Tuesday, August 20, 2013

වචන දහසකට වඩා ...

අද නිකිණි පුර පසළොස්වක පෝය දිනය. මේ වර්ෂයේ මහපෙරහැර, එනම් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා පෙරහැර නිකිණි පෝ දිනය ආශ්‍රිතව පැවැත්වෙයි. ඊට අමතරව තව බොහෝ කරුණු මේ පෝ දිනය ආශ්‍රය කරගෙන සිදු වී ඇත. ඒ ගැන වැඩි විස්තර මෙතැනින් කියවමු.

වචන දහසකින් කිව නොහැකි දේ එක පින්තූරයකින් කිව හැකියි


කපුටාගේ කතාව...
වචන දහසකින් හෝ කිව නොහැකි දේ එක පින්තූරයකින් කිව හැකි බවට ජනප්‍රිය කතාවක් පවතියි. ඒ කතාව විශේෂයෙන් ජනමාධ්‍යවේදීන් අතර ජනප්‍රිය බැවින් පොදු ජනයා අතරත් ප්‍රචලිතය. ඉහත දැක්වෙන්නේ අප විසින් ගන්නා ලද ඡායාරූපයකි. ඒ කතාව සත්‍යනම් මේ ඡායාරූපයෙන් කියවෙන්නේ කුමක්දැයි වචන දහසක් යොදාගෙන හෝ විස්තර කළ හැකිද ?

ඇරුණු හොට ඉහලට නගාගෙන වැල්ලේ වලකට බැසගෙන මේ කපුටා සිටින්නේ ආරුගම් කලපුවේ නැතිනම් හික්කඩුවේ මුහුදු වෙරළේ නොවේ. මේ ඓතිහාසික කැළණි මහා විහාරයේ මහ සෑය වටා පිහිටි වැලි මළුවයි. සාම්ප්‍රදායික දාගැබ් සැලැස්මක පේසා වළල්ලෙන් ඔබ්බට පිහිටන, වාහල්කඩවල් හා සමහර විට මල් ආසන පිහිටුවන සෑ මළුව, කළු ගල් අතුරා සකස් කරන මුත්, කැළණියේ එසේ නොවේ. කැළණියේ මහසෑයත්, බෝධි මළුවත්, විහාර මන්දිරයත් එකම වැලි මළුවේ පිහිටුවා ඇත. එසේම ලංකාවේ (අප දන්නා තරමින්) ඉතිරි වී ඇති එකම ධාන්‍යාකාර හැඩයෙන් යුත් චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්නේ ද මේ කැළණි විහාරස්ථානයේ මහ සෑ රදුන්ය.

කපුටාට පැන් බඳුනක්
මේ වැදගත් කරුණු දැන හෝ නොදැන මේ කපුටා වැලි මළුවේ මෙසේ වැතිර සිටී. දිනය අගෝස්තු 18 , වෙලාව මද්‍යාහනය. කැළණි විහාරය ජනී ජනයාගෙන් පිරී ඇත. වෙහෙර මළුවේත් සීයයකට ආසන්න බැතිමතුන් පිරිසක් ගාථා කියත්; මල් රැගෙන වෙහෙර පැදකුණු කරත්; සිල් වතින් සැරසුණු උවසු උවැසියෝ මූ පසුකර යෙත්; ළමා සාරියෙකින් සැරසුණු දැරියෝ කිහිප දෙනෙක් කපුටාට ජල බඳුනක් ලං කරත්; ඒ අතර ජායාරූපකරණයේ ප්‍රවීනයෙක් නවකයන් දුසිමක් පමණ පිරිවරාගෙන ඒ අයට කැමරා කෝණ සහ ආලෝකය හසුරුවා ගැනීම ගැන ප්‍රයෝගික පාඩමක් කෙරෙත්; තමා වටා සිදු වන මේ සියලු දේ ගැන පෙනෙතත්, කිසිදු හැල හොල්මනක් නැතිව කපුටා තවුසෙක් සේ එසේම සිටී.

මේ සිද්ධිය අප මෙසේ දුටු බැවිනුත්, ජායාරූපයට නැගූ බැවිනුත් මෙසේ ඒ ගැන සටහන් කර තබමු. කලකට පෙර මාතලේ දිස්ත්‍රික්කයේ එක්තරා විහාරස්ථානයක (මතකය අප නොරවටයි නම් ඒ කවටයාමුණ විහාරස්ථානයයි) බණ ඇසීමට පැමිණි පිළිහුඩුවෙක් ගැන කතාවක් වීය. ඒ සත්ත්වයා ගැනත් මිනිස්සු බොහෝ දේ කීහ. එහෙත් කැළණි විහාරයේ අප දුටු මේ කපුටා තිරිසන් බවක් ලැබ උපන් මුත් මහසෑ මළුවේ බවුන් වඩන බෝසත් කෙනෙක් දැයි අප දන්නේ නැත. නැතිනම් කාක වේශයෙන් පැමිණි කිසියම් අමනුෂ්‍යයෙක් වීදැයි අප දන්නේත් නැත. මොහු සාමාන්‍ය කාකයෙක් වී කිසියම් ආබාධයකට ලක් වීම නිසා මෙසේ සිටීදැයි අප දන්නේත් නැත. එසේම මෙය කිසියම් භයංකාර සිදු වීමක පෙර නිමිත්තක් දැයි අප දන්නේත් නැත.

මේ කුමක්දැයි දන්නා කෙනෙක් අප කෙරේ අනුකම්පාවෙන් පැහැදිලි කර දෙත්වා !

27 comments:

  1. සිතුවිළිAugust 20, 2013 at 6:37 PM

    මේ අසාමාන්‍ය කාකයා ගැන ජන මාධ්‍යයකින් මා දුටු පළමු අවස්ථාව මෙය වීම ගැන මා ඇත්තටම පුදුම වෙමි. අප මිනිසුන් ගුප්ත දේ කර තබාගෙන දුවන ආකාරයට මේ කාකයා පිළිබඳ පුවතට තටු දීමට කැළණි විහාරය නමදින බෞද්ධයා කැමැති නොවීයැයි මට සිතේ.
    මා පළමු වරට මේ කාකයා මේ ලෙසින් කැළණි විහාර සෑ මළුවේ දුටුවේ මීට වසරකට පමණ පෙර බවයි මාගේ මතකය. කෙසේ වෙතත් ඒ සයමසකට වඩා නම් වැඩි බව ඉඳුරා කිව හැක. එසේම මීට සති තුනකට පමණ පෙර කැළණි විහාරය වැඳීමට ගිය විට නැවත කාකයා දැකීමට හැකි විය.
    මා පළමුවෙන්ම මොහු දුටු දින අසල සිටි උපාසිකාවකගෙන් මාගේ බිරිඳ මේ ගැන විමසූ අතර ඇයගේ පිළිතුර වූයේ සැමදා දහවල් කාලයේ මේ කපුටා මෙසේ දැඩි හිරුරැස් මැදත් වැස්සේත් සිටින බවත් රාත්‍රී කළුවර වැටුනු පසු ඉවත්ව යන බවත්ය. කී ආකාරයට කෑම සොයා නොයන මේ කාකයා ඉඳ හිට මිනිසෙකු ලඟට දෙන දෙයකින් සප්පායම් වන අතර අසල ගසක නිතර සිටින වෙනත් කාකයෙකු විසින් ඉඳ හිට අහර සපයමින් උපස්ථාන කරනා බවත්ය. වෙනත් කපුටෙකු උපස්ථාන කරනා කථාවෙහි ඇත්ත නැත්ත නොදන්නා මුත් ඒ අවස්ථාවේත් ඒ අසලම අත්තකට වී එදෙස බලා සිටි තවත් තනි කාකයෙකු අප මොහු දුටු වේලාවේ සිට අප පන්සල් භූමියෙන් පිටත්ව යන තුරු සිටියේය.
    ඒ අප මේ කාකයා දුටු මුල් දිනයේදීය. ඉන් පසු කැළණි විහාරය වැඳීමට දිවා කාලයේ ගිය සෑම දිනකම මේ සත්ත්වයා දැක පුරුදු අපහටද එහි සිටින බොහෝ උවසු උවැසියන්හට මෙන් මොහු පුරුදු දසුනක් පමණක් විය.
    ඔබගේ විමසුම් සහගත සිතට මේ කරුන වදදීම පුදුමයක් නොවන අතර මේ ගැන තව දන්නා උන් අප අතර ඇත.
    මේ කුමණ ආකාරයකින් පැහැදිලි කළ යුතු තත්වයක්දැයි සිතා ගත නොහැක.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ...

      අමුතුම කතාවක්. පින්තූර නොතිබුනානම් මේක පිළිගන්න බැරි දෙයක් කියන්න තිබුණා. සිතුවිළිගේ පැහැදිලි කිරීම කියවන්නට පෙර මට සිතුනේ මේ කපුටා කූඩුවෙන් එළියට ඇවිත් ඒත් තවම හරියට පියාඹන්න බැරි පැටියෙක් කියලයි. මිනිහ කට ඇරගෙන උඩ බලාගෙන ඉන්නේ මහ උන් කෑම ගෙනත් කවනකම්. ඒ පැහැදිලි කිරීම සරලයි. ඒ වගේම මම අහල තියෙනවා කපුටු පැටව් පෙරහැර බලන්නයි එලියට අරන් යන්නේ කියලා. ඒ කියන්නේ පෙරහැර කාලෙට කපුටු පැටව් පියාඹන්න පුරුදු වෙන බවයි. ඒත් සිතුවිළිත් මේක දැකල තියෙන නිසාත්, ඒ මීට ටික කාලෙකට කලින් නිසාත් ඒ පැහැදිලි කිරීම අයින් කරන්න වෙනවා.

      හිතන්න දෙයක්... මට හිතෙන්නේ එහෙමයි.

      Delete
    2. "කෑම සොයා නොයන මේ කාකයා ඉඳ හිට මිනිසෙකු ලඟට දෙන දෙයකින් සප්පායම් වන අතර අසල ගසක නිතර සිටින වෙනත් කාකයෙකු විසින් ඉඳ හිට අහර සපයමින් උපස්ථාන කරනා බවත්ය."

      ඔබේ ඉහත ප්‍රකාශය පිළිගත හැක. කපුටන් අප රංචු වශයෙන් දුටුවත් උන් ජීවත් වන්නේ යුගල වශයෙන්ය. අපේ නිවස අසල විදුලි කම්බියේ වසන මෙවැනි කපුටු ජෝඩුවක්‌ සිටී. සැමදා රාත්‍රිය මේ දෙදෙනා උරෙනුර ගැටී එළි වන තුරු එතැනම සිටී. ඒ අප එලෙස දුටු පළමු කපුටු යුවලද නොවේ. උපස්ථාන කරන කාකයා මොහුගේ/මැයගේ කලාත්‍රයා බවට බොහෝ දුරට විශ්වාස කළ හැක.

      Delete
  2. සිතුවිළිAugust 23, 2013 at 9:05 PM

    මේ ගැන සාකච්චා කරන්න තරම් දෙයක් නැතැයි අපේ මිතුරන්හට සිතිලාද?
    මෙය මෝහයෙන් මුලා නොවී, බෞතිකවාදයෙන් මුලා නොවී. ඒ මැද රැඳී විග්‍රහ කෙරුම දුශ්කර වුවත්, එසේ පැනයක් විමසන්නේ කෙසේදැයි වටහා ගැනීමට රුකුල් දිය හැකි ආකාරයේ සිදුවීමක්.
    ඇත්ත වශයෙන්ම ධර්මානුකූලව මෙය විග්‍රහ කිරීම පිනිස යමෙකු ප්‍රවේශයක් සපයන්න. මෙය විකාරයක් සේ කෙනෙකුට පෙනී යා හැකියි එහෙත් එසේ නොවිමෙහි ඉඩ කඩ වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඔබ මීට කලින් දුන් පැහැදිළි කිරීම විසින් අප සේයාරූ සපයා කළ ඉදිරිපත් කිරීම ස්ථිර කෙරුණු බැවින් ඊට වඩා දෙයක් මේ ගැන එකතු කිරීමට ඉතිරිව නැත. සත්‍ය වශයෙන්ම අපෙත් සැකයෙන් තොර මතය වූයේ ජොසෙෆ් විසින් ඉදිරිපත් කෙරුණු කපුටු පැටියාගේ පැහැදිළි කිරීමයි. ඊට වැඩිමනක් එකතු කළ යුතුව ඇති එකම දේ නම් මොහු පසුදින එළිය වැටෙන තෙක් වත් ජීවත් නොවනු ඇති බවට අප උපකල්පනයක් දැරූ බවයි. එසේ වුවත් මොහුගෙන් රෝගී බවක්වත් ආබාධිත බවක්වත් දිස් වූයේ නැත.

      ඔබ මොහු මීට පෙර දැක ඇත්නම්, මොහු ගැන විපරම් ද කර ඇත්නම්, ඒ පැහැදිළි කිරීම පිළිගැනීම හැර වෙන දෙයක් අපට ඉතිරිව නැත. එහෙත් ඒ පැහැදිළි කිරීම විසින් මේ චරියා ධර්මයට හේතුව පැහැදිළි කෙරෙන්නේ නැත.

      මූ ඉතාම කම්මැලි එසේත් නැත්නම් තටු වැඩුණු පසුත් දෙමව්පියන්ගෙන් තවමත් යැපෙන කපුටෙක්ද? ඔබ සිතන්නේ කුමක්ද? මෙය කියවන කාක විශේෂඥයන් නැත්ද?

      Delete
  3. අනේ ඉතින් මට නම් වැටහෙන්නේ මේ කැලණිය පුදබිමේ සිට මොහු කුමක් හෝ සීලයක පිහිටා අධිෂ්ඨානයක පසු වෙන බවකි. මෙහෙම ගිණි අවුවට වේලෙන වැස්සට තෙමෙන කපුටන් මිට කලින් නම් කොහෙදිවත් දැක නැත.කපුටෙක් උනත් වූ හරිම සිල්වත් බවක් පෙන්වන්නේ.එමනිසා මිතුරණි මදක් සිතන්න, මේ අපේ ෛඑතිහාසික පුදමිමක් ය කියන කෝණයෙන්!

    ReplyDelete
    Replies
    1. සිතුවිළිAugust 27, 2013 at 8:56 AM

      බිංදු ,
      මේ කාකයා මෙසේ ලැගසිටින්නේ ආරුගම් කලපුවේ හෝ හික්කඩුවේ මුහුදු වෙරළේ නොවේ යැයි කීමෙන් කණිෂ්ක අදහස් කරනුයේද මේ අපගේ උතුම් පුද බිමක වන නිසාම එහි රැඳි ආශ්චර්‍යයක් ඇති බව විය හැකියි නේද?
      භෞතික වාදියෙකුට නම් පහසුවෙන්ම ජෝසප් හා කේ දුන් සරළ පැහැදිලි කිරීමෙන් මේ ගැටළුව නිමා කල හැක (ජෝසප් හා කේ භෞතික වාදින්යැයි කීමක් මින් අදහස් නොවේ ).වාද බැහැර කරන චින්තනය නිදහස්ව කල යුතුයැයි පිළිගන්නා අපහට එහි බොහෝ වූ විව්ධ අර්ථකථන ඇත.
      මේ සත්ත්වයා අභාදිතයෙකු විය නොහැක, එසේ වූවා නම් මේ දුශ්කර පරිසරයේ (පැය භාගයක් හිටියොත් අපිටත් ඔළුවේ කැක්කුම හැදෙන අව්වේ ) මේ සතා මාස ගනනක් දිවා කාලය ගත කරන්නේ කෙසේද? දිවා කල මෙසේ ගත කරන සත්ත්වයා රාත්‍රියේ ඉගිලී ඉවත්ව යන්නේ ඇයි?
      ඔබ කියන අයුරු අපි මෙය උතුම් පුද බිමක යන සංකල්පයෙන් පැහැදිලි කළ හොත් එහි වෙනස්ම දැක්මක් ඇතුලත් විය හැක.
      ඉතින් ඒ ඔබ දකින අයුරින් විග්‍රහයක් ඉදිරිපත් කරන්න.

      Delete
    2. කැලණිය විහාර මළුවේ දිවා කාලයට බැතිමතුන්ගෙන් වැඩි දෙනා ගමන් කරන්නේ සෙවනැලි හරහාය.මක් නිසාද යත් එතරම් තද රශ්මියක් වැලිකැට මතින් දෙපයට දැනෙන බැවින්ය. එසේ නම් මේ තිරිසන් සත්වයාට කෙසේ නම් දැනෙයි ද මේ රස්නය.

      ඇත්තටම මම දකින්නේ මොහු කාකයෙක් උනාට උතුම් ගති ඇති සතෙක් කියලයි. දරාගැනීමේ හැකියාව මිනිස් ප්‍රජාවට දැනුම් දීමක් කරනවා මේ සතා. ඔහු මේ ලෝකෙට පණිවිඩයක් දෙනවා "කෙතරම් රශ්මිය වැටුනත් , කෙතරම් වැස්ස පතිත උනත්, සැපයි මට සැපයි මේ වැලි මළුව" කියලා.මෙතරම් වටින පුද බිමකට ගරු කරන්න ඕනේ කොහොමද කියලා අපිට කියලා දෙනවා.

      තිරිසන් සතෙකුට මේ පුද බිමේ තියෙන වටිනාකම මෙහෙම නම් උසස් මනසක් තියෙන මිනිසාට මෙය කෙතරම් වටිද? කොච්චර මිනිසුන් සැරි සරුවද, කිසිම විටෙක ඉගිලිලා යන්න කිසිම උනන්දුවක් නැහැ.

      මම අනිවාර්යෙන් දකිනවා මොහු තිරිසනෙක් උනත් මේ පුදබිමට ඉතාමත් ගරු කරන වන්දනා මාන කරන කිසියම් මාර්ග පලයක්‌ හිමිව සංසාරෙන් එතර වීමට පාරමිදම් පුරණ සත්වයෙක් විදිහටයි මම නම් මේ අහිංසක සතාව දකින්නේ.තෙරුවන් සරණයි සැමටම!

      Delete
    3. බිංදු, ඔබ කියන දේ එසේ නොවේයැයි කීමට අපට හැකි නොවෙතත්, එවැනි බරපතල නිගමනයකට පැමිණීමට තරම් අපට හේතු නැත.

      Delete
    4. සිතුවිළිAugust 28, 2013 at 9:09 AM

      අපට සාධාරන හේතු සහිතව මේ ගැන පැමිනිය හැකි නිගමන කවරේද?
      එලෙස නිගමන වලට පැමිනීමෙන් අප ලබන්නේ කුමක්ද?

      Delete
    5. එහෙම වෙන්න බෑ. තර්කයක් විදියට ඒක වැරදියි. ඒ විදියටනම් කැළණි පන්සල වටේ ඉන්න හිඟන්නොත් මාර්ග පල ලබල තියෙන්න ඕනේ, උන් කරන දුෂ්කර ක්‍රියා වල හැටියට. මේ කපුටා උගේ දුර්වලතාවයක් ඇතුව හෝ නැතුව අනුන්ගෙන් යැපෙන හිඟන්නෙක්. මට හිතෙන්නේ එහෙමයි.

      අමතක කරන්නෙපා කපුටා කියන්නේ හරිම කපටි (බුද්ධිමත්?) සතෙක් බව. මම අහල තියෙන විදියට ලංකාවේ කපුටෝ ඇති කරන්න තහනම්. කපුටන්ව පුරුදු කරන්න පුළුවන් හරිම සූක්ෂම වැඩ වලට. ඒ ඇත්තටම ඌ කසල බුදින්නෙක් වන නිසාද දන්නේ නෑ. කොහොමත් හිවල්ලු, කපුටෝ, හයිනා (අප්‍රිකාව) වගේ සත්තු, මුන් ඔක්කොම ආහාර කර ගන්නේ අනිත් සත්තු දඩයම් කරපු, එහෙම නැත්නම් ඉතුරු කරපු දේවල්. ඒ සත්තු අනිත් උන්ගෙන් ගසා කන ක්‍රමේ හරියටම ප්‍රගුණ කරලා තියෙනවා.

      ගහේ කටු උල් කරන්න ඕනේ නෑ ... තම්බිට ජාවාරම් උගන්නන්න ඕනේ නෑ ... ඒ වගේම තමයි මේකත්.

      Delete
    6. @ සිතුවිළි
      සාධාරන හේතු : කපුටාගෙනි ඇසිය යුතු.
      අප ලබන්නේ : ආස්වාදයක් පමණි.

      Delete
    7. සිතුවිළිAugust 28, 2013 at 12:39 PM

      ජෝසප්,
      මම අහන්නේ සාධාරන හේතු නෙවෙයි, එළැඹිය හැකි නිගමන!
      අප ලබන්නේ ආශ්වාදය - ඒකනම් ඉතින් ඔය මොනවා කරලා ලබා ගන්න බැරිද?

      Delete
    8. සිතුවිළි,

      * අපට සාධාරන හේතු සහිතව මේ ගැන පැමිනිය හැකි නිගමන කවරේද?
      සාධාරණ හේතු මත පැමිණිය හැකි නිගමන ඒ ඒ හේතු අනුව වෙනස් වේ. එවැනි නිගමන වලට පැමිණීමේ අවශ්‍යතාවක් ඇත්ත වශයෙන්ම තිබේද? අමතක කරන්නෙපා.. අප මුල් ලිපියෙන් ඉල්ලා සිටියේ දන්නා කෙනෙකුගේ පැහැදිලි කිරීමක් බව.

      * එලෙස නිගමන වලට පැමිනීමෙන් අප ලබන්නේ කුමක්ද?
      අප ලබන්නේ කුමක්ද.. සමහර විට මිතුරු ජොසෙෆ් කී ලෙස කිසියම් ආස්වාදයක් ලබනවා විය හැකියි. නිගමන වලට පැමිණිය නොහැකි බවයි අපේ අදහස.

      Delete
  4. ඒක නෙවෙයි, කණිෂ්ක,
    අර අමා පැන්ද මොනවද දන්සලට මොකද කරන්නේ...

    --------------------
    ටක් ටක් ටක්...
    දන්සල වහලද ?
    --------------------

    ReplyDelete
    Replies
    1. ඒක දෙමු නේද...

      දැන් පොත් ලැයිස්තුවක් තියෙනවානේ. සැප්තැම්බර් මාසෙත් ළඟ නිසා අපි සල්ලි ටිකක් ඉතුරු කර ගන්න ඕනේ පොත් ටිකක් ගන්න. වැඩිය නෙවෙයි, කොහොමත් ඔය ලැබුණු පොත් ලැයිස්තුව වැඩිත් එක්ක. මුදල් තිබෙන හැටියට අරං තව පුළු-පුළුවන් විදියට එකතු කරන් ගිහිං වැඩි සද්දයක් බද්දයක් නැතුව දෙන්නයි කල්පනාව.

      Delete
  5. මේ ලොකු ලොකු මහත්තැන්ගේ වැදගත් කතාවක් මැද්දට මං වගේ ගොබ්බයෙක් පැනලා හරිද මන්දා ... අනාරාධනයෙන් ආවා හෙම නෙවෙයි ඕන් කියුවා... මෙන්න සාක්කි... http://lankacnews.com/sinhala/main-news/99663/#comment-583828

    කපුටා හෙනහුරාගේ වාහනය නෙවෙයිද මහත්තයෝ... මේක පිල්ලියක්... හෙනහුරා වඩින්න ඉස්සර වෙලා රට තොට බලාගෙන යන්න තමයි මුන්නැහේ මෙහෙට පාත් වෙන්නැත්තේ... මොකාක් හරි අපලයක් තමා අප්පා... අර ඉස්සර රාමා වඩින්න ඉස්සරින් හනුමා ඇවිත් ගියාලු නොවැ...

    මුලින් කපුටු පිල්ලිය ... ඊට පස්සේ නවනීතම් පිල්ලිය... එයිනුත් පස්සේ..................

    ReplyDelete
    Replies
    1. සිතුවිළිAugust 28, 2013 at 12:43 PM

      හුලල්ලා,
      අපිත් මෙහෙ ආවේ ඔය වගේ ආරාධනාවකින් තමයි. මෙතැන ඔය කියන ලොකු මහත්තැන්ලාත් ඉන්නවද?
      ඒ කවුද අප්පේ ඒ?

      Delete
    2. හුලල්ලා මහතා,

      ඔබ දෙතිස් කතා වෙත පැමිණීම අගෙයි. ඔබේ නමේ තේරුම කුමක්දැයි විමසීමට සිතෙන මුත් ඒ පසුවට කල් තබා ඔබේ අදහස් දැක්වීම අගය කරමු.

      කපුටා සෙනසුරාගේ (නැතිනම් රාහුගේද?) නිල රථය බව අපට යන්තම් මතකයි. දැන් ඔබ කරන පැහැදිලි කිරීම මේ 'අපල' කාලයක පෙර නිමිත්තක් බවද ?

      Delete
  6. හා එහෙනම් ඔය කාට හරි පුලුවන්ද දෙපයට ආවරණයක් නැතුව ගිණි අවුවේ හිටගෙන එක පැයක් ඉන්න! කපුටා ඒ ඉන්නේ සමාධියට සමවැදීලා,දරා ගන්න පුළුවන් එතකොට. කුරුල්ලන් අවුව තපිනවා මම අන්නතවත් දැකලා තියෙනවා. කොහොම වෙතත් ඔහොම දර්ශනයක් නම් මින් පෙර කවදාවක් වත් දැකලා නම් නැ.
    කපුටා කපටි වෙන්න පුළුවන් ඒ වුනත් ඒක මකුනෙක් කෑවට අනිත් මකුණෝ පලි නැ නේද? බුදුන්වහන්සේ වැඩ සිටි සමයේ සිටි අජාසත්ත වැනි අය අද සමාජයේ කොතරම් සිටිනවද? ඒ අතරට ඔබ අප වැනි යහපත් මිනිසුන් කොපමණ සිටිනවද? ඇයි මේ කාකයා ගැනත් එලෙස හිතන්න අපහසු?

    ReplyDelete
    Replies
    1. මෙයා කාක ලෝලියෙක් වගේ... නැත්නම් කාකයා අදහනවද මන්දා... කාකයාගේ පැත්තටමයි කතාව. ජාතක කතා පිළිගන්න කෙනෙක් හැටියට ඒ ගැන වරදක් කියන්න බෑ.

      Delete
    2. සිතුවිළිAugust 29, 2013 at 7:59 AM

      නෑ බිංදු කියන කථාවේ ගත යුත්තක් තියෙනවා,
      එයා කියන්නේ කපුටාගේ පැත්තෙන් සාධාරනවත් හිතමු කියලා, හොඳයි එහෙම හිතන එකේ තියෙන වැරැද්ද මොකක්ද?
      කපුටගේ පැත්තෙන් සාධාරණව හිතන්න කපුටු ලෝලියෙක්වත් කපුටෝ අදහන්නෙක් වත් වෙන්න ඕනේ නැහැ මගේ හිතේ.

      අර එක සැරයක් අපේ කණිෂ්ක මහත්තයා කුරුලුගොයාගේ පැත්තෙන් ප්‍රශ්නයක් සාකච්චා කරලා තිබුනේ අහින්සක ලේනාගේ පාටිය කඩා කප්පල් කිරීම ගැනවත් උගේ මානව අයිතීන් (වැරදුනා ලේන අයිතීන් ) ගැනවත් නොතකා.
      එහෙනම් කණිෂ්ක මහත්තයා කුරුළු ගොයි ලෝලියෙක්ද?

      Delete
  7. සිතුවිළිSeptember 2, 2013 at 3:56 PM

    කථා 32 කාටත් එපා වෙලා වගෙයි,
    නිකමට ඇවිත් බැලුවා, දවස් ගානකට වෙච්ච දෙයක් නැහැ
    මොකද මේ?

    ReplyDelete
    Replies
    1. මහා කම්මැලි දවස් ටිකක්. මමත් කොමෙන්ට් දැමුවේ නෑ. අපේ කණිෂ්ක මහත්තයනම් කපුටු ලෝලියෝ ගැන කියන්න ගිහිං කාපු කෑමෙන් පස්සේ තව කාලෙකට මේ පැත්තේ එන්නේ නැති වෙයි. උන්දැගේ වයර් මාරු වෙලා වගෙයි මටනම් පෙනෙන්නේ... අනේ කොහොම හිටපු කොල්ලෙක්ද... වයසට යනකොට කාටත් ඔහොම තමයි.

      Delete
  8. අපි බලාගෙන ඉමු අපුවහම අල්ලා ගමු, සමහර විට වැඩ ගොඩ ගැහිලා ඇති, නැතිනම් කපුටෙක් වත් හමු වෙලාද දන්නේ නැ.

    ReplyDelete
  9. සිතුවිළිSeptember 5, 2013 at 11:49 AM

    අවසන් ලිපිය පල වෙලා දවස් 16ක් ගිහින්, මෙහෙම නම් හොඳ නැහැ, අපි මොනවා හරි අලුත් ලිපියක් වත් පල කරමු.
    අපේ කියවන පිරිස අතරෙවත් නද්ද ලිපියක් පල කරන්න උනන්දුවක් ඇති අයෙක්.
    අපි කතා ලියලා වැඩකුත් නැහැ අඩුගානේ කියවන උන් බනින්නෙවත් නැහැ. ඒ කියන්නේ ඒවා බනින්න තරම් වත් වැඩක් නැහැ.
    ඉතින් මොකද කොරන්නේ?

    ReplyDelete