Sunday, February 17, 2013

චරිත හයක්

බුදු රජාණන් වහන්සේ දහම් දෙසීමේදී හා භික්ෂූන් වහන්සේලාට කමටහන් දීමේදී ඒ ඒ පුද්ගලයන්ගේ චරිත ස්වභාව දැන දහම් දෙසීම හෝ කමටහන් දීම හෝ කර ඇති බව අපි දනිමු. එසේම සිදුහත් කුමරුන්ගේ නම් තබන මඟුලෙහි කුමරුවන්ගේ ශරීර ලක්‍ෂණ පරික්ෂා කළ විද්වත්හු මේ කුමරුවන් ගිහි ගෙයි රැඳුනොත් සක්විති රජ වෙති; මහණ වුනොත් බුදු වෙති යි අනාවැකි පැවසූහ.

උම්මග්ග ජාතකයේ මහෞෂධ පණ්ඩිතයන් තමන්ට සුදුසු බිරිඳක් සොයා යන ගමනේදී අමරා දේවිය දැක ඇගේ රූප ලක්‍ෂණ අනුව චරිත ස්වභාවය තීරණය කළේය. ගුත්තිල ජාතකයේ ගුත්තිල පඬිතුමා මූසිලයා පළමු වරට දුටු ගමනේ ම මොහු ගුණමකුවෙකැයි දැනගෙන ශිල්ප දීම ප්‍රතික්ෂේප කළේය.

එසේම ලක්දිව පඬුවස්දෙව් රජුට උපන් දූ කුමරිය ගැන පරීක්‍ෂා කළ නිමිත්ත පාඨකයෝ ඒ කුමරියගෙන් බිහි වන දරුවා ස්වකීය මාමා වරුන්ට සතුරෙක් වන බව ප්‍රකාශ කළහ. සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය යන රජ කුමාර වරු අනුරාධපුරයට යන ගමනේ, ගඟින් එතෙර වන වන විට ඒ කුමරුවන්ගේ පාද චලන රටාවට ඇහුම්කන් දුන් අන්ධයෙක් තිදෙනාම රජ වන බවට අනාවැකි කී බව අපේ ඉතිහාසයේ සඳහන් වේ.

බුදු රජාණන් වහන්සේ කෙරෙහි ආවේනික පරචිත්ත විජානන ඥානය හැරුණු කොට ඉතිරි සිද්ධි පැහැදිලි කෙරෙන කිසියම් විද්‍යාවක් එකළ තිබෙන්නට ඇත. එය අදද නැතුවා නොවෙයි.

පුද්ගලයෙකුගේ චරිතය හඳුනා ගන්නේ කෙසේද?

බටහිර සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව හා ඒ ආශ්‍රිත අධ්‍යයන මේ සම්බන්ධ බොහෝ තොරතුරු හෙළි කර ඇතත් බුදු දහමේ ඉගැන්වෙන පුද්ගල චරිත විභාගය දෙස අපේ අවධානය යොමු කරමු. මේ චරිත විභාගය යොදා ගැනෙන්නේ භාවනා කමටහන් දීම පිණිස වීම හේතුවෙන් එහි ලක්‍ෂණ පැවිද්දෙකුගේ හැසිරීම ආශ්‍රිතව උගන්වා ඇත. එහෙත් ඒ ලක්‍ෂණ ගිහියෙකුට ආදේශ කර ගැනීම අපහසු ව්‍යායාමයක් නොවේ.
ඉරියා පථතො කිච්චා
භොජනා දස්‌සනාදිතො
ධම්මප්පවත්තිතොවෙව
චරියො විභාවයෙ

අර්ථය:
  • ඉරියා පථතො:- ඉරියව් පැවත්වීමෙන් (සතර ඉරියව්)
  • කිච්චා:- කරන දෙයින් හා කරන ආකාරයෙන්
  • භෝජනා:- ආහාරයෙන් හා ආහාර ගන්නා පිළිවෙළින්
  • දස්‌සනාදිතො:- දකින ආස කරන දෙයින්
  • ධම්මප්පවෙත්තිතො:- දරන අදහස්‌-උදහස්‌ වලින්
යන මේ කරුණු අනුව කෙනකුගේ චරිතය මැන බැලිය හැකිය.

රාග චරිතයා

ඉරියව් පැවැත්ම: සාමාන්‍ය ගමනින් යන විට අලංකාරව ගමන් කරන්නේය. සෙමින් සමාන පරතර ඇතිව පා තබා සමානව ගමන් කරන්නේය. පාද උක්කුටිකය එනමි පා සටහනේ විලුඹ හා ඉදිරිය මනා සටහනින් යුක්ත අතර මැද කොටස බිම නොවදියි.

රාග චරිතයාගේ සිටිම් හා හිදිම් ප්‍රසාද ජනකය, මිහිරිය, ප්‍රිය උපදවනසුළුය.

රාග චරිතයා සෙමින් මනාකොට සමව ඇද සකස් කොට සෙමින් ඇදමත වැතිර, අත් පා ආදිය ඒ මෙ අත නොයන සේ මැනවින් තබාගෙන ප්‍රසාද ජනක ලෙස නිදන්නේය. නින්දෙන් පුබුදුවන කළ වහා නැගිට සැක ඇත්තෙකු මෙන් සෙමින් ප්‍රථිවදන් දෙන්නේය.
කාර්ය කිරීම: රාග චරිතයා අතුගානා විට කොස්ස/ඉදල මැනවින් ගෙන ඉක්මන් නොවි, වැලි නොවිසුරැවමින්, පිරිසුදු ලෙස සමව අතුගාන්නේය.
ආහාරය: රාග චරිතයා සිනිදු වුත් මධුර (පැනි රස) වුත් බෝජන ප්‍රිය කරන්නේය. වළදන විට ආහාර කට පුරවා ගැනිමකින් තොරව සෙමෙන් ගෙන රසවිදිමින් වළදන්නේය. මිහිරි වු දෙයක් ලද විට සතුටු වන්නේය
දැකීම: රාගචරිතයා සුළු වූ හෝ සිත්කළු රූපයක් දුටුවිට මවිත වුවකු මෙන් බොහෝ වෙලා බලා සිටින්නේය. ස්වල්ප වු හෝ ගුණයක් ඇති තැනැත්තන් අගයන්නේය. ඔවුන්ගේ ඇති දෝශ ගණනට නොගන්නේය. තැනක වාසය කොට යන විට, දුක්විමෙන් තොරව අපේක්ෂා සහිතව යන්නේය.
අදහස් උදහස්: රාගචරිතයා බොහොවිට තමා කෙරේ ඇති වරදවල් සගවයි, නැති ගුණ විදහා පෙන්වයි, උඩගුය, ලද දෙයින් සතුටු නොවෙයි. උත්සන්න වු ක්ලෙශයන්ගෙන් යුක්තයි එනම් කෙලෙස් බහුලයි. ශරිරය සැරසිම් ආදියේ ලොල් බවක් දක්වයි. ප්‍රත්‍ය පිළිගැනිමෙ පමණ නොදනියි.

ද්වේශ චරිතයා

ඉරියව් පැවැත්ම :පයින් බිම සාරන්නෙක් මෙන් ගමන් කරයි. පාද වහා බිම තබා වහාම ගමන ගනියි. එනම් ගමන ඉක්මන්ය. ඔහුගේ පා සටහනේ පසුපස බිම හාරන ලද්දාක් මෙන් වෙයි.

ද්වේශ චරිතයාගේ ඉදිමි හිටිමි, ග්‍රහනයන් ආදිය දෘඩය.

මොහු ඉක්මනින්, යන්තම් දෙයකින් හෝ යහන පනවාගෙන මුළු ඇගම යහනේ හොවා මුහුනත් හුකළුවාගෙන නිදන්නේය පුබුදුවන ලබන කල් කිපුණු අයෙකු මෙන් පිළිතුරු දෙනු ලබයි.
කාර්ය කිරීම :ද්වෙශ චරිතයා අතුගානා විට කොස්ස/ඉදල තදකොට ගෙන ඉක්මනින්, වැලි විසුරැවමින්, පිරිසුරැදු කමි නොබලා විසමව අතුගාන්නේය.
ආහාරය :ද්වෙශ චරිතයා රළු වුත් ඇඹුල් වුත් බෝජන ප්‍රිය කරන්නේය. වළදන විට ආහාර කට පුරවා රස බැලිමකින් තොරව ඉක්මනින් ආහාර ගන්නේය. අමිහිරි ආහාර ලද විට නොසතුටු වන්නේය.
දැකීම :ද්වෙශ චරිතයා සුළු වුහෝ අමනාප රැපයක් දුටුවිට ක්ලාන්ත වුවකු මෙන් මද වෙලාවක් බලා සිටින්නේය. ස්වල්ප වු හෝ දෝශයක් දුටු විට ඒහා ගැටෙන්නේය. අන්යන්ගේ ගුණ නොදකින්නේය. ඔවුන්ගේ ඇති දෝශම දකින්නේය. තැනක වාසය කොට යන විට, එයින් මිදි යන ලෙස යන්නේය අපේක්ෂා නොමැතිවම යන්නේය.
අදහස් උදහස් :පහසුවෙන් කිපෙන සුළුය. වෛර ක්‍රෝධ බැදගන්නා ස්වභාවයෙන් යුක්තය. අනුන්ගේ ඇති ගුණ මකන ස්වභාවයෙන් යුතුය. ගුණ ඇත්තේ ඔහුට පමණද මටද ඒ ගුණ ඇතිය යනුවෙන් නිරන්තරයෙන් සිතනා ස්වභාවයෙන් යුක්තය. ඉරිසියාව හෙවත් අනුන්ගේ සැපත නොයිවසන ස්වභාවයෙන් යුක්තය.

මෝහ චරිතයා

ඉරියව් පැවැත්ම :මොහුගේ ගමන අවුල් සහගතයි. පිළිවලක් නැත. බියවුවෙකු මෙන් පා තබා පා නගා ගමන් කරන්නේය. ඔහුගේ පා සටහන විදිමත් නොවේ. එනමි විළුබින් හා අක්පල්ලෙන් වහා එසවෙන්නේය.

මොවුන්ගේ ඉදිමි හිටිම අවුල් සහගතය.

මෝහ චරිතයා යහන අවුල් සේ පනවාගෙන අත් පා එහි මෙහි දමාගෙන බොහෝ විට මුනින් අතට නිදා ගන්නේය. පුබුදුවනු ලබන කල හුම් හුම් කියමින් කමිමැලි කමින් නැගි සිටින්නේය.
කාර්ය කිරීම :මෝහ චරිතයා අතුගානා විට කොස්ස/ඉදල බුරැලෙන් ගෙන කැලිකසල හලමින් අපිරිසිදුව විසමව අතුගාන්නේය.
ආහාරය :මෝහ චරිතයා අසවල් රසයට ප්‍රිය යැයි කිව නොහැක. ආහාර වලදනා විට ආහාර ගෙන මුඛයේද ගා ගනිමින් බත්පතේද විසුරැවමින්, නොයෙක් දෑ කල්පනා කරමින් වික්ෂිප්තව ආහාර වලදයි.
දැකීම :මොහ චරිතයා යමිකිසි රැපයක් දුටු කල එහි ගුන දොස් විවෙචනය පිළිබදව තමාගේ මතයක් නොදරයි. අන්‍යයන් එය වර්ණනා කෙරේ නම් ඔහුද වර්ණනා කරයි. අන්‍යන් එය විවෙචනය කරයි නම් ඔහුද එය විවෙචනය කරයි.
අදහස් උදහස් :අලසය, නොසන්නුයන්ය, පසුතැවිලි වන ස්වභාවයෙන් යුක්තය, සැක සහිතය, නිරන්තරයෙන් සොයා බැලිමකින් තොරව මෝඩ තිරණ වරලට එලබෙන බවින් යුක්තය. එබදු තිරණයන් වෙනස් කිරිමට නොකැමති බවින් යුක්තය.

සද්ධා චරිතයා

ඉරියව් පැවැත්ම, කාර්ය කිරීම, ආහාරය, සහ දැකීම ආදියෙන්:රාග චරිතයාට සමානය
අදහස් උදහස් :දෙන දෙයෙහි නොඇලිම දෙයි, බුද්ධාදී ආර්‍යන් දැකිමට කැමති බවද, බණ භාවනා කිරිමට කැමති බවද, ප්‍රිතිය බහුල බවද, රජුන් ඇමතියන් ආදින් සමග එක්ව ඇලි නොවසන බවද (එනවි බොහෝ සමාජ ශිලි නොවන බව) තමාගේ ඇති දොස් දකිනා බවද, පැහැදිය යුත්තන් කෙරේ පහදින බවින්ද යුක්තයි.

බුද්ධි චරිතයා

ඉරියව් පැවැත්ම, කාර්ය කිරීම, ආහාරය, සහ දැකීම ආදියෙන්:ද්වෙශ චරිතයාට සමානය
අදහස් උදහස් :කිකරැ බවද, සිහිනුවන ඇති බවද, අප්‍රමාද බවද, සංවෙගය උපදවිය යුතු තැන්හි සංවෙගය උපදනා බවද, නුවනින් විර්‍ය කරන බවද යන ලක්ෂන වලින් යුක්තයි.

විතර්ක චරිතයා

ඉරියව් පැවැත්ම, කාර්ය කිරීම, ආහාරය, සහ දැකීම ආදියෙන්:මෝහ චරිතයාට සමානය.
අදහස් උදහස් :බොහෝ දොඩමළු බවද, කුසල් දමි කෙරේ නො ඇලෙන බවය, ස්ථිර සිත් නැති බවද, මෙසේ මෙසේ කරමියි සිත සිතා සිටින බවය, අරමුනෙන් අරමුනට යන බව, එනමි එකක් මදක් කොට තවකක් කරනා බව.
ඉහත චරිත විභාගය පිළිබඳව සොයා බැලීමේදී අපූරු කරුණක් හමු විය. ඒ, ඒ ඒ චරිත ලක්‍ෂණ උරුම වන්නේ පෙර භවයට අනුව බවයි.
  1. රාගචරිතය: පෙර භවයේ යහපත් ක්‍රියා බහුල ලෙස කර ඇත්තෝද, දෙවි ලොවින් චුතව මෙහි උපන්නෝද රාග චරිත වේ. සතර මහා ධාතු සම පුද්ගලයා රාග චරිතයකි.(සෙම් රෝග අධික කොට ඇත)
  2. ද්වෙශ චරිතය: පෙර භවයේ අන් සත්ත්වයන්ගේ අත් පා බිදිමි, වද බන්ධන ආදිය කිරිම, වෛර කිරිමි ආදිය බහුල ලෙස කලෝද, නා ලොවින් හා නිරයෙන් චුතව මෙහි උපන්නොද ද්වේශ චරිත දරති. තේජෝ ධාතු හා වායෝ ධාතු අධික පුද්ගලයා ද්වෙශ චරිත වේ.
  3. මෝහ චරිතය: පුර්ව භවයේ බහුල ලෙස මත්පැන් පානය කළෝ, ධර්මශ්‍රවණය ආදී පින් දහමි ආදිය කිරිමේ ප්‍රමාද වුවන්ද, තිරිසන් යොනියෙන් චුතව මෙහි උපන්නන්ද, මෝහ චරිත දරනා බව දක්වා ඇත. පථවි ධාතු හා අපෝ ධාතු අධික පුද්ගලයා මොහ චරිත වේ.(වාත රෝග අධික කොට ඇත)
පංති කාමරයේ තීන්ත ගෑමට කියා හොර පොල් කැඩූ සෙර දැරියත්, ඒ ගැන පැමිණිලි කළ පොල් වත්ත හිමි මහතාත්, ඒ ගැන කටයුතු කළ පොලිසියේ හා උසාවියේ නිලධාරිනුත්, ඒ සිද්ධිය ජරමරයක් කළ ජනමාධ්‍ය වෘත්තිකයිනුත්, අවසානයේ ඒ ගැන කට හඬ අවදි කළ ඇමති වරු හා ජනාධිපති තුමාත් යන ඔබත් මමත් අප සියළු දෙනාමත් මේ චරිත හයෙන් එකක් දරමු. කිසි කෙනෙක් පරිපූරණ ලෙස මින් එක චරිතයක් දරන්නෝ නොවෙති, සැම දෙනාම අඩු-වැඩි වශයෙන් මිශ්‍ර ලක්‍ෂණ දරති. එහෙත්, වඩා ප්‍රමුඛව දරන ලක්‍ෂණය අනුව තමාගේ හෝ අනෙක් අයගේ චරිත ස්වභාවය හඳුනා ගත යුතුව තිබේ.

20 comments:

  1. සුපිරි !
    මම මේ ටික සොයමින් තමා හිටියේ. හැබැයි පොඩි ප්‍රශ්නයක්.
    ඉහත විග්‍රහයට අනුව...
    * රාග = ශ්‍රද්ධා
    * ද්වේශ = බුද්ධි
    * මෝහ = විතර්ක
    වගෙයි නේද?
    මට ඒ වගක් නම් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ඔබ පෙන්වන ආකාරයේ "තරමක" සමානතාවයක් ඇති බව මටත් හැඟුනි. තව මූලාශ්‍ර කිහිපයක් පරිහරණය කර ඒවා අතර වෙනස් කම් සෙවීමටයි අදහස.
      එසේ වුවොත් මේ ලිපිය අළුත් කරන්නම්.

      Delete
  2. සිතුවිළිFebruary 18, 2013 at 9:15 AM

    නැවත නැවත කියවිය යුතු අගනා ලිපියකි. ඔබ කියනා අයුරින්ම අගනා භාවනා කමටහනකි. බොහෝ කොට වැඩිය යුතු අදහස් සමුදායකි.
    උදේ පාන්දරින්ම සියළු රාජකාරි කටයුතු පසෙක ලා කියවීමි.
    මෙවන් වැදගත් කරුනු මතුකොට දක්වන ඔබට බොහෝ පින්.

    කාලය ගෙන මේ ගැන තව යමක් ලිවිය යුතුයැයි සිතමි.

    සිතුවිළි

    ReplyDelete
    Replies
    1. සිතුවිළි,
      මේ ලිපිය භාවනා කමටහනක් නොවේ. ඇත්ත වශයෙන්ම මේ ලිපිය හදිසියෙන් ලිවීමි. ඊට හේතුව ජොසෙෆ් මිතුරාගේ නිහඬ බවයි. මෙහි සැකසිය යුතු තැන් ඇති බව නැවත කියවීමේදී වැටහෙයි. තව මූලාශ්‍ර පරිහරණය කර අවශ්‍ය වුවොත් එය කරමි.

      Delete
    2. සිතුවිළිFebruary 18, 2013 at 10:10 PM

      මිතුර "කේ"
      මේ තුලින් මතුකල හැකි භාවනා කමටහන් බොහෝමයකි. එය එකිනෙකා එය දකින අයුරින්ම වේ යැයි සිතමි.
      ඔබට මූලාශ්‍ර පිරික්සා කරුනු සැකසිය හැක එහෙත් ඉන් මතුකර ගත හැකි බොහෝ භාවනා අරමුනු සඳහා එය අවශ්‍ය නොවේ.
      කෙනෙකු බුදු බන බොරුයැයි ඔබට කීවද නුවනැත්තාට එයත් කමටහනකි.
      සෑම බෞද්ධයෙකුම උදේ හවා මුමුනන "පුප්පං මිලායාති යථා ඉදම්මේ කායෝ තථා යාති විනාස භාවං " යන ගාථා පදයේ ඇති කමටහන දකින්නේ කවුද?

      Delete
    3. මේ තුලින් මතු කළ හැකි භාවනා කමටහන් ගැන අපවත් දැනුවත් කරන්නේනම් මැනවි.

      Delete
    4. සිතුවිළිFebruary 20, 2013 at 11:05 AM

      මේ එකිනෙක චරිත ස්වභාවයන් ගෙන එය තම චරිත ස්වභාවය හා ගැලපෙන නොගැලපෙන අයුරුත්, ඒ එක් එක් චරිත ස්වභාවයන්හි ධනාත්මක හා ඍනාත්මක සමාජ බලපෑම් පිළිබඳවත්, එම සමාජ බලපෑම් ආපසු තම චරිත ස්වභාවය කෙරෙහි බලපාන අයුරුත්, තමන්ගේ අරමුණු කෙරෙහි මේතුලින් දක්නා චරිත ස්වභාවයන් බලපෑම් කරනා අයුරුත් වශයෙන් කෙනෙකුට දීර්ග විමසුමකට මෙය මහඟු කමටහනකි.
      තවදුරටත් කෙනෙකුට සක්කායදිට්ඨිය බිඳ හෙලීම දක්වාම වැඩියහැකි භාවනා මගක් මා මේතුළින් දකිමි.
      ඔබ කියා ඇති කරුනු කෙනෙකුට කියවා තේරුම් ගැනීම මිනිත්තු කිහිපයක වැඩකි. එහෙත් අවබෝධයට පැය කිහිපයක් එම්ම අරමුණෙහි විදර්ෂ්නා (ගැඹුරින් විමසීම ) කලයුතුය.
      මා ඉහතින් කී "පූජේමි බුද්ධං" ගාථාවෙහි කොටස නොදන්නේ කවුද? එහි තේරුම නොදන්නේ කවුද? එහෙත් එහි පැය ගනනක් විදසුන් වැඩීමට තරම් හරයක් ඇත.

      Delete
  3. සසර පුරාවට බුදු දහමින් පෝෂණය වෙමින් ,සත්‍යට මුහුණ දෙමින් ජිවත් වන එක කොතරම් සතුටුද මිතුරණි.ධර්මය තුලින් ජීවිතය දකින්න!ඉන් මෙලොව පමණක් නොව පරලොවද සැනසීම උදා කරණු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔව්, එය ඇත්තයි.

      Delete
  4. පොඩි ළමයාFebruary 18, 2013 at 7:45 PM

    කේ,

    කමටහන් දීම යන්නෙහි අර්ථය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. බුදුරජාණන්වහන්සේ හෝ වෙනත් ආචාර්යවරයෙක් හෝ තම ගෝලයෙක් හෝ ගෝල පිරිසකට ඔබ මේ භාවනාව, මේ අයුරින්, මෙපමණ කාලයක් කරන්න, ආදී වශයෙන් උපදෙස් දීම මා දන්නා තරමින් කමටහන් දීම නමින් හැඳින්විය හැක. කමටහන යනු භාවනාවට ගන්නා අරමුණයි.

      Delete
    2. සිතුවිළිFebruary 18, 2013 at 9:54 PM

      මිතුර "කේ"
      ඔබ කමටහන ගැන දුන් විවරනය මා එය දැක ඇති හැටිය හා නොගැලපේ.
      නිවැරදි කමටහන් දීමකදී එසේ දෙන ගුරුවරයා කල යුතු කාලය කල යුතු අයුර ආදී වශයෙන් දීර්ග උපදෙස් දීමක් අවශ්‍යය නොවේ.
      ඒ වෙනුවට කමටහන ලබන පුද්ගලයාගේ චරිත ස්වභාවය, කුසලාකුසල ශක්තිය ආදී කරුනු අවබෝධයෙන් දැක ඔහුට සුදුසුම කෙටි මග පෙන්වීමක් පමණක් අවබෝධයෙන් යුතු ගුරුවරයෙකු විසින් කරනු ලබයි.
      බුදුන් චුල්ල පන්තක තෙරුන් අරඹයා දුන් කමටහන ඒ පිළිබඳ නිහඬ සාක්ශියක් වැනියයි සිතමි.

      එහෙත් කමටහන ලබන්නාගේ අභ්‍යන්තරය නුවනින් දැකීමට අපොහොසත් අද කාලයේ ගුරුන් විසින් ජ්යෝතිශය වැනි ප්‍රාතමික දර්ශනයන් යොදා ගනිමින් දීර්ග උපදෙස් මාලා (ඇතැම් විට පිටු දහස් ගනනින් යුතු පොත් ) නිකුත් කරමින් එහෙත් සැලකිය යුතු ඵලයක් ලැබීමට අපොහොසත්ව සිටීමෙන්ද කමටහන ලබන්නා දැක දෙන කමටහනෙහි වැදගත් කම ඉස්මතුවෙයි.

      Delete
    3. සිතුවිළි,

      ඔබ හා මා අතර මේ කරුණේදී ගැටීමක් මම නොදකිමි. මගේ අදහස තවත් විස්තීරණය කිරීම පිණිස ඔබේ පැහැදිළි කිරීම ආරාධනාවක් කොට ගනිමි.

      සියළු දෙනාටම එක වරම රහත් වීමට කමටහන් දීමක් බුද්ධ චරිතයේ නැත. සමහරු නුවණ මෝරා නැත්තෝය. එවැනි පුද්ගලයින්ට මුලින් නුවණ මේරීම පිණිස කමටහනක් දී පසුව නිර්වානාවබෝධය පිණිස කමටහන් දීම දක්නට ලැබේ.

      සුනක්ඛත්ත තෙරුන්ට බුදුරජාණන් වහන්සේ දිවැස් උපදවා ගැනීමට මිස දිවකන් උපදවා ගැනීමට කමටහන් නොදුන්හ. සමහර භික්ෂූන් වහන්සේලාට සමහර තැන් වල භාවනා නොකරන ලෙසත්, සමහර වහන්සේලාට සමහර තැන් වල භාවනා කරන ලෙසත් දැක්වූහ.

      නන්ද තෙරුන්ට මුලින් කමටහන් ලැබුණේ මතු භවයේ දිව්‍යාංගනාවන් ලබා ගැනීම පිණිසයි. ඔහුටම දිව්‍යාංගනාවන් එපා වීමෙන් අනතුරුව පමණි ඔහුට රහත් බව පිණිස කමටහන් ලැබෙන්නේ.

      එසේම, පුද්ගල චරිත ස්වභාවය හඳුනා ගත නොහැකි ගුරුවරු, නැත්නම් තමන් ඵලයක් ලබාගෙන නැති ගුරුවරු කමටහන් දෙන විට කමටහන් දෙන්නේම සීමිත කාලයකටයි. ඒ කාලය ඉක්මගිය පසු කමටහන අළුත් කර ගැනීම කළ යුතුය.

      උක්ත කරුණු නිසාය මා ඉහත පැහැදිළි කිරීම එසේ ලීවේ.

      මේ පැහැදිළි කිරීම කෙසේ වෙතත් ඔබ ජ්‍යෝතිෂ්‍යය 'ප්‍රාථමික' යැයි කීම ගැනනම් මගේ පැහැදීමක් නැත. අද එය විකුණන් කන හුලවාලි-රොඩී-චණ්ඩාලයන් ගැන මගේ විශ්වාසයක් නැති මුත් ඒ දැනුම ප්‍රාථමික යැයි හඳුන්වා පහත හෙළීමනම් අගය නොකරමි.

      Delete
    4. සිතුවිළිFebruary 19, 2013 at 5:09 PM

      ප්‍රිය මිතුර "කේ"

      ඔබ නිවැරදියි, අපගේ මත අතර ගැටීමක් නොමැත. එසේම බුදුන් දහම දෙසන විට සැමට එක් අයුරින් කටහන් නොදුන් බව සැබැවි. එහෙත් දහම දෙසා ඇත්තේ පර්‍යාය ලෙසයි. එනම් එය අසන්නාගේ බුද්ධි මට්ටම අනුව වැටහෙන ලෙසයි. එසේනම් කෙනෙකුට නිකම්ම නිකම් වචන කිහිපයක් වූ දෙයක් කෙනෙකුට දහම ගැන පැහැදීමකුත්, තවකෙකුට වෙනත් වෙනත් මග ඵල තත්වයනුත් තවත් කෙනෙකුට අරහත් ඵලත් ලබා දීමට සමත් වන බවයි. යම් දෙසුමකින් සෝවාන් වූ කෙනාට ඉන් ඉදිරියට යාමට ඇතැම් විට තවත් කමටහනක් අවැසි විය හැක. ඇතැම් විට තමාටම හමුවූ කමටහනකින් ඔහු ඉතිරි මග සම්පූර්ණ කල හැක. (අනඳ මහ තෙරුන්ට රහත් පල ලැබීමට කිසිවෙකුගෙන් කමටහනක් ලැබූ බවක් අප අසා නැත. අනපේක්ශිත් මොහොතක අනපේක්ශිත ඉරියව්වකින් උන් වහන්සේ අරහත් පල ලැබුවේ තම චිත්ත සන්තානය තුලින්ම උපන් කමටහනකින් විය හැකිය ).
      යමෙකුට මග ඵල ලැබීමට උතුමෙකුගෙන් කමටහනක් ලැබිය යුතුමයැයි සිතීම දහමෙහි සැබෑ ඵල ලැබීම කෙරෙහි මිනිසුන් උකටලී කරවන මතවාදයකැයි මා සිතමි.
      අප එදිනෙදා පරිශීලනය කරනා බොහෝ ධර්ම කොටස් උවමනා කෙනාට කමටහනක් කර ගැනීම අපහසු නැත.

      ඒ අයුරින් ඔබගේ ඉහත ලිපිය මා දුටු බැවින්ම එය කමටහනකැයි මා වෙතින් කියවිනි.

      තමන් ඵලයක් ලබා නැති ගුරුවරයෙකු විසින් අනෙකෙකු වෙත කමටහන් දීම කොතෙක් දුරට ප්‍රායෝගිකදැයි මාහට ගැටළුවකි. මන්ද එය අන්දයා තවත් අන්දයෙකුට පාර කීමක් වැනි නිසා. එම නිසා එවන් කමටහනකට වඩා ස්වයංව තෝරාගන්නා කමටහනක් වඩා පලදායක විය හැකියැයි මා සිතමි. මග පෙන්වීමට දහම ඇත. මග නොදත් කෙනා තවකෙකුට කමටහනක් දෙන්නේ කුමක් අරඹයාදැයි මා නොදකිමි.

      තව දුරටත්, ඔබ පිළිගන්නා ශාස්ත්‍රයක් වූ ජ්‍යෝතිශය කෙරෙහි මා අතින් එවන් වදනක් ලියවීමෙන් ඔබ යම් අපහසුතාවයකට පත් වූවා නම් මා ඒ ගැන කනගාටු වෙමි.

      මා එම ශාස්ත්‍රය හෙලා දකිනා අරමුනින් එසේ නොකීවෙමි. එහෙත් බුදු දහම හා සැලකීමේදී එය ප්‍රාතමික ශාස්ත්‍රයකියි කීම වරදක් කොට මා නොසිතමි. බුදු දහමේ මග පෙන්වීම තුලින් දැක්ම වඩවා ගත් කල මේ කිනම් ශාස්ත්‍රයක් එයට අලගු තැබිය හැකිදැයි මට සිතේ.

      දෙවියෙකු හා පිහිටක් අවැසි වන්නේ කෙලෙස් බරිත පුද්ගලයාටමය. ජ්යෝතිශය වැනිශාස්ත්‍ර පිහිට ලැබෙන්නේද ඒ පිහිට අවැසි වන්නේද එවැනි අය හටමය.
      ඔබ කැමතිනම් මේ ප්‍රසිද්ධ නොකොට ඉවත් කරන්න. ඒ පිළිබඳ අමනාපයක් නැත.

      Delete
  5. සිතුවිළිFebruary 22, 2013 at 11:15 AM

    මිතුර "කේ"
    අප මිතුරු ජෝසප්ට මක් වීද?

    ReplyDelete
    Replies
    1. නොදනී.
      යක් පැටියාට ඔහු පොරොන්දු වූ පිළිතුරක් ඇත. මා ඔහුට පොරොන්දු වූ පිළිතුරක් ඇත.
      සමහර විට කාර්‍යබහුල වීම නිසා මෙහි පැමිණීමට නොහැකිව සිටිනවා විය හැක.

      Delete
  6. ඈතුලාන්තය-"මමත් එන්නද??? එපාද? එහෙනම් යන්නම්......

    ReplyDelete
    Replies
    1. ගෙට එන කෙනෙකු පන්නා දැමීමේ සිරිතක් සිංහලයින්ගේ ඇත්ද? ඔබත් එන්න... වැඩියක් නැත. හුවමාරු කර ගත හැකි ඔබේ අදහසුත් රැගෙන එන්න.

      Delete
    2. ඔබ නැවත පැමිණියොත්:
      මුල් වරට ඔබේ නම දැක, එය "ඇතුලාන්තය" යැයි ගතිමි. මම වැරදියි. ඔබ නම ලියා ඇත්තේ "තුලාන්තය" ලෙසයි. මෙය වැරදීමක් නොවේනම් එහි අසැබි අරුතක් නැති වේවායි පතමි.
      ඔබ දිගටම ප්‍රතිචාර දක්වයිනම් අනෙක් අය කරන ලෙස පහත තෝරා ගැනීම් වලින් Name/URL තෝරා ඔබේ නම දෙන්න. URL අවශ්‍ය නොවේ.

      Delete
  7. සිතුවිළිFebruary 25, 2013 at 6:53 PM

    මිතුර "කේ" ඔබගේ පොහොය ලිපිය පෝ දිනයේදීම කියවීමට ලැබුනානම් යෙහෙකැයි සිතේ.
    ප්‍රමාදයට හේතුව ඔබ යම් දුශ්කරතාවයකට මුහුණ දීමක් නම් මෙසේ ඉල්ලා සිටීම කරදරයක් කොට නොගන්න ප්‍රමාද වී හෝ පලකරන ඔබගේ ලිපිය කියැවීමට බලා සිටිමි.

    ReplyDelete