Monday, February 4, 2013

ජාතික දිනය

අද, පෙබරවාරි 4, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික දිනය. අප අද සමරන්නේ ශ්‍රී ලංකාව එංගලන්ත කිරීටයෙන් නිදහස් වීමේ සැටපස් වන සංවත්සරයයි.
Sri Lanka Independence Day 2013 by Google
ශ්‍රී ලංකාවේ නිදහස සැමරීමට ප්‍රසිද්ධ ගූගල් සමාගම ඉදිරිපත් කළ බැනරය.
මෙවර සමරුවේ විශේෂත්වය එය කොළඹින් පිට නැගෙනහිර ත්‍රිකුණාමලයේ ලන්දේසින් විසින් ඉදි කරවන ලද ෆෙඩ්රික් කොටුවේ පැවැත්වීමයි. මීට පසළොස් වසරකට පෙර මහනුවර පැවැත්වීමට ගිය ජාතික දින උළෙල මහත් විනාශයක් අත් කර දුන් බව මතක ඇති සියළු දෙනාට අද ත්‍රිකුණාමලයේ සාර්ථකව පැවැත්වුණු මේ උළෙල සතුටට කාරණයක්.
පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ අතිගරු ජනාධිපති තුමාගේ ජාතික දින පණිවුඩයෙන් කොටසක්:
"ජාතීන් අතර පවතින සමගිය හා ආගමික සංහිදියාව දේශයේ දියුණුව ඇති කිරීමේ ලා මහත් පිටුබලයකි. අප බෙදී වෙන්වූ කල්හි නොයෙක්‌ සතුරු බලවේග ශක්‌තිමත් වී නිදහස අහිමි කරයි. සියලු ජාතීන් සමගිව නැගී සිටින විට රටට එරෙහි බලවේග පරාජය වී නිදහස තව තවත් ශක්‌තිමත් වෙයි."

මේ ශ්‍රී ලංකාවේ විපක්‍ෂනායක තුමාගේ පණිවිඩයෙන් කොටසක්:
"මීට වසර 65 කට පෙරාතුව මෙරටට නිදහස දිනා දුන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයයි. දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ඒ නිදහස ආරක්‍ෂා කරගැනීම රටවැසියන්ට පමණක්‌ නොව, පාලකයන්ටද පැවරෙන වගකීමකි."
අවසානයට තෝරා ගත්තේ එදා ඉංගිරිසින් විසින් තමන් අතහැර යාම නිසා ශ්‍රී ලංකාව තුල භුක්ති විඳි වරප්‍රසාද ලත් තත්වය අහිමි වීමෙන් පිඩාවට පත්ව සිටින ජන කොටසක් නියෝජනය කරන දැන් ලංකා සභාව නමින් හැඳින්වෙන එංගලන්ත සභාවේ නායක තැනගේ පණිවුඩයෙන් කොටසක්:
"ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු ආගමික සහ බහු සංස්‌කෘතියක්‌ ඇති රටක්‌ වන අතර, ආගම, භාෂාව, සංස්‌කෘතිය හා වාර්ගිකත්වය අනුව එකිනෙකාට ගරු කරමින් සහජීවනය තුළ ජීවත්වීමේ හැකියාවක්‌ ඇත. අප ලබාගත් නිදහසේ ඵලය මැනිය හැකිවන්නේ අප රටේ සියලු ජනතාවට මෙම සාරවත් විවිධත්වය තුළ ඒකීය ජනතාවක්‌ මෙන් සාමුහිකව අප රටෙහි ජීවත් වන්නට හැකිවීමෙන්ය."

ඉහත උපුටා ගැනීම් දිවයින පුවත් පතිනි. සම්පුර්ණ පණිවිඩ කියවීමට කැමති අය එය පරිශීලනය කරත්‍වා. සිව් නිකායික මහා නායක හිමි වරුන්ගේත් වෙනත් ආගමික ජන කොටස් නියෝජනය කරන්නන්ගේත් පණිවුඩ එහි අන්තර්ගතයි.

මේවා කියවන අපට සිහියට නැගෙන්නේ මහගමසේකරයන් විසින් විරචිත පණ්ඩිත අමරදේවයන් විසින් ගැයෙන 'පටු අදහස්' නම් ගීතයයි.

පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලි වලට නොබෙදී ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහේදෝ
ඒ වු නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන, පියාණනි

සත්ත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට නොදිරා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී කිඳී නොගිලේ
ඒ වු නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන, පියාණනි

පසුනොබසින වීරිය පිරිපුන්බව දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතුවිලි උදෙසා, කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ-මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ
ඒ වු නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන, පියාණනි
ඉහත උපුටා ගැනීම් සියල්ලම ඒ ඒ අයගේ නිදහස් න්‍යාය පත්‍ර අපට හෙළිදරව් නොකරන්නේද.

11 comments:

  1. හික් හික් හික්...
    මේ විහිළුවක් නේද???
    නැතිනම් ඔබ blog එක 'වැඩිහිටියන්ට පමණයි' තත්වයට පත් කර ගැනීමට ද සැරසෙන්නේ???

    ReplyDelete
  2. නැ නැ මේක තමයි නිදහස කියන්නේ ! ඕනෑම කෙනෙකුට නිදහසේ ඕනෑම දෙයක් කියන්න නිදහස දැන් තියෙනවා කියල ද කියන්න සැරසෙන්නේ?

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නත් පුළුවන් ...

      Delete
  3. සිතුවිළිFebruary 6, 2013 at 4:32 PM

    1948 පෙබරවාරි 4 ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් ලැබුනු නිදහසක් නැත.
    එම දිනයේදී බ්‍රිතාන්‍ය කිරීටයේ නියෝජිතයා ලෙසත් ලඞකාණ්ඩුවේ ප්‍රධානියා ලෙසත් විලියම් ගොපල්ලව මහතා පත් කරන ලද්දේ බ්‍රිතාන්‍ය මහ රැජින විසිනි. (ලක් වැසියන් නොවෙයි )
    අද එකිනෙකාට තම න්‍යාය පත්‍ර අනුව නන් දෙඩවීමටත්, බටහිර ජාතීන්ට බම්බු ගහගන්න කියා යුද්ධය අවසන් කිරීමටත් (තිරිකුනාමලේ නිදහස් උත්සව පැවැත්වීමට හැකියාව )නිදහස ලැබුනේ 1972 මැයි 22 ජනරජ ව්‍යවස්ථාවෙනි.
    පෙබ්. 4 නිදහස සමරණවා දකින හැම වීටකම සිංහලයා කොතරම් ගුනමකු නිවට ජාතියක්දැයි මා කම්පාවට පත්වෙමි.

    ReplyDelete
    Replies
    1. සිතුවිළි,

      පළමුව කියමි - ඔබේ සාධක (facts) වැරදියි!
      දෙවනුව - ඔබේ අදහස වැරදියි. මෙය පළමුව සාකච්ඡා කරමු.
      ------------

      1948 පෙබරවාරි මස බ්‍රිතාන්‍ය (මා කියන ලෙස එංගලන්ත) කිරීටයෙන් නිදහසක් නොලැබුණු බව ජනප්‍රිය මිත්‍යාවකි. මහ රැජින (1948 දී නම් එංගලන්ත මහරජු) ලංකාවේ නිත්‍යානුකුල රාජ්‍ය නායිකාව ලෙස සිටීමත්, ඇගේ නියෝජිතයා ඉදිරියේ ලංකාවේ මහජන චන්දයෙන් පත් වූ අගමැති වරයා දිවුරුම් දීමත් ඔය මිත්‍යාව ශක්තිමත් නොකරයි.

      ඔබ අගය කරන 1972 ව්‍යවස්ථාව සකස් කෙරෙන්නේ 1971 කැරැල්ලෙන් ජය ගෙන පිහිටවූ රෝහණ විජේවීර සහෝදරයාගේ විප්ලවවාදී ප්‍රගතිශීලි ආණ්ඩුවකින් නම් ඔබ සමග මට එකඟ වීමට එක තැනක් තිබිණි. එහෙත් එකී ජනරජ ව්‍යවස්ථාව ඉදිරිපත් කෙරෙන්නේ 1948 අපට ලැබුණු සෝල්බරි ව්‍යවස්ථාව අනුව පිහිටැවුනු පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් වීමෙනි. එංගලන්තයෙන් අපට 1948 දී ලැබුනේ මේ නිදහසයි. ඊටත් වඩා නිදහසක් කුමටද? 1947 දී මේ නිදහසම ලැබූ ඉන්දියාව 1950 ජනවාරි වන විට ස්වකිය 'ගණරාජ්‍ය' (republic) පිහිටුවා ගනිද්දී අපට ඒ සඳහා 1972 වන තුරු බලා සිටීමට සිදු වීම එංගලන්තයේ වැරද්දක් නොවේ.

      අප ඒ දේ නොකළ නිසාය එංගලන්ත රජුට/ රැජිනට ලංකාවේ අග්‍රාණ්ඩුකාරයා පත් කිරීමට සිදු වීමේ අමතර බර පැටැවුනේ. ඒ නිසා මගේ අදහස 1948 දී එංගලන්ත කිරීටයෙන් අපට නිදහස ලැබුණ නමුත් අප 1972 වන තුරු ඒ නිදහස භාවිතා නොකළ බවයි.

      මා ඔය අදහස මිත්‍යාවක්යැයි කියන්නේ අපද පාසැල් යන සමයේ අපේ ගුරුවරුන්ගේ මෙහෙයවීමෙන් ඔය අදහසම දැරූ නිසාය. අදද විචාරයක් නැති බොහෝ දෙනෙක් ඔය අදහස දරති. ඉංගිරිසින් අපේ 'නිදහස' කොල්ල කා ගත් බව සැබැවි, එසේම උන් අපට නිදහස දුන් බවත් සැබෑවකි. (ඇත්තටම උන් අදටත් අපට සැබෑ නිදහසක් දී නැති බවත් ඊට වඩා සැබෑවකි - උන්ගේ තානාපතිවරු අදද ක්‍රියා කරන්නේ අපට එසේ හැඟී යන පරිදිය.)

      එසේම, ඔබ කියන 'නිදහස' අපට ලැබුනේ 1972 ජනරජ ව්‍යවස්ථාව හේතු කොටගෙන නොව 1978 'ධර්මිෂ්ඨ' ව්‍යවස්ථාවෙන් පිහිටැවුනු විධායක ජනාධිපති ක්‍රමය හේතුවෙන් බවත් මතක් කරමි.

      දැන් සාධක වෙතට:
      "1948 පෙබරවාරි 4 ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් ලැබුනු නිදහසක් නැත.
      එම දිනයේදී බ්‍රිතාන්‍ය කිරීටයේ නියෝජිතයා ලෙසත් ලඞකාණ්ඩුවේ ප්‍රධානියා ලෙසත් විලියම් ගොපල්ලව මහතා පත් කරන ලද්දේ බ්‍රිතාන්‍ය මහ රැජින විසිනි.
      "

      1. 1948 එංගලන්ත කිරීටයේ නියෝජිතයා වූයේ සෝල්බරි සාමිය (1949-1952: Major His Excellency The Rt. Hon. the Lord Soulbury, PC, GCMG, OBE, MC, DL, Governor-General and Commander-in-Chief of Ceylon).
      2. විලියම් ගොපල්ලව යනු ලංකාවේ ප්‍රථම ජනාධිපති වරයාය. ඒ 1972 ව්‍යවස්ථාව යටතේය. මෙය අගමැතිනිය විසින් කරන ලද පත් කිරීමකි.
      3. ජනාධිපති වීමට පෙර එතුමා අග්‍රාණ්ඩුකාර ධුරය දැරිය.
      4. විලියම් ගොපල්ලව මැතිතුමා ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාගේ අනුප්‍රාප්තිකයා වන අතර ඔහු සෝල්බරි සාමිගේ අනුප්‍රාප්තිකයා විය.
      5. 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවෙන් විධායක නොවන ජනාධිපති තනතුර අහෝසි කෙරුණු අතර අගමැති ජූනියස් රිචඩ් ජයවර්ධන විධායක බලතල සහිත ජනාධිපති ලෙස ව්‍යවස්ථාවෙන් නම් කරන ලදී. (මහජන චන්දයෙන් නොවේ.)
      6. 1982 දී ඔහු මහජන චන්දයෙන් දෙවන වරට ජනාධිපති පදවියට පත් විය.

      ඒ නිසා සිතුවිළි, මටනම් පාසැල් යන බොළඳ අවදියේ දැරූ අදහස් වෙත පසුබැසීම කළ නොහැක. ඔබ කැමතිනම් දිගටම කම්පා වෙමින් සිටින්න... සිංහලයා කොතරම් ගුණමකු නිවට ජාතියක්ද කියා... නිදහස දීත් වසර 25 යන තුරු එය ප්‍රයෝජනයට නොගෙන දුන් නිදහසත් නොදුන් සේ ඉංගිරිසින්ටම තවමත් බනිමින් සිටින නිසා...

      Delete
    2. ඔබ සිතුවිළිට දුන් මේ පිළිතුර අප දුර්මුඛ කරයි.

      1948 දී අපට නිදහසක් ලැබුනාද යන සැකය මා තුලත් මෙතෙක් පැවති බව පිළිගනිමි. මාද සිතුවිළි ලෙසම සිතුවේ 1972 ජනරජ දිනය ශ්‍රී ලංකාවේ ජාතික දිනය වීම සුදුසු බවයි. පසුව එය 2009 විජයග්‍රහණයේ දිනය දක්වා වෙනස් විය. කලට වේලාවට සිදු කළ යුතු දේ (පළාත් සභා සහිත 13 වන සංශෝධනය අහෝසි කිරීම) නොකිරීම නිසා 2009 ගැන තිබූ බලාපොරොත්තු බිඳ වැටිණි. ඒ නිසා 1948 සමරන පෙබරවාරි 4 දිනය ජාතික දිනය ලෙස ගැනීම සුදුසු යයි දැන් මමත් සිතමි.

      Delete
    3. සිතුවිළිFebruary 7, 2013 at 4:27 PM

      මිතුර "කේ"
      මාගේ මතය තහවුරු කිරීමට මට මතවාද ගෙන හැර දැක්විය හැක. එහෙත් තර්කය මාගේ පිළිවෙත නොවනා බැවින් හා යමෙකු අදහසක් පවසන්නේ යම් දැක්මකින් බව පිළිගන්නා නිසාම මා මේ මාතෘකාව ඔස්සේ නොගැටෙමි.
      දැනට මේ ප්‍රස්තුතය කෙරෙහි ඔබගේත් මාගේත් දැක්ම වෙනස්ය එපමණයි.
      විලියම් ගොපල්ලව මහතා පිළිබඳ ඔබගේ දත්ත වැරදියැයි සිතමි. 1948 පෙබ 4 දා සිට එංගලන්ත කිරීටයේ නියෝජිතවූ ගවනර් තනතුර ගවනර් ජෙනෙරාල් බවට පත් විය. එව්කට සිටි ගවනර් ම ගවනර් ජෙනරාල් විය. ඉන් අනතුරුව ඔලිවර් ගුණතිලක මහතාද. ඉන් අනතුරුව 1962 වසරේදී (මා නිවැරදිනම් ) විළියම් ගොපල්ලව මහතාද ගවනර් ජෙනරාල් ධූරයට පත්විය.
      1972 මැයි 22දා ව්‍යවස්ථාව මගින් එව්කට පැවති ගවනර් ජෙනරාල් ධූරය අහෝසි වූ බැවින් සිටි පුද්ගලයාම ව්‍යවස්ථාවෙන් ජනාධිපති තනතුරකට පත් විය. (ජයවර්ධනයන්හට ව්‍යවස්ථාව මගින් විධායක ජනපති වීමේ පූර්වාදර්ශය මෙය විය හැක )
      එසේම පැවති යටත් විජිත ව්‍යවස්ථාවෙහි එංගලන්තය විසින් පත්කළ ගවනර් ජෙනරාල් දූරයෙන් පහ කිරීමට හෝ එම ධූරය අවලංගු කිරීමට ප්‍රථිපාදන නොවීය.
      එම ගැටය ජය ගැනීම වස් අගමැතිනිය විසින් සමස්ථ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස නම් කෙරිනි. එවිට ජන බලයෙන් පත්වූ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයකින් කරන්නේ පැවති ව්‍යවස්ථාවක් අළුත් කිරීම නොව, ශූන්‍ය පදනමක සිට ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමකි. (මෙය මා දකින්නේ ගැටය ජය ගැන්මට යෙදූ වචන හරඹයක් ලෙසිනි )
      එසේ 2/3 කින් සම්මත වූ ව්‍යවස්ථාව මගින් එංගලන්තයට රට තුල වූ සමස්ථ ශක්තිය මුලිනුපුටා දැමිනි. අදත් ඔවුන් පිළිගැනීමට අකැමැති සත්ත්‍යය මෙයයි.

      එය එසේ නොවුනානම්, ආසන්න යුධ ගැටුමේදී එංගලන්ත පාර්ලිමේන්තුව මගින් සිලෝන් තුල ඇති ඊලාම් නම් කොටස සඳහා වෙනම ගවනර් ජෙනරාල් වරයෙකු පත්කල යුතු බවට හා වෙනම අගමැතිවරයෙකු හා පාර්ලිමෙන්තුවක් පත්කල යුතු බවට යෝජනා සම්මත වූවානම් 48 ලැබූ නිදහස යටතේ අපට කළ හැකි වන්නේ කුමක්දැයි ඔබ සිතනවාද?
      තව දුරටත් ඔබ පවසන ජනරජය පිහිටුවා ගැනීමේ නිදහස උන් අපට 48දී දුන් බවත් එය 72 දක්වා නොකර සිටීම අපගේ දුර්වල කමත් යන්න මටනම් මෑත ඉතිහාසයෙන් කිසිදා ගම්‍ය නොවිනි.

      Delete
    4. සිතුවිළි,
      ඔබ මුල් චේදයෙන්ම මේ සාකච්චාව ඉදිරියට ගෙන යාමේ ඉඩ කඩ වසා දැමූ නිසා පසු චේද ලිවීමට මහන්සි නොවී සිටීමට ඉඩ තිබිණි. ඔබ ඒ පහසුව නොවින්දේ ඇයි?

      ඔබ ඒ දුක වින්ද නිසා, "ජනරජය පිහිටුවා ගැනීමේ නිදහස උන් අපට 48දී දුන් බවත් එය 72 දක්වා නොකර සිටීම අපගේ දුර්වල කමත් යන්න මටනම් මෑත ඉතිහාසයෙන් කිසිදා ගම්‍ය නොවිනි." යන්නෙහි "මෑත ඉතිහාසයෙන් කිසිදා ගම්‍ය නොවිනි" යන්න තවදුරටත් විස්තර කරන්නේනම් සුදුසුයි. එහෙත් ඔබ අකමැත්තෙන් සාකච්චාව ඇදගෙන යා යුතු නැත.

      Delete
    5. සිතුවිළිFebruary 8, 2013 at 9:11 PM

      මුල් ඡේදයේ කී පරිදිම මා වාදයෙන් වැලකී සිටීමට කැමැත්තෙමි.
      මා කලේ දත්ත ඉදිරිපත් කිරීම පමණි. එය කේ ඉදිරිපත් කල දත්ත හා ගැලපෙන බව ඔබ දකින්නට ඇති එහෙත් ඉදිරිපත් කල විලාශය පමණක් වෙනස් වේ.
      සුද්දා අපට ජනරජයක් පිහිටුවා ගැනීමේ නිදහස ලබා දුන්නා නම් ලංකාව තුල අහෝසි කිරීමට ප්‍රතිපාදන නැති ගවනර් ජෙනරාල් ධූරයක් ඇති කලේ ඇයි. ගවනර් ජෙනරාල් වරයා පත් කිරීමේ හෝ දෝශාභියෝගයකට ලක් කිරීමේ බලය ලංකා පාර්ලිමේන්තුවට ලබා නොදුන්නේ ඇයි.
      ස්වභාවයෙන්ම බල ලෝභී අප දේශපාලකයින් 72දී අගමැතිනිය ගත් එඩිතර තීරණය ගැනීමට කැමැති නොවූ බවයි ඇත්ත. ඒ ඔවුන්හට බටහිර ගැතිවීමෙන් ලැබිය හැකි ලාබ ප්‍රයෝජන මහ මෙරක් සේ පෙනුනු නිසායි.

      Delete
    6. ඔව් සිතුවිළි,
      ඔබේ දත්ත k ගේ දත්ත හා ගැලපේ; එසේනම් "වාදයට අකමැති බවක් පවසා" මේ දත්ත ඉදිරිපත් කිරීමේ අරමුණ කුමක්දැයි මටනම් නොතේරේ. ඔබ මේ දත්ත ඉදිරිපත් කර ඇත්තේම k ගේ දත්ත වැරදි බව කියමිනුයි. ඒ අසරණයා ඔබට පිළිතුරක් ලියා ගත නොහැකිව සිටින බව මට සිතේ. ඒ පසෙකට දමමු.
      මා ඔබට ඉදිරිපත් කළ ප්‍රශ්නයට ඔබට පිළිතුරක් තිබේද?
      ප්‍රශ්නය: "ජනරජය පිහිටුවා ගැනීමේ නිදහස උන් අපට 48දී දුන් බවත් එය 72 දක්වා නොකර සිටීම අපගේ දුර්වල කමත් යන්න මටනම් මෑත ඉතිහාසයෙන් කිසිදා ගම්‍ය නොවිනි." යන්නෙහි "මෑත ඉතිහාසයෙන් කිසිදා ගම්‍ය නොවිනි" යන්න තවදුරටත් විස්තර කරන්නේනම් සුදුසුයි.

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete