Monday, October 20, 2014

මට මහලු වයසේ හැකිය වෙණ ගායනා

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියට සහ එහි සාම්ප්‍රදායික පරිණාමයට ඉතා දැඩි බලපෑම් කළ තනි පුද්ගලයෙක් වේ නම් ඒ 1989 වසරේ මළවුන්ගේ මාසයේ එක් කරුමක්කාර දවසක මූසල රාත්‍රියක කාත් කවුරුවත් නැති පාළු කනත්තක දී ඌර්ධවපාතනය වූ, හෙළයේ අසිරිමත් විප්ලවවාදියා ලෙස ඔහුගේ කණවැන්දුම් දේශපාලන ව්‍යාපාරයේ සගයන් විසින් හඳුනා ගැනෙන, රෝහණ විජේවීරයන්ය.

ලංකා විශ්ව විද්‍යාලට කිසිදා ශිෂ්‍යයෙක් ලෙස ඇතුලත් නොවූ, රුසියාවේ තමන් ඉගෙන ගත් විශ්ව විද්‍යාලයෙන් ද දොට්ට දැමුණු විජේවීරගේ විප්ලවය ආරම්භයේ සිට කනත්ත කරා යොමු වූවක් වුනත් මීට වෙනස් මගක් ගත් පුද්ගලයෙක් ද විය. රෝහණ බටහිර ධනවාදයට එරෙහිව බටහිර ම සමාජවාදය සරණ ගියේය. ඔහු පමණක් නොව බොහෝ දෙනා එකල ඒ මග ගිය මුත් ඉන් සමහරු වාසිය දුටු සැණින් බොරු ගෝසාව අතහැර තමන් එතෙක් පට්ට ගැසූ ධනවාදී ප්‍රවාහයේ කප්පිත්තන් බවට පත් වී සූරා කෑමේ උපරිමය ප්‍රදර්ශනය කළෝය. තවත් සමහරු අපට නොපෙන්වුවත් තමන්ගේ බටහිර වෙසෙන ධනවාදී ස්වාමින් වෙනුවෙන් මෙරටේ පය ගසාගෙන සිටිමින් තවමත් අර බොරු ගෝසාව පවත්වාගෙන යති.

කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය නලින් ද සිල්වාගේ ඡායාරූපය
ආචාර්ය නලින් ද සිල්වා
මේ බොරු සමාජවාදී අපතයන් ගැන කතා කිරීම එලොවටත් මෙලොවටත් පලක් නැති දෙයක් (හෙවත් අපලයක්) වන නිසා ඔවුන් හැර දමා දමා, දීර්ඝ කාලයකට පෙර ඒ මගින් ඉවත් වී ස්වාධින මාවතකට පැමිණ, ඒ වෙනුවෙන් බොහෝ කැප කිරීම් කර, තවමත් ඒ මග ගමන් කරන භූමි පුත්‍රයෙකු ගැන කතා කරමු. ඒ රජරට වකුගඩු රෝගයට ප්‍රතිකාරයක් ඇතැයි කියා පවසන ලෝකයේ එකම විශ්ව විද්‍යාල ආචාර්ය වරයා වන, විශ්‍රාම ලත් මහාචාර්ය, කැළණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති, ආචාර්ය නලින් ද සිල්වා ය.



දේශජ දැනුමට නිසි තැන ලබා දුන් බටහිර විද්‍යාඥයා


ආචාර්ය නලින් ද සිල්වා උපන්නේ පානදුර කෝවිල ගොඩැල්ලහිදී ය. ගමේ පාසලෙන් (බෞද්ධාලෝක මහා විද්‍යාලය) අනතුරුව තර්ස්ටන් විද්‍යාලයත් රාජකීය විද්‍යාලය ඔහුගේ අධ්‍යාපනය සැරසීය. ඒ අතර පානදුර වෑකඩ ධර්මප්‍රාසාදයට ඔහු යන්නේ "පන්සල් පොත්" කියවීමටයි. ලංකා විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය සමත් වන මේ දක්‍ෂ තරුණ ශිෂ්‍යයා එංගලතයට යන්නේ සසෙක්ස් විශ්ව විද්‍යාලයට ඇතුලත්ව තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමටයි.

එංගලතයට යන බොහෝ දෙනාට වැළඳුන රෝගයක් වන සමාජවාදී රෝගයෙන් ඔත්පලව මේ රටට ගොඩ බසින ඔහු, වසර කිහිපයක් සමසමාජ පක්‍ෂය, නව සමසමාජ පක්‍ෂය ආදී නන්නත්තාර දේශපාලන ව්‍යාපාර සමග මුහුව කටයුතු කරයි. නලින් තුල සිටින සැබෑ බුද්ධිමතා සහ විප්ලවවාදියා එළි දැක්වෙන්නේ 1985 දී පමණ ඔහු විසින් සංගෘහිත "මගේ ලෝකය" කෘතියෙනි. ලංකාවේ බොහෝ දෙනා (අපත් ඇතුළු) කියවා නැති, එතරම් ප්‍රචලිත නොවන මේ පොත් පිංච මේ ජාතික චින්තනය නමින් පසුව හඳුනා ගැනෙන දැනුම් පද්ධතියේ මූලාරම්භය සනිටුහන් කරයි.

මගේ ලෝකය
අද අන්තර්ජාලයේ සෙවීමක් කර බැලුවොත් ඉතාම සාහසික නිර්දය වාග්-ප්‍රහාර වලට ලක් වන ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල ආචාර්ය වරයා නලින් ය. ඔහු තරම් ජනමාධ්‍යයේ අවිචාරවත් (නො)සැළකිල්ලට ලක් වූ, ප්‍රසිද්ධ මාධ්‍ය වල අපහාසයට ලක් වූ වෙනත් ආචාර්ය වරයෙක් නැත. බොහෝ දෙනාට ඔහු කියන දේ තේරුම් ගැනීමට අවශ්‍ය පසුබිම් දැනුම නොමැති වීම ආචාර්ය නලින් ගේ වරදක් නොවේ. එකල X කණ්ඩායම සහ පශ්චාත් නූතනවාදී මහත්වරු කියන දේ අපට නොතේරීම අපේ වරදක් නොවන්නාක් මෙනි. දොරමඬලාවේ හසන්ත මහතාත් දෙරණ 360 දිල්කි මහත්මියත් තමා වෙත එල්ල වූ කැමරා ඉදිරියේම හුන් අසුනේම ජරා කර ගන්නේත් ඒ වැඩසටහන් ඉදිරිපත් කළ නිෂ්පාදක වරු ඇතුල් කාමර වල සිටම මහජනයා ඉදිරියේ නිරුවත් වන්නේත් මෙකී පසුබිම් දැනුම නොමැති වූ නිසාය.

ආචාර්ය නලින් ද සිල්වා ගේ වැදගත් කම ඇත්තේ තමා වටා ඇති අදිසි බාධකය හඳුනා ගැනීම සහ එයට අභියෝග කිරීමට ඉදිරිපත් වීම මිස වෙනකක් තුල නොවේ. මේ අදිසි බාධකය සහ එහි පදනම නොබියව ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වන්නෝ ඉතා දුර්ලභයි. ඔහු විසින් තමා ඇදහිල්ලක් මට්ටමින් සැළකූ මාක්ස්වාදයත් බටහිර විද්‍යාවත් යන දෙකම ගොඩ නගා ඇති පදනම ප්‍රශ්න කිරීම ඇරඹුණ දා ම ඔහුට එරෙහිව වන කෙණෙහිලිකම් ද ඇරඹිණි. ලංකා විශ්ව විද්‍යාල පද්ධතියේ ආචාර්ය ගෝල දහස් ගණනක් තම ජිවිත වල සොඳුරුම කාලයේ කනත්තට දැක්කූ (බොහෝ අවස්ථා වල කනත්තත් අහිමිව පාලු පාරක බාගෙට පිලිස්සී බල්ලන්ට කබරයින්ට බොජුනක් වන්නට මේ සමහරුන්ට සිදු විය) රෝහණ විජේවීර ට මෙතරම් අපහාස-උපහාස එල්ල වූයේ නැත.

මේ සියල්ල ඉදිරියේ සියල්ලටම පිළිතුරු දෙමින් ආචාර්ය නලින් ද සිල්වා තවමත් නිරුපද්‍රිතව සිටී. ඔහුට එල්ල වන චෝදනා වලට ඔහුගේම වචනයෙන් පිළිතුරු දීම සුදුසු බැවින් පසුගිය සතියේ දිවයිනේ ආචාර්ය නලින් විසින් පල කරන්නට යෙදුණු ලිපිය උපුටා දක්වමු. ඒ සමගම ලංකාවේ කිසිම විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු මුහුණ නුදුන් අභියෝග ඉදිරියේ පන්තිස් වසක් නොසැලී සිටි, අද සැත්තෑ වැනි විය සපුරන ඒ ප්‍රාඥයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමු.

ඒ සමගම එතුමා ගේ ධෛර්යයෙන් ආරම්භ කරන්නට යෙදුණු රජරට වකුගඩු රෝගයට ප්‍රතිකාර සෙවීමේ වැඩසටහන ද සාර්ථකත්වය කරා යේවා යි ඒ සමගම ප්‍රාර්ථනා කරමු. අද දෙතිස් කතාවේ ඉඩ ආචාර්ය නලින් විසින් තමා ගැනම ඉදිරිපත් කෙරෙන කයිවාරුවකට වෙන් වේ.

මට මහලු වයසේ හැකිය වෙණ ගායනා පෙරසේ

ආසනික්‌ හා නාථ දෙවියන් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම මගේත් වකුගඩු රෝගීන්ගේත් රටේත් සෞඛ්‍යයට හිතකර බව පැහැදිලි ය.
පසුගිය සතියේ වකුගඩු රෝගීන් පිළිබඳ තවදුරටත් ලිවීමෙන් පසු මගේ විරුද්ධවාදීන් අතර ඉ-තැපැල් හුවමාරුවක්‌ සිදු වී ඇත. ඉඳහිට මේ ඇතැම් ලිපි මගේ සමහර මිතුරන් අතට ද පත්වෙයි. ඔවුහු ඉන් සමහරක්‌ මට යොමු කරති.අද මගේ විරුද්ධවාදීන් වී ඇත්තේ බටහිර විද්‍යාවට දාසකම් කරනවුන් ය. ඔවුහු තමන් බටහිර විද්‍යාවේ දාසයන් බව නො දනිති. වහලා තමන් වහලකු බව නොදනියි.

මම ද අවුරුදු පහළොහේ පමණ සිට තිස්‌පහ පමණ දක්‌වා බටහිර විද්‍යාවේ දාසයෙක්‌ වීමි. මා බටහිර විද්‍යාඥයකු වීමටත් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ගණිතය උගන්වන කථිකාචාර්යවරයකු වීමටත් තීරණය කළේ අවුරුදු පහළොවේ දී පමණ ය.තෙවතාවක්‌ ම මට ලංකාවේ ඒ අවස්‌ථාව උදාවිණි. දෙවතාවක්‌ ම මට විශ්වවිද්‍යාල අත්හැර යැමට සිදුවිය. තුන්වැනි අවස්‌ථාවේ දී සුදුසු කල මම රැකියාවෙන් විශ්‍රාම ගත්තෙමි. එහෙත් ඒ අතර අදාළ විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්යවරු මට විරුද්ධව අත්පත්‍රිකා බෙදුහ. උද්ඝෝෂණය කළහ. පෝස්‌ටර ගැස්‌සවූහ. අවසානයේ දී පීඨාධිපතිවරයකු වූ මගේ ඡායාරූපය ද නොඑල්ලීමට වග බලාගත්හ. දැන් මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි සාමාජිකයෙක්‌මි. ඒ ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවට ය. ඇතැමුන් කියනු ඇත්තේ ඒ කඩේ යැම නිසා ලැබුණු වරදානයක්‌ බව ය.

මා කඩේ ගිය බව හා යන බව සැබෑ ය. කොටි පරාජය කළ ජනාධිපතිතුමාට කඩේ යනු මිස කොටින්ට රට පාවාදුන් රනිල්ට කඩේ යන්න ද? සුදු කොඩි සරත් ෆොන්සේකාට කඩේ යන්න ද? රනිල්ට සේවය කරන අනුර දිසානායකට කඩේ යන්න ද? කෙකරගාමී කුමාර් මහත්තයාට කඩේ යන්න ද? කිසිවකුටවත් කඩේ නොයා සිටීමෙන් වක්‍රව රනිල් වැන්නකුට කඩේ යන්න ද? නැත, මම ජනාධිපතිතුමාට කඩේ යමි. එහෙත් එයින් කියෑවෙන්නේ මා ආණ්‌ඩුවේ සියලු කටයුතු අනුමත කරන බව නො වේ. අනෙක්‌ අතට ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකත්වය යනු රැකියාවක්‌ නො වේ. එහි මසකට රැස්‌වීම් දෙකක්‌ පැවැත්වෙයි. සාමාජිකයකුට සහභාගිවන රැස්‌වීමකට දීමනාවක්‌ ලැබෙයි. මා කඩේ ගියේ වරදාන බලාගෙන නො වේ. දීමනාව කුමක්‌ වුවත් මම සතුටින් සේවය කරමි. එමගින් මේ කසිකබල් අධ්‍යාපනය ඉතා සුලුවෙන් නමුත් දේශීයත්වයට ගැනීමට කටයුතු කරමි. උදාහරණයක්‌ ලෙස ගතහොත් දේශීය වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය බටහිර වෛද්‍ය විද්‍යා අධ්‍යාපනයට වඩා උසස්‌ තැනකට ගෙන ඒම මගේ අභිප්‍රාය වෙයි. මම එය නො සඟවමි. එහෙත් ආණ්‌ඩුව අදත් පාරම්පරික වෙදමහතාට නිසි සැලකිල්ලක්‌ නො දක්‌වයි. කෘෂි රසායනික වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර නැත. ලේ කාන්දුකරණය හා වකුගඩු බද්ධකිරීම ප්‍රතිකර්ම නො වේ. අද වකුගඩු රෝගීන් මිය යෑම පිළිබඳ ව ආණ්‌ඩුව හෝ වෙනත් පක්‌ෂයක්‌ හෝ සැලකිල්ලක්‌ නොදක්‌වයි. ඒ බටහිර වෙදකමේ නොහැකියාව වසා ගැනීමට ය. ආණ්‌ඩුව පාරම්පරික වෙදමහතුන්ට ජංගම වෙදගෙවල් පහසුකම් ඇතිකරන්නේ නම් රෝගීන් මියයනු වැළැක්‌විය හැකි ය. එහෙත් බටහිර වෛද්‍යවරු එයට අකුල් හෙළති.

බටහිර වෛද්‍යවරයකු වීම හෝ බටහිර ඉංජිනේරුවරයකු වීම හෝ කෙදිනකවත් මගේ අභිප්‍රාය නො වී ය. එහෙත් මම බටහිර ගණිතයට හා සෛද්ධාන්තික භෞතික විද්‍යාවට ප්‍රිය කළෙමි. පාසලේදීත් විශ්වවිද්‍යාලයේදීත් මා සිතා සිටියේ මා දක්‌ෂ ශිෂ්‍යයකු බව ය. මම ඊනියා විද්‍යාත්මක ක්‍රමයට ඇලුම් කළෙමි. මා ඉංගිරිසි ඉගෙන ගත්තේ භෞතික විද්‍යාව හා ගණිතය එහි ඉතිහාසය, දර්ශනය ආදී විෂය පිළිබඳ පාසල් පුස්‌තකාලයේ තිබූ පොතපත කියවීමෙනි. අප පාසලේ ඉහළ මට්‌ටමේ පුස්‌තකාලයක්‌ තිබීම මට රුකුළක්‌ විය. අයින්ස්‌ටයින්ගේ මීනින් ඔෆ් රෙලටිවිටි (සාපේක්‌ෂතාවේ අරුත) පොත කියවන විට මම සාමාන්‍ය පෙළ පළමු වසරේ සිසුවෙක්‌ වීමි. ගැලීලියෝ නිවුටන් ආදීහු මගේ පරමාදර්ශී චරිත වූහ. බේකන්ගේ සිට රසල් දක්‌වා දාර්ශනිකයෝ මට මග පෙන්වූහ. එහෙත් මගේ පියා ද මව ද දූරදර්ශීව කටයුතු කර තිබිණි. ඔවුන් අපට බටහිර විද්‍යාව ඉගෙනීමට අනුබල දුන්නේ දේශීය අධ්‍යාපනය අමතක කර නො වේ. මගේ මව මා අවුරුදු අටේ දී පමණ පූජාවලිය කියවන විට මට අකුල් නො හෙළුවා ය. ඇය අපට කී කතාවක්‌ නම් මා ඇගේ ගැබෙහි සිටිනා කල ඇය කිහිප වතාවක්‌ ම උම්මග්ග ජාතකය කියවූ බව ය. මගේ පියා මා පාණදුරේ වෑකඩ ධර්මප්‍රාසාදයට යවා පන්සල් පොත් කියවීමට සැලැස්‌වී ය. කුඩා කල මා කියවූ පූජාවලියවත් සාපේක්‌ෂතාවාදයේ අරුතවත් මට මුළුමනින් ම තේරුම් ගියේ යෑයි මම නො කියමි. මා සාමාන්‍ය පෙළ ප්‍රථම වසරෙහි ඉගෙන ගන්නා කල රසායන විද්‍යා ගුරුවරයා අම්ලයක්‌ යනු කුමක්‌ දැයි නිර්වචන කරන ලෙස කියා සිටියේ ය. එකල යම්තම් ඉංගිරිසි ගැටගසාගත් අපට පමණක්‌ නොව ඉංගිරිසි හොඳින් දත් සිසුන්ට ද පිළිතුරු නැති විය. එවිට ගුරුතුමා අපට කියා සිටියේ නිර්වචනය යනු කුමක්‌ දැයි තේරුම් කර දෙන ලෙස ය. අප කිසිවකුට එයට ද පිළිතුරු නැති විය. අප ගුරුතුමා අපට එවර කියා සිටියේ තේරුම යනු කුමක්‌ දැයි නිර්වචනය කරන ලෙස ය. මේ අවුරුදු පනස්‌පහකට පෙර සිදුවූවකි. ගුරුතුමා කී දෙය මට වැටහුණේ ඉන් අවුරුදු විස්‌සකට පමණ පසුව ය. ඔහු අපට කී දේ අනුව නිර්වචන යනු තේරුම් කිරීම් බවත් තේරුම් කිරීම් යනු නිර්වචන බවත් මට වැටහිණි. චක්‍රීය චින්තනය යනු කුමක්‌ දැයි මට දැනගැනීමට ලැබිණි. පටිච්චසමුප්පාදාය මට වෙනත් අයුරකින් වැටහිණි. රසල්ලා අයින්ස්‌ටයින්ලා වෙනුවට නාගර්ජුනලා මගේ ලෝකය අරක්‌ගත්හ. බුදුදහම යනු දැනුම නොදැනුම බවට පත්කිරීම අරමුණු කරගත්තක්‌ බව එයටත් කලකට පසුව මට වැටහිණි. බුදුන් වහන්සේ පමණක්‌ මගේ ලෝකයෙහි ඉතිරි වූ සේක. හෙට අනිද්දාට මට සැත්තෑවිය පිරෙයි. එහෙත් මට පෙර සේම වෙණ ගායනා හැකිවෙයි.

මා බටහිර විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගියේ විසිහතර වැනි වියේ දී ය. පාසලේ ගණිතය සඳහා ත්‍යාග දිනාගෙන, විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‌ෂණයෙහි දී ද විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වයක්‌ (අද කියන ආකාරයට නම් තරාව - ශේ්‍රණිය අනුව දිවයිනේ පළමු කිහිප දෙනා අතරට පැමිණ) හා පාසලේ ගණිතය පිළිබඳ අවසාන ත්‍යාගය ද දිනාගෙන, පසුව ගණිතය පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය ද දිනාගෙන කේම්බිඡ් නොගොස්‌ මා සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලයට ඇතුල් වූයේ කරුණු දෙකක්‌ නිසා ය. පළමුවෙන් ම එහි විශ්වවේදය පිළිබඳ ඉතා දක්‌ෂ උපදේශකවරයකු වීම ය. දෙවනුව ඔවුන් ජනවාරියෙහි දී ම විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට මට අවසර ලබාදීම ය. ඉතා සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලයක්‌ වූ කේම්බ්‍රි- විශ්වවිද්‍යාලයට ඇතුල් වී නම් මට ඔක්‌තෝබරය වන තුරු බලා සිටීමට සිදුව තිබිණි. මම ඉතා සතුටින් සසෙක්‌ස්‌ බලා පිටත්ව ගියෙමි. එහෙත් ඒ ප්‍රීතිය ටික කලෙකින් ම අහෝසි වී ගියේ ය. මට බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි බව වැටහිණි. එයට හේතුව මා නොදත් නමුත් බටහිර විද්‍යාඥයකු වීමේ බලාපොරොත්තුව අත්හැර දැමීමට මට සිදුවිය. මා එංගලන්තයට ගියේ මූලික වශයෙන් විද්‍යාඥයකු වීමට මිස ආචාර්ය උපාධියක්‌ ලබාගැනීමට නො වේ. විද්‍යාපති (එම් එස්‌ සී) උපාධියකින් ද කථිකාචාර්ය ධුරයක්‌ ලැබිය හැකිව තිබූ බැවින් මා උපදේශකවරයාට පැවසුවේ විද්‍යාපති උපාධියක්‌ ලබා ආපසු යන බව ය. ආචාර්ය උපාධිය සඳහා අවම වශයෙන් අවුරුදු දෙකක්‌ ගත කළ යුතුය යන රෙගුලාසිය මා වෙනුවෙන් ඉවත්කර මට ආචාර්ය උපාධිය සඳහා නිබන්ධනය අවුරුදු එකහමාරකින් ඉදිරිපත්කිරීමට සනාතන සභාවේ අවසරය ලබාගැනීමට කටයුතු කරන බව ඔහු කීවේ ය. එලෙස ම කටයුතු සිද්ධ විය.

මෙය තරමක කයිවාරුවකි. එහෙත් මා ඒ කයිවාරුවට යොමු වන්නේ මෙරට උගතුන් මා කෙරෙහි දක්‌වන ප්‍රතිචාරයට පිළිතුරක්‌ සැපයීම සඳහා ය.
මා කලින් සඳහන් කළ ඉ-තැපෑලට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ගාමිණී රාජපක්‌ෂ මහතා කියන්නේ මා අදම්‍ය ස්‌ඵෝටකයක්‌ හා යක්‌ෂයකු බව ය.
- නලින් ද සිල්වා | ඉරිදා දිවයින


අද, එනම් ඔක්තෝබර 20 දින, නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ගොවි ජනපද ව්‍යාපාරයේ නිර්මාතෘ මහාමාන්‍ය දොන් ස්ටීවන් සේනානායක මැතිතුමාගේ ද ජන්ම දිනය බවත් අවසන් වශයෙන් සඳහන් කරමු.

වැදගත් සබැඳි:
විදුසර ලිපි
කාලය වෙබ් අඩවිය

පොත්:
ප්‍රභාකරන්, ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා
මාක්ස්වාදයේ දරිද්‍රතාවය
 

30 comments:

  1. ඉතාම අගනා ලිපියක්.
    කථා 32 අඩවියෙහි වටිනාකම ඉහල නංවන ලිපියක් ලෙස මෙය මා දකිමි.
    කිසිදාක මහාචාර්‍ය නලින් ද සිල්වා වියතානන්ගේ අනුගාමිකයෙකු තබා ලිපි කියවන රසිකයෙකු වත් නොවූ මා එතුමාගේ මතවාද ගැන කියැවීමට හා ඒවායින් යමක් උකහා ගැනීමට යොමුවූවානම් ඒ ජෝසප්, කණිෂ්ක ආදී මිතුරන්ගේ ඇසුර නිසාමය.
    ඒ වටිනාකම් බොහෝ දෙනා වෙත බෙදා දෙන මෙවන් වූ උත්සහයන් අගය කල යුතුමය.
    ඒ ශ්‍රේෂ්ඨ යුග පුරුශයාට ජාතියේ නාමයෙන් නිරෝගී සුවයත් දීගායුත් පතමි.!

    මෙහි පැමිනීමටත් පෙර මේ ලිපිය ගැන උපුටනයක් සී නිව්ස් හී දුටුවෙමි. කවරෙකු විසින් හෝ ඉටුකර ඇත්තේ වටිනා කර්තව්‍යයකි.

    ReplyDelete
    Replies
    1. ඔව් සැබෑම අපූරු ලිපියක්. තරමක් දිග උනත් වෙහෙසක් නැතිව කියවන්නට හැකියි.

      ආචාර්ය නලින් ද සිල්වා ගැන ඔහුගේම උපන් දිනය දා සිහි කිරීම හොඳයි. එහෙත් සී නිවුස් එකේ හොර-කොමෙන්ට් එකක් දමා ගැනීම දෙබරයට ගල් ගැසීමක්යැයි සිතුනේ නැද්ද? දැන් දෙබරය ඇවිස්සී අවසන්. හැකි දෙයක් කරන්න.

      Delete
    2. ඔව් මෙතරම් හදිසියෙන් එම උපුටා ගැනීම පල වූයේ කෙසේදැයි මාද වික්ශිප්ත වූයෙමි.
      ඒ ඔබදැයි සිතුන මුත් ඔබ විවිධ නම් යොදා නොගන්නා බව දන්නා නිසා එය වැරදි බව දැනගතිමි.
      එහෙත් යොදාගෙන ඇති නම "ක"යන්නකින් ඇරඹීම පටැලැවිල්ලක් සැදීය.
      මෙය හිතා මතාම දෙබරයට ගැසූ ගලක් වීමෙහී සම්භාවිතාවය නම් ඉතා ඉහලය. එහෙත් ඔබ කියන තුරු මට එය නොවැටහිනි.

      Delete
    3. ඔව්. එහි ප්‍රතිචාරයක් දැමුවා. ඒ එතැන ඒ ගැන කතාවක් තිබුණු නිසා මිස වෙන හේතුවක් නිසා නොවේ. සැබවින් අපට අවශ්‍ය වූයේ යම් මැදිහත් අදහස් දැක්වීමක් කර ඉවත් වීමයි. දිගින් දිගට සංවාද වල නියැලීමට අපේ කාල වෙලාව හරස් වෙයි.
      අප වෙනුවෙන් ඔබ හොඳ අදහස් දැක්වීමක් කර ඇති නිසා මෙය මීට වඩා ගෙන යුතු නෑ.

      එසේම සිතුවිළි, අප යම් යම් විට සී නිවුස් හි ප්‍රතිචාර දමන විට නොයෙක් නම් වලින් දමන්නේ එකම අනන්‍යතාවයක් තනා ගැනීම පලිබෝධයක් ලෙස සිතන නිසයි. මිතුරු ජොසෙෆ් කරන ලෙස අප බ්ලොග් අඩවියේ ලිපිනය යොදා ගැනීමවත් අප බොහෝ විට කරන්නේ නෑ. එය ගැටළුවක් කර ගත යුතු නෑ.

      "කාගෙන් බේරුණත් බැරිය එළුවාගෙන් මාරු වෙන්න" කියා අපේ ජැස්සොන් මාමා නෛනගේ සූදුවේ නට නටා කියන අයුරින් අපට ජොසෙෆ් ගෙන් බේරී ප්‍රතිචාරයක්වත් දැමීමට නොහැකි වීමයි දුක.

      Delete
    4. හා: එහෙනම් "ක" යන්නෙන් මා ගත් ඉඟිය නිවැරදියි.
      අහෝ අසරණ සී නිවුස්, දෙබරයට ගල් ගැසීම ගැන ඔවුන් නිකරුනේ සැකයට භාජනය වූවා නේද?
      කමක් නැහැ එහි තිබූ සාකච්චාව හා මේ ලිපිය ඉතා හොඳින් බැඳෙන දෙකක්. අපි බලමු දැන් ඉතින් එහි සිටින් නලින් වාදීන් නලින් විරෝදීන් හා මා වැනි නලින් වාදීන් නොවන එතුමාගේ අදස් වලට රුචි උන් ඒ ඇවිස්සුනු දෙබරය තුල මක් කරාවිද කියලා.

      Delete
    5. සිතුවිළි ඔබත් ක' සමග එකතු වී LcN එකේ හොඳ අඩව්වක් අල්ලා තිබෙනු දුටුවා. ඔබ දෙදෙනාම දමා ඇති ප්‍රතිචාර අනගි බව කිව යුතුයි.

      මාතර ආතර සහ ?/= දෙදෙනා දෙපැත්තකින් එකම දේ හාරනවා. මතවාදී අතින් දෙදෙනා එක් අයෙක් ලෙසිනුයි මා දකින්නේ. උදාහරණයකට ගත් X කණ්ඩායම මේ දෙදෙනාට අජීර්ණය වී ඇති සැටි දුටුවාම.. හික් ! අර ගෑණි උස්සන් ගඟෙන් එතෙර ගිය සෙන් සාදුගේ කතාවයි සිහියට එන්නේ. අනිත් පොරවල් ගැනනම් ක' දී ඇති උදාහරණ කතාව හරියටම ගැලපේ.

      අපට තර්ක උගන්වන්න ආ නියමසිංහයා ද්විකෝටිකයට අසු වී හිර වී එහිම ඇලී සිටින විට කොහොල්ල බබාගේ කතාව සිහියට එයි. හික් !

      අනුන්ට බණ කෙළියට තමන් තාම ඉන්නේ පරණ අදහස් වලමයි. අපි දෙදෙනා මේ සැට් එකෙන් වෙනස් වන්නේ කොහොමදැයි හරියටම දැන ගත්තේ අදයි.

      Delete
    6. "අපි දෙදෙනා මේ සැට් එකෙන් වෙනස් වන්නේ කොහොමදැයි හරියටම දැන ගත්තේ අදයි."
      මෙය ඔබ විසින් මා හට කල ගෞරවයක් හා අගය කිරීමක් කොට සලකමි.

      Delete
    7. දැඩිව එකම අදහස් දරණ හාල්මැස්සා, ගවේශී හා හෙළ යනු තිදෙනෙකුද නැතිනම් එක් අයෙකුදැයි මට නොවැටහේ. නියම සිංහගේ මත වල යම් වෙනසක් ඇත.

      Delete
  2. තව එකක්...
    IE ප්‍රශ්නෙත් විසඳලා වගේ. හික් !
    චන්ඩිය බය වෙලා !!!

    ReplyDelete
    Replies
    1. එසේය, බිය වී යැයි ගනිමු.

      Delete
  3. මෙය LcN එකට දැමූ ප්‍රතිචාරයකි. එහි පල වූයේ නැත:

    12:01 AM ට පල වන ලිපියක ලින්ක් එක 10:21 PM ට යොදාගෙන කෙනෙක් ප්‍රතිචාරයක් දමයි නම් ඔහු යොදා ගන්නා නම වැදගත් නැත.

    ආචාර්ය නලින් ගැන ඔහු “නලින් කියන දේ බොහෝ දෙනාට නොතේරේ” කියා කියයි. මෙය ඇත්තකි. බොහෝ දෙනා කුපිත වන්නේ එහෙයිනි. ප්‍රසිද්ධියේ නොපෙන්නුවද නම නොදා යමක් කීමට හැකි තැනක ඔහුට එරෙහිව වැටෙන ප්‍රතිචාර වලින් ඒ බව පෙනේ. එසේම තමා කියන දේ බොහෝ දෙනා තේරුම් නොගැනීම සහ තේරුම් නොගෙන තකතීරු ප්‍රශ්න ඇසීම නලින් කුපිත කරයි. උදාහරණයක් ලෙස නලින් ගේ දරුවන් රාජකීය විද්‍යාලයට යැවීම සමහරුන්ට ප්‍රශ්නයකි. එය කෙනෙකුට ප්‍රශ්නයක් විය යුත්තේ ඇයි? මේ තනිකර කුහක කමයි. නලින් රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් සහ විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකි. ඔහුට හැකි නිසා ඔහුගේ දරුවා රාජකීයයට දමයි. තමාගේ දරුවා වයඹ රාජකීය හෝ අඩු තරමින් පොළොන්නරුව රාජකීය විද්‍යාලයට හෝ ඇතුලත් කර ගැනීමට නොහැකි කෙනෙක් අර කරුණ විවේචනය කරන්නේ කුහක කම නිසා මිස වෙන හේතුවක් නිසා නොවේ. දරුවන් රාජකීයයට ඇතුලත් කළ යුතු නැතැයි ආචාර්ය නලින් කිසි තැනෙක ව්‍යංගයෙන් හෝ කියා නැත. එහෙත් සමහරු එසේ අපෝහනය කර ගනිති. මේ ඒ ඒ අයගේ “නිර්මාණාත්මක සාපේක්ෂතාවාද” යැයි සිතමි.

    “නලින්ගේ බුදුදහම ඔබෙත් මගෙත් බුදුදහමෙන් වෙනස්ය” යන්න උපුටා ගන්නා හාල් මැස්සා “මේ නලීන් ගොඩ නගා ඇත්තේ තවත් මහායානයක්ද?” කියා අසයි. නොතේරෙන බවට මීට වඩා අටුවා ටීකා අවශ්‍ය නැත. බුදු දහමයි කියා අප කතා කරන දේ අතර මත ගැටුම් නැද්ද? තිබේ. ජොසෙෆ්ගේ බුද්ධාගම හාල් මැස්සාගේ බුද්ධාගමෙන් වෙනස් ය. සමහරු පුනර්භවයක් නැති බුදුදහමක් අදහති. සමහරු පුනරුත්පත්තියක් නැත – පුනර්භවයක් ඇත කියති. ගන්ධබ්භයා අදහන තව පිරිසක් වෙති. මේ සියලු දෙනා තම තම නැණ පමණින් තමාගේ බුදු දහමක් සාදාගෙන එය අදහති. එහි ගැටළුවක් නැත. නලින් ට විතරක් විශේෂයක් දී ඔහුට පහර දීමට හේතුවක් නැත. මක් නිසාද, මා කියන දේ පමණක් හරිය. වෙන දේවල් සියල්ල වැරදිය කියා ඔහු නොකියන බැවිනි. ඔහු එසේ කියන දාක එක්කෝ ඔහු රහත් වී සිටිය යුතුය. නැතිනම් අපෙන්ද ගුටි කෑමට ලැහැස්ති වී සිටිය යුතුය. පිටිදූවේ පිස්සු ඩයල් එකටත් ඔහුගේ ඔලමොට්ටල ගෝල රොත්තටත් පහර දුන් අයුරිනි.

    ගවේෂී “නිර්මාණ වාදයක්” යැයි කියන්නේ කුමකට දැයි පැහැදිලි නැත. පැහැදිලි නැති ප්‍රශ්න වලට අත දැමීමට ගොස් සියල්ල අල කර ගැනීම අවශ්‍ය නැත. ඒ නිසා නවතිමි.

    ReplyDelete
    Replies
    1. http://lankacnews.com/sinhala/main-news/123103/#comment-871812
      ඔබේ අදහස පල වී ඇත.

      Delete
    2. ඒ දෙවනවර පල වීමකි.

      Delete
  4. අනේ මෙහෙමත් මෝඩ රැළක්, යන්නේ කොහෙද? http://lankacnews.com/sinhala/main-news/123765/ මල්ලේ පොල් වගේ තමයි. කියන්නේ මොකක්ද කියලා හිතන්නේ නැ ඔහේ මඩ ගහගන්නවා.

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි !!
      නලින් ගේ රූපේ දැක්කත් ඇති කුක්කෝ රැළට ... ඔහේ බුරන්න පටන් ගන්නවා.

      Delete
  5. පල නොවූ තවත් එකක්.

    ගවේශී says:
    October 21, 2014 at 12:22 am
    1. කාල්මාක්ස් බෞද්දයේ නොවෙයි එහෙත් ඔබ කියන ආකාරයට සමාජ වාදය නරක දෙයකි. මේ කතාව බොහෝ තැන්වල දැක ඇත්තෙමි එහෙත් මාක්ස් වාදයෙන් බුදු දහමට කොතනකවත් පහර ගසා නැත.
    2. එහෙත් බුදු දහමට කරන තරමක් අකටයුතු කම් කලේ සුදු අදිරාජ්‍ය වාදීන්ය මේ සුදු අදිරාජ්‍යෙයේ
    පරම සතුරාවන්නේ මාක්ස්වාදයයි.
    3. එසේම මැවුම් වාදයේද හතුරා කාල්මාක්ස්ය බුදු දහම ඇරුනු කොට අනිත්‍ය දහම හා හේතුඵල දහම තුලින් ලෝක සොභාවය විග්‍රහ කර ඇතතෙද මාක්ස්වාදයේයි.

    —————————

    පිළිතුරු මෙසේය:
    1. මෙය බොරුවක් ය කියා කිව නොහැක. එහෙත් ඉන් එය සත්‍ය වන්නේ නොවේ. (චතුස්කෝටිකය – 4 වන අවස්ථාව)
    මාක්ස් බුදුදහම ගැන දැන නොසිටි බැවින් ඔහුට ඊට පහර ගැසීමට හැකියාවක් ද නොවීය. බුදුරදුන් නබි මොහොමඩ් ට “මෝඝ පුරිස” කියා අමතා නැතුවා මෙනි. එහෙත් නබි මොහොමඩ් අදමිටු අසත්පුරුෂ මෝඝ පුරුෂයෙක් නොවන බව ඉන් නිගමනය වේද? කිසිසේත් නැත. නබි මොහොමඩ් අපායේ අදත් පැසෙන බවට සැකයකින් තොරව නිගමනය කළ හැකි කරුණු බුදු දහමේ අඩංගුය.

    මාක්ස් වාදයත් එසේය. මාක්ස්වාදය රජ වූ තැනෙක බුදුදහමට ඉඩක් නැත. සිවුර කරේ තියන් මාක්ස්ට කඩේ යන අඹර දමිල ගෝරිල්ලා, බුද්ධාගමත් අපිට ඉන්දියාවෙන් බලෙන් දීපු එකක් තමයි යකෝ කියා ඉන්දියාවෙන් බලෙන් දුන් 13 ට නමස්කාර කරගෙන අපිට පුස් පාට් දාන බද්දේගම චන්ඩි සමිත අයියා ආදී තකතිරුවන් නොදන්නා, නැතහොත් දැනගෙන අපිට හංගන දේ මෙයයි. චීනයත් කොරියාවත් අද බෞද්ධ ද? සමාජවාදී පොල්පොට් කාම්බෝජයේ බුදුදහමට කළ තරම් විනාශයක් වෙන කෙනෙක් කළේ නැත. පොල්පොට් පිස්සෙක් ය කියා සමාජවාදය සාන්තුවරයෙක් කිරීමට ඔබට නොහැක. එසේනම් ඉස්ලාමයත් සාමයේ ආගම යැයි කියන තක්කඩි ‘අල් ටකියා’ වත් පිළිගැනීමට අපට සිදු වේ.


    2. පළමු කොටස බොරුය. සුදු අධිරාජ්‍යවාදීන් කියා හඳුනා ගත හැකි පිරිස බුදුදහමට කළ හානියක් නැත. ක්‍රිස්තියානින් (කතෝලික, රෙපරමාදු හා එංගලන්ත සභා ඇතුළුව) නම් හානි කළහ. තවත් කරති. “සුදු අධිරාජ්‍යවාදීන්” ක්‍රිස්තියානි වීම සහ ඔවුන් මේ කටයුත්තේ දී සහය වීම වෙනම කාරණයකි. බෞද්ධ තායිලන්තයට හෝ බුරුමයට අප යටත් වී නම් සුදු අධිරාජ්‍යවාදීන් වෙත ඔබ දිගු කරන ඇඟිල්ල එසේම දිගු කරන්නේද ?

    “සුදු අදිරාජ්‍යෙයේ පරම සතුරාවන්නේ මාක්ස්වාදයයි” යන්න කල් පැන ගිය බොරුවකි. සුදු අධිරාජ්යයත් සමාජවාදී අධිරාජ්යයත් දෙක එකම කාසියේ දෙපැත්තයි. එකක් ධනය ඇති තැනට බලය සංකේන්ද්‍රණය කරයි. අනෙක බලය ඇති තැනට ධනය (වත්කම්) සංකේන්ද්‍රණය කරයි. මේ දෙක සතුරු වන්නේ ධනය සහ බලය දෙතැනක තිබෙන අවස්ථා වලයි. ධනයත් බලයත් දෙකම නැති අපට ඔය දෙකේ වෙනසක් නැත. දෙකම ඇති කෙනාට කෝකත් හොඳයි.

    අද සමාජවාදය සේවය කරන්නේ ධනවාදයට නොවේයැයි ඔබට පැවසිය හැකිද?


    3. මැවුම්වාදයේ හතුරා චාල්ස් ඩාවින් ය කීවානම් තරමක් දුරට එකඟ වීමට තිබිණි. එහෙත් ඔබ කියන දේ සිනාවට කාරණයකි. පුරන් අප්පු පාපයා මෑතදී පැවසූ සේ මාක්ස්වාදය පල්ලියේ මතවාදයේම දිගුවකි. 15 වන සියවසෙන් පසුව ක්‍රිස්තියානිකරණය වෙමින් තිබුණු සමාජය නැවත කතෝලිකකරණය (සමස්ථය) වෙත ආපසු ඇදගෙන යාම (ප්‍රතිගාමිත්වය) මාක්ස් වාදයේ අභිලාශයයි. කෙනෙකුට එය නොතේරීම ගැන කීමට දෙයක් නැත. මාක්ස්වාදීන් අනෙක් උන්ට ප්‍රතිගාමීන් ය කීම දෛවයේ සරදමකි.

    පෞද්ගලික අයිතිය වෙනුවට පොදු අයිතිය ආරෝපණය කිරීම සහ පරිසරය එහි ඇතුලත් සතා සීපාවා සමග මිනිසාගේ සුඛ විහරණය වෙනුවෙන් වඩා කාර්යක්‍ෂමව සූරා කෑමේ යාන්ත්‍රණයක් සෑදීම එහි භාවිතාවයි. මෙය ඊනියා සර්ව බලධාරියා මිනිසා මවා ලෝකයේ ස්වාමිත්වය ඔහුට පවරා දී කළ දේ අංග සම්පුර්ණ කිරීමයි. කාල් මාක්ස් පල්ලියට විරුද්ධ වන්නට ඇත. එහෙත් මැවුම්වාදයට ඔහු හතුරෙකු වී යැයි කීම කෛරාටික කමකි. සමාජවාදය පැල කල තැන් වල ඒක දේව වාදය දළු ලා සරුවට වැඩීමෙන් මෙහි ඇත්ත නැත්ත පෙනේ. අද චීනයේ සිදු වන වේගවත් ක්‍රිස්තියානිකරණයට හේතුව සමාජවාදයයි. මෙය නැතැයි කියන්නා එක්කෝ මුග්ධයෙකි; නැතිනම් ලෝක අන්ඩයෙකි.

    මාක්ස්වාදය විසින් අනිත්‍ය දහම හා හේතුඵල දහම ලෝක සොභාවය විග්‍රහ කර ඇතැයි කීම නොදන්නා කම නිසා කරන ප්‍රකාශයකි. කතෝලිකයා ස්වාමින් වහන්සේය කියා ජේසුට කියයි. පොර සිවුරක් දාගෙන ඉන්නවා උඹ දැක්කද කියා අසන්නට අපට සිත් වෙයි. ඔබේ කතාව ගැන කීමට ඇත්තේ එපමණයි. අඩු තරමින් “අනිත්‍ය” සහ “අනිත්‍යය” යන දෙකේ වෙනසවත් ඔබ දන්නවාද?

    ReplyDelete
    Replies
    1. මේක lcn එකේ පලවෙලා තිබ්බබා. comments තුනක් හැටියට.

      Delete


    2. JosephOctober 21, 2014 at 1:36 PM

      ඒ දෙවනවර පල වීමකි.

      Delete
    3. ඔව් ඒ දෙවනවර පල වීමකි. හික් !

      Delete
    4. ජෝසප්,
      ඔබට පිළිතුරු ලෙස ගවේශී ඉදිරිපත් කල අදහස හෝ එහි ලින්ක් එකත්, එයට ප්‍රථි උත්තර ලෙස ඔබ නැවත පල කල අදහස හෝ එහි ලින්ක් එකත් මෙහි පල කරන්න යැයි මම යෝජනා කරමි. නැතහොත් ඔබගේ මෙම ලිපිය පසුකලෙක කියවන්නෙකු ඔබ මෙහි පාළුගෙයි වලන් බින්දෙකු ලෙස වටහාගන්නවා ඇති.

      Delete
    5. හ්ම්ම්...
      ඒකත් ඇත්තයි.

      Delete
    6. මිතුරනි,

      සිතුවිළි කියන කරුණේ සත්‍යතාවයක් ඇත. වෙන තැනක කෙරෙන සංවාදයක වාරණයට ලක් වූ දේ මෙහි පල කිරීමෙන් ගම්‍ය වන්නේ 'ඔක්කොම කුණු බේරුවල් බොක්කට' කීවා සේ අනෙක් තැන් වලින් ප්‍රතික්ෂිප්ත දේ දෙතිස් කතාව පිළිගන්නා බවයි. ඒ උසස් ප්‍රචාරයක් නම් නොවේ.

      හැරත් අප විසින් business case නැමැත්තාට ලියූ අනගි පිළිතුර ඔවුන් පල කලේ නැත. අපටත් ඇවැසිනම් එය මෙහි පල කළ හැකිව තිබිණි. අප එසේ නොකළ අතර ඒ පිළිතුර එතැනින් ම අවසන් විය. නැවත එය ලිවීමට තරම් අප දක්ෂයෙක් නොවේ.

      එසේම, මෙසේ වෙනත් තැනෙක පල කළ යුතු දේ මෙතැන පල කිරීමෙන් අනවශ්‍ය ගෝෂාවක් සහ ප්‍රතිචාර ගලා යාමේ අක්‍රමවත් බවක් ද ඇති වේ. සියල්ලටම වඩා එයින් අප මෙතෙක් කිසියම් සංවාදයක නිරත වී නම් ඊට බාධා වේ.

      ඉහත කරුණු සළකා බැලූ කල මේ ප්‍රතිචාර ඉවත් කිරීම සුදුසු බව සිතේ. තවම අවසන් තීරණයක් ගෙන නැති බැවින් තව දින කීපයක් මේවා මෙසේම පවතිනු ඇත. එහෙත් ලබන සඳුදා වන විට ඉහත ප්‍රථිචාර ඉවත් වී තිබුණොත් පුදුම නොවන්න.

      Delete
    7. කණිෂ්ක,
      ඔබගේ තීරණය හෝ අදහස ගැන මත පල නොකරමි, එහෙත් බිස් කේස් ඔබගෙන් නැගූ පැනය සැබැවින්ම මාතුලත් පැන නැගුනු ගැටළුවකි. එනම් ඔබ X කණ්ඩායම හා පස්චාත් නූතනවාදීන් ගැන දරන්නේ කුමන ආකාර මතයක්දැයි තේරුම් ගැනීම. එය වරක් පල නොවුනා නම් කෙටියෙන් සරළව හෝ ලිවිය හැකිනම් මැනැවියි මා සිතමි.
      කලයුත්ත තීරනය ඔබ අතේය.
      මේ පථිචාරයත් කැපී ගියාට කම් නැත.

      Delete
    8. අයියෝ සල්ලි !!
      කපනකොට එහෙනුත් කපනවා, මෙහෙනුත් කපනවා.
      අපි දෙපැත්තෙන්ම තැලෙනවා.

      Delete
    9. මේ ටික මකා දමන්න. ඒ ගැන විරුද්ධත්වයක් නැත.

      Delete
    10. නැහැ, දැන් ඉතින් මෙය මකා දැමීම අනවශ්‍ය කාරණයකි. මේ ලිපිය හා LCN ලිපිය අතර දැන් ගැඹුරු බඳීමක් ගොඩ නැගී ඇත. LCN ලිපියෙහි "පුරුක" මෙම ලිපියෙහි ඉහලින්ම සඳහන් කරන්න. එවීට කොතරම් පසු කලෙක කියවන්නෙකුට වුවද මේ ලිපි දෙක අතර සම්බන්ධතාවය ගෙන කියැවිය හැකි වේවි.

      Delete
  6. මේ මුළු ලිපියේම වැදගත් වාක්‍යය "ආචාර්ය නලින් ද සිල්වා ගේ වැදගත් කම ඇත්තේ තමා වටා ඇති අදිසි බාධකය හඳුනා ගැනීම සහ එයට අභියෝග කිරීමට ඉදිරිපත් වීම මිස වෙනකක් තුල නොවේ" වේ.

    * වැරදිද?
    * ඔබ සඳහන් කරන අදිසි බාදකය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. මේ මුළු ලිපියේම වැදගත් වාක්‍යය කුමක්දැයි අවංකවම අප සිතා බලා නැති මුත් ඔබ උපුටා ගන්නා වාක්‍යය ඉමහත් වැදගත් කමක් ඇති වාක්‍යයක් බව පිළිගත යුතුය.
      ---------

      අප සඳහන් කරන අදිසි බාදකය "නූතන කුල ක්‍රමය" වේ. ඒ ගැන ඔබ දන්නේ යැයි සිතමි.
      ---------

      Delete
    2. හ්ම්, ඒකත් එහෙමද.
      ඒ ගැන ලිපියක් ඉදිරිපත් කළොත් නරකද?

      Delete
    3. මේ මීට පෙරත් අප අතර සැකෙවින් සාකච්චාවට බඳුන් වූ කරුනක්. හොඳ අදහසක්.

      Delete