Tuesday, July 16, 2013

මල්වාරේ

"මචං නියම සොෆ්ට්වෙයා එකක් හම්බුනා. මේකෙන් වැඩ ගන්න උඹ දන්නවද?"
පරිගණක සාක්‍ෂරතාව උගත් කමක් විදියට සළකපු කාලයක් තිබුණා. ඒත් ඒ ඉස්සර. දැන්නම් ඔය කියන සාක්‍ෂරතාවය නැති එකෙක් තමයි හොයා ගන්න බැරි. තව ටික කාලෙකින් ඕක නැති උන්ට ඉල්ලුම වැඩි වෙන්නත් ඉඩ තියෙනවා... අර මංගල යෝජනා වල 'සුරා සූදුවෙන් තොර' කියලා දානවා වගේ. ඇයි දෙයියනේ මුන් දැන් කාලේ සාක්‍ෂරතාවය කියල කොරන දේ වල හැටියට ඕක නැති එකමයි හොඳ කියලා 'සත් ගුණවත්' දෙමව්පියන්ට නොහිතුනොත් තමයි පුදුමේ.

මගෙත් යාළුවෙක් ඉන්නවා... මිනිහ ඔය පරිගණක, මෘදුකාංග, ජංගම දුරකථන, අන්තර්ජාලය ඔය වගේ මෙකී නොකී සියලු දේ ගැන අහන්නේ මගෙන් තමා. මගෙන් ඇහුවට, මිනිහ මගෙන් අහන ප්‍රශ්න වලට මම දන්න උත්තරයක්‌ නම් නෑ. එයාම තමයි හරි උත්තරේ තෝරාගෙන මටත් කියලා දෙන්නේ. අපි දෙන්නගේ වැඩි හරියක් 'පරිගණක පාඩම්' යන්නේ දුරකථන කතා බහෙන් තමා.

Unity Plaza

අද උදේ මෙන්න හදිසියේම මගේ දුරකථනය නාද උනා. නාද රටාවෙන් මම දන්නවා මේ කවුද කියලා. මමත් ඉතිං ගුඩ් මෝනිං වේවා මචං කියලා සුද්ධ සිංහලෙන් සුබ පතලා මොකෝ කාරිය ? කියලා ඇහුවා.

ආ මචං මම මේ කතා කරේ... උන්දෑ කතාව පටන් ගත්තා.

අපි මේ හදිසියේ කොළඹ ආවා. දැන්නම් බම්බලපිටියේද දන්නේ නෑ ඉන්නේ මචං. පාරෙන් එහා පැත්තේ NOKIA කියලා ලොකුවට ගහපු බිල්ඩිමක් තියෙනවා. මෙතන ඉඳලා යුනිටි ප්ලාසා එකට යන්නේ කොහොමද කියපං

දීපල්ලකෝ උත්තර !

මේ ඒ යාළුවා එයාගෙත් යාළුවෙක් ගැන මට කිව්ව කතාවක්.

Malware

මෙයා වැඩ කරන අතරතුරේ යාළුවෙක් හරි සන්තෝසෙන් කතා කළාලු. මට නියම සොෆ්ට්වෙයා එකක් හම්බුනානේ රුවන්, මේකෙන් වැඩ ගන්න හැටි තමයි මම දන්නේ නැත්තේ. උඹේ ඉන්නවා නේද අර සොෆ්ට්වෙයා කරන යාලුවෙක්. අනේ උගෙන් අහල කියපන්කො මේකෙන් මොකද කරන්න පුළුවන් කියලා අරූ පින්සෙන්ඩු වෙනවලු.

කෝ බලමු අපේ යාළුවත් මහදැනමුත්තා වගේ පපුව ඉස්සරහට දාලා ගමන පිටත් උනා. මොකද්ද සොෆ්ට්වෙයා එකේ නම ??

මේක මම ඉන්ස්ටෝල් කරපු එකක් නෙමේ බං, මම වැඩ කර කර ඉන්දෙද්දී මොකද්ද ඇහුවා. මම OK කළා. ඊට පස්සේ මේක ON උණා. ඒකයි මම උඹව හොයාගෙන ආවේ. මල්වාරේ ද මොකද්ද කියලා සිංහල නමක් පෙන්නනවා. අර හාදයා උත්තර දුන්නා.

මල්වාරේමේ මොන විලම්බිතයක්ද කියලා අපේ යාළුවත් ඉක්මනට ගිහින් මූණ පොවලා බලපි. මොකද්ද මේ මල්වාරේ ?

ආදේශකයක් පමණි. නියම පින්තූරය නොවේ. අනුග්‍රහය ගූගල් මුත්තා

මේ යකා අහක යන වෛරස් එකක් හරි ස්පෛවෙයා එකක් හරි බාගෙන !!!
පසු සටහන:
මෙහි එන සියලු නම් මනඃකල්පිත බව කරුණාවෙන් සළකන්න.

16 comments:

  1. හියෑහ් පුහ් පුහ් පුහ් !!!

    සියලු නම් මනඃකල්පිත කියල දැම්මට අපිට හිතා ගන්න පුළුවන් ඔය යාළුවගේ නම. එයාගේ නමේ '...කුමාර දුට්ඨගාමිණී' කියල තියෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. නෑ ජොසෙෆ්, මේ එතුමා නෙවෙයි.

      Delete
    2. හා ඒකත් එහෙමද...

      එක හොඳයි.

      Delete
    3. අනේ ජොසෙෆ් අපි උන්දැට පාඩුවේ ඉන්න දෙමු. එයාට ගොඩක් වැඩ. එයා පව්.

      Delete
  2. මෑතක සිට ඇතැම් භික්ෂුන් ඇතැම් (විශේෂ) අවස්ථාවල සිවුරට පිටින් බඩේ රෙදි පටියක් (පාදිලි තුමන්ලා මෙන්) බඳිනු දක්නට ලැබේ. උදා: www.lankapuvath.lk/sinhala/images/stories/newstext/Grade_5/Grade_6/Kapilawastupreside.jpg මේ ගැන කාට හෝ පැහැදිලි කළ හැකිද?

    ReplyDelete
    Replies
    1. මේ 'පටිය' බැඳෙන්නේ මෑතක සිට නම් නොවේ. අප ඉතා කුඩා අවදියේ මේ පටිය සහිතව භික්ෂූන් වහන්සේලා දැක ඇත. එහෙත්, ඒ මග තොටේ දී නම් නොවේ.

      අප මේ පටිය දුටුවේ කඨින පූජා මහෝත්සවකදී බව අපේ මතකයේ වෙයි. ඒ ධර්මිෂ්ඨ සමාජය පැවති යුගයයි (1980 ගණන් වල මුල් භාගයේ). මේ පටිය, විශේෂ අවස්ථා වල, එනම් කුල දරුවෙක් ප්‍රවෘජාවට පත් කිරීම, උපසම්පදා කිරීම, කඨිනය පිළිගැන්වීම වැනි විනය කර්ම වලදීත්, දළදා තේවාව වැනි පූජා වලදීත් අඳිනු ලබන්නකැයි අපේ විශ්වාසය වෙයි. මේ අවස්ථා වල එක ඉරියව්වෙන් සිටීම නොව විවිධ ඉරියව් පැවැත්වීම අත්‍යවශ්‍ය වීමත්, සිවුර වැනි ළිහිල් ඇඳුමක් (වස්ත්‍රයක්) අංග චලනයට බාධාවක් නොවූවත් අංග චලනය හේතුවෙන් එය නැවත නැවත ඇඳීමට සිදු වීමේ පලිබෝධයත් සැළකූ කල පටිය බැඳීම සාධාරණීකරණය කෙරේ.

      ගෞරවය දැක්වීම පිණිස උතුරු සළුව පටියක් කොට ගැට ගසා ගත් අවස්ථා ගැන ඔබට බෞද්ධ සාහිත්‍යයේ හමු වී ඇතැයි සිතමි. අපේ පැරැන්නෝ ප්‍රභූන් හමු වූ විටෙක කර රැඳී ලේන්සුව හෝ සළුව අතට ගත් බව කියන්නෙත් මේ නිසාමය.

      පාදිලි තුමන්ලා බඳින්නේ සකස් කළ පටියකි. එය පටියක් මිස පාදිලි ලෝගුවක් නොවේ. භික්ෂූන් වහන්සේලා පටියක් කරගෙන බඳින්නේ වස්ත්‍රයක්ම වෙයි. එය දිග හැර ගත් කල තවදුරටත් පටියක් නොවෙයි. එබැවින් ඔබේ සංසන්දනය දොස් සහිත වෙයි. පටිය යනු අට පිරිකරටත් ඇතුලත් අංගයක් බව සැළකූ කල ඔබේ උදාහරණය සදොස් බව ඉඳුරාම කිව හැක.

      ඔබ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්, වාරියපොල සුමංගල අනුනාහිමියන් වැනි පැරණි භික්ෂූන් වහන්සේලාගේ චිත්‍ර සොයාගෙන බැලුවොත් උන් වහන්සේලාත් විශේෂ අවස්ථා වල මේ පටිය බැඳී බව සොයා ගත හැකි වනු ඇත. අපේ අදහස: මෙය සියම් නිකායේ සාම්ප්‍රදායික චීවරයේ කොටසකි. අන් නිකාය වල හිමි වරුනුත් මෙලෙස පටිය බඳීනම් අපේ අදහස ඒ ඒ නිකාය වලටත් අදාළ වන සේ විස්තීරණය කරමු.

      Delete
    2. ඔය පටිය මටත් තිබුණු ප්‍රශ්නයක්. පිළිගන්න පුළුවන් උත්තරයක් ලැබිල තියෙනවා. ප්‍රශ්නයටත්, පිළිතුරටත් දෙකටම පින්.

      Delete
    3. ලොකු ළමයාJuly 19, 2013 at 5:51 PM

      ඇතැම් භික්ෂුන් බඩේ බඳින රෙදි පටිය කෝමද මල්ලි මේකට අදාල වෙන්නේ. මාතෘකාවෙන් පිට පනින්න එපා. මහජනතාව නරඹනවා..

      ---
      ලොකු ළමයා

      Delete
    4. @ කණිෂ්ක: ඔබේ විස්තරාත්මක පිළිතුරට බෙහෙවින් තුති. අප ඇසුයේ භික්ෂුන් සිවුරට පිටින් ඇතැම් විටෙක බඳින රෙදි පටියක් ගැන වන අතර උදාහරණයක් ලෙස දුන්නේ එවන් දේ දැක්වෙන ඡායාරූපයකි. තතු එසේ වනවිට උදාහරණය සදොස් වන්නේ කෙසේ දැයි අපට නම් නොතේරේ. පාදිලි තුමන්ලාගේ ඇදුම ගැන නම් අප වැඩිය නොදන්නා බැවින් එම සංසන්දනය දොස් සහිත විය හැක. අප දන්නා තරමින් අටපිරිකරට අයත් වන්නේ අඳනය වටා බඳින සිවුරු රෙද්දෙන්ම කළ රෙදි පටියකි. එබැවින් මේ අමතර පටියක් බව පෙනේ. ඇතැම් විට මෙය දොළොස් පිරිකරට අයත් වනවා ඇත.

      Delete
    5. උදාහරණය සදොස් බව කීම අපේ වරදකි. ඔබ දුන් උදාහරණ (ඔබ පසුව පැහැදිලි කරන අයුරින්ම) ඡායාරූපයයි. අපට කීමට ඇවැසි වූයේ පාදිලි තුමන්ලා හඳින පටිය හා කෙරෙන සංසන්දනය නිවැරදි නොවන බවයි.

      කෙසේ වෙතත්, අපට ඔබේ ගැටළුවට දිය යුතු වූ පිළිතුර නිරවුල්ව අවසන් වැකියෙන් කියැවෙන බැවින් තව ඒ ගැන කිව යුතු නැතැයි අදහස් කරමි.

      Delete
    6. @ ලොකු ළමයා: සොරි වෙන්ඩ ඕනේ. කෙසේ වෙතත්, පිට පැනීම කතු තුමාට ප්‍රශ්නයක් නොවේ නම් මහජනතාවට තියෙන්නේ බලාගෙන ඉන්න එක තමයි.

      Delete
  3. these are two cool stories; are they true?

    ReplyDelete
    Replies
    1. ය'ස්, දේ ආ.
      ඕල්සෝ යූ ආ වෙල්කම් ටු දෙතිස් කතා.

      Delete
  4. ලොකු ළමයාJuly 19, 2013 at 5:48 PM

    මල්වාරේ නෙවි මනුස්සයෝ, මැල්වෙයා.

    ---
    ලොකු ළමයා

    ReplyDelete
    Replies
    1. දනිමි.
      එබැවිනි මෙය පල කළ යුතු 'කතාවක්' වන්නේ.
      ~~~

      ලොකු ළමයා,
      ඔබ තුමාත් දෙතිස් කතා වෙත සාදරයෙන් පිළිගනිමි.

      Delete
  5. සිතුවිළිJuly 20, 2013 at 12:31 PM

    ඉඳ හිටලා මෙහෙම කථාවක් පල වෙන එක හොඳයි කියලා හිතෙනවා.

    මේක කියවපුවහම මතක් උනේ මම අහල තිබුන කථාවක්.
    එක්තරා ශ්‍රී ලාංකික පරිගනක සමාගමක නව භාණ්ඩයක් හඳුන්වා දීමේ වැඩ සටහනකට ප්‍රධාන ආරාධිතයා විදියට සහභාගි උනේ එවකට විද්‍යා හා තාක්ෂන ඇමති වරයා උනු බර්නාර්ඩ් සොයිසා මහතා. එතුමා එම සභාවේහි කල කතාවෙදි තමයි මේ කථාව කියුවේ.

    ඇමරිකාවේ එක්තරා ගුවන් නියමු පාසැලක හෙලිකොප්ටර් යනාවක් පුහුනු නියාමකයයි සිසුන් සමග ගුවන් ගත උනාලු. ගුවනේ ටික වෙලාවක් සැරි සරන විට එක වරම සම්පූර්ණ අහසම වලාකුලින් වැසී ගියාලු. දැන් මොකද කරන්නේ මේ නියමු පුහුනු යානා වල තාක්ශනික උපකරනත් නැහැ. සාමාන්‍ය ක්‍රමයට බාගන්න පොළොව පෙනෙන්නේත් නැහැ. නියමු පුහුනු කරුවා තමන්ගේ හිතෙ හෝදිසියට මූලස්ථානය දෙසට පැදෙව්වාලු. ඉලක්කය හොයා ගන්න බැහැ, ඔහොම යන කොට වලාකුලු වලින් උඩට මතු උනු අහස සූරන (Sky Scraper) ගොඩනැගිල්ලක් හමු උනාලු. මේක පොඩි අවස්ථාවක් කියලා මේ ගොඩ නැගිල්ල හඳුනා ගන්න උත්සහ කලත් කාටවත් හිතා ගන්න බැරිලු. ඔහොම ඉන්න අතරේ එක සිසුවෙකුට මසුරං අදහසක් ආවාලු.
    රෙදි කෑල්ලක් අරන් ඒකෙ ලොකුවට ලියුවා "අපි කොහේද ඉන්නේ" (Where are we?) කියලා. මේ බැනර් එක පෙන්නගෙන දැන් කට්ටිය ගොඩ නැගිල්ල වටේ කැරකෙනවා. ඔන්න ටික වෙලාවකින් පිළිතුර එනවා අර වගේම අකුරු ලියපු රෙදි කෑල්ලක් ගොඩ නැගිල්ලේ පැත්තක එල්ලලා තියෙනවා "ඔබ ඉන්නේ අහසේ" (You are in the sky ) කියලා.

    මේක දැකපු ගමන් නියමු පුහුනු කරුවා කිව්වාලු වැඩේ හරි කියලා කෙලින්ම ඉලක්කෙට පියඹා ගිහින් තෙල් ඉවර වෙන්න කලින් මූලස්ථානෙන් බා ගත්තාලු.

    දැන් ගෝලයෝ ටික ගුරාව වට කරගෙන අහනවාලු "සර් කොහොමද අර බැනර් එකෙන් අපි ඇත්තටම හිටපු තැන දැන ගත්තේ" කියලා .

    එතකොට පුහුනු කරුවා කියනවාලු ඒක ........සොෆ්ට් බිල්ඩිම ඉතින් එතන ඉඳලා මෙතැනට මම ඉලක්කය දන්නවා කියලා. ගෝලයෝ ආපහු අහනවාලු ඒක .........සොෆ්ට් කියලා සර් දැන ගත්තේ කොහොමද කියලා. එතකොට එතුමා කියනවාලු. අපි ප්‍රශ්නයක් ඇහුවා, ඒකට ඉතාම නිවැරදි පිළිතුර ලැබුනා, නමුත් එම පිළිතුර අදාල තත්වයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ..........සොෆ්ට් හැමදාමත් උත්තර දෙන්නේ එහෙම නිසා මම ඒක හඳුනා ගත්තා කියලා.

    ඔන්න පරිගනක දැවැන්තයන්ගේ කෙරුවාව.

    තැනට නොගැලපෙන දෙයක් ලියුවා කියලා මටත් බනීද මන්දා........
    එහෙම වෙන එකක් නැහැ නේද?

    ReplyDelete