Saturday, January 26, 2013

ප්‍රථම ලංකාගමනය සිදු වූ දුරුතු පුර පසළොස්වක

යටත් විජිත පාලනයේ අතුරු ඵලයක් ලෙස අප අද භාවිතා කරන රෝමානු-ක්‍රිස්තියානි හෙවත් ජූලියන්-ග්‍රෙගරියන් කැලැන්ඩරයට අනුව දුරුතු පොහොය වසරේ ප්‍රථම පුන් පෝ දිනය වේ. මේ පොහෝ දිනයේදී සිදු වූ ප්‍රධානම ශාසනික කාර්යය සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයයි.
මහියංගණ චෛත්‍ය රාජයා
සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රථම වස් කාලය අවසන් කර පංච වග්ගිය ශ්‍රමණ වරු, යසකුලපුතු හා ඔහුගේ යහළුවන් සිව් පනස් දෙනා යන ප්‍රථම රහත් සැට නම ධර්ම ප්‍රචාරයේ යවා උරුවෙල් දනව්වට යන අතර මග හමු වූ භද්‍ර වග්ගිය කුමාර වරුන් තිස් දෙනාත් පැවිදි කර ධර්ම ප්‍රචාරයේ යවා (වැඩි විස්තර) උරුවෙල් කාශ්‍යප නම් ජටිලයාගේ අසපුවට වැඩියහ. එසේ වැඩම කර දෙමාසයක්‌ පමණ කල් ඔහුගේ අසපුවේ වැඩ සිටිමින් නොයෙක් දහස් ගණන් ප්‍රාතිහාර්යය දක්වා ඔහු දමනය කිරීමට උත්සාහ ගත්හ. උරුවෙල් කාශ්‍යපයා තමන් රහත්ය යන මානයෙන් දැපුනෙකි. නාගයින් දමනය කිරීම, දර පැලීම වැළැක්වීම, ඉබේම දර පැලීම, ගිනි ගැනීම වැළැක්වීම, ඉබේම ගිනි ඇවිලවීම, කාශ්‍යපයා ගේ සිත දැන ගැනීම ආදී නොයෙක් ප්‍රාතිහාර්යය තමන් ඉදිරියේ දක්වා ලූවද "ශ්‍රමණ භවත් ගෞතමයන් ඒ ඒ ප්‍රාතිහාර්යයේ සමත්ය. එහෙත් අප පමණක් රහත්ය" යැයි ප්‍රකාශ කරමින් වෙසෙයි.

ප්‍රාතිහාර්යයෙන් ඔහු දමනය කළ නොහෙන බව දුටු බුදු රජාණන් වහන්සේ "කාශ්‍යපය, තොප රහත් නොවෙයි, තොප රහත් වීම කුමක්දැයි දන්නෙත් නොවෙයි, රහත් වන මග දන්නේත් නොවෙයි, එය දන්නෝ නම් අපමයැ"යි පවසා ඔහු විසින් ආරාධිතව දහම් දෙසා ඔහු රහත් කරවුහ. තම පිරිවර පන්සියය සමග උරුවෙල් කාශ්‍යපයා ජටා ගඟ දියේ දමා පැවිදි විය. මෙසේ ගඟේ ගසාගෙන යන ජටා මඩුලු දුටු උරුවෙල් කාශ්‍යපයන්ගේ දෙසොයුරන්, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප, තම පිරිවර පන්සියය ද රැගෙන පැමිණ පැවිදි වී රහත් වුහ.

උරුවෙල් කාශ්‍යපයා ප්‍රාතිහාර්යය පෑමෙන් දමනය කිරීමට නොහැකි වුවද, ඒ වන විට ලංකාද්වීපයට අධිගෘහිතව සිටි යක්ෂ සමුහයා දමනය කිරීමට සෘද්ධි ප්‍රාතිහාර්යය සමත් විය. එදා අළුයම මහා කරුණා සමාපත්තියට සමවැදුණු බුදු රජාණන් වහන්සේට බිම්තැන්නට එක්රැස් වුනු යක්ෂ සමුහයා පෙනිණි. බුදුසසුන ස්ථිරව පිහිටන පින් බිමට අනුග්‍රහ පිණිස බුදු රජාණන් වහන්සේ අහසින් ලක්දිව් වැඩියහ. වැඩම කර යක්ෂ සමාගමය මත්තෙහි වැඩ සිටිමින් වැසි, කුනාටු, ගිනි ජාලා මවා පාමින් ඒ යක්ෂ සේනාව බිය ගන්වා ලොමු දැහැ ගැනුම් ඇති කරවා ඔවුන් දමනය කළහ. එසේ කර උන්ට දහම් දෙසූහ.

ඒ දහම් ඇසූ සුමන දිව්‍ය රාජයා සෝවාන් විය. පූජා වස්තුවක් ඉල්ලූ සුමන සමන් දිව්‍ය රාජයාට බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතු මිටක් ලැබිණි. එය නිදන් කර හෙතෙම මහියංගණ දාගැබ බැඳවූහ. පසුකාලීනව නොයෙක් වැඩිදියුණු කිරීම් වලට ලක් වූ ඒ චෛත්‍ය රාජයාණන් වහන්සේයි අද දක්වා මහවැලි ගංතෙර බිම්තැන්නේ වැඩ සිටින්නේ. එදා බුදුරදුන් සියැසින් දැකගෙන බණ අසා ගත් යක්ෂයින්ගෙන් පැවතෙන පරම්පරාවල්ය අද හූරා, කැකුලා කියමින් පොරෝ කෙටියක් කරේ තබාගෙන දෙස්-විදෙස් සංචාරකයින්ට අත පාන්නේ.

කැළණි විහාරස්ථානය රාත්‍රියට විදුලි ආලෝකයෙන් බබලන අයුරු...
බුදුරජාණන් වහන්සේ එදා දුරුතු පෝ දින ලක්දිව නැගෙනහිර පෙදෙසේ මාවැලි ගඟ අසබඩ පිහිටි මහියංගනයට වැඩම කළ නමුදු අද දුරුතු පෝ දින සිංහලයින් වැඩි වශයෙන් ඇදෙන්නේ බස්නාහිර පෙදෙසේ පිහිටි, සම්බුදු හිමි පාපහස ලත්, වෙනත් විහාරස්ථානයකටයි. ඒ කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි රජමහා විහාරස්ථානයයි. වාර්ෂිකව පැවැත්වෙන කැළණි මහා පෙරහැර මංගල්‍යය පැවැත්වෙන්නේ දුරුතු මාසයේදීය. "උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ" යන ජන ගීය අදහන සිංහලයෝ වසරේ මුල්ම පෝය ලෙස සැළකෙන දුරුතු පෝ දිනට කැළණියට එක් රැස්ව බොහෝ පින් සහ බොහෝ පව් රැස් කර ගනිති.

මේ පොහෝ දින මේ අය පව් නොව පින් රැස් කර ගනීවා !

Thursday, January 17, 2013

The Next Ambition

පහත ඉදිරිපත් කෙරෙන කතාව, අප සහභාගී වූ උත්සවයක ප්‍රධාන දේශනය කළ දක්ෂ දේශීය ව්‍යාපාරික මහතෙක් විසින් සඳහන් කළ සත්‍ය සිද්ධියක්. කතාවේ ස්වභාවය අනුව මෙය 'විනෝද සමයම' යටතේ පල කළ හැකි වුවත් එසේ නොකරන්නේ මෙය සත්‍ය සිද්ධියක් වන නිසාම පමණක් නොවෙයි; එය සිනාසී ඉවත දැමිය හැකි හුදු විහිළු කතාවක් පමණක් නොවන නිසයි. මේ කතාවෙන් නූතන සමාජයේ තරුණ තරුණියන්ගේ ආකල්ප ගැන ඉඟියක් කෙරෙන අතර ඒ ආකල්ප අපේ සමාජයේ ප්‍රගමනය කෙරේ දක්වන බලපෑම ගැන කතිකාවතක් ඇති කිරීමට හේතු වේයැයි සිතමි.

මනාව හැඳ පැළඳ ගත් හුරුබුහුටි තරුණියක් කඩිසර ගමනින් ශාලාවට ඇතුල් වූවාය. පරීක්ෂක මණ්ඩලය සිසාරා කෝමල බැල්මක් හෙළූ ඈ සියළු දෙනාටම සුබ උදෑසනක් පැතුවාය. පෙරලා තමන් වෙත සුබ පැතුම් එක් කළ පරීක්ෂක මණ්ඩලයෙන් ලද ආරාධනය මත පැනවුනු අසුනේ හිඳ ගත් ඈ තමන් වෙත යොමු වන සියළු ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු සැපයීමට සමත් විය.

තනතුරට අවශ්‍ය සුදුසුකම් සියල්ල ඇය විසින් සපුරා ඇති බව පෙනෙන්නට තිබිණි. පරීක්ෂක මණ්ඩලයේ සියළු දෙනා ඈ ගැන තෘප්තිමත් බව ඔවුන්ගේ සිනාමුසු මුහුණු ශාක්‍ෂි දැරීය. මේ මොහොතේ සමාගමේ විධායක අධ්‍යක්ෂ සිය කටහඬ අවදි කළේය.
අධ්‍යක්ෂක: Okay, think you have been selected for this position, what is your next ambition? (සිතන්න ඔබ මේ තනතුරට බඳවා ගත්තා කියා, ඔබේ මීළඟ අභිප්‍රාය කුමක්ද?) ඔහු ඇසුවේය.

අපේක්ෂිකාව: An MBA ! (ව්‍යාපාර කළමනාකරණ පිලිබඳ පශ්චාත් උපාධියක්‌!) කිසි තිගැස්මක් නැතිව පිළිතුර ගලා ආයේය.

මේ පිළිතුර අධ්‍යක්ෂවරයා පුදුමයට පත් කළ බව පෙනිණි.

අධ්‍යක්ෂක: You have just completed your first degree, have no experience in this field at all. Why do you want an MBA ? (ඔබ ඔබේ ප්‍රථම උපාධිය සම්පූර්ණ කළා පමණයි. ඔබට මේ ක්ෂේත්‍රයේ කිසි අත්දැකීමක් නෑ, දැන්ම ඇයි ව්‍යාපාර කළමනාකරණය ගැන සිතන්නේ?) ඔහු ඊළඟ ප්‍රශ්නය ඉදිරිපත් කළේය.

අපේක්ෂිකාව: to climb the career ladder ! (වෘත්තීය හිණිමග නැගීමට !)
...
ඇය වෙන තැනක රැකියාවක් කරන බව අපට පසුව ආරංචි විය.

ප.ලි.: මේ කතාවේ සිරස්තලය සහ දෙබස් ඉංගිරිසි බසින් යොදා ඇත්තේ ඉහත සම්මුඛ පරීක්ෂණය ඒ භාෂාවෙන් පැවති බැවිනි. දේශකයා සඳහන් කළ දෙය එලෙසම උපුටා දැක්වීමට හැකියාවක් නැතත් හැකි සෑම අයුරින්ම එතුමාගේ අදහසට සමීප වන ලෙස වචන තෝරා ගැනීමට සැළකිලිමත් වීමි.

Friday, January 11, 2013

නීතිය ඉදිරියේ සියල්ලෝම සමානයෝය

පෙරවදන: සකල දඹදිව දිග් විජය කළ අශෝක අධිරාජ්‍යයා බෞද්ධයෙකු බවට පත් වූ ආකාරය දහම් පාසැල් යන කුඩා දරුවෙකු පවා දනී. එහෙත් ඔබ දැන් කියවීමට සැරසෙන කතාව වෙනස් ය. මතකයේ මුල්ලක බොහෝ කාලයක් තිබුණු මේ කතාව දැන් සිහි වීමට හේතුව කාලීන වාතාවරණයයි.

මෙය චීන ජාතික ෆාහියන් භික්ෂුවගේ කතාවක් බව යන්තම් මතක තිබුනත් නිවැරදි මූලාශ්‍රය නොදක්වා ලිවීම නොමැනවැයි සිතා පොත් ගුල ඇවිස්සීමි. සොයන්නාට සම්භ වේ කියන කතාවේ ඇත්තක් තිබේ! පහත කතා ප්‍රවෘත්තිය උපුටා ගැනෙන්ණේ ඩේවිඩ් කරුණාරත්න ශූරින්ගේ රචනාවකිනි. මේ කතාව අඩංගු ග්‍රන්ථය ප්‍රකාශයට පත් වී ඇත්තේ මීට සැට වසරකට පමණ පෙරාතුවය. කරුණාරත්න ශූරින්ට කරන ගෞරවයක් ලෙස කතාවේ කිසි වෙනසක් නොකර ඒ අයුරින්ම ඉදිරිපත් කෙරේ.


කාලිංග කලි කලහයෙන් කැලැල් ලත් චණ්ඩාශෝක රජු පාටලීපුත්‍ර නගරයෙහි නරකයක් ඉදි කරවීය. තියුණු වධ බන්ධන සහිත මේ නරකාවාටය ඉදි කොට ඊට නරකාධිපති කෙනෙකු සොයන අසෝකයන් හට මඩ කඩිත්තක් ළඟදී දිනක් මිනිසෙකු හමු විය. ඔහුගේ සිරුර කළුය. දළ දඬුය. හිසකේ රතුය. නෙත් පිඟුවන්ය. ඔහු දිය කඩිත්තට පය දමා දෙපයේ නියපොතු වලින් දැවැන්ත මත්‍යසයන් මර මරා, එම මසුන් මිරි මිරියේ මැරී මැරී මිරිකෙන තාලයට සිවුරු හඬ ලමින්, ඒ හඬ අසා ලඟට එන පක්ෂීන් ගලින් ගසා මරා ලේ උරා බී හපය අසලින් යන එන අය දෙසට දමා ගසමින්-විනෝද වෙමින් සිටියේ ය. නරකාධිපතියෙකු සොය සොයා සිටි අශෝක අධිරාජයාට නියම මිනිසා මුණ ගැසුණු බව වැටහිණ. එහෙයින් අශෝක රජු දුෂ්ටයන් ශිෂ්ට කිරීමේ වධකාගාරය නොහොත් යම පුරය මේ මිනිසා ගේ භාරයේ තැබූ බව හියූ එං සියං ගේ භ්‍රමණ වෘත්තාන්තය කියන්නේ ය.

පළමු කොට ම මේ නරකයට යවනු ලැබුයේ (අද දින රජාපරාධකාරයන් හෝ චෝදනා ලද වැරදි කරුවන් බන්ධනාගාරයට යවන්නාක් මෙන්) වරද කළ මිනිසුන් පමණක් වුව ද, මනුෂ්‍ය වධය සෙල්ලමක් කොට සැළකූ අසෝක රජු නරකාධිකාරිනට රහසින් ඉඟි කොට, එ මාර්ගයෙන් යන කවර නරයෙකුට වුව ද මාර බන්ධනය පුද කරන්නට නියම කළ බව පාහියන් ගේ ගමන් විස්තරය කියන්නේ ය.

මේ කාලයේ අශෝක රජු චණ්ඩාශෝක නමින් ප්‍රකට විය. අටානූවක් සොහොයුරන් ගේ ගෙළ ලෝහිතයෙන් සන්තර්පිත වූ හෙතෙම රුධිර පිපාසායෙන් තව තවත් පිඩිත වූ සේ පෙනිණි.

"නරකය ඇතුලත දර්ශනීය මල් පල ඇති ගස් මවා-වවා-මහජනයාට එය ඇතුළට එන්නට පෙළඹවිය යුතුයි. එසේ ආ විට ඒ එන හැම කෙනෙකුම මැරිය යුතුයි" යනුවෙන් චණ්ඩාශෝක රජු එක් දවසක් නරකාධිපතියාට නියෝග කළේය.

"මා ආවත් පසු බට නොව ව ! මටත් මරණ වධය දෙව යි!" චණ්ඩාශෝකයෝ එදා විහිළුවට මෙන් වැඩි දුරටත් පැවසුවේ ය. එසේ කීවේ, උස් මිටි කම් නොබලා කා හට වුව ද සම ලෙස දඬුවම් දිය යුතු බව සැලැකැවීම සඳහා ය. එහෙත්-

"හොඳයි හොඳයි!" යන්නෙන් නරක පාලකයා හිස බැමවූයේ හොඳ හිතකින් නො වේ. මාරක චේතනාවෙනි.

එක් දිනක් පිඬු සිඟා වඩිනා භික්ෂූන් වහන්සේ නමක් නරකය ලඟින් ගමන් කරන කල්හි යමපල්ලා උන් වහන්සේ අල්ලා නරකය ඇතුළට ගෙන ගොස් මරණ වධයට සැරසුණේය. එහෙත් එහි සෙසු නරයන් හට දෙනු ලැබූ මරණ වධය ගැන සැලකූ හික්ෂූන් වහන්සේ මරනානුස්මෘතිය වඩා රහත් වී අහසේ පලක් බැඳ වැඩ සිටියහ. වෙනෙකෙකු නොව යමයා ම මෙයින් මවිතයට පත් වූයේ "මේ ආශ්චර්යය බලනු පිණිස එනු මැනවැ!" යි අශෝක රජුට ද දන්වා යැවූයේ ය.අශෝක රාජයා පැමිණියේ ය.

"සමාවන්න දේවයිනි!" යි කියමින් යමරජු කෙටේරිය අතට ගත්තේ ය.

"මග යන එන මහජනයා මුළාවෙන් පොළඹවා නරකය ඇතුළට ගෙන මරණ වධය දෙන්නට ඔබ මට අණ කෙළෙහි ය. ඔබ වහන්සේ පැමිණිය ද මරණ වධය ඔබ වහන්සේට ද දිය යුතුය යි එදා ඔබ වහන්සේ කළ නියෝගය එපරිද්දෙන් ම ඉටු කරන්නෙමි. දැන් ඉතින් ඊට සැරසෙනු මැනවැ" යි යම රජු තෙමේ දත විලිස්සා බැලුවේ ය.

ස්වකිය මරණ වරෙන්තුව කිය වූ යමයා දෙස අශෝකයන් බැලුවේ නො මඳ විස්මයෙනි. එහෙත් දෙතිස් දළයම විලිස්සූ යම තෙමේ කෙටේරිය එසෙව්වේ ය. දැන් දස දහසක් නරයන්ගේ හිස් කඳින් සුනු කොට සැනැහුණු යමයාගේ කෙටේරියේ තලය, ඔසවා ගත් අතෙහි ලෙල දෙන්නේ ය. බැබලෙන්නේ ය.

අශෝක රජු මොහොතක් කල්පනා කළේ ය. "වන්නාටය! නීතිය මා සම්බන්ධයෙන් වෙනස් නොවිය යුතුවාක්‌ මෙන් ම තා සම්බන්ධයෙන් ද වෙනස් නොවිය යුතුය!" කියමින් අශෝක රජු යමයා ගේ කෙටේරිය නිමේෂයකින් සිය අතට ගත්තේ ය.

"මා පැමිණීමට පෙර පටන් තා මේ නරකයෙහි සිටියෙහි ය. තා පළමුකොට මැරිය යුතුය" යි කියමින් එක පහරින් අශෝක රජු යමයා මරා දමා එම මාරක යම පුරයත් එතැනින් ම වසා දැම්මේ ය. එදා ඒ දාමරික ක්‍රියාවෙන් පසු, එතකලුත්, අහසේ පලක් බැඳ වැඩ හුන් මහරහතන් වහන්සේ ගෙන් බණ අසා පැහැදුණු චණ්ඩාශෝකයන් එදා බුඬ භක්තිකයෙකු වී එවක්‌ පටන් ධර්මාශෝක වන්නට පටන් ගත් බවත්, දාමරිකයන් මරණ වධයෙන් නැතිකරනුවට වඩා අහිංසා ධර්මයෙන් ලෝක විජය කිරීම උත්තරීතර බව වටහා ගත් බවත්, මේ විස්මය ජනක පුරාවෘත්තය කියන්නේ ය.


සාමාන්‍යයෙන් ශ්‍රී ලංකික අප අසා ඇති කතාවේ අශෝක අධිරාජ්‍යයා බුදු දහම වැළඳ ගන්නේ සත් හැවිරිදි සාමණේර නමකගේ ඉන්ද්‍රිය ප්‍රසන්න භාවය ගැනත්, උන් වන්සේගේ ධර්ම විශාරද භාවය ගැනත් පැහැදීමෙනි. ඒ සාමණේරයෝ අශෝකයන් විසින් ඝාතනය කරන ලද තමන්ගේම සොහොයුරෙකුගේ පුත්‍රයෙකි. චීන කතාවේ සාමණේරයන් වහන්සේ නමක් නැත.

මේ කතාවේ වැදගත්ම අංගය යම රජු හෙවත් නරකාදි පාලකයාගේ ක්ෂණික නැගීම හා කඩා වැටීමයි. අද ලංකාවේ සිදු වන්නේත් මේ දේ නොවේ යැයි කාට නම් කිව හැකිද?

Friday, January 4, 2013

ලම්බෝර්ජිනී සහ රේල්ලුව


පුතණ්ඩියගෙ හිතේනම් රට යන්න කිසි කැමැත්තක් තිබුණේ නෑ. ඒත් මේ යන විදියටත් මුගේ දාංගලේ හැටියටත් කොහෙන් ගිහිං කොහේ නතර වෙයිද කියන්න බැරි නිසා අපුච්චා පුතණ්ඩියව රට පැටෙව්වේ වැඩිදුර ඉගෙන ගන්න යන බවට රට්ටුන්ට බොරු කියලා.

සතියකින් මෙන්න එනවා රට ලියුමක්. ලියුමක් කිව්වට email එකක්. අපුච්චා ඕව කියවන්න දන්න එකක්යැ. ඒවාට තමා ලේකම්ලා ඉන්නේ.

ආදර පියේ,
ලන්ඩන් නම් පට්ට ආතල්, ලංකාව වගේ පීචං නෑ, සිරා බඩු. දවසක් දෙකක් ගියා මට වැඩ ටික අල්ලා ගන්න, දැන්නම් ඔක්කොම හොයා ගත්තා. මම මෙහෙට කැමතියි, මං ගැන බය වෙන්න එපා.
පූංචි අවුලකට තියෙන්නේ මම විතරක් ලම්බෝර්ජිනි එකේ එනනකොට, අනිත් උන් ඔක්කොම එන්නේ රේල්ලුවේ. මට නිකං අවුල් වගේ. වෙනනම් කිසි ප්‍රශ්නයක් නෑ.

මීට,
සුදු පුතා.
අපුච්චා පොළොවේ අඩි හැප්පුවා... එහෙම ලජ්ජා වෙන්න දෙන්න පුළුවන්ද මගේ කොල්ලට, එයා තමන්ටම මුණු මුණු ගා ගත්තා.

"ලියපන් මෙහෙම!"

ගෝරනාඩුව අහපු ලේකමා ගැහි ගැහි ලියන්න ගත්තා.
ආදර සුදු පුතා වෙත ලියා දන්වන වගනම්,

උඹේ ලියමන අම්මයි මායි කියවා බොහෝ දුක් උනෙමු. අපේ පරම්පරාවේ එකෙක්වත් කිසි දේකට ඔහොම ලැජ්ජා වී නැත.
මම උඹේ නමට ලස්ස දෙසීයක් ඩොලර් වලින් දාන්නම් හෙටම, මොකෝ අපේ සල්ලියැ. උඹ වහාම ගිහිං ගනං වැඩිම තැනින් ගනිං රේල්ලුවක්, උඹේ නමටම, අපේ මූනේ දැලි නොගා.

උඹට රත්නත්තරේ සරණයි, කාලි දේව මෑණියන්නේම පිහිටයි.

මේ වගත් එසේම,
උඹේ ඩැඩී - හැඩි දැඩී
එහෙම ලියපු ලේකමා ඒ ලියමන තැපැල් කළා, ඒ කියන්නේ email එක send කළා.

Tuesday, January 1, 2013

2013 ට සුභ පැතුම්



සියළු දෙනාට සුභ නව වසරක් වේවා !

නව වසරේ දෙතිස් කතා දින දසුන මෙතැනින් ලබා ගන්න.