Monday, December 16, 2013

සත්කුළු පව් වළලු මතින්



මහාචාර්‍ය චන්දන ජයරත්න 'චක්‍රාවාටය' සොයා ගත් විද්‍යාඥයා බව අසන්නන්ට දැනෙන සේ රූපවාහිනියේ දේශන දීමට සමත්ය. එතුමාට අනුව බටහිර විද්‍යාඥයින් විසින් දැන් දැන් ප්‍රකාශ කෙරෙන්නේ තිලෝගුරු බුදු රජාණන් වහන්සේ විසින් මීට වසර දෙදහස් හයසියයකට පෙර බුදුනුවණින් අවබෝධ කර දෑමය. උන් වහන්සේ අවබෝධ කර ගත් ද්විසහස්සී ලෝක ධාතු, ත්‍රිසහස්සී ලෝකධාතු ඈ සංකීර්ණ දේ බටහිර විද්‍යාව විසින් තවම සොයාගෙන නැති බව කොළොඹ විශ්ව විද්‍යාලයේ භෞතිකවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්‍යවරයා අපට කියා දෙයි. උගත් මහාචාර්‍යතුමා කියන දේ හරිද? නැතිනම් බුදු දහම 'චක්‍රාවාට' ලෙස හඳුන්වන්නේ වෙනත් කිසිවක්ද?

මේ බෙරයක් පමණක්මද
සත්කුළුපව් වළලු මතින් ලොවට වඩින හිරු
සත් සමුදුරු වළලු දියෙන් කිමිද නහන හිරු
සත් රුවනින් කිරණ තනා එළිය ගෙනෙන හිරු
සිත් තුල ඇති අඳුර මකන් එළිය පිරුණ හිරු
ඒ පණ්ඩිත අමරදේවයන් විසින් ගැයෙන මියුරු ගීයක මුල් පද පෙළ.
සත්ගිරිකුළු හිස එපිටිං - සත්මහසමුදුර එපිටිං
සක්වල දේශය එපිටිං - එන වන බමරෝ, එන වන බමරෝ...
විශාරද ටී.ඇම් ජයරත්නයි එසේ ගයන්නේ.
සත් සමුදුරු තරණය කර ආවා
සත්කුළු පව් අතරින් දිව ආවා
තරු එළියෙන් පියවර මැන ආවා
ඔබව සොයා ආවා
මෙසේ ගයන්නී විශාරද නන්දා මාලිනිය.

ඉහත දැක්වූ සියළු ගීත වල කියැවෙන එක පොදු වස්තුවක් නම් සත්කුළුපව් සහ සත් සමුදුර වේ. සක්වල ගැන කියැවෙන බොහෝ තැන් වල සත්කුළුපව් සහ සත් සමුදුර ගැනද කියැවේ. සක්වල ගැන බොහෝ දේ කියන උගත් මහාචාර්‍යතුමා මේ ගැන නිහඬයි. සත්කුළුපව් යනු මොනවාද, ඒවා පිහිටියේ කොහිද? එසේම සත් සමුදුර යනු කුමක්ද, එය කොහි පිහිටියේද යන කරුණු ගැන මේ ලිපියෙන් මදක් විමසා බලමු.

Wednesday, December 11, 2013

සිරකරුවා අභාවප්‍රාප්ත විය



දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනපති ලෙස තේරී පත් වූ නෙල්සන් මැන්ඩෙලා මහතා වසර අනූපහක් ආයු වළඳා පසුගිය පස් වැනිදා පරලෝ සැපත් විය. දේහය පිලිබඳ අවසන් කටයුතු එළඹෙන පහළොස් වැනිදා ඔහුගේ වාස භූමිය වන 'කුනු' ගම්මානයේදී සිදු කෙරේ.

මළගෙදර ගිය ඇත්තෝ - සාදර අනුග්‍රහය සී.ඇන්.ඇන්.
ඔහු පිලිබඳ අන්තර්ජාලයේ බොහෝ ලිපි පල වූ මුත් අප මිතුරු ජොසෙෆ් විසින් රචනය කරන්නට යෙදුණු ලිපියක් අපගේ සිත් ගති. මේ ලිපිය සංස්කරණය කළ යුතුද නොයුතුද යනු බොහෝ කොටම කල්පනා කර අවසානයේ සංස්කරණය නොකරන්නට තීරණය කළෙමි. පහත දැක්වෙන්නේ ඔහුගේ එම ලිපියයි. එය දුලංජන් විජේසිංහ නම් ලේඛකයෙකු විසින් "මැන්ඩෙලාලාගේ සුසමාදර්ශය ...." නමින් යුතුකම සංවාද කවය නම් වෙබ් අඩවියේ පල කළ ලිපියකට කළ විවරණයකි. දුලංජන්ගේ ලිපිය වෙත ඉහත බැඳිය මතින් ගමන් කළ හැක.

මැන්ඩෙලා පුනරුත්ථාපනය කිරීම


හිටපු ත්‍රස්තවාදියෙකු වන අභාවප්‍රාප්ත නෙල්සන් මැන්ඩෙලා, දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති තුමා ගැන දුලන්ජන් විජේසිංහ මහතා කියන මේ කතාවේ ඇත්තක් පවතී. මේ කරුණ ඔහු අභාවප්‍රාප්ත වූ දින වලම ලිවීමට සිතුනු මුත් නොලියා සිටියේ මලගිය ප්‍රාණකාරයාට අපහාස කලැයි සමහරු චෝදනා කළ හැකි නිසාය.

Sunday, November 24, 2013

අලින්නේ අපේ කතා



කුරු අලි ගැන කතා පැරැන්නන් විසින් කියනු අප අසා ඇත. කුරු අලි යනු වෙනම විශේෂයක්ද නැතිනම් අදිසි ජාන වෙනසක් හේතුවෙන් කුරු වූ සාමාන්‍ය අලියෙක්මද යන ප්‍රශ්නය ඒ අයට යොමු කළොත් ලැබෙන පිළිතුර කුමක් විය හැකිදැයි අපට අදහසක් නැත.

කුරු අලි ගැන අපේ මතකය අලුත් කරන සේයා රුවක් අද දිවයිනේ පල වෙයි.

උඩවලව වනෝද්‍යානයෙන් ලොව ප්‍රථම කුරු අලියා මතුවෙයි


උඩවලව කුරුඅලියා
උඩවලවින් හමු වූ කුරුඅලියාගේ බව කියන සේයාරුව
සිරිලක ඇත් - අලි පරපුරේ කතාන්දරයට තවත් වටිනාකමක්‌ එක්‌කරමින් ලෝකයේ ප්‍රථම සත්‍ය කුරු අලියා සත්ත්ව ලෝකයට හඳුන්වා දීමට ද දැන් ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. ඒ උඩවලව ජාතික වනෝද්‍යානය තුළදීය. පසුගිය ජුලි මස 7 වැනිදා ප්‍රථම වතාවට ප්‍රවීණ වන සත්ත්ව ගවේෂකයකු වන රොහාන් විෙ-සිංහ මහතාගේ පූර්ණ හා මනා නිරීක්‍ෂණයට බඳුන් වුණු මෙම අසාමාන්‍ය හස්‌තියා ඉන්පසු ප්‍රවීණ අලි විශේෂඥයන් වන වෛද්‍ය පෘථිවිරාඡ් ප්‍රනාන්දු, නදීක හපුආරච්චි වැනි අයගේ පරීක්‍ෂාවට ද බඳුන් වී දැන් එය විද්‍යාත්මක තහවුරු කර ඇත්තේ විද්‍යා පර්යේෂණ සඟරාවක ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවය.

එනම්, ආසියානු අලින් පිළිබඳ සංගමයේ ප්‍රකාශනයක්‌ වන ගජා සඟරාවේ 38 (2013) 30-32 ඉකුත්දා ප්‍රකාශයට පත් කෙරිණි.
- ඒ දිවයින පුවත් පත.

දිවයින එසේ කීවත්, ඉන්දුනීසියාවට අයත් බෝනියෝ දූපතේ කුරු අලි විශේෂයක් වාසය කරති. බෝර්නියෝ පිග්මි අලි යන නමින් මුන් හැඳින්වේ. පහත දැක්වෙන ඵලකයේ මේ වර්ගීකරණය දැක්වේ.
ලෝකයේ ප්‍රධාන අලි වර්ග
අලි වර්ග

Sunday, November 17, 2013

දෙව්ලොවින් මනු ලොවට



පසුගිය ලිපි වලින් තිස්තුන්කෝටියක්‌ දෙවියන් යනු කවර දේව කොට්ඨාශයක්දැයි සාධක සොයා බැලුවෙමු; සාධක අනුව එක්තරා නිගමනයකට පැමිණියෙමු. මේ ලිපියෙන් ඒ ගැන තව දුරටත් විග්‍රහ කර ගැනීමත් සාධක ගලපා කතාවක් ගොඩ නංවා ගැනීමත් උත්සාහ කරමු.

ඒ කතාව ගොඩ නැංවීමට පෙර සිත්හි දරා ගත යුතු අදහසක් වෙයි. නා නා පෙදෙස් වල විසූ ජනයා ලෝකය මෙසේ වේ යැයි නා නා කතා ගෙතූහ. ලෝකය කවරාකාරදැයි ඒ ඒ සංස්කෘතීන්ට, ඒ ඒ ශිෂ්ඨාචාර වලට අනන්‍ය වූ ආවේනික හැඩයක් වෙයි. ලෝකයේ සම්භවය ගැනත් ලෝක විනාශය ගැනත් එවැනිම කතාන්තර වෙයි. නිදසුනක් ලෙස, පැරණි චීන්නු ලෝකය ගැන ගෙතූ කතාව පැරණි මිසරයින්, නැතිනම් ග්‍රීකයින් ඒ ගැන ගෙතූ කතාවට වඩා හාත්පසින්ම වෙනස් වේ. පැරණි ජම්බුද්වීපවාසීහු ද තමන්ට ආවේනික කතා කිහිපයක්ම ලෝකය ගැන ගොඩ නැගූහ. සිංහලයින් සතුව පවා එවැනි අදහස් නොතිබෙන්නට හේතුවක් නැත. සක්වල සිතියම, තාරකා දොරටුව වැනි හැඳින්වීම් විවිධ ගුරුකුල විසින් ලබා දෙන ලද, අනුරපුරයෙන් හමු වූ රේඛා සටහන ඇතැම් විටෙක මෙවැනි චිත්‍රයක් විය හැක.

තාරකා දොරටුවක් ද? සක්වල රූපයක් ද?

ලෝකය සහ පෘතුවිය

විශ්වය යනු ඉංගිරිසියෙන් Universe ය. ලෝකය World වේ. අප සිංහලෙන් ලෝකය හා පෘතුවිය (මහපොළොව≡පඨවිය) යන්න සමානාර්තයේ යොදා ගත්තත් මේ දෙක එකක් නොවේ. පෘතුවිය ඉංගිරිසියෙන් Earth ය. පෘතුවිය ගෝලාකාර බව සැබෑ වුවත් ලෝකය ගෝලාකාරද?

Wednesday, November 13, 2013

චෝංගං



කොල්ලයි බල්ලයි හැම එකාම මේ දිනවල කතා කරන මාතෘකාවක් ඇත. ඒ චෝංගංය. කාලෙන් කාලෙට එක එක තාලේ රැළි ඇවිත් යන මේ අබුද්දස්ස කාලේ මේ මොන විලම්බිතයක්ද රාළේ කියා බැලූ විට දැන ගන්නට ලැබුණේ චෝංගං, චෝංගං කියා කියන්නේ CHOGM ලෙස ඉංගිරිසියෙන් කෙටි කර හඳුන්වන පොදුරාජ්‍යමණ්ඩල රාජ්‍යනායක සම්මේලනයට බවය.

ඒකෙත් හැටි...

චෝංගං හංවඩුව ගැසූ දැන්වීම නිල වෙබ් අඩවියෙන්
අපි අද චෝංගං ගැන කතා කරමු. ඒත්, සියල්ලට පළමුව වචනයක් කිව යුතුමය. CHOGM ගැන දැන ගැනීමට කැමති අයවළුන් මේ හන්දියෙන් හැරී යා යුතුය. ඒ ගැන ඉගෙන ගැනීමට නොව, ඒ ගැන අප කියන දේ දැන ගැනීමට කැමති අය පමණක් කතාවේ ඉතිරි හරිය කියවිය යුතුය. මේ වනාහී දෙතිස් කතායැ.

Wednesday, November 6, 2013

හස්තිරාජ වර්ණනාව



කුලාවක ජාතකයේ දැක්වෙන මඝ මානවක කතාව පසුගිය ලිපියෙන් කියැවීමු. බෝසත් මඝ මානවකයා ඔහුගේ භාර්‍යාවන් සිව්දෙනා සහ ඔහුගේ පිරිවර දෙතිස් දෙනා දිවා රෑ පින් වැඩෙන මහා පිංකම් කොට තව්තිසා දෙව්ලොව මහේසාක්‍ය දිව්‍ය රාජයන්ව උපන් අයුරු ඒ කතාවෙන් පැහැදිලි කෙරේ.

තව්තිසා දෙව් ලොව උපන් ඒ උතුමා සුරා පානයට ලොල් වූ දේවතාවන් පිරිසක් තම පිරිවර සහය කොටගෙන තව්තිසාවෙන් පළවා හැරි ආකාරයත්, ඒ දෙව් ලොවින් පහළට ඇද වැටුණු දෙවියන් 'අසුරයින්' බවට පත් වුණු ආකාරයත්, අනතුරුව ඇති වූ සුරාසුර යුද්ධය පිළිබඳවත් ඒ කතාවේ ඊළඟ කොටසින් කියැවේ. එය මෙතැනින් කියැවිය හැක. මෙකී සුරාසුර යුද්ධයයි ධජග්ග සූත්‍රයට පසුබිම් වන්නේ.

සක් දෙවිඳු ඇතුළු ප්‍රධානම දෙවියෝ

ධජග්ග සූත්‍රයේ මෙසේ එයි.
මහණෙනි, පෙරවූදෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ට (මෙසේ) කථාකර කීවේය: ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේනම්, එකල මාගේ මේ කොඩිය බලව් මාගේ කොඩිය බලන්නාවූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්‍රජාපති දේව රාජයාගේ කොඩිය බලව්. ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

ඉදින් ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජුහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම් අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේද, එය නැතිවන්නේය.

Friday, November 1, 2013

මඝ මානවක කතා



තිස්තුන් කෝටියක්‌ දෙවියන් ගැන අසා නැති කෙනෙක් ලංකාවේ සිටීයැයි නොසිතමි. තිස්තුන් කෝටියක්‌ දෙවියන් යනු කවරහුද? දෙවියන් තිස් තුන් කෝටියක්‌ වූයේ කෙසේද? දෙවියන් තිස්තුන් කෝටියට වඩා වැඩි විය නොහැකිද? බුද්ධ කාලයේත් තිස්තුන් කෝටියක් දෙවියන් සිටියාද? දැනුත් ඉන්නේ තිස්තුන් කෝටියක්මද? ආදී පැන කුඩා කළ සිට ඕනෑම කෙනෙකුට වද දුන් ප්‍රශ්න වේ. අද පවා මිත්‍යාදෘෂ්ඨිකයින් මෙවැනි පැන වලින් අපට දමා ගසන අවස්ථා ඇත. ඒ නිසා තිස්තුන් කෝටියක් දෙවියන් ගැන මදක් සොයා බලමු.

තිස්තුන් කෝටියක්‌ දෙවියන් ගැන එක වරටම සොයා බැලීම පහසු නැත. එහෙත් කොතැනින් හෝ ආරම්භය ලබා ගත යුතුය. ඒ නිසා අප දහම් පාසැලේදී ඉගෙන ගත් බෝධිසත්වයන් වහන්සේගේ කතාවකින් ආරම්භ කරමු.

මඝ මානවක කතාව

යටගිය දවස මගධරට රජගහනුවර මගධ රජ්ජුරු කෙණෙක් රාජ්‍යය කරන්නාහුය. එසමයෙහි පුරණලද බෝධිසම්භාර ඇති අප මහා බෝසතානෝ යම්සේ දැන් ශක්‍රදේවේනද්‍රයෝ පූර්වාත්ම භාවයෙහි මගධරට මචල ග්‍රාමයෙහි උපන්නාහු ද එපරිද්දෙන්ම ඒ මවල ග්‍රාමයෙහි මහාසම්පත් ඇති කුලයක පුත්‍රව උපන්නාහුය. ඔවුන්ට නම් තබන දවස් මඝ කුමාරයෝ යයි කියා නම් තුබූය. බෝධිසත්වයෝ වැඩිවිය පැමිණ මඝ මානවකයෝ යයි මෙනමින් ප්‍රසිද්ධ විය. ඉක්බිත්තෙන් උන්ගේ දෙමව්පියයෝ සමජාති ඇති කුලයකින් කුමාරිකාවක් ගෙණවුත් පාවාදුන්නේය. ඒ බෝධිසත්වයෝ දුදරුවන් හා සමග වර්ධනය වෙමින් දානපති වූහ. නිරන්තරයෙන් පඤචසීලය රක්ෂා කෙරෙති, එකල ඒ ගම ගෙවල් තිසෙක් වන්නේය. ඒ තිසක් පමණ මනුෂයෝ එක්දවසක් ගම මධ්‍යයෙහි සිට කර්මාන්ත කරන්නාහුය. බෝධි සත්වයෝ සිටිතැන පයින් වැලි පීරා කසල ඉවත් කොට ඒ ප්‍රදේශය සිත්කළු කොට සිටියාහුය. එකල අනිකෙක් අවුත් එතැන්හි සිටියේය. බෝධිසත්වයෝ අනික් තෙනක් කසල හැර සිත්කළු කොට සිටියාහුය. එතැන්හී අනිකෙක් අවුත් සිටියේය. බෝධිසත්වයෝ නැවත අන්තෙනක නැවත අන්තෙනකයයි සියල්ලවුන්ම සිටිතැන් සිත්කළු කොට මෑතභාගයෙහි එතන මණ්ඩපයක් කරවූහ. පසුව මණ්ඩපයත් හැර ශාලාවක් කරවූහ. ඒ ශාලාවෙහි සැතපෙන්ට පෝරු අතුට පින් පැන්සලක් තැබ්බවූය. මෑතභාගයෙහි ඒ ගම්වැසියෝ දෙතිස් දෙනෙක් බෝධිසත්වයන් හා එක්වූහ.

Sunday, October 20, 2013

නීතිඥ මහතාගේ ආධාරය



ලංකාවේ දේශපාලනඥයන් වැඩි දෙනෙක් නීතිඥයන් වෙන්නේ මක් නිසාද කියා මොහොතකටවත් සිතුවාද?

මේ අය රැකියාව වශයෙන් ඒ වෘත්තියේ යෙදුනත් නැතත් සුදුසුකමක් වශයෙන් නීති විභාගය සමත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීමට එය අතවශ්‍ය වන නිසාම නොවේ. බරහිර රටවල නම් මන්ත්‍රීවරු නීති සම්පාදනයේ යෙදුනත්, ලංකාවේ මන්ත්‍රීවරුන්ගේ කාර්‍යභාරය අත එසවීමෙන් ඔබ්බට ගමන් නොකරන බැවිනුත්, ඒ අත එසවෙන්නේත් තමන්ගේ හෘදය ශාක්ෂිය අනුව නොව පක්‍ෂ තීන්දුව අනුව වන බැවිනුත් .......... මේ ගැන කතා කරයි නම් බොහෝ දේ කතා කළ හැක.

ඒ නිසා මන්ත්‍රී වරු පසෙක තබා නීතිඥවරු ගැන කතා කරමු.

නීතිඥ මහතාගේ ආධාරය

දැන් කාලේ දායක සභාවල් උනත් හරිම දියුණුයි. භාවිතා කරන්නේ පරිගණක තාක්‍ෂණය. දායකයින්ට පන්සල් එන්න වෙලාවක්වත් නැති මේ කාලේ දායක සභාව දායකය වෙතට යන එක තමයි නිවැරදි ක්‍රමය කියල එයාලට හිතෙන්න ඇති. අනිත් එක, පන්සල් පවා වෙනස් වෙලා ස්වාමින් වහන්සේලා සීලය පරදුවට තියලා පේස්-බුකියේ ඔට්ටු සෙල්ලං කරන මේ අබුද්දස්ස කාලේ දායක සභාවල් ගැන කවර කතාවක්ද !

අපේ පන්සලෙත් දායක සභාව වාර්ෂික අය වැය වාර්තාව සපයන්න කලින් හොයල බලනවා එක එක දායකයා කොහොමද ආධාර කරලා තියෙන්නේ, පහුගිය අවුරුද්දට කී පාරක්, කීයක් ආධාර කරලා තියෙනවද... කියලා. ඔන්න එහෙම පරීක්‍ෂා කරලා බලන භාණ්ඩාගාරිකතුමාට පරිගණක දිව්‍යරාජයා පෙන්නුම් කරනවා ප්‍රදේශයේ ලොකුම නමගිය නීතිඥ මහත්තයා සත පහකින්වත් ආධාර කරලා නෑ කියලා.

Sunday, September 22, 2013

අමා පැන් දන්සැල අවසන්



දෙතිස් කතා කියවන අප මිතුරන්ගේ උදව්වෙන් සකස් කර ගත් පොත් ලැයිස්තුව අනුව මිලදී ගත් පොත් ප්‍රමාණයක් හිතවතුන්, මිතුරන් හා පවුලේ අයගේ දායකත්වයෙන් තවත් තර කර දහම් අමා පැන් දන්සැල මේ මස 22 වෙනි දින අවසන් කෙරිණි. ඒ පිලිබඳ ලිපියක් දෙතිස් කතාහි පල වේ.

අප කළේ කුමක්ද ? ඉදිරිය කෙසේ වේද ?


පැරණි සම්භාව්‍ය ග්‍රන්ථ වන මහාවංශය, පූජාවලිය හා සද්ධර්මාලංකාරය දවටන යෙදීමට පෙර
මහාවංශය, පූජාවලිය හා සද්ධර්මාලංකාරය
"දහම් අමා පැන් දන්සැල" වනාහි එක් සිතක පහල වූ කුඩා සිතුවිල්ලකි. එය ලක්‍ෂ ගණනින් වැය කොට කෙරුණු මහා පිංකමක් නොවේ. එකාවන්ව සිතන සිත් කිහිපයක උදව්වෙන් එකතු කර ගත් පොත් සියයක් පමණ ඉතා දුර බැහැර විහාරස්ථානයකට ගෙන ගොස් බාරදිමකි එය. මූලික අභිප්‍රාය, එනම් පොත්, සඳහා සියලු අවධානය යොමු කෙරුණු බැවින් අනවශ්‍ය අමතර සැරසිළි හා ආටෝප වියදම් නැත. පොත් වල මුළු වටිනාකම රුපියල් 23,000 පමණ වූ අතර ප්‍රවාහන වියදම රුපියල් 5000 පමණ වූයේ පොත් නිසාම නොව මේ පිංකමට දායක වූ අයද රැගෙන යා යුතු නිසාය. එහෙත් ඉන්ධන වියදම පමණක් දරා දින දෙකකට වෑන් රථයක් ලබා ගැනීමට හැකි වීම නිසා එකී වියදම මෙතෙකින් සීමා විය.

එයට අමතරව, ඒ ගමේ අය විසින් අපට බරක් නොපටවා සංවිධානය කෙරුණු ශ්‍රමදානයක් විය. ඒ ශ්‍රමදානයේ යෙදුනු පිරිසට නොයෙක් රසකැවිලි සහිත තේ පැන් සංග්‍රහයත්, මේ උත්සවය සඳහා වෙනත් විහාරස්ථාන වලින් වැඩම කරන්නට යෙදුනු සංඝයා වහන්සේලා උදෙසා දහවල් දානය හා බුද්ධ පූජාවත් සංවිධානය කිරීමට අපට හැකි විය. එසේම ඒ ස්වාමින් වහන්සේලාගේ ප්‍රවාහන වියදම් ද අප විසින්ම දරන්නට යෙදුණේ සුළු හෝ අඩුපාඩුවක් නොවීම පිණිසය. සෑම පෝ දිනකම විහාරස්ථානයට බුදුසරණ පත්‍රය තැපැල් මගින් ලැබීමට මේ වන විට කටයුතු සළස්වා ඇති අතර, මේ වන විට තරමක් අක්‍රිය වී ඇති දායක සභාව නැවත පණපොවා මේ පරිත්‍යාගය සම්පූර්ණ පුස්තකාලයක් බවට පරිවර්තනය කරවාගෙන එය පරිපාලනය කිරීම පිණිස මේ දින වල කටයුතු කරගෙන යමු.

එසේම මේ කටයුත්තට සහභාගී වීමට පැමිණි සංඝයා වහන්සේලාගේ ඉල්ලීම වූයේ මේ කටයුත්ත වාර්ෂිකව කරගෙන යන ලෙසයි. හැකියාවක් ලැබෙතොත් ඒ ගැනත් අනාගතයේ සළකා බලමු. උන් වහන්සේලාගෙන් ලැබුණු එක විහාරස්ථානයක විස්තර අප සතුව පවතී. කෙනෙක් අපෙන් ස්වාධීනව යමක් කිරීමට කැමැත්තේනම් ඒ විස්තර ලබා දීමට අප සූදානම්.

මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට අපට උපකාර කළ සැමට පුණ්‍යානුමෝදනා කරමු. සැමට තෙරුවන් සරණයි !

Thursday, September 19, 2013

බොරු කීම පාපයක්



මේ කුක්කා කාගේද
ඩයස් පියතුමා ගැන නොදන්න ළමයෙක් නෑ, ඒ තරමට එතුමා ළමයින් අතර හරි ජනප්‍රියයි !

කොච්චර ජනප්‍රියද කියනවනම්, පාරේ සෙල්ලම් කරන ළමයි එතුමා දුර එනකොට ඉක්මනට හැංගෙනවා. හැංගිමුත්තන් සෙල්ලම නෙවෙයි, එතුමාගේ දේශනාවක් අනිවාර්යයෙන් ලැබෙන නිසා.

එතුමාගේ දේශනා ගම් ගානක ප්‍රසිද්ධයි. ඉරිදා උදේට එතුමා පූජාව පවත්වනකොට දේව මන්දිරය පුරවල සෙනග. මහළු උදවිය එතුමාගේ දේශනාවට කැමති කාගෙන්වත්වත් හිරිහැරයක් නැතිව නිදා ගන්න ලැබෙන නිසා කියලයි ඒ පූජාවට සහභාගී නොවන ඈයෝ කියන්නේ. ඒත් ඕව කඩාකප්පල් කාරයින්ගේ කතා... ඒ මිනිස්සු කොහොමද ඒක කියන්නේ එක දවසක්වත් පූජාවට සහභාගී වෙන්නැතුව.

මේ කියන්න යන්නේ ඩයස් පියතුමා දවසක් ළමයි රංචුවක් එක්ක ඇති කර ගත් කතාවක් ගැන.

Thursday, September 5, 2013

දැන්වීම් දෙකක් (අලුත් කළා)

අපිට පොත් ලැයිස්තුවක් හදා ගන්න ඕනේ අර වගේ අමා පැන් දන්සැලකට. වෙනත් වචනයකින් කියනවනම්, පොත් ගුලකට. දැනට දෙන්න වැඩි විස්තරයක් නම් නෑ. සාමාන්‍ය ගැමි ජනතාව එක් රොක් වන කොළඹින් ඉතා දුර බැහැර විහාරස්ථානයකට තමයි මේ පොත් යන්නේ.
ඒ මීට තුන් මාසයකට පමණ පෙර දෙතිස් කතා වල ලියැවුණු කතාවක්.

මේ දැන්වීම් දෙකත් පොත් ගැනමයි. ඒ අමාපැන් දන්සැල ගැන වැඩි විස්තර සපයන්නයි මේ සූදානම. ඊට පෙර වෙන දැනුම් දීමක් තියෙනවා කරන්න.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය


මේ සාහිත්‍ය මාසයයි.

බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව. මුලාශ්‍රය: bmich.gov.lk
වාර්ෂිකව පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙම මස 14 වන සෙනසුරාදා සිට 22 වන ඉරුදින දක්වා අඛණ්ඩව දින නවයක් පෙ.ව. 9:00 සිට ප.ව. 9:00 දක්වා බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ.

පොත් වලට කැමති අකැමති සියලු දෙනාටම වසරකට වරක් වට්ටම් සහිතව පොත් ලබා ගැනීමට ලැබෙන මේ අවස්තාව ප්‍රයෝජනයට ගැනීමට කෙරෙන ආරාධනයයි මේ.

Tuesday, August 20, 2013

වචන දහසකට වඩා ...

අද නිකිණි පුර පසළොස්වක පෝය දිනය. මේ වර්ෂයේ මහපෙරහැර, එනම් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා පෙරහැර නිකිණි පෝ දිනය ආශ්‍රිතව පැවැත්වෙයි. ඊට අමතරව තව බොහෝ කරුණු මේ පෝ දිනය ආශ්‍රය කරගෙන සිදු වී ඇත. ඒ ගැන වැඩි විස්තර මෙතැනින් කියවමු.

වචන දහසකින් කිව නොහැකි දේ එක පින්තූරයකින් කිව හැකියි


කපුටාගේ කතාව...
වචන දහසකින් හෝ කිව නොහැකි දේ එක පින්තූරයකින් කිව හැකි බවට ජනප්‍රිය කතාවක් පවතියි. ඒ කතාව විශේෂයෙන් ජනමාධ්‍යවේදීන් අතර ජනප්‍රිය බැවින් පොදු ජනයා අතරත් ප්‍රචලිතය. ඉහත දැක්වෙන්නේ අප විසින් ගන්නා ලද ඡායාරූපයකි. ඒ කතාව සත්‍යනම් මේ ඡායාරූපයෙන් කියවෙන්නේ කුමක්දැයි වචන දහසක් යොදාගෙන හෝ විස්තර කළ හැකිද ?

Tuesday, August 13, 2013

බ්‍රසීලයේ වෙළෙන්දා



බ්‍රසීලය වනාහී වර්ග ප්‍රමාණය අතින් ද ජනගහනය අතින් ද ලෝකයේ පස් වැනි විශාලම රාජ්‍යයයි. ලෝකයේ විශාලම නිවර්තන වැසි වනාන්තරය වන ඇමසන් මේ රාජ්‍යයේ ඉතා වැඩි කොටසක්, එනම් 65% පමණ වසා සිටී. නාගරික ජනගහනය 80% ඉක්මවා සිටියත් කෘෂිකර්මය නැගී එන ජීවිකාවෘත්තියකි. ඇමසන් වනය ආශ්‍රිත පෙදෙස් වල වන වැස්ම ඉවත් කිරීමත්, මහාපරිමාණ ගොවිපොලවල් ඇරඹීමත් ජනයා පදිංචි කිරීමත් සැළසුම් සහගතව කෙරේ.

බ්‍රසීලේ පිටිසර ගොවි කම්කරුයෝ අමුතුම සැට් එකක්, එකෙක්වත් සෙරෙප්පු දාන්නේ නෑ
මේ ජනයා බොහෝ දුරට නූගත්තුය. සනීපාරක්ෂාව ගැන එතරම් තැකීමක් නැත. මල පහ කිරීමෙන් පසු දෑත් නොසෝදයි. පාවහන් භාවිතයක් නැත. ආර්ථික අතින් ශක්තිමත් වුවත් ඉහත හේතු නිසා කොතරම් සුලභ කලත් මේ ජනයා අතර පාවහන් ජනප්‍රිය කළ නොහැක. බ්‍රසීලයේ නව ජනාවාස පාවහන් වෙළෙඳාමට යෝග්‍ය වෙළෙඳපොලක් නොවේ.


ඔන්න ඔය විදියටයි ඒ වෙළෙඳපොළ විශේෂඥයා තමන්ගේ වාර්තාවේ සටහන් කළේ.

Wednesday, July 31, 2013

මම සියල්ල අත හැරියා !



ගෙදර කවුරුවත් නැති අතරේ බුදුන් වඳින්න ගිය ඇයට බුදු හිමියන්ගේ මුහුණ බලාගෙන සිනහවක් පහල උනා

දැනට දින තුනක් තිස්සේ හේතුවක් හොයා ගන්න බැරි කාරනයකට ඇය ඔහුත් සමග අමනාපයෙන් සිටි වග ඇයට සිහි උනා, ගෙදර ගැටළුවක් ඇති උනෙත් නැහැ, ඒත මොකක්දෝ හේතුවකට ඇය අමනාපයෙන් වග ඇයටම වැටහුනා. ගෙදර වැඩකට උදව්වක් ගන්න ලොකු පුතාට කථා කලාම අම්මට මාවම විතරද පේන්නේ කියල මග ඇරල ගිය එකටත් ඇය තුල අමනාපයක් ගොඩ නැගිලා තිබුනු බව ඇය දැනගෙන හිටියා.

Monday, July 22, 2013

බෝසතුන් මව් කුස පිළිසිඳ ගත් ඇසළ පුන් පෝය



වෙසක් පෝ දින දස මරුන් පරදා සම්මා සම්බුද්ධ රාජ්‍යය ලැබූ තථාගතයන් වහන්සේ සත් සති ගෙවා නිම කළේ ඇසළ මාසයේ දීය. රාජායතන නම් කිරිපළු රුක මුල උන් වහන්සේ අවසන් සතිය ගත කලහ. බුද්ධත්වයෙන් පනස් වෙනි දින සමාපත්තියෙන් නැගී සිටි උන් වහන්සේ ශක්‍රයා විසින් පිළිගන්වන ලද අරළු වළඳා එහි වැඩ සිටි සඳ, උතුරු දනව්වෙහි සිට මධ්‍ය මණ්ඩලයට වෙළෙඳාම පිණිස යන්නා වූ තපස්සු සහ භල්ලුක නම් වෙළෙඳ දෙබෑයෝ, උන් වහන්සේ දැක පැහැදී මීපිඬු පිළිගැන්වූහ. බුදුරජාණන් වහන්සේ එය පිළිගෙන වළඳා උන්ට අනුමෙවෙනි බණ වදාලා බුත්සරණ-දම්සරණ ගිය ප්‍රථම උපාසකයින් කළහ. තමන්ට නිතිපතා පිදීම පිණිස වස්තුවක් ඉල්ලූ ඒ වෙළෙඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රී හස්තයෙන් හිස පිරිමැද කේෂධාතු මිටක් දුන්හ. දියපිට නැඟ වෙළෙඳාමේ යන මේ දෙදෙනා ලංකාද්වීපයට පැමිණි ඒ කේෂධාතු නිදන් කර ගිරිහඬු සෑය කළ බව කියැවේ.

ගිරිහඬු සෑයේ වර්තමාන ස්වරූපය (සේයාරුව: දිවයින පුවත්පත)
සිංහලයට ඇසළ මාසය එළඹෙන්නේ අවුරුද්දෙන් පසු සැණකෙළි සිරින් ගෙවුණ වෙසක් හා පොසොන් මාස වලින් අනතුරුවයි. රජරට ඇතුළු දිවයිනේ උතුරු හා නැගෙනහිර කලාපයට වියලි කාලය එළඹෙන අතර නිරිතදිග කලාපයට තද වැසි ඇති වේ. මේ යල් කන්නයයි. වාරි ජලය සැපයෙන තන්හි කුඹුරු කිරි වැදීමට පටන් ගනී. නිරිතදිග තෙත් කලාපයට සහ කඳුකරයට තද වැසි වැටෙන බැවින් නාය යාම් හා ජල ගැලීම් පවා ඇති කෙරේ.

වෙසක් සමයට අගනුවරට දිවූ, පොසොන් පෝයට අනුරපුරය සහ මිහින්තලය පුරා අතුරු සිදුරු නැතිව පුරවා තැබූ මහා ජනකාය ඇසළ මාසයට ඇදෙන්නේ රටමැද මහනුවර කරාය. ලෝකවාසී බෞද්ධ අබෞද්ධ වෙනසක් නැතිව සියලු දෙනාගේ නෙත් සිත් යොමු වන්නේ හෙළයේ මහා කලා මංගල්‍යය වන ඇසළ පෙරහැර වෙතටයි. ශ්‍රී දළදා වහන්සේ පෙරටු කර ගත් සතර මහා දේවාල පෙරහැර වාර්ෂිකව පැවැත්වීමට අමතරව බුද්ධ චරිතයේ අතිශය වැදගත් සිද්ධි ඇසළ මාසය ආශ්‍රිතව සිදු වී තිබේ.
  • සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම
  • සතර පෙරනිමිති දැකීම, රාහුල කුමරුගේ උපත හා අභිනිෂ්ක්‍රමණය
  • තපස්සු-භල්ලුක, බුදු සසුනේ ද්වේවාචික උපාසකයින් ඇති වීම
  • ප්‍රථම ධර්ම දේශනය
මීට අමතරව, භික්ෂූන් වහන්සේලාගේ අනිවාර්‍ය විනය කර්මයක් වන වස්එළැඹීම (පෙරවස් විසීම) සිදු කර ගත හැකි වන්නේ ද ඇසළ පුන් පෝය ආශ්‍රිතවයි. ඒ හේතු කොටගෙනම සාසන ඉතිහාසයට එක් වූ සුවිශේෂ සිද්ධි ගණනාවකි.

Tuesday, July 16, 2013

මල්වාරේ

"මචං නියම සොෆ්ට්වෙයා එකක් හම්බුනා. මේකෙන් වැඩ ගන්න උඹ දන්නවද?"
පරිගණක සාක්‍ෂරතාව උගත් කමක් විදියට සළකපු කාලයක් තිබුණා. ඒත් ඒ ඉස්සර. දැන්නම් ඔය කියන සාක්‍ෂරතාවය නැති එකෙක් තමයි හොයා ගන්න බැරි. තව ටික කාලෙකින් ඕක නැති උන්ට ඉල්ලුම වැඩි වෙන්නත් ඉඩ තියෙනවා... අර මංගල යෝජනා වල 'සුරා සූදුවෙන් තොර' කියලා දානවා වගේ. ඇයි දෙයියනේ මුන් දැන් කාලේ සාක්‍ෂරතාවය කියල කොරන දේ වල හැටියට ඕක නැති එකමයි හොඳ කියලා 'සත් ගුණවත්' දෙමව්පියන්ට නොහිතුනොත් තමයි පුදුමේ.

මගෙත් යාළුවෙක් ඉන්නවා... මිනිහ ඔය පරිගණක, මෘදුකාංග, ජංගම දුරකථන, අන්තර්ජාලය ඔය වගේ මෙකී නොකී සියලු දේ ගැන අහන්නේ මගෙන් තමා. මගෙන් ඇහුවට, මිනිහ මගෙන් අහන ප්‍රශ්න වලට මම දන්න උත්තරයක්‌ නම් නෑ. එයාම තමයි හරි උත්තරේ තෝරාගෙන මටත් කියලා දෙන්නේ. අපි දෙන්නගේ වැඩි හරියක් 'පරිගණක පාඩම්' යන්නේ දුරකථන කතා බහෙන් තමා.

Thursday, July 11, 2013

ව්‍යාපාර පරිපාලනය කෙරේ ඔබටත් ඇල්මක් ඇත්නම්...

මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිලිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව


මොරටුව විශ්ව විද්‍යාලය මගින් පිරිනමනු ලබන තාක්‍ෂණ කළමනාකරනය පිලිබඳ ව්‍යාපාර පරිපාලනය පශ්චාත් උපාධි පාඨමාලාවේ (MBA in MOT) 2014 කණ්ඩායමට දැන් අයැදුම්පත් කැඳවනු ලැබේ. පහත දැක්වෙන්නේ එම විශ්ව විද්‍යාලය විසින් සංගෘහිත දැන්වීමයි.
  • වැඩි විස්තර සඳහා මෙතැන කොටන්න.
  • අයැදුම්පත බා ගැනීමට මෙතැන කොටන්න.
  • අයැදුම්පත් බාර ගන්නා අවසන් දිනය: 2013 අගෝස්තු 15.

Friday, July 5, 2013

අද ජූලි 5 !


මාදුරුඔය ජලාශයේ සුන්දර දසුනක්

අද ජූලි 5.


ඒ මීට වසරකට පෙර දෙතිස් කතා බ්ලොග් අඩවිය ආරම්භ කරමින් (බ්ලොගයක ඇරඹුම සනිටුහන් කරමින්) අප සටහන් කළ වදන් පෙලයි. එදා එසේ සටහන් කළ මුල්ම ලිපියට ලැබුණු පාඨක ප්‍රතිචාර එකම එකකි.

ජය වේවා කිව්වා. ඔය කිව්වට දිගටම ලියයි. ලෙස ඒ දිරිගැන්වීම අපට ලැබුනේ අප හිත මිතුරු සාලියගෙනි. එතැනින් ඇරඹුණු දෙතිස් කතාහි පසුගිය වසර තුල 'කතා' එකුන් සතළිසක් පල කෙරිණි. ඒ සියලු ලිපි අතර වැඩිම කියැවීමක් ලද ලිපිය ලෙස 'ලෝකය හට ගැනීම හා එහි නිරෝධය' ලිපියත්, වැඩිම ප්‍රතිචාර ලද ලිපිය ලෙස 'සමනල පව්වේ සිරිපා පිහිටවූ වෙසක් පුර පසළොස්වක' ලිපියත් පෙරමුණේ වෙයි.

Saturday, June 22, 2013

මාර දූන් පලවා හැරි පොසොන් පසළොස්වක පොහොය

ගිරිමේඛලා නම් දිව්‍ය හස්තිරාජයා පිට නැගී දස බිම්බරක් සේනාව පිරිවරා යුධ පිණිස බෝ මැඩ කරා දිව ආ කාම ලෝකයට අධිපති වසවර්ති මාරයා, තමන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරා පෙරුවා වූ පාරමී බලයෙන් පොළෝ මහී කාන්තාව හඬවා ගර්ජනා කරවා, පරාජය කර පළවා හැර ලැජ්ජාවට පමුනවා වදාළ ත්‍රෛලෝකනාථ සර්වඥයන් වහන්සේ පළමු සතිය බෝමැඩ පහල වූ වජ්‍රාසනය මතම සමවත් සුවයෙන් වැඩ සිට, දෙවියන්ගේ සැක දුරු කරනු වස් අහසට පැන නැඟී මොහොතක් කල් යමා මහා පෙළහර දක්වා, බෝධියට ඊසාන දිගින් ආකාශයෙන් බිමට බැස අනිමිසලෝචන නම් අසදෘශ පූජාවකින් මහා බෝධීන් වහන්සේට කෘතඥතාව දක්වා වදාළ සේක. මේ වනාහි බුද්ධත්වයෙන් ප්‍රථම හා දෙවන සති ගත කළ ආකාරයයි. දෙවන සතිය අවසානය සනිටුහන් කරන්නේ වෙසක් මාසය අවසන් වී පොසොන් මාසය එළඹ සිටීමයි.

පොසොන් මාසය එළඹෙත්ම දෙවියෝ උන් වහන්සේ වැඩ සිටි තැනත් වජ්‍රාසනයත් අතරින් පූර්ව සක්වල මුවවිට සිට පශ්චිම සක්වල මුවවිට දක්වා රුවන් සක්මනක් මැවූහ. තථාගතයන් වහන්සේ ඒ සතිය ඒ රුවන් සක්මන මත සක්මන් කළ සේක. තෙවන සතිය අවසානයේ සතුටු සිත් ඇති දෙවියෝ ශ්‍රී මහා බෝධියට වයඹ දිගින් රුවන් ගෙය ක් මැවූහ. සක්මනින් බැස රුවන් ගෙයට වැඩම කළ සම්මා සම්බුදු රජාණන් වහන්සේ චක්‍රවර්ති රාජ්‍යය ලත් රජ්ජුරු කෙනෙකුන් භාණ්ඩාගාරයට වැද තමන් සතු වූ නොයෙක් රත්න ජාති පරීක්‍ෂා කරන්නේ යම් සේ ද, තමන් වහන්සේ අභිනවයෙන් සතු කර ගත් ධර්මරත්නය පරීක්‍ෂා කිරීමට පටන් ගත්හ. මේසේ තමන් වහන්සේගේ "අනෙක ජාති සංසාරං..." යන ගාථාවෙන් පටන් "අප්පමාදෙන සම්පාදේථ" යන ගාථාව දක්වා තමන් වහන්සේ විසින් දේශනා කරන්නා වූ, පිටක වශයෙන් තුනක් වන, නිකාය වශයෙන් පසක් වන, අංග වශයෙන් නවයක් වන, ස්ඛන්ධ වශයෙන් සුවාසූදහසක් වන එහෙත් රස වශයෙන් එකම ධර්ම රසය වන සියලු ධර්මය මුල සිට අග දක්වාත්, අග සිට මුල දක්වාත්, දෙකෙළවර සිට මැද දක්වාත්, මැද සිට දෙකෙළවර දක්වාත් මෙනෙහි කරන උන් වහන්සේගේ බුද්ධ ශරීරයෙන් සවනක් ගණ බුදු රැස් විහිදිණි. මේ බුද්ධත්වයෙන් සතර වන සතියයි.

එසේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සවනක් ගණ බුදු රැසින් දිලිහි දිලිහී රුවන් ගෙයි වැඩ සිටින සඳ, වෙසක් පෝ දා පැරදී පලා ගිය මාරයා අනෙක් දෙවියන්ගේ නින්දා අපහාස විඳිමින් ස්වකිය පරනිම්මිත වසවර්තී නම් දිව්‍ය ලෝකයේ ස්වකිය භවනේ සිටිය නොහැකිව ඉන් පලා ගොස් මගී වෙසක් මවාගෙන දඹදිව එක්තරා මාවතක් මැද දෙපා දිගු කොට හිඳගෙන එක අතක් නිකට තබාගෙන කරබාගෙන දැන් කුමක් කරම්දැයි කල්පනා කරමින් බොහෝ ශෝකයෙන් සුසුම් හෙලමින් සොළොස් කාරණයක් සිතා ඒ මහමග අවුරා සොළොස් ඉරක් ඇන්දේය. මෙසේ හෙතෙම මහමග ඉරි අඳිමින් සිටින විට ස්වකිය පියාණන් සතර සතියකින් නුදුටු ඒ වසවර්තී මාරයාගේ තණ්හාය, රතීය, රගාය යන නම් ඇති දූන් තිදෙන මේ බැව් දැනගෙන වහා එහි පැමිණ නොබා සිටිය මැනවි පියාණන් වහන්ස, අප නුඹ වහන්සේගේ ඒ සතුරා කාම පාශයෙන් බැඳගෙන විත්, නුඹ වහන්සේගේ පාමුල දක්වා ලමුයි කියා වහසි බස් කියා ගොස් විතරාගී ඒ මුනින්ද්‍රියන් වහන්සේ ඉදිරියේ නොයෙක් රාගී ලීලා දක්වා අසමත් ව පැරදී පලා ගියේ අද වන් පොසොන් පසළොස්වක පෝ දිනකය.

මුචලින්ද නාග දරණය - සය වන සතිය
මාර දූන් පරාජය කළ සම්බුදුරජාණන් වහන්සේ ඒ අසබඩ පිහිටි අජපාල නමින් ප්‍රසිද්ධ නුග රුක මුලට වැඩම කර එහි සතියක් වැඩ සිටියහ. ඒ පස් වන සතිය අවසානයේ උන් වහන්සේ මුචලින්ද නම් විල අසබඩට වැඩම කළහ. සක්විති රජ කෙනෙකුන් හෝ සම්මා සම්බුදු කෙනෙකුන් හෝ ලොව පහල වූ විටෙක පමණක් වස්නා මහාමේඝයක් වෙයි. චාතුර්ද්වීපික මහාමේඝ නමින් දක්නා ඒ මේඝය ඇති වූ කල සත් දවසක්ම වර්ෂාව වසී. සතර මහාද්වීපය පුරා වසින ඒ වැස්සෙන් නොතෙමෙන එකම තැනක් හෝ නැති විය. එකල, ඒ මුචලින්ද නම් විල වසන නාගරාජයා එහි පැමිණ මේ සත් දවස බුදුන් උපස්ථාන කෙරෙමියි සිතා, බුදුන් වටා සත් දරණ පටක් ලා මහත් වූ පෙන ගොබය බුදු සිරසට මුතු කුඩයක් සේ ලවා පීහ. මේ බුදුරජාණන් වහන්සේ ලැබූ ප්‍රථම උපස්ථානයයි.


සකල ලෝකවාසි බෞද්ධ ජනතාවට වෙසක් පුන් පෝ දිනය වැදගත් වන්නේ යම් සේ ද ලංකාවාසී බෞද්ධ ජනතාවට වඩා වැදගත් වන්නේ පොසොන් පෝ දිනයයි. මාසයකට පෙර අගනුවරට රැස්ව උමතු වෙසින් සැණකෙළි කෙළි මහජනතාව උපාසක ලීලාවෙන් රජරට කරා ඇදෙන්නේ මේ කාලයටයි. තරමක් තද වැසි ඇති වන මේ කාලයේ රජරට පුරා ඇති කුදු මහත් සියලු වැව් පිරී යාම සාමාන්‍යයෙන් සිදු වේ. දිය කෙළි කෙළිනු රිසි දනන්ට මේ රජ මගුලකි. පොසොන් මාසයේ දිය කෙළි පමණක් නොව දඩ කෙළිද යහමින් පැවති බවට අපේ ඉතිහාසය දෙස් දෙයි.

ලක්දිව ඉතිහාසය වෙනස් කළ මහින්දාගමනය

ශූර වීර පණ්ඩුකාභය රජුගෙන් (බු.ව. 107, මූලාශ්‍රය මහාවංශය) ඇරඹුණු අනුරාධපුර රජ පෙළපතේ දෙවනුව රජ පැමිණියේ මුඨසීව රජුය (බු.ව. 177, මූලාශ්‍රය මහාවංශය). ස්වකිය පියාණන් විසින් මනා සැළැස්මකට අනුව ඉදි කෙරුණ රම්‍ය නගරයක් වන අනුරාධපුරයේ සිට රාජ්‍යය විචාල ඒ රජුට තම සැට අවුරුදු රාජ්‍ය කාලය තුල කිරීමට බොහෝ කටයුතු තිබුණේ නැත. අභ්‍යන්තර බාහිර ආරවුල් නැති එතුමාගේ රාජ්‍ය කාලයේ වඩාත් දියුණු නාගරික ලක්‍ෂණ ඇති කර ගනිමින් ලෝකයේ ප්‍රධානම නගරයක් ලෙස දියුණු වූ අනුරාධපුරයේ සුඛිත මුදිත මහජනතාවට සැන්දෑ කාලය විවේකයෙන් ගත කිරීම පිණිසත්, ශාරීරික අභ්‍යාසය පිණිසත් උද්‍යානයක් නොමැති අඩුව දැනිණි. මේ රජතුමාගේ අග්‍රගන්‍ය නිර්මාණය අනුරාධපුර නගරයේ කළ මහාමේඝ වනය හෙවත්, අදද හඳුන්වන පරිදි මහමෙවුනා උයනයි. මේ වනෝද්‍යානය සෑදීම පිණිස බිම සළකුණු කරන දින අකාල මේඝයක් වට හෙයින් මේ උයන මහාමේඝ වන නම් වන බැව් අපේ වංශකතා කියයි.

මුඨසීව රජ සමයේ ලක්දිව පුරා සාමය රජයන සෞභාග්‍යමත් කාලයක් වුවත්, දඹදිව තත්වය එසේ නොවීය. පාඨලීපුත්‍රය රජ දහන කර ගනිමින් මගධයේ රජ බවට පත් වූ චණ්ඩාශෝක තෙමේ කාලිංගය දෙවනත් කර මහා ජන සංහාරයක් කරමින් සිටියේ මේ සමයේ ය. පසුව හෙතෙම දිග්විජය කෙරේ කලකිරී දහම් විජය වැළඳ ගත් ඒ රජ තෙමේ ස්වකිය පුත්‍රයන් හා දියණියන් යන දෙදෙනාම බුදු සසුනේ පැවිදි කරවීය. ඒ මහින්ද කුමාරයෝ ලක්දිව බුදුසසුන පිහිටුවීම පිණිස මොග්ගලීපුත්තතිස්ස තෙරුන්ගෙන් නිල ලදින් මුඨසීව මහරජු ඉතා මහළු බැවින් ලක්දිව නොවැඩ තමන් වහන්සේගේ මව් දේවී තොමෝ වාසය කරන වේදිසගිරියේ වැඩ වාසය කරයි.

මුඨසීව මහරජුට පුත්තු දස දෙනෙක් හා දූ වරු දෙදෙනෙක් වූහ. මහ පිනැති තිස්ස තෙමේ මුඨසීව රජු ඇවෑමෙන් අනුරාධපුරයේ රජ බවට පැමිණියේය. හෙතෙම අශෝක රජු හා අදෘශ මිත්‍රයහ. හසුන් යවා පුරුදු ඇත්තේය. තිස්ස රජුගේ අභිෂේකය (බු.ව. 237, මූලාශ්‍රය මහාවංශය) සමගම ලක්දිව බොහෝ රුවන් පහල විය. තිස්ස රජ තෙමේ සිතන්නේ, ලක්දිව වනාහී බොහෝ රුවන් ඇත්තේය. මේසේ වූ රුවන් දඹදිව් තලේ නැත්තේය.එසේ හෙයින් මේ රුවන් වනාහි ජම්බුදීප චක්‍රවර්ති අශෝක රජුටම ගැලපේ යැයි සිතා, ඇමතියන් අත ඒ රුවන් පඬුරු කොට යැවුහ. අතිශය දුර්ලභ වූ ඒ රුවන් දැක සතුටු වූ ධර්මාශෝක මිහිපල් තෙමේ, ඒ ඇමතියන්ට තනතුරු දී සත් මසක් එහි තබාගෙන සත්කාර කර අවසන, මේ රුවන් හා සැසඳෙන අනික් රුවනක් නැත. එසේ වුවත් තුනුරුවණ වනාහි අගය කළ නොහැක්කේමය කියා සිතා ඒ තිස්ස රජුට බොහෝ පඬුරු සමග අභිෂේකයට අවශ්‍ය කළමනාද සපයා දී සියල්ලටම වඩා උතුම් දහම් පඬුරක් ලෙස හසුනක් ලියා ඒ ඇමතියන් අත ලක්දිව එවූහ.

මිහින්තලයේ බුදුරුව, අම්බස්තල චෛත්‍යය සහ ආරාධනාගල සේල චෛත්‍ය මළුවට දිස් වන අයුරු
තිස්ස රජ තෙමේ ඒ ඇමතියන් අතින් හසුන් අසා තුනුරුවණ කෙරේ පැහැදී ගොස් වෙසක් පුන් පෝ දා දෙවන වරට අභිෂේකය ලැබූහ. මෙසේ අභිෂේක ලැබූ ඒ නිරිඳා සැණකෙළි සිරියෙන් කල් යවා නුවර වැස්සන්ට දියකෙළි විධාන කොට තෙමේ සතලිස් දහසක් සේනාව පිරිවරා දඩකෙළියට ගියේය. මේ පොසොන් පසළොස්වක දිනයයි. වේදිසගිරියේ වැඩ වාසය කරන මහා මහින්ද ස්ථවිරයෝ මේ බැව් දිවසින් දැක ලක්දිව වඩනට මේ කාලය බව දැනගෙන, ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන මහ තෙර වරුන්ද, සංඝමිත්තානම් තම නැගණියන් වහන්සේගේ පුත් සුමන සාමණේරයන් වහන්සේද, එසේම තම මෑණියන් වහන්සේගේ බෑණනුවන් කෙනෙකු වන අනාගාමි භණ්ඩුක නම් උපාසකයෝද යන මේ සෙනග පිරිවරා අහසින් වැඩ මිහින්තලයේ වැඩ හුන්හ.

එකල ඒ මිස්සක පවුවේ වෙසෙන දේවතාවා මුව වේශයක් ගෙන තිස්ස රජු ඉදිරියෙන් දිව ගිය ආකාරයත්, ඒ පසුපස පන්නාගෙන ගිය මහ රජුට මහින්ද මහ රහතන් වහන්සේ "තිස්ස තිස්ස" ආදී වශයෙන් ආමන්ත්‍රණය කළ ආකාරයත්, "මේ මොන යකෙක්'දැ"යි බියපත් වූ මහ රජුගේ බිය සංසිඳවීමට
සමනාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා - තමෙව අනුකම්පාය - ජම්බුදීපා ඉදාගතා
යනාදී වශයෙන් දේශනා කළ ආකාරයත් චිරප්‍රසිද්ධ කරුණු ය. මෙසේ බියෙන් මිදුණු ඒ දේවානම්පියතිස්ස රාජයා අඹ පැනය හා ඥාති පැනය යන පැන දෙක විමසා වදාළ මහින්ද මහ තෙරුන්ට දුන් පිළිතුරු අනුව බුදුදහම විමසා අවබෝධ කර ගැනීමට සමත් චින්තන ලීලාවක් ලක්දිව ජනයා සතු බව දැන ගත් උන් වහන්සේ ඒ නුවණැති රජුට චුල්ලහත්තිපදෝපම සූත්‍රයෙන් දහම් දෙසා වදාළ අයුරුත්, ඒ දහම් අසා මහ රජු සතලිස් දහසක් සේනාව සමග තෙරුවන් සරණ ගිය අයුරුත් එසේම චිරප්‍රසිද්ධයහ.

අනුබුදු මිහිදු මාහිමියන් දේවානම්පියතිස්ස රජුට සම්මුඛ වූ අම්බස්තලය ෴ පසුබිමින් දිස්වන්නේ ආරාධනාගලයි
මෙසේ තෙරුවන් සරණ ගිය ඒ රජ්ජුරුවන් වහන්සේ තමන් වහන්සේ වෙතට එළඹියා වූ ආහාරය තෙරුන් වහන්සේට පිළිගැන්වූ විට ඒ විකාලය බැවින් තෙරුන් වහන්සේ "දැන් දන් නොවළඳන්නෙමු"යි ප්‍රතික්‍ෂේප කළහ. නුවරට යම්හයි ආරාධනා කළ කල්හි "දැන් මෙහි වසන්නෙමු"යි දැන්වූ සේක. එසේ වී නම් මේ (ගිහි වෙස් ඇති භණ්ඩුක) කුමාර තෙමේ අප සමග යේව"යි යාඥා කළ කල්හි "මේ තෙමේ ගිහි ගෙයි නොවසයි, දැන්ම පැවිදි කරන්නෙමු, මහ රජ තෙපි නුවරට යව්"යයි පිටත් කළ සේක. මුළුමනින් පහ නොවූ සැක ඇති ඒ රජ තෙමේ භණ්ඩුක කුමාරයා පසෙකට කැඳවා විස්තර විචාරන්නේ මහ තෙරුන් වහන්සේගේ විස්තර දැනගෙන අපමණ සතුටට පැමිණ එසේ වීනම් පෙරවරු "රථය එවන්නෙමි, නුවරට වැඩිය මැනව"යි ආරාධනා කොට ගියාහුය. මහ තෙරුන් වහන්සේ එදා සවස් කාලයෙහි ම මිස්සක පවුව මතදී භණ්ඩුක කුමාරයා මහණ කළාහුය. මේ වනාහි ලක්දිව ප්‍රථම පැවිදි කර්මයයි. ඒ භණ්ඩුක උපාසකයෝ ද මහණ කරන කෙනෙහිම සව් කෙලෙසුන් නසා රහත් ඵලයට පැමිණ වදාළහ. ඒ භණ්ඩුක ස්වාමින් වහන්සේගේ උපසම්පදා විනය කර්මය සම්පුර්ණ කිරීම පිණිසයි මිහිඳු මාහිමියන් තමන් ඇතුළු රහතන් වහන්සේලා පස් නමක් පිරිවරාගෙන වැඩම කළේ.

ඉක්බිති තෙරුන් වහන්සේ සුමන සාමණේරයන් බනවා, කාල ඝෝෂා කිරීමට නියම කළහ. ඒ තෙරුන් වහන්සේ මුළු ලක්දිව ඇසෙන සේ සෘද්ධි බලයෙන් කාල ඝෝෂා කළාහුය. මෙසේ සුමන සාමණේරයන් වහන්සේ කාලඝෝෂා කළ ස්ථානය අද ආරාධනා ගල ලෙස හැඳින්වේ. මේ කාලඝෝෂාව අසා රැස් වූ ලක්දිව් වැසි දිව්‍ය, නාග සුපර්නාදීන්ට මිහිඳු මාහිමියන් වහන්සේ විසින් සමචිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දේශනා කරන ලද බව කියවේ. මිහිඳු මාහිමියන් තිස්ස රජු හා සම්මුඛ වී දහම් දේශනා කළේ අම්බස්තලයේදීය.

මෙසේ අසංඛ්‍ය සත්ත්වයන් අමා මහ නිවන් දක්වා පසුදිනට පහන් වූ සඳ එහි පැමිණි රථාචාර්යයා පළමුව යවා තබා තමන් වහන්සේ රහත් පිරිවර සමග අහසින් වැඩ නැගෙනහිර මහ වාසලට සැපත් වූහ. රජ්ජුරුවෝ ද මෙපවත් අසා පැමිණ පසඟ පිහිටුවා වැඳ මහ පෙරහරින් ගෙන ගොස් සිංහාසනයේ වඩා හිඳුවා කළමනා සත්කාර කොට දහම් දේශනයට ආරාධනා කළාහුය. මිහිදු මාහිමියන් වහන්සේ අන්තඃපුරයේදී විමානවස්තුව සහ ප්‍රේත වස්තුව මුල්කොටගෙන දහම් දේසුහ. ඒ දහම් අසා අනුලා දෙවින් ප්‍රමුඛ පන්සියයක් ස්ත්‍රීහු සෝවාන් බවට පත් වූහ.

මේ පවත් අසා එක රැස් වන්නා වූ මහජනයාට රජ මැදුර හා අන්තඃපුරය අවකාශ මද බැවින් පස්වරු කාලයේ ධර්ම දේශනා පිණිස රජ ගෙයි ඇත් හල සකසා ධර්මාසන පනවා දුන්හ. තෙරුන් වහන්සේ මෙහි වැඩ හිඳ දේවදූත සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. ඒ ඇසූ දහසක් පුරුෂයින් සෝවාන් කළහ. තව තව එන සේනාව මහත් බැවින් ඇත් හලත් සම්බාධ බැවින් නුවරට දකුණු දිග නන්දන නම් උයනෙහි වැඩ හිඳ සවස් කාලයේ බාලපණ්ඩිත සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. එයිනුත් දහසක් පමණ පිරිස සෝවාන් වූහ. මෙසේ තමන් වහන්සේ අනුරාධපුරයට වැඩි පළමු දිනයේම දෙදහස් පන්සියයක් සිංහලයන් සෝවාන් කරවා මහින්ද මහා රහතන් වහන්සේ, ලංකේශ්වර වූ දේවානම්පිය තිස්ස රජුගේ ආරාධනයෙන්, මුඨසීව මහා රජු විසින් කරවන ලද මහාමේඝවන නම් උයනෙහි රාත්‍රී විහරණය කළ සේක.

දෙවන දා උයනට සැපත් වූ මහ රජු ආරාම පිළිගැනීම කැප බැව් තෙරුන් අතින් දැනගෙන ඒ මහාමේඝවන උද්‍යානය මහා සංඝයාට පිළිගැන්වූහ. මේ මහපෝලෝ ගුගුරුවා පිළිගන්නා ලද දෙවන ආරාම පූජාවයි (පළමු වැන්න වේළුවනාරාම පූජාව වෙයි). මෙහිදී දෙසන ලද දම් අසා අනුලා දේවී සකෘදාගාමී විය. ඒ දෙවින් පැවිදි වන රුචි පහල කළ බැවින් ඈ පැවිදි කර ගන්නා ලෙස ඉල්ලූ මහරජුට "මහරජ, ස්ත්‍රීන් පැවිදි කිරීම කැප නැත්තේය. අපගේ නැගණි සංඝමිත්තා නම් තෙරණි කෙනෙක් වෙති. උත්තම වූ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද බොහෝ භික්ෂුනින්ද ගෙන උන් වඩින ලෙස තොපගේ මිත්‍ර අපගේ පියාණන්ට හසුන් යවව"යි තෙරුන් වහන්සේ පිළිතුරු දුන්හ. මේ ලක්දිව මෙහෙණි සස්නේ මුලාරම්භයයි. මහමෙවුනා උයන පිළිගත් මිහිඳු මහ තෙරුන් පිළිවෙලින්, ශ්‍රී මහා බෝධිය පිහිටන තැන, ලෝවාමහපා පිහිටන තැන, රුවන්වැලි සෑ පිහිටන තැන ආදී සතර බුදු වරුන් විසින් සේවනය කරන ලද්දා වූ උත්තම ස්ථාන සතකට වැඩ වදාරා සමන් මල් අට මිට බැගින් පූජා කර සත් වරක් පොළෝ ගුගුරවා එදින අග්ගික්ඛන්දෝපම සූත්‍රයෙන් බණ කියා දහසක් පමණ දෙනා නිවන් දැක්වූහ.

මෙසේම තුන් වන දා ආශීර්විෂෝපම සූත්‍රයෙන් ද, සිව් වන දවස් අනමතග්ග සූත්‍රයෙන් ද බණ වදාරා නොයෙක් දහස් ගණන් ස්ත්‍රී පුරුෂයන් නිවන් දැක්වුහ. එසේම මහා සීමාව බඳවා බුදුසසුන පන්දහසක් හවුරුදු පවත්නා සේ තිර කළේය. මේ මහා සීමාව බන්ධනය කරන දිනයේද පොළෝ කම්පා විය. පස් වන දින ඛජ්ජනිය පරියාය සූත්‍රයෙන් ද, සවන දවස් ගොමයපින්ඩ සූත්‍රයෙන් ද, සත් වන දවස් ධම්සක්‌පැවතුම් සූත්‍රයෙන් ද බණ වදාරා දහස බැගින් දෙනා සෝවාන් ඵලයට පත් කළ සේක.

මෙසේ තමන් වහන්සේ නුවරට වැඩි සත් දවසක් තුල අටදහස්පන්සීයක් දෙනාට නිවන් සාදා දී, නව තැනෙක මහපොළෝ ගුගුරවා පන්දහසක් කල් පවත්නා සේ සසුන පිහිටුවා වදාළේ මෙවැනි පොසොන් මාසයකදීය. අදත් වසරක් පාසා ලක්දිව ලක්‍ෂසංඛ්‍යාත මහ ජනයා මිස්සක පවුවට සහ අනුරාධපුරයට ඇදෙන්නේ එදා දේවානම්පියතිස්ස මහරජුගේ මාලිගයටත්, එතැනින් ඇත් හලටත්, එතැනින් නන්දන උයනටත් අවසන මහමෙවුනා උයනටත් වශයෙන් මහජන ගඟ ගලමින් දැක්වූ උපහාර සිහි ගන්වමිනි. මහ මග අඩියෙන් අඩියට දන්සැල් දෙන්නේ දම්රසයට ඇදී එන ඒ ජනයාට ප්‍රත්‍යලාභයෙන් සංග්‍රහ කර පින් සිදු කර ගන්නා අභි‍ප්‍රායෙනි. එවැනි අභිප්‍රායක් නැති වන්දනා ගමන් දන්සැල් මේ පොසොන් මාසයේ මේ පින්බිමට එපා !

Wednesday, June 19, 2013

සුන්දරිය සහ තිරිසනා ගැන තවත් කතාවක්‌ නොවේ !

සුද්දාගේ නම ටාසන් නම් සුද්දීට අපිට ජේන් කියන්නට ඇහැකි. උගේ නම රෝමියෝ නම් ඈට ජුලියට් යැයි කියන්නට තිබුණා. ඒත් මේ සුද්දගේ නම අපි දන්නේ නෑ. ඒ නිසා සුද්ද ම කියමු, නමෙන් වැඩක් නෑ නොවැ.

සුද්ද හිටියේ යාල අද්දර, මේ සුද්දන් රට කරන කාලේ නිසා ඒ හැටි දියුණුවක් නෑ ඔන්න. කැලේ තමයි ලංකාව පුරාම. දියුණුව කියන්නේ කැලේ කපල මොනවා හරි කරන එක නිසා සුද්ද යාල ආවේ ඒ වැඩේට. මිනිහට යස බංගලාවක් තිබුන කැලේ අද්දරම, ලොකු වත්තක් මැද්දට වෙන්න.

ඒ කාලේ කැලේ වට කර වැටවල් බඳින සිරිතක් තිබුනේ නෑනේ. ඉතිං කැලේ වැසියොත් ගමේ වැසියොත් කලවමේ තමයි ජීවත් උනේ, ගමේ මිනිස්සු අකුලේ රිංගනවා, කැලේ සත්තු ගම් වදිනවා. කවුරුත් තමන්ගේ සීමාව දැනගෙන හිටිය නිසා කාටවත් වැඩි කරදරයක් නෑ.

ඔය අතරේ තමයි සුද්ද හදිසියේ එංගලන්තේ ගියේ. ගමේ මිනිස්සුනම් කිව්වේ පෙලවාසියක් කර ගන්ට ගියා කියලයි. ඒ ගැන නෝක්කාඩු කියන්න ගමේ කවුරුත් උන්නේ නෑ, සුද්දගේ චරිතේ හොඳයි. කොහොම හරි ඕං සුද්ද ගිහිං මාස ගානකට පස්සේ සුද්දයි සුද්දියි දෙන්නම ආවලු නැවෙන්. ගමේ සමහර ඇත්තොත් ගාලු ගියාලු මේ දෙන්නව පිළිගන්න.

කොහොමින් කොහොමින් හරි සුද්ද සුද්දිව කැන්දන් ආව කියමුකෝ බංගලාවට.

එදා රෑ...

එදා රෑ තමයි වැඩේ.

සුද්ද ඉතිං පුරුදු කාරයනේ. මූ ගොර ඇද ඇද නිදි නැවේ ආව මහන්සියටත් එක්ක. සුද්දී එහෙට පෙරළෙනවා, මෙහෙට පෙරළෙනවා, සුද්දගේ අත අරගෙන පටලවා ගන්නවා, සුද්දව කොට්ටෙ වෙනුවට තියා ගන්නවා... මොනඃ ! නිදි දෙව්දුව සුද්දී ළඟටවත් එන්නේ නෑ, එක්කෝ එයාත් සුද්ද වගේම කොහේ හරි වැටිලා නිදි.

හඳ එළියත් පායලා තියෙනවා... එළියේ එක එක රෑහි හඬවල් ඇහෙනවා... එංගලන්තේ වගේ නැතත් ඇඟ කීරිගැහෙන හීන් හුළඟක් බාගෙට ඇරිලා තියෙන ජනේලේ පොලු අතරින් එනවා. ඇඳ ළඟ තියෙන කනප්පුව උඩ ලස්සනට හදල තියෙන පළතුරු වට්ටියේ ලොකු කෝලිකුට්ටු ඇවරියක්ම හඳ එළියෙන් දිලිසෙනවා සුද්දිට පේනවා. එයා නිදි නැතිව ඇඳේ එහෙට පෙරළෙනවා, මෙහෙට පෙරළෙනවා. සමහර විට නැවේ ඇවිත් තෙහෙට්ටුව නිසා වෙන්න ඇති. ඒ අතරේ තමයි කවුරු හරි කෙනෙක් (සතෙක්?) ජනේලේ අයිනේ බරට අඩිය තිය තියා ඇවිදිනවා සුද්දිට ඇහුණේ. අපොයි, එයාව බය කරන්න ඔය සද්ද වලට බෑ.

එයා හිමීට නැගිට්ටා. හවුස් කෝට් එක දා ගත්තා, බරාඳය දිගේ ගිහිං ලොකු දොර ඇරගෙන බලාගෙන ඉන්නවා ජනේලේ පැත්ත දිහා. ඔන්න එතකොට තමයි ලොකු පර්වතයක් වගේ දෙයක් හඳ එළියේ හෙලවෙනවා එයා දැක්කේ. සුද්දි තේරුම් ගත්තා මේ නම් අලිය බව. සුද්ද අස්සයෙකුටත් වඩා ලොකු මේ වගේ සතෙක් ගැන එංගලන්තේදී කියනවා එයා අහල තිබුණා, ඒත් දැක්කේ අදයි.

අලිය ටික ටික ජනේලේ ලඟට ලං උණා. විදුලියක් වැදුන වගේ එක පාරටම දැහැනෙන් නැගිට්ට සුද්දි ඉක්මනට දොර වහල දුවගෙන ගියේ කාමරේට. අලිය ජනේලෙන් හොඬවැල ඇතුලට දානවත්, අර කනප්පුව උඩ තිබුණු ලොකු කෝලිකුට්ටු ඇවරිය ඒකෙන් පටලව ගන්නවත් ඊට පස්සේ ඒක කටට යවනවත් සුද්දි පැහැදිලිවම දැක්ක. අලිය ඒක කාල යන්න ගියත්, සුද්දිට ඉස්පාසුවක් නෑ මේ දැක්ක දේ කාට හරි කියා ගන්නකම්. දෙයියනේ අවුරුදු විසි ගානක් එංගලන්තේ ඉඳල හීනෙන්වත් හිතපු දෙයක්ද මේ ලංකාවේ හිටපු එක රෑකට දැක්කේ... තව මොන මොනවා දකින්න ලැබෙයිද ඉදිරියට...

සුද්දි පත්තු කළා ලාම්පුව, ගියා සුද්දගේ ලියන මේසේ ලඟට, ගත්ත ලියන කඩදාසියක්, ඔන්න ලියනවා අම්මට ලියුමක්...

ආදරණිය අම්මා වෙතටයි,

දෙවියන් වහන්සේගේ කරුණාවෙන් අපි ගාලු වරායෙන් ලංකාවට සැපත් උනා...

අපි එංගලන්තේ ඉන්නකොට එයා අලියා ගැන කතා කළා අම්මාට මතකද? මම අද අලියෙක් දුටුවා. ඌනම් මහා පුදුමාකාර සතෙක්. ලොකු පර්වතයක් වගේ මූ අද රෑ පැද්දි පැද්දී ආවා අපේ ජනේලේ ලඟටම. මම බලන් හිටියා.

මූ ඇවිත් උගේ අර දිගම දිග වලිගය අපේ ජනේලෙන් බංගලාව ඇතුලට දැමුවා. දමා අර කනප්පුව උඩ තිබූ රස කෝලිකුට්ටු ඇවරිය ඒ දිග වලිගෙන් ඔතා ගත්තා. අම්මා කිවුවාට විශ්වාස කරන එකක් නෑ මූ ඒ යස කෙහෙල් ඇවරිය වලිගෙන් ඔතාගෙන ඊළඟට කළ දේ. දෙයියන්ගේ නාමෙට මා විශ්වාස කරන්න, අම්මේ, එයා කියල තියෙන්නේ ඇත්තම තමා. අලියා ඇත්තටම දෙවියන් වහන්සේගේ පුදුම මැවිල්ලක් ...
හ්ම්... ලියුමනම් තව ඉවර නෑ, ඒත් කතාව ඉවරයි.

Monday, June 10, 2013

සිහිල් අමා පැන් දන්සැල ෴

මේ කතාව වෙසක් දින වල පුවත් පතකින් කියවූ දෙයක්, පාඨක ලිපියක්. සියලු දේ එලෙසම මතක නැති උනත්, කතාවේ හරය වෙන්නේ, මේ වෙසක් සමයේ සිය මුළු පවුලම රථයේ නංවාගෙන අගනුවර වෙසක් සිරි නැරඹීමට ගිය කෙනෙක් තමන් තරුණ වයසේ අත්දුටු සිදු වීමක් විස්තර කිරීමයි.

ඒ මහතා තරුණ කාලයේ මිතුරු කැල සමග වෙසක් බලන්නට ගොස් තිබේ ලු. දන්සල් වලින් සංග්‍රහ විඳිමින් ගියත් අද තරම් එකල දන්සැල් තිබී නෑ. නන් විසිතුරු වෙසක් පහන් කූඩු බලමින්,තොරන් බලන සෙනග අතර තෙරපෙමින් බොහෝ වෙලා ගමන් කළ මේ පිරිසට ඇති වූයේ දැඩි පිපාසයක්‌. පහසුම ප්‍රතිකර්මය මග අයිනේ සිටින සරුවත් හෝ වෙනත් පැණිබිම වෙළෙන්දෙකුට ගානක් සපයා දී පිපාසය සංසිඳවා ගැනීම වුවත්, මේ තරුණ පිරිස ඊට එකඟ වී නෑ. මෙච්චර දන්සැල් තියෙද්දී සල්ලි දීල බීම බොන්න පිස්සුද... එකෙක් කීවම අනිත් උනුත් හිස සලා අනුමත කරන්නට ඇති. එසේ නැතිනම් ඇත්තම හේතුව ප්‍රමාණවත් මුදලක් අතේ නොතිබීම වන්නටත් හැක.

කෙසේ හෝ, මේ පිරිස එකඟ වන්නේ බීම දන්සැලක් සොයා ගැනීමටයි. මතකය නිවැරදිනම්, ස්ථානය කොළඹ නවම් මාවත. ඔන්න ගහල තියෙනවා ලොකු බැනර් එකක්.

මේ අයට හරි සතුටුයි. වැඩි පොලිමකුත් නෑ. හැබැයි පාරට ගෙනත් දෙන කෙනෙකුත් නෑ, ඇතුලට ගිහිං තමයි ගන්න ඕනේ.

ඕන එකක්, ප්‍රීති වෙසක් කියල මේ කට්ටිය බයිසිකල් හෙම අයිනෙන් නවත්තල (එයාල ගියේ පයින්ම නම් ඉතිං නවත්තන්න බයිසිකල් නෑ ඕං) පඩිපෙළ නැගල යන ගමන් කෝකටත් කියල මග හිටි තලත්තෑනි කෙනෙකුගෙන් අහන්න හිතලා මාමේ, මේ දන්සැල... කියනකොටම ඒ උන්දැත් කියපි හරි පුතාලා, ඔය කෙලින්ම ඇතුලට යන්න. ඇතුලේ ඉඩ තියෙනවා.. කියල.

ඔන්න අපේ සෙට් එක දිව විකාගෙන කෙල පෙරාගෙන ගියාලු "අමාපැන්" බොන්න. ලොකු හෝල් එකක් පුරවලා පෙළට පුටු තියලා ලොකු මේස දිගට පොත් ගොඩ ගහල තියෙනවලු, කැමති කෙනෙකුට කැමති පොතක් අරන් කියවන්න. ඒ තමයි "අමාපැන් දන්සැල".

මේ කතාව පත්තරේ කියවලා මට මතක් උනේ "ගෝනි එළුවා" ගේ කතාව. ඒකත් ඇත්තටම උන දෙයක් ලු. අනිත් එකා තමයි "පැදුරු එළුවා".

අමා පැන් ගැන මේ කතාව ලියවුණේ වෙනත් කාර්‍යයක් නිසා. දෙතිස් කතා කියවන අපේ මිතුරන්ට පුළුවන් නේද මේකට උදව් කරන්න.

මේකයි, කර්තව්‍යය.

අපිට පොත් ලැයිස්තුවක් හදා ගන්න ඕනේ අර වගේ අමා පැන් දන්සැලකට. වෙනත් වචනයකින් කියනවනම්, පොත් ගුලකට. දැනට දෙන්න වැඩි විස්තරයක් නම් නෑ. සාමාන්‍ය ගැමි ජනතාව එක් රොක් වන කොළඹින් ඉතා දුර බැහැර (250 km පමණ) විහාරස්ථානයකට තමයි මේ පොත් යන්නේ.

සියලුම පොත් පෞද්ගලිකව කියවා ගුණ දොස් බැලිය නොහැකි නිසා ඔබලා කියවූ පොත් වලින් සුදුසු ඒවා නිර්දේශ කළ හැකිනම් අපට පහසුවක්. එසේම, ඒ පොත් මිලදී ගත හැකි ස්ථාන සහ දළ වශයෙන් ඒවායේ මිල ගණන් ද ඉදිරිපත් කළ හැකිනම් තවත් අපූරුයි. කට්ටල වශයෙන් මිලදී ගත හැකි පොත් (උදා. රේරුකානේ හිමිගේ පොත්) එසේ කට්ටල වශයෙන්ම මිලදී ගන්නා විට වට්ටම් ලැබෙන තැන් ගැන දැන ගැනීමට ලැබේනම් එය අමතර වාසියක්.

මේ ඔබලාගේ අවස්තාව.
...

Friday, May 31, 2013

සත්ව සුභ සාධන විභූෂණ

වෙසක් පෝ දිනයේ අපට අසන්නට / දකින්නට සිදු නොවිය යුතු සිදු වීමක් සිදු විය. ඒ බෝවත්තේ ඉන්දරතන නම් ස්වාමින් වහන්සේ කරුණු කිහිපයකට විරෝධතාව දක්වා දළදා මැදුර අබියසදී සිරුරට ගිණි තබාගැනීමෙන් ඇති වූ දැඩි පිළිස්සුම් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේදී අපවත් වීමයි. මේ සිදු වීම අප දැන ගත්තේ සිකුරාදා නොව ඉරිදා සවස සියල්ල අවසන් වූ පසුව වීම අපේ කම්පනය අඩු කිරීමට හේතු විය. අප පමණක් නොව ලක්දිව බොහෝ ජනයා පෙර නැසූ විරූ මේ පුවතින් කම්පනයට පත් වී සිටින බව සැකයක් නැත.

පහත දැක්වෙන්නේ අප මිතුරු ජොසෙෆ් විසින් මේ සිද්ධිය සහ අනුයාත මාධ්‍ය හැසිරීම අලලා ලියැවුණු රචනයකි. වචන කිහිපයක වෙනසක් පමණක් කර ඒ ලිපිය දක්වමු.

මේ රචනයේ අප ප්‍රිය නොකරන වචන ඇත. එහෙත් ඒවා ඉවත් කිරීම රචනයේ අරුතට හා ඉන් දෙන හැඟීමට කරන්නේ අසාධාරණයකි. උදාහරණයක් ලෙස 'හම්බ' යන වචනය ගනිමු. හම්බයින් යනු අල්ලාහඃ නම් දරුණු දෙවියෙකු අදහන එක් ජන වර්ගයක් පමණි. හම්බයින්ට අමතරව මරක්කල, බෝරා, ජා, පාර්සි, මැලේ, ඇෆ්ගන්, අරාබි ආදී විවිධ වර්ග වල මිනිස්සු මේ දෙවියන් අදහත්. යට දැක්වෙන රචනයේ කතු තුමා මේ වෙනස් කම් ගැන නොසළකා ඉස්ලාම් නමින් හැඳින්වෙන ඇදහිල්ල පමණක් සළකා 'හම්බ' පදයෙන් සළකා ඇති බව පැහැදිලිය.

තවද සඳහන් කළ යුතු වැදගත් කරුණක් වෙයි. මේ රචනය අපට ලැබෙන්නේ සඳුදාය. අප එය දකින්නේ එදා රාත්‍රියේය. වෙසක් ලිපිය පිටම අලුත් ලිපියක් පළ කිරීම සුදුසු නැති නිසාත්, විශේෂයෙන්ම මේ සංවේගජනක පුවතින් අප වෙබ් අඩවිය 'හිට්' කර ගැනීම ඇවැසි නැති නිසාත් මෙය සතියක් කල් පමා කිරීමට තීරණය කළෙමු. මිතුරු කතුතුමා ඒ ගැන උරණ නොවේවා.

කාල වේලාවක් ලැබුනොත්, මේ රචනය ගැන අපේ අදහස් ඉදිරිපත් කරමුව. එතෙක්, ජොසෙෆ් සමග එකතු වී ඒ අසරණ ස්වාමින් වහන්සේට අපද නිවන් පතමු. ඉනුත් නො නැවතී සසර සැරිසරන තුරු මෙවන් අඥාන කම් කිරීමට සිත් පහල නොවේවායි ද වැඩිදුරටත් පතමු.


චිකන් බාබක්යු කිරීම ලංකාවේ ඉහල මධ්‍යම පාන්තික සමාජයේ ආතල් එකකි. විනෝද සමයං (ගෙට් ටුගෙද) හා විනෝද ගමන් (ට්‍රිප්) වලත් විශේෂයෙන්ම මයිල් කෙළින් කරගෙන යන ගමන් (ඇඩ්වෙන්ච ටුව) වලත් මෙය අත්‍යාවශ්‍ය විනොදාන්ගයකි. කැලේ කුඩාරමක් අටෝගෙන බාබේරියන් නමින් අද හැඳින්වෙන අර්ධමනුෂ්‍ය සත්ත්වයාගේ ගති සිරිත් අනුගමනය කරමින් කරන මේ මස් පුළුස්සා අනුභව කිරීම එකී බාබේරියන් සත්ත්වයාගෙන් පැවතෙන යුරෝපීය මනුෂ්‍යයාගේ සභ්‍යත්වයට කොතරම් ගැලපුනත්, අවුරුදු 2600 ක ඉතිහාසයක් ගැන උදම් අනන, අනන්‍ය වාපි (වාරී නොවේ) සංස්කෘතියක් හා ගොවිතැනක් ගොඩ නැගූ ජාතියකට තරම් වේදැයි සළකා බැලීමට මේ කාලයයි.

හදිසියේ බාබක්යු ගැන සිහි වූයේ ඇයි කියා කෙනෙකුට ගැටළුවක් විය හැකියි. අපට එය සිහි වූයේ ඇමරිකානු හමුදාව විසින් ඉල්ලං කෑමට පෙරාතුව ඇමරිකානු අනුග්‍රහ සහිතව වියට්නාමයේ බලයට පත් ක්‍රිස්තියානි ආණ්ඩුවේ තිරය පිටුපස ප්‍රබලම චරිතය වූ න්හුඃ ආරියාව (මදාම් න්හුඃ) ලෙස හැඳින්වුණු කාන්තාව විසින් කළ ප්‍රකාශයක් සිහි වීමෙනි. ඈ ගැන විස්තර අන්තර්ජාලයේ ඇත. කියවා ගැනීම තම තමන් සතුය. මෙතැනට අදාළ වන එකම දෙය ඒ ක්‍රිස්තියානි රෙජීමයේ දුර්දාන්ත ක්‍රියා හා බෞද්ධයින්ට එරෙහිව කෙරුණු වර්ගසංහාර ක්‍රියාවන්ට එරෙහිව ජනමතය ගොඩ නංවනු වස් ස්වකිය කලේබරය ගිණි දැල් වලට පාවා දෙමින් ත්'ට් ක'වෑන් ඩ' හිමිපාණන් විසින් කළ උදාර ආත්ම පරිත්‍යාගය සමච්චලයට ලක් කිරීම පිණිස ඈ විසින් කළ උද්දච්ච හා තකතීරු ප්‍රකාශයයි (clap hands at seeing another monk barbecue show). "මේවා බල බල අපිට පට්ට ආතල්, තව මේ වගේ බාබක්යු කරන්න කැමති මෝඩයෝ ඉන්නවනම් දෙවියන් වහන්සේගේ නාමයෙන් අපේ ආණ්ඩුව ගානේ තෙල් සලාකයක් දෙන්නම්" යනු ඇගේ ප්‍රකාශයේ සිංහල අනුවාදයයි. මෙවැනි ප්‍රකාශ කීයක් අපි වෙසක් දින සිට අද දක්වා ඇසුවෙමුද?

මේ ප්‍රකාශ වලට හේතුව ගව ඝාතනයට විරෝධය පා (යැයි මාධ්‍ය විසින් වැරදියට පෙන්වා දෙනු ලැබූ) එක්තරා භික්ෂූන් වහන්සේ නමක් වෙසක් දිනයේ දළදා මාළිගාව අබියසදී සිරුරට පැට්‍රල් හලාගෙන ගිණි තබා ගැනීමයි. ගව ඝාතනය හෙවත් හරක් මැරීම තබා අම්ම-අප්පා මැරීමට වත් විරෝධය දැක්වීම පිණිස තමන් දිවි නසා ගැනීම අපි අනුමත නොකරමු. මේ දිවි නසා ගැනීම හේතුවෙන් දිවි රැකුණු එක ගොනෙක් වත් නැත. නමුත් සුවර්ණවාහිනිය යැයි නම් කෙරුණු පාපවාහිනියේ උන් නම් අම්බානක හිට්ස් (එනම් ප්‍රේක්ෂක දර්ශන) වැඩි කර ගත් බව පෙනිණි. බැලූ උන් ගොන්නු නම් පෙන්නූ උන් ඒ ගොන් මරාගෙන කෑ හම්බයෝ !! මේ අතර වෙබ් අඩවි මේ මළකුණ තවමත් විකුණන් කෑමට හදයි. ඒ අතර බංකොලොත් දේශපාලුවෝ, මින් තමන්ට ගත හැකි වාසියක් වේදැයි සොයති. උන් කටු කෑමට පොරකන ගිජුලිහිණි ! ගාලු පාර වසාගෙන අඟුරු වී ගිය මිනිය ඉල්ලා උද්ගෝෂණය කළ සිවුරු ඇඳ ගත් අම්බරුවන් පිරිස නම් කෝටුමස් කළ යුතුමය. අර ගොන් වහන්සේ නුවරදී ගිණි තබා ගන්නා බවත්, කොළඹදී ඔහු කලේබරය රෝහලේ දමා පරලෝකප්‍රාප්ත වන බවත්, ඉන් පසුව දෙපැයක් හිමිකරුවෙක් රහිත ඒ කලේබරය කොළඹ තබාගෙන තමන්ටත් වාසියක් සළසා ගත හැකි බවත් මේ අයගේ සැළසුම වූ බවයි අපට පෙනෙන්නේ. මේවා සහගහන අපරාද හලෝ !

මේ පුවත සම්බන්ද වෙබ් අඩවි පුවත් වලට විවිධ පිස්සන් සහ පුස්සන් විසින් දැමුණු ප්‍රතිචාර ගැනද වචනයක් සඳහන් කළ යුතුය. මෙහි උපුටා ගැනෙන්නේ සාමාන්‍යයෙන් අබෞද්ධ වන එහෙත් බෞද්ධ ලෙස පෙනී සිටින මාක්ස්වාදී පක්ෂයක් විසින් නඩත්තු කෙරෙන එක්තරා වෙබ් අඩවියක දැමෙන ප්‍රතිචාර පමණි.
  1. "වෙස්සන්තර හිස දන් දුන්නක් සේ මේ හිමියන් කල මේ උදාර පැතුම, ඒ ආකාරයෙන්ම ඉෂ්ටසිද්ද වේවා, සාදු, සාදු, සාදු." --- ගුබ්බෑයමේ සමරේ
    ඉන්නේ ගුබ්බෑයමේ, නම සමරේ. පැතුම උදාරයි ලු. හැබැයි වෙස්සන්තර දුන්නේ මොනවද නොදුන්නේ මොනවද දන්නේ නෑ.
  2. "බුදුරජානන්වහන්සේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරල බුද්ධත්වයට පත්වුණේ හරක්ව ඝාතනයෙන් නිදහස් කර ගන්න නම් නෙමෙයි." --- විශ්වවිද්‍යාල සිසුවෙක්
    මහලොකු විශ්ව විද්‍යාල සිසුවා, බුදුරජාණන් වහන්සේ පෙරුම් පුරපු කාලය දන්නේ නෑ, නැතිනම් දැන ගන්න උවමනාවක් නෑ. බුදු උනේ මොකකටද කියල දන්නේ නෑ, බුදු උනේ මොකකට නෙමෙයිද කියල නම් දන්නවා.
  3. "දළදා මැදුර අභියසදී මිනී මස් පුළුස්සන්න බෑ හැබැයි හරක් මරන්න පුලුවන්! පල ඌර යන්න" --- සිංහයා
    මේ එක සිංහයෙක්. දළදා මැදුර අභියස මිනී මස් පිලිස්සුවේ සිවුරක් දා ගත්ත ගොන් වහන්සේ කෙනෙක්. හරක් මරන්නේ හම්බයෝ. හම්බයෝ හරක් මරනවා කියලා ඒකට හිලව්වට මෙයා ගිණි තියා ගත්තම ඔක්කොම හරිද, නැතිනම් වැරැද්ද ඩබල් වෙනවද හලෝ?
  4. "පව පින අපේ සිතේ තියෙන්නේ. මොලේ ටිකක් අවුල් කෙනෙක් තම ගේ ඉස්සරහ තියෙන පොල්පැලයට ප්රානයක් ඇතය් සිතා එය මරාදැමීමට ඉගිල්ලීමෙන් හෝ වස විස දැමීමෙන් , ඔහුට ප්රානඝාතය හා සමාන පවක් ලබෙනවකියා මා සිතනවා." --- අමාරිස් අය්ය
    මේ තව ඒ වගේ මැන්ටල් කේස් එකක්. සිවුර ගිනි ගද්දි බණ අහන්න ඇවිත් ! ප්‍රාණ ඝාතය සිදු වෙන්න කරුණු පහක් සම්පුර්ණ වෙන්න ඕනේ බව එයා දන්නේ නෑ.
  5. "මෙය තණ්හාව නිසා ඈතිවූ තත්වයක්…කච්ජපුට පපුව පෑලී මියගියේ තණ්හාව නිසා….මේ හාමුදුරුවොත් සියදිවි නසා ගත්තේ තම අදහස මුදුන් පමුණුවා ගෑනීමට දෑරූ උත්සාහය ව්යවර්ථ වූ නිසා….එය තෘෂ්ණාව නිසා නොවෙයි නම් වෙන කුමක් ද…?" --- R.Dias
    මේ පාස්ටර් කෙනෙක්, බණ කියන්න ඇවිත්. හැබැයි එයා දන්නේ නෑ, පපුව පැලී මිය ගියේ කච්ජපුට නොවේ කියලා. මේ වගේ බෞද්ධ කමට හැම තැනම ගරහන පාහරයින්ට මේ වගේ පුවත් රජ මගුල්.
මෙන්න මේ විදියටයි මේ මරණය එක එකා අතින් වෙන්දේසි වෙන්නේ.

දැන් බලමු මේ වහන්සේ ලිවුවා කියන ලිපිය.

ඉන්දරතන හිමි විසින් ලියැවුනා යැයි කියැවෙන ඒ ලිපිය
  1. මේ ලිපියේ කරුණු පහක් අන්තර්ගත වේ. එහෙත් මාධ්‍ය වලින් උලුප්පා දක්වන්නේ හරක් මැරීම ගැන පමණි. ඇයි? මේ කාලයේ ට්‍රෙන්ඩ් එක හම්බ විරෝධය වීම හා හරක් මැරීම කෙලින්ම හම්බයින් හා ගැටගැසී තිබීමත්ය. සිංහල ජාතික ව්‍යාපාරය කිසියම් තෝරා ගත් ජන වර්ගයකට 'විරෝධී' විය යුතුද යන ප්‍රශ්නයට වහා පිළිතුරු සොයා ගත යුතුය. ඉහත ලිපියේ ඇති ඉතිරි කරුණු හතරම මේ ඊනියා 'හම්බ විරෝධය' හා කිසි සම්බන්ධයක් නැත.
  2. ත්‍රස්තවාදය තුරන් වේවා යන දෙවන ඉල්ලීම ගනිමු. මෙය දැනටත් සිදු වී ඇත. අනෙක් අතින්, ජේ ආර් උතුමාණන්ගේ සහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ රාජ්‍ය කාලයේ පැවති ලෙස රාජ්‍ය ත්‍රස්තවාදයක් දැන් නැත. වියුක්ත අරුතින් ලෝකය පුරා ඇති ත්‍රස්තවාදය තුරන් කිරීම නම් මෙවැනි හුදෙකලා ගිණි තබා ගැනීම් වලින් මැඩලිය නොහැක. ඒ අරුතින් මේ දෙවන කරුණේ කිසි වැදගත් කමක් නැත.
  3. තුන් වන කරුණ වැදගත්ය. එහෙත්, මාධ්‍ය ඒ ගැන නිහඬයි. ලෝකයේ ඉතා බලවත් රාජ්‍යයක් (හික් හික්) වන වතිකානුවේ අධිපති තුමා විසින් ලංකාවේ බැටළුවන් බලා ගැනීමට පත් කරන ලද බලවත් කාදිනල් තුමා ඉහත පනතට විරුද්ධ වීම හේතුවයි. මේකට ඉතිං දළදා මාලිගේ ඉදිරිපිට ගිණි තියා ගත්තට වැඩක් නෑ. බෞද්ධ චන්ද ගසා කා පාර්ලිමේන්තු ගිය හෙළ උරුමයේ පක්ෂ මුලස්ථානය ඉදිරිපිටයි ගිණි තියා ගන්න ඕනේ. නැත්නම් මැල්කම්ගේ බංගලාව රදගුරු මැදුර ඉදිරිපිට. කාට හරි උණු වෙන්නේ නැතෑ. අහිංසක දළදා හාමුදුරුවන් මේකට ඈඳා ගන්නේ ඇයි ?
  4. හතර වෙනි කරුණ, අහිංසක ප්‍රාර්තනාවකි. මේවා බොළඳ ප්‍රාර්ථනා වේ. බොහෝ යුවතියන් රේල්ලුවට බෙල්ල තියන්නේ, ගඟේ මූදේ පනින්නේ, වස බොන්නේ මේ වගේ ප්‍රාර්ථනා බිඳී ගිය විට තමා. ඒත්, උතුම් චීවරය දරා ගත් භික්ෂූන් වහන්සේ නමක් එසේ කළ යුතුද?
  5. පස් වෙනි කරුණ වැදගත්ය. එහෙත්, මාධ්‍ය ඒ ගැන සම්පූර්ණයෙන් අමතක කර ඇත. මේ ගැන මේ වහන්සේ ගිණි තබා ගැනීමට පෙර කරන ලද කර්තව්‍යයන් වෙත්දැයි අපි නොදනිමු. සමහර විට ඊට හේතුව ජනමාධ්‍ය වල ඉඩක් නොවීම විය හැක. හරිනම් කළ යුත්තේ එවැනි ව්‍යවස්ථාවකට අවශ්‍ය මුලිකාංග කෙටුම්පත් කර ඒ උදෙසා ජනයා ඒකරාශී කිරීම නොවේද? මේ වහන්සේ එසේත් කර කිසි කෙනෙක් නොපිළිගන්නා බැවින් ගිණි තබා ගත්තාවත්ද?
එසේම ඉහත ලිපිය ද සැක සහිත කරුණු වලින් ගහනය. රහස් පොලිසිය විසින් කළ යුතු වැඩ ගැන උපදෙස් දෙන්නට ගොස්, අනේ... මා ඇදගෙන ගොස් බලෙන් උපදෙස් ගන්නට හැකි නිසා ඒ ගැන කතා නොකරමි.

අනුන්ගේ යහපත පතා තමන් ලැබූ දිවිය කැප කළ ඒ වහන්සේට අමා මහ නිවන ප්‍රාර්ථනා කරමි.

මිතුරු ජොසෙෆ් විසින් අපට එවන ලද ලිපිය එපමණයි. එය කියවා අප සිත්හි පහල වූ හැඟුම් සමුදාය පහත දැක්වේ.

කෙනෙක් මිය ගිය පසු ඔහුගේ 'ප්‍රාණ කාරයා' දින හතක් යන තෙක් තමන් ජිවත් වන කාලයේ හැසිරුණු ස්ථාන ආශ්‍රිතව සැරිසරන බවට ගැමියන් අතර මතයක් තිබේ. සමහර විට ඒ ප්‍රාණියා ප්‍රේතාත්ම භාවයක් ලැබ තමන් විසූ තැන් වලටම අරක් ගන්නා බවත් කියැවේ. පසුගිය දින හතේ සිදු වූ කියුම් කෙරුම් අනුව අනේ ඒ කතාව සත්‍ය වී නම් කොතරම් අපූරුද කියා සිතිණි. තමන් වහන්සේගේ ප්‍රාණපරිත්‍යාගය හේතුවෙන් ඇති වූ ප්‍රතික්‍රියා හා ඒ ගැන කියැවුණු විවේචන ගැන දැන ගත හැකි වී නම් ඒ ස්වාමින් වහන්සේ පසුගිය දින සතට සත් දහස් වාරයක් ගිණි තියා ගන්නවා ඇත.

ඉහත ලිපියේ කතු තුමා කියන ආකාරයටම උන් වහන්සේගේ කලේබරය (මිනිය) සමාජයේ එක්තරා කොටසකට නහර පිනන රස අහරක් විය. මේ තත්වය ඉතා ශෝචනීයයි. ලංකා ඉතිහාසයේ දිවි නසා ගත් ප්‍රථම භික්ෂූන් වහන්සේ මුන් වහන්සේ නොවේ. එසේම විරෝධතා කිරීමට ගොස් ජීවිතය අහිමි කර ගත් ප්‍රථම භික්ෂූන් වහන්සේ ද මුන් වහන්සේ නොවේ. එහෙත් විරෝධතාවක් ලෙස දිවි නසා ගත් පළමු නම ලෙස මේ භික්ෂූන් වහන්සේගේ නම ඉතිහාස ගත වේ. එය එසේ විය යුතුද? මේ ආකාරයේ ආත්මඝාතක විරෝධතා සිංහල සංස්කෘතියට අනුකූලද?

එය පසෙක තිබියදී මුන් වහන්සේ විසින් ලියන ලද ලිපිය සළකා බලමු. එය ෆැක්ස් කරන ලද්දක් බව ඉහලින්ම ඇති ඉංගිරිසි අකුරු පේළියෙන් කියැවේ. එහි දිනය අප්‍රේල් මස 23. එහෙත්, ගිණිකෙළිය සිදු වන්නේ මැයි 24. සිදු විය හැකි එක දෙයක් නම් ෆැක්ස් යන්ත්‍රයේ දිනය වැරදි වීම. දෙවැනි එක මේ කර්තව්‍යය මාසයකට පමණ පෙර සිට සැළසුම් කෙරුණක් වීම. තුන් වන විකල්පය, අප්‍රේල් මස 23 දින ෆැක්ස් කෙරෙන්නේ හිස් කොලයක් වීමත් මැයි මස සිද්ධියෙන් පසු හෝ ආසන්න අවස්ථාවක ෆැක්ස් කෙරුණු ලිපි ශීර්ෂය මත අර ලිපිය ලියවීමත්ය. මේ ගැටළුව විසඳා ගත හැකියි කමල් සුරවීර අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් හා මුල් පිටපත රස පරීක්‍ෂක වෙත යැවීමෙන්.

ඊළඟට අපට පෙනෙන්නේ රාජකාරී ලිපි ශීර්ෂයේ මුද්‍රිත විස්තරය. එහි මන්ත්‍රීට පෙර 'හිටපු' යන්න අතින් ලියා තිබීමත්, දුරකථන අංකය සහ සිරි සුගත දහම් පාසලේ ප්‍රධානාචාර්ය යන්න කපා දමා තිබීමත් ඊළඟට නිරීක්‍ෂණය වේ. මේවා විසින් අපට පෙන්නුම් කරන්නේ තමන් දරනු ලබමින් සිටි තත්වයන් ගෙන් පිරිහීමයි. ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙමින් සිටි මේ ස්වාමින් වහන්සේ ස්වකීය දේශපාලන පක්‍ෂයෙන් නෙරපුණු බවත් පුවත් වල සඳහන් විය. ඒත් හොඳ ලකුණක් නොවේ. තත්වයෙන් පිරිහෙමින් සිටින්නෝ උතුම් අරමුණකින් දිවි පූජා කළත් සමාජය බලන්නේ බිය ගුල්ලෙක් හෝ පරාජිතයෙක් හෝ දෙස බලන ලෙසයි. සමාජ බලපෑමක් කිරීමේ අරමුණෙන් දිවි පරදුවට තබයි නම් ඊට තමන් සුදුසු තත්වයක, එනම් ජයග්‍රාහී තත්වයක සිටිය යුතුයි. එවිටයි ඒ කැප කිරීම සමාජය මත කම්පනයක් ඇති කරන්නේ. දැන් ඕනෑනම් කෙනෙකුට මුන් වහන්සේ ගිණි තබා ගත්තේ මන්ත්‍රී ධුරය නැති වූ නිසාය, දහම් පාසැලේ ප්‍රධානාචාර්ය ධුරය නැති වූ නිසාය, පක්‍ෂයෙන් නෙරපුණු නිසාය යනාදී වශයෙන් අවලාද නැගිය හැකිය.

මීළඟට (ඒ හිමියන්?) අත් අකුරින් ලියා ඇති දේ විමසමු. "ලොවුතුරා බුදු හාමුදුරුවන්ගේ අසූ දෙදහසක් ධර්මස්කන්ධය ස්පර්ෂ වූ අති පාරිශුද්ධ දළදා..."

ධර්මස්ඛන්ධය අසූහාරදහසක් බවයි අප ඉගෙනගෙන ඇත්තේ. මේ ලිපියේ අසූ දෙදහසක් ධර්මස්ඛන්ධය ස්පර්ෂ කළ බව කියන්නේ ඉතිරි දෙදහසක් ධර්මස්ඛන්ධය ශ්‍රී මුඛයෙන් නොව ශ්‍රාවක මුඛයකින් හෝ නිර්මිත බුදු මුඛයකින් හෝ දේශනා කරන ලද බව සළකාද නැතොත් ඒ ස්ඛන්ධ දෙදහස දේශනා කිරීමට පෙර දන්ත ධාතුන් වහන්සේ හැලී ගිය බවට නව පුරාවිද්‍යාත්මක සාධක මතු වීම නිසාදැයි නොදනිමි. සමහර විට නියම ගණන අසූ දෙදහසක් වී අපට වැරදුණා වන්නට ද පුලුවන. වැරදුනේ අපට නම් කමල් සුරවිර ධර්ම චක්‍රයේ දමා ලිපිය ලීවේ තෝද කියා ප්‍රශ්න කිරීමට පොලීසියට සිදු වන්නේ නැත.

ලිපියේ හරය වන්නේ ඊළඟට ඇති කරුණු හතරයි. ගව ඝාතනය මුලට යෙදීම බොහෝ දෙනා ප්‍රශ්න කරයි. එහෙත් ලිපි ශීර්ෂය නැවත බැලුවොත්, එහි එන "සත්ව සුභ සාධන විභූෂණ" යන උපාධිය හා "ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංගමයේ රත්නපුර දිස්ත්‍රික් ලේඛකාධිකාරී" යන තනතුරු නාමය මමේ චෝදනාවට ප්‍රමාණවත් පිළිතුරු සපයයි. මුන් වහන්සේ පැවිද්ද ලබන විට කටින් කුමක් කියූවත් පැවිදි වූ පසු ජීවත් වී ඇත්තේ තිරිසන් අපාය සමීපයේය. ඇත්ත වශයෙන් උන් වහන්සේ වැදගත් කොට සළකන්නට ඇත්තේ ඒ හේතුවම විය යුතුයි. තමන් අවධානය යොමු කරන ක්ෂේත්‍රය කෙරේ අධිතක්සේරුවක් ඇති කර ගැනීම ඕනෑම කෙනෙක් කරන කාර්‍යයකි. දොස්තරට දොස්තර කම ලෝකෙන් උතුම්ම රැකියාව වන්නේත් කොන්දොස්තරට ඒ රස්සාව ලෝකෙන් උතුම්ම රස්සාව වන්නේත් ඒ අනුවයි. ලෝකෙන් උතුම් කාර්‍යය දොස්තර කම නොව කරන රැකියාව කුමක් වුවත් ලාභ ප්‍රයෝජන නොතකා බ්ලොග් එකක් ලිවිම බව අප කොතරම් තේරුම් කර දුන්නත් දොස්තර තේරුම් නොගනී. කොන්දොස්තර කෙසේ තේරුම් ගනිත්ද. මේ ස්වාමින් වහන්සේට ගව ඝාතනය ගැන කිසිම ගවයෙකුටවත් නැති වැදගත් කමක් තිබීමට හේතුව ඒ උදාහරණ මගින් තේරුම් ගත හැකිය. මුන් වහන්සේගේ වරද ගොනුන් ගැන වද වීම නොවේ, රටේ ලෝකේ අනික් මිනිස්සුත් මේ ගොන් රස්සාවම කරන බවට උන් වහන්සේ විසින් ඇති කර ගත් මුලාවයි වරද.

ඇත්ත කතාව නම්, ගව ඝාතනය යනු තමන් ගිණි තබා ගෙන විරෝධය දැක්විය යුතු තරම් දෙයක් ලෙස ලංකාවේ අද ජීවත් වන කිසිවෙක් නොසළකන බවයි. කාල තරණය කර එතැනට ගොස් මුන් වහන්සේ මෙතැනට ඇදගෙන ආ හැකිනම් කනට ගසා ඒ බව කියා දෙමි. දැන් ඉතින් කළ හැකි දෙයක් නැත.

ඉතුරු කරුණු සතර කරුණු වශයෙන් ගත් කළ වැදගත් වුවත්, මුන් වහන්සේ ඒ ගැන ගෙන ඇති ක්‍රියා මාර්ග පැහැදිළි නැත. විරෝධතාවය පා දිවි හානි කර ගන්නා කෙනෙක් එසේ කර ගැනීමට පෙර ඒ ගැන ප්‍රමාණවත් අරඟලයක් කර තිබිය යුතුය. දිවි නසා ගැනීමෙන් පසු පැමිණ අතපසු වූ කොටස් අවසන් කිරීමට හැකියාවක් ඇත්තේ නැත. එසේ කිසිවක් නොකර ඇති විට දිවි නසා ගැනීම උපමා කළ හැක්කේ ජනප්‍රිය නිළියක් ගැන ආසාවක් ඇති කර ගත් තරුණයෙක් ඒ ගැන කිසිවෙකුට නොකියා සිට 'අර අසුවල් නිළිය මට කරකාර බැඳ දෙව්' කියා ලිපියක් ලියා තබාලා දිවි නසා ගැනීමටයි. අඩු තරමින් ඔහු ඒ ලිපියේ තමන් ඒ නිළිය ලබා ගැනීමට දැරූ අප්‍රමාණ උත්සාහයත් එය ව්‍යර්ථ වීමට හේතු වූ කරුණුත් ලියා තැබිය යුතුයි. මේ ලිපියේ ඒ කිසිවක් නැත. අඩු තරමින් තමන් දිවි පුද කරන්නේ කාට එරෙහිවද යන්න ගැන වත් සඳහනක් නැත. සඳහන් වන එකම නම දළදා හාමුදුරුවන් පමණි. හරකුන්ගේ බෙලි කපන්නේ දළදා හාමුදුරුවෝද? ත්‍රස්තවාදයට වගකිව යුතු දළදා හාමුදුරුවෝ ද? පනත් සම්මත කිරීම දළදා හාමුදුරුවන්ට පවරා ඇත්ද? පූට්ටු සෑදීම හා වෙන් කිරීම දළදා හාමුදුරුවන්ගේ කාර්‍යයක්ද? ව්‍යවස්ථා සාදන්නේ දළදා හාමුදුරුවෝ ද?

ඉහත කිසිවක් දළදාව සම්බන්ධ කර්තව්‍ය නොවේ. එසේනම් විරෝධතාව දළදා හාමුදුරුවන්ට එරෙහිව නම් විය නොහැක. ලිපියේ කියවෙන්නේ මගේ ජීවිතය දළදා වහන්සේට පූජා කරමි කියාය. එසේනම් දළදා හාමුදුරුවන් මනුෂ්‍ය බිලි පිළිගෙන හරක් රැක දෙන, ත්‍රස්තවාදයට වැට බඳින, පනත් සම්මත කරන, පූට්ටු ගලවන, සහ ව්‍යවස්ථා සාදන කිසියම් යක්‍ෂයෙක්ද?

"මේ කාරණා ඉටු නොවේනම්" මුන් වහන්සේ කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද?

"මේ කාරණා ඉටු නොවේනම්... බලවේගයක් වී හෝ රජයට බලපෑම් කරමි." එයයි උන් වහන්සේගේ බලාපොරොත්තුව. රටේ ලෝකේ අනික් මිනිස්සුත් මේ ගොන් රස්සාවම කරන බවට උන් වහන්සේ විසින් ඇති කර ගත් මුලාවයි වරද යැයි අප විසින් කළ තක්සේරුව නිවැරදිය. මුන් වහන්සේ බලවේගයක් වීමට බලාපොරොත්තුවකින් ගිණි තබාගෙන දිවි හානි කර ගත්තත්, උන් වහන්සේ ප්‍රාර්ථනා කරන බලවේගය මේ මනුෂ්‍ය ලෝකයේ නම් ගොඩ නැගීමේ හැකියාවක් තිබේද. රජයට එරෙහි මනුෂ්‍ය බලවේගයක් ගොඩ නැගීමට තරම් උන් වහන්සේ සතු පිරිස් හෝ සිවිල් බලයක්, නැතිනම් අධ්‍යාත්මික ගුණ බලයක් නැත . සමහර විට භූත බලවේගයක් නම් සෑදීමේ හැකියාවක් තිබිය හැක. එවැනි බලවේගයක් සෑදුවත් ඒ බලවේග රජයට බලපෑම් කරන්නේ නැත. කළත් භූත බලපෑම් ගනන් ගන්නා රජයන් දැන් ලෝකයේ නැත.

මේ ලිපිය කියවා අපට ඇති වන ගැටළු මේවා ය. ජොසෙෆ්, ලිපිය සපයා දීම ගැන ඔබට ස්තූතියි. ගිණි තබා ගැනීමෙන් කළ මෝඩ කමට සමාව දුන්නත්, අප හිස මුදුණේ තබා ජීවමාන බුදුහිමියන් ලෙස සළකා වන්දනා කරන දළදා වහන්සේ මනුෂ්‍ය බිලී පිළිගන්නා, එනම් පුළුටු ගඳට කැමති, යක්‍ෂයෙකු කිරීමේ මරි-මෝඩ කමට සමාව දීමට නම් සිත සාදා ගැනීම අපහසුය.

අප සමාව දුන්නත් නැතත්, අප මොනවා කිව්වත් කළත් ගවයන් කෙරේ ආලයෙන් පෙළුණු මේ ස්වාමින් වහන්සේ ගවයන් වෙනුවෙන් දිවි පුදා ගව සංඥාවෙන් මිය ගව දෙනක කුස උපත ලබන්නට ඇත. අපද කොයි කොයි ආකාරයෙන් කවර තැනකදී මිය කොයි කොයි තැනක උත්පත්තිය ලබයි දැයි කිසිවෙකුට කිව නොහැක. එසේ හෙයින් නුවණැත්තන් විසින් සසර භය උපදවාගෙන ලැබුවා වූ ක්‍ෂණ සම්පත්තිය අපතේ යා නොදී අප්‍රමාදව කටයුතු කළ යුතුයි.

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා !

Friday, May 24, 2013

සමනල පව්වේ සිරිපා පිහිටවූ වෙසක් පුර පසළොස්වක

සකල ලෝකවාසි බෞද්ධ ජනතාවට පමණක් නොව මුළු තුන්ලෝකයටම ඉතාම වැදගත් සිදු වීම් සිදු වූ මාසය වෙසක් මාසයයි. ගස් වැල් මලින් පිරී ගොස් මුළු ලංකාවම මංගල සිරියක් උසුලන්නේ මේ කාලයේදීය. දෙමාසයක්‌ පමණ ජනයා ක්ලාන්ත කළ ග්‍රීස්මය කෙමෙන් අඩු වී ගොස් පරිසරය සිහිල් බවක් දනවයි. නිරිත සහ බටහිර දෙසින් සුළං හමන්නට පටන් ගන්නේ සරුංගල් අතැති පොඩි උන් සහ මහ උන්ද වෙල් එළි හා පිට්ටනි වලට රොක් කරමිනි. කාලගුණය සෞම්‍ය වන අතර කඩින් කඩ වැසි ද ඇති වෙයි. පොත් සාප්පු, සිල්ලර වෙළෙඳ සල් වල එළිපිට සව් කොළ ගොඩ ගසා විකිණෙන්නේ සරුංගල් සෑදීම පිණිස පමණක් ම නොවේ. ඕවිටි වල වතු වල ඉබාගාතේ වැඩුණු පුවක් ගස් වලට උණ ගස් වලට මේ අපල කාලයකි. මේ අසරණ ගස් ගැන අනුකම්පාවෙන්දෝ මහජන චීන සමූහාණ්ඩුව ලංකාවේ පදික වේදිකා හා තාවකාලික කඩ ඉදි කරගෙන මහජනයාට ලාභයට විකල්ප අළෙවි කරයි. ඒවා රෙඩි මේඩ්ය. ජනයා ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් බුදුන් පිදීමට ලක ලැහැස්ති වෙති.

මේ ජනයා තොරන් බඳිමින්, පහන් කූඩු දල්වමින්, දන්සැල් දෙමින්, වන්දනා ගමන්හි නියැලෙමින් මේ සමරන්නේ සනරාමර ලෝකශිවන්කර ශ්‍රී සම්බුද්ධ දිවාකරයානන් වහන්සේගේ ඉපදීම බුදුවීම හා පිරිනිවන් පෑම යන තුන්මහා මංගල්‍යයයි. ලංකාවේ වැඩිම ජනතාවක් පෙහෙවස් සමාදන් වීම පිණිස දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන හා සිද්ධස්ථාන වලට එක් රොක් වන්නේ වෙසක් පුන් පෝයටයි. එකී විහාරස්ථාන වල කථින පින් කම් වලට නොදෙවෙනි පින් කම් රාශියක් මේ පොහොය මුල් කොටගෙන සිදු වේ. මහනගර සුළු නගර වල නොයෙක් සමිති, සමාගම්, සංවිධාන මුල් වී පහන් කූඩු, භක්ති ගීත තරඟ සංවිධානය කෙරේ. වෙසක් කලාප කියා මේ වෙනුවෙන් ම වීථි වෙන් කර ගැනීම ද සිරිතකි. වෙසක් පුර පසළොස්වක් දිනයෙන් ඇරඹෙන මේ ආමිස පූජා බොහෝ විට අව අටවක් දිනය වන තෙක් ම ජයට පැවැත්වේ. බොහෝ ජනයාට පින් සහ පව් බොහෝ පහසුවෙන් පුරා ගැනීමට මේ සුදුසුම කාලයයි.

වෙසක් පෝ දින සිදු වූ සම්බුදු තෙමගුල අරමුණු කොට ලියැවුණු එවන් ගීයකට සවන් දෙමු.
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝසත අතරින් ජනිත වුණා
අමා දහර දිය ගලා ගලා - තුරු ලතා තුළින් මල් පියලි සලා...
සැපෙහී කිමීදී දුකෙහි ගැලීලා
මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
දහම් සුවඳ මල් දසතම පතුරා
සියලු කෙලෙස් මැඩ බුදු වූවා
අමා දහර දිය ගලා ගලා - තුරු ලතා තුළින් මල් පියලි සලා...
ජීවිතයේ ඇති නොනිමි අතිර බව
ලොවට පැතුරු කරුණාවේ අම ගුණ
සියලු සතුන් වෙත දහම් රස පෙවූ
කරුණාබර නෙත් නිවී ගියා
අමා දහර දිය ගලා ගලා - තුරු ලතා තුළින් මල් පියලි සලා...
වෙසක් මාසයේ සිදු වූ බුදු තෙමගුල හා බැඳුනු සිදු වීම් දහස් ගණනකි. එසේ හෙයින් ඒ ගැන වර්ණනා කිරීම වික්ටර් රත්නායක ශූරින් විසින් ගැයෙන ඉහත ගීතයට ලඝු කොට වෙසක් මාසය ආශ්‍රිත තවත් සිදු වීම් සළකා බලමු.

සුමේධ තවුසාණන් දීපංකර බුදුන් පාද මූලයේදී නියත විවරණ ලැබීම

අප වෙසෙන මේ කල්පය මහාභද්‍රකල්පයට නම් වෙයි. මහාභද්‍රකල්පයට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් එපිට සාරමන්ඩ නම් කල්පයක් වීය. ඒ කප තණ්හංකර, මේධංකර, දීපංකර නම් සම්මා සම්බුදු වරයන් වහන්සේලා තුන් නමක් පහල වූහ. ඒ බුදුරජාණන් වහන්සේලා ගෙන් අන්තිම දීපංකර නම් දිවාකරයාණන් වහන්සේ මුළු ලොව් දහම් අමා ජලයෙන් තෙමා වදාරමින් සිටින සමයේ අප මහා බෝසතාණෝ අමරාවතී නම් නුවරක බ්‍රාහ්මණ මහාසල් කුලයෙක සුමේධ නමින් ඉපිද ප්‍රඥාවෙන් සංසාර දුක දැන නිවන් පතා තාපස පැවිද්දෙන් පැවිදි වී හිමාලයේ පන්සලක් කොටගෙන වසත්. උන් වහන්සේ පැවිදිව සත් දවසකින් උපදවා ගත් පංචාභිඥා හා අෂ්ඨ සමාපත්ති ඇත්තේය, මහත් සෘද්ධි ඇති සේක.

මෙසේ වසන උන් වහන්සේ එක් දිනක් අහසින් වඩින්නේ, රම්‍යවති නම් නුවරට යන මග සරසනා මිනිසුන් දිටී. සුමේධ තාපසයන් වහන්සේ ඒ දැක ආකාශයෙන් බිමට බැස මේ කිමදැයි විචාරා බුදුන් වඩින බැව් දැන උපන් ප්‍රීතියෙන් මටත් කොටසක් දෙව් යැයි ඉල්ලීය. බෝසතුන්ගේ සෘද්ධි දුටු ඒ මිනිස්සු එක්තරා මහත් කලල් වගුරක් උන් වහන්සේට පවරා දුන්හ. බෝසතාණන් වහන්සේ සිතන්නාහු, මාගේ සෘද්ධියෙන් මේ වල ගොඩ කිරීම මහත් දෙයක් නොවෙයි. එසේ වුවත්, ආනුභාවයෙන් කරන්නා වූ සත්කාරයෙහි ඇලුම් හැර ඇඟින් ඩා සොලවා කරන්නා වූ සත්කාරයම උතුම් යැයි සිතාලා උදැල්ලක් හා කූඩයක් ගෙන කාර්යය ඇරඹුවා හු ය.

මෙසේ වගුර ගොඩ කරන්නා වූ කල කාලය ඉක්ම ගියේය, වගුර මදක් ඉතිරි වී ගියේය, සාරලක්‍ෂයක් මහරහතන් පිරිවරා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වඩින්නේය. මෙසේ සවණක් ගන බුදු රැසින් බබල බබාලා තමන් ඉදිරියේ වැඩ සිටියා වූ බුදුන් දැක ප්‍රීතීන් පින පිනා අද මාගේ ජීවිතය බුදුන්ට පුදන්නේ මැ යි සිතා තමන් පොරවා සිටි අඳුන් දිවි සම කලල් වසා අතුරා බුදුන් දෙසට සිරස නමා ඒ මත්තෙහි හොත්තේ ය. එසේ හොත් සුමේධ තාපසයන් වහන්සේ මෙසේ වූ බුද්ධ ලාභයක් මටත් වේවයි පැතීය.

ඒ දුටු දීපංකර නම් බුදුරජාණන් වහන්සේ මේ පුරුෂ තෙමේ බුද්ධ රාජ්‍යය පතා දිවි පුදමින් අද මෙතැන හොත්තේය. කෙසේද මේ තෙමේ අනාගතයේ බුදු වන්නේදැයි බුදු නුවණින් මේ කප බලා නොදැක ඊළඟ කප බලා නොදැක මෙලෙසින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් බලා බුදු වන බැව් දැන තමන් වහන්සේ පසුපස්සේ වඩනා සාරලක්‍ෂයක් රහතුන් අමතා:
පස්සථ ඉමං තාපසං
ජටිලං උග්ගතාපනං
අපරිමෙය්ය ඉතො කප්පෙ
අයං බුද්ධො භවිස්සති
යන මේ ගාථාවෙන් විවරණ ශ්‍රී දී වදාළහ.

මෙසේ නියත විවරණ ලත් ඒ මහතාණන් ගේ පිට නොමැඩ ඒ දීපංකර නම් බුදුරජාණන් වහන්සේ හා උන් වහන්සේගේ සාරලක්‍ෂයක් පිරිවර රහතන් වහන්සේලා තමන් වහන්සේලාගේ ගමන වැඩමවා වදාළහ. මෙසේ ඒ අප මහා බෝධිසත්වයන් වහන්සේ ප්‍රථම නියත විවරණය ලැබූයේ මෙවැනි වෙසක් මාසයකදී ය.

මාර පරාජය

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ සූවිසි බුදු වරුන්ගෙන් සූවිසි විවරණ ලබා වෙසක් පෝ දිනෙක ලෝ ජනිත වූ ඒ මහතුන් පන්තිස් වසක් සපිරෙන වෙසක් පුන් පෝ දින උදෑසන සුජාතාව විසින් පූජිත කිරිපිඩු පිළිගෙන ඒ රන් පාත්‍රය උඩුගං බලා යවාලා සොත්තිය බමුණා විසින් දුන් කුසතණ අට මිට බෝමැඩ අතුරා එහි පැන නැංගා වූ වජාසනය මත වැඩ හිඳ සතර සම්යක්ප්‍රධාන විර්යය වඩා වැඩ හුන් සඳ අළුයම් කාලයේදී වසවර්ති මාරයා සිද්ධාර්තයා අද බුදු විය නොදෙමියි කියා සැහැසිව දස බිම්බරක් මාර සෙනග ගෙන ගිරිමේඛලා නම් දිව්‍යමය හස්තියානය මත පැන නැඟී බෝමැඩ කරා ආ බවත් නොයෙක් ප්‍රයෝගයෙන් සිද්ධාර්ථ තවුසන් පළවා ගත නොහී උන් විසින් මහී කාන්තාව ගර්ජනා කරවා වජ්‍රාසන අයිතිය පිළිබඳව දෙස් දුන් සඳ ගිරිමේඛලා නම් ඇතු පිටින් උඩුකුරු කොට වැටී ක්‍ෂමා කරවාගෙන පලා ගිය බවත්, බොහෝ වර්ණනා සහිතව ජනප්‍රවාදයේ සඳහන් වේ.

යට දැක්වෙන්නේ එබඳු ජනකවියක් ඇසුරෙන් කෙරුණු ගීයකි.
මේ සිද්ධිය අපේ සෘතියට එක් වූයේ 'මාර පරාජය' නමිනි. මාර පරාජය බොහෝ කව් ගී වලට පමණක් නොව චිත්‍ර වලට ද වස්තු බීජ විය. පහත දැක්වෙන්නේ අනුරාධපුර යුගයේ සිට ජනාදරයට පාත්‍ර වී පැවති සැස්සේරුව රජ මහා විහාරයේ පැරණි ලෙන් විහාරයේ නුවර යුගයට අයත් විය හැකි චිත්‍රයකි. මාර දිව්‍ය පුත්‍රයා ඇතු පිටින් හිස යටිකුරු කොට වැටෙන අයුරු මෙහි මැනවින් නිරූපිතයි.
මාර දිව්‍ය පුත්‍රයා බිම හෙන සේ ගිරිමේඛලා ඇතු දන ගැසීම
මෙකී මාර පරාජය සිදු කෙරුණේ වෙසක් පුර පසළොස්වක දින රාත්‍රිය ගෙවී පසුදින අළුයම් කාලයේ ය. වෙසක් දිනට පසු දින අපට නිවාඩු දිනයක් වන්නේ මේ හේතුවෙන් විය හැකිය. මෙසේ මාර පරාජය කර ඒ අළුයම් කාලයේදී සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කර ගත් ඒ උත්තමයන් වහන්සේ ප්‍රථම සතිය, එනම් වෙසක් මස තුන් වන සතිය ඒ බෝ රුක මුලම බද්ධ පර්යංකයෙන් නොනැගිට සමාධි සුවයෙන් ගත කර වදාළහ. එසේ ගත කළ උන් වහන්සේ සමාධියෙන් නැගිට තමන් වහන්සේට සතියක් සෙවන දුන් මේ ඇසතු ගස අනාගතයේ බොහෝ දෙව් මිනිසුන් කෙරෙන් පුද පූජා ලබන බව දැන, ඒ සියළු පූජාවන්ට අග්‍ර වූ පූජාවක් මම්ම කෙරෙමි යි සිතාලා සතියක් ඒ බෝ රුක දෙස බලා සිටිමින් අනිමිසලෝචන නම් වූ ගම්භීර පූජාවකින් පූජා කළාහු ය. මේ වනාහි බුද්ධත්වයෙන් දෙවන සතිය යි.

කිඹුල්වත් පුර වැඩම කිරීම හා ඥාති සංග්‍රහ | යමක මහා ප්‍රාතිහාර්යය

මැදින් මැදි පෝ දින කාළුදායි මහතෙරුන්ගේ ඇරයුමින් ස්වකිය ඥාති වර්ගයාට අනුග්‍රහ පිණිස අංග-මගධ දෙරටින් මහණ වූ දස දහසක් දෙනා වහන්සේය කිඹුල්වත් නුවරින් පැමිණ පැවිදි වූ දස දහසක් දෙනා වහන්සේය යන මේ විසිදහසක් මහරහතුන් පිරිවරා රජගහ නුවරින් නික්මුණ ශාක්‍යකුලතිලක වූ ඒ සම්මාසම්බුදුරජාණන් වහන්සේ දිනකට එක යොදුන බැගින් පා ගමනින් වැඩම කරමින් වෙසක් මස පුන් පෝ දා කිඹුල්වත් නුවරට සැපත් වූහ. ශාක්‍ය රජවරු න්‍යාග්‍රෝධ නම් උයන උන් වහන්සේගේ වාසයට පිළියෙළ කළාහු ය. පිළියෙළ කර බුදුන් එහි වඩා හිඳවූ මුත් මහා මානී වූ ඒ ශාක්‍ය රජ වරු බාල කුමාර කුමරියන් ඉදිරියට යවා උන් ලවා බුදුන් වැන්දවූහ, තමන් නොවැන්දහ. උන්ගේ සිත් දැන ගත් ශාක්‍යසිංහයන් වහන්සේ පෙර බුදුවරු ස්වකිය බන්ධුවර්ගයා වෙතින් කෙසේ වැඳුම් ගත්තෝදැයි බලා ඒ අනන්තාපර්යන්ත වූ බුදුවරුන්ගේ චාරිත්‍රය මම ද අද සම්පුර්ණ කරමි යි අධිෂ්ඨාන කොට පීත කසින සමාපත්තියට සමවැද දස දහසක් සක්වල මුළුල්ලේ ස්වකිය ශරීර ප්‍රභාවයෙන් ඒකාලෝක කර වදාළහ. නැවත ආකාශය දෙස බලා වදාළ කල්හි උන් වහන්සේ ගේ ආනුභාවයෙන් රුවන් සක්මනක් මැවී ගියේය. බුදුරජාණන් වහන්සේ ඒ රුවන් සක්මනට පැන නැඟී මානයෙන් මැඩුණු ඒ බන්ධුන් හිස දුහුවිලි පහරන්නා සේ සක්මන් කරන්නට පටන් ගත්හ. ඒ වේලෙහි දස දහසක් සක්වල දිව්‍ය බ්‍රහ්ම සේනාව අවුත් පිරිවරා සිට ගත.

එකල්හි බුදු රජහු තේජෝ කසින සමාපත්තියට සමවැද දස දහසක් සක්වල සිසාරා සියෝලඟින් ගිනිකඳ හරනට පටන් ගත. එසේම ආපෝකසින සමාපත්තියට සමවැදී දියකඳ හරනට පටන් ගත්හ. එමතුද නොව නිල් බුදු රස් හරනා විට නිලකසින සමාපත්තියට සමවදින සේක; රන්වන් රස් හරනා විට පීතකසින සමාපත්තියට සමවදින සේක; සුදු බුදු රස් හරනා විට ඕදාතකසින සමාපත්තියට සමවදින සේක; සෙසු බුදු රස් හරනා විට වෙන වෙනම කසින සමාපත්තියට සමවදින සේක; මෙසේ නොයෙක් රස් විහිදමින්, වෙන වෙනම සමාපත්ති වලට සමවදිමින්, එක විට විවිධ සමාපත්ති වලට සමවදිමින් ඥාතීන්ගේ මන් දුරලමින් යමක මහා ප්‍රාතිහාර්යය පෑ සේක. මෙසේ ප්‍රාතිහාර්යය පානා ඒ සර්වඥයන් වහන්සේ තමන් වැනිම තව බුදුරුවක් සක්මන කෙළවර මවා ලූ සේක. නිර්මිත බුදුහුත් සැබෑ බුදුහුත් එක ලෙසම සක්මන් කරන සේක, නොඑක් ප්‍රාතිහාර්ය දක්වන සේක. ලොවුතුරා බුදුන් විමසන පැන නිර්මිත බුදුන් විසින් විසඳෙන සේක, ඒ නිර්මිත බුදුන් විසින් විමසන පැන ලොවුතුරා බුදුන් විසින් විසඳන සේක. මෙසේ බුදු වරු දෙදෙනෙක් ප්‍රාතිහාර්යය දක්වන සඳ දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් තෙවැනි බුදු කෙනෙකුන් ලෙස අහසින් වැඩ බුදුරජාණන් වහන්සේ වැඳ නමස්කාර කළේය; නමස්කාර කළ ඒ තෙරුන්වහන්සේ බුද්ධ ශ්‍රීය වර්ණනා කර පෙර කුමන සමයෙක කුමන වූ පිනක් කර කුමන වූ ප්‍රාර්ථනාවක් කළ සේක්ද, කවර වූ හේතුවකින් මේ බුදු සිරි ලත් සේක්ද, ලෝ සතුන්ගේ වැඩ සළකා ඒ ගැන දෙසා වදාරන ලෙස ආරාධනා කළාහු ය.

මෙසේ ආරාධනා ශ්‍රී ලත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ බුද්ධවංශ දේශනාව දෙසා වදාළහ. එසේම ශාරිපුත්‍රයන් වහන්සේ විසින් ආරාධිතව මතු බුදු වන මෛත්‍රිය නම් බුදුරජාණන් වහන්සේ පිලිබඳ අනාගතවංශ දේශනාව දෙසා වදාළහ. මේ දෙසුම් අවසානයේ සියළු බුද්ධ ශ්‍රී දුටු සුද්ධෝධන රාජයන් මානයෙන් පිරිහී සන්තෝෂයෙන් ඉපිලී නැමී නැමී විත් බුදුන් අබිමුවේ සිට ගත නොහැකිව පෙරලි පෙරලී වැන්දේය. මෙසේ සිය පියාණන් වහන්සේගෙන් තුන් වන වැඳුම ලත් පසු මන් බිඳුන සියළු ශාක්‍ය ඥාතීහු පැමිණ වැන්දාහ. වැඳ සතුටු සාමිචි කතා කරමින් සිට ගෙවල් වලට ගියහ. පසුදින දානයට ආරාධනා නොකළහ.

බුදුරදුන් බික්සඟන පිරිවරා මහමග පිඩුසිඟා වඩින බැව් අසා උතුරු සළුව අඳිමින් ම දිව ආ සුදොවුන් රජු මහ මගදීම දෙසූ ගතා දෙකක් අසා සෝවාන් හා සකෘදාගාමි වීමද, යශෝදරාව බුදුන් දැකීමද, නන්ද කුමරු ස්වකිය තුන්මගුල එළඹ සිටි දිනේ නොකැමැත්තෙන් ගොස් මහණ වීමද, රාහුල කුමරු මහණ වීමද, එදින සොවින් පීඩිතව පැමිණි සුදොවුන් රජුගේ ඉල්ලීම පිළිගෙන දෙමාපිය අවසරයෙන් තොරව කුල දරුවන් පැවිදි නොකිරීම පිණිස සික පද පැනවීම ද, සුදොවුන් රජුගේ සෝ දුරු කිරීම උදෙසා දෙසූ දහම් අසා ඒ රජ්ජුරුවෝ අනාගාමි වීමද, මේ වෙසක් මස සිදු වුණු සෙසු සිද්ධි වේ.

තෘතිය ලංකාගමනය

බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මනිඅක්ඛිත නාරදුගේ ඇරයුමෙන් කැලණියට වැඩීම, එදවසම සුමන සමන් දෙව්රදුන්ගේ ඇරයුමින් සමනළ පව්වට වැඩම කොට බුදුසිරිපා පිහිටුවා, අනුරාධපුරය සහ රුහුණේ තව ස්ථාන වල සමවත් සුවයෙන් වැඩ සිට සිරිලක පුන්‍ය භූමියක් බවට පත් කිරීම වෙසක් පුන් පෝ දිනක සිදු විය. බුදුරදුන් ගේ තෘතිය ලංකාගමනය වෙනත් ලිපියක විස්තර කෙරේ.

සමනල පව්වේ සිරිපා පිහිටවන ලද්දේ සුමන දෙව් රජුගේ ඇරයුමින් වෙසක් පුර පසළොස්වක පෝ දින බැවින්, ඒ දිනයෙන් පසු සය මාසයක් යන තෙක් සිරිපා පියුම වන්දනා කිරීම හා පුද පූජා පැවැත්වීම දෙවියන්ට අයත් කාර්යයකි. ඒ සඳහා ඉඩ සළසමින් වෙසක් පෝ දිනයේ මිනිසුන් සිරිපා වඳින සිරිපා වාරය අවසන් කෙරෙන අතර ඉන් පසු නැවත වාරය ඇරඹෙන උඳුවප් පුර පසළොස්වක දිනය තෙක් කාලය අවාරයයි.

ලක්දිව රක්නා පිණිස සක් දෙව් රජුන්ට බාර කිරීම

අසූ වයස් පිරි තථාගතයන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් වනයේ සල් ගස් දෙකක් අතර පැනවුණු පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් රදුට ලංකාවත් සිංහලජාතියත් රක්නා ලෙස බාර කිරීම වෙසක් පෝ දිනයේ සිදු වුණු බව අපේ වංශකතා සඳහන් කරයි. සක්දෙව් රජු එය උපුල්වන් දෙව් රජුට පැවරූ බවත්, උපුල්වන් දෙව් රජු දෙවි නුවර අරක් ගෙන ලක්දිව හා සම්බුදු සසුන අද දක්වා රකින බවත් වංශකතා හා ජනප්‍රවාදයේ එයි.

විජය රාජයා තම්බපන්නියට සැපත් වීම

අපේ වංශකතා සඳහන් කරන පරිදි දඹදිවින් පැමිණ මෙහි රජ වූ ප්‍රථම රාජයා වන විජය තෙමේ තම්බපන්නියට ගොඩ බැස්සේ ද වෙසක් පුන් පෝ දා ය. උපුල්වන් දෙව් තෙමේ සක් දෙව්රජ අණ පරිදි මිනිස් වෙසක් ගෙන පැමිණ විජයයාට පිරිත් පැන් හා පිරිත් නූල් සැපයූ බවත්, ඒවායේ ආනුභාවයෙන් කුවේණි නම් යකිනියගේ ප්‍රයෝග වලින් ඔහු දිවි ගලවා ගත් බවත්, ඈ සරණ කොටගෙන යකුන් සාධා තම්බපන්නියේ නුවරක් කොට ගෙන රජ පැමිණි බවත් වංශකතා අපට කියයි.

ලක්දිව ඉතිහාසය

අනුරපුරයේ රජ වූ දෙවනපෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණකොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතීයාභිශේක ලැබීම වෙසක් පුර පසළොස්වක දිනෙක සිදු වූ බවත්, අසදෘශ මහා සෑ රදුන් වන අනුරපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සැදීමට වීසා නැකතින් වැඩ ඇරඹීම ද ඈත අතීතයේ වෙසක් පෝ දින සිදු වූ තවත් වැදගත් සිදු වීම් වේ.

මෑත අතීතය සළකතොත්, ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටය වෙත තිබූ අවසන් බැඳී වලින් ද මිදී ජනරජයක් වීම සිදු වූයේ වෙසක් මාසයකයි. ලක්දිව දෙකඩ කොට දෙමළ රාජ්‍යයක් සාදා ගැනීමට සිතා යුධවැද සිටි බලවත් සතුරු හමුදාවක් පරාජය කර සිංහලද්වීපය පුරා ජයකෙහෙළි නැංවූ වෙසක් පෝ දිනය පරදා දන්සැල් දෙමින් දනන් සතුටින් මුසපත් කළ ඒ විජයග්‍රහණයේ දිනය යෙදෙන්නේත් වෙසක් මාසයටයි.

මෙසේ එක සිද්ධියක් නොව සිද්ධි බොහෝ ගණනක් හේතුවෙන් වෙසක් මාසය, සහ වෙසක් පුර පසළොස්වක දිනය සිංහලයට ඉතා වැදගත් වේ. බක් මස එළඹුණ අවුරුදු උත්සව සැණකෙළිය මදි වීම නිසාදෝ බොහෝ තැන් වල වෙසක් පෝය දිනයේ පවා ඇත්තේ සැණකෙළි සිරියකි. එව කව බොව කියා මුව පිනවන්නට කතා කරන්නෝ බොහෝය. එව බලව කියා ඇස පිනවන්නට කතා කරන්නෝ ඊට වැඩිය. නොයෙක් ආකාරයේ නලා පිඹිමින්, බෙර ගසමින්, හූ තබමින්, විසුළු රූ මවමින්, ගුත්තිලයේ කියවෙන උදේනි නම් නුවර සැණකෙළි සිහි ගන්වමින් මහා මාර්ග සිසාරා ගමන් කරන ජනයා බොහෝය. සෘද්ධිමත් කෙනෙකුන් විසින් අපාය මහ මග මවා දැක්වූවා මෙනි.

මේවා මෙසේ තිබියදීම ඒ ගැන වචනයක් කතා නොකරන සමහර වහන්දෑ අපේ අවුරුද්ද වෙසක් පෝ දිනයයි, සිංහල අවුරුද්ද කාලිංග මාඝයන් විසින් අපට බලෙන් දුන් දෙයක, නැකත් කෙළි කෙලීම සීලබ්බත පරාමසයෙකැ, යනාදී වශයෙන් බොහෝ පිරුළු කියා අපට විහිළු සපයති. උන් වහන්සේ නිවැරදිය. මෙවැනි ආතලයක් මුසු සැණකෙළි අප අවුරුදු සමයේ නම් නොකෙළු විරූමය.

සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා !

Thursday, May 16, 2013

නාම ගොත්ථං න ජීරතී !

සිරිසේන වෙද මහත්තයා කරගෙන යන්නේ කථාවක්ද නැත්නම් පම්පෝරියක්ද කියලා මම බලා උන්නා, උන්නැහැට අනුව මේ දහම් පාසැල මීට අවුරුදු හතලිහකට කලින් පටන් අරන් තියෙන්නේ උන්දැගේ තාත්තා. හැබැයි වැඩේ මම කරපු ගානට තමයි කථාව. මම අහල තියෙන හැටියටත් අපි පුංචිකාලේ දහම් පාසැල් ආපු මේ ගොඩනැගිල්ල හදල දීලා තියෙන්නේ ලොකු වෙදමහත්තයා තමයි. අපි කුඩා උන් කාලේ මේ ගොඩනැගිල්ල තිබුනේ නැහැ. එතකොට දහම් පාසැල තිබුනේ ඉස්කෝලෙ වත්තෙමයි.

ඒ කියන්නේ මේ හතලිස් වසරක් කියන්නේ ඒ කාලෙත් එක්කම වෙන්න ඇති.

කථාව හරියට කිය උනේ ලොකු හාමුදුරුවන්ගේ කතාවෙදි තමයි.

අපේ ගමට දහම් පාසැලක් නොතිබුනු නිසා කනගාටු වුනු ඒකාලේ අපේ ගමේ ඉස්කෝලෙ උගන්නන්න ඇවිත් හිටපු අනුරාධපුරේ හේරත් මහත්තයා තමයි මුලින්ම මේ වැඩේ පටන් අරන් තියෙන්නේ. ඒ මහත්තයා හිටපු ලොකු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන ඉස්කෝලෙම දහම් පාසැල පටන අරන් තියෙනවා. එතකොට නම නිකම්ම "දහම් පාසැල" විතරයි.

ඔහොම අවුරුදු තුන හතරක් යනකොට හේරත් මහත්තයාව ගමට මාරු කරලා, ඒ වෙලාවේ තමයි එතකොට හිටපු අපෙ වයසක ලොකු හාමුදුරුවෝ වෙදමහත්තයාටයි තව ගමේ කට්ටියට කියලා පාසැල් වත්තේ ගොඩ නැගිල්ලක් හදලා දහම් පාසැල පටන් අරන් තියෙන්නේ. එතකොට මේකට නම් කරලා තියෙන්නේ "රාහුල දහම් පාසැල" කියලා. අපි යන කාලේ ඒක තිබුනේ එහෙම තමයි.

ඊටත් කලකට පස්සේ පොත් ගුලක් එහෙම හදලා පන්ති කාමර වැඩි කරලා ගුරු මණ්ඩලේ එහෙම වැඩි උනාට පස්සෙ තමයි මේක "ධර්මගවේශි ධර්ම විද්‍යාලය" කියලා අපේ දැන් ඉන්න ලොකු හාමුදුරුවෝ වැඩි දියුනු කරල අරන් තියෙන්නේ. ඒ මීට අවුරුදු දහයකට විතර උඩදී. ඔන්න ඔහොමයි දහම් පාසැල අද තියෙන තැනට ඇවිත් තියෙන්නේ.

එතකොට මේක පටන් අරන් තියෙන්නේ හේරත් මහත්තයා ඒ මහත්තයා මේක පටන් ගත්තේ ඇයි කියලා අද ඉන්න කවුරුවත්ම හරියට දන්නවා ඇතිද ? මට නිකමට හිතුනා.

ඒ අවුරුදු හතලිහකට කලින්. ඒ මහත්තයා දැන් ජීවතුන් අතරද කියලවත් දන්නේ නැහැ. එතකොට ඒ දහම් පාසැල පටන් ගත් බිමත් මේක නෙවෙයි ඉස්කෝලෙ වත්තේ. එදා පාවිච්චි කල ගොඩ නැගිලි කොහොමත් දහම් පාසැලට අයිති නැහැ. එදා හිටිය අනිත් එකම ගුරු වරයා වෙලා තිබුනේ අපේ හිටපු ලොකු හාමුදුරුවන්ගේ තනිකඩව හිටපු මල්ලි, ඒ මහත්තයාත් වලපල්ලට ගිහින් දැන් හුඟ කල්. එදා දහම් පාසැලේ නමත් ධර්ම ගවේශි ධර්ම විද්යාලය නෙවෙයි. එතකොට මොකකටද අවුරුදු හතලිහක ඉතිහාසයක් තියෙන්නේ. පටන් ගත්තු නමත් නැහැ, මිනිස්සුත් නැහැ, තැනත් නැහැ, ඒත් ඉතිහාසයක් තියෙනවා.

එක පාරක් මල ගෙදරකදි තිලක් අයියා කියපු කථාවක් මට මතක් උනා, ගොවි මහත්තයෙක් හිටියලු උන්දෑ කියනවාලු උන්දැගේ උදැල්ලට වයස විසි පහක් කියලා හැබැයි බැලූ බැල්මට අළුත් උදැල්ලක්ලු. ඉතින් අහලා බැලුවහම අවුරුදු විසි පහකට කලින් උදැල්ලක් ගත්තලු ඊලඟ අවුරුද්දේ අළුත් මිටක් දැම්මලු. ඊඅලඟ අවුරුද්දේ තලේ ගෙවිලා හින්දා අළුත් තලයක් දැම්මලු. ඔය විදියට අවුරුද්දක් හැර අවුරුද්දක් තලයකුයි මිටකුයි මාරු කරනවාලු. හැබැයි එකම උදැල්ල තමයි උන්දෑ පාවිච්චි කරලා තියෙන්නේ. එදා ඒ කථාවට අපි හැමෝම බඩ අලාගෙන හිනා උනා. ඒ උනාට දැන් මට හිතෙනවා මේ දහම් පාසැලේ ඉතිහාසෙයි අර උදැල්ලේ කථාවයි මොකක්දෝ හේතුවක් නිසා එක වගේ කියලා.

මට නොතේරෙන මොකක් හරි අවුරුදු හතලිහක් තිස්සේ තියෙන්න ඇති අන්තිමට මම හිතාගත්තා.

Thursday, April 25, 2013

නාගයන් සමගි කිරීම සමරන බක් පුන් පෝ දිනය

මාස් කන්නය සරු වී අටු-කොටු පිරී භාග්‍යය ඉතිරී යන මාසය බක් මාසයයි. මේ සිංහලයින්ගේ සතුටු මාසයයි. සිංහල අලුත් අවුරුද්ද සාමාන්‍යයෙන් බක් මාසය තුල යෙදේ. ඒ හේතුවෙන් ආගමික නැඹුරුවට වඩා විනෝදාත්මක නැඹුරුවක් ඇති කාලයකි.

ගොයම් කපාගෙන අස්වනු ගෙට ගත් පසු ගමේ කොළු කුරුට්ටන් ඉපනැල්ල පාගමින් කුඹුරු වල සෙල්ලම් කරනු මේ කාලයේ සුලභ දසුනකි. මේ කාලයේ දහවල ග්‍රීස්මය දැඩිය. රාත්‍රිය දාහය සහිතය. ඒ දාහය අවසන් කරමින් අක් වැසි ලෙස හැඳින්වෙන ගිගුරුම් සහිත වැසි බක් මාසයේ පසළොස්වක පමණ වන විට සවස් කාලයේ ඇති වේ. බක් මහ අකුණු ලෙස හැඳින්වෙන මේ අකුණු සහිත වැස්සෙන් පොළොව සරු වන බව දැන සිටි සිංහලයෝ කල් නොයවාම ඊළඟ කන්නය පිණිස කුඹුරු සැකසීම අරඹත්.

බක් මාසය තුල සිදු වූ වැදගත්ම ශාසනික කර්තව්‍යය තථාගතයන් වහන්සේගේ දෙවන ලංකාගමනයයි. බුද්ධත්වයෙන් නව මසකට පසු ප්‍රථම ලංකාගමනයකර යක්‍ෂයන් දමනය කර යකුන්ගෙන් ලක්දිව තමන් වහන්සේට පූජා කරවාගෙන දහම පිහිටන දිවයිනක් බවට පත් කළ උන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වසකට පසු තමන් වහන්සේගේ මහා කරුණා නෙතට පාත්‍ර වුනු නාගයන්ගේ අභිවෘද්ධිය සළකා නාගදීපයට වැඩම කළහ.

බුදුරදුන් නාගදීපයට වැඩම කිරීම. ශිල්පී සෝලියස් මැන්දිස් විසින් අඳින ලද කැළණි විහාරයේ බිතු සිතුවමක්.
බුදුරදුන් නාගදීපයට වැඩම කිරීම, කැළණි විහාරයේ බිතු සිතුවමකින්.
ඒ කෙසේද යත්,

"මහත් ඍද්ධි ඇති මහෝදර නම් නාග තෙමේ මුහුද පන්සියයක් යොදුන් අයම් නාග භවනයෙහි රජ වී. උහුගේ නැගණි තොමෝ කන්වඩමන් නම් පව්වෙහි නා රජහට දෙන ලද්දීය. උහුගේ පුත්‍ර තෙමේ චූලෝදර නමි. උහුගේ මෑණියන් පිය වූ නා රජතෙම උතුම් වූ මිණිපළඟ මෑණියන්ට දී කාලක්‍රියා කළේය. එසේ හෙයින් මයිල් නාරජු හා බෑණනුවන් යුධය තෙම එළඹ සිටියේය. පර්වතවාසි වූ ඩ ඒ නාගයෝ මහත් ඍද්ධිමත් වූහ." යනාදී වශයෙන් මහාවංශය මේ සිද්ධිය විස්තර කරයි.

බුද්ධත්වයෙන් පස් වන වස බක් මස අමාවක් පෝ දා අළුයම මහා කරුණා සමාපත්තියට සම වැදී ලොව බලා වදාරන සම්මා සම්බුදුරජාණන් වහන්සේට යුධයෙන් නැසී යන කෙළ ගණන් නාගයන් පෙනිණි. උන් කෙරේ කරුණාවෙන් බුදුරජානන් වහන්සේ තමන් වහන්සේ පා සිවුරු රැගෙන ජේතවනාරාමයෙන් නික්මිණ. මෙකල ජේතවන දොරටුව අබියස කිරිපලු රුකක්‌ වාසභූමි කරගෙන සමිද්ධි සුමන නම් දිව්‍යරාජයෙක් වෙසෙයි. පූර්වභාවයේ නාගදීපයේ මනුෂ්‍යයෙක් වූ හෙතෙම තමන් වසන කිරිපලු රුක මුලිනුදුරාගෙන බුදුරදුන් සිරසට ඡත්‍රයක් කොට අල්වාගෙන උන් වහන්සේ පසුපස්සේ නික්මිණ.

මෙසේ අහසින් නාගදීපයට වැඩම කළ උන් වහන්සේ අහසේ වැඩ සිටිමින් අන්ධකාරයක් මවා නාගයින් කෙරේ බිය ඉපිදවූ සේක. අනතුරුව ඒ බිය පහ කිරීමට ආලෝකයක් උපදවා දී උන්ගේ බිය දුරු කළ සේක. අස්වැසුනු සිත් ඇති ඒ නාගයෝ බුදුරදුන් දෙපා වැඳ නමස්කාර කළෝය. එසේ සතුටු සිත් ඇති නාගයින්ට බුදුරජාණන් වහන්සේ සමගිය ඇති කරන ධර්මයක් දෙසූ සේක. දහම් අසා යුධ පිණිස වන් සිත අතහැර දැමූ ඒ නාගයෝ යුද්ධයට හේතු වූ ඒ මිනීපළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළහ. ඒ පූජාව පිළිගත් සර්වඥයන් වහන්සේ එහි බැස නාගයින් දුන් දානය පිළිගෙන වළඳා අන්තයෙහි දිය වැසි ගොඩ වැසි තුන්කෙළක් පමණ නාගයින් තුන් සරණෙහි හා සීලයෙහි පිහිටවූ සේක. ඒ යුද්ධයට පැමිණ සිටි මනීඅක්ඛිත නම් කැළණියේ නා රජ තෙමේ තථාගතයන් වහන්සේට අමතා "වහන්ස ඔබ වහන්සේ අප නොදුටු සේක්නම් අප සැවොම අද යුධයෙන් නැසෙම්හ. අප සියල්ලන් කෙරේ කළ කරුණාව මා කෙරේ විශේෂ කොට දක්වත්වා.. නැවත මෙහි ආගමනයෙන් මාගේ දේශයට වඩිත්වා"යි ආයාචනය කළේය. තුන් කල් දන්නා බුදුරජාණන් වහන්සේ තුෂ්නිම්භූත භාවයෙන් මේ ආයාචනය ඉවසූ සේක.

තවද බුදුරජාණන් වහන්සේ ඒ නාගයන් අමතා තමන් වහන්සේට ඡත්‍රයක් වූ ඒ කිරිපලු රුකද තමන් වහන්සේ වැඩ සිටි ඒ මිණිපලඟද යන මේ පාරිභෝගික වස්තු දෙක පූජා පිණිස පවරා දී තමන් වහන්සේගේ කෘත්‍ය සපිරුණේ නැවත ජේතවනයටම වැඩම කොට වදාළහ. මේ වනාහි බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනයයි.

නාගදීපය යැයි අද හඳුන්වන්නේ යාපන අර්ධද්වීපයට එපිටින් ඇති කුඩා දිවයිනක් වුවත් බුද්ධ කාලයේ නාගදීපය යනු මුළු යාපන අර්ධද්වීපයම හෝ ඊටත් වඩා විශාල පෙදෙසක් බව ඉහත විස්තරයෙන් පෙනේ. මේ යුද්ධයට එළඹෙන නාග සේනාව තුන්කෙළක් බව මහාවංශයේ දැක්වේ. යුද්ධය පවතින්නේ දියවැසි නාගයින් හා පර්වතවාසි නාගයින් අතරය. මහෝදර තෙමේ මුහුදේ පිහිටි නාග භවනක අධිපතියාය. ඔහුගේ නැගණිය පර්වතවාසි නාග රාජයෙකුට සරණ දෙන ලද්දීය. වර්තමාන යාපන අර්ධද්වීපයේ කඳු පර්වත නැති බැවින් 'කන්වඩමන්' නම් පව්ව ලෙස හැඳින්වෙන්නේ කුමක්ද යන්න එතරම් පැහැදිලි නැත. ඒ අද කන්තරෝඩේයි යන දෙමළ ඌරුවට හුරු වචනයෙන් හැඳින්වෙන පුරාණ කදුරුගොඩ විහාරයදැයි විමසිය යුතුය.

එසේම මහත් ඍද්ධි ඇතිව විසූ ඒ නාගයින්ට කුමක් වීද යන්නත් ගැටළුවකි. මේ සිද්ධියෙන් සතළිස් වසකට පසු විජය කුමරු තම්බපන්නියට සැපත් වන විට කපු කටිමින් සිටින්නේ බුදුන්ගෙන් බණ අසා උන් වහන්සේ වැඩහිඳී මිණිපළඟට පුද පූජා කළ, උන් වහන්සේට නැවත වැඩම කරන ලෙස ආරාධනා කළ නාගයින්ගේ දුහිතෘකාවක් හෙවත් නාග කන්‍යාවක් නොවේ; ප්‍රථම ලංකාගමනයේදීම ගිරි දිවයිනට නංවා පිටත් කළයි කියන යක්ඛ ස්ත්‍රියකි.

නාගයින් නාගදීපයට ගොඩ බැස්සේ යුධ කිරීමට පමණක්ද ? පර්වතවාසය නාගයින්ගේ තාවකාලික උපක්‍රමයක් පමණක්ද? නැතිනම් නාගයින් ලෙස අපේ පැරැන්නන් හඳුනා ගත්තේ තාක්ෂණික වශයෙන් දියුණු (මහත් ඍද්ධි ඇති) උභයචාරි (දිය-වැසි ගොඩ-වැසි) ජීවින් කොටසක්ද ?

Sunday, April 14, 2013

සිංහල අපේ අවුරුද්ද

අවුරුද්ද... අපි ජනවාරි පළමු වැනි දින අලුත් අවුරුද්ද උදා වූයේ යැයි කීවෙමු. ඒ කිතු වසින් දෙදහස් දහතුන් වැන්න බව ගණන් කළෙමු. නව දින දසුන් අයිති කර ගත්තෙමු. නව පංති වලට, නව සේවා මුර, සේවා ස්ථාන වලට මාරු වූයෙමු. කොටින් කියතොත් පැරණි අප විසින් අලුතින් බොහෝ දේ අයිති කර ගත්තෙමු.

ඒ අතර ඉස්ලාම් නම් ජන කොටසක්‌ රාමසාන් කියා අවුරුද්දක් සමරති. හින්දුහු තෛපොංගල් නම් හිරු නැමදිල්ලක්‌ අලුත් අවුරුද්ද යැයි කියා සමරති. ඉන්දියාවේ හෝලි නමින් මීට සමාන උළෙලක් ඇත්තේය. චීන්නු පෙබරවාරි මාසයේත් (මෙය වසරින් වසර වෙනස් වේ) විවිධ රටවල විවිධ ජාතීහු නොයෙක් දින වලත් තමන්ගේ අවුරුද්ද සමරති. ලෝකයේ ස්වාධීනව ඇති වූ සෑම ජාතියකටම - ජන කොටසකටම තමන්ගේ වූ අවුරුද්දක් තිබේ.

අපිට අවුරුද්දක් නැත්ද?

අපිට අවුරුදු දෙකක් තිබේ. ඒ කෙසේද?

පුරාණ සිංහලයෝ පොදුවේ දින දසුන් දෙකක් භාවිතා කළහ. එකක් සූර්යයාගේ ගමන මූලික කොට ගත්තේ වෙයි, අනික චන්ද්‍රයාගේ කලාව මූලික කොට ගනී.

චන්ද්‍ර දින දසුන සහ සූර්යය දින දසුන

චන්ද්‍රයා ස්වකිය කලා චක්‍රය සම්පුර්ණ කිරීමට එකුන්තිස් දිනක් හා අඩක් ගනී. මෙය චන්ද්‍ර මාසයකි. චන්ද්‍ර මාස දොළසක් චන්ද්‍ර වර්ෂයකි. ඒ අනුව චන්ද්‍ර වර්ෂයට ඇත්තේ දින තුන්සිය පනස් හතරක් පමණි. වගා කටයුතු වලදී චන්ද්‍රයා කෙළින්ම බලපාන බැව් දත් පුරාණ සිංහලයෝ කෙටි කාලින කටයුතු සඳහා මේ දින ක්‍රමය යොදා ගත්හ. චන්ද්‍රයාගේ කලාව නිරීක්ෂණය පහසු නිසා මේ ක්‍රමය පොදු ජනයා අතර ලෙහෙසියෙන් භාවිතා කෙරිණි.

සූර්යයා රාශි චක්‍රයේ එක්තරා ස්ථානයකින් ගමන් ඇරඹු කළ නැවත එතැනටම පැමිණීමට ගත වන කාලය සූර්යය වර්ෂයකි. මේ ගමනේදී සූර්යයා රාශි දොළසක් පසු කරමින් ගමන් කෙරෙයි. සියලු රාශි එක හා සමාන දිගකින් යුක්ත නොවන නිසා සමහර රාශි පසු කිරීමට සූර්යයා බොහෝ කල් ගනී, සමහර රාශි ඉක්මනින් පසු කර යයි. මේ එක් රාශියක් පසුබිම් කරගෙන සූර්යයා පිහිටන විට එය ඒ රාශියේ නමින් රවියක් (=මාසයක්) ලෙස ගණන් ගැනේ. රාශි දෙකක් අතර දුරක් ඇති නිසා ඒ දුරත් දෙකට බෙදා දෙපස රාශි වලට බෙදා දීමෙන් සෑම දිනයක් (=මොහොතක්) ම එක්තරා සූර්යය මාසයකට ලැබෙන අයුරින් මේ ක්‍රමය සාදා ඇත.

සූර්යයා පිහිටන්නේ කුමන රාශිය පසුබිම් කරගෙනදැයි සාමාන්‍ය ජනයාට නිරීක්ෂණය නොවන බැවින් මේ ක්‍රමය භාවිතා කෙරුණේ ගණිතයන් හා දැනුමැත්තන් අතරය. සාපේක්ෂව වඩා නිවැරදි බැවින් දීර්ඝ කාලීන කාල ගණනයන් සඳහා මේ දින ක්‍රමය යොදා ගැනිණි.

දින තුන්සිය පනස් හතරක් ඇති චන්ද්‍ර වර්ෂය සහ දින තුන්සිය හැට පහක් ඇති සූර්යය වර්ෂය අතර ඇති නොගැළපීම ඉවත් කිරීම පිණිස වසර තුනකට වරක් "අධි" මාසයක් චන්ද්‍ර වර්ෂයට එකතු කෙරිණි.

අවුරුද්ද

කාලය ගණනය කිරීමට නම්, ඊට ආරම්භයක් දිය යුතුය. අපේ වංශකතා කාරයෝ කාලය මැන්නේ එක් එක් රජවරුන්ගේ රාජ්‍යත්වයෙනි. එනම්, අසවල් රජුගේ අසවල් වර්ෂයේ ලෙසිනි. දුටුගැමුණු රජුගේ රාජ්‍යෝදයෙන් තෙවන වර්ෂයේ අසුවල් විහාරය කරවන ලද්දේය කියා ලියැවිණි. එසේ වුවත් මේ සියලු රජුන්නට වඩා රජෙක් සිංහලයන්ට විය. ඒ බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේගේ බුද්ධත්වයෙන් සහ පරිනිර්වාණයෙන් එළැඹෙන අසුවල් වර්ෂයේ කියා කාලය කීමද ඒ සමගාමිව කෙරිණි. මේ ක්‍රම දෙකෙන්ම කියන්නේ සාපේක්ෂ කාලයකි. එනම්, ගණන් ගැනීම අරඹන දිනයේ සිට ගත වන්නේ කී වෙනි වසරද යන්නයි.

එසේ වුවත්, කී වෙනි වසරද කියා ප්‍රකාශ කිරීමට නම්, වසරකට නිරපේක්ෂ ආරම්භයක් තිබිය යුතුයි. ඕනෑ ඕනෑ දින වලින් වසරාරම්භ කිරීමට ගියොත් සියල්ල වියවුල් වෙයි. අපේ පැරැන්නෝ වසරාරම්භ කිරීම පිණිස තෝරා ගත් දිනය වන්නේ අපි අද අලුත් අවුරුද්ද සමරන දිනයයි. මේ දිනය තෝරා ගැනීමට හේතුව වශයෙන් විවිධ විද්වත්හු විවිධ මත දක්වතත් අපට වැදගත් වන්නේ අපේ පැරැන්නන් මේ දිනය කිසියම් හේතුවකින් තෝරා ගත් බවත්, අපි ඒ පැරැන්නන්ගේ උරුම කරුවන් වශයෙන් මේ දිනය, එනම් අලුත් අවුරුද්ද ඇරඹෙන දිනය, ඉදිරි පරම්පරාවට දායාද කළ යුතු බවත් පමණි.

පරණ අවුරුද්ද

සූර්යයා රාශියෙන් රාශියට ගමන් කරන බව ඉහත සඳහන් කෙරිණි. මේ ගමනේදී එක්තරා අවස්තාවක ඔහු මීන රාශියෙන් නික්මෙයි; තවම මේෂ රාශියට එළඹ නැත. මේ අතරතුර කාලය නොනගතය ලෙස අපේ පැරැන්නන් විසින් තීරණය කෙරිණි. මෙකී සිද්ධිය සිදු වන දිනය පරණ අවුරුද්ද ලෙස හැඳින්විණි.

ඕනෑම මාස දෙකක් අතර පවතින මේ අතරමැදි කාලය දෙකට බෙදා මාස දෙක අතර බෙදා ගන්නා බව ඉහත සඳහන් කෙරිණි. මෙහිදී ද වෙනසක් නැත. නොනගතයේ මුල් භාගය පරණ අවුරුද්දට අයිතිය, අග කොටස අලුත් අවුරුද්දට අයිතිය.

නොනගතය

"අගත අනගත චතුදිස..." යනාදී ලෙසින් ලියැවෙන සෙල් ලිපි පාඨයක් අපට හමු වේ. අගත යනු පැමිණි යන අරුතයි, අනගත යනු නොපැමිණි යන අරුතයි. නොනගත යනුත් එයමයි. නොනගතය යන්නෙහි සැබෑ තේරුම නම් සූර්යයා මීන රාශියෙන් ඉකුත් විය, මේෂ රාශියට එළඹියේ නැත යන්න මිස අනිකක් නොවේ. මුලින් සඳහන් කළ ලෙස නොනගතයෙන් අඩක් පරණ අවුරුද්දට හිමිය, ඉතිරි අඩ අලුත් අවුරුද්දට හිමිය.

අවුරුද්දක් පුරා වෙහෙස වී වැඩ කළ මිනිස්සු මේ නොනගත කාලයේ මද ඉසිඹුවක් ලබති. ඒ අලුත් අවුරුද්දේ නැවත වැඩ ඇරඹිය යුතු බව දන්නා නිසාය. හිස ගිනි ගත්තෙක් එගිණි නිවන ලෙස සංසාර දුක් ගින්න නිවීම පිණිස වෙර දරන යෝගාවචරයෙකුට මේ ඉසිඹුව අයිති නැත. එහෙත්, ඒ යෝගාවචරයා ලුණු ඇඹුල් සෙවුනා පිණිස ගම් වදින විට ඔහුටත් යැපීම පිණිස අහර සපයන සසර දුක් විඳින සත්ත්වයාට මේ ඉසිඹුව ඇවැසිය.

ඔහු ගොවිතැන් ව්‍යාපාර කිරීමේදී නොදැන සිදු වූ අතපසු වීම්, පව් කම්, හිත් නොහොඳ වීම් ආදිය තිබිය හැකියි. ඒවා ගැන විවේක බුද්ධියෙන් සිතා එළැඹෙන වසරේ ඒවායින් දුරු වීම පිණිසත්, සිත සකසා ගැනීම පිණිසත් පින් කම්හි නියැලීම හා සිත සනසා ගැනීම පිණිසත් නොනගතයේ මුල් භාගය යෙදවෙන්නේ ඊළඟ වසරේ ඒ අඩුපාඩු සිදු නොකරගෙන සිටීමේ අභිප්‍රායෙනි. එසේම අලුත් අවුරුද්දේ අලුත් ජවයකින් වැඩ කටයුතු ඇරඹීම පිණිස මේ කාය-චිත්ත විවේකය උත්ප්‍රේරකයකි.

අවුරුදු උදාව

මේ වසරේ නැකත් සළකා බැලුවහොත්, නොනගතය හෙවත් සංක්‍රාන්ති සමය වන්නේ සෙනසුරාදාඅපර භාග 7:05 සිට 14 වන ඉරිදා පූර්ව භාග 7:53 දක්වාය (ඉහත කාලය දක්වා ඇත්තේ ඉංගිරිසි හෝරා ක්‍රමයට අනුවයි). එනම්, සූර්යයා මීන රාශියෙන් නික්මෙන්නේ සෙනසුරාදා සවස වන අතර මේෂ රාශියට ඇතුල් වන්නේ පසුදා උදෑසනයි. ඉංගිරිසි ක්‍රමයට දොළොස් හෝරා අඩක් පමණ කාලයකුත්, සිංහල ක්‍රමයට දෙතිස් පැයක පමණ කාලයකුත් මේ අතරතුර තිබේ. එහෙත් සූර්යයා, මීන හා මේෂ රාශි අතර බෙදා දුන් කාලයෙන් මීන රාශියට හිමි පූර්ව භාගය අවසන් කර මේෂ රාශියට හිමි පශ්චිම භාගයට එළඹෙන්නේ රාත්‍රී 1:29 ට වේ. ඒ මොහොත අවුරුදු උදාවයි. අවුරුදු උදාවේ පටන් ලක ලැහැස්ති වන සිංහලයෝ සූර්යයා මේෂ රාශියට ඇතුල් වීමට පළමු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභව කොට අලුත් අවුරුද්ද පිළිගනිති.

අවුරුදු සිරිත්

නව සඳ බැලීමට

අභිනව චන්ද්‍ර වර්ෂය සහ අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 14 වැනි ඉරිදා දින නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතානුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්ව භාග 1:29 ට අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපර භාග 7:05 සිට 14 වැනි ඉරිදා පූර්ව භාග 7:53 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපර භාග 7:05 ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර, ආගමික වතාවත් වල යෙදීමද, පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම්, 14 වන ඉරිදා පූර්ව භාග 1:29 සිට පූර්ව භාග 7:53 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන ඉරිදා පූර්ව භාග 4:06 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා, ලිප් බැඳ, ගිණි මොලවා, ගිතෙල් සහ සකුරු මිශ්‍ර කිරිබතක්ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වන ඉරිදා පූර්ව භාග 7:05 ට රතු සහ කහ මිශ්‍ර තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා, සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට, ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 15 වන සඳුදා පූර්ව භාග 6:41 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, නැගෙනහිර දිශාව බලා, හිසට දිඹුල් පත්ද පයට ඉඹුල් පත්ද තබා, තෙල් සහ දිඹුල් පත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්‍ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 17 වන බදාදා පූර්ව භාග 7:42 ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, කිරිබත් සහ හකුරු මිශ්‍ර ආහාරයක්‌ අනුභව කොට දකුණු දිශාව බලා, රැකී රක්‍ෂා සඳහා පිටත්ව යාම මැනවි.

සේවා අවශ්‍යතා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 15 වන සඳුදා පූර්ව භාග 6:53 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, කිරිබත් හා කිරි මිශ්‍ර ආහාරයක් අනුභව කොට නැගෙනහිර දිශාව බලා, සේවා අවශ්‍යතා සඳහා පිටත්ව යාම මැනවි.

වර්තමාන ප්‍රවණතා

මීට කලකට පෙර ඉහත සඳහන් කළ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමේ ස්වභාවික ක්‍රියාවලිය සම්බන්ද වේලාවන් හැර අනෙක් කටයුතු සඳහා මුලු දිවයිනටම බලපාන නැකත් නොවීය. සමහර විටෙක ප්‍රදේශයෙන් ප්‍රදේශයට අවුරුදු සිරිත් හා නැකත් වෙනස් විය. ඊට හේතුව අපේ පැරණි සමාජ ක්‍රමයයි. එහෙත් දැන් නැකත් කමිටුවකින් ලංකාවටම බලපාන නැකතක් තනා සුබ නැකතින් එය ජනාධිපති තුමාට පිළිගන්වනු ලැබේ. ජනමාධ්‍ය විසින් මේවා ප්‍රචාරය කෙරේ. නිවසේ ඇති පෙට්ටියක් හෝ තිරයක් මතට මුලු අවුරුද්දම සම්පිණ්ඩනය කර පිරිනමන විද්‍යුත් නාලිකා ඇති බැවින් අපට වෙහෙසීමට අවශ්‍යතාවයක්ද නොමැත්තේය.

එහෙත්, අවුරුද්ද යනු මෙයදැයි සිංහලයින් විසින් තම තමන්ගේ හදවත් තුලට තට්ටු කර විමසිය යුතුව තිබේ. නොනගතයේ කළ යුතු එකම කාර්යය, එනම් කාය-චිත්ත විවේකය ලබා ගැනීම හා එළඹෙන වසරේ අභියෝගයන්ට සූදානම් වීම පසෙක ලා අපි බාතිය සන්තුෂ් මහතුන්ගේ බයිලා අසමුද, හිරිකිත්තා රෝෂන් රඟන බයිස්කොප්පයක් බලමුද... පරණ අවුරුද්ද පුරා කළේත් එයම නොවේද...

එසේනම්, මේ වසරේ සිංහලයින් වශයෙන් අධිෂ්ඨානයක් ඇති කර ගනිමු.

අප්‍රේල් 13 වන සෙනසුරාදා අපර භාග 7:05 ට රුපවාහිනී සහ ගුවන්විදුලි ලෙස හඳුන්වන පාප මිත්‍රයින්ට විවේකයක් දෙමු,
අඩු තරමින් පසුදින වැඩ අල්ලන මොහොත තෙක්වත් !!!

පසු සටහන: වැඩ අල්ලන්න බැරිය නැකතට ඔය යකාගේ පෙට්ටිය ඇරලා... නැද්ද මං අහන්නේ... ඒකත් වැඩ ඇල්ලීමක් තමයි. මොකද ඇරුනට පස්සේ ඕකා යකාම තමයි. යකා බැඳ ගත්තා වගේ !