Sunday, October 26, 2014

නලින්ගේ බුදුදහම

ජාතික ගැටළුව හමුවේ සත්පුරුෂයා සතු වගකීම.. යනු ජාතික නිදහස් පෙරමුණ නම් දේශපාලන පක්‍ෂයේ ප්‍රචාරක යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කරන ලංකා සයිබර් නිවුස් නම් වෙබ් අඩවියේ පසුගිය පොහොය දිනය වෙනුවෙන් පල වූ ලිපියක මාතෘකාවකි. ඒ ලිපිය ලියා ඇත්තේ ගරුතර වැල්ලවායේ සුමනබෝධි නම් ස්වාමින් වහන්සේ නමක විසිනි. දහස් ගණනක් විසින් බැලෙන, දුසිම් ගණනක් විසින් සිය ගණනක් ප්‍රතිචාර දැමෙන ඒ වෙබ් අඩවියේ Business Case නම යොදා ගන්නා පාඨකයෙකු විසින් පහත ප්‍රතිචාරය දක්වන්නට යෙදිණි.
Business Case says:

October 18, 2014 at 6:19 pm

හාල්මැස්සා

නියමසින් හ​

අපේ නලින් ඇදුරුතුමන් ගේ විදුසර වෙබ් අඩවියේ අපේ ප්‍රවාද යටතේ සුටුස් ගා බා ගත හැකි ලියවිලි
මා නම්
සලකනු ලබන්නේ,
බුදුගොස් තෙරුන් වැනි උතුමන් කල පරිදි,

දහමේ තමන් වටහා ගත් අරුතට කරන ලද
අටුවාවක් ලෙසයි.

නලින් ඇදුරුතුමන් එහි සඳහන් කල
”ත්‍රිපිටකයේ චතුරාර්‍ය සත්‍ය මිස, ‘සම්මුති සත්‍ ය’ (සම්මුති නොවේ) හෝ ‘පරමාර්ථ සත්‍ය’ (ප්‍රමාර්ත නොවේ) යන යෙදුම් නොමැති බව”

මා උපුටා දැක් වූ පමනින්,
මා ‘නලින්වාදියෙක්’ නොම වේ!
මීට පිළිතුරු බඳින වෙනත් පාඨකයෙකු විසින් පහත ප්‍රතිචාරය දක්වන්නට යෙදිණි.
හාල්මැස්සා says:

October 18, 2014 at 10:26 pm

එක එක්කෙනාට ඔන විධයට බුද්ද දේශනා වෙනස් කරන්න බැහැ. රහතන් වහන්සේ කෙනෙකුටවත් එහෙම කරන්න බැහැ කොටින්ම නාථ දෙවියන්ටවත් බැහැ. නලීන් වාදීන් පිලි ගත්තට බෞද්දයො එහෙම පිලි ගන්න සූදාම් නැහැ.
ඒ අරභයා ඇති වූ සංවාදයට අපත් සහභාගී වූ බැවින් එය මෙසේ පල කරමු.



නලින්, නලින් ගේ බුදුදහම හා X කණ්ඩායමේ මතවාද

කරන් අර්ජුන් says:

October 19, 2014 at 10:21 pm

අද අන්තර්ජාලයේ සෙවීමක් කර බැලුවොත් ඉතාම සාහසික නිර්දය වාග්-ප්‍රහාර වලට ලක් වන ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල ආචාර්ය වරයා නලින් ය. ඔහු තරම් ජනමාධ්‍යයේ අවිචාරවත් (නො)සැළකිල්ලට ලක් වූ, ප්‍රසිද්ධ මාධ්‍ය වල අපහාසයට ලක් වූ වෙනත් ආචාර්ය වරයෙක් නැත. බොහෝ දෙනාට ඔහු කියන දේ තේරුම් ගැනීමට අවශ්‍ය පසුබිම් දැනුම නොමැති වීම ආචාර්ය නලින් ගේ වරදක් නොවේ. එකල X කණ්ඩායම සහ පශ්චාත් නූතනවාදී මහත්වරු කියන දේ අපට නොතේරීම අපේ වරදක් නොවන්නාක් මෙනි. දොරමඬලාවේ හසන්ත මහතාත් දෙරණ 360 දිල්කි මහත්මියත් තමා වෙත එල්ල වූ කැමරා ඉදිරියේම හුන් අසුනේම ජරා කර ගන්නේත් ඒ වැඩසටහන් ඉදිරිපත් කළ නිෂ්පාදක වරු ඇතුල් කාමර වල සිටම මහජනයා ඉදිරියේ නිරුවත් වන්නේත් මෙකී පසුබිම් දැනුම නොමැති වූ නිසාය. source: http://katha32.blogspot.com/2014/10/nalin-de-silva.html

නලින්වාදීන් කියා කොටසක් සිටීදැයි නොදනිමි. එහෙත් ආචාර්ය නලින් ද සිල්වා මෙවැනි තුට්ටු දෙකේ වෙබ් කඩමාලු වලට උත්තර දීමට නොපැමිණෙන බව ස්ථිරය. එබැවින් කිව යුතු දෙයක් තිබේ.

නලින් කියන දේ බොහෝ දෙනාට නොතේරේ. ඔහුගේ වාංමාලාව වෙනස් ය. ඔහු ලියන දේ එය ලිවිය යුතු නිවැරදිම අයුරින් ලියයි. නිවැරදි ම වචනය තෝරා ගනී. එවැන්නක් නැතහොත් තනා ගනී. බොහෝ දෙනාට මේ හැකියාව නැත. තමන් ම ලියූ දෙයක් මොහොතකට පසු කියවා බැලුවොත් කීමට අදහස් කළ දේට හාත්පසින් වෙනස් දෙයක් කියැවි තිබෙනු දක්නට ලැබේ. මෙය නැතැයි කිව හැකි ජගතෙක් නැත.

නලින් බුදුදහම වෙනස් කරන්නේය යන්න බොරුවකි. ඔහු කරන්නේ ඔහුගේ දැනුමට ගැළපෙන “නලින්ගේ” බුදු දහමක් නිර්මාණය කර ගැනීමයි. නලින් මෙය සවිඥානිකව කරයි. එසේම ඔහු ඒ බව නොබියව කියයි. අපත් කරන්නේ එයම වුවත් අප අපම ඒ බව නොදනී. ප්‍රසිද්ධියේ කීම ගැන කවර කතාද ..!

නලින්ගේ බුදුදහම ඔබෙත් මගෙත් බුදුදහමෙන් වෙනස්ය. එසේ වෙනස් විය යුතුය. සද්ධර්මයේ ස්වභාවය එයයි. තමා වෙතට පමුණුවාගෙන තමා තුලින් දැකිය යුතු දහමක යථා ස්වභාවය එය නම් චෝදනා කුමටද ?

අවසන් වශයෙන් අද සැත්තෑ වැනි විය සපුරන ඒ ප්‍රාඥයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමු !
මේ ප්‍රතිචාරය තව ප්‍රශ්න දෙකකට උපස්තම්භක විය.

එක අන්තයක්, ගවේෂී සහ හාල්මැස්සා යන නම් වලින් සංවාදයට එක් වූ අය විසින් නියෝජනය කරන ලද අතර ඒ අයට ප්‍රස්තුත වූයේ නලින්ගේ බුදුදහම ඔබෙත් මගෙත් බුදුදහමෙන් වෙනස්ය සහ ඔහු කරන්නේ ඔහුගේ දැනුමට ගැළපෙන "නලින්ගේ" බුදු දහමක් නිර්මාණය කර ගැනීමයියන වාක්‍ය ද්වයයි. පසුව මිතුරු ජොසෙෆ් විසින් නිවැරදිව පෙන්වා දෙනු ලැබූ පරිදි ඒ අය එකී වාක්‍යයට වටිනාකම එක් කරන සන්ධර්භය නොසළකා හැරියහ.

අනෙක් අන්තය තමා "‘නලින්වාදියෙක්’ නොම වේ!"යි ප්‍රකාශ කරන Business Case නැමැත්තා විසින් බොහෝ දෙනාට ඔහු කියන දේ තේරුම් ගැනීමට අවශ්‍ය පසුබිම් දැනුම නොමැති වීම ආචාර්‍ය නලින් ගේ වරදක් නොවේ. එකල X කණ්ඩායම සහ පශ්චාත් නූතනවාදී මහත්වරු කියන දේ අපට නොතේරීම අපේ වරදක් නොවන්නාක් මෙනි. යන වාක්‍ය කිහිපය අරභයා ගොඩ නැගිණි.
Business Case says:

October 22, 2014 at 9:43 am

කරන් අර්ජුන්

(Joseph)

ඔබ මෙහි පහත ලියා ඇති සඳහනේ
මුල් වැකි වලින් අපේ නලින් ඇදුරුතුමන්ව වැනීමෙන් අනතුරුව,

අන්තිම වැකියෙන්, එකල X කණ්ඩායම් සහ පශ්චාත් නූතනවාදී මහත්වරුන් ට
සුදු හුනු ගෑමක් ගම්‍ය වන නිසා,

මෙම අන්තිම වැකිය
පැහැදිලි කල හැකිද​?

අද අන්තර්ජාලයේ සෙවීමක් කර බැලුවොත් ඉතාම සාහසික නිර්දය වාග්-ප්‍රහාර වලට ලක් වන ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල ආචාර්‍ය වරයා නලින් ය. ඔහු තරම් ජනමාධ්‍යයේ අවිචාරවත් (නො)සැළකිල්ලට ලක් වූ, ප්‍රසිද්ධ මාධ්‍ය වල අපහාසයට ලක් වූ වෙනත් ආචාර්‍ය වරයෙක් නැත. බොහෝ දෙනාට ඔහු කියන දේ තේරුම් ගැනීමට අවශ්‍ය පසුබිම් දැනුම නොමැති වීම ආචාර්‍ය නලින් ගේ වරදක් නොවේ. එකල X කණ්ඩායම සහ පශ්චාත් නූතනවාදී මහත්වරු කියන දේ අපට නොතේරීම අපේ වරදක් නොවන්නාක් මෙනි.
මෙයට පිළිතුරක් සැපයීම අනිවාර්‍ය විය. පහත දැක්වෙන්නේ ඒ අරභයා අප විසින් සංගෘහිත පිළිතුර වේ.
කරන් අර්ජුන් says:

October 24, 2014 at 10:50 pm

බොහෝ දෙනාට ඔහු කියන දේ තේරුම් ගැනීමට අවශ්‍ය පසුබිම් දැනුම නොමැති වීම ආචාර්‍ය නලින් ගේ වරදක් නොවේ. එකල X කණ්ඩායම සහ පශ්චාත් නූතනවාදී මහත්වරු කියන දේ අපට නොතේරීම අපේ වරදක් නොවන්නාක් මෙනි. යන්න බොහෝ දෙනාට ගැටළුවක් වී ඇති අයුරු පෙනේ.

මෙයට කලින් දුන් පිළිතුර කවර හේතුවකින් පළ නොවීදැයි අපට දැන ගැනීමට ක්‍රමයක් නැත. පිළිතුරක් ස්ථිරවම පල වන තැනක් ඇතත් කිසිවෙක් එතැනදී එය අසන්නේද නැත. එබැවින් පල වීම නොවීම නොසළකා තව වරක් පිළිතුරක් පල කරමු. මෙය පල නොවුණොත් කණගාටුවෙන් වුව කිව යුතු වන්නේ මේ තැන සංවාදයට නුසුදුසු තැනක් බවයි. එවැනි අවස්ථාවක විකල්පයක් සොයා ගැනීම ඒ ඒ තැනැත්තා සතු අයිතියකි.


October 24, 2014 at 11:14 pm

කෙනෙකුට උසස් භෞතික විද්‍යාව ඉගෙන ගැනීමට අවශ්‍යනම් ‘මට ඉංගිරිසිය පෙන්නන්න බෑ – ඉංගිරිසියෙන් දොඩනු ඇසෙන විට මට බඩ දඟලනවා – උන් තමා අපේ රට යටත් කරන් හූරා කෑවේ’ ආදී වශයෙන් කියමින් නොඉඳ ඉංගිරිසිය ඉගෙන ගත යුතුය. මේ අයුරින්ම බුද්ධ ධර්මය සර්වප්‍රකාරයෙන් දැන ගනු කැමැති කෙනෙකුන් විසින් පාලිය දැන ගත යුතු වේ; එසේම අටුවා, ටීකා, ටිප්පනි ඈ ග්‍රන්ථ කියැවිය යුතු වේ. වේද ග්‍රන්ථ කියවා තිබීම අමතර වාසියකි. මෙසේම ඉස්ලාමය දැන ගනු කැමති කෙනෙකුන් විසින් අරාබි ඉගෙන ගත යුතුය.

අප කිසිදා X කණ්ඩායමේ මතවාද හරිහැටි දැන සිටියේ නැත. ඒ නිසා ඒවා විවේචනය කරන්නට යන්නේ ද නැත. යම් හෙයකින් ඒවා විවේචනය කිරීමට අපට අවශ්‍යනම් අපුල අතහැර ඒවා යම්කිසි අයුරකින් දැන ගැනීම අවශ්‍ය බව සැමට වැටහෙන්නට ඇතැයි සිතමු. ඊළඟ කපේදී පහළ වීමට නියමිත අතිගරු මංගල සමරවීර අගමැති තුමාගේ සභාග ආණ්ඩුවක අධ්‍යාපන ඇමැති ධුරන්ධර උපුල් ශාන්ත සන්නස්ගල ශ්‍රීමතානන්ගේ කැබිනට් පත්‍රිකාවක් අනුව, එතැන් සිට රැකියාවක් කිරීම පිණිස X කණ්ඩායමේ මතවාද දැන ගැනීම අනිවාර්‍ය කළොත් අන්න එදා සිට අපත් ඇතුළු බොහෝ දෙනෙක් අපුල අතහැර එකී මතවාද ඉගෙන ගන්නවා ඇත. අතුරුඵලයක් වශයෙන් ඒ මතවාද විවේචනය කිරීමේ සුදුසු කමද ලබනවා ඇත.

තවම එසේ වී නැත. ඒ නිසාම අපට X කණ්ඩායමේ මහත්වරු කියන දේ වැටහෙන්නේ ද නැත. එය අපේ වරදක් ද නොවේ. (වරද තවම ආණ්ඩුවක් නො-පිහිටැවූ මංගල සමරවීරගේය)

මේ අයුරින්ම බොහෝ දෙනාට ආචාර්‍ය නලින් ගේ මතවාද ද වැටහෙන්නේ නැත. එය ඒ ඒ අයගේ වැරද්දක් නොවේ – මෙයයි අපට කීමට අවශ්‍ය වූ දේ. ඒ අයට නලින් ගේ මතවාද වලින් වැඩක් නැති නිසා ඒවා ඉගෙන නොගනී.

එහෙත් ජනමාධ්‍යවේදීන් ට ඒ වාසිය නැත. දෙරණේ දිල්කි නොනාත් ස්වාදීන එකේ හසන්ත මහත්තයාත් ඇන ගන්නේ මේ නිසාය. නලින් ද සිල්වා රූපවාහිනියට එන්නේ මේ තොත්ත බබාලා නැලවීම පිණිස නොවේ. මෙතැනදී නිවේදක නිවේදිකාවන් ගෙදර වැඩ නොකර පැමිණ ප්‍රසිද්ධ මාධ්‍යයක් තුල ගොබ්බ ප්‍රශ්න ඇසීමෙන් අකා මකා දමන්නේ නලින්ගේ පැය (හෝ දෙක) පමණක් නොවේ – ලංකාවේ මේ වැඩසටහන් නරඹන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකගේ පැය ලක්‍ෂ ගණනකි. මේ ගැන අවධානය යොමු කිරීමත් අපේ මුල් ප්‍රතිචාරයේ අරමුණක් විය.

මේ ප්‍රතිචාරය පල වේ යැයි උදක්ම බලාපොරොත්තු වෙමි.


October 24, 2014 at 11:26 pm

අවසන් වශයෙන් මේ දේ කියමි.

නලීන්ගේ බුදු දහම මගේ බුදු දහමෙන් වෙනස් වන්නේ නම් එය සරවඥය්නගේ දහමින්ද වෙනස් වන්නේය ඒ මගේ බුදු දහම සර්වඥයන්ගේ බුදු දහම නිසයි. යන උක්ත ප්‍රකාශය, විශේෂයෙන් එහි අපර කොටස, ප්‍රකාශ කිරීමට ඉතාම දැඩි නිර්භීත කමක් තිබිය යුතුය.

එවැනි ගම්භිර ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කරන කෙනෙක් හා විවාදයට යාම අතිශය අවදානම් කටයුත්තකි. අප වැනියන් නම් එකී බරපතල අවදානම කිසිදා ගන්නේ නැත. යම් හෙයකින් කට වැරදීමකින් නොහොබිනා දෙයක් කියවුනොත් ආර්යෝපවාදය සිදු විය හැකි බැවිණි.

ඒ මගේ බුදු දහම සර්වඥයන්ගේ බුදු දහම නිසයි යන සිංහ නාදය යම් කෙනෙක් නගයි නම් ඒ උත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.

ජොසෙෆ් මා මිතුර, උරණ නොවී මේ උපදෙස පිළිගන්න. එය ඔබේම යහපත පිණිස බොහෝ කල් පවතිනු ඇත.
ඒ දිගු ප්‍රතිචාරය ප්‍රශ්න සියල්ලටම පිළිතුර වේ'යැයි අප විසින් සැළකුණත් එය එසේ නොවීය. ඇදයා නම් අලුත් පාඨකයෙක් සහ පැරණි Business Case ට අලුත් ප්‍රශ්න පැන නැඟුණු බව පෙනේ.
  1. ඇදයා says:

    October 25, 2014 at 10:19 am

    "නලින්ගේ බුදුදහම ඔබෙත් මගෙත් බුදුදහමෙන් වෙනස්ය. එසේ වෙනස් විය යුතුය. සද්ධර්මයේ ස්වභාවය එයයි. තමා වෙතට පමුණුවාගෙන තමා තුලින් දැකිය යුතු දහමක යථා ස්වභාවය එය නම් චෝදනා කුමටද ?"
    -මේ ප්‍රකාශය ඔබ විසින් කලේ යයි සිතමි …මේ ප්‍රකාශය වැරදි ය .

    දහම යනු ශ්‍රී සද්ධර්මයයි…තමාවෙත පමුණුවාගෙන තම වෙතින් දැකිය යුත්තේ ශ්‍රී සද්ධර්මය මිස , නලින්ගේ වත් , කනිෂ්කගේවත් , joseph ගේවත් බුදු දහම නෙමෙයි ..තමන්ගේහැකි / නොහැකිතා අනුව, කුසළ හා කර්ම ශක්තින් අනුව,බුද්ධිමත් බව අනුව , ත්‍රිලක්ෂණය අවබෝධ වීමේදී අප ලබන අත්දැකීම් සමුදාය වෙනස් විය හැක. ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත, සංදිට්ඨික හා අකාලික වේ .
    ශ්‍රී මුඛ දේශනාවකින් සාරිපුත්ත මහරහතන් වහන්සේට අවබෝධ වන ප්‍රමාණය, මුගලන් මහරහතුන්ට අවබෝධ නොවේ. එය අවබෝධතා ගට්ඨනයක් නොවේ. හැකියාවන් පිලිබඳ ප්‍රශ්නයකි. නැතිව එක්‌ එක් රහතන් වහන්සේලා තම තමන්ගේ බුදු දහමවල් සාදාගෙන ඒවගෙන් නිවන් දුටුවා නොවේ ..
    "සමහරු පුනර්භවයක් නැති බුදුදහමක් අදහති. සමහරු පුනරුත්පත්තියක් නැත – පුනර්භවයක් ඇත කියති. ගන්ධබ්භයා අදහන තව පිරිසක් වෙති. මේ සියලු දෙනා තම තම නැණ පමණින් තමාගේ බුදු දහමක් සාදාගෙන එය අදහති"
    – මේ Joseph ගේ කතාවකි,–තමන්ගේ බුදු දහමක් බැරි නම් තමන්ටම වෙනම ආගමක් හදාගෙන එය ඇදහුවත් අපට කම් නැත … ප්‍රශ්නය වන්නේ එය ශ්‍රී සද්ධර්මය නොවීමයි … පුනර්භවයක් නැති බුදුදහම හෝ ගන්ධබ්භයා අදහන බුදු දහම ශ්‍රී සද්ධර්මය නොවන්නේ එය ශ්‍රී මුඛ දේශනාවල ප්‍රකාශිත නැති බැවිනි ..අප මෙතන අදහස් දක්වන්නේ ථෙරවාදී බුදු දහමගැන මිස, මහායාන හෝ වජ්‍ර යාන බුදු දහම ගැන නොවන නිසාවෙනි..

  2. Business Case says:

    October 25, 2014 at 2:42 am

    කරන් අර්ජුන්

    අපේ නලින් ඇදුරුතුමන් සමග
    X කන්ඩායම් ‘කබ්බන්ට’
    ‘හැරෙන්න්ට වත්’ බැරිය​.

    ඔබ කියන පරිදි
    බහුතරයට නොතේරුන පමනින්ම
    මේ මත වාද දෙක සැසැඳිය නොහැක​.

    මට නම් අපේ නලින් ඇදුරුතුමන් ගේ මතවාද තෙරේන අතර
    ඒවා සාරාන්ශ කර ගත හැක​.(හුදෙක් එ නිසාම, මා නලින් වාදියකු නොවේ! )

    ඔබට තේරුන X කන්ඩායම් මතවාදයේ
    සාරාන්ශය ඉදිරිපත් කල හැකිද​?
මේ ප්‍රශ්න පුන පුනා ඉදිරිපත් කිරීමට සිදු වීමෙන් පෙනී යන්නේ අද සිංහල ජාතිය මුහුණ පා සිටින ජාතික ගැටළුවේ ස්වභාවයයි. කෙටියෙන් කියූ දෙයක් තබා විස්තර සහිතව කියූ දෙයක් වත් තේරුම් ගැනීමට අද සිංහලයින් පොහොසත් නැත. මෙසේ වන්නේ භාෂාවේ වැරද්දක් නිසා නම් නොවේ. සිංහල භාෂාව ලෝකයේ පොහොසත්ම භාෂාවකි. සිංහලෙන් කියන දේ තේරුම් ගත නොහැකි සිංහලයෙකුට ඉංගිරිසියෙන් කියන දේ තේරුම් ගත හැකිද?

කෙසේ වුව, ඒ ප්‍රශ්න වලට ද අවසන් වශයෙන් පිළිතුරක් සංගෘහිත කලෙමි.
කරන් අර්ජුන් says:

October 25, 2014 at 11:20 am

ඒ එසේමය සිතුවිළි. X කන්ඩායම් මතවාදයේ සාරාන්ශය ඉදිරිපත් කිරීම තබා එකී කණ්ඩායමේ කී දෙනෙක් සිටිත්ද, ඒ කවුරුන්ද ආදී සරල දේ වත් අප දන්නේ නැත. අප යොදා ගත් සදෘශ්‍ය වනාහි අප ඒවා නොදන්නා බැවින් ඒවා විවේචනය කිරීම හෝ සාරාංශය ඉදිරිපත් කිරීමට හෝ නො-පොහොසත් වන අයුරින්ම ආචාර්‍ය නලින් ගේ මතවාද නොදන්නා කෙනෙකුන් විසින් ඒ ගැන සංවාද කිරීමට ඉදිරිපත් වීම අමනොඥ ක්‍රියාවක් වන බවමයි. මෙතරම් සරල දෙයක් තේරුම් කිරීමට මෙතරම් අපහසු මන්ද ?

නලින් ගේ බුද්ධාගම ගැන කතාවත් මෙයමයි.
———

“ශ්‍රී සද්ධර්මය” ගැන සඳහනත් එසේමය.

ශ්‍රී සද්ධර්ම යනු කුමක්ද? ශ්‍රී සද්ධර්මය කුමක්දැයි සම්පිණ්ඩනය කර කියා දීමට සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ම මිස වෙන කිසිවෙක් සමත් නැත. එවැනි විටෙක අප එකිනෙකා අදහන බුදු දහම වන්නේ අප එකිනෙකා දන්නා, පිළිගන්නා සහ පිළිපදින ප්‍රමාණයයි. ඊට වඩා කොතරම් දේ “ශ්‍රී සද්ධර්මය” ය කියා ඉදිරිපත් වුනත් අපට එය ගෝචර වන්නේ නැත. සමහරු කොතරම් අගය කර දුන්නත් අභිධර්මය ඉගෙන නොගන්නවා මෙනි.

තමා තුලට පමුණුවාගෙන දුටු දේ ස්වල්පයයි. එසේම එය අනවරතව වෙනස් වෙමින් පවතී. ‘නලින් ගේ බුද්ධාගම’ වෙනස් වේ – ජොසෙෆ් ගේ සහ මගේ බුද්ධාගම් ද වෙනස් වෙමින් පවතී. වෙනස් වන බැවින්ම එය ස්වාක්ඛාතෝ, අකාලිකෝ ආදී පද වලින් විශේෂණය කළ නොහැකියි. ඒ ඒ බුද්ධාගම් වලින් අපට නිවන් සාදා දී නැත.

යම් දිනෙක වෙනස් වන තමන්ගේ බුද්ධාගම විසින් අපට නිවන් සාදා දුන්නොත් එදාට අර අප එතෙක් හරි හැටි නොදැන සිටි “ශ්‍රී සද්ධර්මය” හා අපේ පෞද්ගලික දහම් ඒකාත්මික වුණා වෙයි. එදාට සැරියුත් මුගලන් ආදී උත්තමයන් වහන්සේලාගේ ධර්මය හා අපේ දහම් එක් වුනා නම් වෙයි. ශ්‍රී සද්ධර්මය තමා තුලට පමුණුවාගෙන දුටුවා නම් වෙයි. එව බලව’යි කෙනෙකුට කීමට සුදුසුකම් ලැබෙයි.

සැවොම අවිඥානිකව කරන්නේ මෙය වුවත් තමන්ගේ අංගවිකල බුද්ධාගම “ශ්‍රී සද්ධර්මය”යි කියා අන්‍යයන් මුලා කිරීම පාපයකි. ශ්‍රී සද්ධර්මය යනු එක එකාගේ හිතළු නොවන බව සැළකුව මනාය. තමාගේ අදහස් ඉදිරිපත් කරන සැම විටම තමාගේ බව පිළිගැනීම සත්පුරුෂ ස්වභාවයයි. ආචාර්‍ය නලින් කරන්නේ එයයි. විවේචනය කිරීමට පළමු තමන් විවේචනය කරන්නේ කුමක්දැයි දැනගෙන සිටීම යහපති.
ආචාර්ය නලින් ගේ බුද්ධාගම අපේ බුද්ධාගමෙන් වෙනස් බවත්, එය වෙනස් වන්නේ කෙළෙසද යන්නත්, එසේ වෙනස් වීම යුතු බවත්, එසේ වෙනස් වීම ගැටළුවක් කර නොගත යුතු බවත් අපේ ශක්ති ප්‍රමාණයෙන් ඉහත විස්තර කර ඇත. බුද්ධාගම යනු කතෝලිකාගම හෝ ආගමක් ලෙස ලංකාවේ සැළකෙන ඉස්ලාමය හෝ වැනි කවුරු හෝ පිටසක්වල තක්කඩියෙක් විසින් කවුරු හෝ මේ සක්වල පිස්සෙකුට ලියා දුන් ශුද්ධ වූ ලියැවිල්ලක් නොවේ. පසුව කී ආගම් වල පොතක් තිබේ. ඒ පොතේ ලියා ඇති පරිදි කළ යුතුය. එසේ නොකළ විට බෙලි කැපීම, කණුවේ ගැට ගසා දර පටවා ගිණි තැබීම ආදී දිව්‍යමය දඬුවම් ලැබේ. මේවා ප්‍රශ්න කිරීම මගින් ද මේ ජීවිතයේම අර දිව්‍යමය දඬුවම් ක්‍රම මගින් වහ වහා විමුක්තිය උදා කර ගත හැකිය.

එහෙත් බුදුදහම එවැනි ලේ පිපාසිත යක්ෂයෙක් විසින් තමනට ආවතේව කර ගැනීම පිණිස, බිලි ලබා ගැනීම පිණිස වාල් පිරිවරක් ඇති කර ගැනීමට නිර්මාණය කරන ලද දෙයක් නොවේ. එය තම තම නැණ පමණට වැටහෙන අයුරින් තේරුම් ගත යුතු කාලාම සූත්‍රයේ දක්වා ඇති පරිදි තම පරිකල්පන ශක්තිය ප්‍රමාණවත් නොවන තැනදී වීඤ්ඤුන් අනුගමනය කර තෝරා බේරා ගත යුතු එසේම තම තමන් විසින් පිළිපැදීමෙන් ඒ පිළිපදින ප්‍රමාණයට විපාක ලබා දෙන ධර්මයකි. ඒ නිසාම අප සැම විසින් දැනගැනෙන, පිළිගැනෙන, අවබෝධ කර ගැනෙන හා පිළිපැදෙන දේ එකිනෙකාගෙන් වෙනස් වේ. එසේ වූවා කියා මා පිළිපදින දේ බුදුදහම නොවී කනිෂ්ක දහම වන්නේ හෝ නලින් අදහන පිළිපදින දේ බුදුදහම නොවී නලින් ධර්මය වන්නේ හෝ නැත.

අප වෙන වෙනම එකලාව තනා ගන්නා අපේ දේ 100% ම නිවැරදි ශ්‍රී සද්ධර්මයත් නොවේ - වෙන එකක් ද නොවේ. මේ ගැන කිව හැකි සුදුසු ම පැහැදිලි කිරීම "නච සෝ නච අඤ්ඤෝ" යන අයුරිණි. වෙන ක්‍රමයක් නැත.

මේ චින්තන ක්‍රමයෙන් වියෝ වූවෙකුට "නච සෝ නච අඤ්ඤෝ" යන්න තේරුම් නොයාම නලින් ගේ හෝ අපේ හෝ දොසක් නොවේ.

36 comments:

  1. ආවේ අහම්බෙන් - කියෙව්වේ හදිසියෙන්.
    LcN කියූ දේ ම උපුටා ගැනීම් කර ඇති නිසා වැඩිපුර කියවන්න උත්සාහ කළේ නෑ.
    කියවලම උත්තරයක් දාන්නම්.

    ReplyDelete
  2. අර ගැටෙන පිරිස මේ ලිපිය කියවා අදහසක් පල කරන්වානම් කොතරම් අපූරුදැයි සිතින. එහෙත් වටහා ගනීවිදැයි කිව හැක්කේ කාටද?
    කථා 32 පාඨකයින් මෙය වටහා ගන්නවා ඇත.

    ReplyDelete
  3. මේක හොඳයි. ඇත්තටම හොඳයි. සැළසුම් සහගත පහර දීමක් කළා වගේ. මෙහෙම දේවල් වෙනකොට තමයි මිනිස්සුන් සර්ව බලධාරීයෙක් ඉන්නවා කියල හිතන්න ගන්නේ.
    LcN එකේ පෝය ලිපියක් යනවා. මෙහෙ නලින් ගැන ලිපියක් යනවා.
    LcN එකේ පෝය ලිපියට කවුරු හරි නලින් ගැන කොමෙන්ට් එකක් දානවා. මෙහෙ නලින් ගැන ලියපු ලිපිය ඒකට ප්‍රතිචාරයක් විදියට ඇලවෙනවා.
    හික් !
    දෙබර කූඩයක් ගැන මම කිව්වා මතකද?
    මම වැරදි නෑ නේද?
    මට දැනගන්න ඕනේ දැන් තුවාල වල තත්වේ කොහොමද?

    ReplyDelete
  4. හොඳ උත්සහයක්!. පාලුගෙයි වලං බිදීමත් නරකම නැහැ. හිතේ දුක හරි අඩු වෙනවනේ. (මම ඔබතුමාලට චෝදනා කරනවා නෙවෙයි. මට මම ගැනමයි එහෙම හිතෙන්නේ.)
    හැමෝම බයයිනෙ මම නලින් වාදියෙක් කියල කියන්නත්. ඔන්න මම කියන්නම් මම නම් නලින් වාදියෙක් තමයි. මම ථේරවාදී බුදු දහම අසා තිබුනද එය අවබෝධය සදහා අවශ්‍ය චින්තනය ලැබුවේ ඔහුගෙන් බව පිලිගනිමි. ඒ සදහා "බටහිර විද්‍යාව යනු පට්ටපල් බොරුවකි" යන ඔහුගේ සිංහ නාදය බොහෝ ඉවහල් විය. එහෙත් ඔහුගේ දහම මගේ දහම නොවේ (එතුමන් එයට එකඟ වේවි). එයද සත්‍යකි (පරමාර්ථ හෝ සම්මුති වේවා! නමුත් චතුරාර්‍ය සත්‍ය නොවේ :) ) මෙය පාලුගෙයි වළන් බිදීමක් වන්නේ මෙතැන් සිටයි. මෙම ලිපිවලට හෝ අදහස් වලට පිළිතුරු දීමට හෝ ඇසීමට ඇති ගැටළු විසදා ගැනීමට එතුමා සම්බන්ද කරගත නොහැක. ඔබගේ මෙම ලිපියෙන්ද ඔහුට ඇති විවේචන ගැන සදහන් කලද අතපසුවීමෙන් හෝ හිතාමතාම ප්‍රදාන "හේතුව" හලා දමා ඇත. ඔහුට මෙතරම් අභියෝග ඇත්තේ ඔහුගේ බුදුදහම ගැන කෙරෙන විග්‍රහය නිසා නොවේ. එය "බටහිර විද්‍යාව යනු පට්ටපල් බොරුවකි" යන සිංහ නාදය වටා ඔහු ගොඩනගන චින්තනය නිසා "උගතුන්ගේ" (මෙරදී බටහිර වෛද්‍යවරුන් ප්‍රදාන කොට ඇති) හීන ලෝකයට එල්ල වන මරු පහර නිසාම හටගත්තකි. ඔවුන්ගේ යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට මෙතුමන්ගෙන් අභියෝගයක් එල්ල නොවන්නට එතුමන්ගේ බුදුදහම හෝ සිංහලකම අප වර්ථමානයේ ජිවත් වන්නාවූ "මෙහෙව් රටේ" එතුමන්ට ගැටළුවක් නම් ඇති නොකරන්නේමය. ඉතින් එහෙව් චින්තනයක් බිහි කල එතුමාට කඩේ නොයා මා තවදුරටත් නිව්ටන්ට හෝ අයින්ස්ටයින්ට හෝ ටෙස්ලාට කඩේ යන්නද? කෙසේ උවත් මට ඇති ගැටලුව නම් එතුමන් කියන දෙය පැහැදිලියි, බටහිර විද්‍යාව බොරුවකි, ඉතින් අප කුමක් කල යුතුද? වෙනත් දැනුමක් වර්තමානයේ නැත. පාරම්පරික හෙළ දැනුම ගැන එතුමන් කතා කලද එම දැනුමෙහි මූලික සංකල්පයන්ගේ අර්ථය ගිලිහි එය බටහිර දැනුම තුල වල්මත්වී ඇතිබව පැහැදිලිය. අපගේම වූ (බටහිර දැනුමෙන් වෙන්වූ) ජෝතිෂ්‍ය විද්‍යාවක්ද අද නැත. මා මෙතුමන්ගෙන් දැනුමක් ලැබීමට පෙර ලැබූ දැනුම අනුවනම් එවන් නිර්මාණයක් කල හැක්කේ අභිදර්මය මූලික කරගෙන පමණි. එහෙත් එතුමන්ද යම්තාක් දුරට හෝ අභිදර්ම විරෝදීද කියා සිතේ. මේවාට පිළිතුරු දීමට කණිෂ්කට හැකිද?

    ReplyDelete
    Replies
    1. ඉහත අදහසට පුංචි වෙනසක් අවශ්‍ය යයි සිතමි. එසේ නැති වුනොත් "Josep හෝ සිතුවිළි" මගේ බොටුවෙන් අල්ලා ගැනීමට ඉඩ ඇත.
      "මම ථේරවාදී බුදු දහම අසා තිබුනද එය අවබෝධය සදහා" යන්නෙහි "අවබෝධය" වෙනුවට "යම්තාක් දුරකට හෝ අවබෝධ කරගැනීමට" ලෙස වෙනස් විය යුතුය.
      :) josep හෝ සිතුවිලි තරහා නොවනු ඇතයි සිතමි. (ඔවුන් තරහා කරගෙන මෙහි විසීමක් නැති වේවි :) ). මා සැබවින්ම සදහන් කලේ වර්තමානයේ ඇති ගැටලුවකි. කිනම් ලිපියක හෝ ප්‍රකාශයක හෝ අකුරු වැරද්දක් හෝ යම් උදාහරණ නොගැලපීමක් හෝ නමක හෝ ස්‌ථානයක් හෝ ඉලක්කමක වැරද්දක් වේ නම් එය සමග ගැටෙනවා හැර සමස්ථ ලිපිය හෝ ප්‍රකාශනය දෙස බැලීමක් සහ එය අවබෝධ කරගැනීමට දරන උත්සහයක් බොහෝ විට දැකිය නොහැකිය. නොකිව්වට ඉතින් කතුතුමාද මෙම ලිපිය ලියන්න හේතුවත් ඒකමයිනේ :) . මේකත් LCN එකෙන් නලින් ගුරුතුමාගෙන් අහන ප්‍රශ්නයක්!
      වසන්ත says:
      October 21, 2014 at 7:41 am

      “මහින්ද පරදනව නම් කාවද දිනවන්නේ.”

      ඔය ප්‍රශ්නෙම තමයි මටත් අහන්න තියෙන්නේ මෙයාගෙන්, මෙය හැම තිස්සෙම කියනවනේ බටහිර විද්‍යාව ඉස්කෝල වල උගන්වන හැමදේම පට්ටපල් බොරු කියල, එතකොට විකල්පය මොකක්ද, මෙලෝ යකෙක්ට කියල දීල නැති දන්නේ නැති මෙයාගේ විකල්ප අද්යාපන ක්‍රමය මොකක්ද, මෙයාගේ පස්සෙන් යන අය ඇතිනේ, ඇයි ඒ කීප දෙනෙක් එක්ක එකතු වෙලා මෙයාගේ theory වලින් නිෂ්පාදනය කරපු යමක් ඉදිරිපත් කරන්නේ නැත්තේ එහෙම. බටහිර උන් උන්ගේ බොරුවෙන් හරි දේවල් නිපදවල තියෙනවනේ, අපිත් පාවිච්චි කරන්නේ ඒවානේ,

      දැන් ඉතින් ලංකාවේ ඉතිහාසේ රජවරු හදපු දේවල් කියල වැඩක් නැ, දැන් ඒවා හදන්න පොඩියෙන් හරි මෙයාගේ විකල්ප අද්යාපන ක්‍රමය කියන්න, ඒ ක්‍රමයෙන් ඉස්සෙල්ල දේවල් හදල නිපදවල පෙන්වන්න, එහෙම නැතුව කටට එන පලියට ගිරිය යටින් කැ ගහල වැඩක් නැ, තමන්ගේ පුතාටවත් ඒවා උගන්නපු නැතී තාත්තා එනවා අනික් ළමන්ගේ අද්‍යාපනය ගැන කියවන්න. තමුන්ගේ ළමයට හොඳ නැති දේවල් කොහොමද අනුන්ගේ ළමයින්ට හොඳ වෙන්නේ

      Delete
    2. තවත් Anonymous කෙනෙක්.
      කවුරු උනත් හොඳ තැනකට ගෙනත් තියෙන බව කියන්න ඕනේ. ඒත් මම කැමතියි අපේ "කතුතුමා" උත්තර දෙනකම් සද්ද වහල ඉන්න. ටික දවසක් බලමු.

      Delete
    3. අළුත් අනොනිමස් මිතුරා,
      ඔබ යම් කිසි ක්‍රමයකට ඔබගේ අදහස සූක්ෂමව ගොනු කිරීමේ හැකියාවක් ඇත්තෙකියි පෙනෙනවා. ඔබ වැනි අය මෙහි සාකච්චාවට පැමිණීමනම් ඉතාමත් අගෙයි.
      ඔබ තුමාගේ හෝ අන් අයෙකුගේ වරදක් අල්ලාගෙන බොටුව මිරිකීම මගේ අතින් නම් වෙන්නේ නැහැ. ඒ ගැන සැකයක් තියාගන්න එපා.
      අපි බලමු ඔබේ අදහසට කණිෂ්ක මහත්තයාගේ පිළිතුර මොකක් වෙයිද කියලා.
      මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න මම කොහොමටත් සුදුසුකම් සපුරා නැහැ. මම පෙර හෝ දැන් නලින් ද සිල්වා අනුගාමිකයෙකු නොවෙනවා මෙන්ම ඔහුගේ ලිපිවලින් කියවා ඇත්තේද ඉතාම අතලොස්සක් පමණයි.

      Delete
    4. මම නලින්වාදියෙක්මි'යි කියන, අපට හමු වූ පළමු වැන්නා ඔබය. ඒ නිසාම ඔබේ පැනයට පිළිතුරු දීමට පෙර ඔබෙන් ඇසිය යුතු පැන කිහිපයක් තිබේ. මෙයට පිළිතුරු බලාපොරොත්තු වෙමි.
      * නලින්වාදය යනු කුමක්ද ?
      * කෙනෙක් "නලින්වාදියෙක්" වන්නේ කවර කරුණු කරණ කොටගෙන ද ?
      * "නලින්වාදියා" ගේ ලක්‍ෂණ කවරේද ?

      Delete
    5. "ඔහුට මෙතරම් අභියෝග ඇත්තේ ඔහුගේ බුදුදහම ගැන කෙරෙන විග්‍රහය නිසා නොවේ. එය "බටහිර විද්‍යාව යනු පට්ටපල් බොරුවකි" යන සිංහ නාදය වටා ඔහු ගොඩනගන චින්තනය නිසා "උගතුන්ගේ" හීන ලෝකයට එල්ල වන මරු පහර නිසාම හටගත්තකි."

      මේ, යථාව ඇති පරිද්දෙන් දැනගෙන කළ ප්‍රකාශයක් ලෙස දකිමි. ඒ එසේමය. බොහෝ දෙනා කුපිත වන්නේ "බටහිර විද්‍යාව පට්ටපල් බොරුවකි'යි" යන ප්‍රකාශය ඒ අයට දිවා කාලයේ සහනය නැති කරන රාත්‍රී නින්ද නැති කරන මන්ත්‍රයක් වන නිසාය. එහෙත් උඩින් පල්ලෙන් අතගාන මේ අය නොදකින දේ නම් ආචාර්‍ය නලින් "පට්ටපල් බොරු" ලෙස හඳුන්වන්නේ බටහිර විද්‍යාව පමණක් නොවන බවයි. ඔහු "පට්ටපල් බොරු" යන්න අළුතින් නිර්වචනය කර එය ඔහුගේ පාරිභාෂික පදමාලාවට අන්තර්ග්‍රහණය කරගෙන සිටී. මේ බව නොදන්නා බටහිර විද්‍යා උගත් හු අර වාක්‍ය ඛණ්ඩය දුටු මතින් කිපෙති; කටින් පෙන දමති; නහයෙන් දුම් දමති; පයින් දුහුවිලි අවුස්සති; අනින්නට දිවගෙන එති.

      උහු නලින් ගේ නව අර්ථකථනය කියැවීමට මද ඉසිඹුවක් ගනිත්නම් මේ බොහෝ පලක් නැති ගැටුම් ඇරඹුමට පෙරම වළක්වා ගත හැක. හොඳම උදාහරණය මාස කීපයක් විදුසරේ දිග හැරෙන වාදයයි.

      Delete
    6. "එතුමන්ද යම්තාක් දුරට හෝ අභිදර්ම විරෝදීද කියා සිතේ."

      මේ බවක් මටනම් දැනී නැත. එහෙත් ඔහු අභිධර්මය බුද්ධ භාෂිතයක් නොවේය යන මතය තුල හිඳින බව පෙනේ. විශේෂයෙන්ම එය අනුරාධපුර යුගයේ මහරහතුන් ගේ (හෝ නොරහතුන්ගේ හෝ) "නිර්මාණයක්" බව හැඟෙන පරිදි ලියූ ලිපි මට හමු වී තිබේ.

      අද අප දකින අභිධර්මය බුද්ධ භාෂිතයක් නොව සාරිපුත්ත තෙරුන්ගේ භාෂිතයක් බවයි අපේ පෞද්ගලික අදහස. ශවේන්ද්‍ර සිල්වා මන්නාරමේ සිට කිලිනොච්චිය හරහා මුලතිව් ගියත් එහි ගෞරවය කොළොඹ සිටි රජතුමාට අත් වන්නා සේ අභිධර්මය සැබවින්ම සාරිපුත්ත තෙරුන්ගේ දෙසුමක් වුවත් බුද්ධ භාෂිතයක් ලෙසම සැළකීමයි නිවැරදි ක්‍රමය. එහෙත් අනුරාධපුර යුගයේ සිටි භික්ෂූන් අතින් අභිධර්මය රචනා වී නම් තත්වය බොහෝ වෙනස් වේ.

      Delete
    7. "ඉතින් අප කුමක් කල යුතුද? වෙනත් දැනුමක් වර්තමානයේ නැත. පාරම්පරික හෙළ දැනුම ගැන එතුමන් කතා කලද එම දැනුමෙහි මූලික සංකල්පයන්ගේ අර්ථය ගිලිහි එය බටහිර දැනුම තුල වල්මත්වී ඇතිබව පැහැදිලිය. අපගේම වූ ජෝතිෂ්‍ය විද්‍යාවක්ද අද නැත."

      මෙය "දැනුම" මූලික කරගෙන ඇසෙන පැනයෙකි. දැනුම යනු කුමක්ද?
      --- දැනුම යනු අවිද්‍යාව හේතු කොටගෙන අප විසින් තනා ගැනෙන සංකල්ප වේ. මේවා එක්කෝ තම තමන් විසින් "නිර්මාණය" කෙරේ - නැතහොත් වෙනකෙකු විසින් කරන ලද නිර්මාණ ඉගෙන ගනී. ඒ සඳහා සලායතන උපයෝගී වේ.

      ඉතින් අප කුමක් කල යුතුද? යන පැනයට පිළිතුරු දෙකක් පවතී.
      1. දැනුම නිර්මාණය කිරීම හෝ දැනුම අවශෝෂණය කිරීම (දැනුම විසරණය වීමට ඉඩ හැරීමත් කළ හැක - එහෙත් එය බොහෝ දුරට අවිඥානික සංසිද්ධියකි)
      2. දැනුම අවිද්‍යාව බව දැනගෙන දැනුම අතහැර විද්‍යාව පහල කර ගැනීම (මේ නිර්වාණගාමී මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමයි).
      මේ දෙකින් කුමක් තෝරා ගනීද යන්න එක් එක් පුද්ගලයා මත රඳා පවතී.

      පළමුවැන්න තෝරා ගත් අය ගිහි ජීවිත ගත කරන අතර දෙවැන්න තෝරා ගත් අයට ගිහි ගෙයි වාසය කළ නොහැක. අද පැවිද්දන් පවා කරන්නේ පළමුවැන්න වන නිසා මෙය වාදයට මාතෘකාවක් වීමේ ඉඩ වැඩිය. කෙසේ වුව දෙවැන්න ගැන උපදෙස් දීමට අප සමත් නැත.

      ඔබේ පැනය යොමු වන්නේ පළමුවැනි පිළිතුර කෙරේ බව පෙනේ.

      ඒ ගැන කිව යුත්තේ දැනුම නිර්මාණය අනායාසයෙන් සහ අනවරතව කෙරෙන කටයුත්තක් බවත් ඒ ගැන වද වීමට අවශ්‍ය නැති බවත් ය. එහෙත් දැනුම දේශීය/ බටහිර/ පෙරදිග / සාම්ප්‍රදායික ආදී වශයෙන් බෙදා ගන්නට ගිය විට නිර්මාණය කෙරෙන දැනුමේ සුජාත භාවය පිලිබඳ ගැටළු ඇති වේ. විශේෂයෙන් බටහිර සංස්කෘතිය අප මත පටවා ඇති විට අප විසින් නිර්මාණය කරන දැනුම් බටහිරකරණය වූ දැනුම් වීමේ ඉඩකඩ වැඩිය. මීට එකම පිළියම දේශීය දැනුම සහ විශේෂයෙන් සංස්කෘතිය පිලිබඳ දැනුවත් බවක් සවිඥානිකව ඇති කිරීමයි. දෙතිස් කතා යනු එවැනි සවිඥානිකව උත්සාහයක ඵලයක් බව මතක් කිරීම කයිවාරුවක් නොවේ.

      Delete
    8. "මා මෙතුමන්ගෙන් දැනුමක් ලැබීමට පෙර ලැබූ දැනුම අනුවනම් එවන් නිර්මාණයක් කල හැක්කේ අභිදර්මය මූලික කරගෙන පමණි"

      යන ප්‍රකාශය විවරණය කරන්නේ නම් සුදුසුය.

