Wednesday, November 13, 2013

චෝංගං



කොල්ලයි බල්ලයි හැම එකාම මේ දිනවල කතා කරන මාතෘකාවක් ඇත. ඒ චෝංගංය. කාලෙන් කාලෙට එක එක තාලේ රැළි ඇවිත් යන මේ අබුද්දස්ස කාලේ මේ මොන විලම්බිතයක්ද රාළේ කියා බැලූ විට දැන ගන්නට ලැබුණේ චෝංගං, චෝංගං කියා කියන්නේ CHOGM ලෙස ඉංගිරිසියෙන් කෙටි කර හඳුන්වන පොදුරාජ්‍යමණ්ඩල රාජ්‍යනායක සම්මේලනයට බවය.

ඒකෙත් හැටි...

චෝංගං හංවඩුව ගැසූ දැන්වීම නිල වෙබ් අඩවියෙන්
අපි අද චෝංගං ගැන කතා කරමු. ඒත්, සියල්ලට පළමුව වචනයක් කිව යුතුමය. CHOGM ගැන දැන ගැනීමට කැමති අයවළුන් මේ හන්දියෙන් හැරී යා යුතුය. ඒ ගැන ඉගෙන ගැනීමට නොව, ඒ ගැන අප කියන දේ දැන ගැනීමට කැමති අය පමණක් කතාවේ ඉතිරි හරිය කියවිය යුතුය. මේ වනාහී දෙතිස් කතායැ.

චෝංගං මහජනයාට වැදගත් ඇයි?

ලංකාව නිවාඩු බොහෝ ගණනක් ඇති රටක් බව බොහෝ අය චෝදනා මුඛයෙන් කියති. එය බොරුවක් නොවේ. ශ්‍රී ලංකාවේ කැලැන්ඩරය ගෙන බැලුවොත් මාසයට එක බැගින් පෝය නිවාඩු ඇත. හිංදු ඉස්ලාම් හා කතෝලික නිවාඩු මේ මතට එක් වූ කළ මාසයක් පමණ නිවාඩු වැටේ. ඒත් ලංකාවේ නිවාඩු වැඩියැයිද, ලංකාව දියුණු නොවන්නේ ඒ නිසා යැයි ද කියන ඒ නෝනාවරු මහත්වරු නිවාඩු අඩු හෙයින් දියුණු වී ඇතැයි උපකල්පනය කළ හැකි රටවල ජනයා සුමාන ගණන් නිවාඩු පිට ලන්කාවාදී රටවල කරක් ගසනු දකින්නේ නැත. අනේ ලංකාවේ වැඩ කරන ජනතාව !

ඒකෙන් මේකෙන් කියන්න ආ දේත් අමතක උණා. මේකයි කාරණේ. ලංකාවේ, එනම් කොළොඹ (ඔව් ඔව්, ලංකාව කියන්නේ තාමත් කොළොඹ තමා...), ජනයා චෝංගං වැදගත් කොට සළකන්නේ තවත් සතියක නිවාඩුවක් මාර්ග වැසීම හේතුවෙන් ලැබේයැයි බලාපොරොත්තු වන නිසායි.

චෝංගං ආංඩුවට වැදගත් ඇයි?

ලංකාවේ ආංඩුවට එදා වේල ආංඩුවකි. එය රඳා පවතින්නේ විච්චූරන මත වේ. ගිණි පොළියට ණය ගැනීමත්, ණයට ගත් දේ වියදං කර ගැනීමත්, නැවතත් ණය ගැනීමත් මේ ආංඩුවේ ජීවන චක්‍රය වේ. චෝංගං යනු ණය ගැනීමට හේතුවකි. ගත් ණය අවසන් කර ගැනීමට මාර්ගයකි. හදා ගත් දා පටන්, නටපු තොයිලෙකුත් නැති බෙරේ පළුවකුත් නැති විච්චූරන මඩුවක් පමණක් වන චෝංගං එකට වඩා මේ වැඩේට සුදුසු වෙන 'සුදු අලියෙක්' වේනම් ඒ චෝං-ක්‍රිං ලෙස නම් කළ හැකි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පමණක් වේ. අපේ දුප්පත් රටේ අනාගත පරම්පරාවේ වාසනාවටයි ඒ මංගල්ලය අනාගත ලංකාවේ අගනුවරට නොලැබී ගියේ.

හොඳ වැඩේ ! එය ලැබුණානම් අපට ඉතුරු වන්නේ තවත් ණය කන්දරාවක් හා හොල්මන් සහ වවුලන් සැරිසරන මන්දිර සහිත නටබුන් නගරයක් පමණි. ඒකත් හැතැප්ම ගානක් කැලේ ඇතුලේ...

මේ අටමගල ලංකාවට ගෙන්වා ගැනීමෙන් ඉදිරි වසර දෙක සඳහා චෝංගං එකේ නායකත්වය ලංකාවට අත් කර ගැනීමට ලංකාණ්ඩුව බලාපොරොත්තු වේ. අනේ හොඳයි. කබ්බෙකුට සාමවිනිසුරු පදවියක් ලැබෙන එක ඉරිසියාවට කාරණයක් නොවේ. ඒත් සාමවිනිසුරු පදවි ලැබුණේ කබ්බන්ට පමණක් නොවන බවත්, ස්ත්‍රී දූෂක මිනීමරුවන්ට පවා එය ලැබී ඇති බවත්, එය ලැබීමෙන් අත් වන අමුතු සුගතියක් නැති බවත් පමණක් සිහියට ගත යුතුය. මේ සාමවිනිසුරු කම ලැබීම වෙනුවෙන් දමන පාටියට කරන වියදම කවදාවත් පියවා ගත හැකි දෙයක් නොවන බවනම් පැහැදිලිය.

චෝංගං එකට වෙන රටවල රාජ්‍ය නායකයන් එන්නේ ඇයි?

මිනිස්සු මළ ගෙවල් වලට, දානේ ගෙවල් වලට යන්නේ ඇයි කියන ප්‍රශ්නයෙත් උඩ දැක්වූ ප්‍රශ්නයෙත් ඒ හැටි වෙනසක් නැත. ඒ ඒ මිනිස්සු ඒ ඒ රටවල රාජ්‍ය නායකයින්නම්, රාජ්‍ය නායකයින් එක තැනකට එක් රැස් කර, අනුන්ගේ වියදමින් බඩ-කට පුරා කන්න බොන්න දී, සතියක් විතර සම්පප්‍රලාප දොඩවමින් ඉන්නට දෙයිනම් ඒ මිනිස්සු නොඑන්නේ ඇයි? රාජ්‍ය නායකයෝ මනුෂ්‍යයෝය. අනිත් මනුෂ්‍යයන්ට ඇති වන මනුෂ්‍ය හැඟීම් රාජ්‍ය නායකයන් තුලද ඇති වේ. තමන් රාජ්‍යයේ නායකයා බවට පත් වූ පසු තමන් හයිකාරකම්-පුළුවන්කාරකම්-බලවත්කම් දක්වන්නේ කාටද? ඒකටත් අවස්ථාවක් චෝංගං එකෙන් ලැබේ.

චෝංගං එක මේ රාජ්‍ය නායකයන් මිලදී ගැනීමටත්, දැපනේ දා ගැනීමටත්, හීලෑ කර ගැනීමටත් ලබා දෙන්නේ කදිම අවස්ථාවකි. ඒ සඳහා සැදී පැහැදුණු ඔත්තු සේවා වලට ලංකාව කෙළිමඬලකි. ලංකාව තුල ඔත්තු නොබලන්නේ ඇන්ටාක්ටීකා රහස් ඔත්තු සේවය පමණක් බව කවුදෝ කීවා මතකයි. උගත් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, රාජ්‍ය නිලධාරීන් බිලී බා ගැනීමට විදෙස් සංචාර ලබා දෙන ලෝකයක නූගත් දේශපාලනඥයන්, හිටපු ත්‍රස්තවාදීන්, කටපාඩම් බුද්ධිමතුන්, රාජ්‍ය නොවන සංවිධාන මුදල් ලබන බැලයින්, සහ හමුදා කුමන්ත්‍රණ කාරයින් වන මේ රාජ්‍ය නායකයන් මෙවැනි දේකට එක් රැස් වීම වරදක් නොවේ.

චෝංගං එකට සමහරු නොඑන්නේ ඇයි?

එන්නේ ඇයි යන ප්‍රශ්නයට දුන් පිළිතුරේම මීට පිළිතුරත් අඩංගුය. මිනිස්සු මළ ගෙවල් වලට, දානේ ගෙවල් වලට නොයන්නේ ඇයි. සුළු සුළු අමනාපකම් නිසාය.

කැනඩා අගමැතිගේ ප්‍රශ්නය පැහැදිළිය. අනුන්ගේ රටක් බලෙන් අල්ලාගෙන ඒකට නමක් දාගෙන තමන්ගේ මැට්ටන් තම්මැට්ටන් කියා තමන්ගේම බෙරේ ගසන ඔහු තමන්ගේ රටේ ස්වදේශී ජනයාට ඒ රට බාර නොදෙයි. ඒත් අවුරුදු දාස් ගණනක් සිංහලයින් විසින් පෝෂිත සිංහලද්වීපයෙන් බාගයක් මේ අවුරුදු තුන්සීයකට පෙර වතු වැඩට පැමිණි දෙමළුන්ට නොදීම ඔහුගේ උදහසට හේතුවයි. එක වැනි කුරුල්ලන් එක අත්තේ වසන්නේ යැයි කියමනක් තිබේ. රතු ඉන්දියන් කාරයින්ගේ රටේ කැනඩාව හැදුවා සේ සිංහලයින්ගේ රටේ ඊළමක් පිහිටැවූ දාක මේ ගොබිලා සව්දිය පුරමින් කොළොඹ වඩිනු ඇත.

සුද්දන් විසින් මහාරාජානම් පරම්පරාගත කල්ලි නායකයන්ගෙන් උදුරාගත් ඉඩකඩම් එක් කර සාදා බමුණන්ට බාර දුන් රටේ නායකතුමා, 'එන්ඩ විදියක් නෑ මල්ලි සොරි හොඳේ' කියා අපේ මහවාසලට ලියුමක් එවයි. ඒවාට ඉතිං අපේ මහවාසල මක්ක කරන්නද? ඉන්දියාවේ "13 වෙනි සංශෝධනේ" අයින් කර නැට්ට විසින් බල්ලා වනන ඒරාෂ්ඨකය අවසන් කරන තෙක් ඔය ගෝතකරුමය එසේම තිබෙනු ඇත. තමන්ට කැමති විදියට පාටියකට ගොස් බොරු ටිකක් කියා හරක් ගාතයක් ගිල දමා පොඩි අඩියක් ගසා එන්නට තිබෙන චාන්ස් එක අනුන්ගේ රටක මුහුදේ බලහත්කාරකමින් මාළු මරණ තක්කඩි මාළු මුදලාලිලා කිහිප දෙනෙකුට වකූර් කර දැමිය හැකිනම් මේ ඊනියා රාජ්‍ය නායක කම මක්කටයි කියා ගාම්භීර ලෙස ජටාව බඳින උගත් අගමැති තුමා තමන්ගේ දර්පණ ප්‍රතිබිම්බයෙන් අසා ගත යුතුය. 13 අපේ පිට පටවන කැසිල්ල සුව වී තමන්ට කැසිල්ලක් වී තිබෙන ජනවර්ග වලට බලය බෙදීම නම් මේ ගොබ්බ ව්‍යාධිය සුව කර ගැනීමට මනමෝහන මැතිදුන් ප්‍රමුඛ කපටි බමුණු නඩයට මෙයින්වත් නුවණ පෑදේවා.

චෝංගං එකට එන්නට චැනල් පෝ එකට අවසර දුන්නේ ඇයි?

අනේ මේවාට උත්තර දෙන්න අපි දන්නේ නැත. හොඳ පුතා වීමේත් සීමාවක් තිබිය යුතුය. විශේෂයෙන් ලංකාව රඟන්නේ සෝපාක චරිතය වන විට හොඳ පුතා වීමෙන් අත් වන සෙතක් නැත. ඒ සෝපාකටනම් පිහිට වීමට බුදුහිමියන් වැඩියා. අද වඩින බුදු කෙනෙක් ඇත්ද. විදේශ සේවයේ සිටින එක එක විභිෂනලා විශ්‍රාම ගත් පසු රාජ්‍ය නොවන සංවිධානයකින් තව හොඳ වැටුපක් ලබා ගැනීම, එසේ නැතිනම් තමන්ගේ පව්කාර දරුවන්ට නිකං පඩි කන එවැනි සංවිධානයක රැකියාවක් ලබා ගැනීම අරමුණු කරගෙන ගන්නා මෙවැනි තීරණ වලින් ලංකාවට අත් වන්නේ සෝපාකට අත් වූ ඉරණමමයි. මැකරේ රාජ්‍ය ද්‍රෝහියෙකි. ඔහුට වීසා දුන් උන්ද ද්‍රෝහියෝය. ඒ දෙස දත-කට නියවාගෙන බලා සිටින්නෝ ඊට වඩා ද්‍රෝහියෝය.

ගමේ පන්සලේ හාමුදුරුවන් මත්පැන් බීම පාපයක් කීවාට විරෝධය පල කිරීම පිණිස චන්ඩියෙක් ගසකට නැග්ගොත් ඔහු ගසෙන් බැස්සවීම පිණිස වහ වහා දෝලාවෙන් වඩින මහවාසලේ මහතැන මේ ගැන නිසි ක්‍රියා මාර්ග නොගන්නේ මන්ද. යුධ අපරාධ නම් තොන්ඩුව තද වෙන්නේ කනකමය සකක් සේ සුදිළෙන ඒ පිංබර බෙලිගෙඩියට මිස බ්ලොග් කඩමාල්ලක් ලියන අපේ දර පොල්ලක් වන් කෙසඟ බොටුවට නොවේ. විදුලි පුටුවට යන්න බය නෑ කියා පපුවට ගසා ගැනීමෙන් තමන්ටවත් රටටවත් වන සෙතක් නැත. එසේ නොවීම පිණිස ක්‍රියා මාර්ග ගත යුතුය. ප්‍රයෝග සම්පත්තිය යනු එයයි. සී සී කඩ වූ කොටි ආධාරකාරයින් ප්‍රසිද්ධියේ යුරෝපයේ රටවල් වල මහපාරේ වෙඩි තියා ගනිද්දී, මේ බහුබූතයා (මැකරේ කාරයා) පුනරුත්ථාපනය නොවූ කොටි ත්‍රස්තවාදියෙකුගේ වෙඩි තැබීමකින් පාළු පාරක් අයිනේ මැරී සිටියොත්, එක බෝම්බයෙන් සිංහලයින් දුසිම් ගණන් දූලි වනු දැක ඇති මහජනතාව කොටි සංවිධානය නැවත නැගිටීවි කියා බියක් ජනිත කර ගන්නේ නැත. තක්කඩි ප්‍රාදේශීය සභා මන්ත්‍රීලත් චන්ඩි කම් පෙන්වන්නේ අසරණ සුද්දන්ටම තමා !

මොන මගුලක්ද මේ, දැන් කියන්නේ චෝංගං එපා කියලාද?

බැඳ ගත්ත බෙරේ ගසනු මිස දැන් බිමින් තියා පලක් ඇත්ද. හැරත් අප කීවාට අසන කෙනෙක් වෙත්ද.

තවලම තම ගමන යයි. බල්ලෝ බුරත්. බල්ලන් බුරයි කියා තවලම ගමන නවතන්නේ නැත. නැවතුවත් අර බල්ලන් තවලමට නංවා ගන්නේද නැත. ලංකාණ්ඩුව අද යන්නේ තර්කානුකූලව එය යා යුතුව තිබෙන පාරේය. ආණ්ඩුව පත් කිරීම පිණිස චන්දය දෙන්නෝ මහජනතාව බව සැබැයි. එහෙත් මහජනතාව චන්දය දෙන්නේ රට ගැනම සිතාද? කිසි සේත් නැත. මිනිස්සු චන්දය දෙන්නේ අඩු තරමින් තමන් ගැනවත් සිතා නොවන බව කොම්පියුටර් ජිල්මාට් ගැන විශ්වාස නොකරන අපට සිතේ. මැතිවරණ පිණිස මුදල් වියදම් කරන මුදලාලිලානම් කරන්නේ ආයෝජනයකි. ඒ පෘථග්ජන මිනිස්සු ප්‍රතිලාභ බලාපොරොත්තු වෙති.

ආණ්ඩුව කොටස් වෙළෙඳපොළේ විකිණුන ව්‍යාපාරයක් වැනිය. ව්‍යාපාරිකයෝ බහුතර කොටස් හිමියෝය. මහජනතාව සුළුතර කොටස් හිමියෝය. බහුතර කොටස් හිමියන් මේ ව්‍යාපාරය මෙහෙයවන්නේ තම තමන්ගේ පෞද්ගලික ව්‍යාපාර වලට ලාභය වැඩි කර ගැනීම පිණිස මිස මෙකී ව්‍යාපාරය ලවා ලාභ උපදවා සුළුතර කොටස් හිමියන්ට ප්‍රතිලාභ ලබා දීම පිණිස නොවේ. තවලමට බුරන බල්ලන්ට වඩා වැඩි වටිනාකමක් සුළුතර කොටස් හිමියන් වන අපට ලැබෙන්නේ නැත. ඉතිං අපි කුමක් කරමුද... බුරමු ! තව හයියෙන් බුරමු !!

එතකොට චාලිස්? එතකොට කැමරන්?

හැටපස් හැවිරිදි චාලිස් ගොයියා රූකඩයකි. රබර් සීල් එකකට වඩා වටිනාකමක් ඔහුගේ වෘද්ධ මෑණියන්ටත් නැත. චාලිගේ වටිනාකම ඊටත් වඩා අඩුය. පුද්ගලයෙකු වශයෙන් ඔහුගේ ගුණ නුගුණ මිස රාජ්‍ය නායකයෙකුගේ නියෝජිතයෙකු ලෙස ඔහුගේ ඇති වැදගම්මක් නැත. ක්‍රිස්තියානිකාරයෝ දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරත්. බොරු කියන්න එපා මිනිහෝ කියාගෙන දෙවියන් වහන්සේ කඩා බිඳගෙන එන්නේ නැත. මේ රැජිණත් ඊට වඩා වෙනසක් නැත. බ්‍රිතාන්‍ය හමුදාව ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ හා ලිබියාවේ අහිංසක ජනයා මරා දමන්නේ මහරැජිනගේ නාමයෙනි. රැජිණ එපා කීවැයි කියා ඔය යක්කු මිනීමැරීම නවතයිද?

කැමරන් කාරයානම් එසේ නොවේ. මිනිහාට අර තිරිසන් හමුදාව ඒ ඒ රටවල් වලින් කැඳවීමේ හැකියාව ඇත. ඒත් ඌ එසේ හමුදාව කැඳවන්නේ නැත. අනුන්ගේ රට වල නිත්‍යානුකූල ආණ්ඩු පෙරළා ත්‍රස්ත කල්ලි වලට බලය පැවරීම පිණිස තමන්ගේ හමුදා යවන, ත්‍රස්තවාදීන්ට ආධාර කරන මේ සුදු කරපටි ත්‍රස්තවාදියා ලංකාවට එන්නේ අනික් රාජ්‍ය නායකයන් මෙන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලං ඉඳලා යන්න නෙවෙයිලු. තමන්ගේ හමුදාව අනුන්ගේ රටවල මානව හිමිකම් රකින බවට සහසුද්දෙන් දන්නා මේ ගල් මූසලයා එන්නේ අපේ හමුදාව මානව හිමිකම් රකින හැටි හොයා බලන්නලු. අනේ මගේ කට !

කැමරන් කාරයාගේ මුතුන් මිත්තන් අපේ රටේ මිනිසුන්ගේ මානව හිමිකම් අපූරුවට රැක දුන් ආකාරය අපි හොඳින් දනිමු. එතරම් හොඳින් අපේ මානව හිමිකම් රැක දීමට ඉන්දිරා වැස්සිගේ වහුපැටියා යන සුරතල් නාමයෙන් ජේආර් විසින් හඳුන්වන ලද රජිව් ගාන්ධිගේ වඳුරු හමුදාවවත් සමත් නොවූ බව බිම්තැන්නේ සපරගමුවේ මාතලේ සත්කෝරළේ ගස් ගල් පවා ශාක්‍ෂි දරනු ඇත.


ශ්‍රී ලංකා හමුදාවේ යුධ අපරාධ ගැන සෙවීමට එන කැමරන් ගොයියාගේ මුතුන් මිත්තන් ඔහුගේ රැජිණගේ මුතුන් මිත්තන්ගේ නාමයෙන් මේ පොළෝ තලය මත කළ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැන කතා කිරීම පිළිකුල දනවයි. අද සුදු රෙදි පොරවාගෙන සිටින සද්ගුණවත් කැමරන් උපාසක තැනගේ දූ දරුවන්ට කියැවීම පිණිස දයාවංශ ජයකොඩි මහතා විසින් රචිත සිංහලේ ජාතික සටන් නම් කෘතියේ ඉංගිරිසි පරිවර්තනයක් සපයා දීමට කාරුණික මහතෙක් / මහත්මියක් ඉදිරිපත් වේවා !

10 comments:

  1. මේක නම් දැන් චුයිංගම් එකක්ම තමයි..

    ReplyDelete
    Replies
    1. මචන් දිනේෂ් ඔය බ්ලොග් ඔක්කොම උඹගේම ඒවාද?

      Delete
  2. සිතුවිළිNovember 13, 2013 at 8:30 AM

    ඉතාමත් වටිනා කාලීන ලිපියක්.
    අපේ මාධ්‍ය වේදීන්යැයි කියාගන්න උන්ට යමක් දෙස මෙලෙස මැදිහත්ව බැලිය නොහැක්කේ ඇයි.
    ඇතැම් විට ඔවුනට අනුව මෙය ඉබාගාතේ හතර අතට පහර දෙන ලිපියකැයි අරුත් දැක්වීමට ඉඩ ඇත.!

    ReplyDelete
    Replies
    1. මටනම් දෙපාරක් කියවනකොට එපා උනා.

      සිතුවිළිට මේකේ වැදගත් දෙයක් පෙනුනාද?

      අනිත් එක, මේකේ කිසිම මැදහත් බවක් නම් නෑ, ඒත් ඒක අවුලක් කියන්න බෑ.

      Delete
  3. හික් හික් හික් ! පට්ට !!!
    දයාවංශ ජයකොඩි මහතා විසින් රචිත සිංහලේ ජාතික සටන් නම් කෘතිය අපිට සොයා ගත හැකිද ?

    මට හිතෙනවා අර කැමරන් හාදයගේ දරු මුණුපුරන්ට මේ ලිපිය පරිවර්තනය කරලා දුන්නනම් වටිනවා කියලා. එයාට විතරක් නෙවෙයි, මනමෝහන කාරයාටත් ගාන්ධි පවුලේ අයටත් මේක කියවන්න ලැබෙනවානම් අපූරුයි. අපේ 'මහවාසල'ටත් නරකම නෑ.

    ReplyDelete
  4. ඔය තියනේ , මට නම් මේ ලිපිය පත්තරේ මුල් පිටුවට යවන්න හිතෙනවා, හුදෙක් රුපියල් ශත වෙනුවෙන් මුලා වෙලා රට නැති කර ගන්න ජාතියක් තමයි අතීතයේ ඉදලා ලංකාවේ මේ වන තුරුත් අනාගතයටත් ඉතුරු වෙන්නේ! මේ බව මානව පසක් කර ගැනීමට පහත උපුටා ගැනීම සාධාරණ වනු ඇත.

    "කැලෑ වැදී සිටින භික්ෂුන් වහන්සේ නමක් ගැනද මෙහිදී ගැමියෝ ෂුල්බ්‍රේඩ්ට ඔත්තු සැපයුහ. එතෙකින් නතර නොවූ ගම්වැසියෝ ඒ හිමි නම ෂුල්බ්‍රේඩ්ට අල්ලා දීමට උත්සුක වුහ. හිමි නම සමග සිටි මෙහෙකරුවන් තිදෙනෙක් ද අත්අඩංගුවට පත්වුහ. මේ භික්ෂුව රෙදි කඩක දවටා ගත් යම් වස්තුවක් අතැතිව සිටින බව ෂුල්බ්‍රේඩ් දුටුවේ ය.ඔහු මේ පිළිබද වැ සැක කළේ ය. ඔහුගේ අණ පරිදි රෙදි දවටනය ඉවත් කරනු ලැබී ය. එය දළදා සමිදුන් සහිත ඇතුළු කරඩුව බව ප්‍රශ්ණ කිරීමේදී භික්ෂුව හෙළි කොට තිබේ."

    මෙලෙස ආගම ජාතිය පවා දෙන ඉතාමත් ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස සිංහල ජාතිය හැදින්විය හැක. අතීතයේ පමණක් නොව දැන්ද සිදු වනුයේ මෙවැනි ක්‍රියා දාමයන්ය. මට නම් මෙවැනි අසාධාරණ වැඩ උහුලා ගන්න හරිම අමාරුයි මිතුරණි,

    ReplyDelete
    Replies
    1. ආගම ජාතිය පාවා දුන්න කිව්වේ.............?
      අර හිමිනමද?

      Delete
    2. නැ . හිමි නම අල්ලා දුන්නේ සිංහල ජාතියේ එවුන්ම තමයි. අධිරාජ්‍ය වාදීන්ට කත් අදින අය .

      Delete
  5. It is very interesting. I thought in Sri Lanka ppl with capability of "thinking out of the box" no more....! Its wrong. youre great. Make open eyes of our "MEEHARAK" guys. Let they understand these gimmicks, damages, etc doing so called politicians. Let them drive to answer those.

    ReplyDelete
    Replies
    1. capability of "thinking out of the box" ........................

      මනුස්සයෝ, එහෙම එව්වෝ තමයි ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ.

      දැන් බලනවා, මිනිස්සු 10 දෙනෙකුට කිව්වොත් හෙට මැච් එකට ටීම් එකට 11 දෙනෙක් නම් කරන්න කියලා, 10 දෙනා ටීම් 10 දෙයි වෙන වෙන මිනිස්සු දාලා. ලංකාවේ ඔක්කොම 'අවුට්-ඔෆ්-ද-බොක්ස්' තමයි. කොච්චර 'අවුට්-ඔෆ්-ද-බොක්ස්' ද කියනවනම් ඔක්කොම අල්ලලා එක පෙට්ටියකට දාල ඔයාල කියනවා එකෙක්වත් 'අවුට්-ඔෆ්-ද-බොක්ස්' නෑ කියාලා.

      මට කියන්න, ඔබ තුමා ලංකාවෙන් පිට වෙලා ගොඩක් කල් නේද?

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !