Wednesday, January 15, 2014

ඉතිහාසය අලුතින් ලිවීම



"ලංකාවේ ඉතිහාසය අලුතින් ලියම්හ"යි අභිනවයෙන් තේරී පත් වූ උතුරු පළාතේ මහඇමතිවරයා පාරම් බා තිබේ. නව වසරේ කදිම අදහසකි. උතුරු පළාතේ ජනයා මේ වන විට කේතුමතී පුරයක සැපසේ වෙසෙන බැවින් විය යුතුයි මහජන මුදලින් වැටුප් ලබන ඒ පළාතේ මහඇමතිතුමාට මෙවැනි අදහස් පහල වන්නේ. උතුරු පළාතත් ලංකාවේ කොටසක් බැවින් ලංකාවේ පුරවැසියෙක් වශයෙන් ඉතිහාසය ලිවීමේ අදහසක් පහල වීම සාමාන්‍ය දෙයක් බවත්, ඒ අදහස පහල වූ ප්‍රථම හා එකම පුද්ගලයා තමන් නොවන බවත් එතුමා නොදන්නා බව පෙනේ. ලක්දිව වංශකතා ලියැවුණු ඉතිහාසයකි. දීපවංශය, මහාවංශය, බෝධිවංශය, දළදාවංශය, එළුඅත්තනගලුවංශය ඈ වංශකතා ලියැවුනේ මේ රන් පොළොව මතයි. ඉතිහාසය ලිවීමේ මෙකී ආසාව කොතරම් සාමාන්‍යකරණය වූ කටයුත්තක්දැයි පැහැදිළි වන්නේ මීට වසර හාරසීයකට පෙර යාපනය ආදී ලංකාවේ මුහුදුබඩ පළාත් කිහිපයක් යටත් කොටගත් ලංසින්ට පවා මේ අවශ්‍යතාවය ඇති වීමෙනි. ඉතිහාසයකැයි ඒත්තු ගැන්විය හැකි යමක් ලියා ගත නොහැකි වූ ලංසින් විසින් යාල්පාන වෛපවමාලෙයි නම් කෘතියක් එකල යාපනයේ විසූ මයිල්වාගන පුලවර් නම් තක්කඩියෙකු ලවා ලියවා ගත් බව පෙනේ. මේ පොත ලියූ පුලවරයා තක්කඩියෙක් බව ඒත්තු යන්නේ ලක්දිව ලියවුණු වෙනත් කිසිම වංශකතාවක් සමග නොගැළපෙන අත්‍යන්ත කෙබර වලින් පිරුණු විකාරයක් ඉතිහාසකැයි ඉදිරිපත් කිරීමෙනි. මේ සමහර විටක පුලවරයාගේම වැරද්දක් නොව, ඔහු විසින් ලියැවුණු ප්‍රබන්ධය සැබෑ ඉතිහාසයක් ලෙස පටලවා ගත් අපේ කාලයේ පණ්ඩිතයින්ගේ තකතීරු කමක්ද විය හැකිය.

ඉතිහාසය ග්‍රන්ථකරණය
වඳ වී ගිය ත්‍රස්තවාදී ජන කණ්ඩායමක වර්තමාන අවශේෂයන්හි නියෝජිතයා වන උතුරු පළාත් මහඇමති වරයා නොදන්නා මුත් (නොඑසේනම් නොදන්නා බව පෙන්වන මුත්) ලංකාවේ ඉතිහාසය ලිවීම නම් බෝ වන රෝගයකි. කැඩුණු කුඹ ගසක් සාදා ගැනීමට ලංකාවට ගොඩ බැස මෙහි වසර කීපයක් ගත කර ආපසු ගිය නැවක සුළු සේවකයෙක් තම ගමන් විස්තරය අළලා පොතක් ලිවීය. එහි හරි වැරදි බැලීමට ලක්දිව ගැන දන්නා උගතෙක් එංගලන්තයේ නොසිටි ඒ කාලයේ සුද්දන් විසින් ඒ පොත හරිය කියා පිළිගැනීම ගැටළුවක් නැතත් අද වෙසෙන සමහරු (මුන් සුද්දන් නම් නොවේ) ඒ පොත බයිබලය මෙන් පිළිගෙන පුරාතන සිංහලයට ගරහත්. මේනම් ඉතිහාසය පාසැල් වලින් ඉවත් කිරීමේ දෝෂය මිස වෙන කිසිත් නොවේ. රොබට් නොකොස්‌ නම් ඒ සුළු සේවකයා සිය රට ගිය පසුත් ඊට පෙරත් බොහෝ බටහිරයින් විසින් ලක්දිව විස්තර ලියා තබා තිබේ. ඒවා අදට ඉතිහාස වාර්තා ලෙස සළකුණත් ඒවා ලියැවුණු කාලයේ නම් එදිනෙදා වාර්තා, පෞද්ගලික මතවාද සහ ප්‍රබන්ධ පමණකි.

පෙරදිග දැනුම බටහිර නොයෙක් විද්‍යාවන් විසින් උකහා ගැනීමට උත්සාහ දරන කාලයේ, එනම් ක්‍රි.ව. 18 වන සහ 19 වන සියවස් වලදී ලංකාවේ ඉතිහාසය බටහිරයින්ගේ අවධානයට පාත්‍ර විය. එහි ප්‍රතිඵලයක් ලෙස ජර්මන් ජාතික විල්හෙල්ම් ගෛගරයන් විසින් මහාවංශය ඉංගිරිසියට පරිවර්තනය කරන ලදැයි කියැවේ. එතැන් පටන් බටහිර රටවල විවිධ විද්වත්හු ලක්දිව ඉතිහාසය තම තමන්ට රුචි අයුරින් නැවත නැවත ලිවීම විනෝදාංශයක් කර ගත්හ. මෙකලනම් මේ කටයුත්ත ජයටම කෙරෙන්නේ සුවිඩන නම් උතුරු කෙළවරේ ඇති රාජ්‍යයක උප්සලා නම් සරසවියක බවයි ආරංචිය. උතුරු කෙළවරේ ඇති මේ රාජ්‍යයන් අර වඳ වී ගිය ත්‍රස්තවාදී නඩයට උපකාර කළේ නිකංම විය නොහැක. එසේම උතුරු පළාතේ මහඇමති වරයා "ඉතිහාසය නැවත ලියම්හ"යි දැන් දැන් වහසි බස් දොඩන්නේ පුලවරයාට වඩා වැඩිතර තක්කඩියෙක් වන සුවිඩන විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පීටර විසින් කරගෙන යනු ලබන සිංහලයේ දෙමළ ඉතිහාසයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය අවසන් අදියරට ලං ලං වී ඇති බැවින්ද?

මේ මහාවංශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිශිෂ්ඨයක් ලෙස ඇතුල් කිරීමට සුදුසු කාලයයි.

Wednesday, January 1, 2014

සුභ නව වසරක් !



සියළු දෙනාට සුභ නව වසරක් වේවා !


සියළු දෙනාට සුභ නව වසරක් වේවා !

දෙතිස් කතා කියවන නොකියවන සකල ලෝක සත්ත්වයාට සෞභාග්‍යමත් නව වසරකට සුභ පැතුම්.


ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !