර සේ... (වෙණ නොව වෙන බව සළකන්න)

      වෙන ගායනා බැරි නිසා පුළුවන් ගායනාව කරගෙන ඉන්නවා.

      Delete
    4. ජෝසප් ගේ ඒ මතයට නම් මට එකඟ වෙන්න බැහැ,
      තවම තරුණ වයසේ ඉන්න උදවිය හිතන්නේ මහළු වයසට යන අය තුලින් උපේක්ෂාව පහල වෙන්නේ වෙන කළ හැකි දෙයක් නැති නිසා කියලයි. නැහැ වෙන විකල්ප නැති නිසා නම් පහල වෙන්නේ උපේක්ෂාව නෙවෙයි අපේක්ෂා භංගත්වයයි.
      එහෙත් නලින් මහැදුරුතුමාගේ මේ ලිපිය තුලින් එතුමා දහම අවබෝධය තුලින් යම් කිසි උපේක්ෂාවක් උපයාගෙන ඇති බව හොඳින්ම පෙනෙනවා.
      එය වෙන කිරීමට දෙයක් නැති කමක් බවට ඌනනය කිරීම සාහසික අපරාදයක්.
      ජෝසප් ඔබ බුද්ධිමත් වුවත් තවම අවේගශීලී තරුණයෙක්, ඔබට මෙය වැටහේවි.

      Delete
  6. විජයයාගේ ආරක්ෂාව බුදුන් වහන්සේ විසින් ශක්‍රයාට පැවරීමේ කතාව ගැන ඔබලාගේ අදහස් කීම? සීලාදී ගුණධර්ම පූරණය දෙවියන්ගේ රැකවරණය ලැබීමේ හේතුවක් ලෙස දේශනා කළ තථාගතයන් වහන්සේ අසීලාචාරකම් පිලිබඳ කුප්‍රකට (ලංකාවට පැමිණීමට පෙර හා පසු) විජයයා ආරක්ෂා කිරීමට දෙවියන්ගෙන් ඉල්ලීම් අභව්‍ය නොවේද?

    මාගේ අදහස නම් කොහොමටත් පමණට වැඩි අගයක් ලබාදී ඇති විජයාවතරණය, තව ටිකක් ඉස්සීමට බුදුන් වහන්සේ ඈඳා ගෙන ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. ජනක් ජනක් පායල් බාජේ... හික් !
      විජය බලා ගන්න දෙයියන්ට පවරපු එක ගොතපු බොරුවක්ය කියල විශ්වාස කරන එක ලේසියි. ඒත් ඒක බොරුවක් බව ඔප්පු කරන්න බෑ. ඒ වගේම ඒක බොරුවක් නොවන බව ඔප්පු කරන්නත් බෑ. ඉතිං ඒක ඇත්ත කියල පිළිගන්න එකේ අවුල මොකද්ද?

      Delete
    2. කිසිදු පිළිගැනීමක් ගැන කිසිදු අවුලක් නැත. මගේ අදහස කීවෙමි. ඔබලාගේ අදහස් විමසීමි. ජෝසෆ් ගේ අදහස දැනගතිමි. ස්තූතියි.

      Delete
    3. ජනක්,

      ඔබ තුමා ප්‍රතිචාර දැක්වීම ගැන ස්තූතියි.
      * තථාගතයන් වහන්සේ අසීලාචාරකම් පිලිබඳ කුප්‍රකට විජයයා ආරක්ෂා කිරීමට දෙවියන්ගෙන් ඉල්ලීම් අභව්‍ය නොවේද?
      යනුවෙන් ඔබ තුමා නැගූ මූලික ප්‍රශ්නයට අප පිළිතුරක් දී නැත. දැන් දෙමි.

      මෙය තරමක් අභව්‍ය දෙයකි. විඩූඩභයා ශාක්‍ය සංහාරයට යන විට බුදුරදුන් ශක්‍රයාගෙන් උදව් ඉල්ලුවේ නැත - ඒ තමාගේම සහ ලේ ඥාති වරුය. අජාසත්තයා විසින් තමාට රාජානුග්‍රහ දක්වා උපකාර කල දැහැමි බිම්බිසාර රජු මරා දමන විට බුදුරජානන් වහන්සේ ඒ රටේත් නොහිටි බව පෙනේ. වමත් සව් මුගලන් තෙරුන් හොරුන් අතින් නැව් ගුටි කෑ මියැදෙන විට බුදුරදුන්ට සක්‍රයා සිහි වූයේ නැත.

      මේ කරුණු සලකා බලන කල අණක් ගුණක් නැති කෙළෙහි ගුණයක් නැති විජයයා රැක ගැනීම සක්‍රයාට outsource කිරීම සැක සහිත ගනුදෙනුවකි - අද ව්‍යවහාරයෙන් නම් ඩීල් එකකි, බුදුන් අල්ලස් කොමිසම හමුවට කැඳවිය හැකි නිමිත්තකි.

      දැන් අපි මොකද මේකට කරන්නේ, පැමිණිල්ලක් දාමුද ?
      නැත්නම් රං ගොන්ජට බොලේ පාස් කරමුද - පන්සල් වලට කඩා පනින්න මිනිහ රුසියා.

      Delete
    4. විජයයාගේ ආරක්ෂාව බුදුන් වහන්සේ විසින් ශක්‍රයාට පැවරීමේ කතාව
      1. මෙය පිටකත්‍රයෙන් එකක නොව වංශකතා වලත්, ජනප්‍රවාදයේත් එන සිද්ධියකි.
      2. වංශකතා පළමුව ආවේද නැතිනම් ජනප්‍රවාද පළමුව ඇති වීද යනු ප්‍රශ්නයකි.
      3. කෙසේ වුවත්, සිද්ධියක් වශයෙන් ගත් කළ මෙය ඉතාම වැදගත්ය. ('කොහොමටත් පමණට වැඩි අගයක් ලබාදී ඇති විජයාවතරණය' ලෙස ඔබ කරන සඳහන හා එකඟ නොවෙමු)
      ------------------

      ප්‍රථමාගමනය: යකුන් බුදුරදුන්ට ලක්දිව පිදීම
      ද්විතියාගමනය: නාගයින් බුදුරදුන්ට ලක්දිව පිදීම
      තෘතියාගමනය: දෙවියන් බුදුරදුන්ට ලක්දිව පිදීම සහ

      මෙය ඉටු වූ පසු ලක්දිව එහි සැබෑ උරුමක්කාරයින් සියළු දෙනා විසින් බුදුනට පූජා කර අවසන් ය. පන්දහසක් කල් පවතින බුදුසසුන බැබලෙන්නේ මේ පිංබිමේ බව බුදුරජාණෝ දිවැසින් දුටහ. එබැවින් තමන් වහන්සේට ගෞරවයෙන් පූජා කෙරුණු පුණ්‍ය භූමිය තමාගේ අභාවයෙන් පසු අනාථ නොවීම පිණිසත් එහි වැසියන්ට ආරක්ෂාව පිණිසත් සුදුසු පුරුෂයෙකුට බාර කිරීම යි උන් වහන්සේ විසින් කරන ලද්දේ.

      බුදුරදුන් සක් දෙවිඳුන්ට ලක්දිව රක්නා පිණිස බාර කළා මිස මංකොල්ලකාර විජයයා රකිනු පිණිස බාර කළේ නැත. එහෙත්, සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය පිණිස අනාගතයේ සිදු විය යුතු ශාක්‍ය කුල සම්මිශ්‍රණය සිදු වීමට අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස ශක්‍රයා විසින් විජයාගමනය දකින්නට ඇත'ය යනු මේ පිළිබඳ අපගේ මතය වේ.

      මෙකී තීරණය ශක්‍රයා විසින් ගත්තද, තුන් කල් දක්නා බුදුරදුන් විසින් ගත්තද වෙනසක් නැත. ලක්දිව බුදුසසුන් මුල් බැසගෙන ස්ථිර වීමට නම් වෙන් වෙන්ව ජිවත් වූ යක්‍ෂ, නාග, දේව සමුහයා එකච්ජත්‍ර වීමත් ඔවුන් බාහිරින් පැමිණෙන දහමක් වටහා ගත හැකි චින්තන ක්‍රමයකට අනුගත වීමත් අත්‍යාවශ්‍ය බැවිණි. (කෙනෙකුට මෙය කොදෙව් මානසිකත්වය බිඳීමේ උපක්‍රමයක් ලෙස විස්තර කිරීමේ බාදාවක් ද නැත.)
      ------------------

      Delete
    5. බුදුන් වහන්සේ ලක්දිව ආරක්ෂාව දෙවියන්ට භාර කිරීම පිලිබඳ ගැටළුවක් නොමැත. ඔබගේ ලිපියේ පහත උපුටනය අනුව ගම්‍ය වන්නේ බුදුන් වහන්සේ විජයගේ ආරක්ෂාව සක්‍රයාට භාර දුන් බවයි.

      "පිරිණිවන් මඤ්චකයේ සිටි බුදුරදුන් විජයයා හා පිරිවර රැක ගන්නා ලෙස ළඟ සිටී සක් දෙවිඳුන්ට බාර කළ බවත්, "

      විජයාවතරණයේ පසුවිපාක සලකා සමස්ත සිද්ධියට පහසුකම් සැලසීම යන අරුතින් ගත් කල යම් අදහසක් අති කරගත හැකිය. ලිපියකට අටුවා ටීකා හා ටිප්පණි තිබීම කෙතරම් අගනේද?

      ජෝසෆ්, පැමිණිලි කරනවා නම් කළ යුත්තේ "ගැට කපන පී.(එම්) ගේ" කැබිනට් අනු කමිටුවට නොවේද?

      Delete
    6. එසේය. විජයයාගේ ආරක්‍ෂාව බාර දුන් බවත් සඳහන් වන තැන් ඇතත් අපට වැදගත් වන්නේ "හේතුව"යි. අපගේ පෞද්ගලික මතය නම් බුදුරජාණන් වහන්සේ ශක්‍රයාට පවරන්නට ඇත්තේ තමන්ගේ සසුන පිහිටන ලක්දිව රැක ගැනීම මිස පිටුවහල් කෙරුනෙකු වන විජයයා රැක ගැනීමට නොවන බවයි.

      ලක්දිව බාර කෙරුණත් විජයයා බාර කෙරුණත් අරමුණ එකකි. එනම් පන්දහසක් කල් පවත්නා සම්බුද්ධ සාසනය රැක ගැනීමයි.

      Delete
    7. ජනක්, ඔබ අපේ හිතමිත්‍ර SiTH සිහියට නගන නිසා මේ සංවාදය තව පියවරක් ඉදිරියට ගෙන යෑමට සිතේ.

      1. බුදුරජාණන් වහන්සේ විජයයා සහ පිරිවර රැක ගැනීමට පැවරුවා නම්:
      මෙය මංසළසන්නේ ඉතා දරුණු සහ නිවට වරිගසංහාරයකට සහ අතිශය කෘර ද්‍රෝහී කම් වලට වේ. පළමුව විජයයා කුවේණිය පොළඹවා ගනී - නොහොත් කුවේණිය විජයයා පොළඹවා ගනී. දෙවනුව කුවේණියගේ උදව් ලබන විජයයා විවා මංගල උත්සවයකට පැමිණි නිරායුධ ජනයා මරා දමා පාලන බලය පැහැර ගනී. තමාගේම ඥාති පිරිසට ද්‍රෝහී වූ කුවේණිය පළවා හැර දඹදිවින් බිසවක් ගෙනැවිත් සැඳෑ කාලය ඕ හා ගතකර මරණයට පත් වේ. පැහැරගත් රජකමට තවත් දඹදිව් වැසියෙක් ගෙන්වා ගැනීමට සිදු වේ.

      මෙවැනි කතාන්තරයක් බුදු සිතක පහළ වූ සැලැස්මක ප්‍රතිඵලයක් ලෙස පිළිගත නොහැක.

      Delete
    8. 2. බුදුරජාණන් වහන්සේ ලක්දිව රැක ගැනීම පැවරුවානම්:
      මෙවිට ලක්දිව යනු යක්‍ෂයන් නාගයන් සහ දෙවියන් විසින් බුදුරදුනට පූජා කළ බිමක් වන බැවිනුත්, ඉහත කී පිරිස් සක් දෙවිඳුන්ගේ ආඥා චක්‍රය යටතේ පිහිටි බැවිනුත් ශක්‍රයා විසින් ගත යුතු වන්නේ විජයයාගේ පාර්ශවය නොව කුවේණියගේ අවාසනාවන්ත ඥාතී පිරිසගේ පාර්ශවය වේ. මේ අවස්ථාවේ ලක්දිව රැකීම යනු එහි වැසියන් රැකීම මිස ආක්‍රමණිකයාට ඔවුන් පාගා දැමීමට පහසුකම් සැළසීම නොවේ.

      මේ විකල්පයත් අතහැර දැමීමට අපට සිදු වන්නේ සෝවාන් තත්වයට පත් වී සිටි ශක්‍රයාට සිහි විකල් වීමක් සිදු වීමට ඉඩ නැති බැවිනුත්, උපුල්වන් දෙවියා විසින් ශක්‍රයා රවටන ලද බවක් හෝ වැඩේ අනා ගත් උපුල්වන් දෙවිඳුන්ට එරෙහිව ශක්‍රයා විසින් ගත් ක්‍රියා මාර්ගයක් පිළිබඳ සටහනක් නැති හෙයිනුත් ය.

      Delete
    9. අපගේ අදහස ඉතාම නිවැරදි නිරවුල් වචනයෙන් ප්‍රකාශ කළොත්:

      3. පන්දහසක් කල් පවත්නා බුදුසසුන රැකෙන්නේ ලංකාද්වීපයේ බැවින් බුදුරදුන් ශක්‍රයාට පවරන්නේ ඒ ක්‍රියාවලිය සාර්ථක වීමට උපස්ථම්භක වන ලෙසයි.
      ඉහත පළමුවැන්න නිවැරදිනම් විජයයාගේ මරණින් පසු ශක්‍රයාගේ කටයුත්ත සම්පූර්ණ වේ. එහෙත් බුදුසසුන තවම ලක්දිව පිහිටියේවත් නැත. දෙවැන්න සත්‍ය නම් ශක්‍රයා අදත් ලක්දිව වෙත ඔහුගේ දහසක් ඇස් අයාගෙන සිටිය යුතුය. ඒ වගක් නම් කිසිසේත් නොපෙනේ.

      එබැවින් සිදු විය හැකි කරුණ මේ තුන් වැන්න බව පෙනේ. ස්වදේශික අධිපත්‍යය බිඳ දැමීමත් දඹදිව ආර හා මිශ්‍ර සංස්කෘතියක් මෙරට ඇති කිරීමත් බුදුදහම මුල් බැසීම සඳහා අවශ්‍ය අංගයකි. විජයයා විසින් ඊට මූලාරම්භය සපයන නිසා ඔහුට රැකවරණය දීම ඒ මොහොතේ අවශ්‍ය වේ.


      එහෙයින් අපගේ අදහස වන්නේ බුදුදහම ලක්දිව මුල්බැස ගැනීමට අවශ්‍ය අංගෝපාංග සම්පූර්ණ කර ගැනීමට පමණක් ශක්‍රයාට පැවරූ බවත් මිහිදු මාහිමියන් සැපත් වී බුදුදහම මෙහි පිහිටවූ පසු ශක්‍රයාගේ වගකීම අවසන් වූ බවත් ය. මෙය දෙවියෙකුට පැවරීම අවශ්‍ය වන්නේ මිනිසුන් එතරම් කල් ජිවත් නොවන නිසාය.

      විජයයා මෙහි සැපත් වීමේ සිට දේවානම්පියතිස්ස කාලය (පසු වී අවුරුදු කිහිපයක් යන තෙක්) දක්වා සක් දෙවිඳුන් අප රට ගැන බලන්නට ඇත. එහෙත් ඉන් අනතුරුව ඔහු ලක්දිව අමතක කර අඩු තුන් කෙළක් පුරඟනන් සමග නොයෙක් කෙළි කෙළිමින් පරණ පුරුදු ජිවිතයට වැටෙන්නට ඇත.

      මිහිදු මාහිමියන් පිරිණිවන් පා වසර කිහිපයක් යන විටම අස් වෙළෙඳුන් දෙදෙනෙක් විසින් රාජධානිය අත්පත් කර ගන්නේ රජතුමා රටේ ආරක්‍ෂාව සක් දෙවිඳුන් විසින් බලා ගනීය යන පූර්ව නිගමනයෙන් යුතුව ප්‍රමාදීව කටයුතු කළ නිසා විය හැක.

      තව වසර කිහිපයක් ඇවෑමෙන් එළාර මථනයට යන ගැමුණු කුමරු සක් දෙවිඳුන්ට බාර නොවී ශක්‍රයාට සාපේක්ෂව අල්පේශාක්‍ය ලෙස සැළකිය හැකි පුරාණ ස්වදේශික දෙවි කෙනෙක් වන කතරගම මහාසේන දේවරාජයාට බාර වන්නේ මේ හේතුවෙන් විය නොහැකිද?

      Delete
    10. 4. බුදුරජාණන් වහන්සේ ශක්‍රයාට කිසි දෙයක් පැවරුවේ නැත.
      ඉහත සම්පූර්ණ සිද්ධියම පසුකාලීන තෙරුන් වහන්සේලාගේ ප්‍රබන්ධයක් බව කීමට බොහෝ උගතුන් කැමති වනු ඇත. අනාගතයේ පිළිගත් මතය වීමට වැඩි සම්භාවිතාවක් ඇත්තේ මෙයටයි.

      මේ මතය පිළිගැනීමෙන් ඔබට උගතෙක් බවට පත් විය හැක. එසේම ශක්‍රයා සම්පූර්ණ පින්තූරයෙන් ඉවත් වන බැවින් විජයාගේ කතාවේ බොහෝ අංග ඒ සමගම ඉවත් කිරීමටද හැකි වනු ඇත. උදාහරණය ලෙස විජයයා කුවේණියගේ උදව්වෙන් අදෘශ්‍යමානව සිටිමින් යක්‍ෂ සංහාරය කිරීම, කුවේණිය විජයයාගේ මිනිසුන් පොකුණ තුල සිර කිරීම ආදී සිද්ධි දැක්විය හැක. එපමණක් නොව විජයාගේ ජම්මය ද මේ උගතුන් විසින් සංශෝධනය කර ඇති බැවින් කතාව තවත් රසවත් වේ. මෙය කොතැනින් නතර වේද කියා කිව නොහැක.

      Delete
    11. දිව්‍යලෝක එක් දිනයක් මනු ලොව අවුරුදු සියයක් හෝ එයට වැඩි වේ. එය අමතක කරන්න එපා

      Delete
  7. සිතුවිළි,

    කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින් වහන්සේ සිංහල අවුරුද්ද වෙසඟේ සැමරිය යුතුය යන ප්‍රකාශය කළ විට අප ඊට පිළිතුරක් ගොනු කළෙමු.
    >> සිංහල අපේ අවුරුද්ද | click
    එය අදටත් බොහෝ දෙනා විසින් කියැවෙන ජනප්‍රිය ලිපියකි.


    මෙවර ලිපියේ දෙසැ.25 සහ වෙසක් පිළිබඳව සඳහන් කළේ මහමෙව්නා අසපු අධිපතීන් වහන්සේ සැමරීමට නොවේ. සමහර රටවල දෙසැ.25 නව වසර එළැඹෙන ලෙස සැළකුණු කාලයක් තිබිණි. හැරත් මේ ලිපියේ මූලික අභිප්‍රාය ම බුද්ධ වර්ෂය පිළිබඳව හැඳින්වීමයි.

    අභිනව බුද්ධ වර්ෂය වෙසක් දා එළැඹෙන බව සත්‍යයක් නම් අවුරුද්ද සැමරුම එදාට නොකරන්නේ මන්ද යනු වලංගු ප්‍රශ්නයකි. කිරිබත්ගොඩ ස්වාමින් වහන්සේගේ ප්‍රශ්නය මෙය නොවූ බව ඔබට සිහි ඇතැයි සිතමි. අප මේ සඳහන (ඉහත කොටුව තුල) කෙරෙන්නේ එම වලංගු ප්‍රශ්නයට පිළිතුරු දීම උදෙසාය.
    _________

    අවලංගු ප්‍රශ්නයට පිළිතුර
    වෙසක් පොසොන් ආදී වශයෙන් චන්ද්‍රයා අනුසාරයෙන් දිනය කීමේදී මාසය ප්‍රමුඛ වෙයි. අප චන්ද්‍ර මාස ක්‍රමය යැයි කීවේ එබැවිණි. මාස 12 හෝ සමහර විට 13 හෝ අවුරුද්දක් ලෙස සැළකේ - හෙවත් පනවා ගැනේ. චන්ද්‍ර මාස ක්‍රමයේදී අවුරුද්ද යනු පැනවීමක් මිස නිරීක්‍ෂණයක් නොවේ. මේ තත්වය යටතේ චන්ද්‍ර මාස ක්‍රමයට අනුගතව අවුරුද්ද සැමරීම විහිළුවකි.

    මීන රවි, මේෂ රවි ආදී වශයෙන් සඳහන් කළ තැන සූර්ය වර්ෂ ක්‍රමය ලෙස සඳහන් කළෙමි. එතැන වර්ෂය පැනවීමක් නොව නිරීක්‍ෂණයකි. එබැවින් එතැන අවුරුදු කෙළියක් පිණිස නිමිත්තක් පැවති.

    චන්ද්‍ර දින දසුන ක්‍රමය සුදුසු වන්නේ මාස්පතා කෙරෙන දේ වලටය. සූර්ය දින දසුන අවුරුදු පතා කෙරෙන දේ වලට ගැලපේ.

    චන්ද්‍ර දින දසුනට අනුව අවුරුද්ද සමරනු යැයි යෝජනා කිරීම ගිහියෙක් විසින් කළත් පැවිද්දෙක් විසින් කළත් අපහාසයට, උපහාසයට හා පරිහාසයට ලක් කළ යුතු අමන යෝජනාවක් බව අපේ අදහස වේ.

    අලුත් අවුරුද්ද සැමරීම මිත්‍යා දෘෂ්ඨියක්ද ? යන සී නිවුස් ලිපියේ දී අප මිතුරු ජොසෙෆ් ඉතාම කුරිරු ලෙස ඉටු කරන්නේ එයයි.

    ReplyDelete
    Replies
    1. ඔබට පින් කණිෂ්ක,
      ඔබ හා යෙදෙන සාකච්ඡා වලින් බොහෝ දැනුවත් බව ලබමි.
      මෙ පැහැදිලි කිරීම ඉතාම හරවත්. ඔව් මම ඔබගේ මූලික තර්කය හා එකඟ වෙමි.
      එසේම සිංහලයාගේ අවුරුද්ද වෙසඟයෙහි සැමරීම යන කාරණය පැහැදිලි යටි අරමුණක් සහිත බවක්ම මා දකිමි. එසේ වූ කල එයට සැබෑ හේතු සාධක අවශ්‍ය නොවනා නිසා කබරයා තලගොයා කර ගැනීම ක්‍රමය වේ. මෙය කබරයා නොහැඳිනීම නිසා සිදු නොවේ. එහෙත් කබරයා හා තලගොයා නොහඳුනන මිනිසුන් මුලාවේ. අන්න ඒ නිසයි මෙවන් වූ ශාස්ත්‍රීය පැහැදිලි කිරීම් මගින් මිනිසුන් දැනුවත් කිරීම වැදගත් වන්නේ.
      උන් වහන්සේ අදටත් එසේ කියනවාදයි නොදන්නා වග ඔබ පවසා සිටි මුත් උන් වහන්සේගේ ගෝල බාලයින් විසින් මේ අදහස රැගත් ප්‍රචාරයක් මෙවර වෙසක් උත්සවයට සමගාමීව මුහුණු පොත ඔස්සේ කල බව මා නිරීක්ශනය කළෙමි. එහි තේරුම ලී දණ්ඩ තුළට ඇතුලු කල වේයන් ක්‍රියාත්මක බව නොවේද?

      ඔබ හා ජෝසප් කියන පරිදි මේ ලිපියෙහි අරමුණු තුල අදාල කාරනය ගැබ් නොවීනම්, මා ඒ ගැන සතුටු වෙමි. අරමුණු නොකරම, පිළිතුරු දිය යුතු, නැවත නැවත සාකච්චා කළ යුතු, සමාජ අභියෝගයකට මින් පිළිතුරු ලැබී ඇති නිසා සතුටු වෙමි.


      ජෝසප් ඉහත පිළිතුර මගින් තවත් බොහෝම වැදගත් පැහැදිලි කිරීම් කිහිපයක් කර ඇත. එයත් මේ සාකච්චාවට ඉතාම වැදගත්.

      Delete
    2. ඉතිං ඕකට අහිංසක මාව ඇදල ගන්නේ අහවල් කාරණාවකටද? ගිය දේ ගියා, මං දැන් හොඳ ළමයෙක්.

      Delete
  8. මම මේක ලියන්නේ 2013 අප්‍රේල් 14 දින ලියූ සිංහල අපේ අවුරුද්ද කියන ලිපිය සම්බන්ධයෙන්.
    එතන තෛ පොන්ගල් හින්දු උත්සවයක් ලෙස හඳුන්වා තිබුනා. මම හිතන්නේ ඒක වැරදියි.
    තෛපොන්ගල් කියන්නේ දෙමළ උත්සවයක්. සිංහලෙන් ලියනකො තෛ පොන්ගල් වෙනුවට දෙමළුන්ගේ දුරුතු මංගල්‍යය හෝ දෙමළුන්ගේ දුරුතු උත්සවය කියා

    යෙදීම සුදුසුයි.
    මෙතන තව ගැටලුවක් තියෙනවා සිංහල බෞද්ධයෙක්ට සාපේක්ෂව හින්දු කියා ආගමක් තියෙනවද?
    ලංකාවට හින්දු කියා ආගමක් හඳුන්වා දුන්නේ ඉංග්‍රීසි හෝ ලන්දේසි ජාතිකයන් විය යුතුයි. ඊට කලින් සිංහලයෝ ඊනියා හින්දු ආගම හැඳින්වූයේ
    බමුණුමත, ශිව භක්තිය කියන වචනවලින් මිස ආගමක් ලෙස නොවේ.
    යුරෝපීය බලපෑම නොතිබුනානම් ලංකාවේ හින්දු කියන අය "තමිල්නාඩු අභිචාර විධි" අනුගමනය කරන පිරිසක් ලෙස හඳුන්වන්න ඉඩතිබුනා.

    ReplyDelete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !