Wednesday, March 12, 2014

කසල ආර්ථිකය



මාර්තු මාසයේ දී ශ්‍රී ලාංකික අප සංවේගයෙන් සමරණ සිද්ධිය නම් දෙදහස් වසකට වඩා පැරණි නිදහස් අභිමානවත් ජාතියක් වූ සිංහලයා හිරු නොබසින අධිරාජ්‍යය නම් ලත් තක්කඩි රාජ්‍යයක ආධිපත්‍යයට හසු වීමයි. එක්සත් රාජධානිය ලෙස නම් කර ගත් නමට සමුහාණ්ඩුවක් සාදාගෙන වේල්සය, ස්කොට්ලන්තය හා අයර්ලන්තය යන රටවල් අදටත් පාගාගෙන සිටින එංගලන්තය නම් මේ තක්කඩි රාජ්‍යයයේ ග්‍රහණයට අසු වීමෙන් අප ලත් කරදර අපමණය. එංගලන්තය ඇතුළු ඊනියා 'සිවිලයිස්' රටවල් ගැන්සිය අදටත් අප යුධ අපරාධ නම් මස් කොක්කේ එල්ලීම පිණිස භාවිතා කරන කල්ලතෝනි (diaspora) ප්‍රශ්නය එකක් පමණි.

කසල සහ ආර්ථිකය


ඉංගිරිසින්ට යටත් වීමට පෙර සිංහල අපට අපද්‍රව්‍ය කියා කළමනාකරණය කළ යුතු දෙයක් නොතිබුණේ ඊනියා කළමනාකරණය සිංහලයින් නොදැන සිටි නිසා නොවේ. ලෝකයේ විශිෂ්ඨතම ජල කළමනාකරණ ක්‍රමයක් උපදවා ගත් පැරණි සිංහලයින්ට අපද්‍රව්‍ය කළමනාකරණය අවශ්‍ය නොවුණේ ඔවුන් අපද්‍රව්‍ය නො-නිපදවූ බැවිණි.

1815 දී ඉතා යාප්පුවෙන් ලංකාව අවනත කර ගත් ඉංගිරිසිහු වසර තුනක් තුල සිංහල ජාතික නායකත්වය සමූලඝාතනය කර සිංහලයින් වරිගසංහාරයක් (genocide) කර ලක්දිව පාලන බලය කල්ලතෝනින් සහ ද්‍රෝහීන් අතට පත් කර ගන්නා ලදී. ඉනුත් වසර තුනක් ඇවෑමෙන් කසල නො-නිපදවූ සිංහල ආර්ථිකය වනසා කසල ආර්ථිකයක් අප මත බලෙන් පටවන ලදී. ඒ කසල ආර්ථිකය ඔවුන්ට බලවත්ව වද දෙන බව පෙනෙන විට ඔවුන් පමා වූවා වැඩිය. ඒ වන විට ඉංගිරිසින් ඇතුළු යුරෝපීයයන් තමන්ගේ කසල ආර්ථිකය මුළුමහත් යුරෝපය පුරාත් නව ලෝකය ලෙස ඔවුන් විසින් වැරදියට හැඳින්වූ පැරණි ලෝකය පුරාත් පතුරවා ලෝකයේ අනෙක් පෙදෙස් වල පැවතී නිකසල ආර්ථිකයන් වනසා තිබිණි.

ඉංගිරිසින් හා කසල ගැන කීම මොහොතකට නවතා මේ සතියේ පළ කෙරුණු පුවත්පත් දැන්වීමක් වෙතට එමු.
මධ්‍යම පරිසර අධිකාරියේ දැන්වීම - ලංකාදීප
අප ඉංගිරිසින්ට යටත් නොවීනම් අපේ ආර්ථිකය කසල ආර්ථිකයක් නොවීමට ඉඩ තිබිණිද යන්න මෙහිදී නැගිය හැකි ප්‍රශ්නයකි. ඊට පිළිතුර නැත යන්නයි. ඉංගිරිසින් විසින් යටත් නොකළත් ඉංගිරිසින් හා යුරෝපීයයන් විසින් මුළු ලෝකයම කසල ආර්ථිකයක් කරා දක්කාගෙන යන මොහොතක අපට පමණක් වෙන් වී ගමනක් නැති බැවිණි. ලංකාද්වීපය වසර දෙදහසකට වඩා පෙර සිටම ලෝක බලතුලනයේ වැදගත් භූමිකාවක්‌ හෙබවූ රාජ්‍යයකි. රාජසිංහ රජු යටතේ සිංහල හමුදාව පරංගින්ට වෙඩි සැර යැවුවේ චීනයෙන් ණයට ගෙන නොවේ.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය


ඉහත දැන්වීම මගින් පරිසර අධිකාරිය අමතන්නේ ලාංකීය කර්මාන්ත කරුවන්ට, රාජ්‍ය ආයතන සහ වෙනත් ආයතන වලටයි. අපද්‍රව්‍ය නිපදවන්නෝ ඔවුහුය. එහෙත් ඒ ඇමතුමෙන් පොදුවේ අපද්‍රව්‍ය ගැන නොව එක්තරා සුවිශේෂ අපද්‍රව්‍ය කොටසක් ගැන අවධානයක් යොමු කෙරේ. ඒ වනාහී ඉංගිරිසියෙන් e-waste හෙවත් electronic waste ලෙස හඳුන්වන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයි.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යනු අද අප අත සුලභව ගැවසෙන නිවෙස්හි ඉඩකඩ අහුරන විවිධ මෙවලම් තුල භාවිතා වන විද්‍යුත් පරිපථ ආශ්‍රිත කොටස් ලෙස දළ වශයෙන් හඳුනා ගත හැක. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බවට පත් නොවන සෙල්ලම් බඩුවක්වත් අද වෙළෙඳ පොළේ නැති තරම් ය. එතරම්ම ඉලෙක්ට්‍රොනික මෙවලම් අපේ සාමාන්‍ය භාවිතයට පත්ව තිබේ. මේ මෙවලම් වසර කිහිපයක අවෑමෙන් එක් වන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගොඩටයි.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අනෙක් ගෘහ හෝ කර්මාන්ත හෝ අපද්‍රව්‍ය වලින් වෙන් කරන සුවිශේෂී ලක්‍ෂණයක් නම් මේ අපද්‍රව්‍ය වල වටිනා - දුර්ලභ ලෝහමය මූලද්‍රව්‍ය බහුල වශයෙන් අඩංගු වීමයි. අවර්තිතා වගුවේ ඇති මුලද්‍රව්‍ය වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් විවිධ සංයෝග වශයෙන් මේ අපද්‍රව්‍ය තුල අඩංගුය. රන්, රිදී, නිකල්, කැඩ්මියම්, ලිතියම්, ඊයම්, රසදිය, ඉරිඩියම්, උදාහරණ වේ. වඩා භයානක කරුණ වන්නේ මේවා පරිසර පද්ධතීන්ට, විශේෂයෙන් ජීව පද්ධතීන්ට, අතිශයින් විෂ සහගත වීමයි. රජරට ප්‍රමුඛ පෙදෙස් වල පැතිර යන වකුගඩු රෝගයට හේතු මෙවැනි ලෝහ අපද්‍රව්‍ය කෘෂිකාර්මික රසායන ද්‍රව්‍ය මගින් පාංශු ජලයට එක් වීම නම්, අගනුවර ආශ්‍රිතව බැහැර කරන ටොන් ගණනක මේ අපද්‍රව්‍ය වගුරු බිම් ගොඩ කිරීමට යොදා ගැනීමෙන් අප විසින් කැඳවා ගැනීමට නියමිත ව්‍යසනය ගැන හැඟීමක් ලබා ගැනීමට කන්තලේ හෝ අනුරාධපුර හෝ රෝහලක සංචාරය කළ යුතු නැත.

වගුරු බිම් ගොඩ කිරීමට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යොදා ගැනීම විසින් ඇති කරන්නේ දීර්ඝ කාලින විපාක නම්, ගොඩ ගසා අනෙක් කසල (ගෘහ සහ කර්මාන්ත අපද්‍රව්‍ය) සමග දහනය කිරීම ක්‍ෂණික ප්‍රතිපල ලබා දේ. ඉතා විෂ සහිත වායුමය ඔක්සයිඩ මෙයින් නිකුත් කෙරෙන බැවිණි. මීට දශක තුන හතරකට පෙර පවා අපේ වැඩිහිටියන් තුල මේ ව්‍යසනය පිලිබඳ ආකල්පයක් තිබුණු බව දැක්වීමට උදාහරණයක් තිබේ.

ලංකාව පුරා විදුලිය බෙදා හැරීම සීඝ්‍ර ලෙස සිදු වූයේ 80 දශකයේදීය. එකක් මහවැලි ව්‍යාපාරය කඩිනම් කිරීම නිසා එවකට පුරෝකථනය කෙරුණු විදුලි පාරිභෝජනයට වඩා අතිරික්ත විදුලියක් ජනනය වීමයි. අපි වනාහි ඉන්දියාවට ද විදුලිය දෙන්නෝ වම්හයි ඇමැතියෙක් පාරම් බෑවේ ඒ කාලයේදීය. විදුලි බෙදාහැරිම සිදු වීම නිසා පාරිභෝජනය ද වැඩි විණි. මෙකල මැද පෙරදිග ගෘහ සේවය පිණිස ගිය අපේ රටේ කාන්තාවන් එහිදී විපරිණාමයට පත් වී ඒ ඒ රටවල ගොඩ ගැසුණු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කද බැඳගෙන පැමිණීම නිසා ද පාරිභෝජනය වැඩි විණි. එකල විදුලි බලය තිබූ නිවෙස් වල වත්ත පහට වන්නට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (දැවී ගිය විදුලි බුබුළු ආදිය) එක් රැස් කර තිබිණි. ඒ ස්ථානය පොඩි දරුවන් වූ අපට තහනම් කලාපයක් වූයේ ඒවායේ අඩංගු විෂ පිලිබඳ කිසියම් අදහසක් ඒ වැඩිහිටියන් සතු වූ නිසාය. ඔවුන් අපට ඕවා දුන්නේ ඕවාට තුවාල කර ගන්න එපා. අත කපන්න වෙයි කියා බව දැනුත් මතක් වේ. එකල ඒ අපද්‍රව්‍ය අතර තිබූ භයානකම දේ බිඳුණු ප්‍රතිදීප්ත ආලෝකයක් පමණි. අද අප අත පත ගාන දේ ඒ වැඩිහිටියන් දුටුවොත් ක්ලාන්තය හැදෙනු ඒකාන්තය.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අපභාවිතය වැළැක්වීම


මේ කටයුත්ත පහසු නැත. ප්‍රධානම කටයුත්ත ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිෂ්පාදනය නැවැත්වීමයි. මේනම් කෙරෙන කර්තව්‍යයක් නොවේ. අද සමාගම් සහ නිෂ්පාදකයන් මෙවළමක් සාදන්නේ ඉක්මනින් බිඳී යාම පිණිසමයි. මීට දශකයකට දෙකකට පෙර වෙළෙඳ පොළේ තිබූ සුසංයුත ප්‍රතිදීප්ත බල්බයකට වසර පහක වගකීමක් දුන්නත් අද දෙන්නේ එක වසරකි. වෙළෙඳාම පස් ගුණයකින් වැඩි වී ලාභය කිහිප ගුණයකින් වැඩි කරගෙන ඇත. අද නිෂ්පාදකයන්ට වසර පහක් පවත්නා බල්බයක් සෑදීමට නොහැකිද ?

මෙතැනදී රජය මැදිහත් වීම අවශ්‍ය වේ. SLS ආයතනයට මෙය තම ප්‍රමිතියට ඇතුලත් කිරීමේ බාදාවක් ඇත්නම් ඒ හේතුව එහි ලැගගෙන සිටින බහිරවයන්ම මිස වෙන කෙනෙක් නොවේ. අද වෙළෙඳ පොළේ විකිණෙන මෙවළම් වලින් සාතිශය බහුතරය වසරක් ඇතුලත ක්‍ෂය වන සේ සැළසුම් කර නිපැයූ භාණ්ඩ වේ. සාමාන්‍ය ජනතාව මේ ගැන දන්නේ නැත. ලක්‍ෂ දෙක තුනක් දී රටටම පම්පෝරි ගසා ගෙදර ගෙනෙන LED රූපවාහිනී යන්ත්‍රයත් වගකීම සපයන වසර අවසන් වූ වහාම ක්‍රියා විරහිත වූ අවස්ථා වෙයි. මිලදී ගත් ආයතනය වෙත ගිය විට එය අලුත් වැඩියා කිරීමට වඩා නව යන්ත්‍රයක් මිලදී ගැනීම ලාබදායක බව වෙළෙඳ නියෝජිත මහතා පවසයි. ඉතින් බොරුද ? ඌට නම් ලාබයි තමා... මෙවැනි භාණ්ඩ වෙළෙඳ පොළේදීම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කර ඉවත් කිරීමේ කටයුත්ත පමා නොකළ යුතුයි. වරායේදීම මේ පරික්‍ෂාව කළ හැකිනම් මෙකී අපද්‍රව්‍ය නැව්ගත කෙරුණු රටවල් වෙතටම ප්‍රති-නැව්ගත කළ හැකිය. එවැනි කටයුත්තක් වෙත නැඹුරු වීමෙන් ලංකාව අනාගතයේ සිදු වීමට නියමිත මහත් ව්‍යසනයකින් ගැලවුණා වේ. (නිකං තියෙන රුහුණු මාගම්පුර වරායට ලැබෙන ආදායම අමතර වාසියකි.)

අපද්‍රව්‍ය නිෂ්පාදනය සහ රට තුලට ඇතුල් වීම සම්පුර්ණයෙන් නැවැත්විය නොහැක. එවිට ඊළඟ පියවර මේවා නැවත භාවිතයට ගැනීමයි. මෙහිදී හරහට හිටින්නේ මිනිසුන්ගේ ආකල්ප වෙයි. බොහෝ දෙනා අවුරුදු පතා ජංගම දුරකථනය මාරු කරති. මිට එක හේතුවක් නම් ඉන්දියාවේ නම ගසන ලද චීනයේ සාදන ලද බාල මෙවලම් ලාංකික වෙළෙඳ පොළ ග්‍රහණයට ගෙන තිබීමයි. කොරේ පිටට මරේ කීවා සේ ආණ්ඩුවත් සීපා-සප්තා කිය කියා ඉන්දියාවටම සහන දෙයි. ඉන්දියාවේ පාරවල් අයිනේ එකතු විය යුතු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලංකාවේ ගොඩ ගැසෙන්නේ මේ හේතුවෙනි. මේ ජරාව අවුරුද්දක් පාවිච්චි කර ගත්තත් ලොකු දෙයකි. මෙවැනි මෙවළම් නැවත භාවිතය දුර්වල කරන මිනිසුන්ගේ අනෙක් ආකල්පය නම් කැපී පෙනීමේ ආශාවයි. ෆෝන් එක කැපිලා පෙනුනොත් හරි - අයිතිකාරයා පරණ ගොන් තඩියා උනාට කමක් නෑ වැනි ආකල්පයක් අද තරුණ සහ මැදි වයස් පරම්පරා වල දක්නට ලැබේ. මේ ආකල්පය හේතුවෙන් තවදුරටත් භාවිතයේ පැවතිය හැකි මෙවලම් ඉක්මණින් කසල ගොඩට එක් වේ. ප්‍රමිතියක් සහිත භාණ්ඩ වලටත් සුදුසු ආකාරයේ බද්දක් පැනවීම සුදුසු ක්‍රියා මාර්ගයකි. සමහර රටවල ඒ ඒ පුද්ගලයාගේ දෙවන ජංගම දුරකථනයට වැඩි බද්දක් අය කෙරෙන ක්‍රමයක් පවතින බව ඒ ඒ රටවල සංචාරය කළ ඇත්තන් කියනු අසා තිබේ. රටට වැඩක් නැති පිං බත් ගිලින මන්තිරි ගොල්ලන්ට වසර පහෙන් පහට කාර් පර්මිට් දෙන රටේ වසර තුනෙන් තුනට ජංගම දුරකථන 'පර්මිට්' දීම කළ නොහැකි දෙයක් නොවේ. සියලු ආකාර වල ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ජනනය කරන භාණ්ඩ සහ මෙවලම් වලට මේ බද්ද දැමිය හැක. ඒ මුදල් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණයට යෙදවිය යුතුයි.

ප්‍රතිචක්‍රීකරණය යනු මෙහි අවසන් පියවරයි. එය ලාභ අඩු ව්‍යාපාරයකි. එබැවින් ව්‍යාපාරිකයින් ඊට පෙළඹීමේ ඉඩ අවමයි. බදු සහන සැළසීම සහ විවිධාකාරයේ දිරිගැන්වීම් කිරීම රජයක් විසින් කළ යුතුයි. විශේෂයෙන් මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියා ඉවත දමන දේ වටිනා ලෝහ සහ දුර්ලභ මුලද්‍රව්‍ය බව සැලකු කළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපාරය ඉදිරි කාලයේදී ලාභ ලැබීමේ විභවයක් ඇති බව පෙනේ. ප්‍රතිචක්‍රීකරණ තාක්‍ෂණයන් තවදුරටත් දියුණු වනු ඇත. විශේෂයෙන් ඛනිජ සම්පත් වඩ වඩාත් දුර්ලභ වන විට, කැනීම් සහ පිරිපහදු ක්‍රියාවලි වඩ වඩාත් වියදම් සහගත වන විට ප්‍රතිචක්‍රීකරණය සමහර ලෝහයන් නිස්සාරණය කර ගැනීමේ එකම සාර්ථක ක්‍රමය බවට පත් වනු ඇත.

කරුණු එසේ වුවත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යනු වසංගතයකි. ඩෙංගු වසංගතය-මැලේරියා වසංගතය ආදිය මෙන් නොව මෙය අනෙකෙකුට පවරා දිය නොහැකි වසංගතයකි. ඩෙංගු වසංගතයට මදුරුවා වැරදි කාරයා කළාට ඌ මානව හිමිකම් නඩු දමන්නේ නැත. එහෙත් අපද්‍රව්‍ය වසංගතයට රජයත් මුළු මහත් ආර්ථික ක්‍රමයත් වැරදි කරුවන් වේ. කසල ආර්ථිකය ඇති කළේ ඉංගිරිසි කාරයාය කියා ආඩපාලි කීමෙන් ලැබෙන සෙතක් ද නැත. ඉංගිරිසින් හා යුරෝපීයයන් මේ වන විට උන්ගේ කසලත් ආධාර කියා අපේ රටවලට පටවන ක්‍රම සොයාගෙන තිබේ. වායු දූෂණය හේතුවෙන් ලන්ඩන් නගරයේ ධාවනයෙන් ඉවත් කළ තට්ටු දෙකේ බස් රථ ආධාර කියා ලංකාවට පුදන විට අපි හුරේ දමා පිළිගතිමු. සුනාමි සහන ලෙස නම් කර ලෝකේ නැති ජරා ගොඩවල් ලංකාවට පටවන විට අපි ඇමරිකාවට පිං දුනිමු. ජපානයේ කොරියාවේ ඇමරිකාවේ විසි කෙරුණු පරිගණක කිලෝ ගණනට ලංකාවට ගෙන්වා පරිගණක සාක්‍ෂරතාවයේ නාමයෙන් දිළිඳු සිසුන්ට (සහ මධ්‍යම පාන්තික සිසුන්ට) අළෙවි කළෙමු. අවසානයේ සිදු වී ඇත්තේ අප රටක් වශයෙන් අනුන්ගේ කුණු ගොඩවල් වලට කර ගැසීම පමණයි. මේවාට අසු නොවී සිටීමට රජය බුද්ධිමත් විය යුතුයි. රූපවාහිනියේ පෙනී සිට අපට බණ කෙළින විද්වතුන් නිකසල ආර්ථිකයක් ගොඩ නැගීමට උපක්‍රම සෙවිය යුතුයි. එසේම මුළුමහත් ජනතාවම තම තමන්ගේ කුටුම්භ හැකි තාක් කසල ආර්ථිකයෙන් වියෝ කර ගැනීමට සවිඥාණික විය යුතුයි. එවිට පමණි අපට රටක් ලෙස මේ ව්‍යසනයෙන් ගොඩ ආ හැක්කේ.

සටහන:නැවත සකස් කරන ලදී.
දිනය: මැදින් පුර ජලවක නම් තිථිය ලත් ගුරු දින.

13 comments:

  1. සිංහල ආර්ථිකය කසල නොඉපදවූ බව පිළිගත නොහැක. සීගිරියෙන් හමු වන වසර දෙදහසකට වඩා පැරණි වලං කටු, රජරටින් හමු වන උපකරණ හා මෙවළම් අපට පෙන්වා දෙන්නේ එකලත් අපද්‍රව්‍ය නිෂ්පාදනය කෙරුණු බව නොවේද ?

    ReplyDelete
    Replies
    1. ජොසෙෆ්, ඔබට මෙය නොතේරේ යැයි නොසිතමි. ආර්ථිකයක් විසින් කසල ඉපදවීම එකකි. කසල ඉපදවීම ම ආර්ථිකය බවට පත් වීම තවෙකකි. ඉහත අප අවධාරණය කරන්නේ සැළසුම් සහගතව නිෂ්පාදන ආයු කාලය අඩු කිරීම ගැනයි. එහි අරමුණ කෙටි කාලීනව වෙළෙඳාම වැඩි කර ගැනීමයි.

      අපේ පැරණි සිංහලයෝ ඉර-හඳ පවතිනා තාක් පැවැත්ම අරමුණු කරගෙන විවිධ දේ නිපදවූහ. ඉර හඳ අදත් පැවතුනත් අපේ පැරැන්නන්ගේ නිර්මාණ යථාතත්වයෙන් නොපවතින්නේ ඒවා කල් නොපවතින ලෙස සැළසුම් කළ නිසා නොවේ. සොලී, පඬි, මැලේ, පරංගි, ලංසි හා ඉංගිරිසි ඈ පරයින් විසින් ඒවා වැනසුණු නිසාය.

      Delete
    2. සිතුවිළිMarch 17, 2014 at 7:00 PM

      අහෝ මේ කුමක් වීද? අපගේ කණිෂ්ක සොයුරා කෝප ගැන්වී ඇති හැඩයි!!!

      යම් හෙයකින් මේ අද සිංහල බෞද්ධයෙකු වී ඔය කියන පරයින්ගේ අසාදාරණයට ලක්වී සිටින මේ "මම" මීලඟ බවයේ දී යම් කිසි (අ )හේතුවක් නිසා ඔය කියන පර ජාතියක ජාතිය ලැබුවහොත්?
      මාද නිස්කාරණයේ මිතුරු කණිෂ්කයන්ගේ උදහසට ලක් වනවා නේද?

      Delete
    3. හික් හික්...
      මෙහෙමනේ සිතුවිළි වෙලා තියෙන්නේ...
      "සෝදුපත් බැලීමෙන් තොරව පල කරන ලදී. වැරදි පෙන්වා දීමට කාරුණික වන්න"

      මෙයා මේක හදිසියෙන් ලියුවාට කියා ගන්න ඕනේ දේ හරියට ලියැවිලා නෑ. මේකෙන් බැලූ බැල්මට අපිට හිතෙන්නේ 'පරයින්' එක්ක බොහෝම වෛරෙකින් ලියපු ලියමනක් වගේ. හැබැයි මම "සැළසුම් සහගතව නිෂ්පාදන ආයු කාලය අඩු කිරීම" කියන දේ ගැන ගැඹුරින් හිතුවා. කේ ගේ පහත වාක්‍යය මේ කතාව මට වඩා හොඳින් පැහැදිළි කරනවා.
      "මීට දශකයකට දෙකකට පෙර වෙළෙඳ පොළේ තිබූ සුසංයුත ප්‍රතිදීප්ත බල්බයකට වසර පහක වගකීමක් දුන්නත් අද දෙන්නේ එක වසරකි."
      එය සත්‍යයක් නොවේද?

      බල්බ විතරක් නොවෙයි. අද කාලේ සෑම දෙයකම ආයු කාලය අඩු කරගෙන ලාභය වැඩි කර ගැනීමට තමයි අරමුණ. එයයි කසල නිෂ්පාදනය ලෙස කේ හඳුන්වන්නේ. අපේ පැරැන්නන් එවැනි දෙයක් නම් කළේ නෑ - මේ ගැන අපට එකඟ විය හැකියි.

      ඒත් මෙහි වැරැද්ද ඇමරිකානු කාරයින්ට පැවරීම වෙනුවට ඉංග්‍රීසින් හා යුරෝපීයයන්ට පැවරීම නම් වැරද්දක්. ඔය ක්‍රමය ඇමරිකානු නිමැවුමක්.

      ඇමරිකානු ක්‍රමය අනුගමනය කර ඇමරිකාවටත් වඩා ඇමරිකන් වී සිටින චීනුන් හැදූ ගල් අඟුරු බලාගාරය ලෙඩ දෙන අයුරු බල බලා සියවසකට පෙර ඉංග්‍රීසින් ලංකාවේ කළ ඉදි කිරීම් වලින් අදටත් පල ලබන අප කසල ආර්ථිකයක් ගැන ඉංග්‍රීසින්ට බැනීම නම් අවනඩුවක්. මම සිතුවිළි සමග එකඟයි.

      ඒ පරයින්ට "පරයින්" කීම ගැන නොවෙයි. පරයින්ට අභූත චෝදනා කිරීම සම්බන්දයෙනුයි.

      Delete
    4. සිතුවිළිMarch 18, 2014 at 12:01 PM

      ඔව් ජෝසප්
      මම කියන්නෙත් ඒකම තමයි, මේ ලිපියෙන් වැටහෙන්නේ පරයින් හා ඇති වෛරය මිස කසල ආර්ථිකය ගැන කරන යහපත් විවේචනය නොවෙයි.
      මේ පවතින වෙළඳපොල ආර්ථිකය මෙම දෘෂ්ටි කෝනයෙන් බලා ලියූ ලිපියක් මා මින් පෙර කියවා නැත.
      බොහෝ දේ සිතීමට පොළඹවන ලිපියක් බව නම් සැබෑයි.
      මා ඉහත කියූ දෙයින් ඊට වඩා යමකුත් ඔබලා වැනි බුද්ධිමතුන් වටහා ගනිත්වා කියා සිතමි.

      Delete
    5. සිතුවිළි, ජොසෙෆ්,

      ලිපිය නැවත මැනවින් සකස් කර ඇත. බොහෝ කරුණු ආවරණය කරන්නට ඇතැයි සිතමි.

      Delete
    6. හ්ම්ම්... ලිපිය සැලසුමකට සකස් කරලා තිබෙන බවනම් පැහැදිලියි.

      ඒත් කසල ආර්ථිකය ඉංග්‍රීසින් නොව ඇමරිකානුවන් විසින් ඇති කරන ලද දෙයක්යැයි මවිසින් ඉදිරිපත් කළ අදහස තවමත් නිරුපද්‍රිතයි. ඒ ගැන කිව හැකි දෙයක් තිබේද ?

      Delete
    7. මිතුර ජොසෙෆ්,

      ඇමරිකාව යනු නේටිව් ඇමරිකන් යන රැවටිලිකාර වචනයෙන් හඳුන්වන ඇමරිකානු ස්වදෙශිකයින්ගේ නිර්මාණයක් නොවේ. එය ඉංගිරිසින් සහ ප්‍රංශ-ස්පාඥ ප්‍රමුඛ යුරෝපියානු තක්කඩි රාජ්‍යයයන්ගේ නිර්මාණයකි.

      කසල ආර්ථිකය කළමනාකරණ ක්‍රමවෙදයක් ලෙස සුත්‍රගත කරන ලද්දේ ඇමරිකානු ආර්ථික විද්‍යාඥයින් විසින් බව සැබැයි. එහෙත් එපමණකින් කසල ආර්ථිකය කෙරේ ඉංගිරිසින් හා යුරෝපීයයන්ගේ වගකීම අවසන් නොවෙයි.

      ඉංගිරිසින් විසින් ස්වදේශිකයින් මරා-පළවා උන්ගේ කොත් රහිත සොහොන් මත ඇමරිකාව ගොඩ නොනැගීනම් කසල ආර්ථිකයක් බිහි නොවී තිබුණු බව ඔබට කීමට හැකිද? නොහැකියි. සම්පූර්ණ මහාද්වීපයක සම්පත් තමන් නතු කර ගත් ඇමරිකාව නම් අභිනව 'තක්කඩි' රාජ්‍යය ඒ සම්පත් භාවිතා කර අස්වාභාවික ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමත්, කාලයාගේ ඇවෑමෙන් ඒ වර්ධනය පවත්වා ගැනීමට අපොහොසත් වීමත් සිදු වීම නියතියකි. එතැන ඇමරිකාව සිටියත්, චීනය සිටියත් මේ බිඳ වැටීම කවදා හෝ සිදු වේ. මීට සහශ්‍ර වර්ෂයකට පෙර සිටි ලෝක බලවතා වූ රෝමය බිඳ වැටුනේ නැත්ද? එසේ වැටෙන විට එය වළක්වා ගැනීමේ මං සෙවීම අහම්බයක් නොවේ.

      සවිඥානිකව කළ යුතු දේ නම් උඩ ගියොත් වැටෙන බව දැනගෙන උඩ නොයා සිටීමයි. අපේ පැරැන්ණන් කළේ එයයි. යුරෝපීයයන්ගේ ආර්ථික ක්‍රමය මිස වෙන කිසි ආර්ථිකයක් පාරිභෝජනය මත ගොඩ නැගී නැත. පාරිභෝජනය වැඩි කිරීම වෙන කිසිම ආර්ථික ක්‍රමයක ලක්‍ෂණයක් වී යැයි සිතීමට කරුණු නැත. විශේෂයෙන් ආශාවන් තුනී කිරීමට රුකුල් දෙන පෙරදිග දර්ශන වලින් පෝෂණය වූ රටක ආර්ථිකයක් කසල ආර්ථිකයක් වීමේ හේතු නොපෙනේ.

      ඔබේ පිළිතුර ලැබෙන්නට ඇතැයි සිතමි. එසේම මේ පිළිතුර කිහිප විටක් ලිවීමට හා ඉවත් කිරීමට ද සිදු විය. අපැහැදිලිනම් තව දුරටත් සාකච්ඡා කරමු.

      Delete
    8. ඉංග්‍රීසින් විසින් ඇමරිකාව ඔවුන්ගේ චින්තනය සහ සංස්කෘතිය මත ගොඩ නගන ලද හේතුවෙන් නම් ඔබේ තර්කය පිළිගත හැකියි. මෙය පැහැදිළි කිරීමට ආචාර්ය නලින් ගේ "ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය" හොඳ පාරිභාෂික වචනයක් බව ඔබට සිතුනේ නැත්ද ?

      දැන් ඔබ කසල ආර්ථිකය යැයි කියන්නේ,
      * ඔවුන්ගේ "ධනවාදී" / "වෙළෙඳපොල" / "විවෘත" ආදී නම් වලින් හඳුන්වන ආර්ථිකයද ?
      * නැතිනම් කල් නොපවත්නා ලෙස භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ක්‍රමයද ?

      Delete
    9. පාරිභාෂික වචන අපට හිතූමතේ භාවිතා කළ නොහැකියි. ආචාර්ය නලින්ගේ වචන ඔහු විසින් දෙන ලද අරුතින් වෙනස් තැනක යොදා ගැනීම ඔහුටත් අපටත් කරන අසාධාරණයක්. "ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය" කසල ආර්ථික පැහැදිළි කිරීමට යොදා ගත හැකි බවක් අපට පෙනුණේ නෑ. එහෙත් ඔබ කැමතිනම් කසල ආර්ථිකය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකියි.

      අප කසල ආර්ථිකය ලෙස හැඳින්වූයේ අළෙවි කරන භාණ්ඩයක උපයෝගී ජීව කාලය අඩු කිරීම පිණිස සවිඥානිකවම සැළසුම් කරන ආර්ථික ක්‍රමයක්. අපේ පැරැණ්නන් සහ පොදුවේ ගත් කළ පෙරදිග වාසින් මෙවැනි ආර්ථික ක්‍රමයක් ඉපදවීම සිදු විය නොහැක්කක් බවයි අපේ අදහස.

      Delete
  2. "මේ පවතින වෙළඳපොල ආර්ථිකය මෙම දෘෂ්ටි කෝනයෙන් බලා ලියූ ලිපියක් මා මින් පෙර කියවා නැත." - සිතුවිළි

    "ආශාවන් තුනී කිරීමට රුකුල් දෙන පෙරදිග දර්ශන වලින් පෝෂණය වූ රටක ආර්ථිකයක් කසල ආර්ථිකයක් වීමේ හේතු නොපෙනේ" - කණිෂ්ක

    ඉහත ප්‍රකාශ ගැන පැහැදිළි කිරීම් අවශ්‍යයි.
    ---------

    "සවිඥානිකව කළ යුතු දේ නම් උඩ ගියොත් වැටෙන බව දැනගෙන උඩ නොයා සිටීමයි. අපේ පැරැන්ණන් කළේ එයයි." - කණිෂ්ක

    මෙය ප්‍රායෝගිකද ? ප්‍රායෝගික නම් එය ශිෂ්ඨාචාරයක් ලෙස ස්වයංවිනාශය කෙරේ යොමු වූවක් නොවන්නේද ?

    ප.ලි.: කසල ආර්ථිකය ඔබේ වචනයකි - එය වෙන තැනක දැක නැත. එය මුලින් අර්ථ දක්වා සිටින්නේනම් අපේ සාකච්චාවට පහසුවක් යයි සිතේ.

    ReplyDelete
    Replies
    1. සිතුවිළිApril 2, 2014 at 1:35 PM

      වෙළඳ පොල ආර්තිකය හෙවත් වත්මනෙහි ප්‍රකට වූ ඉල්ලුමට සැපයුම න්‍යායික වෙළඳාම ඉන් අනතුරුව ඉල්ලුම නිර්මාණය කිරීම දක්වා වර්ධනය වී ඉන් අනතුරුව ඉල්ලුමට ලැබෙන සැපයුම ඉල්ලුමේ හැටියටම නොගැලපී එකක වෙනුවට දෙකක් මිළදී ගැනීම දක්වා හෝ ඉනුත් ඔබ්බට කැඳවාගෙන ගොස් ඇති බවට මෙලෙස කළ විග්‍රහයක් මා මින් පෙර නොකියවූ බවක් කීවෙමි.
      සත්ත්‍යය වශයෙන්ම මෙලෙස සිතීම මට අළුත් අත්දැකීමක් විය.
      ජෝසප් සොයුරාගේ පැනයට පිළිතුරක් ලැබිනැයි සිතමි.

      Delete
    2. අළෙවිය පිණිස නිෂ්පාදනය කරන භාණ්ඩයක උපයෝගී ජීව කාලය අඩු කිරීම පිණිස සවිඥානිකවම සැළසුම් කරන ආර්ථික ක්‍රමයක් කසල ආර්ථිකයකි. මක් නිසාද යත් එවැනි ආර්ථිකයක් විසින් නිෂ්පාදනය කිරීම පිණිස සැළසුම් කරන්නේ කසල වන බැවිනි.
      මෙවැනි ආර්ථිකයක් සැබවින්ම ස්වයං විනාශය කරා යොමු වූවක් වෙයි. නොමැතිව, ඔබ කියන අයුරින් අපේ පැරැණ්නන්ගේ ආර්ථිකය ස්වයං විනාශය කර යොමු වන්නේ නැත.

      කසල ආර්ථිකය විසින් කසල උපදවා මුදල් නිපදවයි - හෙවත් මුදල් උපයයි. ඒ මුදල් අර කසල ඉවත් කිරීමට ප්‍රමාණවත් නැත. කසල බාර ගැනීමට කෙනෙක් සිටින තාක් කල් මෙවැනි ආර්ථිකයන් ඉදිරියට ගමන් කරනු ඇත. කසල බාර ගැනීමට කෙනෙක් නැති වූ කල, එනම් ලෝකය කසලින් තෘප්ත වූ කල මේ ආර්ථික බිඳ වැටෙනු ඇත. කසල ආර්ථිකයෙන් වියෝ වීම පිණිස සවිඥානික වීම අද ඉමහත් වැදගත් කමක් ගන්නේ එබැවිණි. හෙට ප්‍රමාද වැඩි විය හැක.

      Delete