      අභිධර්මය මූලික කරගෙන නිර්මාණය කෙරෙන දැනුමක් ප්‍රයෝජනවත් විය හැක්කේ කුමන ක්‍ෂේත්‍ර වලදී ද යන්න ප්‍රශ්නයකි. අපේ පැරණි වෙදකම, ගොවිකම, වඩු කම (ලී, ලෝහ, ගල් ...), ආදී වෘත්තින් හි ත්, අනෙක් ශිල්ප ශාස්ත්‍රයන් හිදීත් අභිධර්මය මුලික වී (අඩු තරමින් සංයෝජනය වී) තිබෙන බවට සාධක තිබේද?
      ------------

      අවසාන වශයෙන්, ඔබ ලඟදි අප හා එක් වූ පැංචා නොවේය සළකා,
      ඔබ දෙතිස් කතා වෙත සාදරයෙන් පිළිගැනෙන බවත්, ඔබේ පැන විමසීම සහ ඒවාට පිළිතුරු සැපයීම අපට සතුටක් බවත් සටහන් කරමි.

      Delete
    9. මම නලින් වාදියෙක් වෙමි යනුවෙන් පැවසීම ගැබුරින් විමසිය යුතු නැත. නලින් වාදියෙක් වෙමි යන්න ඔබටද නැවුම් වූ ලෙසම මා නලින් වාදියෙක් නොවෙමි හෝ ඔහුගේ අනුගාමිකයෙකු නොවෙමි යන්න ඔබට හමුවී ඇතැයි සිතමි. මා පෙර පැවසු ලෙසම ඔහුගේ බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන සිංහ නාදය පදනම් කරගත් චින්තනය නිසා වෙනස් ඇසකින් ලෝකය දෙස බලන්නට, විමසන්නට හැකියාවක් සහ සුළු හෝ ධර්ම අවබෝධයක් ලබා ගත්තේ නම්, එහි ගුරු ගවුරවය ඔහුට හිමි විය යුතුය. එනයින් මා ඔහුගේ අනුගාමිකයෙකු වීමට කැමැත්තෙමි. (ඔහුගෙන් විමසීමට බොහෝ දේ ඇතද විමසීමට මගක් නැති බැවින් පසුතවිමක්ද ඇත.) ඔහුගේ සියළු මත අනුමත නොකලද එය ඔහු වෙතින් ලැබූ දැනුම හෝ දැනුම ලැබීමට අවශ්‍ය චින්තනය ඔහු වෙතින් ලැබූ හෙයින් ඔහුගේ සියළු මත සමග එකඟ නොවීම නොසලකා හරිමි. අනෙක් අතින් ඔහු (මෙහි ඔහු පවසන්නේ දේශපාලකයෙකු ගැනයි) පවසන පරිදි ඔහුට කඩේ නොයා තවදුරටත් නිව්ටන්ට කඩේ යන්නද?

      Delete
    10. "එතුමන්ද යම්තාක් දුරට හෝ අභිදර්ම විරෝදීද කියා සිතේ."

      මේ බවක් මටනම් දැනී නැත. එහෙත් ඔහු අභිධර්මය බුද්ධ භාෂිතයක් නොවේය යන මතය තුල හිඳින බව පෙනේ. විශේෂයෙන්ම එය අනුරාධපුර යුගයේ මහරහතුන් ගේ (හෝ නොරහතුන්ගේ හෝ) "නිර්මාණයක්" බව හැඟෙන පරිදි ලියූ ලිපි මට හමු වී තිබේ.

      හොඳයි. මෙය මා ඔහු අභිධර්ම විරෝදී හෝ අභිධර්මය සමග එකග නොවන ලෙසක් ලෙස සදහන් කිරීමට හේතුව විය හැකිය. ඔහුගේ ලිපි හමුවීමට පෙර සිටම මා අභිදර්ම පොත් කියවීමට විශේෂ රුචිකත්වයක් දැක්විය. ඉතින් ඔහු හෝ කව්රුන් හෝ යම් වෙනත් මතයක් දරන්නේ නම් (මා විශේෂ ඇල්මක් සහිත දෙයකට) එය ටිකක් තදින් දැනීම නොසලකා හරින්න. තවම රහත් වෙලා නැනේ.

      Delete
    11. දැනුම පිළිබඳව ඔබගේ හුදු විග්‍රය නොවැදගත් කොට සලකමි. මටද අවශ්‍ය වන්නේ වසන්ත LCN ඇසු පරිදිම අපගේ විද්‍යාව හෝ ඔහු පවසන පෙරදිග විද්‍යාව කුමක්ද සහ එහි චින්තන පදනම සහ එමගින් කෙසේ බටහිර විද්‍යාව සහ එහි නිර්මාණ විමසිය හැකිද යන්න දැනගැනීමයි. මෙය පහසු හෝ සුළු දෙයක් නොවේ. ඔහු බටහිර විද්‍යාව වියුක්ත චින්තනයක් මත ( අත්මවාදී ) පදනම් වන බවක් කියයි. එසේ නම් වියුක්ත නොවන ජිවය සහ එහි පැවැත්ම (නැවත්මද ඇතුළුව ) විග්‍රහ කල හැකි විද්‍යාවක් වේද? උදාහරනයක් ලෙස විද්‍යුතය පිළිබඳව දැනුමක් නොමැතිව, බටහිරදී විද්‍යුතය බිහිවන්නේ කෙසේද? එය හිතකරද? අහිතකරද? පිළිතුරු දන්නේ සර්වබලදාරි දෙවියන් පමණක්ද? හිට්ලර් සහ ටිබෙට් ජාතිකයින් අතර තිබු සම්බන්දය කුමක්ද? ඔවුන් UFO (විමාන හෙවත් දඩුමොනර) තාක්ෂනය සොයා යන්නේද? එහි අතුරු ඵල ලෙස විද්‍යුතය ආදිය බිහි වුනිද? විද්යුතයෙන් තොර වූ පසු බටහිර නිර්මාණ කුමක් වේද? ඔබලා ටෙස්ලා ගැන අසා ඇතයි සිතමි. ඔහු හින්දු යෝග ගුරුතුමකු ඇසුරෙන් වේද සංකල්ප විද්‍යාව සමග ගැලපීමක් කිරීමට උත්සහ දරා ඇත. ඔහුගේ අවසන් ලිපි පලවී නැත. (අතුරුදහන්!!). ඔහු තවත් විශේෂ වන්නේ අයින්ස්ටයින්ට ප්‍රබල විවේචනයක් ( නලින් ගුරුතුමන් සමග සැසදෙන ) එල්ල කිරීමයි.

      http://www.teslasociety.com/tesla_and_swami.htm

      විදුසර සංවාදයේ අමරතුංග මහාචාර්ය තුමන් අසන්නේද ආයුර්වේදයේ ඇති වාත, පිත, කප්ප මොනවාද යනුවෙනි. මේවාට නුතන අර්තගැන්වීමක් අවශ්‍ය යයි මට සිතේ. එවැන්නක් කල හැක්කේ අභිදර්මය තුලින් යයි හැගීමක් ඇත. :). මෙය පැහැදිලි කිරීම තරමක් දුෂ්කරය. hmm...එසේ නැතහොත් වේද ඉගැන්වීම් මත යැපීමට සිදුවිය හැකිය.

      Delete
    12. Anonymous,
      "මටද අවශ්‍ය වන්නේ වසන්ත LCN ඇසු පරිදිම අපගේ විද්‍යාව හෝ ඔහු පවසන පෙරදිග විද්‍යාව කුමක්ද සහ එහි චින්තන පදනම සහ එමගින් කෙසේ බටහිර විද්‍යාව සහ එහි නිර්මාණ විමසිය හැකිද යන්න දැනගැනීමයි."
      මෙය අනවශ්‍ය ප්‍රශ්නයකි. ආචාර්‍ය නලින් ට මෙයට පිළිතුරක් තිබිය හැකි වුවත් අපේ අදහස දක්වමුව.

      "ඒ ගැන කිව යුත්තේ දැනුම නිර්මාණය අනායාසයෙන් සහ අනවරතව කෙරෙන කටයුත්තක් බවත් ඒ ගැන වද වීමට අවශ්‍ය නැති බවත් ය." යනුවෙන් අප මුලින් දුන් පිළිතුරක් වෙයි. ඒ පිළිතුර හා සංගත වන අයුරින් වෙනත් වචන යොදාගෙන මෙය පැහැදිලි කිරීමට තැතක් දරමු.

      1. 1900 වන විට ප්‍රකාශ විද්‍යුත් ආචරණය නම් සංසිද්ධියක් භෞතික විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබිණ. එහෙත් එකල පැවති විද්‍යාවට මෙය පැහැදිළි කර දීමට ප්‍රවාදයක් නොවීය. අයින්ස්ටයින් කළේ කුමක්දැයි අපි දනිමු. ඔහු සිද්ධියට ගැලපෙන, එහෙත් එතෙක් පිළිගත් කිසිම විද්‍යාවකට එකඟ නොවන කතාවක් ඒ සඳහා නිර්මාණය කළේය.
      2. සෘණ සංඛ්‍යා වල වර්ගමූලයක් නැතැයි අපි දස-දොළොස් වසරක් පුරා ඉගෙන ගනිමු. එහෙත් එක ගණිතඥයෙකුට එහෙම එකක් තියෙන්න බැරිදැ'යි අදහසක් පහළ විය. ඔහු i^2 = (-1) යැයි ප්‍රකාශ කළේය. දැන් සෘණ සංඛ්‍යා වලට වර්ගමූල පවතී.
      * පරිණාමවාදය, කෙකුලේ ව්‍යුහය, ද්විත්ව හෙලික්සය, තන්තු ප්‍රවාදය ආදී බොහෝ දේ එතෙක් පිළිගත් සම්මත දැනුමට (විද්‍යාවට) පටහැනි වෙයි.

      මෙසේ ප්‍රශ්නයක් ඇති තැන පිළිතුරක් සාදා ගැනීම මනුෂ්‍ය ප්‍රජාවට පොදු දෙයකි. දැනුම යනු මෙවැනි පිළිතුරු ගොන්නකි. මෙසේ තැනෙන පිළිතුර කෙරේ බලපාන කරුණු අතර පෙර දැනුම හා චින්තන ක්‍රමය වෙයි. අපේ දැනුමක් සාදා ගත හැක්කේ අපේ චින්තනය තුල හිඳීනම් පමණකි. අප සිටින්නේ බටහිර චින්තනය තුලනම් අපේ නිර්මාණ (දැනුම්, විද්‍යාවන්, කලා) බටහිරකරණය වූ ඒවා බවට පත් වෙයි. අපේ චින්තනය ඉන්දීය නම් අපේ නිර්මාණ ඉන්දියානුකරණ බවට පත් වෙයි. අපේ වෙළෙඳ දැන්වීම් සහ ටෙලි නාට්‍ය වලට සිදු වූ දේ උදාහරණ වේ.

      දැන් අප පළමු පිළිතුර අවසන් කරමින් සඳහන් කළ දේ මෙතැනට ගැලපිය හැක.
      "මීට එකම පිළියම දේශීය දැනුම සහ විශේෂයෙන් සංස්කෘතිය පිලිබඳ දැනුවත් බවක් සවිඥානිකව ඇති කිරීමයි. දෙතිස් කතා යනු එවැනි සවිඥානිකව උත්සාහයක ඵලයක් බව මතක් කිරීම කයිවාරුවක් නොවේ."

      Delete
  5. පැංචා නෙමේ මේ වෙන අනෝන් කෙනෙක්.මාත් මේ කල්පනා කර කර හිටියේ අභිධර්මෙන් කොහොමද අවිද්‍යාවක් නොවන නව විද්‍යාවක් ඇති වෙන්නේ කියලා. බලා ඉන්න ආස හිතෙන සංවාදයක්..!!!

    ReplyDelete
    Replies
    1. පැංචා, මට හිතෙන විදිහට අපි අභිධර්මය වැරදි කොනකින් අල්ල ගන්න හදන්නේ. බොහෝ විට අභිධර්මය පිළිබඳව සිංහලෙන් ඇති ලිපි, පොත් ආදිය ආරම්භ වන්නෙම, "ජීවී අජීවී සියලු ධර්ම ඉතා සියුම්ව බෙදා දක්වමින් නිවැරදිව ලෝක තතු විග්‍රහය කෙරෙන බුදු දහමේ එන ඉගැන්වීම අභිධර්මය ලෙසයි." අවිද්‍යාව නැතිකර නිවන දැකීමටත්, නිවන දෙසට ඇති විද්‍යාවක් බිහි කරගැනීමටත් එවන් ධර්මයක් යොදා ගත නොහැක්කේ මන්ද? මා හට පිළිතුරක් ඇතයි කියනවා නොවේ. මෙය මගේ අදහසකි. ඔබලාගේ හෝ පොදු අදහස් වෙනස් විය හැකිය. නමුත් නිවන් අවබෝධය සදහා බොහෝ දැනුමක් ගොඩනගා ගත යුතුයයි සිතයි නම් එය මුලාවකි. නිවන් අවබෝධය සදහා අවශ්‍ය වන්නේ විදර්ශණාව ප්‍රගුණ කිරීම යයි සිතමි. (මෙවන් මත වල වැරදි ඇත්නම් ඒ ඔස්සේ මෙතැන සංවාද නොකර සිටිමු. මෙය නිවිසැනසිල්ලේ ජිවත් වීමට අවශ්‍ය දැනුමක් පිළිබඳව කෙරෙන සකචාවක් ලෙසම තබමු.) ඔබ විදුසර සංවාදය සමග යම් හෝ සවින්ඥානික බවක් සහිත නම් එහිදී මහාචාර්ය අමරතුංග භාෂාවේ වචන වල අර්ථයන් කෙරෙහි දක්වන නොසැලකිල්ල නිසාම ඔහු ඇතැම් කරුණු අවබෝධයකින් තොරව ඔහේ කියවන බවක් ඔහුම නොදන්නා තත්වයකට පත්වී ඇති සැටි පැහැදිලි යයි සිතමි. කෙසේ උවත් අප අද දකින අත්විදින සම්මුතියන් පැරණි සම්මුතියන් නොවන කල, ගැලපීමක් ගොඩනගන තාක් දහම වියුක්තව (අපෙන් තොර දෙයක් ලෙස) දකින තත්වයකට පත්විය හැකි යයි හැගිමක්ද පවතී. :).

      Delete
    2. Anonymous,

      අප තුල "වියුක්ත චින්තනය" යනුවෙන් හැඳින්විය හැකි සංකල්පයක් කලකට පෙර විය. එය බොහෝ කොටම ප්‍රයෝජනවත් වූයේ අනුන්ගේ ප්‍රශ්න දෙස බැලීමේදී ය. මෙය විස්තර කරන ප්‍රථම අවස්තාව මෙය බැවින් හොඳින් සිහියට ගන්න. මේ කියන්නට යන වියුක්ත චින්තනය අපගේම නිර්මාණයකි.

      පාසැල් සමයේ, විශේෂයෙන් වයස 14-18 කාලය බොහෝ නව යෞවනයන්ට විවිධ ප්‍රශ්න ගැටළු ඇති වන කාලයකි. ම ගේ පාසැල් මිතුරන්ට ද මෙය මෙසේමය. උදාහරණයක් ලෙස එක මිතුරෙකුට ප්‍රශ්නය වූයේ ගෙදර සිටින කොල්ලන් තුන් දෙනාට සළකනවාට වඩා තම පියා, ගමේ ඉන්නා බාප්පා වරුන්ගේ දරුවන්ට සළකන්නේ මන්ද යන්නයි. මෙවැනි බොහෝ ප්‍රශ්න බොහෝ දෙනාට විය. මෙවැනි අවස්ථා අපට පැවසෙන විට, වරෙක මා මිතුරා ලෙසත්, වරෙක ඔහුගේ පියා ලෙසත් චරිතාරූඪ කර ගනිමින් ප්‍රශ්නය ඔහු ඉදිරියේම ප්‍රතිනිර්මාණය කර විසඳුමක් කරා යොමු කිරීමේ අපූරු හැකියාවක් අප සතු විය. කෙනෙක් හා ගැටුමකට හේතුවක් ඇති වන මොහොතක ඔහුගේ සිත මෙසේ වේය කියා සළකා ඔහුගේ කෝණය තුලින් ප්‍රශ්නය දෙස බැලීමේ පුරුද්දක් ද අප තුල විය. (මෙයින් ගැටුම් වැළකුණු මුත් බොහෝ අලාභ සිදු වූ බව කිව හැක.)

      අප එකල "තමාගෙන් වියෝ වීම"ය යන අරුතින් "වියුක්ත චින්තනය" ලෙස හඳුනා ගත්තේ මේ හැකියාවයි. ඔබ භාවිතා කරන වියුක්ත චින්තනය ම ගේ වියුක්ත චින්තනයට නෑකම් දක්වන බව පෙනේ.

      එසේ වුවත්, ආචාර්‍ය නලින් ද සිල්වා වියුක්ත චින්තනය'යි කියන්නේ ඉහත විස්තර කළ ආකාරයේ සංයුක්ත චින්තනයකට නොවේ. ඔබ සැබවින් ම වියුක්ත චින්තනය යි හඳුන්වන්නේ කුමක්ද? එය ආත්මවාදී වන්නේ කෙසේද?

      Delete
  6. කණිෂ්ක 1:
    නලින්වාදියා නලින්වාදිය ගැන ප්‍රශ්න වලින් මගහැර යාම කණගාටුවට කරුණකි. එහෙත් පිළිගත හැකි පැහැදිලි කිරීමක් දී ඇත.

    කණිෂ්ක 2:
    ඔබ ඇනෝගේ මතය අනුමත කරයි. එහෙත් මා දකින්නේ ඔහුගේ "චින්තනය" පිළිබඳ ප්‍රවාදය අනෙක් අයට නොදීරවිම මේ ගැටුමට මුල බවයි. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව ඔහු කියන්නේ ඔහුගේ චින්තනය පිළිබඳ ප්‍රවාදය අනුසාරයෙනි. එහෙත් ඔහු එය ඊනියා උගතුන්ට කියා දීමට උත්සාහයක් ගෙන නැත. අපට හමු වූ සමහර විශ්ව විද්‍යාල ආචාර්ය වරු නලින් ගැන බොහෝ පැහැදීමකින් සිටී. එහෙත් ඔහු එය හරිහැටි ප්‍රයෝජනයට ගන්නේ නැත. වරද ඔහුගේමය.

    කණිෂ්ක 3:
    මේ අදහස් දෙක සමගම විරුද්ධ නොවන අතර එකඟ ද නොවෙමි.

    කණිෂ්ක 4:
    මේ ප්‍රශ්නයට අපේ අවිද්‍යා විසින් වඩා හොඳ පිළිතුරක් දෙනු ඇත. ඇත්තටම මිනිහගේ මල ගෙදර ගිය කෙනෙක් ඉන්නවද?
    ඒ වගේම "දැනුම පිළිබඳව ඔබගේ හුදු විග්‍රය නොවැදගත් කොට සලකමි" ලෙස ඇනෝ විසින් කළ සඳහන තුල අපහාසයක් ගැප් වී ඇති බවද පෙනේ.

    කණිෂ්ක 5:
    මේ ප්‍රශ්න තවමත් විවෘත බව පෙනේ.
    "වියුක්ත චින්තනයක් මත ( අත්මවාදී )" යන තැන එසේ යොදා ගත්තේ ඇයිද යන්න ගැටලුවකි. එසේම ඇනෝ විසින් මීට දී ඇති පිළිතුර තව ප්‍රශ්න බොහොමයකට ඉඩ සලසයි. පළමුව කණිෂ්ක ගේ පිළිතුර ලබාගෙන ඉමු.

    ReplyDelete
    Replies
    1. අනේ මචන්ලා එකක් කියන්නම්, වචනයක් වචනයක් ගානේ අරගෙන ප්‍රශ්න අහන්න එපා. මම මුලින්ම ප්‍රශ්න ඇහුවේ මට උත්තර තියෙන නිසා නොවේ. අපේ හිතේ ඉතුරුවෙන දහසක් එකක් ප්‍රශ්න වලට ඍජුව පිළිතුරු දීමට අදාල කෙනා (නලින් ගුරුතුමා ) සම්බන්ධ නොවීම තමයි ලොකුම ගැටලුව.
      "වියුක්ත චින්තනයක් මත" බටහිර විද්‍යාව පදනම් වන බව එතුමාගේ නිර්මාණයකි. ( මට හිතෙන හැටියට. එහෙම නැත්නම් එහම් නෑ. වලි බෑ :) ) (අත්මවාදී ) කියල යෙදුවේ මගේ ගානේ. නිරවුල් නැති අත්මවාදී කියන ම විසින් තනාගත් සංකල්පය ඔහුගේ වියුක්ත කියන සංකල්පයට සමාන වේ. තවද විදුසර සංවාදයේ ඔහු විසින්ද අත්මවාදී (හෝ අනාත්ම ) යන යෙදුම ඇතැම් අවස්ථාවල යොදා ගන්නේ වියුක්ත වදනට සමපාතව බවට මා හට හැගී ගොස් ඇත.

      ගුරුත්වාකර්ෂණය යනු "ඇත්තට ම" පවතින දෙයක්‌ නො වෙයි . එය ප්‍රපංචයක්‌ (සංසිද්ධියක්‌-ඡයෑබදපැබදබ) නො වෙයි. එය ආනුභවික නො වේ. ආනුභවික බොරු යන ලිපිය යටතේ මා සඳහන් කළ පරිදි ආනුභවික වන්නේ පැහැය, තද බව ආදිය මිස පොල්ගෙඩි වැනි වස්‌තු නො වේ. ඒ අරුතෙන් ගත් කල පොල්ගෙඩි පොළොවට වැටීම ද පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රපංච නො වේ. අපි පොල්ගෙඩි පොළොවට වැටීම පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රපංචයක්‌ ලෙස උපකල්පනය කළ ද, ගුරුත්වාකර්ෂණය යනු එලෙස ගත හැකි ප්‍රපංචයක්‌ නො වේ. ගුරුත්වාකර්ෂණය යනු නිව්ටන් විසින් නිර්මාණය කරන ලද සංකල්පයක්‌ පමණි

      අමරතුංග මහතාට අනුව ගුරුත්වාකර්ෂණය සංකල්පයක්‌ නො වේ. එවැනි බලයක්‌ ඇතැයි කිව හැකි යෑයි ඔහු කියයි.

      හ්ම්ම්ම්ම්......
      මම එහෙම යොදාගැනීම නිවැරදිම නැහැ තමයි. මොකද බටහිර චින්තනය අත්මවාදී විතරක්ම නෙවෙයි. ඒක ද්‍රව්‍යවාදී ආදී නොයෙක් අන්තගාමී චින්තනයකි. මම සැලකුවෙත් වියුක්ත කියන කොටස විතරයි. වැඩේ අල වෙලා අපිටත් විදුසර වගේ පැදුරු ලියන්න වෙයිද දන්නේ නැහැ. එහෙම උනොත් මම නෑ ඔන්න :).

      Delete
    2. ආචාර්‍ය නලින් ද සිල්වා
      වියුක්ත සාධාරණිකරණය කරන ලද සංකල්ප වලටයි.

      උදාහරණ ලෙස:
      [1] "මෙය මිනිසෙකුගේ (a man) එක පියවරක් පමණි, එහෙත් එය මනුෂ්‍ය වර්ගයාගේ (mankind) යෝධ පිම්මකි" සහ "මිනිසා (man) හඳට ගියාලු" යන වාක්‍ය දෙක සළකමු. ඉහත a man යනු නීල් ආම්ස්ට්‍රෝන් වේ - අවශ්‍ය නම් එව්වින් ඇල්ද්රින් ලෙස ගත හැක, mankind යනු ඔහුත් ඇතුළු අප සියලු දෙනාය. එහෙත් එඩ්වඩ් ජයකොඩි මිනිසාය කියන්නේ කාටද? ඒ නීල් අයියාට නම් නොවේ. පැහැදිළිවම මේ හඳට ගොස් සිටින්නේ අර වියුක්ත මිනිසාය.

      [2] පරිගණක ක්‍රමලේඛණ කරන කෙනෙක් class සහ object ගැන මුලදීම දැන ගනී. class යනු වියුක්තයයි (abstract class යනු වියුක්ත වියුක්තයදැයි නොඅසන්න - මේ ගත්තේ උදාහරණයකි. වචන වල පරිවර්තන නොවේ). එහෙත් class එකේ object එකක් යනු සංයුක්ත (දන්නා දෙයක්) වේ.

      කෙටියෙන් කියතොත් වියුක්ත යනු දෙන ලද ගුණාංග කිහිපයක් එකතු කොට ඒ ගුණාංග අඩංගු දේ මෙය'යැයි තනා ගන්නා සංකල්පයකි. මෙය සිතෙන් මවා ගනු මිස සැබවින් තනා ගත නොහැක. පැබ්ලෝ පිකාසෝ ඇඳි චිත්‍රයක් වැනි දෙයක් චිත්‍රයකින් මිස සැබෑ ලෝකයේ දැක ගත නොහැකිවා මෙනි.

      කර්මය වියුක්ත ද? කර්මය වියුක්ත බව මට සිතේ.
      ---------

      ආත්මවාදී යනු කුමක්ද?
      වෙනස් නොවන සදාකාලික නිත්‍ය වූ දෙයක් ඇති ය යන අදහස.

      Delete
  7. කණිෂ්ක මට පිළිතුර සමගම ප්‍රස්නයක් යොමු කර ඇත. එය පහසුවකි. වියුක්ත කියූ සැනින් මටද හැගෙන්නේ ඔබ අදහස් කරන වියුක්ත සංකල්පයම හෝ අර්ථයම වේ. පහල ' වියුක්තව (අපෙන් තොර දෙයක් ලෙස) " ලෙස එය සදහන් කලේම එනිසාය. එය ඇගේ තිබෙන දෙය වේ :). ආචාර්‍ය නලින්ගේ වියුක්ත සංකල්පය බලෙන් දා ගන්න හැදුවට ඒක ග්‍රහණය වෙන්නේ නැති නිසයි එය "අනාත්ම" සංකල්පයමද ලෙස මා විසින් මගෙන්ම විමසීමක් කරන්නේ.
    ආත්මවාදී යනු කුමක්ද?
    වෙනස් නොවන සදාකාලික නිත්‍ය වූ දෙයක් ඇති ය යන අදහස
    මම මෙම අර්ථ දැක්වීමට එකඟ නැහැ. මොකද මට හිතෙන විදිහට බුදුදහම කාලය කියන පනවා ගැනීමෙන් නිදහස්. ඉතින් මම සදාකාලික කියන වචනය හලනවා. (නැත්නම් සදාකාලිකයි කියන්නේ මොකක්ද? වෙනස් නොවන බවද? නිත්‍ය බවමද?) "නිත්‍ය වූ දෙයක්" කියන තැන නිත්‍ය වචනය හලනවා (අනිත්‍ය ගැන වෙනම තිබෙන නිසා :) ). ඒ කරලා මගේම අර්ථයක් හදාගන්නවා. ඒක මෙහෙමයි. හෙමිහිට කියවන්න :).
    මගේ ඉදිරියේ පුටුවක් තිබේ. එය ලෑලි කැබලි යම් ආකාරයකට සකස් කිරීමෙන් සාදා ඇත. මම එයට ගිනි තබමි. දැන් "පුටුව" ගිනිගනී!. අවසානයේ මා ඉදිරියේ "පුටුවේ" අළු ඉතිරි වේ. ගිනිගෙන ඉවර වුවද තවමත් මට "පුටුවෙන්" මිදිය නොහැක. ඔන්න දැන් කණිෂ්ක, Josepට "ඉටි පන්දමක්" ගෙනෙන්න ඔතනින් කඩේ යනවා. එයා මගෙන් අහන්නේ මොකද ඔය "අළු ගොඩක්" ළග ඉදන් කරන්නේ කියල. එයාට කතාව දැන ගන්න කල් ඒව අළු විතරයි. මෙන්න මේ පුටුව තමයි නැති දෙය. අපි හොඳ පුටු හොයන්න මොන තරම් දේවල් කරනවද? හොඳ පුටුවක් අපි හදන්නෙම අපිට ලැබෙන දැනුම ඔස්සේ පමණයි. ඒකනේ රන් ආලේපිත හෝ මැණික් පුටු වඩා හොඳ වෙන්නේ. හැම සංකල්පයක් පිටුපසම දැනුම විසින් නිර්මාණය කල විනාස නොවන කිසිදා නොපවතින යම් මවා ගැනීමක් පවතී. නමුත් සත්‍ය ලෙසම එවැන්නක් නැත. එවැනි දේ සොයා යෑම නිස්පලය. එම "නැති" බවට මා අනාත්ම යයි කියමි. ( හ හ හ මහන්සියි :) ) ආචාර්‍ය නලින් එවැනිම අර්ථයකින් "වියුක්ත" වචනය යොදා ගන්නේ යයි මට සිතේ.( මොනවා කරන්නද මම ඔහේ නෙවෙයිනේ :) )
    දැන් අපි "ඉටි පන්දම" අරගමු. අපිට (මෙරටුන්ට) "පන්දම" පුරුදු සංකල්පයක් විට "ඉටි පන්දමක්" මුලින්ම දුටු විට සහ එහි කාර්ය අනුව එයට "ඉටි පන්දම" කීම දැනුම අවශෝශනයකි. එවන් දෙයෙහි ගැටළුවක් නැත. නමුත් නිරායාශයෙන් නොවන සංකල්ප බලෙන් එබීමක් කර ඇතැයි යන අදහසෙන් මට මිදිය නොහැක. එවන් නොතේරෙන සංකල්ප නිසා අපිට අබසරණ වී ඇත. සම්මත ඉහල (සම්මුති) ඇති දෙයක් සම්මත පහලට වැටෙන්නේ ඇයි? යන ප්‍රශ්නය නැගුව හොත් වත්මන් ධර්ම දේශකයන් වහන්සේලාද ඇතුළු අති මහත් බහුතරය "ගුරුත්වාකර්ෂණය" නිසා යයි කියනු ඇත. ඉහල හා පහල සහ පොල් ගෙඩිය සම්මුති වුවත් "ගුරුත්වාකර්ෂණය" සම්මුති වුනේ කෙසේද? එය යම්කිසි දෙයක් වීමට "හේතු" දැක්වීමකි. අප එකෙන්ම දෙසා බාන්නේ නිව්ටන්ගේ හේතුවයි. බුදු දහමෙන් හෝ අභිධර්මයෙන් මෙම හේතුව පහදගන්න බැරිද? එය විද්‍යාවක් නොවන්නේද? නිව්ටන් දෙන හේතුව බොරුවක් බව අපට ආචාර්‍ය නලින් යලි යලිත් පහදා දී ඇත. නමුත් එම පැහැදිලි කිරීම පට්ටපල් බොරුවක් වුනාට හේතුව (ඉහල ඇති දෙය පහල වැටීමට) නැතිවන්නේ නොවේ. එනිසාම ගුරුත්වාකර්ෂණය සංකල්පයක් වී අයින්ස්ටයින් "ගුරුත්වාකර්ෂණය" වෙනස් විදිහකට පැහැදිලි කරන්නේ යයි කියමු. අපි (මෙරටුන්) ගුරුත්වාකර්ෂණය පැහැදිලි කරන්නේ කෙසේද?
    සියල්ල පංච ඉන්ද්‍රියන් සහ මනස ඇසුරෙන් මනසේ නිර්මාණයක් ( මනස යනු කුමක්ද යන ගැටළුව සහිතව) බව මම පිලිගනිමි. නමුත් මනස යනු කුමක්ද සහ මනස නිර්මාණ බිහි කරන්නේ කුමක් (බාහිරව ඇති දෙය උදා. වළන් සෑදීමට මැටි අවශ්‍ය වේ) ඇසුරෙන්ද යන ගැටළුව මට ඇත. මනස මනසේ නිර්මාණයක් සහ සියල්ල ශුන්‍ය වේ යන්න සමග එකඟ නොවෙමි. :). මේ හේතුව නිසාම මා ටෙස්ලා සමග එකඟ වෙමි. ඔහු විශ්වය "Energy Field" එකක් ලෙස කියා ඇත. (තවම ඔහුගේ අදහස් සොයමින් පවතී.මැතකදී තමයි කොල්ලව හම්බ උනේ :) ).


    ReplyDelete
    Replies
    1. හැකිනම් ඉතාම සංයමයකින් මෙම ලිපිය කියවන්න. මෙහිද අවසානයේ සත්වයාට උපමා වන සුළිය නැති වුවද, සාගරය ඉතිරි වේ.
      http://www.divaina.com/images/bud22july/bud21.html
      (හැකි නම් මෙම ලිපිය පල කර එය ඔස්සේ සංවාදයක් කරමු )
      ආචාර්‍ය නලින් අභිධර්ම විරෝදීද යන ප්‍රශ්නය මම නගන්නේම ඔහුගේ අහුලාගත් වාක්‍ය කැලි නිසාම නොවේ. ඔහුගේ චින්තනයේ යම් තැනකදී එවන් විරෝදයක් නිරුපනය වන නිසාය. ආචාර්‍ය නලින් සියල්ල ශුන්‍ය කර අවසාන කරන නිසා නිර්මාණයක් බිහි කිරීමට එම චින්තනයේ ඉඩක් නැත. අභිධර්මය නොදැනීම හෝ නොතේරීම මෙයට හේතුව විය හැකිය. (මා තේරුම් ගෙන ඇති බව හෝ මට වඩා හොඳ පිළිතුරක් තිබේ යනු නොවේ.) (කරුණාකර මෙම අදහස් දැක්වීම් නිවන අරබයා නොවන බවත් නිවී සැනසිල්ලේ ජිවත් වීමේ මගක් සෙවීම අරබයා බවත්, නිවන අරබයා වූ සාකච්චා වෙතොත් එවන් තැනකදී එවන් අදහස් ඉදිරිපත් වේවි.) මෙවන් අදහස් ගොනු කිරීම ඉතාම වෙහෙසකරය. :). එනිසාම මෙය පාළු ගෙයි වලන් බිදීමක් විය හැකි බව මුලින්ම කියා එහෙන් මෙහෙන් අහල දැම්මේ. හ්ම්ම්ම්....:)

      Delete
    2. පවතින දෙය මායාවක් නොවේ. එය වෙනස් වීමක් පමණි.
      මායාව වන්නේ පවතින දෙය ඇසුරෙන් පංච ඉන්ද්‍රිය විසින් නිර්මාණය කරනු ලබන දැනීම් (වේදනා ) පමණි.
      මෙම දැනීම් (වේදනා ) ඒ, ඒ සමාජයේ (වෙනස් සංස්කෘතීන් තුල )වෙනස් ලෙස අර්ථ නිරූපණයක් සිදු වේ.
      මා ඉහතින් සදහන් කලේ හින්දු දර්ශණය පිලිබඳ පෙර කියවා ඇති දෙයක මතක සටහනකි. මා මෙය සදහන් කලේ බටහිරයන් දැනුම (හෝ නොදැනුම ) නිර්මාණය කරන්නේ නැත යන මගේ අදහස නිසාමය. (only interpretation )මට හිතෙන විදිහට උන් පොතක් තියාගෙන (සාරාංශ ගත හෝ වෙනත් සංස්කෘතියක ලියවුන-බයිබලය නොවේ. කුමක්දැයි නොඅසන්න) එකේ තියෙන දේවල් තේරෙන්නේ නැති නිසා කතා ගොතන එක විතරයි කරන්නේ. ඒ අතර චුම්බක සහ තඹ කම්බි එක එක විදිහට තියල කරකවල ලැබෙන අත්දැකීම් ඇසුරෙන් යම් යම් නිර්මාණ කර ඇත. (මොකක්ද එහෙම කරන්න හේතුව? :) ). නිව්ටන් ගොයියාගේ ඔලුවට ඇපල් ගෙඩිය වැටෙනකොට ඒ ගෙඩියේ සමීකරණ ලියල තිබුනේ නෑනේ. මිනිහට එක පාරටම අලුතෙන්ම හැම දෙයක්ම හිතුන වෙන්නත් බෑනේ.(හින්දි චිත්‍ර පටි වල වගේ :) ). ඔය පොරට මොකක් හරි ප්‍රස්නයක් තියෙන්න ඇති. (ගෙදර උන්දැ එක්ක නොවේ). ඒකට යම් අදහසක් පමණක් ඇපල් ගෙඩිය සිදුවීමෙන් ගන්න ඇති. මොනවා ගැනද පොර හිතන්න ඇත්තේ? (එයාගේ සොයාගැනීම් ගොඩක් නිසා උපකල්පනය කරන්න අමාරුයි). ඔන්න ආකිමිඩිස් කාරය නම් යුරේකා කියල හෙළුවෙන් දුවපු නිසා එයාගේ ලැජ්ජාව (විලි ලැජ්ජාව පමණයි) නැති වුනු නිසාද කොහෙද මුළු කතාවම (හේතුව සහිතව) කිව්ව.

      Delete
    3. හසන්ත මහත්තයෝ මට මෙතැනදී මතක් වෙන්නේ මොහිදීන් බෙග් මහතා විසින් ගායනා කරන ජනප්‍රිය හිංදු භජන් ගීයක්..
      මායා..
      මා ආ යා ..
      මා ආ ආ යා ..
      මා ආ ආ ආ යා ආ ..
      කෝ සැපතා මේ සංසාරේ .. ඒ ..
      දුක කෙළවර වේ නිර්'වානේ ..

      Delete
    4. "මෙහිද අවසානයේ සත්වයාට උපමා වන සුළිය නැති වුවද, සාගරය ඉතිරි වේ." --- මෙය කියවන විට සංයමය නැති වේ. ව්‍යාකූල ලිපියකි.

      Delete
    5. ආත්මවාදී යනු කුමක්ද?
      වෙනස් නොවන සදාකාලික නිත්‍ය වූ දෙයක් ඇති ය යන අදහස.
      ---
      "ආත්මවාදී" යන්න සැදෙන්නේ "ආත්ම"ය ඈඳාගෙන වාදයක් තනන්න ගියාමයි. ආත්මය කියා දී වාදයට ගියානම් පිළිතුර පහසු වේ.

      Delete
    6. "මෙහිද අවසානයේ සත්වයාට උපමා වන සුළිය නැති වුවද, සාගරය ඉතිරි වේ." --- මෙය කියවන විට සංයමය නැති වේ. ව්‍යාකූල ලිපියකි.
      සත්‍යකි. එනිසාම යලි කියමි!.
      හැකිනම් "ඉතාම සංයමයකින්" මෙම ලිපිය කියවන්න. මෙහිද අවසානයේ සත්වයාට උපමා වන සුළිය නැති වුවද, සාගරය ඉතිරි වේ.
      http://www.divaina.com/images/bud22july/bud21.html

      Delete
  8. හොඳ වෙලාවට කෑමට පෙර මේක දැක්කේ. නැත්නම් වැස්සයි, හීතලයි, එක්ක කෑමෙන් පසු නිදිමතක් මිස අදහස් එන්නේ නැහැනේ :). ඔන්න Josep ට ඒ පාර ආත්මය මතක් වෙලා. නරකමත් නැහැ අදහස. මෙන්න මගේ "ආත්මය"......
    මට හිතෙන්නේ මෙහෙමයි. මට ජීවීන්(දෙව් මිනිස් ඈ සියළු සත්ව ගණයට වැටෙන - හික් සමහරුන්ට ශාකත් ජිවිනේ.) සම්බන්ධයෙන් වූ කනිෂ්කගේ මෙන්ම වූ රළු "ආත්මය" පිලිබන්ධ වූ අර්ථ දැක්වීමක් විය. නමුත් කල්යාමේදී (ටිකක් මෝරනකොට හික්) එම අදහස අජීවී, සහ නාම ධර්මයන් (රාගය, භය, හොඳ, නරක, කැමැත්ත ආදී වූ) සම්බන්ධයෙන්ද අදාල විය යුතුයැයි (විදර්ශන්නාව වඩාත් තීව්‍ර හෝ පොදු වශයෙන් වැඩීමට) හැඟීමක් ඇතිවිය. එවිට එම මූලික අර්ථ දැක්වීම "රළු" එකක් බැවින් නව අර්ථයක් ඕන විය. නමුත් මෙම නව සංකල්පනාව එසේ ගොඩනගා ගත්තක් නොවේ. ආචාර්‍ය නලින් ඔහුගේ ලිපියක (ලිපිය මතක නැත) යම් ප්‍රශ්න කිරීමක් තුල යම් වූ මට නොතේරෙන දෙයක් ඇත්දෝහෝයි යලි යලි සිතමින් සිටින එක්තරා මොහොතක එවන් වූ අර්ථයක් එක්වරම වැටහින. ඒ සමගම බොහෝ ගැටළු (මට එතෙක් පැවති සහ සියළු නොවේ) විසදෙන බවක් වැටහින. (නිව්ටන්ට ඇපල් වැටුන වගේ).
    දැන් අපි "කාම රාගය" අරගෙන බලමු. මට පෙරදී රාගී ගැහැණු රූපයක් දුටු විට එය රූප දැකීමක් පමණක් බවට හැගීමක් හෝ නොවිය. එම රූපය දැකීමේදී යම් වූ ව්‍යාකූල හැගීමක්, දැවීමක් එක් වරම ඇතිවේ. ඒ පෙනෙන වස්තුවේ නොයෙක් විශේෂ උණුසුම් බවක්, පිරිසිදු වූ, සුමුදු වූ, සුගන්දවත් වූ යමක් ( අල්ලලා, මිරිකලා, කාල හ්ම්ම්ම්...බැලිය යුතු බවක් වැනි වූ ) ඇතයි යන හැඟීමක් වැනි වූ හැඟීමක් ඇතිවන්නේය (මෙය සමාජයෙන් ලැබෙන දැනුම සමග වර්දනය වෙමින් පැවතුනි. පුකවල් ගැන, කකුල් ගැන සෑහෙන්න අහන්න ලැබෙනවනේ. අනේ ඉතින් හැමෝම පුකෙන් කරන්නේ රෙ_ එකනේ. ඒක ඉතින් ගදයිනේ....) නව අර්ථය සමග එය මෙවැනි තුනී කිරීමක් ඇතිවිය. අප බොහෝ ලගින් ඇසුරු කරන එවන් රාගී රූප සම්බන්ධයෙන් එවන් වූ රළු හැඟීමක් එක්වරම ඇති නොවේ. ඒ අප ඇසුරු කරන්නන් සම්බන්ධයෙන් වූ අපගේ දැනුම (සංඤා ස්කන්ධය) පුළුල්ය. එයාගේ සැර, බොරු කාරයෙක් බව, කම්මැලි කම, කෑමට ගිජු බව, බොරු සෝබන, රූපය සහ ඇදුම් ආදියට කරන වියදම ආදිය නිසා ඇතැම් විට ඇතිවන්නේ පිළිකුලක් හෝ තරහකි. එයද පෙර මෙන් වූ රූපයකි, වස්තුවකි......නමුත් හැඟීම වෙනස්ය. "එම වෙනස කරන්නේ දැනුම මගිනි". නමුත් හැඟීම ඇතිවන්නේ රූපය දැකීම් මාත්‍රයෙනි. එවැනි බොහෝ සරාගී රූප ළඟ සිට (එකට වැඩ කරන තැන යයි කියමු) පාරට ගියද පාරේදී දකින රුපයෙන් ඇතිවන හැඟීම නැති නොවේ. අපි ස්ථිරව පවතින්නා වූ, විනාශ නොවන යමක් පසුපස නොයන්නේද? එය සිතේ හටගත්තක් පමණක් නොවන්නේද? දැනුම සමග වර්දනය වුවක් නොවේද? නමුත් බාහිර රූප වල යථාර්තය දකින්නේනම් ඒවා තුල එම "පිරිසිදු" දෙය "පවතී"ද? මා "පවතින්නේ" නැතැයි කියන්නේ මෙයයි. එනම් "ආත්ම" ලෙස මා දකින්නේ සිතෙන් දැනුම ඇසුරෙන් අප නිර්මාණය කරගන්නා මා පමනක් දකින "Josep" ය. මා දකින josep කණිෂ්කට දැකිය නොහැක. නමුත් මා දකින josep කෙනක් කොහේ හෝ නැත. ඒ තබා Josep සිතා සිටින josep කෙනෙක් හෝ නැත. නමුත් අප නිර්මාණය කරගන්නා Josep ලා නම් ඇත. ඉතින් එවැන්නක් නැත. හෝ පවතින්නේ නැත......

    ReplyDelete
    Replies
    1. මාගේ පෙර අදහස් පිළිබඳව යම් වූ ඌනපූර්නයක් අවශ්‍ය යයි සිතමි. ආචාර්‍ය නලින්ගේ අනුගාමියෙක් යයි කියමින් මා ඔහුගේ මත විවේචනය කිරීමක්ද කර ඇති බැවින් ඔහුට අවශ්‍යයෙන්ම හිමිවිය යුත්තකට හානි නොවිය යුතුය. මට සිතෙන්නේ ඔහු අවදිකරන්නේ අපගේ සවිනංඤ්ඤානික බවයි. ඔහුද සර්වඤ්ඤ නොවන බැවින් සවිනංඤ්ඤානික වූ අපගේ ඇතැම් දැනුම් ඔහු ඉක්මවා තිබිය හැකිය. නමුත් පෙර හෝ පසු එවැනි දැනුමක් ඇතිකරගන්නේම ඔහුගේ මග ඔස්සේ ලැබූ සවිනංඤ්ඤානික බව නිසාමය. එනිසාද ඔහු මට ගුරු වේ. එහෙත් මාගේ අසහාය ගුරු වන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පමණි.

      Delete
    2. ආත්මවාදී යනු කුමක්ද?
      වෙනස් නොවන සදාකාලික නිත්‍ය වූ දෙයක් ඇති ය යන අදහස

      මෙන්න මගේ කෙටිම අදහස..........
      (වෙනස් නොවන - නිත්‍ය ) සදාකාලික නිත්‍ය වූ දෙයක් ඇති ය යන අදහස

      ( සදාකාලික - වෙනස් නොවන - නිත්‍ය ) නිත්‍ය වූ දෙයක් ඇති ය යන අදහස

      (නිත්‍ය වූ) දෙයක් ඇති ය යන අදහස

      දෙයක් (යමක්) ඇති (පවතී) ය යන අදහස

      එනම්.........

      යමක් පවතී යන අදහසම වේ.

      Delete
    3. ආචාර්‍ය නලින්ට අනුව සියල්ල මනසේ නිර්මාණ වන අතර මනසද මනසේ නිර්මාණයකි. හොඳයි.

      සිතට හෝ මනසට ඔබ හුස්ම ගැනීම නැවතිය හැකිද? හුස්ම ගැනීම සහ සිත එකක්මද? එසේ නැත්නම් වෙන වෙනම දෙකක්ද? එසේ නැත්නම් එකක් වන්නේත් නැත, වෙන වෙනම දෙකක් වන්නේත් නැතද?
      හුස්ම ගැනීම සහ ශරීරය එකක්ද? හුස්ම ගැනීම සහ ශරීරය වෙන වෙනම දෙකක්ද? එසේ නැත්නම් හුස්ම ගැනීම සහ ශරීරය එකක් වන්නේත් නැත, වෙන වෙනම දෙකක් වන්නේත් නැතද?
      ශරීරය සහ සිත (මනස) එකක්ද? ශරීරය සහ මනස වෙන වෙනම දෙකක්ද? එසේ නැත්නම් ශරීරය සහ මනස එකක් වන්නේත් නැත, වෙන වෙනම දෙකක් වන්නේත් නැත්ද?

      Delete
    4. ඔබ නගන ගැටළු - මතුපිටින් සරල බව පෙනෙතත් - සිතීමට බොහෝ දේ ලබා දෙයි. ඇත්ත වශයෙන් අප කලක පටන් ලිවීමට ආරම්භ කර තිබූ (අද පල වූ) ලිපිය ඉක්මන් කිරීම පිණිස ඔබේ ප්‍රශ්න උපස්තම්භක වූ බව ස්තූතිපූර්වකව සඳහන් කරමි.

      ඔබේ අවසන් ප්‍රතිචාරය, එයට අප පිළිතුරු දීමට වඩා ආචාර්ය නලින්ගෙන්ම පිළිතුරක් විමසිය යුතු බව පෙනේ. අපට මේ සම්බන්ද පිළිතුරක් වෙතත් එයට නලින් එකඟ වේද? හැරත්, නලින්ගේ ය කියා ඔබ උපුටා දක්වන කරුණ සමග අපගේ එත රම් එකඟත්වයක් ද නැත.

      Delete
    5. එසේම,
      ආත්මවාදී යනු කුමක්ද?
      වෙනස් නොවන සදාකාලික නිත්‍ය වූ දෙයක් ඇති ය යන අදහස.

      මේ විග්‍රහයට ඔබ උරුම කර දුන් ඉරණම කෙරේ අපගේ කිසිදු පැහැදීමක් නැත. එසේ වුවත්, ආත්මවාදය ගැන අපගේ අදහස මීළඟ ලිපියකින් එළිදැක්වෙන බැවින් ඒ ගැන වැඩිමනක් විස්තර කිරීමට නොයමි.

      Delete
    6. ඔබේ මුල් ප්‍රතිචාරය තවම විමසමින් සිටිමි. විමසන විමසන වාරයක් පාසා නව අදහස් ඇති කෙරෙයි. එයටත් හැකි ඉක්මනින් පිළිතුරක් ලියන්නම්.

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !