Thursday, March 5, 2015

ගිහි පංචසීලය හා නිර්මාංශ වෘතය

නිර්මාංශ සීලයක් රැකීමත්, පානාතිපාතා සිල් පදය රැකීමත්, ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය යන සංකල්පයත් එක් කොටගෙන මෑතකාලයේ අප සාකඡ්චාවෙන් සහභාගී වන වෙබ් අඩවි තුල බොහෝ කථාබහ ඇතිවිය.

සත්ත්වයා පිරිසිදු වන්නේ ආහාරයෙන්ද
මේ කථා බහ ඇතිවීමත් එය තුලින් ඇතැම් විට වාද හා මිතුරු දම් පලුදු වන ආකාරයේ ගැටුම් කාරී ස්වභාවයන් වර්ධනය වීමත් ගැන සලකා මේ පිළිබඳව මා දරන අදහස් මෙසේ ලිපියකින් දැක්විය යුතුයැයි සිතීමි.




අද දවසේ පංචසීලය

පංච සීලය යනු බුදු හිමියන් විසින් ගිහි උපාසක උපාසිකාවන් සඳහා අනුමත නිත්‍ය ශීලය බව සැවොම දනිති. එහෙත් අද වන විට පන්සිල් සමාදන් වන්නන් මිස රකින්නන් සොයාගත නොහැකි මටාමකට සමාජය තල්ලු වී ඇත. ඇයි මෙලෙස වන්නේ?

මෙය සමාජ කතිකාවතක් දක්වා වර්ධනය විය යුතු කාරනයකැයි මා සිතමි. එහෙත් වනුයේ සිල් රකිනා උන් නොරකිනා උන්හට ඇඟිල්ල දිගු කිරීම මිස අවඥාසහගත වදන් බිනීම මිස හේතු සොයා බැලිම නොවෙයි. එසේම තමන් සීලය රකිනවායැයි උදම් අනනා උන් ඇත්තෙන්ම ඉන්නේ කොතැනද යන්නත් ගැටළු කාරි තැනකි.

එදා බුදුන් දවසට වඩා යැයි කීම අසාධාරණ වුවත් අද සම්මජය අතිශයින්ම සංකීර්ණත්වයකට පැමිණ ඇත.මේ සංකීර්ණත්වය තුල ගිහි මිනිසුන්හට මුහුණ දීමට ඇති ප්‍රභල තරඟකාරී සමාජ තත්වයන් තුල පංච සීලයක් රැකීම ඇත්තෙන්ම බරපතල අභියෝගයක් බවට පත් වේ. මෙවන් තත්වයක් තුල බොහෝ දෙනා පන්සිල් සමාදන් වීම හුදු තමා බෞද්ධයෙකු බව සමාජයට කියා පෑමේ චාරිත්‍රයක් බවට පමණක් පත් කොටගෙන ඇත.

කෙසේ වෙතත් මේ තත්වය පිටු දැකිය යුතුනම් එය ඉතා දීර්ඝව සමාජ කතිකාවතකට බඳුන් විය යුතු තත්වයක් මිස හාමුදුරුවරුන් විසින් මිනිසුන් සපත කරවා ගැනීමෙන් (කලකට ඉහත ගරුතර සෝම හිමියන් උත්සහ කල අයුරින් )හෝ තමන් සීල වන්තයින් යැයි සිතන මිනිසුන් විසින් අවඥා සහගත වදන් බිනීමෙන් කල හැකි කර්තව්‍යයක් නම් නොවන බව ඉඳුරා පැහැදිලිය.

පළමු සිල් පදය

අපගේ සාකච්චාවට බොහෝ සෙයින් පාදක වූයේ පළමු ශික්ෂා පදය වන බැවින් ඒ ප්ළිබඳ මගේ අදහස කිව යුතුයැයි සිතමි.

පෙර කී පරිදිම චාරිත්‍රානු කූලව පන්සිල් සමාදන් වන ගිහියා ඉන් මොහොතක් යාමට මත්තෙන් මදුරුවෙකු දෂඨ කලහොත් ඌ මරා දැමීමට මැලි නොවෙති. ගෙදර කුස්සියේ දුවන කැරපොත්තෙකුට ප්‍රහාර එල්ල කිරීම පිණිස ක්ෂණයකින් කැරපොත්තා මරා දැමේ‍යයි උදේ හවස රූපවාහිනියෙන් කෑ මොර දෙන ඒරසෝල් ස්ප්‍රේ කෑනයක් නිවසේ තබාගෙන සිටියි. එසේම එය භාවිතා කරයි. කුස්සිය්ට එන කරදර කාර මීයාගෙන් බේරීම පිණිස මී කතුරක් කුස්සියේ අහු මුල්ලක රඳවා තබයි. නැතහොත් අළුත්ම තාක්ශනය වූ ගම් ලෑල්ලක් තබා මීයා අලවා නොමරා ඉවත හෙලයි. මැරුවේ නැතැයි තම සිතින් ශුද්ධ වීමට තනයි. එහෙත් අහින්සක සත්ත්වයා දින කිහිපයක් ඇතැම් විට නිරාහාරව ජලය නොමැතිව අනන්ත දුක් විඳ මරණයට පත්වෙයි. ගේ තුල ඇති මල් පෝච්චියෙන් එළියට අඟල් දෙකක් දිග පත්තෑ පැටියෙකු එළියට පැන්නහොත් ඌ මාරන්තික භයානක සත්ත්වයෙකු ලෙස සලකා එක සෙරෙප්පු පහරින් තලා දමයි. ඇතැම් විට ඊට පසු ආයෙත් පන ඒයැයි බියෙන් මෙන් ලාම්පු තෙල් හලා පුළුස්සා දමයි. ඒ වෙනකොටත් ඌ මිය ගොස් නැත. ගිහියන්ගේ පළමු සිල් පදය රැකීම බොහෝ විට මෙවැනිය.

මස් කෑමෙන් පළමු සිල් පදය බිඳෙනවාද?

මෙය අද බොහෝ නිර්මාංශකයින් හා නිර්මාංශ නොවන්නන් අතර විවාදයට තුඩු දී ඇති කාරනයක් බව දකිමු. මෙ ගැන මා වැඩි දුරට දහම් කරුනු විග්‍රහ කිරීමකට තැත් නොදරන්නේ එය අවැසි නම් ඉදිරි සාකච්චාවකට ඉඩ තැබීම පිණිස හා දැනටමත් එය බොහෝ දුරට සාකච්චා වී ඇති නිසාවෙනි. මා දැනට දරන මතය අනුවනම් තමා විසින් හෝ අනෙකෙකු අනවා සත්ත්වයෙකු මසට මරා අහරට ගැනීම සිදු නොවන තාක් මාංෂ අහරට ගැනීම හා පළමු සිල් පදය අතර සම්බන්ධයක් ඇති නොවනා බවයි.

පළමු සිල් පදය රැකගෙන මාංශ අනුභවයට ඇති මග ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය අනුභව කිරීමද?

මාදකිනා හැටියට මෙය මුළුමනින්ම පටලවාගත් අදහසකි. එනම් බුදු හිමියන් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක් අනුදැන වදාලේ භික්ෂු භික්ෂුනී දෙපිරිසට මිස ගිහි ජීවිත ගෙවන උපාසක උපාසිකා පිරිසට නොවනා බැවිනි. ගිහියන් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක් සෙවීම ඇත්තෙන්ම නොකෙරෙන වෙදකමකට කෝඳුරු තෙල් සෙවීමකි.

එසේනම් ගිහියනට පළමු සිල් පදය නොබිඳ මාංශ අනුභවයට ඉඩක් නැතිද?

ඇත්තෙන්ම මෙය විවාද සම්පන්න තැනකි. එහෙත් තමා විසින්ම සත්ත්වයෙකු නොමරා හා ඇනවුම් කොට නොමරවා යමෙකු මාංශයක් මිලදී ගෙන අනුභවය මගින් පළමු සිල් පදය බිඳෙනවායැයි දැක්වීම පමන ඉක්මවා සිල් පද විග්‍රහ කිරීමක් සේ පෙනේ. මාංශය මිලදී ගැනීමෙන් කෙනෙකු ඍජුව ප්‍රාණ ගාතයකට යොමු නොවූවද ඉන් ප්‍රාණගාතයට අනුබලයක් ලැබෙන බවනම් පැහැදිලිය. මේ අනුබලයක් ලැබීම කියන කාරනය පවා ප්‍රණ ගාතයක් වන්නේ නැත. එහෙත් සියළු ස්තහට මෙත පරුරුවන උපාසකයෙකු හට මෙ අකාර අනුබල දීමක් පවා කිලුටකැයි පෙනීමේ වරදක්ද නැත. එසේ සත්ත්ව ඝාතනයකට අනුබල ලැබීමක් පවා තමා නිසා නොවනා බවට කෙනෙකුට සපත විය හැකිනම් එය සාමාන්‍ය පංච සීලය ඉක්මවා ඉදිරියට ගිය තත්වයක් ලෙස සැලකිය හැකිය. එය පින් කැමති ඇත්තෙකු විසින් රැඳීමෙහි යහපත් ප්‍රථි පදාවක් විය හැකිය.

උදාහරනයක් ලෙස පංච සීලය තුල මුසා වාදය දැක්වුනද වාචිකව සිදු විය හැකි අනෙකුත් අකුසල් නොදැක්වෙන්නාක් මෙනි. එනම් යමෙකු පන්සිල් සමාදන් වී සිටිමින් හෝ නොසිටිමින් පරුශා වාචා පිසුනා වාචා සම්ප්‍රප්ප්‍රලාපා සිදු කලහොත් ඉන එම පුදගලයාට අවැඩක්ම සිදු වන ලෙසිනි.

මෙතැනදි වඩා වැදගත් වන්නේ සීලය සමාදන් වීම හෝ නොවීම මත කුසල් අකුසල් තීරනය නොවන බව වටහා ගැනීම මෙන්ම සීලය සමාදන් වීම මගින් යම් කිසි හෝ අකුසල් දහම් වලින් වැලකී සිටීමේ ඉඩ හසර හා උත්තේජනයක් තමන් හට ලැබෙන බව වටහා ගැනීමයි.

එම නිසා සිල් පදයක් සමාදන් නොවූවද එදිනෙදා පරුසා වාචාවෙන් පිසුනා වාචාවෙන් වැලකී සිටින උන් මෙන් තමන්ගේත් අනුන්ගේත් යහපත පතනා කෙනෙකුන් හට තමා නිසා සත්ත්ව ඝාතනයකට අනුබල ලැබීම වැලැක්වීම පිණිස මාංශ මිලදී ගැනීමෙන් වැලකීම යහපත් ප්‍රතිපදාවක් ලෙස මා දකිමි.

නිර්මාංශ වීම නිවනට මග හෙලිකරන්නක්ද?

මෙය තවත් බරපතල විවාදාත්මක කරුනකි.

මා දකිනා හැටියට කෙනෙකු නිර්මාංශ වීම යනුම දැඩිව දෘශ්ටියක් වැලඳ ගැනීමකි. එනම් තමන් තුල යමකට එරෙහි මතවාදයක් පැල කරවා ගැනීමකි. මෙය ඇත්තෙන්ම කෙනෙකුගේ නිවහල් චින්තනයට බාධාවකි. තමන් මාංශ අනුභවය නොකරනවා මෙන්ම හැන්දක් ගෑවුනු අහරක් පිලිකෙව් කිරීම හා වැරදීමකින් කැවුනු බිත්තර මුසු අහරක් ගැන කම්පා වීම හා පිළිකුල ජනනය කිරීම වැනි හැසිරීම් ඍජුවම දෘශ්ටියක් කරපින්නගත් උන්ගේ හැසිරීම්ය. මෙය කුසලයකට හේතු නොවනා බවනම් ඉඳුරා පැහැදිලිය. මෙවන් වූ දැක්මකට පාදක වන්නේම සත්ත්‍යය නොදැකීමේ මෝහයත් සුගතිය කෙරෙහි වූ තෘශ්නාවත් නිසා මෙ ලොවට යහපත් ලෙස පෙනෙන පෙන්වන වෘතයම කෙනෙකුගේ පිරිහීමට හා සසර බැඳීමට හෙතු විය හැකියැ.

එම නිසාම පංච සීලය ඉක්මවා සුදන වත රැකීමට කැමැති උපාසකයෙකුහට පරුසා වාචා පිසුනා වාචාවෙන් වලකිනවා මෙන්ම සියළු සත්ත්ව ඝාතනයෙන් වැලකීමෙන් අනතුරුව (මදුරුවා, මීයා, කැරපොත්තා හා පත්තෑයා සිට ) මාංශ මිලදී ගැනීමෙන් වැලකීම මගින් අනුබල දීමෙන්ද වැලකිය හැකිය.

එහෙත් මා නිර්මාංශයෙක්මි යැයි ලේබලයක් ගසා ගැනීමෙන් දෘශ්ටියකට නතු නොවීමනම් සසර ගමන කෙටි කර ගැනීමට මග කෙටි කරාවි.

37 comments:

  1. හ්ම්, ඉතාම හොඳ ලිපියක්.
    මේ සති අන්තයේ මම මේ ගැන මගේ අදහස් ඉදිරිපත් කරන්නම්.

    ReplyDelete
  2. ස්තුතියි,
    ඇත්තෙන්ම මා ඔබගේ මේ පිළිබඳව දරන අදහස් බලාපොරොත්තු වූවා.

    ReplyDelete
  3. වැදගත් ලිපියක් වගේම හොද අදහස් කීපයක්..

    ReplyDelete
  4. අද දවසේ පංචසීලය
    පංච සීලය බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරන්නට ඇත. එහෙත් එය ඊනියා 'නිත්‍ය' ශීලයක් බවට පත් කිරීමට උන් වහන්සේගේ සම්බන්ධයක් නැත. මෙය මෑත කාලීන ප්‍රවණතාවයකි.
    ශීලය, එය 'නිත්‍ය' ද අනිත්‍ය ද යන්න නොසළකා, රකිනු කැමැත්තෝ රැකිය යුතුය - රකිනු නොකැමැත්තෝ සහ රැකිය නොහැක්කෝ නොරැකීම ගැටළුවක් කර ගත යුතු නැත. මෙය ගැටළුවක් කර ගන්නේ තකතීරුවෝ ය. තමා සීලයක් රකින්නේ නම් එය තමාටය - අනුන්ගේ සීලය ගැන සෙවීමෙන් තමාටත් අනුන්ටත් ලැබෙන යහපතක් නැත. අනුන්ගේ සීලය ගැන සොයා බැලීම කිසිම සීලයක කොටසක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ජෝසප්,
      ඔබගේ පිළිතුරු සියල්ල කියවීමි. ඇත්තෙන්ම මේ ගැන විවාද සම්පන්න තත්වයක් මතුවන්නේම මන්දැයි විටෙක සිතෙනවා.
      කෙසේ වෙතත් ඔබගේ පළමු පිළිතුර අනුව අද දවසේ පංචසීලයෙහි භාවිතය ගැන වෙනමම ලිපියක් සම්පාදනය කල හැකි බවක් පෙනෙනවා.
      එහෙත් එය පලක් නැති ක්‍රියාවක්. පංච සීලය ගැන බෞද්ධ සමාජයට වගකීමක් ඇතිනම් කල යුතු වන්නේ එය සමාජ කතිකාවතක් බවට පත් කිරීම මිස වෙනකක් නොවෙයි.

      එහෙත් යහපාලකයින්ගේ සුදුන වත රාජපක්ෂ වරුන්ගේ දුදන වත ආදී වශයෙන් රටේ ජන්මාධ්‍යයන්ට කතා කිරීමට කොතෙකුත් වැදගත් දෑ ඇති විට මේ පංචසීලයක් ගැන කථා කර මොනවා ලබන්නද?

      Delete
    2. පංචශීලය නිත්‍ය ශීලය කිරීමට බුදුරජාණන් වහන්සේගේ සම්බන්ධයක් ඇත්ද නැත්ද යන්න පිළිබඳව අදහසක් ප්‍රකාශ නොකරමි. එහෙත් උන් වහන්සේ කිසිවෙකුට පන්සිල් දුන් බවක් නම් අපට හමු වී නැත.

      හරිහැටි අවබෝධයෙන් තිසරණ ගිය උපාසකයෙක් විසින් අනායාසයෙන් පන්සිල් රැකෙන බවයි අපේ අදහස. මෙසේ සීලය රැකීම උපාසකයාගේ ලක්‍ෂණයක් ලෙසත් අවශ්‍යනම් සැළකිය හැකියි. විශේෂයෙන් සෝවාන් ඵලයට පත් ශ්‍රාවකයා විසින් සිල් පද නොකැඩෙන බවයි අප අසා ඇත්තේ.

      Delete
  5. පළමු සිල් පදය
    මෙය අප පෙර කී දෙයට සම්බන්ධයි. රැකීමේ බලාපොරොත්තුවක් නැතිව සිල් ගැනීමේ වැඩක් නැත. දැන් කෙරෙන්නේ බලෙන් සිල් දීමයි. දෙන නිසා ගන්නා දෙයක් බවට සීලය පත් වී ඇත්තේ මේ හේතුවෙනි. එහෙත් නිවැරදි වන්නේ සිල් ඉල්ලා ගැනීමයි. ඉල්ලා ගන්නේ අවශ්‍ය නිසාය. එවැන්නෙක් අදින්නාදානා වේරමණී... කියමින් මදුරුවා තලන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. බලෙන් සිල් දීම සම්ප්‍රදායක කොටසකි. ක්‍රිස්තියානින් කෑමට පෙර "හරි දෙයියනේ කන්න ලැබුණා තෑන්කයු" කියා ඔවුන් අදහන දෙවියන්ට යටහත් පහත් කම පෙන්වති. ඉස්ලාමය අදහන්නන් දවසට පස් වරක් තෙල් ළිං ඇති දෙසට නැමී අවනත භාවය ප්‍රකාශ කරති. අපත් යමක් කරන්නට පළමුව ශීලයක් සමාදන් වන්නේ ශීලයක් ඇතිව කරන දේ මහත්ඵල වන්නේය යන ඇදහිල්ල නිසාය. පන්සිල් ගැනීමට පෙර තිසරණය යන්නේ ශිලයට අමතරව සම්මා දෘෂ්ඨිය ඇති කරගෙන ශ්‍රද්ධාව වඩා ගැනීමටත් ය.

      මෙසේ හෙයින් දෙන නිසා වුව ගැනීමේ වරදක් නොදකිමි. රැකීමේ බලාපොරොත්තුවක් නැතිව සිල් ගැනීමේ වැඩක් නැත'ය කීම සත්‍යය ම නොවේ. කැඩීමේ බලාපොරොත්තු ඇතිවම සිල් ගැනීමේ වැඩක් නැත'ය කීවා නම් එකඟ විය හැක.

      Delete
    2. බලෙන් සිල් දීම සම්ප්‍රදායක කොටසක් බව ඇත්තකි. එහෙත් ඉන් ප්‍රයෝජනයක් නැති බවයි මා කියුවේ. එහෙත් මේ ගැන වඩා වැඩි විස්තරයකට ඉඩ ඇති බව ඔබේ පිළිතුර අනුව පෙනේ. කරුණාකර ඔබේ අදහස ඉදිරිපත් කරන්න.

      Delete
  6. මස් කෑමෙන් පළමු සිල් පදය බිඳෙනවාද?
    මේ ගැන කතා කිරීම පලක් නැත. මස් කෑමෙන් පළමු සිල් පදය බිඳෙනවා නම් ඇඳේ නිදා ගැනීමෙන් තෙවන සිල් පදයත් බිඳී යා හැක.

    ReplyDelete
    Replies
    1. මේ දෙක එතරම් ගැලපෙන්නේ නැත. සුදුසු උපමාවක් / සංසන්දනයක් නොවේ.

      Delete
  7. පළමු සිල් පදය රැකගෙන මාංශ අනුභවයට ඇති මග ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය අනුභව කිරීමද?
    පෙර පිළිතුර අනුව මේ ප්‍රශ්නයේ මුල් කොටස වැරදි බැවින් දෙවන කොටස වලංගු නැත.

    ReplyDelete
    Replies
    1. පළමු සිල් පදය රැකගෙන මාංශ අනුභවයට ඇති මග "මාංශ අනුභවය" වේ. ත්‍රිකෝටි පාරිශුද්ධ වේවා නොවේවා මාශ අනුභවය හේතුවෙන් පළමු සිල් පදයට හානියක් වන්නේ නැත.

      Delete
    2. පළමු සිල් පදය රැකගෙන මාංශ අනුභවයට ඇති මග මාංශ අනුභවය වේ.
      එල !

      Delete
    3. ඔව් මේක තමයි හරිම පිළිතුර.

      Delete
  8. එසේනම් ගිහියනට පළමු සිල් පදය නොබිඳ මාංශ අනුභවයට ඉඩක් නැතිද?
    සිල් පද ගැන වෙහෙසීම මෝඩයින්ට තබා ගිහියන් කැමති නම් කැමති තරම් මාංශ අනුභව කළ යුතුය. කැමති නැතිනම් ඉතිං නොකා සිටියාට කමක් නැත.

    ReplyDelete
    Replies
    1. මම මස් මාංශ අනුභව කරන්නෙක්. මාංශ අනුභවයෙන් පළමු සිල් පදය නොකැඩෙන බව මගේද අදහසයි. එහෙත්, මාංශ මිලදී ගැනීම අකුසලයක් (පළමු සිල් පදය නොවුණත් ) නොවේද? මස් මාංශ වෙළඳාම සම්මා ආජීව යටතේ වැරදි දිවි පැවතුමක් වන බැවින් මෙය සංවාදයට ගත යුත්තක් බවයි මගේ හැඟීම.

      Delete
    2. මිතුර,
      මෙය ඔබගේ පළමු ප්‍රතිචාරය යැයි සළකා පළමුව ඔබ දෙතිස් කතාවට සාදරයෙන් පිළිගනිමු.
      දෙවනුව, ඔබේ ප්‍රතිචාරය පිළිබඳ අපේ අදහස දක්වමු.

      "මාංශ මිලදී ගැනීම අකුසලයක් නොවේදැ"යි ඔබ අසයි. මෙය අකුශලයක් බව අපටනම් කිසි තැනක හමු වී නැත. එසේ කියවෙන තැනක් ඔබට හමු වී ඇත්නම් අපට ඒ ගැන පවසන්න.

      "මස් මාංශ වෙළඳාම සම්මා ආජීව යටතේ වැරදි දිවි පැවතුමක්" බව ඔබ කියයි. මෙයත් අපට නවමු අදහසකි. මස් පිණිස සතුන් වෙළෙඳාම නම් මිච්ඡා ආජිවයකි. එහෙත් සුරතලයට හෝ වැඩ පිණිස හෝ සතුන් වෙළෙඳාම මිච්ඡා ආජිවයක් බව නොකියැවේ. මස් පිණිස සතුන් වෙළෙඳාම සේම වස-විස වෙළෙඳාමත් අවි වෙළෙඳාමත් මිච්ඡා ආජිව කෙසේ වෙතත් නොකළ යුතු වෙළෙඳාම් පසට අයත් බව දේශනාවේ සඳහන්ය.

      Delete
    3. ඇනෝනීමස් මිතුර,
      පලමුව ප්‍රථිචාරදැක්වීමට ඉදිරිපත් වීම ගැන ඔබට තුති.
      ඔබගේ අදහසෙහි යම් කරුනු ගැන මා එක හෙලා එකඟ වෙමි එනම්,
      සත්ත්ව මාංශ මිලදී ගැනීම යනු යම්කිසි ආකාරයක අකුසල ධර්මයක් ය යනුයි. අප මිතුරු කනිෂ්ක විමසන අයුරින් මෙය යම් කිසි තැනෙක සඳහන් වනවාද යන කාරනයට මාද පිළිතුර නොදන්නෙමි. එහෙත් මෙය බුද්ධිමත් විග්‍රහයකින් වටහාගත යුතු දෙයකියි සිතමි. කෙසේ වෙතත් මිලදී ගැනීම මස් පිණිස සතුන් මැරීමට අනුබලයකි යන්න ප්‍රතික්ශෙප කල නොහැකි සත්‍යයකි. එමනිසා එවන් අනුබල දීමකින් හෝ වැලකී සිටීමට යමෙකු තීරණය කිරීමනම් සුදන පැවැත්මක් ලෙස මා පිළිගනිමි. කෙසේ වෙතත් මාංශ මිලදී ගැනීමෙන් ප්‍රාණඝාත අකුසලයක් වන්නේනම් නැත.

      කණිෂ්ක මිතුර,
      මා අසා ඇති පරිදි නොකළ යුතු වෙළඳාම පහට අයත් වන්නේ
      මස් පිණිස සතුන් වෙළඳාම,
      සත්ත්ව ඝාතක වසවිස වෙළඳාම,
      ඝාතක අවි අයුධ වෙළඳාම,
      වහල් වෙළඳාම,

      සහ තවත් එක් කරුනකුත්ය, මෙහි පස් වෙනි අංගය මට අමතක වුවද, මට මතක හැටියට මාංශ වෙළඳාම මෙයට අයත් නැත. ඔබ ඒ ගැන දැනුවත් නම් කරුනා කර මේ අංග පස දක්වන්න.

      Delete
    4. මස් කෑම පවක් නොවේ.
      එසේම මස් මිලදී ගැනීමත් පවක් හෝ අකුසලයක් හෝ නොවේ.
      ---
      i. මස් පිණිස සතුන් වෙළඳාම,
      ii. විස වෙළඳාම,
      iii. අවි වෙළඳාම,
      iv. වහල් වෙළඳාම, සහ
      v. මත්ද්‍රව්‍ය වෙළඳාම නොකළ යුතු වෙළඳාම් වේ.
      ---
      'මිලදී ගැනීම මස් පිණිස සතුන් මැරීමට අනුබලයකි' යන්න උඩ බොහෝ දෙනා තර්ක ගොඩ නගතත් මෙහි ඇති වලංගු බවක් නැත. සතුන් මරණයට අනුබල දීම යනු "ගහපිය මරපිය ඔලුවට කොටපිය !" කියමින් නොමැරුණු සතෙක් මැරීම පිණිස අනුබල දීම මිස මේ වන විටත් මැරී ඇති සතෙකුගේ මස මිලදී ගැනීම නොවේ.

      Delete
    5. කණිෂ්ක, සිතුවිළි සි සහ Joseph,

      පළමුව, මාගේ පැණයට දැක්වු ප්‍රතිචාර ගැන බොහොම ස්තුතියි.
      මා බුදු දහම එතරම් දුරට හදාරා නැති මුත් මස් මාංශ වෙළඳාම මිච්ඡා ආජිවයක් ලෙස අසා ඇත්තෙමි. පහත විකිපීඩියා පිටුවෙහිද එසේ සඳහන් වේ (මාංස වණිජ්ජා). මෙය ද වැරදීමක් විය හැක.
      http://si.wikipedia.org/wiki/සම්මා_ආජීව

      ඒ කෙසේ වුවත්, මිනිසුන් අතින් සිදුවන වෙනත් අකුසල් දෙස බැලීමේදී මාංශ මිලදී ගැනීම සුළු දෙයක් විය හැක. එහෙත් එය සුළු හෝ අකුසලයක් නොවේ යැයි කිව හැකිද? එය අකුසලයක් නම්, නැවත නැවත සිය දහස් වරක් එක ජීවිත කාලයක් තුල සිදු කරන බැවින් එහි විපාක කෙසේ විය හැකිද?

      ඔබගේ අදහස් ඉහලින් අගය කරමි!

      Delete
    6. මස් කාපියව් කියා මිනිසුන් පොළඹවන ව්‍යපෘති නැත (වෙළඳ දැන්වීම් නම් ඇත). එහෙත් මස් නොකාපියව් කියා බල කෙරෙන උද්ගෝෂණය කෙරෙන පහර දෙන ව්‍යපෘති ඇත. ඒවා කරවන අය වැටුප්/දීමනා ලබති. මේ අය විසින් ලියවුනු පොත්-පත් ලිපි-ලේඛන ඇත. ඔබ මේවාට අසු වී ඇති බව පෙනේ.

      ඔබ එවා ඇති විකිපීඩියා පිටුවට අනුව වහල් වෙළඳාම ඉතාම සුදුසු සම්මා ආජිවයක් දැයි විමසීමට හැක. මස් පිණිස සතුන් වෙළඳාමත් ඇතුල් කර වහල් වෙළඳාම හලා ඒ වෙනුවට මස් වෙළඳාම කියා දෙයක් අතින් දමා මෙය ලියා ඇත්තේ මස් නොකන හාමුදුරු කෙනෙකුගේ ගෝලයෙක් වන මෑන් පවර් ඒජන්සි කාරයෙක් හෝ සවුදියට ගෑණු පටවන පොරක් හෝ විය හැක.

      කෙසේ වුව, මේ ගැන කිව හැක්කේ එය තම තමා විසින් කර ගන්නා දෙයක් බවයි. ඔබ මස් මිලදී ගන්නේ සතෙක් පෙන්නා ඌ මරා දෙන ලෙස ඉල්ලීමෙන් නම් ඔබට අනිවාර්‍ය ප්‍රාණඝාත අකුශලය සිදු වේ. එහෙත් මේ වන විටත් මරා ඇති සතෙකුගේ මස් මිලදී ගැනීමෙන් එසේ නොවේ. ඔබ මරා ඇති සතෙකුගේ මස් මිලදී ගන්නේ රස නහර පිනවීම හෝ ගුණය සළකා හෝ නම් කඩෙන් ඇපල් ගෙඩියක් ගැනීමට වඩා වෙනසක් එහි නැත. එහෙත් ඔබ මස් මිලදී ගන්නේ "අපෝ මට ඌරව නම් පෙන්නන්න බෑ මහ ජරා සතෙක් මම මස් කෑවම මස් කඩ කාරයට තව ඌරෙක් මරන්න වෙනවා එතකොට මම හෙටත් ඇවිත් මස් ගන්නවා" යන අරමුණින් නම් දෙවන සතා මැරූ විට ඔබට පවක් සිදු වීමේ ඉඩකඩ පවතී. ඒ සතාගේ මස් මිලදී ගන්නා විට නම් පවක් සිදු වේය කියා සිතමි. මක් නිසාද කලින් දින එසේ සිතාගෙන දෙවන දවසේ පැමිණ මිලදීගත් නිසාය. එහෙත් එතැනදී සතා මැරීමට ඔබ උපස්ථම්භක වූවා නොවේ. එනිසා ප්‍රාණඝාතය නම් ඔබට සිදු වේය කියා නොසිතමි. ඔබ ආවත් නොආවත් මස් කඩ කාරයා සතා මරණ බැවිණි.

      "නැවත නැවත සිය දහස් වරක් එක ජීවිත කාලයක් තුල සිදු කරන බැවින් ..." ය යන්න කදිම නිරීක්ෂණයක්. ඔබ මසකට කී වරක් මස් මිලදී ගන්නවාද? සතියකට වරක් මස් මීලදී ගත්තත් සිය වරක් ගැනීමට වසර දෙකක් ගත වේ. නිහාල් නෙල්සන් මහතාගේ ගීතයට අනුව;
      "කෙනෙක් තිස් පස් වසරක් කෑවොත් ගවමස් උයලා - බලනු 365 වැඩිකර 35 යොදලා...
      ගණන 12,775 වෙලා - ඔබට තේරුනාද ඔබ කළ පව් දුරදිග නොබලා"

      මෙසේ දිනපතා මස් මිලදීගෙන කන කෙනෙක් සම්බන්ධයෙන් නම් ඔබ කියන කරුණ සත්‍ය විය හැක. දිනපතා මස් මිලදී ගෙන කන්නේ ඇබ්බැහිය නිසාය. එවැනි විටෙක මරවාගෙන කෑමත් ඇනවුම් කර තැබීමත් (ඒ හේතුවෙන් ඔහු අරමුණු කර සතෙක් මැරීමට තමා ගැන දන්නා හඳුනන මස් මරන්නාට සිදු වේ) සාමාන්‍ය වේ. සතුන් මරණ දෙස බලාගෙන සිටීමටත් සමහර විට සිදු වේ. මේවා ප්‍රාණ ඝාතයට සම්මාදම් වීම්ය.

      අපේ පලාත් වල කතෝලිකයන් බහුල බැවින් මරාගෙන කෑම සාමාන්‍ය දෙයකි. ඌරන් ඇති කරන නිවසක නත්තල උදෙසා ඌ මරණ බව දැන දැනම රාත්‍රී සාදයට පැමිණෙන කෙනෙකුට ඌරාගේ මරණයේ පාපයෙන් ගැලවීමක් තිබේ යැයි සිතිය නොහැක. මේවා විශේෂ අවස්ථා වේ. විශේෂ අවස්ථා කරන කොටගෙන මස් කෑම පාපයක්ය යන ප්‍රකාශය සකසා එය සාමාන්‍යකරණය කිරීම ගොන් කමකි.

      Delete
    7. ඇනොනිමස් මිතුර,
      ඔබට ජෝසප් ගෙන් ලැබී ඇති පිළිතුර ඉතාමත් හරවත් හා පැහැදිලි එකකි. එහි මට තව දිරටත් පැහැදිලි කිරීමට දෙයක් නැත.
      කෙසේ වෙතත් මාංශ මිලදී ගැනීම නිසා යම් ආකාරයක අකුසලයක් සිදු වන බැව් මා විසින් ප්‍රකාශ කල නිසා පැහැදිලි කිරීමක් කල යුතුය. එනම් යමෙකු මාංශ මිලදී ගැනීමෙන් යම් කිසි අකුසලයක් වේද ඉන් මෙහායින් පුද්ගලයෙකු විසින් (නිවන් පතන ) වැලකිය යුතු අකුසල් කර්ම අති බහුතරයක් තිබේ.
      ඔබ සියළු සතුනට මෙත පැතිරවිය හැකි මට්ටමේ සිටින්නෙක්ද? සියලු රාග ද්වේශ මෝහ චේතනා හල කෙනෙකුන්ද? එසේ නොමැතිනම් මෙය නිස්කාරන වෙහෙසකි. ඉන් මෙහා කල යුතු තවත් බොහෝ දේ වේ!
      සියළු ප්‍රාණ ඝාතයෙන් "හැකි උපරිමයෙන්" වලකින්න. පළමුව එය සාක්ශාත් කරගැනීම ඉතාමත් යහපත්.

      Delete
    8. Joseph,

      ඔබගේ පැහැදිලි කිරීමට බොහොම පින්. මාංශ මිලදී ගැනීමෙන් ප්‍රාණ ඝාතයක් සිදු නොවන බව දැන සිටියත් අකුසලයක් සිදු වීම හෝ නොවීම මිලදී ගැනීමේ අරමුණ මත රඳා පවතින බව නොසැලකුවෙමි. පහදා දීම ගැන ස්තුතියි.

      Delete
    9. මිතුර ජොසෙෆ්, ඔබේ දිගු පිළිතුර කියැවීමි. පැහැදිළිවම විකිපිඩියා ලිපිය වැරදිය. නොකළ යුතු වෙළෙඳාම්හි සතුන්, අවි හා විෂ යන තුනම ප්‍රාණ ඝාතය හා සම්බන්ධ වේ. මේ වෙළෙඳාම් ජයටම කරන රටවල් ඔබට සිහි වේය කියා සිතමි. මනුෂ්‍ය වෙළෙඳාම / වහල් වෙළෙඳාම මානව හිමිකම් සම්බන්ධයෙන් වේ. අපට මානව හිමිකම් පිළිබඳ ඇබෑසි දීමට වලිකන රටවල් ඒ වෙළෙඳාමේ පුරෝගාමීන්ය. මත පිළිබඳව කතා නොකරමි - මෙහි වාර්තා සියල්ල අප සතු බව අදහමි.

      Delete
    10. නිහාල් නෙල්සන්ගේ බයිලාව සිහි කිරීම ගැන ස්තුතිය පුද කරමි. අප එකල ඉතාම ආශාවෙන් ඇසූ ගීයක් අපට වරින් වර වද දෙයි. කොතරම් සිහි කළත් ගීය මතකයට නොඑයි. අපට මතක පද දෙපෙළ:
      "...
      පරඬැල් කොළ උලා කකා කුස පුරවන්නම්
      මසට නොදෙන්නට ඔය පිට පතුල ඉම්බින්නම්..."

      ආදී අයුරින් වෙයි. මෙය ගවයාගේ දෘෂ්ඨි කෝණයෙන් ගැයෙන ගීයකි. එය අසා ඇති කෙනෙක් එම ගීයට බැඳියක් සපයන්නේ නම් කෘතඥතාවය වේ.

      Delete
    11. සම්මාදම් වීම් පිළිබඳව දෙයක් කිව යුතුය.
      පවට සම්මාදම් වීම සහ පව අනුමෝදනා වීම දෙකකි. සම්මාදම් වීමට ඔබ එම කාර්‍යය කිරීමට පෙර හෝ එම අවස්ථාවේ හෝ සිටිය යුතුය. අනුමෝදන් වන්නේ කාර්‍යය කිරීමෙන් අනතුරුවය. පින අනුමෝදන් වීය හැකි මුත් පව අනුමෝදන් වීය නොහැකි බව කෙනෙක් මෙහිදී කිව හැක.
      අපට මේ පිළිබඳ ස්ථිර අදහසක් නැත. එහෙත් වැඩිදුර විමසිය යුතු තැනෙකි.

      Delete
  9. නිර්මාංශ වීම නිවනට මග හෙලිකරන්නක්ද?
    මෙයට පිළිතුරු දීමට වඩා නිර්මාංශ නිඝන්ඨයින් ගියේ කොහේදැයි විමසා බැලීම වටී. ඒ අය නිවන් ගියා නම් නිවන් ගියේ රෑ පානේ එළි-පහලියට යන විට පත්තු කරගෙන යන පන්දම් ය. ඒ නිසා මේ ගැන කතා කිරීමට දෙයක් නැත.

    ReplyDelete
    Replies
    1. නිර්මාශ වීම නිවනට මග හෙළි කරන්නේ නැත. එහෙත් මසට ගිජු වීම නිවනින් ඔබ දුරස් කිරීමට සමත්ය. සුතසෝම ජාතකය සළකන්න.

      Delete
  10. දවසට ගැලපන ලිපියක්....... අගෙයි

    ReplyDelete
    Replies
    1. එසේමය. ලිපිය සැපයූ සිතුවිළි අප මිතුරාට මේ ප්‍රසංශාව වේ.

      Delete
  11. "නිර්මාංශ වීම නිවනට මග හෙලිකරන්නක්ද?
    මෙයට පිළිතුරු දීමට වඩා නිර්මාංශ නිඝන්ඨයින් ගියේ කොහේදැයි විමසා බැලීම වටී. ඒ අය නිවන් ගියා නම් නිවන් ගියේ රෑ පානේ එළි-පහලියට යන විට පත්තු කරගෙන යන පන්දම් ය. ඒ නිසා මේ ගැන කතා කිරීමට දෙයක් නැත."

    මිතුර, නිර්මාංශ වීම පමනක්ද, නිර්මාංශ නොවීමෙන් නිවනට මග පැදේද?
    අංගුලිමාල තෙරුන් දෙස බලන්න, ප්‍රාණ ඝාතයද නිවනට අනුබල නොදීමක් නොවේ, එත් එය සිල් පදයක්, නිර්මාංශ වීම හෝ නොවීම එක් එක් පුද්ගලයගේ රුචිකත්වය බව මාගේ හැගීමයි. කොහිල නොකන අය, කැකුලු හාල් නොකන අය, පලා වර්ග නොකන අය, කැරට් කන අය, ඔවුන්ගේ නිවන් මග ගැනත් සාකච්චා කල යුතු නොවෙද? මස් මාංශ අනුභව කරන අය බොහෝ දුරට නිර්මාංශව සිටිම ආගමික මුහුනුවරකින් දකියි. කොහිල කන අය කොහිල නොකන අයට නිවන් දකින්නට ලේසිද ඇහුවොත්?
    "එහෙත් මා නිර්මාංශයෙක්මි යැයි ලේබලයක් ගසා ගැනීමෙන් දෘශ්ටියකට නතු නොවීමනම් සසර ගමන කෙටි කර ගැනීමට මග කෙටි කරාවි."
    නිර්මාංශ විම පිලිබද විවාද කිරිමෙන් ඔබ අලවා ගන්නේ "මා නිර්මාංශ නොවෙය" යන ලේබලය නොවෙද?

    අදහසක් පමණයි, සාකච්චාව දෙස බලා සිටිමි..

    ReplyDelete
    Replies
    1. නිර්නාමිකව පැමිණි මිතුර ඔබ සාකච්චාවට අගයක් එකතු කරන පැනයක් නැගීම ගැන පළමුව තුති පුදමි.
      නිර්මාංශ නොවීමෙන් නිවනට මග පෑදේද? යන ඔබගේ පැනයට එක එල්ලේම දිය යුතු පිළිතුර නිර්මාංශ නොවීම නිවනට මග නොවනා බවයි. එහෙත් ඒ ගැන මෙසේ කියන්නම්.
      නිර්මාංශ වීම හා / හෝ නොවීම යන කිසිදු කරුනක් නිවනට මග නොවෙයි. අප මෙහි දිගින් දිගටම සාකච්චාවෙහි යෙදුනේ මේ ගැනයි. කොටින්ම පුදගලයෙකුගේ ආහාර පුරුදු හෝ ආහාර සංස්කෘතිය නිවන් මග හා සම්බන්ධයක් නොමැති බවයි.
      ඔබ මතුකර ඇති ආකාරයෙන් කොහිල කෑම හෝ නොකෑමත් එවැනිම දෙයක් පමණකි. මස් නොකා හොදි කෑමත් හොදිත් නොකා බිත්තර කෑමත් බිත්තරය මුසු වූ අහරක් නොදැනුවත්ව කැවීම නිසා අපුලින් දැඟලීමත්, කරවිල නොකෑමත්, කැකිරි නොකෑමත් මෙවැනිම වූ කාරනා පමණයි.
      "නිර්මාංශ වීම පිළිබඳව විවාද කිරීමෙන් ඔබ අලවාගත්තේ මා නිර්මාංශ නොවේය යන ලේබලය නොවේද" යන ඔබගේ පැණය හමුවේ කිව යුත්තේ,
      නිර්මාංශයෙකු ලෙස ලේබලයක් ගසා නොගැනීම යන කාරනය ඔබට දැකිය හැක්කේ නිර්මාංශ නොවීම යන ලේබලයක් ගසා ගැනීම ලෙසින් පමණක් ම නම්, ඔබගේ ප්‍රශ්ණය නිවැරදි බවයි.
      එහෙත් අප ඉහත සාකච්චා කළ කරුනු තුල ඔබගේ පැනයට සාධාරන ඉඩක් නොමැති බව වටහාගන්න.

      Delete
    2. මිතුර,

      නිර්මාංශ වීම නිවනට මග හෙලිකරන්නක්ද? යන්න මිතුරු සිතුවිළිගේ ලිපියේ මාතෘකාවකි. ඔබ උපුටා දක්වා ඇත්තේ මිතුරු ජොසේෆ් ඊට කළ විවේචනයයි. එය නිශේධාත්මක වන නිසා ඔහු නැවත මේ ගැන පිළිතුරු දේ ය කියා සිතිය නොහැක. අප තිදෙනාම මේ ගැන දරන අදහස නිර්මාංශ වීම හෝ නොවීම නිවන් මග හා සෘජු සම්බන්ධයක් නොදක්වන බවයි.

      එසේද වුවත්, සිතුවිළි හා අප අතර මේ පිළිබඳ තරමක වෙනස් අදහස් තිබේ.

      සිතුවිළිගේ අදහස 'මා නිර්මාංශයෙක්මි'යැයි ලේබලයක් ගසා ගැනීම 'දෘශ්ටියකට නතු වීම' ක් කොට දක්වා එය නිවන් මග කෙරේ පලිබෝධකයක් කොට දැක්වීමයි. "නිර්මාශ වීම නිවනට මග හෙළි කරන්නේ නැත. එහෙත් මසට ගිජු වීම නිවනින් ඔබ දුරස් කිරීමට සමත්ය." යනු මේ පිළිබඳව අපගේ අදහසයි. සුතසෝම ජාතකය (පෝරිසාදයා ගැන කතාව) උදාහරණ කොට දුන්මි. තව උදාහරණ දිය හැක.
      ---------

      නිර්මාංශ විම පිලිබද විවාද කිරිමෙන් ඔබ අලවා ගන්නේ "මා නිර්මාංශ නොවෙය" යන ලේබලය නොවෙද?
      මෙය පිළිතුරු නොදිය යුතු ප්‍රශ්නයකි. මිතුරු ජොසෙෆ් විසින් ලියන ලද පහත කොටස ඔබට දක්වමි.
      "මස් කාපියව් කියා මිනිසුන් පොළඹවන ව්‍යපෘති නැත (වෙළඳ දැන්වීම් නම් ඇත). එහෙත් මස් නොකාපියව් කියා බල කෙරෙන උද්ගෝෂණය කෙරෙන පහර දෙන ව්‍යපෘති ඇත. ඒවා කරවන අය වැටුප්/දීමනා ලබති. මේ අය විසින් ලියවුනු පොත්-පත් ලිපි-ලේඛන ඇත."
      මාංශ භක්ෂණය පිළිබඳ මේ විවාදය මාංශ භක්ෂකයින් විසින් හෝ භක්ෂණයට ලක් වන සතුන් විසින් හෝ අරඹන ලද්දක් හෝ නොවේ. අනුන්ගේ මාංශ භක්ෂණය ඉවසිය නොහැකි නිර්මාංශික බ්‍රාහ්මණ කුලය විසින් ආරම්භ කර පවත්වාගෙන යන කර්තව්‍යයකි.

      Delete
  12. මිතුර, මට මාංශ භ්ක්ශනය කරන්නෙකු පිලිකුල් කිරීමට හෝ මාංශ භක්ශනය නොකරනෙකු උසස් යැයි සැල්කීමට් හෙතුවක් නොපෙනේ. මේ කාර්ණා දෙක් නිවන් හා පටලවා ගැන්මට් හෙතුවක්ද නොපෙනෙ.
    ..පාසල් සෞඛ්‍ය පොතක පෝශ්ණය සදහා මාන්ශ සදහා මාංශ අනුබවය ගැන කීමත් බටහිර වෙද්‍යවරු ඒ ගැන කියන කිමත, නිර්මාංශික බ්‍රාහ්මණිකයන්ට වඩා සන්විදානාත්මක පඩිලබන ඉට්ත් පලමුව පටන්ගත්තක් නොවෙද?

    ReplyDelete
    Replies
    1. පාසැල් සෞඛ්‍ය පොතේ පෝෂණය උදෙසා මාංශ අනුභවය ගැන කියන්නේ මිනිසුන් මාංශ අනුභවය කරන නිසයි. හොඳයි ඒ සෞඛ්‍ය පොත් වල කැරපොත්තන් හූනන් ඔරන් ඔටන් සතුන් මරාගෙන කෑ යුතු බව කියන්නේ නෑ නොවේද? එසේ නොකියන්නේ මිනිසුන් ඒ මස් නොකන නිසයි. උන්වත් කන රටක නම් උනුත් කෑ යුතු බව කියනු වීය හැකියි.

      දැන්...
      බටහිර වෛද්‍යවරුන් කියන නිසා මිනිසුන් මස් කන බවද ඔබ කියන්නේ? නැත. මිනිසුන් මස් කන නිසා බටහිර වෛද්‍ය වරුන් විසින් මස් කෑම ගැන කියවෙත්. ඔබ ගොඩ නැගීමට උත්සාහ කරන තර්කය සත්‍ය වන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව ඇති වීමට පෙර සියලු දෙනා නිර්මාංශ වූ සමාජයක් පිළිබඳව පමණි. ඉන්දියාවේවත් ලංකාවේවත් කිසිදා එවැනි සමාජ ක්‍රමයක් නොතිබිණි.

      ඔබ අග්ගඥ සූත්‍රය බුද්ධියෙන් කියවා ඇත්නම්, එහි උපුටා දැක්වෙන බ්‍රාහ්මණ කතාවක් වන "ලෝකෝත්පත්තිචරියා වංශකතාව" ගැන දන්නවා ඇතැයි සිතමි. ඒ කතාවේ නම් සියල්ලන් නිර්මාංශ වන සමාජයක් පිළිබඳ කියැවේ. නිර්මාංශ බ්‍රාහ්මණයින් අදත් ඉන්දියාවේ සිටින්නේ එවැනි කතා නිසාය.

      සංවිධානාත්මක පඩි ලැබීම ගැනත් යමක් කිව යුතුය. මස් කෑමට යෝජනා කරන වෛද්‍යවරු සිටිත්; ඊට එරෙහි වන වෛද්‍ය වරුත් සිටිත්. එහෙත් මස් කෑමට යෝජනා කරන වෛද්‍යවරුන්ට මස් කෑමට රෝගීන්ට නිර්දේශ කිරීම පිණිස දීමනාවක් ගෙවන්නේ නැත. ඒ නිසා මෙය හිස් තර්කයකි. (වෛද්‍ය වරු වෙනත් නිත්‍යානුකුල සහ එසේ නොවන ක්‍රම වලින් මුදල් සෙවීම වෙනම කතාවකි)

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !