Wednesday, February 13, 2013

අන්ධයා සමග යන සුනඛයා

බොහෝ රටවල නොයෙක් කටයුතු සඳහා පුහුණු කළ සත්තු යොදා ගැනෙති. මිනිසාට ජිවිත අවදානමක් ඇති කටයුතු වල සිට මිනිසාගේ ස්වභාවික සංවේදන අවයව වලට ගෝචර නොවන ක්‍ෂේත්‍ර වල කටයුතු දක්වා පුළුල් පරාසයක සතුන්ගේ සේවය අවශ්‍ය වේ. ලංකාවේ පෙරහැරවල් වලට ගාම්භීරත්වයක් ඇති කිරීමට අලි ඇතුන් යොදා ගන්නා අතර මැලේසියාවේ පොල් කැඩීමට වඳුරන් පුහුණු කෙරේ. එක්සත් ජනපදය මුහුදේ අතුරා ඇති සතුරු බෝම්බ සොයා ගැනීමට මුහුදු සිංහයන් පුහුණු කරන අතර නාවික හමුදා අභ්‍යාස වලදී සැලෙන ඉලක්ක (moving targets) ලෙස ඩොල්පින් සහ සීල් සතුන්ට ප්‍රහාර එල්ල කරති. ඉන්දියාවේ නයි නටවති. තායිලන්තයේ තඩි පිඹුරෝ ළමයි බලා ගනිති. පරවියෝ පණිවුඩ ගෙන යති, සුනඛයෝ පොලිසියේ රාජකාරි කරති.

යට දැක්වෙන කතාව අන්ධ මනුෂ්‍යයන්ට සහය පිණිස පුහුණු කෙරුණු බල්ලෙකු ගැන හද කකියවන කතාවකි.


අන්ධ මනුෂ්‍යයෙක් දිනක් තම මග පෙන්වන සුනඛයාත් සමග මහමග ගමන් කරමින් සිටියා. කාර්‍යබහුල වෙලාව... දහස් ගණනක් වාහන නලා හඬවමින් ක්‍ෂණයෙන් දෙදෙනා පසු කර යද්දී මේ බල්ලා අර අන්ධයාත් ඇදගෙන පාර මැද්දට පැන්නා. අසරණ අන්ධයාට කොයින්ද විකල්පයක් ! නොඉවසිලිමත් රියදුරන්ගේ නලා හඬ, හදිසි තිරිංග යෙදීමෙන් රිය සක පෝලෝ මත ඇතිල්ලී නගන අමිහිරි හඬ තත්පර ගණනාවක් පුරා නැගුනා. හදිසියෙන් යන ගමන අතරමග අන්ධයෙක් යට කර පොලිසි ගානේ තපින්න උනොත් එදා දවසම පමණක් නොව ඉදිරි දින ගණනාවක්ම උසාවි ගානෙත් තපින්න වන බව සියළු රියදුරන් දන්නා කරුණක්.

තත්පර ගණනක අරගලයකින් පසු, ඉවසීමේ රතු කට්ට පිනූ රියදුරන්ගේ අසභ්‍ය වචන වර්ෂාවෙන් තෙමි තෙමී, ඇස් ඉදිරිපිට රඟ දැක්වෙන ත්‍රාසජනක ජවනිකාව ඇරුනු කටවල් වලින් බලා සිටින පදිකයන්ගේ රත් වූ මොළ තුලට සිහිල් රුහිරු ධාරාවක් යවමින්, නිර්භීත සුනඛයා සිය අන්ධ ස්වාමියාත් රැගෙන නිරුපද්‍රිතව අනෙක් පස පදික වේදිකාවට සැපත් වුනා. පැමිණි ගමන් කලිසම් සාක්කුවට අත යැවූ ඔහු එළියට ගත්තේ ලොකු විස්කෝතුවක්... බලු විස්කෝතුවක්!

විස්කෝතුව දුටු බල්ලා අමන්දානන්දයට පත් වී නගුට වනන්නත් එහෙ මෙහේ පනින්නත් පටන් ගත්තත් මේ සියල්ල දෙස බලා සිටි පදිකයෙක් බල්ලාටත් වඩා විස්කෝතුව ගැන වද වන බව පෙනුනා.

"තමුසෙට අමු කැවිලද ඕයි... මේ බල්ලා තව පොඩ්ඩෙන් තමුසෙව බස් එකකට යට කරවනවා... තමුසෙට මැරෙන්න වෙන්නේ පිටගැස්ම හැදිලා, විඳවලා... බිස්කට් නෙමේ, මූට දෙන්න වටින්නේ බලු වෑන් එකක් ගෙනැල්ලා..." ඒ අමුත්තා තම උද්‍යෝගය පිට කළා.

"අඃ !" අන්ධ මනුෂ්‍යයා ඒ හඬ ඇහුනු දිශාවට හිස හැරෙව්වා.

"මම මේ හොයන්නේ මුගේ ඔළුව කොයි පැත්තේද කියලා..." ඔහු කට හඬ අවදි කළා.

"මට ඕනේ මුගේ පස්ස පැත්තට හොඳවයින් පයින් පාරක් දෙන්න !!!"

ඒ බල්ලා පවු නේද?

3 comments:

  1. හික් හික්!

    ඇත්ත! එච්චර අමාරු traffic එකක් මැද්දෙන් නිරුපද්‍රිතව පාර පැන්නුවාට බල්ලට බිස්කට් ගෝනියක් දෙන්නයි වටින්නේ. ඌ උගේ job එක හරියට කරලා තියෙනවා... අත්වැරදි නම් ඉතිං කාගේ කාගෙනුත් වෙනවා නොවැ.

    ReplyDelete
    Replies
    1. ඇ ස් දෙකම පේන අන්ධමිනිස්සුත් ඉන්නවා ලංකාවේ. නරකද මේ අයටත් ............?

      Delete
  2. සිතුවිළිFebruary 15, 2013 at 8:02 AM

    බල්ලා පව් තමයි
    මිනිස්සු හැටියට අපිත් මේ වගේ අනුන්ගේ ප්‍රශ්න බලෙන් කරට අරන් උදව් කරන්න ගිහිල්ලා අපිම පව් කියල හිතෙන තැනට වැටෙනවා.
    හැබැයි සිහි නුවන ඇති පිංවතා අනුන්ටත් උදව් කරලා තමන්ගේ තත්වයත් රැකගන්නවා.
    අනේ මන්දා ඒ කථාව කියවපුවහම මට හිතුනු හැටි

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !