Monday, February 25, 2013

නවම් පුර පසළොස්වක

ක්‍රිස්තියානි කැලැන්ඩරයට අනුව නවම් පොහොය වසරේ දෙවන පුන් පෝ දිනය වේ. වස් කාලයෙන් පසුව එළඹෙන හේමන්තයයේ අවසන් භාගය නවම් මස සමග සමපාත වේ. දහවල අව් රශ්මිය ක්‍රමයෙන් දැඩි වන අතර රාත්‍රිය සිහිල් ගතිය තවදුරටත් පවතී. මාස් කන්නය සාර්ථක කර ගත් ගොවියෝ සිය අස්වනු නෙලා ගැනීම මේ කාලයේදී අරඹති. මේ කටයුත්ත මැදින් මස අවසානය දක්වාම සහ සමහර විට බක් මස මුල දක්වාත් කෙරේ.

නවම් පෝ දිනයේ සිදු වූ වැදගත්ම සිදු වීම ප්‍රථම මහා සංඝ සන්නිපාතයයි. එහෙත් අද නවම් මස සමගම කියවෙන උත්සවය කොළඹ හුණුපිටිය ගංගාරාමයේ නවම් මහ පෙරහැරයි. මේ වසරේත් නවම් පෙරහැර පෙබරවාරි 24, 25 දින වල හෙවත් නවම් මස පුර තුදුස්වක හා පසළොස්වක දින වල වීථි සංචාරය කෙරේ. මේ හැරුණු කොට බොහෝ වැදගත් කටයුතු මේ මාසය තුල සිදු වී ඇත.

තුන් බෑ ජටිලයන් දමනය කළ ඒ තථාගත සම්මා සම්බුදුරජාණන්වහන්සේ දහසක් පිරිවර සහිතව බුද්ධ රාජ ලීලාවෙන් රජගහ නුවරට ඇතුල් වූහ. තමන් වහන්සේ පැවිදි වූ මුල් දිනයේ මගධයේ අධිපති බිම්බිසාර රජු වෙත දුන් පොරොන්දුවක් වෙයි. බුද්ධත්වය ලැබ පළමුවෙන්ම රජගහ නුවරට වඩින ලෙස බිම්බිසාර නරපතියෝ ඉල්ලූහ. එම පොරොන්දුවෙන් මිදීම පිණිසයි බුදු රජු බිම්බිසාර රජුගේ මාලිගයට වැඩම කළේ. බුදුරදුන් සමග යන උරුවෙල් කාශ්‍යප තෙරුන් දුටු රජගහ නුවර ජනයා බුදුන් උරුවෙල් කසුප් ජටිලයාගේ සව්වෙකුද නොහොත් උරුවෙල් කසුප් තෙරුන් ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රවකයෙකුද යනුවෙන් කුකුස්‌ ඉපදවුහ. මේ බව පරසිත් දන්නා නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ ජනයාගේ සැක සංසිඳවන ලෙස උරුවෙල් කසුප් මහ තෙරුන්ට අනුදැන වදාළහ. තෙරණුවෝ පිරිස් ඉදිරියේ බුදුරදුන් වැඳ 'මම් සම්මා සම්බුදු රජුන්ගේ සව්වෙකු වෙමි' යි මහත් ප්‍රාතිහාර්යය දක්වමින් ප්‍රකාශ කළහ. මේ දුටු බොහෝ ජනයා බුදුන් සරණ ගියහ.

මේ පෙළහර ගැන ඇසු ජනයා මහ මග පුරා පිරී පැමිණෙමින්, ඉස්සි ඉස්සී බලමින්, දුර්වලයන් පෙරළා දමමින් බුදුරදුන් සහ පිරිවර දකින්නට පෙළ ගැසුනහ. මේ හේතුවෙන් බිම්බිසාර රජ මාළිගයට යන මග ඇහිරී ගියේය. මෙය දුටු සක්දෙව් රජ උතුම් තරුණයෙකුගේ වෙසක් මවාගෙන සෙනග ඈත් මෑත් කරමින් බුදුරදුන්ට වඩිනට මග හෙළි-පෙහෙළි කළහ. සක්දෙව් රජුගේ උදව්වෙන් රජගෙට වැඩම කළ බුදුරජු සහ සඟ පිරිස බිම්බිසාර රජු විසින් සැපයුණු රාජ භෝජනය සහිත දානය පිළිගත්හ.

දානය අවසන් කළ බුදුරජාණන් වහන්සේ වෙත එළඹි බිම්බිසාර මහ රජාණෝ බුදුරදුන්ට වාසය පිණිස සුදුසු තැනක් ගැන සිතන්නේ වේළුවනය නම් නගරයට ඉතා දුරත් නොවෙයි, ඉතා ලඟත් නොවෙයි. මිනිස් සමුහයාගේ ගැවසිම් සහ ඝෝෂාවෙන් තොරයි, සංඝයාට හිත පිණිස පවතී යැයි සිතා බුදුරදුන් වෙත පැමිණ රන් කෙණ්ඩියෙන් පැන් වත් කර වේළුවනය පිළිගැන්වුහ. මේ ප්‍රථම ආරාම පූජාවයි. මහ පොළොව කම්පා කරමින් පිළිගත් මේ ආරාම පූජාවට දැන් දෙදහස් හයසිය වසරක් ඉකුත් විය. වේළුවනය පිළිගත් බුදුරජාණන්වහන්සේ "අනුජානාමි භික්ඛවේ ..." ආදී වශයෙන් දේශනා කරමින් ආරාම පිළිගැනීම අනුදැන වදාළහ.

මෙකළ මහත් පිරිවර සහ සත්කාර සහිතව සංජය නම් පරිබ්‍රජාකයෙක් රජගහ නුවර වීසි. මුන්ගේ උපතිස්ස, කෝලිත නම් මහත් නුවණැති සව්වන් දෙදෙනෙක් ඇත්තාහ. සංජය පිරිවැජියාගේ දහම පරතෙරට උගත් ඔවුහු එහි හරයක් නැති බැව් දැනගෙන "අප දෙදෙනාගෙන් කෙනෙක් විමුක්ති මාර්ගයට පිළිපන් දහමක් ගැන දැන ගතහොත් අනිකාටද දැන්විය යුතු" යැයි කතිකා කරගෙන වෙසෙයි. උන්ගෙන් උපතිස්ස නම් පිරිවැජියා දිනක් පස්වග මහණුන්ගෙන් එක නමක් වන අස්සජි තෙරුන් වහන්සේ දැක උන් වහන්සේගෙන් සතරපද ගාථාවක් අසා සෝවාන් වූහ. තම මිතුරු කෝලිත පිරිවැජියාටද ඒ ගාථාව දෙසා ඔහුද සෝවාන් කරගෙන සංජය පිරිවැජියාගේ අතවැසි දෙසිය පනසක් පිරිවර සමග බුදුරදුන් වහන්සේ සොයා වේළුවනය වෙත පැමිණියහ. ඔවුන් දෙදෙනා එනු දුරදීම දුටු බුදුරජාණන්වහන්සේ මහණෙනි මාගේ අගසව් දෙනම පැමිණෙන්නේ යැයි තමන් වහන්සේ සමග සිටි ස්වාමින් වහන්සේලා අමතා වදාළහ.

එසේ පැමිණි ඒ දෙදෙනා බුදුරජාණන් වහන්සේ වෙතින් ඒහිභික්‍ෂු භාවයෙන් පැවිද්ද ලබා ගත්හ. පැවිද්ද ලබා ගත් කෝලිත තෙරුන් වහන්සේ සතියක් ඇවෑමෙන් බවුන් වඩා සිව්පිලිසිඹියා පත් මහරහත් භාවයට පත් වූහ. උපතිස්ස තෙරුන් අඩමසක් ඇවෑමෙන් එසේම මහරහත් බැව් ලබා ගත්හ. සම්බුද්ධත්වයෙන් නවමසක් සපිරෙන නවම් පුර පසළොස්වක පෝ දින ප්‍රථම සංඝ සන්නිපාතය අභිමුවේදී බුදුරජාණන් වහන්සේ විසින් උපතිස්ස කෝලිත දෙදෙනා වහන්සේ ස්වකිය අග්‍රශ්‍රාවක ස්ථානයේ තබා වදාළහ. මේ ප්‍රථම සංඝ සන්නිපාතයට දෙදහස් හයසිය වසක් සපිරෙන්නේ මේ උතුම් නවම් පුර පසළොස්වක දිනටයි.

මීට අමතරව බුදුරජාණන් වහන්සේ විසින් සංඝයා අමතා ඕවාද ප්‍රතිමොක්ෂය දෙසීම හා චාපාල චෙතියස්ථානයේ සිට සියළු ලෝවැසියා වෙත සංස්කාරයන්ගේ අනිත්‍ය බව පසක් කරමින් මහ පොලෝ ගුගුරවමින් ආයුසංස්කාරය හැරීමද සිදු වුයේ නවම් පෝ දින වලයි.

එබැවින් සියළු ලෝ වැසියනි, කුසලයේ නොපමා වව් !

Sunday, February 17, 2013

චරිත හයක්

බුදු රජාණන් වහන්සේ දහම් දෙසීමේදී හා භික්ෂූන් වහන්සේලාට කමටහන් දීමේදී ඒ ඒ පුද්ගලයන්ගේ චරිත ස්වභාව දැන දහම් දෙසීම හෝ කමටහන් දීම හෝ කර ඇති බව අපි දනිමු. එසේම සිදුහත් කුමරුන්ගේ නම් තබන මඟුලෙහි කුමරුවන්ගේ ශරීර ලක්‍ෂණ පරික්ෂා කළ විද්වත්හු මේ කුමරුවන් ගිහි ගෙයි රැඳුනොත් සක්විති රජ වෙති; මහණ වුනොත් බුදු වෙති යි අනාවැකි පැවසූහ.

උම්මග්ග ජාතකයේ මහෞෂධ පණ්ඩිතයන් තමන්ට සුදුසු බිරිඳක් සොයා යන ගමනේදී අමරා දේවිය දැක ඇගේ රූප ලක්‍ෂණ අනුව චරිත ස්වභාවය තීරණය කළේය. ගුත්තිල ජාතකයේ ගුත්තිල පඬිතුමා මූසිලයා පළමු වරට දුටු ගමනේ ම මොහු ගුණමකුවෙකැයි දැනගෙන ශිල්ප දීම ප්‍රතික්ෂේප කළේය.

එසේම ලක්දිව පඬුවස්දෙව් රජුට උපන් දූ කුමරිය ගැන පරීක්‍ෂා කළ නිමිත්ත පාඨකයෝ ඒ කුමරියගෙන් බිහි වන දරුවා ස්වකීය මාමා වරුන්ට සතුරෙක් වන බව ප්‍රකාශ කළහ. සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය යන රජ කුමාර වරු අනුරාධපුරයට යන ගමනේ, ගඟින් එතෙර වන වන විට ඒ කුමරුවන්ගේ පාද චලන රටාවට ඇහුම්කන් දුන් අන්ධයෙක් තිදෙනාම රජ වන බවට අනාවැකි කී බව අපේ ඉතිහාසයේ සඳහන් වේ.

බුදු රජාණන් වහන්සේ කෙරෙහි ආවේනික පරචිත්ත විජානන ඥානය හැරුණු කොට ඉතිරි සිද්ධි පැහැදිලි කෙරෙන කිසියම් විද්‍යාවක් එකළ තිබෙන්නට ඇත. එය අදද නැතුවා නොවෙයි.

පුද්ගලයෙකුගේ චරිතය හඳුනා ගන්නේ කෙසේද?

බටහිර සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව හා ඒ ආශ්‍රිත අධ්‍යයන මේ සම්බන්ධ බොහෝ තොරතුරු හෙළි කර ඇතත් බුදු දහමේ ඉගැන්වෙන පුද්ගල චරිත විභාගය දෙස අපේ අවධානය යොමු කරමු. මේ චරිත විභාගය යොදා ගැනෙන්නේ භාවනා කමටහන් දීම පිණිස වීම හේතුවෙන් එහි ලක්‍ෂණ පැවිද්දෙකුගේ හැසිරීම ආශ්‍රිතව උගන්වා ඇත. එහෙත් ඒ ලක්‍ෂණ ගිහියෙකුට ආදේශ කර ගැනීම අපහසු ව්‍යායාමයක් නොවේ.
ඉරියා පථතො කිච්චා
භොජනා දස්‌සනාදිතො
ධම්මප්පවත්තිතොවෙව
චරියො විභාවයෙ

අර්ථය:
  • ඉරියා පථතො:- ඉරියව් පැවත්වීමෙන් (සතර ඉරියව්)
  • කිච්චා:- කරන දෙයින් හා කරන ආකාරයෙන්
  • භෝජනා:- ආහාරයෙන් හා ආහාර ගන්නා පිළිවෙළින්
  • දස්‌සනාදිතො:- දකින ආස කරන දෙයින්
  • ධම්මප්පවෙත්තිතො:- දරන අදහස්‌-උදහස්‌ වලින්
යන මේ කරුණු අනුව කෙනකුගේ චරිතය මැන බැලිය හැකිය.

රාග චරිතයා

ඉරියව් පැවැත්ම: සාමාන්‍ය ගමනින් යන විට අලංකාරව ගමන් කරන්නේය. සෙමින් සමාන පරතර ඇතිව පා තබා සමානව ගමන් කරන්නේය. පාද උක්කුටිකය එනමි පා සටහනේ විලුඹ හා ඉදිරිය මනා සටහනින් යුක්ත අතර මැද කොටස බිම නොවදියි.

රාග චරිතයාගේ සිටිම් හා හිදිම් ප්‍රසාද ජනකය, මිහිරිය, ප්‍රිය උපදවනසුළුය.

රාග චරිතයා සෙමින් මනාකොට සමව ඇද සකස් කොට සෙමින් ඇදමත වැතිර, අත් පා ආදිය ඒ මෙ අත නොයන සේ මැනවින් තබාගෙන ප්‍රසාද ජනක ලෙස නිදන්නේය. නින්දෙන් පුබුදුවන කළ වහා නැගිට සැක ඇත්තෙකු මෙන් සෙමින් ප්‍රථිවදන් දෙන්නේය.
කාර්ය කිරීම: රාග චරිතයා අතුගානා විට කොස්ස/ඉදල මැනවින් ගෙන ඉක්මන් නොවි, වැලි නොවිසුරැවමින්, පිරිසුදු ලෙස සමව අතුගාන්නේය.
ආහාරය: රාග චරිතයා සිනිදු වුත් මධුර (පැනි රස) වුත් බෝජන ප්‍රිය කරන්නේය. වළදන විට ආහාර කට පුරවා ගැනිමකින් තොරව සෙමෙන් ගෙන රසවිදිමින් වළදන්නේය. මිහිරි වු දෙයක් ලද විට සතුටු වන්නේය
දැකීම: රාගචරිතයා සුළු වූ හෝ සිත්කළු රූපයක් දුටුවිට මවිත වුවකු මෙන් බොහෝ වෙලා බලා සිටින්නේය. ස්වල්ප වු හෝ ගුණයක් ඇති තැනැත්තන් අගයන්නේය. ඔවුන්ගේ ඇති දෝශ ගණනට නොගන්නේය. තැනක වාසය කොට යන විට, දුක්විමෙන් තොරව අපේක්ෂා සහිතව යන්නේය.
අදහස් උදහස්: රාගචරිතයා බොහොවිට තමා කෙරේ ඇති වරදවල් සගවයි, නැති ගුණ විදහා පෙන්වයි, උඩගුය, ලද දෙයින් සතුටු නොවෙයි. උත්සන්න වු ක්ලෙශයන්ගෙන් යුක්තයි එනම් කෙලෙස් බහුලයි. ශරිරය සැරසිම් ආදියේ ලොල් බවක් දක්වයි. ප්‍රත්‍ය පිළිගැනිමෙ පමණ නොදනියි.

ද්වේශ චරිතයා

ඉරියව් පැවැත්ම :පයින් බිම සාරන්නෙක් මෙන් ගමන් කරයි. පාද වහා බිම තබා වහාම ගමන ගනියි. එනම් ගමන ඉක්මන්ය. ඔහුගේ පා සටහනේ පසුපස බිම හාරන ලද්දාක් මෙන් වෙයි.

ද්වේශ චරිතයාගේ ඉදිමි හිටිමි, ග්‍රහනයන් ආදිය දෘඩය.

මොහු ඉක්මනින්, යන්තම් දෙයකින් හෝ යහන පනවාගෙන මුළු ඇගම යහනේ හොවා මුහුනත් හුකළුවාගෙන නිදන්නේය පුබුදුවන ලබන කල් කිපුණු අයෙකු මෙන් පිළිතුරු දෙනු ලබයි.
කාර්ය කිරීම :ද්වෙශ චරිතයා අතුගානා විට කොස්ස/ඉදල තදකොට ගෙන ඉක්මනින්, වැලි විසුරැවමින්, පිරිසුරැදු කමි නොබලා විසමව අතුගාන්නේය.
ආහාරය :ද්වෙශ චරිතයා රළු වුත් ඇඹුල් වුත් බෝජන ප්‍රිය කරන්නේය. වළදන විට ආහාර කට පුරවා රස බැලිමකින් තොරව ඉක්මනින් ආහාර ගන්නේය. අමිහිරි ආහාර ලද විට නොසතුටු වන්නේය.
දැකීම :ද්වෙශ චරිතයා සුළු වුහෝ අමනාප රැපයක් දුටුවිට ක්ලාන්ත වුවකු මෙන් මද වෙලාවක් බලා සිටින්නේය. ස්වල්ප වු හෝ දෝශයක් දුටු විට ඒහා ගැටෙන්නේය. අන්යන්ගේ ගුණ නොදකින්නේය. ඔවුන්ගේ ඇති දෝශම දකින්නේය. තැනක වාසය කොට යන විට, එයින් මිදි යන ලෙස යන්නේය අපේක්ෂා නොමැතිවම යන්නේය.
අදහස් උදහස් :පහසුවෙන් කිපෙන සුළුය. වෛර ක්‍රෝධ බැදගන්නා ස්වභාවයෙන් යුක්තය. අනුන්ගේ ඇති ගුණ මකන ස්වභාවයෙන් යුතුය. ගුණ ඇත්තේ ඔහුට පමණද මටද ඒ ගුණ ඇතිය යනුවෙන් නිරන්තරයෙන් සිතනා ස්වභාවයෙන් යුක්තය. ඉරිසියාව හෙවත් අනුන්ගේ සැපත නොයිවසන ස්වභාවයෙන් යුක්තය.

මෝහ චරිතයා

ඉරියව් පැවැත්ම :මොහුගේ ගමන අවුල් සහගතයි. පිළිවලක් නැත. බියවුවෙකු මෙන් පා තබා පා නගා ගමන් කරන්නේය. ඔහුගේ පා සටහන විදිමත් නොවේ. එනමි විළුබින් හා අක්පල්ලෙන් වහා එසවෙන්නේය.

මොවුන්ගේ ඉදිමි හිටිම අවුල් සහගතය.

මෝහ චරිතයා යහන අවුල් සේ පනවාගෙන අත් පා එහි මෙහි දමාගෙන බොහෝ විට මුනින් අතට නිදා ගන්නේය. පුබුදුවනු ලබන කල හුම් හුම් කියමින් කමිමැලි කමින් නැගි සිටින්නේය.
කාර්ය කිරීම :මෝහ චරිතයා අතුගානා විට කොස්ස/ඉදල බුරැලෙන් ගෙන කැලිකසල හලමින් අපිරිසිදුව විසමව අතුගාන්නේය.
ආහාරය :මෝහ චරිතයා අසවල් රසයට ප්‍රිය යැයි කිව නොහැක. ආහාර වලදනා විට ආහාර ගෙන මුඛයේද ගා ගනිමින් බත්පතේද විසුරැවමින්, නොයෙක් දෑ කල්පනා කරමින් වික්ෂිප්තව ආහාර වලදයි.
දැකීම :මොහ චරිතයා යමිකිසි රැපයක් දුටු කල එහි ගුන දොස් විවෙචනය පිළිබදව තමාගේ මතයක් නොදරයි. අන්‍යයන් එය වර්ණනා කෙරේ නම් ඔහුද වර්ණනා කරයි. අන්‍යන් එය විවෙචනය කරයි නම් ඔහුද එය විවෙචනය කරයි.
අදහස් උදහස් :අලසය, නොසන්නුයන්ය, පසුතැවිලි වන ස්වභාවයෙන් යුක්තය, සැක සහිතය, නිරන්තරයෙන් සොයා බැලිමකින් තොරව මෝඩ තිරණ වරලට එලබෙන බවින් යුක්තය. එබදු තිරණයන් වෙනස් කිරිමට නොකැමති බවින් යුක්තය.

සද්ධා චරිතයා

ඉරියව් පැවැත්ම, කාර්ය කිරීම, ආහාරය, සහ දැකීම ආදියෙන්:රාග චරිතයාට සමානය
අදහස් උදහස් :දෙන දෙයෙහි නොඇලිම දෙයි, බුද්ධාදී ආර්‍යන් දැකිමට කැමති බවද, බණ භාවනා කිරිමට කැමති බවද, ප්‍රිතිය බහුල බවද, රජුන් ඇමතියන් ආදින් සමග එක්ව ඇලි නොවසන බවද (එනවි බොහෝ සමාජ ශිලි නොවන බව) තමාගේ ඇති දොස් දකිනා බවද, පැහැදිය යුත්තන් කෙරේ පහදින බවින්ද යුක්තයි.

බුද්ධි චරිතයා

ඉරියව් පැවැත්ම, කාර්ය කිරීම, ආහාරය, සහ දැකීම ආදියෙන්:ද්වෙශ චරිතයාට සමානය
අදහස් උදහස් :කිකරැ බවද, සිහිනුවන ඇති බවද, අප්‍රමාද බවද, සංවෙගය උපදවිය යුතු තැන්හි සංවෙගය උපදනා බවද, නුවනින් විර්‍ය කරන බවද යන ලක්ෂන වලින් යුක්තයි.

විතර්ක චරිතයා

ඉරියව් පැවැත්ම, කාර්ය කිරීම, ආහාරය, සහ දැකීම ආදියෙන්:මෝහ චරිතයාට සමානය.
අදහස් උදහස් :බොහෝ දොඩමළු බවද, කුසල් දමි කෙරේ නො ඇලෙන බවය, ස්ථිර සිත් නැති බවද, මෙසේ මෙසේ කරමියි සිත සිතා සිටින බවය, අරමුනෙන් අරමුනට යන බව, එනමි එකක් මදක් කොට තවකක් කරනා බව.
ඉහත චරිත විභාගය පිළිබඳව සොයා බැලීමේදී අපූරු කරුණක් හමු විය. ඒ, ඒ ඒ චරිත ලක්‍ෂණ උරුම වන්නේ පෙර භවයට අනුව බවයි.
  1. රාගචරිතය: පෙර භවයේ යහපත් ක්‍රියා බහුල ලෙස කර ඇත්තෝද, දෙවි ලොවින් චුතව මෙහි උපන්නෝද රාග චරිත වේ. සතර මහා ධාතු සම පුද්ගලයා රාග චරිතයකි.(සෙම් රෝග අධික කොට ඇත)
  2. ද්වෙශ චරිතය: පෙර භවයේ අන් සත්ත්වයන්ගේ අත් පා බිදිමි, වද බන්ධන ආදිය කිරිම, වෛර කිරිමි ආදිය බහුල ලෙස කලෝද, නා ලොවින් හා නිරයෙන් චුතව මෙහි උපන්නොද ද්වේශ චරිත දරති. තේජෝ ධාතු හා වායෝ ධාතු අධික පුද්ගලයා ද්වෙශ චරිත වේ.
  3. මෝහ චරිතය: පුර්ව භවයේ බහුල ලෙස මත්පැන් පානය කළෝ, ධර්මශ්‍රවණය ආදී පින් දහමි ආදිය කිරිමේ ප්‍රමාද වුවන්ද, තිරිසන් යොනියෙන් චුතව මෙහි උපන්නන්ද, මෝහ චරිත දරනා බව දක්වා ඇත. පථවි ධාතු හා අපෝ ධාතු අධික පුද්ගලයා මොහ චරිත වේ.(වාත රෝග අධික කොට ඇත)
පංති කාමරයේ තීන්ත ගෑමට කියා හොර පොල් කැඩූ සෙර දැරියත්, ඒ ගැන පැමිණිලි කළ පොල් වත්ත හිමි මහතාත්, ඒ ගැන කටයුතු කළ පොලිසියේ හා උසාවියේ නිලධාරිනුත්, ඒ සිද්ධිය ජරමරයක් කළ ජනමාධ්‍ය වෘත්තිකයිනුත්, අවසානයේ ඒ ගැන කට හඬ අවදි කළ ඇමති වරු හා ජනාධිපති තුමාත් යන ඔබත් මමත් අප සියළු දෙනාමත් මේ චරිත හයෙන් එකක් දරමු. කිසි කෙනෙක් පරිපූරණ ලෙස මින් එක චරිතයක් දරන්නෝ නොවෙති, සැම දෙනාම අඩු-වැඩි වශයෙන් මිශ්‍ර ලක්‍ෂණ දරති. එහෙත්, වඩා ප්‍රමුඛව දරන ලක්‍ෂණය අනුව තමාගේ හෝ අනෙක් අයගේ චරිත ස්වභාවය හඳුනා ගත යුතුව තිබේ.

Wednesday, February 13, 2013

අන්ධයා සමග යන සුනඛයා

බොහෝ රටවල නොයෙක් කටයුතු සඳහා පුහුණු කළ සත්තු යොදා ගැනෙති. මිනිසාට ජිවිත අවදානමක් ඇති කටයුතු වල සිට මිනිසාගේ ස්වභාවික සංවේදන අවයව වලට ගෝචර නොවන ක්‍ෂේත්‍ර වල කටයුතු දක්වා පුළුල් පරාසයක සතුන්ගේ සේවය අවශ්‍ය වේ. ලංකාවේ පෙරහැරවල් වලට ගාම්භීරත්වයක් ඇති කිරීමට අලි ඇතුන් යොදා ගන්නා අතර මැලේසියාවේ පොල් කැඩීමට වඳුරන් පුහුණු කෙරේ. එක්සත් ජනපදය මුහුදේ අතුරා ඇති සතුරු බෝම්බ සොයා ගැනීමට මුහුදු සිංහයන් පුහුණු කරන අතර නාවික හමුදා අභ්‍යාස වලදී සැලෙන ඉලක්ක (moving targets) ලෙස ඩොල්පින් සහ සීල් සතුන්ට ප්‍රහාර එල්ල කරති. ඉන්දියාවේ නයි නටවති. තායිලන්තයේ තඩි පිඹුරෝ ළමයි බලා ගනිති. පරවියෝ පණිවුඩ ගෙන යති, සුනඛයෝ පොලිසියේ රාජකාරි කරති.

යට දැක්වෙන කතාව අන්ධ මනුෂ්‍යයන්ට සහය පිණිස පුහුණු කෙරුණු බල්ලෙකු ගැන හද කකියවන කතාවකි.


අන්ධ මනුෂ්‍යයෙක් දිනක් තම මග පෙන්වන සුනඛයාත් සමග මහමග ගමන් කරමින් සිටියා. කාර්‍යබහුල වෙලාව... දහස් ගණනක් වාහන නලා හඬවමින් ක්‍ෂණයෙන් දෙදෙනා පසු කර යද්දී මේ බල්ලා අර අන්ධයාත් ඇදගෙන පාර මැද්දට පැන්නා. අසරණ අන්ධයාට කොයින්ද විකල්පයක් ! නොඉවසිලිමත් රියදුරන්ගේ නලා හඬ, හදිසි තිරිංග යෙදීමෙන් රිය සක පෝලෝ මත ඇතිල්ලී නගන අමිහිරි හඬ තත්පර ගණනාවක් පුරා නැගුනා. හදිසියෙන් යන ගමන අතරමග අන්ධයෙක් යට කර පොලිසි ගානේ තපින්න උනොත් එදා දවසම පමණක් නොව ඉදිරි දින ගණනාවක්ම උසාවි ගානෙත් තපින්න වන බව සියළු රියදුරන් දන්නා කරුණක්.

තත්පර ගණනක අරගලයකින් පසු, ඉවසීමේ රතු කට්ට පිනූ රියදුරන්ගේ අසභ්‍ය වචන වර්ෂාවෙන් තෙමි තෙමී, ඇස් ඉදිරිපිට රඟ දැක්වෙන ත්‍රාසජනක ජවනිකාව ඇරුනු කටවල් වලින් බලා සිටින පදිකයන්ගේ රත් වූ මොළ තුලට සිහිල් රුහිරු ධාරාවක් යවමින්, නිර්භීත සුනඛයා සිය අන්ධ ස්වාමියාත් රැගෙන නිරුපද්‍රිතව අනෙක් පස පදික වේදිකාවට සැපත් වුනා. පැමිණි ගමන් කලිසම් සාක්කුවට අත යැවූ ඔහු එළියට ගත්තේ ලොකු විස්කෝතුවක්... බලු විස්කෝතුවක්!

විස්කෝතුව දුටු බල්ලා අමන්දානන්දයට පත් වී නගුට වනන්නත් එහෙ මෙහේ පනින්නත් පටන් ගත්තත් මේ සියල්ල දෙස බලා සිටි පදිකයෙක් බල්ලාටත් වඩා විස්කෝතුව ගැන වද වන බව පෙනුනා.

"තමුසෙට අමු කැවිලද ඕයි... මේ බල්ලා තව පොඩ්ඩෙන් තමුසෙව බස් එකකට යට කරවනවා... තමුසෙට මැරෙන්න වෙන්නේ පිටගැස්ම හැදිලා, විඳවලා... බිස්කට් නෙමේ, මූට දෙන්න වටින්නේ බලු වෑන් එකක් ගෙනැල්ලා..." ඒ අමුත්තා තම උද්‍යෝගය පිට කළා.

"අඃ !" අන්ධ මනුෂ්‍යයා ඒ හඬ ඇහුනු දිශාවට හිස හැරෙව්වා.

"මම මේ හොයන්නේ මුගේ ඔළුව කොයි පැත්තේද කියලා..." ඔහු කට හඬ අවදි කළා.

"මට ඕනේ මුගේ පස්ස පැත්තට හොඳවයින් පයින් පාරක් දෙන්න !!!"

ඒ බල්ලා පවු නේද?

Monday, February 4, 2013

ජාතික දිනය

අද, පෙබරවාරි 4, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික දිනය. අප අද සමරන්නේ ශ්‍රී ලංකාව එංගලන්ත කිරීටයෙන් නිදහස් වීමේ සැටපස් වන සංවත්සරයයි.
Sri Lanka Independence Day 2013 by Google
ශ්‍රී ලංකාවේ නිදහස සැමරීමට ප්‍රසිද්ධ ගූගල් සමාගම ඉදිරිපත් කළ බැනරය.
මෙවර සමරුවේ විශේෂත්වය එය කොළඹින් පිට නැගෙනහිර ත්‍රිකුණාමලයේ ලන්දේසින් විසින් ඉදි කරවන ලද ෆෙඩ්රික් කොටුවේ පැවැත්වීමයි. මීට පසළොස් වසරකට පෙර මහනුවර පැවැත්වීමට ගිය ජාතික දින උළෙල මහත් විනාශයක් අත් කර දුන් බව මතක ඇති සියළු දෙනාට අද ත්‍රිකුණාමලයේ සාර්ථකව පැවැත්වුණු මේ උළෙල සතුටට කාරණයක්.
පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ අතිගරු ජනාධිපති තුමාගේ ජාතික දින පණිවුඩයෙන් කොටසක්:
"ජාතීන් අතර පවතින සමගිය හා ආගමික සංහිදියාව දේශයේ දියුණුව ඇති කිරීමේ ලා මහත් පිටුබලයකි. අප බෙදී වෙන්වූ කල්හි නොයෙක්‌ සතුරු බලවේග ශක්‌තිමත් වී නිදහස අහිමි කරයි. සියලු ජාතීන් සමගිව නැගී සිටින විට රටට එරෙහි බලවේග පරාජය වී නිදහස තව තවත් ශක්‌තිමත් වෙයි."

මේ ශ්‍රී ලංකාවේ විපක්‍ෂනායක තුමාගේ පණිවිඩයෙන් කොටසක්:
"මීට වසර 65 කට පෙරාතුව මෙරටට නිදහස දිනා දුන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයයි. දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ඒ නිදහස ආරක්‍ෂා කරගැනීම රටවැසියන්ට පමණක්‌ නොව, පාලකයන්ටද පැවරෙන වගකීමකි."
අවසානයට තෝරා ගත්තේ එදා ඉංගිරිසින් විසින් තමන් අතහැර යාම නිසා ශ්‍රී ලංකාව තුල භුක්ති විඳි වරප්‍රසාද ලත් තත්වය අහිමි වීමෙන් පිඩාවට පත්ව සිටින ජන කොටසක් නියෝජනය කරන දැන් ලංකා සභාව නමින් හැඳින්වෙන එංගලන්ත සභාවේ නායක තැනගේ පණිවුඩයෙන් කොටසක්:
"ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු ආගමික සහ බහු සංස්‌කෘතියක්‌ ඇති රටක්‌ වන අතර, ආගම, භාෂාව, සංස්‌කෘතිය හා වාර්ගිකත්වය අනුව එකිනෙකාට ගරු කරමින් සහජීවනය තුළ ජීවත්වීමේ හැකියාවක්‌ ඇත. අප ලබාගත් නිදහසේ ඵලය මැනිය හැකිවන්නේ අප රටේ සියලු ජනතාවට මෙම සාරවත් විවිධත්වය තුළ ඒකීය ජනතාවක්‌ මෙන් සාමුහිකව අප රටෙහි ජීවත් වන්නට හැකිවීමෙන්ය."

ඉහත උපුටා ගැනීම් දිවයින පුවත් පතිනි. සම්පුර්ණ පණිවිඩ කියවීමට කැමති අය එය පරිශීලනය කරත්‍වා. සිව් නිකායික මහා නායක හිමි වරුන්ගේත් වෙනත් ආගමික ජන කොටස් නියෝජනය කරන්නන්ගේත් පණිවුඩ එහි අන්තර්ගතයි.

මේවා කියවන අපට සිහියට නැගෙන්නේ මහගමසේකරයන් විසින් විරචිත පණ්ඩිත අමරදේවයන් විසින් ගැයෙන 'පටු අදහස්' නම් ගීතයයි.

පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලි වලට නොබෙදී ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහේදෝ
ඒ වු නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන, පියාණනි

සත්ත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට නොදිරා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී කිඳී නොගිලේ
ඒ වු නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන, පියාණනි

පසුනොබසින වීරිය පිරිපුන්බව දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතුවිලි උදෙසා, කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ-මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ
ඒ වු නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන, පියාණනි
ඉහත උපුටා ගැනීම් සියල්ලම ඒ ඒ අයගේ නිදහස් න්‍යාය පත්‍ර අපට හෙළිදරව් නොකරන්නේද.
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !