Thursday, April 25, 2013

නාගයන් සමගි කිරීම සමරන බක් පුන් පෝ දිනය

මාස් කන්නය සරු වී අටු-කොටු පිරී භාග්‍යය ඉතිරී යන මාසය බක් මාසයයි. මේ සිංහලයින්ගේ සතුටු මාසයයි. සිංහල අලුත් අවුරුද්ද සාමාන්‍යයෙන් බක් මාසය තුල යෙදේ. ඒ හේතුවෙන් ආගමික නැඹුරුවට වඩා විනෝදාත්මක නැඹුරුවක් ඇති කාලයකි.

ගොයම් කපාගෙන අස්වනු ගෙට ගත් පසු ගමේ කොළු කුරුට්ටන් ඉපනැල්ල පාගමින් කුඹුරු වල සෙල්ලම් කරනු මේ කාලයේ සුලභ දසුනකි. මේ කාලයේ දහවල ග්‍රීස්මය දැඩිය. රාත්‍රිය දාහය සහිතය. ඒ දාහය අවසන් කරමින් අක් වැසි ලෙස හැඳින්වෙන ගිගුරුම් සහිත වැසි බක් මාසයේ පසළොස්වක පමණ වන විට සවස් කාලයේ ඇති වේ. බක් මහ අකුණු ලෙස හැඳින්වෙන මේ අකුණු සහිත වැස්සෙන් පොළොව සරු වන බව දැන සිටි සිංහලයෝ කල් නොයවාම ඊළඟ කන්නය පිණිස කුඹුරු සැකසීම අරඹත්.

බක් මාසය තුල සිදු වූ වැදගත්ම ශාසනික කර්තව්‍යය තථාගතයන් වහන්සේගේ දෙවන ලංකාගමනයයි. බුද්ධත්වයෙන් නව මසකට පසු ප්‍රථම ලංකාගමනයකර යක්‍ෂයන් දමනය කර යකුන්ගෙන් ලක්දිව තමන් වහන්සේට පූජා කරවාගෙන දහම පිහිටන දිවයිනක් බවට පත් කළ උන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වසකට පසු තමන් වහන්සේගේ මහා කරුණා නෙතට පාත්‍ර වුනු නාගයන්ගේ අභිවෘද්ධිය සළකා නාගදීපයට වැඩම කළහ.

බුදුරදුන් නාගදීපයට වැඩම කිරීම. ශිල්පී සෝලියස් මැන්දිස් විසින් අඳින ලද කැළණි විහාරයේ බිතු සිතුවමක්.
බුදුරදුන් නාගදීපයට වැඩම කිරීම, කැළණි විහාරයේ බිතු සිතුවමකින්.
ඒ කෙසේද යත්,

"මහත් ඍද්ධි ඇති මහෝදර නම් නාග තෙමේ මුහුද පන්සියයක් යොදුන් අයම් නාග භවනයෙහි රජ වී. උහුගේ නැගණි තොමෝ කන්වඩමන් නම් පව්වෙහි නා රජහට දෙන ලද්දීය. උහුගේ පුත්‍ර තෙමේ චූලෝදර නමි. උහුගේ මෑණියන් පිය වූ නා රජතෙම උතුම් වූ මිණිපළඟ මෑණියන්ට දී කාලක්‍රියා කළේය. එසේ හෙයින් මයිල් නාරජු හා බෑණනුවන් යුධය තෙම එළඹ සිටියේය. පර්වතවාසි වූ ඩ ඒ නාගයෝ මහත් ඍද්ධිමත් වූහ." යනාදී වශයෙන් මහාවංශය මේ සිද්ධිය විස්තර කරයි.

බුද්ධත්වයෙන් පස් වන වස බක් මස අමාවක් පෝ දා අළුයම මහා කරුණා සමාපත්තියට සම වැදී ලොව බලා වදාරන සම්මා සම්බුදුරජාණන් වහන්සේට යුධයෙන් නැසී යන කෙළ ගණන් නාගයන් පෙනිණි. උන් කෙරේ කරුණාවෙන් බුදුරජානන් වහන්සේ තමන් වහන්සේ පා සිවුරු රැගෙන ජේතවනාරාමයෙන් නික්මිණ. මෙකල ජේතවන දොරටුව අබියස කිරිපලු රුකක්‌ වාසභූමි කරගෙන සමිද්ධි සුමන නම් දිව්‍යරාජයෙක් වෙසෙයි. පූර්වභාවයේ නාගදීපයේ මනුෂ්‍යයෙක් වූ හෙතෙම තමන් වසන කිරිපලු රුක මුලිනුදුරාගෙන බුදුරදුන් සිරසට ඡත්‍රයක් කොට අල්වාගෙන උන් වහන්සේ පසුපස්සේ නික්මිණ.

මෙසේ අහසින් නාගදීපයට වැඩම කළ උන් වහන්සේ අහසේ වැඩ සිටිමින් අන්ධකාරයක් මවා නාගයින් කෙරේ බිය ඉපිදවූ සේක. අනතුරුව ඒ බිය පහ කිරීමට ආලෝකයක් උපදවා දී උන්ගේ බිය දුරු කළ සේක. අස්වැසුනු සිත් ඇති ඒ නාගයෝ බුදුරදුන් දෙපා වැඳ නමස්කාර කළෝය. එසේ සතුටු සිත් ඇති නාගයින්ට බුදුරජාණන් වහන්සේ සමගිය ඇති කරන ධර්මයක් දෙසූ සේක. දහම් අසා යුධ පිණිස වන් සිත අතහැර දැමූ ඒ නාගයෝ යුද්ධයට හේතු වූ ඒ මිනීපළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළහ. ඒ පූජාව පිළිගත් සර්වඥයන් වහන්සේ එහි බැස නාගයින් දුන් දානය පිළිගෙන වළඳා අන්තයෙහි දිය වැසි ගොඩ වැසි තුන්කෙළක් පමණ නාගයින් තුන් සරණෙහි හා සීලයෙහි පිහිටවූ සේක. ඒ යුද්ධයට පැමිණ සිටි මනීඅක්ඛිත නම් කැළණියේ නා රජ තෙමේ තථාගතයන් වහන්සේට අමතා "වහන්ස ඔබ වහන්සේ අප නොදුටු සේක්නම් අප සැවොම අද යුධයෙන් නැසෙම්හ. අප සියල්ලන් කෙරේ කළ කරුණාව මා කෙරේ විශේෂ කොට දක්වත්වා.. නැවත මෙහි ආගමනයෙන් මාගේ දේශයට වඩිත්වා"යි ආයාචනය කළේය. තුන් කල් දන්නා බුදුරජාණන් වහන්සේ තුෂ්නිම්භූත භාවයෙන් මේ ආයාචනය ඉවසූ සේක.

තවද බුදුරජාණන් වහන්සේ ඒ නාගයන් අමතා තමන් වහන්සේට ඡත්‍රයක් වූ ඒ කිරිපලු රුකද තමන් වහන්සේ වැඩ සිටි ඒ මිණිපලඟද යන මේ පාරිභෝගික වස්තු දෙක පූජා පිණිස පවරා දී තමන් වහන්සේගේ කෘත්‍ය සපිරුණේ නැවත ජේතවනයටම වැඩම කොට වදාළහ. මේ වනාහි බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනයයි.

නාගදීපය යැයි අද හඳුන්වන්නේ යාපන අර්ධද්වීපයට එපිටින් ඇති කුඩා දිවයිනක් වුවත් බුද්ධ කාලයේ නාගදීපය යනු මුළු යාපන අර්ධද්වීපයම හෝ ඊටත් වඩා විශාල පෙදෙසක් බව ඉහත විස්තරයෙන් පෙනේ. මේ යුද්ධයට එළඹෙන නාග සේනාව තුන්කෙළක් බව මහාවංශයේ දැක්වේ. යුද්ධය පවතින්නේ දියවැසි නාගයින් හා පර්වතවාසි නාගයින් අතරය. මහෝදර තෙමේ මුහුදේ පිහිටි නාග භවනක අධිපතියාය. ඔහුගේ නැගණිය පර්වතවාසි නාග රාජයෙකුට සරණ දෙන ලද්දීය. වර්තමාන යාපන අර්ධද්වීපයේ කඳු පර්වත නැති බැවින් 'කන්වඩමන්' නම් පව්ව ලෙස හැඳින්වෙන්නේ කුමක්ද යන්න එතරම් පැහැදිලි නැත. ඒ අද කන්තරෝඩේයි යන දෙමළ ඌරුවට හුරු වචනයෙන් හැඳින්වෙන පුරාණ කදුරුගොඩ විහාරයදැයි විමසිය යුතුය.

එසේම මහත් ඍද්ධි ඇතිව විසූ ඒ නාගයින්ට කුමක් වීද යන්නත් ගැටළුවකි. මේ සිද්ධියෙන් සතළිස් වසකට පසු විජය කුමරු තම්බපන්නියට සැපත් වන විට කපු කටිමින් සිටින්නේ බුදුන්ගෙන් බණ අසා උන් වහන්සේ වැඩහිඳී මිණිපළඟට පුද පූජා කළ, උන් වහන්සේට නැවත වැඩම කරන ලෙස ආරාධනා කළ නාගයින්ගේ දුහිතෘකාවක් හෙවත් නාග කන්‍යාවක් නොවේ; ප්‍රථම ලංකාගමනයේදීම ගිරි දිවයිනට නංවා පිටත් කළයි කියන යක්ඛ ස්ත්‍රියකි.

නාගයින් නාගදීපයට ගොඩ බැස්සේ යුධ කිරීමට පමණක්ද ? පර්වතවාසය නාගයින්ගේ තාවකාලික උපක්‍රමයක් පමණක්ද? නැතිනම් නාගයින් ලෙස අපේ පැරැන්නන් හඳුනා ගත්තේ තාක්ෂණික වශයෙන් දියුණු (මහත් ඍද්ධි ඇති) උභයචාරි (දිය-වැසි ගොඩ-වැසි) ජීවින් කොටසක්ද ?

Sunday, April 14, 2013

සිංහල අපේ අවුරුද්ද

අවුරුද්ද... අපි ජනවාරි පළමු වැනි දින අලුත් අවුරුද්ද උදා වූයේ යැයි කීවෙමු. ඒ කිතු වසින් දෙදහස් දහතුන් වැන්න බව ගණන් කළෙමු. නව දින දසුන් අයිති කර ගත්තෙමු. නව පංති වලට, නව සේවා මුර, සේවා ස්ථාන වලට මාරු වූයෙමු. කොටින් කියතොත් පැරණි අප විසින් අලුතින් බොහෝ දේ අයිති කර ගත්තෙමු.

ඒ අතර ඉස්ලාම් නම් ජන කොටසක්‌ රාමසාන් කියා අවුරුද්දක් සමරති. හින්දුහු තෛපොංගල් නම් හිරු නැමදිල්ලක්‌ අලුත් අවුරුද්ද යැයි කියා සමරති. ඉන්දියාවේ හෝලි නමින් මීට සමාන උළෙලක් ඇත්තේය. චීන්නු පෙබරවාරි මාසයේත් (මෙය වසරින් වසර වෙනස් වේ) විවිධ රටවල විවිධ ජාතීහු නොයෙක් දින වලත් තමන්ගේ අවුරුද්ද සමරති. ලෝකයේ ස්වාධීනව ඇති වූ සෑම ජාතියකටම - ජන කොටසකටම තමන්ගේ වූ අවුරුද්දක් තිබේ.

අපිට අවුරුද්දක් නැත්ද?

අපිට අවුරුදු දෙකක් තිබේ. ඒ කෙසේද?

පුරාණ සිංහලයෝ පොදුවේ දින දසුන් දෙකක් භාවිතා කළහ. එකක් සූර්යයාගේ ගමන මූලික කොට ගත්තේ වෙයි, අනික චන්ද්‍රයාගේ කලාව මූලික කොට ගනී.

චන්ද්‍ර දින දසුන සහ සූර්යය දින දසුන

චන්ද්‍රයා ස්වකිය කලා චක්‍රය සම්පුර්ණ කිරීමට එකුන්තිස් දිනක් හා අඩක් ගනී. මෙය චන්ද්‍ර මාසයකි. චන්ද්‍ර මාස දොළසක් චන්ද්‍ර වර්ෂයකි. ඒ අනුව චන්ද්‍ර වර්ෂයට ඇත්තේ දින තුන්සිය පනස් හතරක් පමණි. වගා කටයුතු වලදී චන්ද්‍රයා කෙළින්ම බලපාන බැව් දත් පුරාණ සිංහලයෝ කෙටි කාලින කටයුතු සඳහා මේ දින ක්‍රමය යොදා ගත්හ. චන්ද්‍රයාගේ කලාව නිරීක්ෂණය පහසු නිසා මේ ක්‍රමය පොදු ජනයා අතර ලෙහෙසියෙන් භාවිතා කෙරිණි.

සූර්යයා රාශි චක්‍රයේ එක්තරා ස්ථානයකින් ගමන් ඇරඹු කළ නැවත එතැනටම පැමිණීමට ගත වන කාලය සූර්යය වර්ෂයකි. මේ ගමනේදී සූර්යයා රාශි දොළසක් පසු කරමින් ගමන් කෙරෙයි. සියලු රාශි එක හා සමාන දිගකින් යුක්ත නොවන නිසා සමහර රාශි පසු කිරීමට සූර්යයා බොහෝ කල් ගනී, සමහර රාශි ඉක්මනින් පසු කර යයි. මේ එක් රාශියක් පසුබිම් කරගෙන සූර්යයා පිහිටන විට එය ඒ රාශියේ නමින් රවියක් (=මාසයක්) ලෙස ගණන් ගැනේ. රාශි දෙකක් අතර දුරක් ඇති නිසා ඒ දුරත් දෙකට බෙදා දෙපස රාශි වලට බෙදා දීමෙන් සෑම දිනයක් (=මොහොතක්) ම එක්තරා සූර්යය මාසයකට ලැබෙන අයුරින් මේ ක්‍රමය සාදා ඇත.

සූර්යයා පිහිටන්නේ කුමන රාශිය පසුබිම් කරගෙනදැයි සාමාන්‍ය ජනයාට නිරීක්ෂණය නොවන බැවින් මේ ක්‍රමය භාවිතා කෙරුණේ ගණිතයන් හා දැනුමැත්තන් අතරය. සාපේක්ෂව වඩා නිවැරදි බැවින් දීර්ඝ කාලීන කාල ගණනයන් සඳහා මේ දින ක්‍රමය යොදා ගැනිණි.

දින තුන්සිය පනස් හතරක් ඇති චන්ද්‍ර වර්ෂය සහ දින තුන්සිය හැට පහක් ඇති සූර්යය වර්ෂය අතර ඇති නොගැළපීම ඉවත් කිරීම පිණිස වසර තුනකට වරක් "අධි" මාසයක් චන්ද්‍ර වර්ෂයට එකතු කෙරිණි.

අවුරුද්ද

කාලය ගණනය කිරීමට නම්, ඊට ආරම්භයක් දිය යුතුය. අපේ වංශකතා කාරයෝ කාලය මැන්නේ එක් එක් රජවරුන්ගේ රාජ්‍යත්වයෙනි. එනම්, අසවල් රජුගේ අසවල් වර්ෂයේ ලෙසිනි. දුටුගැමුණු රජුගේ රාජ්‍යෝදයෙන් තෙවන වර්ෂයේ අසුවල් විහාරය කරවන ලද්දේය කියා ලියැවිණි. එසේ වුවත් මේ සියලු රජුන්නට වඩා රජෙක් සිංහලයන්ට විය. ඒ බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේගේ බුද්ධත්වයෙන් සහ පරිනිර්වාණයෙන් එළැඹෙන අසුවල් වර්ෂයේ කියා කාලය කීමද ඒ සමගාමිව කෙරිණි. මේ ක්‍රම දෙකෙන්ම කියන්නේ සාපේක්ෂ කාලයකි. එනම්, ගණන් ගැනීම අරඹන දිනයේ සිට ගත වන්නේ කී වෙනි වසරද යන්නයි.

එසේ වුවත්, කී වෙනි වසරද කියා ප්‍රකාශ කිරීමට නම්, වසරකට නිරපේක්ෂ ආරම්භයක් තිබිය යුතුයි. ඕනෑ ඕනෑ දින වලින් වසරාරම්භ කිරීමට ගියොත් සියල්ල වියවුල් වෙයි. අපේ පැරැන්නෝ වසරාරම්භ කිරීම පිණිස තෝරා ගත් දිනය වන්නේ අපි අද අලුත් අවුරුද්ද සමරන දිනයයි. මේ දිනය තෝරා ගැනීමට හේතුව වශයෙන් විවිධ විද්වත්හු විවිධ මත දක්වතත් අපට වැදගත් වන්නේ අපේ පැරැන්නන් මේ දිනය කිසියම් හේතුවකින් තෝරා ගත් බවත්, අපි ඒ පැරැන්නන්ගේ උරුම කරුවන් වශයෙන් මේ දිනය, එනම් අලුත් අවුරුද්ද ඇරඹෙන දිනය, ඉදිරි පරම්පරාවට දායාද කළ යුතු බවත් පමණි.

පරණ අවුරුද්ද

සූර්යයා රාශියෙන් රාශියට ගමන් කරන බව ඉහත සඳහන් කෙරිණි. මේ ගමනේදී එක්තරා අවස්තාවක ඔහු මීන රාශියෙන් නික්මෙයි; තවම මේෂ රාශියට එළඹ නැත. මේ අතරතුර කාලය නොනගතය ලෙස අපේ පැරැන්නන් විසින් තීරණය කෙරිණි. මෙකී සිද්ධිය සිදු වන දිනය පරණ අවුරුද්ද ලෙස හැඳින්විණි.

ඕනෑම මාස දෙකක් අතර පවතින මේ අතරමැදි කාලය දෙකට බෙදා මාස දෙක අතර බෙදා ගන්නා බව ඉහත සඳහන් කෙරිණි. මෙහිදී ද වෙනසක් නැත. නොනගතයේ මුල් භාගය පරණ අවුරුද්දට අයිතිය, අග කොටස අලුත් අවුරුද්දට අයිතිය.

නොනගතය

"අගත අනගත චතුදිස..." යනාදී ලෙසින් ලියැවෙන සෙල් ලිපි පාඨයක් අපට හමු වේ. අගත යනු පැමිණි යන අරුතයි, අනගත යනු නොපැමිණි යන අරුතයි. නොනගත යනුත් එයමයි. නොනගතය යන්නෙහි සැබෑ තේරුම නම් සූර්යයා මීන රාශියෙන් ඉකුත් විය, මේෂ රාශියට එළඹියේ නැත යන්න මිස අනිකක් නොවේ. මුලින් සඳහන් කළ ලෙස නොනගතයෙන් අඩක් පරණ අවුරුද්දට හිමිය, ඉතිරි අඩ අලුත් අවුරුද්දට හිමිය.

අවුරුද්දක් පුරා වෙහෙස වී වැඩ කළ මිනිස්සු මේ නොනගත කාලයේ මද ඉසිඹුවක් ලබති. ඒ අලුත් අවුරුද්දේ නැවත වැඩ ඇරඹිය යුතු බව දන්නා නිසාය. හිස ගිනි ගත්තෙක් එගිණි නිවන ලෙස සංසාර දුක් ගින්න නිවීම පිණිස වෙර දරන යෝගාවචරයෙකුට මේ ඉසිඹුව අයිති නැත. එහෙත්, ඒ යෝගාවචරයා ලුණු ඇඹුල් සෙවුනා පිණිස ගම් වදින විට ඔහුටත් යැපීම පිණිස අහර සපයන සසර දුක් විඳින සත්ත්වයාට මේ ඉසිඹුව ඇවැසිය.

ඔහු ගොවිතැන් ව්‍යාපාර කිරීමේදී නොදැන සිදු වූ අතපසු වීම්, පව් කම්, හිත් නොහොඳ වීම් ආදිය තිබිය හැකියි. ඒවා ගැන විවේක බුද්ධියෙන් සිතා එළැඹෙන වසරේ ඒවායින් දුරු වීම පිණිසත්, සිත සකසා ගැනීම පිණිසත් පින් කම්හි නියැලීම හා සිත සනසා ගැනීම පිණිසත් නොනගතයේ මුල් භාගය යෙදවෙන්නේ ඊළඟ වසරේ ඒ අඩුපාඩු සිදු නොකරගෙන සිටීමේ අභිප්‍රායෙනි. එසේම අලුත් අවුරුද්දේ අලුත් ජවයකින් වැඩ කටයුතු ඇරඹීම පිණිස මේ කාය-චිත්ත විවේකය උත්ප්‍රේරකයකි.

අවුරුදු උදාව

මේ වසරේ නැකත් සළකා බැලුවහොත්, නොනගතය හෙවත් සංක්‍රාන්ති සමය වන්නේ සෙනසුරාදාඅපර භාග 7:05 සිට 14 වන ඉරිදා පූර්ව භාග 7:53 දක්වාය (ඉහත කාලය දක්වා ඇත්තේ ඉංගිරිසි හෝරා ක්‍රමයට අනුවයි). එනම්, සූර්යයා මීන රාශියෙන් නික්මෙන්නේ සෙනසුරාදා සවස වන අතර මේෂ රාශියට ඇතුල් වන්නේ පසුදා උදෑසනයි. ඉංගිරිසි ක්‍රමයට දොළොස් හෝරා අඩක් පමණ කාලයකුත්, සිංහල ක්‍රමයට දෙතිස් පැයක පමණ කාලයකුත් මේ අතරතුර තිබේ. එහෙත් සූර්යයා, මීන හා මේෂ රාශි අතර බෙදා දුන් කාලයෙන් මීන රාශියට හිමි පූර්ව භාගය අවසන් කර මේෂ රාශියට හිමි පශ්චිම භාගයට එළඹෙන්නේ රාත්‍රී 1:29 ට වේ. ඒ මොහොත අවුරුදු උදාවයි. අවුරුදු උදාවේ පටන් ලක ලැහැස්ති වන සිංහලයෝ සූර්යයා මේෂ රාශියට ඇතුල් වීමට පළමු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභව කොට අලුත් අවුරුද්ද පිළිගනිති.

අවුරුදු සිරිත්

නව සඳ බැලීමට

අභිනව චන්ද්‍ර වර්ෂය සහ අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 14 වැනි ඉරිදා දින නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතානුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්ව භාග 1:29 ට අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපර භාග 7:05 සිට 14 වැනි ඉරිදා පූර්ව භාග 7:53 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපර භාග 7:05 ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර, ආගමික වතාවත් වල යෙදීමද, පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම්, 14 වන ඉරිදා පූර්ව භාග 1:29 සිට පූර්ව භාග 7:53 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන ඉරිදා පූර්ව භාග 4:06 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා, ලිප් බැඳ, ගිණි මොලවා, ගිතෙල් සහ සකුරු මිශ්‍ර කිරිබතක්ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වන ඉරිදා පූර්ව භාග 7:05 ට රතු සහ කහ මිශ්‍ර තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා, සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට, ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 15 වන සඳුදා පූර්ව භාග 6:41 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, නැගෙනහිර දිශාව බලා, හිසට දිඹුල් පත්ද පයට ඉඹුල් පත්ද තබා, තෙල් සහ දිඹුල් පත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්‍ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 17 වන බදාදා පූර්ව භාග 7:42 ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, කිරිබත් සහ හකුරු මිශ්‍ර ආහාරයක්‌ අනුභව කොට දකුණු දිශාව බලා, රැකී රක්‍ෂා සඳහා පිටත්ව යාම මැනවි.

සේවා අවශ්‍යතා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 15 වන සඳුදා පූර්ව භාග 6:53 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, කිරිබත් හා කිරි මිශ්‍ර ආහාරයක් අනුභව කොට නැගෙනහිර දිශාව බලා, සේවා අවශ්‍යතා සඳහා පිටත්ව යාම මැනවි.

වර්තමාන ප්‍රවණතා

මීට කලකට පෙර ඉහත සඳහන් කළ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමේ ස්වභාවික ක්‍රියාවලිය සම්බන්ද වේලාවන් හැර අනෙක් කටයුතු සඳහා මුලු දිවයිනටම බලපාන නැකත් නොවීය. සමහර විටෙක ප්‍රදේශයෙන් ප්‍රදේශයට අවුරුදු සිරිත් හා නැකත් වෙනස් විය. ඊට හේතුව අපේ පැරණි සමාජ ක්‍රමයයි. එහෙත් දැන් නැකත් කමිටුවකින් ලංකාවටම බලපාන නැකතක් තනා සුබ නැකතින් එය ජනාධිපති තුමාට පිළිගන්වනු ලැබේ. ජනමාධ්‍ය විසින් මේවා ප්‍රචාරය කෙරේ. නිවසේ ඇති පෙට්ටියක් හෝ තිරයක් මතට මුලු අවුරුද්දම සම්පිණ්ඩනය කර පිරිනමන විද්‍යුත් නාලිකා ඇති බැවින් අපට වෙහෙසීමට අවශ්‍යතාවයක්ද නොමැත්තේය.

එහෙත්, අවුරුද්ද යනු මෙයදැයි සිංහලයින් විසින් තම තමන්ගේ හදවත් තුලට තට්ටු කර විමසිය යුතුව තිබේ. නොනගතයේ කළ යුතු එකම කාර්යය, එනම් කාය-චිත්ත විවේකය ලබා ගැනීම හා එළඹෙන වසරේ අභියෝගයන්ට සූදානම් වීම පසෙක ලා අපි බාතිය සන්තුෂ් මහතුන්ගේ බයිලා අසමුද, හිරිකිත්තා රෝෂන් රඟන බයිස්කොප්පයක් බලමුද... පරණ අවුරුද්ද පුරා කළේත් එයම නොවේද...

එසේනම්, මේ වසරේ සිංහලයින් වශයෙන් අධිෂ්ඨානයක් ඇති කර ගනිමු.

අප්‍රේල් 13 වන සෙනසුරාදා අපර භාග 7:05 ට රුපවාහිනී සහ ගුවන්විදුලි ලෙස හඳුන්වන පාප මිත්‍රයින්ට විවේකයක් දෙමු,
අඩු තරමින් පසුදින වැඩ අල්ලන මොහොත තෙක්වත් !!!

පසු සටහන: වැඩ අල්ලන්න බැරිය නැකතට ඔය යකාගේ පෙට්ටිය ඇරලා... නැද්ද මං අහන්නේ... ඒකත් වැඩ ඇල්ලීමක් තමයි. මොකද ඇරුනට පස්සේ ඕකා යකාම තමයි. යකා බැඳ ගත්තා වගේ !

Thursday, April 4, 2013

ලෝකය හට ගැනීම හා එහි නිරෝධය

පහත දැක්වෙන්නේ ලෝක නිර්මාණය ගැන බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයයි. අකුරෙන් අකුර කෙළින්ම උපුටා ගැනීමක් වන මෙය සඳහන් ග්‍රන්ථයේ නම අප සතුව නැතත්, මේ පාඨය අඩංගු සුත්‍රය ඇත්තේ සංයුක්ත නිකායේ බව කිව හැකිය. ලෝකය ගැන, ලෝකයේ ආරම්භය සහ අවසානය ගැන අහස පොළොව ගැටලන තර්ක කෙරෙන මේ කාලයේ මේ විග්‍රහය බොහෝ දෙනාට හිත සුව පිණිස වේවා ! මෙය ඉදිරිපත් කිරීමෙන් අත් වන පිනක් වෙතොත් එය එම පොත් පිංච සම්පාදනය කළ ගරුතර හිමිපාණන් වහන්සේටත් අපගේ දෙමාපියන්ටත් අත් වේවා !
පැරණි භාරතීයයෝ ලෝකය බලවත් කැස්බෑවෙකු පිට නැගි හස්තීන් සිව් දෙනෙකු විසින් උසුලාගෙන සිටින බව ඇදහූහ
පැරණි භාරතීයයන් ලෝකය දුටු ආකාරය

පාලි පාඨය

"ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්ථංගමඤ්ච දෙසිස්සාමි තං සුනාථ කතමොච භික්ඛවේ ලෝකස්ස සමුදයො,

(1) චක්‍ඛුඤ්ච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති.
(2) සොතඤ්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති.
(3) ඝානං ච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ඝාණ විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති.
(4) ජිව්හඤ්ච පටිච්ච රසෙච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති.
(5) කායංච පටිච්ච ඵොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති.
(6)මනංච පටිච්ච ධම්මෙච උප්පජ්ජති මනොවිඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති.

අයං ඛො භික්ඛවෙ ලෝකස්ස සමුදයො."

"කතමොච භික්ඛවේ ලෝකස්ස අත්ථංගමො,

(1) චක්‍ඛුඤ්ච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා නිරුජ්ඣ්න්ති, ඒවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හොති.
(2) සොතඤ්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා නිරුජ්ඣ්න්ති, ඒවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හොති.
(3) ඝානං ච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ඝාණ විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා නිරුජ්ඣ්න්ති, ඒවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හොති.
(4) ජිව්හඤ්ච පටිච්ච රසෙච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා නිරුජ්ඣ්න්ති, ඒවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හොති.
(5) කායංච පටිච්ච ඵොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා නිරුජ්ඣ්න්ති, ඒවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හොති.
(6)මනංච පටිච්ච ධම්මෙච උප්පජ්ජති මනොවිඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා නිරුජ්ඣ්න්ති, ඒවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හොති.

අයං ඛො භික්ඛවෙ ලෝකස්ස අත්ථංගමො."


සිංහල තේරුම

"මහණෙනි, ලෝකය ඇති වන සැටිත් නැති වන සැටිත් කියන්නෙමි. එය අසන්න මහණෙනි, ලෝකය හට ගන්නෙ මෙහෙමයි,

(1) ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. උපාදානය නිසා භවය ඇති වෙනවා. භවය නිසා ඉපදීම උපදිනවා. ඉපදීම නිසා මහළුවීම, මරණය සොකය වැළපීම, දුක දොමනස චිත්ත පීඩාව ඇති වෙනවා.
(2) කණත් ශබ්දයත් නිසා සෝතවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. උපාදානය නිසා භවය ඇති වෙනවා. භවය නිසා ඉපදීම උපදිනවා. ඉපදීම නිසා මහළුවීම, මරණය සොකය වැළපීම, දුක දොමනස චිත්ත පීඩාව ඇති වෙනවා.
(3) නැහැය හා ගන්ධය නිසා ඝාණවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. උපාදානය නිසා භවය ඇති වෙනවා. භවය නිසා ඉපදීම උපදිනවා. ඉපදීම නිසා මහළුවීම, මරණය සොකය වැළපීම, දුක දොමනස චිත්ත පීඩාව ඇති වෙනවා.
(4) දිව හා රසය නිසා ජිව්හාවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. උපාදානය නිසා භවය ඇති වෙනවා. භවය නිසා ඉපදීම උපදිනවා. ඉපදීම නිසා මහළුවීම, මරණය සොකය වැළපීම, දුක දොමනස චිත්ත පීඩාව ඇති වෙනවා.
(5) කය හා ස්පර්ශය නිසා කායවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. උපාදානය නිසා භවය ඇති වෙනවා. භවය නිසා ඉපදීම උපදිනවා. ඉපදීම නිසා මහළුවීම, මරණය සොකය වැළපීම, දුක දොමනස චිත්ත පීඩාව ඇති වෙනවා.
(6) මනසත් ධර්මයත් නිසා මනොවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. උපාදානය නිසා භවය ඇති වෙනවා. භවය නිසා ඉපදීම උපදිනවා. ඉපදීම නිසා මහළුවීම, මරණය සොකය වැළපීම, දුක දොමනස චිත්ත පීඩාව ඇති වෙනවා.

මහණෙනි, මේ කිව්වේ ලෝකය හටගන්නා වූ ආකාරයයි.

මහණෙනි, ලෝකය නතරවෙන්නෙ මෙහෙමයි.

(1) ඇස හා රූපය නිසා චක්ඛුවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.
(2) කණත් ශබ්දයත් නිසා සෝතවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.
(3) නැහැය හා ගන්ධය නිසා ඝාණවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.
(4) දිව හා රසය නිසා ජිව්හාවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.
(5) කය හා ස්පර්ශය නිසා කායවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.
(6) මනසත් ධර්මයත් නිසා මනොවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.

මහණෙනි, මේ කිව්වේ ලෝකය නතර වන හැටියි."


තථාගතයන් වහන්සේ ලෝකය නිර්ම‌‍‌‌‌‍‍‌‌ාණය වන ආකාරය ඉතා හොඳටත් පැහැදිළිවත්, දේශණා කර ඇති බව මෙයින් සිතට ගත හැකිය. මෙම ලෝක නිර්මාණය පැහැදිළි කළ හැකි වෙනත් සමතෙක් දෙවියන් බඹුන් මරුන් මිනිසුන් ඇතුළු කිසිම කෙනෙක් නැත. අන්ධයෝ කුමක් නොකියද්ද ...

නයනේ - සිතුවිළි
December 6, 2017 at 7:28 AM

දෙතිස් කථා බ්ලොගයේ පල වූ "ලෝක හටගැනීම හා එහි නිරෝධය" ලිපිය දැනට වසර 5 කට ආසන්න කාලයක් ගතවී ඇතත්, එදා මෙදා තුර බ්ලොගයක පලවූ මා දකිනා වැදගත්ම ලිපිය මෙය බව මගේ හැඟීමයි.

මේ ලිපිය දැනටත් ඉඳ හිට භාවිතා කරන බැවින් හා ලිපිය ආරම්බයේදීම කතු තුමා විසින් එම සූත්‍රය උපුටා ගත් ග්‍රන්තයෙහි නම හෝ එය සම්පාදනය කල හිමි නමගේ නාමය ඔහු සතුව නැතැයි කීම නිසා මේ සූත්‍රය ත්‍රිපිටකයෙහි ඇති තැන පල කිරීම ඕනෑම අවස්ථාවක එය පරිහරනය කරන්නෙකුට වැඩදායක වනු ඇතැයි සිතමි.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්ථන අනුව එය අඩංගු වන්නේ.
සූත්‍ර පිටකයෙහි
සංයුක්ත නිකායෙහි
චතුත්ථෝ භාගෝ (සතරවැනි භාගයෙහි )
සලඣයතන වග්ගයෙහි
වේදනා සංයුක්තයෙහි (පලමු සංයුක්තය )
යෝගකෙඛමි වග්ගෝ හි (එකොලොස් වැනි වග්ගය )
හතර වැනි සූත්‍රය (ලෝක සමුදය සූත්‍රයයි )

එසේම ත්‍රිපිටකය.ඕආර්ජී වෙබ් අඩවියට අනුව එය
සූත්‍ර පිටකයෙහි
සංයුක්ත නිකායෙහි
සලායතන වග්ගයෙහි
සලායතන සංයුක්තයෙහි (පළමු කොටස )
යෝගෙක්ඛමී වග්ගයෙහි
සිව් වැන්න ලෝක සමුදය සූත්‍රයයි
එහි අන්තර්ජාල බැඳිය පහත පරිදි වේ.

http://www.thripitakaya.org/tipitakaya/Index/127?s=1619

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !